විශ්වාසය නැවත ගොඩනැංවිය හැකියි!
වත්මන් විශ්වාස භංග වීම “අන්තිම දවස්වල” ලකුණක් වුවත්, වර්ෂ දහස් ගණනකට පෙර විශ්වාසයේ ඌනතාව පැහැදිලිව පෙනෙන්න තිබුණා. (2 තිමෝති 3:1) එය මුලින්ම ඇති වුණේ එවැන්නක් සිද්ධ වෙයි කියා හිතන්නවත් බැරි තැනක, එනම් පාරාදීසයකයි. එය පිහිටි ස්ථානය ගැන බයිබලය මෙසේ පවසනවා: ‘දෙවි නැඟෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙව්වේය. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද යෙහෝවා දෙවි භූමියෙන් හටගැන්වූවේය.’—උත්පත්ති 2:8, 9.
නවීන දින විශ්වාස භංග වීම සමඟ මෙයට ඇති සම්බන්ධය ගැන ඉන්පසු පදවලින් අවබෝධයක් ලබා දෙනවා. අපට මෙසේ කියවන්න තිබෙනවා: “[යෙහෝවා දෙවි] මනුෂ්‍යයාට ආඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:16, 17) යෙහෝවා පැවසූ දේ සැක කිරීමට ආදම්ට යම් හේතුවක් තිබුණාද?
තවදුරටත් අපි මෙසේ කියවමු: “සර්පයා වනාහි [යෙහෝවා දෙවි] සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා [දෙවි] කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය. ස්ත්‍රීද: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන; එහෙත් [දෙවි] නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි [කීවේයයි] සර්පයාට කීවාය. සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත; මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන [දෙවිට] සමාන වන බවත් [දෙවි දන්නේයයි] ස්ත්‍රීට කීය. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.”—උත්පත්ති 3:1-6.
දෙවිගේ පැහැදිලි අවවාදය නොසලකා හරිමින්, ආදම් හා ඒව යෙහෝවා කෙරෙහි විශ්වාසයේ ඌනතාවක් පෙන්නුම් කළා. සර්පයෙක් මගින් ඒවට කතා කර තිබූ දෙවිගේ එදිරිවාදියා වූ සාතන් ගත් ක්‍රියාමාර්ගයම ඔවුන් ගත්තා. යෙහෝවාගේ පාලන ක්‍රමය කෙරෙහි සාතන්ට විශ්වාසයේ ඌනතාවක් තිබුණා. මේ හේතුව මෙන්ම අහංකාර හා අභිලාෂකාමී හෘදයක් හේතුවෙන්, ඔහු දෙවිට විරුද්ධව කැරලිගැසූ අතර එයම කිරීමට මිනිසුන්ව නොමඟ යැව්වා. දෙවිව විශ්වාස නොකළ යුතු බව කල්පනා කිරීමට ඔහු ඔවුන්ව පෙලඹුවා.
ප්‍රතිඵලය? පලුදු වූ සබඳතා
අන්‍යයන්ව විශ්වාස නොකරන පුද්ගලයන්ට මිත්‍රත්වයන් පවත්වාගැනීම අමාරු බව ඔබ නිරීක්ෂණය කර ඇති. පොදු යුගයට පෙර පළමු සියවසේ ලතින් ලේඛකයෙකු වූ පූබ්ලියුස් සියූරුස් මෙසේ ලිව්වා: “මිත්‍රත්වයේ එකම බැම්ම විශ්වාසයේ බැම්ම පමණයි.” ඔවුන්ගේ කැරලිකාර ක්‍රියාව මඟින්, ආදම් හා ඒව දෙවිව විශ්වාස නොකරන බව පෙන්නුම් කළා. එමනිසා, ඔවුන්ව විශ්වාස කිරීමට ඇත්තෙන්ම දෙවිට හේතුවක් තිබුණේ නැහැ. විශ්වාසය බිඳවැටීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මුල් මනුෂ්‍යයන්ට දෙවිගේ මිත්‍රත්වය අහිමි වුණා. ඔවුන්ගේ කැරලිකාරකම නිසා යෙහෝවා ඔවුන්ව හෙළාදැක්කාට පස්සේ දෙවි ඔවුන්ට කවදාවත් කතා කළ බවට ඇඟවීමක් නැහැ.
