විශ්වාසය භංග වී ඇත්තේ මන්ද?
‘මේ දවස්වලදී ඇත්තෙන්ම කාවවත් විශ්වාස කරන්න පුළුවන්ද?’ යම් කලකිරුණු කෙනෙක් මේ ප්‍රශ්නය අසනවා ඔබට ඇසී තිබිය හැකියි. එසේ නැතහොත් ඔබේ ජීවිතයේ ඇති වූ යම් අවාසනාවන්ත සිද්ධියක් සම්බන්ධයෙන් චිත්තවේගීයව වේදනාවෙන් සිටිය විට ඔබ මේ ප්‍රශ්නය ඔබෙන්ම අසන්නත් ඇති.
ලොව පුරා ආයතන හා වෙනත් පුද්ගලයන් කෙරෙහි විශ්වාසයේ ඌනතාවක් තිබීම අනිවාර්යයෙන්ම සැබෑවක්. බොහෝ අවස්ථාවලදී, මෙම විශ්වාසයේ ඌනතාව යුක්තිසහගතයි. දේශපාලනඥයන් බොහෝදෙනෙක් ඡන්දයට පෙර දෙන පොරොන්දු සියල්ලම ඉෂ්ට කරයි කියා කිසි කෙනෙක් ඇත්තෙන්ම අපේක්ෂා කරනවාද? ජර්මනියේ ශිෂ්‍යයන් 1,000ක් පිළිබඳව 1990දී කළ සමීක්ෂණයකින් පෙන්නුම් කළේ, දේශපාලනඥයන්ට ලෝක ගැටලු විසඳිය හැකි බවට ඔවුන්ගෙන් සියයට 16.5ක් විශ්වාස කළත්, ඒ වගේ දෙගුණයක් බලවත් සැකයක් පහළ කළ බවයි. එමෙන්ම දේශපාලනඥයන්ට ගැටලු විසඳීමට ඇති හැකියාව කෙරෙහි මෙන්ම එසේ කිරීමට ඔවුන්ගේ කැමැත්ත සම්බන්ධයෙන් තමන්ට එතරම් විශ්වාසයක් තිබුණේ නැති බව බහුතරයක් පැවසුවා.
ෂ්ටුට්ගාට නාච්රික්ටන් නම් පුවත්පත මෙසේ පැමිණිලි කළා: “දේශපාලනඥයන්ගෙන් වැඩිදෙනෙකුගේ මනසේ මුලින්ම තිබෙන්නේ තමන්ගේ කාරණා ගැනයි; ඉන්පසු සමහරවිට ඔවුන්ගේ ඡන්ද දායකයන්ගේ කාරණා ගැන තිබෙනවා විය හැකියි.” වෙනත් රටවල ජනයාත් ඊට එකඟ වෙනවා. දි යුරෝපියන් නම් පුවත්පත එක රටක් ගැන මෙසේ පැවසුවා: “යෞවනයන්ට දේශපාලනඥයන් ගැන තිබෙන සැකයට හොඳ පදනමක් තිබෙන අතර, ඔවුන්ගේ වැඩිහිටියන්ටත් එම සැකය තිබෙනවා.” ‘ඡන්ද කොට්ඨාසය තුළ හැම මැතිවරණයකදීම පාහේ දේශපාලනික පක්ෂ පහ කරන බවත්’ එහි සඳහන් කළා. පුවත්පත තවදුරටත් මෙසේ පැවසුවා: “[එතැන සිටින] යෞවනයන් අතර කාලය ගත කරන ඕනෑම කෙනෙක් ඔවුන්ගේ විශ්වාසයේ ඌනතාව හා වියවුල්භාවය විගස තේරුම්ගන්නවා.” එහෙත්, මහජන විශ්වාසය නොමැතිව, ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කිසිවක් කළ නොහැකි තරම්. කලින් එ.ජ. ජනාධිපතිව සිටි ජොන් එෆ්. කෙනඩි වතාවක් මෙසේ සඳහන් කළා: “ඵලදායී රජයකට පදනම මහජන විශ්වාසයයි.”
