ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 8/15 10-15 පි.
  • යෙහෝවා අපේ විශ්වාසය විය යුතුයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා අපේ විශ්වාසය විය යුතුයි
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනුම හා මිත්‍රත්වය මත පදනම් වූ විශ්වාසය
  • යෙහෝවාගේ තේරීම් සම්බන්ධයෙන් විශ්වාසය විදහාපෑම
  • යෙහෝවාගේ තේරීම් අභිභවා යෑමෙන් වළකින්න
  • යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසය විදහාපෑම
  • දෙවිගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ඇති අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය නැවත ගොඩනැංවිය හැකියි!
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ ප්‍රේමය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘පෙනීමෙන් නොව, ඇදහිල්ලෙන් ගමන් කිරීම’
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 8/15 10-15 පි.

යෙහෝවා අපේ විශ්වාසය විය යුතුයි

“එනයින් යෙහෝවා ඔබේ විශ්වාසය වන්නේය.”—හිතෝපදේශ 3:26, NW.

1. බොහෝදෙනෙක් දෙවිව විශ්වාස කරනවායයි කීවත්, ඔවුන් සැමවිටම එසේ නොකරන බව අඟවන්නේ කුමක්ද?

අමෙරිකා එක්සත් ජනපදයේ මුදල්වල “අපි දෙවි කෙරෙහි විශ්වාස කරමු” යන ආදර්ශ පාඨය දක්නට ලැබෙනවා. නමුත් ඒ විනිමය ඒකකය පාවිච්චි කරන එම රටේ සිටින හෝ වෙනත් තැනක සිටින අය ඇත්තටම දෙවි කෙරෙහි විශ්වාසය තබනවාද? එසේත් නැතිනම් ඔවුන් වැඩි විශ්වාසය තබන්නේ මුදල් කෙරෙහිද? එම රටේ හෝ වෙනත් රටක මුදල් කෙරෙහි තබන විශ්වාසය, තම බලය අයුතු අන්දමින් කෙදිනකවත් පාවිච්චි නොකරන මෙන්ම කොයි අන්දමකින්වත් ගිජු නොවන ප්‍රේමයේ සර්ව බලධාරි දෙවි කෙරෙහි තබන විශ්වාසය හා සන්සන්දනය කරන්න බැහැ. ඇත්තෙන්ම කියනවා නම්, ඔහු ගිජුකම තරයේ හෙළා දකිනවා.—එපීස 5:5, NW.

2. වස්තුවේ ඇති බලය සම්බන්ධයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට ඇත්තේ කෙබඳු ආකල්පයක්ද?

2 සැබෑ ක්‍රිස්තියානීන්, “මුළා කිරීමේ බලයක්” ඇති වස්තුව කෙරෙහි නොව, නමුත් දෙවි කෙරෙහි විශ්වාසය තබනවා. (මතෙව් 13:22, NW) සතුට වඩවාලීමටත් ජීවිතය පවත්වාගැනීමටත් මුදලට තිබෙන හැකියාව ඉතා සීමා සහිත බව ඔවුන් වටහාගෙන තිබෙනවා. නමුත් සර්ව බලධාරි දෙවි සම්බන්ධයෙන් එය සත්‍යයක් නෙවෙයි. (ශෙපනියා 1:18) එමනිසා මෙම අවවාදය කොයිතරම් නැණවත්ද: “නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි [ඔහුම] කියා තිබේ.”—හෙබ්‍රෙව් 13:5.

3. ද්විතීය කථාව 31:6හි අවට පාඨ සම්බන්ධය පාවුල් එම ඡේදය උපුටා දැක්වීම මත ආලෝකය හෙළන්නේ කොහොමද?

3 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ඉහත සඳහන් වචන ලියද්දී, ප්‍රේරිත පාවුල් මෝසෙස් තම මරණයට කලින් ඉශ්‍රායෙලිතයන්ට පැවසූ වචන උපුටා දැක්වූවා: “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ [යෙහෝවාම] නුඹ සමඟ [යන්නේය; ඔහු] නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත.” (ද්විතීය කථාව 31:6) තම ද්‍රව්‍යමය අවශ්‍යතා සපයාවියයි විශ්වාස කරනවාට වඩා ඔබ්බට විහිදී ගිය විශ්වාසයක් යෙහෝවා කෙරෙහි වර්ධනය කිරීමට මෝසෙස් දිරිගන්වමින් සිටි බව අවට පාඨ සම්බන්ධය පෙන්වයි. එසේ වන්නේ කොහොමද?

