9වන පරිච්ඡේදය
අප ප්‍රේම කළ මියගිය අයට සිදු වන්නේ කුමක්ද?
1. මරණය නිසා ප්‍රේම කළ කෙනෙකු නැති වී යන විට ජනයාට හැඟෙන්නේ කොහොමද?
“මරණය නිසා තමන් ආදරය කරන කෙනෙක් අහිමි වෙද්දී දැනෙන පාළුව, තනිකම පුදුමාකාරයි. ඒ වගේම, එයින් ඇති වෙන දුක නම් වචනයෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි.” තම පියාත්, ඉන් වැඩි කලක් යන්ට මත්තෙන් තම මවත් මියගියායින් පසුව, එක් පුතෙක් පැවසුවේ එලෙසයි. ඔහුට දැනුණු වේදනාවත් මහත් පාඩුවත්, ඔහු තුළ ඇති කළේ “චිත්තවේගීයව මුළුමනින්ම යටපත් වුණු” හැඟීමකි. සමහරවිට ඔබත් මෙයාකාර වේදනාවක් අද්දැක තිබෙනවා වන්න පුළුවන්. ඔබ ප්‍රේම කළ අය සිටින්නේ කොතැනද කියාත්, ඔවුන්ව යළිත් දැකබලා ගත හැකිද කියාත් ඔබ කල්පනා කරන්න ඇති.
2. මරණය පිළිබඳව පැනනඟින ව්‍යාකූල කරවන ප්‍රශ්න මොනවාද?
2 සොවින් තැවෙන සමහර දෙමාපියන්ට මෙසේ පවසා තිබේ: “ස්වර්ගයට ගෙනියන්න දෙවියන් තෝරගන්නේ ලස්සනම මලයි.” එය ඇත්තටම සැබෑවක්ද? අප ප්‍රේම කළ මියගිය අය ආත්ම ලෝකයකට ගොස් ඇද්ද? එය සියලුම වේදනාවලින් හා ආශාවලින් නිදහස්, පරම සැපත හැටියට විස්තර කරන, නිවන ලෙසින් සමහරුන් හඳුන්වන දෙයද? අප ප්‍රේම කරන අය පාරාදීසයේ අමරණීය ජීවිතයට පිවිසෙන දොරටුවෙන් ඇතුල් වී ඇද්ද? එසේත් නැත්නම් වෙනත් අය කියා සිටින පරිදි, දෙවිව අමනාප කරන්නන්ට මරණයෙන් අදහස් වන්නේ නිමක් නැති වධ වේදනාවක ආරම්භයක්ද? මළවුන්ට අපේ ජීවිතයට යම් බලපෑමක් කළ හැකිද? මෙවන් ප්‍රශ්නවලට නිවැරදි උත්තර ලබාගැනීමට නම්, අප දේවවචනය වන බයිබලය විමර්ශනය කළ යුතුයි.
මනුෂ්‍යයාට දුන් “ආත්මය” යනු කුමක්ද?
3. මළවුන් පිළිබඳව සොක්රටීස් හා ප්ලේටෝට තිබුණේ කෙබඳු මතයක්ද? අදදින මෙය ජනයාට බලපාන්නේ කොහොමද?
3 ග්‍රීක දර්ශනවාදීන් වූ සොක්රටීස් හා ප්ලේටෝ කියා සිටියේ, පුරුෂයා හා ස්ත්‍රිය තුළ මරණයෙන් පසු ජීවත් වන, සහජයෙන්ම උරුම වූ අමරණීය යමක් තිබෙන බවයි. අද ලොව පුරා මිලියන ගණනක් මෙය විශ්වාස කරයි. මෙම විශ්වාසය, මළවුන්ගේ ශුභසිද්ධිය ගැන සැලකිල්ලක් දැක්වීමට ඉවහල් වන්නා සේම ඔවුන් කෙරෙහි භයක්ද උපදවයි. ඇත්තෙන්ම මනුෂ්‍යයා කවරෙක්ද යන්න ගැනත්, මරණයේදී සිදු වන්නේ කුමක්ද යන්න ගැනත් බයිබලය අපට උගන්වන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයකි.
4. (අ) උත්පත්ති වාර්තාවේ ප්‍රාණය ගැන සඳහන් වන්නේ මොනවාද? (ආ) ආදම්ව ජීවත් කරවීම සඳහා දෙවි ඔහු තුළට ඇතුල් කළේ කුමක්ද?
