මිය ගිය අය නැවත ජීවත් වෙයිද?
තමන් ආදරය කළ කෙනෙක් මිය ගිය විට ඔහුව හෝ ඇයව නැවත දකින්න ලැබෙයිද කියා බොහෝදෙනෙක් සිතනවා. සමහරවිට ඔබත් ඒ ගැන කල්පනා කර ඇති. නමුත් මරණය නිසා ඔබෙන් වෙන් වූ අය සමඟ නැවත ඔබට මේ පොළොවේම ජීවත් වීමට හැකියි කියා පැවසුවොත් ඔබට කෙසේ හැඟෙයිද?
අනාවැකි ඇතුළත් පොතක් වන බයිබලයේ මෙවැනි පොරොන්දුවක් සඳහන් වෙනවා. ‘මරණ නින්දෙහි සැතපී සිටින සෙනඟ යළි නැඟිටින්නෝය. ඔවුන් නැවත ජීවත් වනු ඇත.’ එහි මෙසේද සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—යෙසායා 26:19; ගීතාවලිය 37:29.
අපි දැන් මේ ප්‍රශ්න සලකා බලමු. මිනිසුන් මිය යන්නේ ඇයි? මිය ගිය අය සිටින්නේ කොහේද? ඔවුන් නැවත ජීවත් වෙයි කියා අප දන්නේ කොහොමද?
මරණයට හේතුව හා මරණින් පසු සිදු වන දේ
දෙවි මිනිසාව නිර්මාණය කළේ මිය යෑමට නොව සදාකාලයටම ජීවත් වීමටයි කියා බයිබලයේ සඳහන් වෙනවා. මුල්ම මිනිස් යුවළ වන ආදම් සහ ඒවව ඒදන් නමැති ලස්සන උයනේ දෙවි පදිංචි කෙරෙව්වා. දරුවන් හදන්න කියාත් මේ මුළු පොළොවම ඒ උයන මෙන් ලස්සන කරන්න කියාත් දෙවි ඔවුන්ට පැවසුවා. ඔවුන් මිය යන්නේ දෙවිගේ අණට අකීකරු වුණොත් පමණයි කියා දෙවි පැවසුවා.—උත්පත්ති 1:28; 2:15-17.
ආදම් සහ ඒව, දෙවි ඔවුන්ට දුන් සියල්ල අගය කළේ නැහැ. ඔවුන් දෙවිට අකීකරු වුණා. ඒ නිසා දෙවි පැවසූ ලෙසම ඔවුන්ට මරණ දඬුවම අත් වුණා. දෙවි ආදම්ට මෙසේ පැවසුවා. ‘භූමියෙන් ගන්නා ලද ඔබ භූමියට හැරී යයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.’ (උත්පත්ති 3:19) ආදම්ව නිර්මාණය කිරීමට පෙර ඔහු කොහේවත් ජීවත් වුණේ නැහැ. දෙවි ඔහුව සෑදුවේ දූවිල්ලෙන්. ඔහු දෙවිට අකීකරු වූ නිසා ඔහු මිය ගිය අතර නැවතත් දූවිලි බවට පත් වුණා. එනම් ඔහුගේ පැවැත්ම එතැනින් අවසන් වුණා.
එසේනම් මරණය ජීවිතයේ අවසානයයි. ඒ නිසයි බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙන්නේ. ‘අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.’ (රෝම 6:23) මරණය යනු කිසිම හැඟීමක් දැනීමක් නැති තත්වයක්. බයිබලයේ එය මෙසේ පැහැදිලි කරනවා. ‘ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දන්නවා. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැහැ.’—දේශනාකාරයා 9:5.
ඒත් සමහර අය මෙසේ අසනවා. ‘කෙනෙක් මැරුණට පස්සේ එයාගේ ආත්මය ශරීරයෙන් පිට වී කොහේ හරි තැනක ජීවත් වෙනවා නේද?’ බොහෝදෙනෙක් එවැනි මත පිළිගන්නා අතර ඔවුන් කියා සිටින්නේ මරණයෙන් තවත් ජීවිතයකට මඟ විවර වෙනවා කියායි. නමුත් බයිබලයේ එවැනි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. එහි සඳහන් වෙන්නේ, මිනිසා ‘අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යයි. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යයි’ කියායි. (ගීතාවලිය 146:3, 4) මිය ගිය අයට කිසිවක් දැනෙන්නේ නැත්නම් ඔවුන්ට කල්පනාවක් නැත්නම් මරණයෙන් පසු ඔවුන් වෙනත් ස්ථානයක ජීවත් වෙනවා කියා පැවසිය හැකිද? එසේ පැවසිය නොහැකියි. මරණය ඔවුන්ගේ ජීවිතයේ අවසානයයි.