4. තමාව විශ්වාස කළ හැකි බව දෙවි ඉශ්‍රායෙලිතයන්ට ඔප්පු කර පෙන්නුවේ කොහොමද?

4 ඉශ්‍රායෙලිතයන් අවුරුදු 40ක් පුරා පාළුකරයේ සැරිසරමින් සිටි කාලයේදී, දෙවි ඔවුන්ගේ ජීවිතයේ අවශ්‍යතා විශ්වාසවන්ත ලෙස සැපයීමෙන් වැළකුණේ නැහැ. (ද්විතීය කථාව 2:7; 29:5) එමෙන්ම ඔහු ඔවුන්ට නායකත්වයත් සැපයුවා. “කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට” ඔවුන්ව මඟ පෙන්වනු ලැබූ දවාලේ වලාකුළද රාත්‍රියේ ගින්නද මෙයට එක් සාක්ෂියක් වුණා. (නික්මයාම 3:8; 40:36-38) පොරොන්දු දේශයට ඇතුල් වීමට නියම කාලය ඇත්තෙන්ම පැමිණි විට, මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා හැටියට දෙවි යෝෂුවාව තෝරාගත්තා. එම දේශයේ පදිංචි වී සිටින්නන් විරුද්ධකම් දැක්වීමට ඉඩ තිබුණා. නමුත් යෙහෝවා තම සෙනඟ සමඟ දශක ගණනාවක් පුරා ගමන් කර තිබුණා; ඉතින් භය වෙන්න කාරණයක් තිබුණේ නැහැ. යෙහෝවා විශ්වාසය තැබිය හැකි දෙවිකෙනෙක් කියා සිතීමට ඉශ්‍රායෙලිතයන්ට සෑම හේතුවක්ම තිබුණා.

5. පොරොන්දු දේශයට ඇතුල් වීමට පෙර ඉශ්‍රායෙලිතයන්ට තිබූ තත්වය, අදදින ක්‍රිස්තියානීන්ගේ තත්වයට සමාන වන්නේ කොහොමද?

5 අදදින ක්‍රිස්තියානීන් පාළුකරයක් බඳු වර්තමාන දුෂ්ට පිළිවෙළ මැදින් ගමන් කරමින් දෙවිගේ නව ලොව කරා ඇදෙමින් සිටිනවා. සමහරක් අය මෙම ගමනේ යෙදී ඇත්තේ අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් පුරායි. දැන් ඔවුන් දෙවිගේ නව ලොවේ මායිමෙයි සිටින්නේ. නමුත් සතුරන් තවමත් හරහට සිටියි; කිරියෙන් මීපැණියෙන් ගලාගිය ඉපැරණි එකටත් වඩා තේජවත් වූ එකක් මෙන් වීමට යන පොරොන්දු දේශයට ඇතුල් වීමට බාධා කිරීමේ පරමාර්ථයෙනුයි ඔවුන් එහෙම සිටින්නේ. එමනිසා “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි” යන පාවුල් විසින් නැවත පැවසූ මෝසෙස්ගේ වචන අදදින ක්‍රිස්තියානීන්ට කොතරම් යෝග්‍යද! ඇදහිල්ලෙන් පූර්ණව, යෙහෝවා කෙරෙහි විශ්වාසය තබමින් ශක්තිමත්ව හා ධෛර්යය ඇතුව සිටින සියලුදෙනාම විපාක ලබනවා නොඅනුමානයි.

දැනුම හා මිත්‍රත්වය මත පදනම් වූ විශ්වාසය

6, 7. (අ) යෙහෝවා කෙරෙහි තිබූ ආබ්‍රහම්ගේ විශ්වාසය පරීක්ෂණයට ලක් කළේ කුමක්ද? (ආ) ඊසාක්ව පූජා කිරීමට තිබූ ස්ථානයට ආබ්‍රහම් ගමන් කරමින් සිටි විට ඔහුට කෙසේ හැඟෙන්න ඇද්ද?