4 මළවුන්ගේ තත්වය ගැන සලකා බලන විට, අපේ මුල් පියා වූ ආදම් ප්‍රාණයක් වූවා මිස අමරණීය වූ වෙන කිසිවක් ඔහු තුළ තිබුණේ නැති බව සිහියට ගන්න. දෙවි පුදුම දනවන මැවීමේ ක්‍රියාවකින් මනුෂ්‍යයා එනම් ප්‍රාණය සෑදුවේ, පොළොවෙහි ඇති මූලික පදාර්ථවලිනි. ඉන් අනතුරුව ඔහු තුළට “ජීවනයේ හුස්ම” පිම්බේය. උත්පත්ති 2:7හි අපට ඒ ගැන මෙසේ පැවසේ: ‘යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් [හෙබ්‍රෙව් නෙෆෙෂ්, පදගතාර්ථ අර්ථය “හුස්මගන්නෙක්”] විය.’ ආදම්ගේ ජීවිතය පවත්වාගෙන ගියේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියෙනි. නමුත් දෙවි ආදම්ට ජීවනයේ හුස්ම ඇතුල් කළ විට, මිනිසාගේ පෙණහලුවලට වාතය පිඹීමකට වඩා වැඩි යමක් ඊට ඇතුළත් විය. තවද බයිබලයේ, මිහිපිට ජීවීන් තුළ ක්‍රියාත්මක වන “ජීව බලය” ගැනද කතා කරයි.—උත්පත්ති 7:22, NW.
5, 6. (අ) “ජීව බලය” යනු කුමක්ද? (ආ)“ආත්මය” ශරීරය පණගැන්වීම නතර කරන විට සිදු වන්නේ කුමක්ද?
5 “ජීව බලය” යනු කුමක්ද? එය දෙවි විසින් ආදම්ගේ අජීවී සිරුරට ඇතුල් කළ ජීවිතය පණගන්වන අතිවැදගත් බලයයි. අනතුරුව මෙම බලය පවත්වාගෙන ගියේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියෙනි. එහෙත් දේශනාකාරයා 12:7හි සඳහන් “ආත්මය” කුමක්ද? මළ තැනැත්තා සම්බන්ධයෙන් එහි පැවසෙන්නේ, “දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරී” යන බවත්, “ආත්මය ඒක දුන් [සැබෑ දෙවි, NW] වෙතට හැරී” යන බවත්ය. බයිබල් ලේඛකයන් “ආත්මය” යන වචනය මෙයාකාරයෙන් යොදාගනිද්දී, ඔවුන්ගේ මනස්වල තිබුණේ සිරුර මියයෑමෙන් අනතුරුව දිගටම ජීවත් වන, ශරීරයෙන් වෙන් වූ ප්‍රාණයක්වත් අමරණීය ආත්මයක්වත් නොවෙයි.
6 මරණයේදී මිනිසුන්ගෙන් ඉවත්ව යන “ආත්මය” අපේ මැවුම්කරුගෙන් ජනිත වූ ජීව බලයට යොමු දක්වයි. (ගීතාවලිය 36:9; ක්‍රියා 17:25) විදුලියට, එමගින් ක්‍රියාත්මක වන උපකරණයේ ගතිලක්ෂණ නොමැති සේ මෙම ජීව බලයටද, එය පණගන්වන්නාවූ ජීවියා සතු අංග ලක්ෂණ නොමැත. විදුලිය කපාහරිද්දී විදුලි බුබුළක් නිවී යන්නා සේ, කෙනෙකු මියයන විට “ආත්මය” (ජීව බලය) සිරුරේ ඇති සෛල පණගැන්වීම නතර කරයි. ජීව බලය මිනිස් සිරුර පවත්වාගෙන යෑම නතර කරන විට, මිනිසා මුළුමනින්ම මියයන අතර, ඉන් අනතුරුව ඔහුගේ කිසිවක් සජීවී ලෙස නොපවතී.—ගීතාවලිය 146:4; දේශනාකාරයා 12:1, 7.
‘නුඹ දූවිල්ලට හැරී යන්නෙහිය’
7. ආදම් දෙවිට අකීකරු වූ විට, ඔහුට සිදු වනු ඇත්තේ කුමක්ද?