මූල්‍යමය ලෝකය කෙරෙහි විශ්වාසය තැබීම ගැන සලකා බලද්දී, හදිසි ආර්ථික පෙරළීම් හා ඉක්මනින් පොහොසත් වීමේ උපක්‍රම සාර්ථක නොවීම බොහෝදෙනෙකුගේ විශ්වාසය පලුදු වීමට සලස්වා තිබෙනවා. වර්ෂ 1997 ඔක්තෝබර්වලදී ලෝක වෙළඳපොළේ ශීඝ්‍ර අඩු වැඩිවීමක් ඇති වූ විට, “අතිවිශාල මෙන්ම සමහරවිට සාධාරණ හේතු නැති විශ්වාසයේ ඌනතාවක්” ගැන සහ “අවිශ්වාසයේ බෝවීමක්” ගැන පුවත් සඟරාවක් කතා කළා. “[එක ආසියානු රටක] විශ්වාසය මොනතරම් හීන වෙලාද කියනවා නම්, දැන් තිබෙන ආණ්ඩුවේ පැවැත්ම පවා . . . තර්ජනයට ලක් වී ඇතැයි පෙනෙනවා” කියාද එහි පැවසුවා. සාරාංශයක් වශයෙන්, එය මැනවින් පැහැදිලි වූ මෙම කාරණය පළ කළා: “ආර්ථික ක්‍රම රඳාපවතින්නේ විශ්වාසය මතයි.”
ආගමත් විශ්වාසය ගොඩනංවන්න අසමත් වෙලා තියෙනවා. වත්මන් කිතුබැතියා නම් ජර්මානු ආගමික සඟරාවක් කනගාටුවෙන් මෙසේ අදහස් ප්‍රකාශ කරනවා: “ජනයා විසින් පල්ලිය කෙරෙහි තබා තිබෙන විශ්වාසයේ මට්ටම දිගටම පහත බසිනවා.” වර්ෂ 1986 හා 1992 අතර පල්ලිය කෙරෙහි සෑහෙන විශ්වාසයක් හෝ අඩුම තරමින් යම් විශ්වාසයක් තැබූ ජර්මානුවන්ගේ ගණන සියයට 40 සිට 33 දක්වා පහත වැටී තිබෙනවා. ඇත්තවශයෙන්ම, කලින් නැඟෙනහිර ජර්මනියෙහි එය සියයට 20ටත් අඩුවෙන් පහත බැස්සා. අනිත් අතට, කලින් බටහිර ජර්මනියෙහි, පල්ලිය කෙරෙහි සුළු විශ්වාසයක් තිබූ නැතහොත් විශ්වාසයක් කොහෙත්ම නොතිබූ ජනයා සියයට 56 සිට 66 දක්වා වැඩි වූ අතර, කලින් නැඟෙනහිර ජර්මනියෙහි ඒ සංඛ්‍යාව සියයට 71ක් දක්වා වැඩි වුණා.
මිනිස් සමාජයේ කණු තුන වන දේශපාලනය, මූල්‍යමය තත්වය හා ආගම හැරෙන්න වෙනත් ක්ෂේත්‍රවලත් විශ්වාසය බිඳ වැටීම පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. තවත් උදාහරණයක් නීති පැනවීම. අපරාධ නීතිවල අඩුලුහුඬුකම්, යුක්තිසහගත ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ අසීරුතා සහ සැක සහිත අධිකරණ තීන්දු මහජනයාගේ විශ්වාසය දරුණු ලෙස සොලවා තිබෙනවා. ටයිම් සඟරාවට අනුව, “දරුණු අපරාධකරුවන්ව නිතර නිතර නිදහස් කර හරින ක්‍රමයක් කෙරෙහි විශ්වාසය නොතබන තත්වයටම පුරවැසියන්ගේ හා පොලිසියේ කලකිරීම් උග්‍ර වී තිබෙනවා.” පොලිසියේ දූෂණය හා කෲරත්වය හමුවේ, පොලිසිය කෙරෙහි විශ්වාසය පවා ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.
ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් ගත් කල, අසාර්ථක සාම සාකච්ඡා හා සටන් විරාම බිඳ වැටීම විශ්වාසයේ ඌනතාවක් ඇති බව පෙන්නුම් කරනවා. එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ තානාපති බිල් රිචඩ්සන්, මැදපෙරදිගෙහි සාමය අත් කරගත නොහැකි ප්‍රධාන බාධකය හරියටම කුමක්ද කියා මෙසේ පැවසුවා: “විශ්වාසයේ ඌනතාවක් තිබෙනවා.”