6 එක් අවස්ථාවකදී තම පුතාව දවන පූජාවක් ලෙස ඔප්පු කරන හැටියට ඉශ්‍රායෙලිතයන්ගේ ආදිපියා වූ ආබ්‍රහම්ට ආඥා කළා. (උත්පත්ති 22:2) මෙතරම් ක්ෂණිකව කීකරු වන තරමට යෙහෝවා කෙරෙහි බිඳලිය නොහැකි විශ්වාසයක් ඇති කරගැනීමට මෙම ප්‍රේමනීය පියාට හැකි කරවූයේ කුමක්ද? හෙබ්‍රෙව් 11:17-19 මෙසේ පිළිතුරු දෙයි: “ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය. එසේය: නුඹේ වංශය ප්‍රකාශවන්නේ ඊසාක්ගෙන්යයි යමෙකුට කියනලද්දේද, ඒ පොරොන්දු සන්තෝෂයෙන් පිළිගත් ඔහු තමාගේ ඒකජාතක පුත්‍රයාව පූජාකරමින් සිටියේය, මළවුන්ගෙන් පවා නැගුටුවන්ට [දෙවිට] පුළුවනැයි ඔහු කල්පනාකොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.”

7 පූජාව සිදුවීමට නියමිතව තිබූ ප්‍රදේශයට යෑමට ආබ්‍රහම්ට හා ඊසාක්ට දින තුනක් ගත වූ බව සිහියට නඟන්න. (උත්පත්ති 22:4) තමාට කිරීමට තිබුණු දේ ගැන දෙපාරක් සිතීමට ආබ්‍රහම්ට ඇති තරම් කාලය තිබුණා. ඔහුට ඇති වූ හැඟීම් හා චිත්තවේගයන් මොනවාද කියා අපට හිතාගන්න පුළුවන්ද? ඊසාක්ගේ උපත නොසිතූවිරූ ප්‍රීතියකට දායක වුණා. එම දිව්‍ය මැදහත් වීමේ ප්‍රකාශය මගින් ආබ්‍රහම් හා ඔහුගේ වඳව සිටි භාර්යාව වූ සාරා දෙවි සමඟ කලින් තිබූ සබඳතාව තීව්‍ර කළා. ඉතින් ඉන්පසුව ඔවුන් ජීවත් වූයේ ඊසාක්ට හා ඔහුගේ පැවතෙන්නන්ට මොන අනාගතයක් තිබේවිදැයි අපේක්ෂාවෙනි. දෙවි ඒ මොහොතේදී ඇසූ දේ නිසා, පෙනෙන ප්‍රකාරයට ඔවුන්ගේ සිහින හදිසි අවසානයකටද පැමිණෙමින් තිබුණේ?

8. යෙහෝවා කෙරෙහි ආබ්‍රහම්ට තිබූ විශ්වාසය, දෙවිට ඊසාක්ව නැවත නැඟිටවිය හැකියි යන්න විශ්වාස කරනවාට වඩා බලගතු වූයේ කොහොමද?

8 කුලුපග මිතුරන් දෙදෙනෙකු අතරේ තිබෙන පෞද්ගලික දැනුම මත පදනම් වූ විශ්වාසයක් ආබ්‍රහම්ට තිබුණා. ‘දෙවිගේ මිතුරා’ හැටියට ආබ්‍රහම් ‘දෙවි විශ්වාස කළේය, එය ඔහුව ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබුවේය.’ (යාකොබ් 2:23) දෙවිට ඊසාක්ව නැවත නැඟිටවිය හැකියි යන්න විශ්වාස කරනවාට වඩා බලගතු වූ විශ්වාසයක් ආබ්‍රහම්ට තිබුණා. ආබ්‍රහම්ට සියලු දත්ත නොතිබුණත්, යෙහෝවා තමන්ගෙන් ඉල්ලමින් සිටියේ සුදුසු දෙය බවට ඔහුට නිසැකකමක් තිබුණා. තම ඉල්ලීම කිරීමේදී යෙහෝවා ධර්මිෂ්ඨදැයි ප්‍රශ්න කිරීමට ඔහුට කිසිදු හේතුවක් තිබුණේ නැහැ. තවද ඊසාක්ව ඇත්තටම මරා පූජා කිරීමෙන් වළකාලීම සඳහා යෙහෝවාගේ දූතයා මැදිහත් වූ විට ආබ්‍රහම්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් වුණා.—උත්පත්ති 22:9-14.