7 පව්කාර ආදම්ට මරණයෙන් අදහස් වන දේ යෙහෝවා සක් සුදක් සේ පැහැදිලි කර දුන්නේ මෙයාකාරයටයි: “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) ආදම් නැවත හැරීයනු ඇත්තේ කොතැනටද? භූමියට, එනම් ඔහුව මැවීමට යොදාගත් දූවිල්ලටයි. සරලවම කියතොත්, මරණයේදී ආදම් පැවැත්මෙන් තොර වනු ඇත!
8. මිනිසුන් සතුන්ට වඩා උසස් නොවන්නේ කුමන ආකාරයෙන්ද?
8 මෙසේ ගත් කල, මිනිසාගේ හා සත්වයාගේ මරණය අතර වෙනසක් නැත. උන්ද ප්‍රාණයන් වන අතර, උන්ව පණගන්වන්නේද එම “ආත්මය” නොහොත් ජීව බලයයි. (උත්පත්ති 1:24, NW) දේශනාකාරයා 3:19, 20හි, ප්‍රඥාවන්ත සාලමොන් අපට මෙසේ පවසයි: “උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය [ආත්මයය, NW]; මෙසේ [මරණයේදී] තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත . . . සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.” මිනිසා දෙවිගේ ස්වරූපයෙන්, එනම් යෙහෝවාගේ ගුණාංග පිළිබිඹු කරන ආකාරයට මවනු ලැබූ නිසා, ඔහු තිරිසනුන්ට වඩා උසස් විය. (උත්පත්ති 1:26, 27) එහෙත් මරණයේදී, මිනිසුන් මෙන්ම සතුන්ද එක හා සමානව දූවිල්ලට හැරී යයි.
9. මළවුන්ගේ තත්වය කුමක්ද? ඔවුන් යන්නේ කොතැනටද?
9 මරණයෙන් අදහස් කරන දෙය පැහැදිලි කරමින්, සාලමොන් තවදුරටත් මෙසේ පැවසුවේය: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති.” ඇත්තෙන්ම, මළ අය කිසිම දෙයක් දන්නේ නැත. තත්වය මෙය වූ බැවින්, සාලමොන් මෙසේ උනන්දු කරන්නට විය: “කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි [ෂෙයෝලයෙහි] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:5, 10) මළ අය යන්නේ කොතැනටද? මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළ වන ෂෙයෝලයටයි (හෙබ්‍රෙව්, ෂෙʼඔහ්ල්ʹ). අප ප්‍රේම කළ මියගිය අය සිහිසන් නැති තත්වයක සිටී. ඔවුන් දුක් විඳින්නේ නැත. ඔවුන්ට කොයිම ආකාරයකින්වත් අපට බලපෑම් කිරීමටද නොහැක.
10. මරණයෙන් සම්පූර්ණ අවසානයක් අදහස් නොවන බව අපට පැවසිය හැක්කේ ඇයි?
10 අපත් අප ප්‍රේම කළ අයත් ටික කලක් ජීවත් වී, සදහටම පැවැත්මෙන් නැති වී යා යුතුද? බයිබලයේ එවැන්නක් සඳහන් නොවේ. ආදම් කැරලිගැසූ අවස්ථාවේදී, මිනිසාගේ පාපයේ දරුණු ප්‍රතිවිපාක නැති කිරීමට යෙහෝවා දෙවි ඒ සඳහා වහාම විධිවිධාන යෙදුවේය. මනුෂ්‍යවර්ගයා සඳහා වූ දෙවිගේ අරමුණෙහි මරණයට තැනක් හිමි වූයේ නැත. (එසකියෙල් 33:11; 2 පේතෘස් 3:9) එනිසා, අපටවත් අප ප්‍රේම කළ අයටවත් මරණයෙන් සම්පූර්ණ අවසානයක් අදහස් විය යුතු නැත.
“සැතපී ඉන්නේය”
11. මියගිය මිත්‍ර ලාසරුස්ගේ තත්වය යේසුස් විස්තර කළේ කොහොමද?