ආදම් හා ඒව අතර තිබූ සබඳතාවත් බිඳ වැටුණා. යෙහෝවා ඒවට මෙසේ අනතුරු ඇඟෙව්වා: “නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේය.” (උත්පත්ති 3:16, ඇල අකුරු අපගේය.) ද ජෙරූසලම් බයිබල් මෙසේ පවසයි: “ඔහු ඔබ කෙරෙහි අධිපතිකම් කරයි.” දෙවිට වුවමනා වී තිබූ පරිදි තම භාර්යාව කෙරෙහි ප්‍රේමනීය මූලිකත්වයක් පවත්වනවා වෙනුවට, ආදම් මෙවිට ඇය කෙරෙහි අධිපතිකම් කරමින් ඇගේ ස්වාමියා බවට පත් වුණා.
ඔවුන් පව් කළ පසු, තම භාර්යාව පිට දෝෂය පැටවීමට ආදම් වෑයම් කළා. ඔහුගේ මතයට අනුව, අංග සම්පූර්ණ උද්‍යානයෙන් සම්පූර්ණ නැති භූමියකට යන්න සිද්ධ වුණේ ඈ කළ දේ නිසයි. එහිදී දූවිල්ලට හැරී යන තුරු ඔවුන්ට කටුක පරිසරයක අසීරු ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණා. (උත්පත්ති 3:17-19) මෙය දෙදෙනෙකු අතර ගැටුමේ මුල බව අපිට හොඳින් සිතාගත හැකියි. ආදම් යළි කවදාවත් ඒවට සවන් දෙන්නේ නැහැ කියා පවසමින් අසාමාන්‍ය ලෙස ප්‍රතික්‍රියා කරන්න ඇති. ප්‍රතිඵලයක් වශයෙන්, ‘දැන් ඉඳලා මමයි ලොක්කා!’ යනුවෙන් කීම සාධාරණ බව ඔහුට දැනෙන්න ඇති. අනිත් අතට, තමාට ආදම් කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකි කරවමින්, පවුලේ මූලිකයා වශයෙන් ඔහුගේ කාර්යභාරය දැරීමට ඔහු අසමත් වූ බව ඒව දකින්න ඇති. කෙසේවුවත්, දෙවි කෙරෙහි විශ්වාසයේ ඌනතාවක් පෙන්නුම් කිරීම මගින් මනුෂ්‍යයන් ඔහු සමඟ තිබූ මිත්‍රත්වය අහිමි කරගත් අතර, ඔවුන් එකිනෙකා අතරේ විශ්වාසයටත් හානි පමුණුවාගත්තා.
අපට කාව විශ්වාස කළ හැකිද?
ආදම් හා ඒවගේ ආදර්ශයෙන් නිරූපණය කරන පරිදි, සෑම කෙනෙකුම අපේ විශ්වාසය ලැබීමට වටින්නේ නැහැ. අපේ විශ්වාසය ලැබීමට වටින්නේ කවුද නොවටින්නේ කවුද කියා අපට දැනගත හැකි වන්නේ කෙසේද?
ගීතාවලිය 146:3 අපට මෙසේ අවවාද කරනවා: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” තවද යෙරෙමියා 17:5-7හි අපට මෙසේ කියවන්න තිබෙනවා: “මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් [යෙහෝවා] කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.” අනිත් අතට, “[යෙහෝවා] කෙරෙහි විශ්වාසකොට, [යෙහෝවා] තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.”
මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තැබීම සැමවිටම වැරදි නැති බව පිළිගත යුතුයි. දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් කවදාවත් වරදින්නේ නැති නමුත්, අසම්පූර්ණ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් සමහරවිට විපත්තියකට මඟ පෑදිය හැකිය යන්න පමණයි ඒ පාඨවලින් දැක්වෙන්නේ. උදාහරණයක් වශයෙන්, දෙවිට පමණක් සිදු කළ හැකි දේවල් වන ගැළවීම ලබා දීම හා සුරක්ෂිතභාවය සහිත සම්පූර්ණ සාමය ගෙන ඒම මනුෂ්‍යයාටත් කළ හැකියයි විශ්වාස කරන ජනයා බලාපොරොත්තු සුන් කරගැනීම කරා ගමන් කරමින් සිටිනවා.—ගීතාවලිය 46:9; 1 තෙසලෝනික 5:3.