9, 10. (අ) මීට කලින්, යෙහෝවා කෙරෙහි ආබ්‍රහම් විශ්වාසය විදහාපා තිබුණේ කවදාද? (ආ) අපට ආබ්‍රහම්ගෙන් උගත හැකි වැදගත් පාඩම කුමක්ද?

9 මෙම සිද්ධියට අවුරුදු 25කට කලින්, යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි මෙයාකාරම විශ්වාසයක් ආබ්‍රහම් විදහාපා තිබුණා. සොදොම සහ ගොමොරාවේ විනාශය ගැන අනතුරු ඇඟවීමෙන් පසු, තම බෑනා වූ ලොත් ඇතුළු සිටිය හැකි වෙනත් ධර්මිෂ්ඨ මිනිසුන් ගැන ඔහු නිතැතින්ම සැලකිලිමත් වුණා. මෙම වචන සමඟින් ආබ්‍රහම් දෙවිට ආයාචනා කළා: “එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ [විනිශ්චයකාරයා] යුක්තිය [නොකරන්නේද?]”—උත්පත්ති 18:25.

10 යෙහෝවා කිසිම අධර්මිෂ්ඨ දෙයක් නොකරන බවට ආදිපියා වූ ආබ්‍රහම් නිසැක වී සිටියා. පසු කලකදී ගීතිකාකාරයා මෙසේ ගැයුවා: “යෙහෝවා ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය [පක්ෂපාතය, NW].” (ගීතාවලිය 145:17) එසේනම් අපෙන්ම මෙසේ අසාගැනීම වටී: යෙහෝවාගේ ධර්මිෂ්ඨකම සැක කරන්නේ නැතුව මම ඔහු ඉඩ දෙන ඕනෑම අද්දැකීමක් භාරගන්නවාද? ඔහු ඉඩ දෙන ඕනෑම දෙයක් මගේ යහපතටත් අන්‍යයන්ගේ යහපතටත් දායක වෙයි කියා මට නිසැකද? අපට ඔව් කියා පිළිතුරු දිය හැකි නම් අප ආබ්‍රහම්ගෙන් වැදගත් පාඩමක් ඉගෙනගෙනයි තිබෙන්නේ.

යෙහෝවාගේ තේරීම් සම්බන්ධයෙන් විශ්වාසය විදහාපෑම

11, 12. (අ) දෙවිගේ සේවකයන්ට අවශ්‍යව ඇත්තේ විශ්වාසයේ කොයි මුහුණුවරද? (ආ) සමහරක් අවස්ථාවලදී අපට ගැටලුවක් විය හැක්කේ කුමක්ද?

11 යෙහෝවා තමන්ගේ විශ්වාසය කරගන්න සියල්ලන්, යෙහෝවා තම අරමුණ ඉටු කරගැනීමට යොදාගන්නා මිනිසුන් කෙරෙහිත් විශ්වාසය තබනවා. ඉශ්‍රායෙලිතයන්ට මෙයින් අදහස් කළේ, මෝසෙස් හා පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා කෙරෙහිත් විශ්වාසය තැබීමයි. මුල් ක්‍රිස්තියානීන්ට එයින් අදහස් කළේ, යෙරුසලෙම් සභාවේ සිටි ප්‍රේරිතයන් හා වැඩිමහල්ලන් කෙරෙහි විශ්වාසය තැබීමයි. අදදින අපට එයින් අදහස් වන්නේ, “නියම වේලාවට කෑම” දීමට පත් කර සිටින “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කෙරෙහිත් ඔවුන් අතරෙන් සෑදුණු පාලක මණ්ඩලය කෙරෙහිත් විශ්වාසය තැබීමයි.—මතෙව් 24:45.