11 ආදම්ගෙන් උරුම වූ මරණයෙන් අපවත්, අප ප්‍රේම කළ මියගිය අයවත් බේරාගැනීම යෙහෝවාගේ අරමුණයි. එනිසා, මළවුන් සැතපී සිටින බවයි දේවවචනයේ පවසන්නේ. උදාහරණයක් හැටියට, තම මිත්‍ර ලාසරුස් මියගිය බව දැනගත් යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවේය: “අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමි.” මෙම ප්‍රකාශයේ අර්ථය ඉක්මනින්ම වටහාගැනීමට ගෝලයන්ට නොහැකි වූ නිසා, යේසුස් එය මෙසේ පැහැදිලි කළේය: “ලාසරුස් මැරිලාය.” (යොහන් 11:11, 14) අනතුරුව, ලාසරුස්ගේ මරණය ගැන ශෝක වෙමින් සිටි ඔහුගේ සොහොයුරියන් වූ මාර්තා හා මරියා ජීවත් වූ නගරය වන බෙතානියට යේසුස් ගියේය. “නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේයයි” යේසුස් මාර්තාට පැවසූ විට, මිනිස් පවුලෙන් මරණයේ බලපෑම ඉවත් කිරීමට යන දෙවිගේ අරමුණ කෙරෙහි වූ තම ඇදහිල්ල ඇය මෙසේ ප්‍රකාශ කළාය: “අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමි.”—යොහන් 11:23, 24.
12. වියෝ දුකින් සිටි මාර්තාට මළවුන් ගැන තිබුණේ කෙබඳු බලාපොරොත්තුවක්ද?
12 මරණින් පසු වෙනත් තැනක ජීවත් වන අමරණීය ආත්මයක් ගැන මාර්තා කිසිම අදහසක් ඉදිරිපත් කළේ නැත. ලාසරුස් ඒ වන විටත් යම් ආත්ම ලෝකයකට ගොස් ඇතැයි කියාද විශ්වාස කළේ නැත. මළවුන්ගෙන් නැවත නැඟිටීමේ පුදුමාකාර වූ බලාපොරොත්තුව කෙරෙහි මාර්තාට ඇදහිල්ල තිබුණි. ඇය තේරුම්ගත්තේ, ලාසරුස්ගේ සිරුරෙන් අමරණීය ආත්මයක් වෙන් වූ බවක් නොව, නමුත් ඇගේ සහෝදරයා ජීවතුන් අතර නොසිටින බවයි. ඇගේ සහෝදරයාව නැවත නැඟිටුවීම ඒ සඳහා පිළියම වනු ඇත.
13. යේසුස්ට ඇත්තේ දෙවිගෙන් ලද කිනම් බලයක්ද? ඔහු ඒ බලය විදහාපෙන්වූයේ කොහොමද?
13 මනුෂ්‍යවර්ගයාව මුදාගැනීමට යෙහෝවා දෙවි බලය දී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ටයි. (හොෂෙයා 13:14) එනිසා මාර්තාගේ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙන්, යේසුස් මෙසේ පැවසුවේය: “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.” (යොහන් 11:25) දින සතරක් පුරා මියගොස් සිටි ලාසරුස්ව තබා තිබුණු සොහොන් ගෙය වෙත ගොස් ඔහුව නැවතත් ජීවත් කරවීමෙන් තමාට දෙවිගෙන් ලද බලය යේසුස් විදහාපෙන්වීය. (යොහන් 11:38-44) මෙම නැවත නැඟිටීම හෝ යේසුස් ක්‍රිස්තුස් සිදු කළ වෙනත් නැවත නැඟිටුවීම් හෝ දුටු අයට මොනතරම් ප්‍රීතියක් ඇති වන්ට ඇද්ද!—මාර්ක් 5:35-42; ලූක් 7:12-16.
14. නැවත නැඟිටීම සහ අමරණීය ආත්මයක් පිළිබඳ අදහස එකිනෙකට නොගැළපෙන කාරණා දෙකක් වන්නේ මන්ද?
14 මඳකට කල්පනා කර බලන්න: අමරණීය ආත්මයක් මරණයෙන් පසු ජීවත් වුණා නම්, කිසිම කෙනෙකුව නැවත නැඟිටුවීමටවත් යළි ජීවත් කරවීමටවත් අවශ්‍යතාවක් නොතිබෙනු ඇත. ඇත්තෙන්ම, ලාසරුස් වැනි කෙනෙකු මහිමාන්විත ස්වර්ගික විපාකයක් ලබා තිබුණා නම්, පොළොව මත අසම්පූර්ණ ජීවිතයකට ඔහුව නැවත නැඟිටුවීම කරුණාවන්ත දෙයක් නොවනු ඇත. ඇත්තටම කියනවා නම්, “අමරණීය ආත්මය” යන යෙදුම බයිබලයේ කොතැනකවත් සොයාගැනීමට නැත. ඒ වෙනුවට, ශුද්ධ ලියවිලිවල පැවසෙන්නේ පව් කරන මිනිස් ප්‍රාණය නොහොත් සම්පූර්ණ පුද්ගලයා මියයන බවයි. (එසකියෙල් 18:4, 20) එනිසා මරණය සඳහා ඇති නියම පිළියම හැටියට බයිබලය යොමු දක්වන්නේ නැවත නැඟිටීම නමැති සැපයුමටයි.
“සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්”
15. (අ) “නැවත-නැගිටීම” යන යෙදුමේ අර්ථය කුමක්ද? (ආ) පුද්ගලයන්ව නැවත නැඟිටුවීම යෙහෝවා දෙවිට ගැටලුවක් නොවන්නේ ඇයි?
15 “නැවත-නැගිටීම” සඳහා යේසුස්ගේ ගෝලයන් භාවිත කළ වචනය පදගතාර්ථයෙන්ම අදහස් කරන්නේ “නැඟිටීම” හෝ ‘සිටගැනීම’ යන්නයි. මරණය නමැති අජීවී තත්වයෙන් නැඟිටීමක්, එනම් මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළෙන් ඉවත් වී සිටගැනීමක් මෙයින් අදහස් කරයි. යෙහෝවා දෙවිට පහසුවෙන්ම පුද්ගලයෙකුව නැවත නැඟිටවිය හැකියි. ඇයි? යෙහෝවා ජීවනයේ මූලාරම්භකයා වන නිසයි. අදදින, මිනිසුන්ට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම කටහඬවල් හා රූප වීඩියෝ පටිවල පටිගත කර, එම පුද්ගලයන් මියයෑමෙන් අනතුරුව ඒවා නැවත නැවත බැලීමේ හැකියාව ඇත. එසේනම්, ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වාර්තා කොට, ඔහුට හෝ ඈට අලුතින්ම නිර්මාණය කොට තිබෙන සිරුරක් ලබා දෙමින්, එම තැනැත්තාවම නැවත නැඟිටුවීමට අපේ සර්වබලධාරි මැවුම්කරුට නිසැකවම පුළුවන්.
16. (අ) සිහි කිරීමේ සොහොන්ගෙවල්වල සිටින සියලුදෙනා ගැන යේසුස් දුන් පොරොන්දුව කුමක්ද? (ආ) පුද්ගලයෙකුගේ නැවත නැඟිටීමෙන් පසුව ඔහුට අත් වන විපාකය තීරණය වන්නේ කුමකින්ද?
16 යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවේය: “[සිහි කිරීමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) යෙහෝවාගේ මතකයේ සිටින සියලුදෙනාවම නැවත නැඟිටුවා ඔවුන්ට ඔහුගේ මාර්ග උගන්වනවා ඇත. දෙවි පිළිබඳ දැනුමට එකඟව ක්‍රියා කරන අය සඳහා, මෙය ජීවනයේ නැවත නැඟිටීමක් වනු ඇත. නමුත්, දෙවිගේ ඉගැන්වීම් හා පාලනය ප්‍රතික්ෂේප කරන අය සඳහා එය දඬුවම් නියම වූ විනිශ්චයේ නැවත නැඟිටීමක් බව ඔප්පු වනු ඇත.
17. නැවත නැඟිටුවනු ලබන්නේ කාවද?
17 යෙහෝවාගේ සේවකයන් හැටියට ධර්මිෂ්ඨ මාර්ගයක් ලුහුබැඳ තිබෙන අය නැවත නැඟිටුවනු ලබන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇත්තෙන්ම, නැවත නැඟිටීමේ බලාපොරොත්තුව බොහෝදෙනෙකුට තිබීම හේතුවෙන්, දරුණු පීඩා හමුවේ මරණයට පවා මුහුණ දීමට ඔවුන්ට ශක්තියක් ලැබී ඇත. ඔවුන්ව නැවත ජීවත් කරවීමේ හැකියාව දෙවිට ඇති බව ඔවුහු දැනසිටියහ. (මතෙව් 10:28) නමුත්, දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අවනත නොවී මියගිය මිලියන ගණන් සිටී. ඔවුන්වද නැවත නැඟිටුවනු ඇත. මේ සම්බන්ධයෙන් යෙහෝවාගේ අරමුණ ගැන නිසැක වූ ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේය: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි . . . මමත් [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.”—ක්‍රියා 24:15.