කෙසේවෙතත් ඔබට මෙසේ සිතෙන්න ඉඩ තිබෙනවා. දෙවිට අකීකරු වුණේ ආදම් සහ ඒවනේ. ඇයි අපි මැරෙන්නේ? ඊට හේතුව අප සියලුදෙනාම ඉපදුණේ අපේ මුල් පියා වන ආදම්, දෙවිට අකීකරු වූ පසුවයි. ඒ නිසා අපට ඔහුගෙන් පාපය හා මරණය උරුම වී තිබෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. ‘එක් මිනිසෙකු [ආදම්] පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. ඒ නිසා මරණය සියලුදෙනාටම උරුම විය.’—රෝම 5:12; යෝබ් 14:4.
මිය ගිය අයට නැවත ජීවනය ලැබෙන්නේ කොහොමද?
පව්කාර ස්වභාවය හා මරණය අපට උරුම වී තිබුණත් දෙවි ඊට විසඳුමක් ලෙස මිය ගිය අයට නැවත ජීවිතය ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ ‘ආබ්‍රහම් [තම පුත්‍රයා වන] ඊසාක්ව මරණයෙන් පවා නැඟිටුවන්න දෙවිට හැකි බව තේරුම්ගෙන සිටියා’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 11:17-19) මිය ගිය කෙනෙක් නැවත නැඟිටින බව අපටත් විශ්වාස කළ හැකියි. මන්ද බයිබලයේ දෙවි ගැන පැහැදිලි කර තිබෙන්නේ, ඔහු මිය ගොස් ඇති අයගේ දෙවි නොව ජීවත් වන අයගේ දෙවි ලෙසයි. මන්ද දෙවි මිය ගිය අයව සලකන්නේ ජීවත් වන අය හැටියටයි.—ලූක් 20:37, 38.
මිය ගිය අයව නැවත නැඟිටුවන්න සියලු බලැති දෙවිට හැකියාවක් මෙන්ම ආශාවක් තිබෙනවා. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “මේ ගැන පුදුම වෙන්න එපා. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා.”—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.
ඒ දේ පවසා වැඩි කල් යන්න කලින් යේසුස් නායින් නුවරට යන විට අවමගුල් පෙරහැරක් දුටුවා. මිය ගිහින් තිබුණේ වැන්දඹු ස්ත්‍රියකගේ එකම පුත්‍රයායි. එම ස්ත්‍රියගේ ශෝකය දුටු විට යේසුස්ට මහත් අනුකම්පාවක් දැනුණා. ඔහු දේහය දෙස බලා මෙසේ පැවසුවා. “තරුණය, දැන් නැඟිටින්න.” එවිට එම තරුණයා නැඟිට්ටා. පසුව යේසුස් ඔහුව ඔහුගේ මවට භාර දුන්නා.—ලූක් 7:11-17.
ඒ හා සමාන ප්‍රීතියක් සිනගෝගයේ නිලධාරියෙකු වූ යායිරස්ගේ නිවසේ සිටි අයටත් අද්දකින්න හැකි වුණා. යායිරස්ගේ 12 හැවිරිදි දියණිය මිය ගිය විට යේසුස් එම නිවසට ගොස් දැරිය අමතා මෙසේ පැවසුවා. “දුවේ, නැඟිටින්න.” එවිට ඇය නැඟිට්ටා.—ලූක් 8:40-56.
ටික කාලයකට පසුව යේසුස්ගේ මිත්‍රයා වූ ලාසරුස් මිය ගියා. යේසුස් ඔහුගේ නිවසට යන විට ඔහු මිය ගිහින් දවස් හතරක් ගත වී තිබුණා. දැඩි ශෝකයෙන් සිටි ඔහුගේ සහෝදරිය වූ මාර්තා ඇයට තිබූ බලාපොරොත්තුව ගැන යේසුස්ට මෙසේ පැවසුවා. “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී ඔහු නැඟිටින බව මම දන්නවා.” නමුත් යේසුස් සොහොන ළඟට ගොස් එයට හේත්තු කර තිබූ ගල ඉවත් කරන්න කියා එතැන සිටි අයට පවසා, මෙසේ හඬ ගැසුවා. “ලාසරුස්, පිටතට එන්න.” එවිට ලාසරුස් පිටතට ආවා.—යොහන් 11:11-44.