12 ඇත්තෙන්ම, ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන අය කෙරෙහි විශ්වාසය තැබීම අපගේම යහපතට දායක වෙන්න යනවා. ඒ ගැන අපට මෙසේ පවසා තිබෙනවා: “නුඹලාගේ ප්‍රධානියෝ [නුඹලා අතරේ පෙරමුණගන්නෝ, NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.”—හෙබ්‍රෙව් 13:17.

යෙහෝවාගේ තේරීම් අභිභවා යෑමෙන් වළකින්න

13. පෙරමුණ ගෙන කටයුතු කිරීමට පත් කර ඇති අය කෙරෙහි විශ්වාසය තැබීමට අපට ඇති හේතුව කුමක්ද?

13 යෙහෝවාගේ සෙනඟ අතරේ පෙරමුණ ගන්නා අය කෙරෙහි දක්වන විශ්වාසය සම්බන්ධයෙන් සමබර වීමට බයිබලය අපට උපකාර කරනවා. අපට අපෙන්ම මෙසේ අසන්න පුළුවන්: ‘මෝසෙස්ගේ අතින් කවදා හෝ වැරදි සිද්ධ වුණාද? යේසුස් ප්‍රේරිතයන්ට තිබෙනවාට කැමති වූ ක්‍රිස්තුස් බඳු ආකල්පය ඒ අයට සැමවිටම තිබුණාද?’ පිළිතුරු පැහැදිලියි. ඔවුන් අසම්පූර්ණ වුණත්, තම සෙනඟට මඟ පෙන්වීම සඳහා යෙහෝවා පක්ෂපාතී භක්තිවන්ත පුරුෂයන්ව තෝරාගෙන තිබෙනවා. එයාකාරයෙන්ම, අදදින සිටින වැඩිමහල්ලන් අසම්පූර්ණ වුණත්, ඔවුන්ව ‘දෙවිගේ සභාව කෙරෙහි එඬේරකම් කිරීම සඳහා ශුද්ධාත්මයෙන් [පත් කළ] අවේක්ෂකයන්’ හැටියට අප දැන් පවා ඒත්තුගෙන සිටීම අවශ්‍යයි. ඔවුන් අපේ සහය හා ගෞරවය ලැබීමට වටිනවා.—ක්‍රියා 20:28, NW.

14. නායකයා හැටියට ආරොන්ව හා මිරියාම්ව තෝරාගන්නවා වෙනුවට, යෙහෝවා මෝසෙස්ව තේරීමේ ඇති විශේෂත්වය කුමක්ද?

14 ආරොන් මෝසෙස්ට වඩා අවුරුදු තුනක් වයසින් වැඩිමල් වුණත්, ඔවුන් දෙදෙනාම තම සහෝදරී වූ මිරියාම්ට වඩා වයසින් බාලව හිටියා. (නික්මයාම 2:3, 4; 7:7) තවද මෝසෙස්ට වඩා ආරොන් කතාවට දක්ෂව හිටි නිසා, ඔහු ඔහුගේ සහෝදරයාගේ කතාකරුවා හැටියට සේවය කිරීමට පත් කර තිබුණා. (නික්මයාම 6:29–7:2) එහෙත් ඉශ්‍රායෙලිතයන්ගේ නායකයා හැටියට වැඩිමලා වූ මිරියාම්වවත් කතාවට දක්ෂයා වූ ආරොන්වවත් යෙහෝවා තෝරාගත්තේ නැහැ. එවකට තිබූ තත්වයේ සියලු අවශ්‍යතා හා එයට සම්බන්ධව තිබූ කරුණු තේරුම්ගෙනයි මෝසෙස්ව ඔහු තේරුවේ. ඔවුන් කලකට නිසි තීක්ෂ්ණ බුද්ධියෙන් හීන වූ විට, ආරොන් හා මිරියාම් මෙසේ පැමිණිලි කරන්න පටන්ගත්තා: ‘යෙහෝවා කතා කෙරෙව්වේ මෝසෙස් ලවා පමණක්ද? ඔහු අප ලවාත් කතා කෙරෙව්වේ නැද්ද?’ ආරවුල උසිගැන්වීමට බොහෝදුරට මුල් වූ මිරියාම්, යෙහෝවාගේ තේරීම කෙරෙහි දැක්වූ මෙම අගෞරවනීය ආකල්පය නිසා දඬුවම් ලැබුවා. ඇත්තෙන්ම ඇය හා ආරොන් මෝසෙස්ව “පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත” තැනැත්තා හැටියට හඳුනාගැනීමට යුතුව තිබුණා.—ගණන් කථාව 12:1-3, 9-15.