18. (අ) ප්‍රේරිත යොහන්ට නැවත නැඟිටීම ගැන ලැබුණු දර්ශනය කුමක්ද? (ආ) ‘ගිනි විලෙහි’ විනාශ කරනු ලබන්නේ කුමක්ද? මෙම ‘විල’ සංකේතවත් කරන්නේ කුමක්ද?
18 දෙවිගේ සිංහාසනය ඉදිරිපිට සිටින නැවත නැඟිටුවනු ලැබුවන් පිළිබඳ උනන්දුව දනවන දර්ශනයක් ප්‍රේරිත යොහන්ට ලැබුණි. ඒ ගැන යොහන් ලීවේ මෙසේය: “සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් [හේදීසයත්] එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය. මරණයත් පාතාලයත් [හේදීසයත්] ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය.” (එළිදරව් 20:12-14) ඒ ගැන කල්පනා කර බලන්න! දෙවිගේ මතකයේ ඇති මළ සියල්ලන්ට මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනිවළ වන හේදීසයෙන් (ග්‍රීක්, හෙයිʹඩෙස්) නොහොත් ෂෙයෝලයෙන් මිදීමේ අපේක්ෂාවක් ඇත. (ගීතාවලිය 16:10; ක්‍රියා 2:31) තමන් දෙවිට සේවය කරනවාද නැද්ද යන්න තම ක්‍රියාවලින් විදහාපෙන්වීමට ප්‍රස්තාවක් ඔවුන්ට තිබෙනු ඇත. ඊළඟට, පූර්ණ විනාශය සංකේතවත් කරන “ගිනිවිල” හෝ “ගෙහෙන්නා” ලෙසින් හඳුන්වනු ලබන තැනට “මරණයත් පාතාලයත් [හේදීසයත්]” හෙළනු ලබයි. (ලූක් 12:5, NW) නැවත නැඟිටීම අවසන් වූ විට, මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළ මුළුමනින්ම හිස්වී, එවැනි දෙයක් තවදුරටත් නොපවතිනු ඇත. දෙවි කිසිවෙකුට වධ නොදෙන බව බයිබලයෙන් දැනගැනීමට හැකිවීම මොනතරම් සැනසිල්ලක්ද!—යෙරෙමියා 7:30, 31.
නැවත නැඟිටුවන්නේ කොතැනටද?
19. මනුෂ්‍යවර්ගයාගෙන් සමහරෙකුව ස්වර්ගයට නැවත නැඟිටුවන්නේ ඇයි? දෙවි ඔවුන්ට දෙනු ඇත්තේ කෙබඳු සිරුරක්ද?
19 ස්වර්ගික ජීවනය සඳහා නැවත නැඟිටුවනු ලබන්නේ ස්ත්‍රීන් හා පුරුෂයන් සීමිත ගණනකි. යේසුස් සමඟ රජවරුන් හා පූජකයන් වශයෙන් සිටින ඔවුන්, පළමු මිනිසා වූ ආදම්ගෙන් මනුෂ්‍යවර්ගයා උරුම කරගත් මරණයේ සියලුම බලපෑම් නිෂ්ප්‍රභ කිරීමට හවුල් වනු ඇත. (රෝම 5:12; එළිදරව් 5:9, 10) ක්‍රිස්තුස් සමඟ පාලනය කිරීම සඳහා දෙවි කීදෙනෙකුව ස්වර්ගයට තෝරාගනීද? බයිබලයට අනුව 1,44,000දෙනෙකු පමණි. (එළිදරව් 7:4; 14:1) නැවත නැඟිටුවනු ලබන මොවුන්ට ස්වර්ගයේ ජීවත් වීමට හැකි වන පරිදි, යෙහෝවා ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම ආත්ම සිරුරක් දෙනු ඇත.—1 කොරින්ති 15:35, 38, 42-45; 1 පේතෘස් 3:18.
20. නැවත නැඟිටුවනු ලබන අය ඇතුළුව කීකරු මනුෂ්‍යවර්ගයා අද්දැකීමට යන්නේ කුමක්ද?