දැන් මේ ගැන සිතන්න. ලාසරුස් මිය ගොස් සිටි දවස් හතර තුළ ඔහුට කුමක්ද සිදු වුණේ? ඔහු ස්වර්ගයේ සතුටින් සිටියා කියාවත් නිරයේ දුක් විඳිමින් සිටියා කියාවත් පැවසුවේ නැහැ. එවැනි දෙයක් සිදු වුණා නම් ඔහු ඒ ගැන පවසන බව නිසැකයි. ලාසරුස් සිටියේ කිසිම දෙයක් නොදන්නා තත්වයකයි. යේසුස් ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටුවේ නැත්නම් ‘නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලය’ වන තුරු ඔහු එලෙසම සිටීවි.
යේසුස් කළ එම ආශ්චර්යයන්වලින් ලැබුණු ප්‍රයෝජන තාවකාලිකයි. මන්ද මරණයෙන් නැඟිටවනු ලැබූ අය නැවත මිය ගියා. නමුත් අවුරුදු 1,900කට පෙර සිදු කළ එම දෙයින් යේසුස් යමක් ඔප්පු කළා. එනම් මිය ගිය අයට නැවත ජීවිතය ලබා දෙන්න දෙවිට පුළුවන් බවයි. එදා යේසුස් කුඩා පරිමාණයෙන් කළ ආශ්චර්යයන්වලින් පෙන්නුවේ දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී මහා පරිමාණයෙන් ඉටු වීමට නියමිත දේවලුයි.
ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
මිය ගිය අය අනාගතයේදී නැවත ජීවත් වීමට යන බව ඔබ විශ්වාස කළත් ආදරය කළ කෙනෙක් මිය ගිය විට ඉමහත් වේදනාවක් දැනිය හැකියි. මිය ගිය කෙනෙක් නැවත නැඟිටින බව ආබ්‍රහම් විශ්වාස කළා. ඒත් ඔහුගේ භාර්යාව මිය ගිය විට ‘ඔහු ඇය ළඟට ගොස් හඬා වැලපුණා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 23:2) යේසුස්ටත් වියෝදුක දැනුණාද? ඔව්. ලාසරුස් මිය ගිය විට ‘යේසුස්ට මහත් ශෝකයක් දැනුණා. ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා.’ (යොහන් 11:33, 35) එසේනම් ඔබ ආදරය කළ කෙනෙකු මිය ගිය විට හැඬීමේ වරදක් නැහැ.
දරුවෙක් මිය ගිය විට එය විශේෂයෙන්ම මවකට දරාගත නොහැකි වේදනාවක්. එවැනි අවස්ථාවක මවකට දැනෙන්නේ විශාල දුකක් කියා බයිබලයෙත් සඳහන් වෙනවා. (2 රාජාවලිය 4:27) පියෙකුටත් ඒ දුක දැනෙනවා. දාවිත් රජුගේ පුත්‍රයා වන අබ්සලොම් මිය ගිය විට, “ඔබ වෙනුවට මම මැරුණා නම් හොඳයි” කියා ඔහු හඬා වැලපුණේ ඒ නිසයි.—2 සාමුවෙල් 18:33.
මිය ගිය අය නැවත නැඟිටින බව දැනගැනීමට ලැබීම මොන තරම් සහනයක්ද! ඒ නිසා අප ආදරය කරන කෙනෙක් මිය ගිය විට සනසවන්න බැරි ආකාරයට අප දුක් වෙන්නේ නැහැ. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “කිසි බලාපොරොත්තුවක් නැති වෙනත් අය මෙන් ශෝකයෙන් සිටීමට ඔබට සිදු වන්නේ නැත.” (1 තෙසලෝනික 4:13) ඔබ වියෝදුකට මුහුණ දෙන විට ඔබට හැකියි නිතර යාච්ඤා කිරීමෙන් දෙවිට ළං වෙන්න. එවිට ‘දෙවි ඔබව ශක්තිමත් කරයි.’—ගීතාවලිය 55:22.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ශුද්ධ බයිබලය—නව ලොව පරිවර්තනය නමැති පරිවර්තනයෙනි.