15, 16. යෙහෝවා කෙරෙහි තමාට විශ්වාසය තිබූ බව කාලෙබ් ඔප්පු කළේ කොහොමද?

15 පොරොන්දු දේශයට යැවූ ඔත්තුකාරයන් 12දෙනාගෙන් 10දෙනෙකු නිෂේධාත්මක වාර්තාවක් ගෙනාවා. කානානිවරුන් “බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝ” කියා කියමින් ඉශ්‍රායෙලිතයන්ගේ හදවත් තුළ ඔවුන් චකිතයක් ඇති කළා. මෙහි ප්‍රතිඵලය වූයේ ඉශ්‍රායෙලිතයන් ‘මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කෙඳිරීමයි.’ නමුත් සෑම ඔත්තුකාරයෙක්ම යෙහෝවා හා මෝසෙස් කෙරෙහි විශ්වාසයේ ඌනතාවක් විදහාපෑවේ නැහැ. අපට මෙසේ කියවීමට තිබෙනවා: “කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවන.” (ගණන් කථාව 13:2, 25-33; 14:2) කාලෙබ්ගේ සෙසු ඔත්තුකාරයා වූ යෝෂුවාද එම ස්ථාවරයම දැරුවා. ඔවුන් දෙදෙනාම යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ බව, මෙසේ පැවසූ අවස්ථාවේදී පෙන්නුම් කළා: ‘යෙහෝවා අප කෙරෙහි ප්‍රසන්න වන්නේ නම් කිරි සහ මීපැණි ගලායන දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. . . . ඒ දේශයේ සෙනඟට නම් භය නොවෙන්න. . . . යෙහෝවා අප සමඟ සිටින්නේය. ඔවුන්ට භය නොවන්න.’ (ගණන් කථාව 14:6-9) යෙහෝවා කෙරෙහි තැබූ මෙම විශ්වාසයට විපාක දෙනු ලැබුවා. එනම් එවකට හිටිය වැඩිහිටි පරම්පරාවෙන්, කාලෙබ්, යෝෂුවා හා සමහරක් ලෙවීවරුන්ට පමණයි පොරොන්දු දේශයට ඇතුල් වීමේ වරප්‍රසාදය ලැබුණේ.

16 අවුරුදු කිහිපයකට පසු කාලෙබ් මෙසේ පැවසුවා: ‘මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි වූ යෙහෝවා අනුව ගියෙමි. . . . බලව, ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයෙහි හැසුරුණු කල්හි යෙහෝවා මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ සතළිස් පස් අවුරුද්ද තුළ යෙහෝවා කී හැටියට මා ජීවත් කොට රක්ෂා කළේය. අද මම අසූපස් අවුරුද්දක් වයස්ව සිටිමි. මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. . . . මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන් දැනුත් තිබේ.’ (යෝෂුවා 14:6-11) කාලෙබ්ගේ ඒකාන්ත ආකල්පයත් ඇදහිල්ලත් ඔහුගේ ශාරීරික හැකියාවනුත් සැලකිල්ලට ගන්න. එහෙත් මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා හැටියට කාලෙබ්ව යෙහෝවා තෝරාගෙන තිබුණේ නැහැ. මේ වරප්‍රසාදය යෝෂුවාටයි ලබා දුන්නේ. යෙහෝවා ගත් තීරණයට හොඳ හේතු තිබූ බව අපට විශ්වාස කළ හැකි අතර, නොඅනුමානවම එය හොඳම තේරීම වුණා.

17. පේතෘස් වගකීම් සඳහා සුදුසු නැති බව පෙනෙන්ට සලස්වන්න ඇත්තේ මොන දේවල්ද?