20 මියගොස් ඇති අයගෙන් වැඩිදෙනෙක් පාරාදීස පොළොවකට නැවත නැඟිටුවනු ලබයි. (ගීතාවලිය 37:11, 29; මතෙව් 6:10) ස්වර්ගයට සමහරදෙනෙකුව නැවත නැඟිටුවීමට එක් හේතුවක් වන්නේ, පොළොව සඳහා දෙවිගේ අරමුණ සම්පූර්ණ කිරීමටයි. යේසුස් ක්‍රිස්තුස් හා 1,44,000දෙනා, කීකරු මනුෂ්‍යවර්ගයාව අපේ මුල් දෙමාපියන් නැති කරගත් පරිපූර්ණත්වයට ක්‍රමානුකූලව ගෙන ඒම සඳහා ක්‍රියා කරනු ඇත. “නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහියයි” යේසුස් තමන් ළඟ වධ කනුවක ඇණගසා සිටි මියයන මිනිසාට පැවසූ විට, පරිපූර්ණත්වය ලබන්නන්ට නැවත නැඟිටුවනු ලබන අයද ඇතුළත් වන බවයි ඔහු ඇඟෙව්වේ.—ලූක් 23:42, 43.
21. අනාගතවක්තෘ යෙසායා හා ප්‍රේරිත යොහන්ට අනුව මරණයට කුමක් සිදු වනු ඇද්ද?
21 අදදින, මෙතරම් නිෂ්ඵලබවක් හටගැන්වීමට සලස්වන මරණය පාරාදීස පොළොවේදී තුරන් කරනු ඇත. (රෝම 8:19-21) යෙහෝවා දෙවි සැබවින්ම “මරණය සදාකාලයටම [ගිලදමන්නේයයි]” අනාගතවක්තෘ යෙසායා ප්‍රකාශ කළේය. (යෙසායා 25:8) කීකරු මනුෂ්‍යවර්ගයා වේදනාවෙන් හා මරණයෙන් නිදහසක් අද්දකින කාලය පිළිබඳ දර්ශනයක් ප්‍රේරිත යොහන්ට දෙනු ලැබුවේය. ‘දෙවි ඔවුන් සමඟ සිටින්නේය . . . ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’—එළිදරව් 21:1-4.
22. නැවත නැඟිටීම සම්බන්ධයෙන් ලද දැනුම ඔබට බලපාන්නේ කොහොමද?
22 මළවුන්ට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව පවතින වියවුල බයිබලයේ පැහැදිලි ඉගැන්වීම් මගින් නිරවුල් කෙරේ. විනාශ කරනු ලබන “අන්තිම සතුරා” මරණය බව ශුද්ධ ලියවිලි පැහැදිලිව ප්‍රකාශ කරයි. (1 කොරින්ති 15:26) නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන දැනගැනීමෙන් අපට ලැබෙන ශක්තියත් සැනසිල්ලත් මොනතරම්ද! තමාට ප්‍රේම කරන අය ඉදිරියෙහි තබා තිබෙන සෑම යහපත් දීමනාවක්ම භුක්ති විඳීම සඳහා, දෙවිගේ මතකයේ ඇති, මරණයෙන් වියෝ වූ අපගේ ප්රේමනීයන්ව, මරණය නමැති නින්දෙන් පුබුදුවනු ලැබීම ගැන අපට මොනතරම් සතුටු විය හැකිද! (ගීතාවලිය 145:16) එවන් ආශීර්වාද ගෙන ඒමට යන්නේ දේවරාජ්‍යය මගිනි. නමුත් එහි පාලනය ආරම්භ වීමට නියමිතව තිබුණේ කවදාද? අපි සලකා බලමු.
ඔබේ දැනුම මැන බලන්න
ආත්මය යනු කුමක්ද?
ඔබ මළවුන්ගේ තත්වය විස්තර කරන්නේ කොහොමද?
නැවත නැඟිටුවනු ලබන්නේ කාවද?
[85වන පිටුවේ පින්තූරය]
යේසුස් ලාසරුස්ව සොහොන්ගෙයින් ඉවතට හඬගැසුවාක් මෙන්, මිලියන ගණනක්ව නැවත නැඟිටුවනු ලබනවා ඇත
[86වන පිටුවේ පින්තූරය]
‘දෙවි මරණය සදාකාලයටම ගිලදමන’ විට ප්‍රීතිය හාත්පස පැතිර පවතිනු ඇත