ඒ අතරතුර වඩාත් පෞද්ගලික මට්ටමකින් බැලුවොත්, තමන්ට ගැටලු තිබෙන විට දැනමුතුකමක් හා සැනසීමක් ලබාගැනීමට සාමාන්‍යයෙන්ම තමන් යොමු වන කිට්ටු නෑදෑයන් හා මිත්‍රයන් කෙරෙහි පවා බොහෝ ජනයාගේ විශ්වාසය හීන වී තිබෙනවා. එය හෙබ්‍රෙව් ප්‍රොපේත මීකා විස්තර කළ මෙම තත්වයට බෙහෙවින් සමානයි: “මිත්‍රයෙකු විශ්වාස නොකරන්න, හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. නුඹේ ළයෙහි සැතපෙන්නියගෙන් නුඹේ මුඛයේ දොරවල් රැකගන්න.”—මීකා 7:5.
කාලවල ලකුණක්
ජර්මන් මනෝවිද්‍යාඥ ආතර් ෆිෂ’ගේ ප්‍රකාශයක් මෑතකදී උපුටා දැක්වූවා: “සමාජයේ සංවර්ධනය හා කෙනෙකුගේ පෞද්ගලික අනාගතය කෙරෙහි විශ්වාසය, සියලු පාර්ශ්වයන්හි ඇත්තෙන්ම විශාල ලෙස පහත වැටී තිබෙනවා. තමන්ට උපකාර කරන්න සමාජයේ ආයතනවලට හැකිද යන්න ගැන යෞවන අය සැක කරනවා. දේශපාලනය, ආගම හෝ වෙනත් ඕනෑම සංවිධානයක් කෙරෙහි වේවා ඔවුන්ගේ විශ්වාසය භංග වන තත්වයකට පත් වී තිබෙනවා.” දිගු-කාලීනව පවතින අධිකාරිත්වයන්, ආයතන හා ප්‍රවීණයන් කෙරෙහි “සැක කරන සමාජයක්” ගැන සමාජවිද්‍යාඥ උල්රිච් බෙක් කතා කිරීම පුදුමයක් නොවෙයි.
එවැනි සංස්කෘතියක, ජනයා පසුබැසීමට, සියලු අධිකාරිත්වයන් ප්‍රතික්ෂේප කිරීමට හා වෙනත් අයගේ උපදෙස් හෝ මඟ පෙන්වීම නොතකා ස්වෛරී තීරණ ගනිමින් පෞද්ගලික ප්‍රමිති අනුව ජීවත් වීමට නැඹුරු වෙනවා. තමන්ට තවදුරටත් විශ්වාස කළ නොහැකියයි හැඟෙන අය සමඟ කටයුතු කරද්දී සමහරු වුවමනාවට වඩා සැකයෙන් බලන අතර, නොසැලකිලිමත් වීමට පවා පෙලඹිය හැකියි. බයිබලයෙහි විස්තර කර ඇති ආකාරයට මේ ආකල්පය අහිතකර වාතාවරණයකට අනුබල දෙයි: “එහෙත් මෙය දැනගන්න: එනම්, අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල් පැමිණෙන්නේය.” “මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, [දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව, දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය.” (2 තිමෝති 3:1, NW, 2-5; හිතෝපදේශ 18:1) සැබවින්ම, අදදින විශ්වාසය භංග වීම කාලවල ලකුණක්, එනම් “අන්තිම දවස්වල” ලකුණක්.
විශ්වාසය භංග වීමක් අද්දකින මෙන්ම ඉහත විස්තර කළ අය වැනි ජනයා බහුල ලෝකයකදී, ජීවිතය සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට ඇත්තෙන්ම නොහැකියි. නමුත් දේවල් වෙනස් වෙයි කියා සිතීම යථාර්ථවාදීද? අදදින විශ්වාසය භංග වීම ජයගත හැකි වෙයිද? එසේනම්, කෙසේද? කවදාද?