ඇත්තෙන්ම, මනුෂ්‍යයන් හා මනුෂ්‍ය ආයතන දෙවිගේ අරමුණුවලට එකඟව ක්‍රියා කරන හා දේවප්‍රතිපත්ති විදහාපාන ප්‍රමාණයට පමණයි විශ්වාසය ලැබීමට සුදුසු. මෙලෙස, අප කෙරෙහි විශ්වාසය තැබීමට අපි අන්‍යයන්ව පොලඹවන්න යනවා නම්, අපි අවංකව හා විශ්වාසය තැබිය හැකි අයව සිට, සත්‍යය කතා කළ යුතුයි. (හිතෝපදේශ 12:19; එපීස 4:25; හෙබ්‍රෙව් 13:18) බයිබල් ප්‍රතිපත්තිවලට අනුව අපව හසුරුවාගැනීමෙන් පමණයි, අනිත් අය අප කෙරෙහි තබන විශ්වාසය යුක්තිසහගත මෙන්ම අන්‍යොන්‍ය ශක්තියේ හා දිරිගැන්වීමේ උල්පතක් බවට ඔප්පු වන්නේ.
විශ්වාසය යළි ප්‍රකෘතිමත් කිරීම
දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට හා එලෙසම කිරීමට අන්‍යයන්ව දිරිගැන්වීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ශක්තිමත් පදනමක් තිබෙනවා. “දෙවිට බොරු කිව නොහැකි” නිසා, තමා පවසා ඇති දේ ඉටු කරන, සැමවිටම රඳා පැවතිය හැකි විශ්වාසවන්ත හා පක්ෂපාත දෙවිකෙනෙක්, යෙහෝවා. ප්‍රේමයේ දෙවි කෙරෙහි විශ්වාසය තැබීම කවදාවත් අධෛර්යයට පත්වීමකට මඟ පාදන්නේ නැහැ.—හෙබ්‍රෙව් 6:18, NW; ගීතාවලිය 94:14; යෙසායා 46:9-11; 1 යොහන් 4:8.
යෙහෝවා කෙරෙහි එකමුතුව විශ්වාසය දක්වන, ඔහුගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වන ජනයා, එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීමට බලවත් සේ පෙලඹෙනවා. විශ්වාසය භංග වීම අද්දකින ලෝකයක, විශ්වාසවන්ත ජනයා සොයාගැනීමට ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! වෙනත් ඕනෑම කෙනෙකු කියන හෝ කරන දේ කෙරෙහි අපට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි නම් ලෝකය කොයිතරම් වෙනස් වේවිදැයි කල්පනා කර බලන්න. දෙවි පොරොන්දු කර ඇති පැමිණෙන නව ලෝකයේදී තත්වය මෙය වේවි! යළි කවදා හෝ විශ්වාසය භංග වීමක් සිදු නොවේවි!
එවිට ජීවත් වන්න ඔබ කැමතිද? එසේනම්, ජීවිතය සඳහා දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්දැයි තව තවත් ඉගෙනීම මගින් දෙවි කෙරෙහි හා ඔහුගේ පොරොන්දු කෙරෙහි ඔබේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට ආරාධනා කරනවා. දෙවි පවතින බවටත්, ඔහු මනුෂ්‍යවර්ගයාගේ ශුභසිද්ධිය කෙරෙහි උනන්දු වන බවටත්, ඔහුගේ රාජ්‍යය මගින් ඔහු ලෝක ගැටලු නිවැරදි කිරීමට වැඩි කල් නොගොස් ක්‍රියා කරනු ඇති බවටත් බයිබල් අධ්‍යයනයක් මගින් සාක්ෂි ඉදිරිපත් කරයි. දෙවි කෙරෙහි හා ඔහුගේ වචනය වන බයිබලය කෙරෙහි විශ්වාසය තැබීමට මිලියන සංඛ්‍යාතයක් ඉගෙනගෙන තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොමිලේ ඉදිරිපත් කරන මහජන සේවාවක් වන බයිබල් පාඩම් මාලාව ඔබට නිරූපණය කර පෙන්වීමට ඔවුන් සතුටු වේවි. එසේ නැතහොත් වැඩි විස්තර සඳහා මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දෙවි කෙරෙහි විශ්වාසයේ ඌනතාව, හානි වූ මානව සබඳතාවලට මඟ පාදයි
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
තමන් දේවප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන ප්‍රමාණයට පමණයි මනුෂ්‍යයන් විශ්වාසය ලැබීමට සුදුසු