17 ප්‍රේරිත පේතෘස් තුන් වතාවක් තම ස්වාමියාව නාඳුනන බවට ප්‍රකාශ කළා. උත්තම පූජකයාගේ දාසයාගේ කන කපමින්, ඔහු කලබලකාරි ලෙස තමාගේ අතට සියලු දේ නතු කරගෙන තිබුණා. (මතෙව් 26:47-55, 69-75; යොහන් 18:10, 11) පේතෘස් බයාදු අසමබර පුද්ගලයෙකු බවත් විශේෂ වරප්‍රසාද ලැබීමට නුසුදුසු බවත් සමහරුන් කල්පනා කරන්න පුළුවන්. එහෙත් කණ්ඩායම් තුනකට ස්වර්ගීය කැඳවීමේ මාර්ගය විවෘත කර දීමේ වරප්‍රසාදය ඇතුව රාජ්‍යයේ යතුරු භාර දුන්නේ කාටද? එය දුන්නේ පේතෘස්ටයි.—ක්‍රියා 2:1-41; 8:14-17; 10:1-48.

18. යූද් විසින් සඳහන් කළාක් මෙන් අප වැළකිය යුතු වරද කුමක්ද?

18 මෙයින් අදහස් කරන්නේ අප පිටාතර පෙනුම මත පදනම්ව විනිශ්චය කරද්දී පරෙස්සම් විය යුතු බවයි. අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා නම්, ඔහුගේ තේරීම් අප සැක කරන්න යන්නේ නැහැ. ඔහුගේ භූමික සංවිධානය අසම්පූර්ණ මනුෂ්‍යයන්ගෙන් සෑදී තිබුණත්, ඔහු ඔවුන්ව ඉතා බලවත් ආකාරයකින් පාවිච්චි කරමින් සිටිනවා. යේසුස්ගේ අර්ධ සහෝදර වූ යූද් ‘අධිපතිකම් සුළු කිරීම හා උත්තමයන්ට නින්දා කිරීම’ ගැන පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වා. (යූද් 8-10) අප කවදාවත් ඔවුන් මෙන් නොවිය යුතුයි.

19. යෙහෝවාගේ තේරීම් අභිභවා යෑමට අපට කිසිම හේතුවක් නැත්තේ මන්ද?

19 පෙනෙන ප්‍රකාරයට යම් විශේෂ කාලයකට සරිලන පරිදි තම සෙනඟට මඟ පෙන්වීම සඳහා, විශේෂ ගුණාංග ඇති පුද්ගලයන්ව විවිධ වගකීම් සඳහා යෙහෝවා තෝරාගන්නවා. අප මේ කාරණාව හඳුනාගෙන දෙවිගේ තේරීම් අභිභවා යෑමෙන් වැළකී, අපව පෞද්ගලිකව යෙහෝවා තබා ඇති ස්ථානයේ යටහත්ව සේවය කිරීමෙන් සෑහීමට පත් විය යුතුයි. එමගින් යෙහෝවා අපේ විශ්වාසය කරගෙන ඇති බව අප පෙන්වන්න යනවා.—එපීස 4:11-16; පිලිප්පි 2:3.

යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසය විදහාපෑම

20, 21. මෝසෙස් සමඟ යෙහෝවා කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

20 අප යම් අවස්ථාවලදී අප කෙරෙහිම වැඩි විශ්වාසයක් තබමින් යෙහෝවා කෙරෙහි අල්ප විශ්වාසයක් තබයි නම්, අප මෝසෙස්ගෙන් ඉගෙනීම අවශ්‍ය වෙනවා. ඔහුට අවුරුදු 40දී, ස්වාභිප්‍රායෙන්ම ඉශ්‍රායෙලිතයන්ව මිසරයේ වහල්භාවයෙන් ගළවාගැනීමට උත්සාහ කළා. ඔහුගේ උත්සාහයන් හොඳ අදහසින් කළ ඒවා බවට කිසිම සැකයක් නැති වුණත්, ඒවා ඉශ්‍රායෙලිතයන්ගේ ගැළවීමටවත් තම තත්වය වඩා හොඳ එකක් කරවීමටවත් දායක වුණේ නැහැ. ඇත්තෙන්ම ඔහුට පලා යන්න සිදු වුණා. විදේශීය රටක අවුරුදු 40ක කාලයක් පුරා වූ දුෂ්කර පුහුණුවකින් පසුවයි, ඔහුට කලින් කිරීමට වුවමනා වූ දේ කිරීම සඳහා තෝරාගැනීමට ඔහු සුදුසුකම් ලැබුවේ. මේ අවස්ථාවේදී ඔහුට යෙහෝවාගේ උපකාරය කෙරෙහි විශ්වාස තැබීමට හැකි වුණා. මන්දයත් දේවල් සිදු වුණේ යෙහෝවාගේ ක්‍රමයට මෙන්ම ඔහුගේ කාල නිර්ණයට යෝග්‍ය වන ආකාරයටයි.—නික්මයාම 2:11–3:10.

21 අප එක් එක්කෙනාට අපගෙන්ම මෙසේ අසාගත හැකියි: ‘මම සමහරක් අවස්ථාවලදී යෙහෝවාට හා සභාවේ පත් කර ඇති වැඩිමහල්ලන්ට කලින් දේවල් කරන්න හදමින්, දේවල් ඉක්මන් කරන්න හෝ ඒවා මගේම ක්‍රමයට කරන්න හදනවාද? යම් වරප්‍රසාද නොලැබුණායයි සිතනවා වෙනුවට, දිගටම ලබන පුහුණුව මම සතුටින් භාරගන්නවාද?’ ඇත්තෙන්ම අප මෝසෙස්ගෙන් වැදගත් පාඩමක් ඉගෙනගෙන තිබෙනවාද?

22. ශ්‍රේෂ්ඨ වරප්‍රසාදයක් ගිලිහී ගියත් යෙහෝවා ගැන මෝසෙස්ට හැඟුණේ කොහොමද?

22 තවදුරටත් අපට මෝසෙස්ගෙන් තවත් පාඩමක් උගත හැකියි. බොහෝ පාඩු අත්විඳීමට සිදු වූ, ඔහු කළ වරදක් ගැන ගණන් කථාව 20:7-13හි අපට කියයි. පොරොන්දු දේශයට ඉශ්‍රායෙලිතයන්ව ගෙනයෑමේ වරප්‍රසාදය ඔහුගෙන් ගිලිහී ගියා. ඒ අවස්ථාවේදී යෙහෝවා ගත් තීරණය අයුක්තිසහගතයි කියා ඔහු කියන්න ගියාද? කතාවට කියන්නා වගේ ඔහු පැත්තකට වී, මූණ එල්ලගෙන, දෙවි තමන් සමඟ අසාධාරණ විදිහට කටයුතු කරනවා කියා කියන්න ගියාද? මෝසෙස්ට යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි තිබූ විශ්වාසය නැති වුණාද? තම මරණයට පෙර මෝසෙස් විසින්ම ඉශ්‍රායෙලිතයන්ට පැවසූ වචනවලින් අපට පිළිතුර සොයාගත හැකියි. යෙහෝවා ගැන මෝසෙස් මෙසේ පැවසුවා: ‘ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවිකෙනෙකි, ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.’ (ද්විතීය කථාව 32:4) ඇත්තෙන්ම යෙහෝවා කෙරෙහි වූ මෝසෙස්ගේ විශ්වාසය ඔහු අවසානය දක්වා තබාගත්තා. අප ගැන කුමක් කිව හැකිද? යෙහෝවා හා ඔහුගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ඇති අපගේ විශ්වාසය ශක්තිමත් කිරීමට අප පෞද්ගලිකව පියවර ගනිමින් සිටිනවාද? අපට එසේ කළ හැක්කේ කොහොමද? අපි බලමු.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

◻ යෙහෝවාව විශ්වාස කිරීමට ඉශ්‍රායෙලිතයන්ට තිබූ හේතු මොනවාද?

◻ විශ්වාසය සම්බන්ධයෙන් ගත් කල ආබ්‍රහම්ගෙන් කුමක් උගත හැකිද?

◻ යෙහෝවාගේ තේරීම් අභිභවා යෑමෙන් අප වැළකිය යුත්තේ ඇයි?

[13වන පිටුවේ පින්තූරය]

යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට අයත් වන එක දෙයක් නම් සභාවේ පෙරමුණගෙන කටයුතු කරන අයට ගෞරව කිරීමයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න