ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 9/1 22-23 පි.
  • බෙතෙල් හොඳ හා නරක නගරයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බෙතෙල් හොඳ හා නරක නගරයක්
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බෙතෙල් ඇදහිල්ල අත්හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙයි
  • මෙය ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ විය හැකිද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දෙවියන්වහන්සේගේ ගෘහය” දෙස අගය කිරීමෙන් යුක්තව බැලීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබටත් ඉදිරිපත් විය හැකිද?
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • සාදර ඇරයුමයි!
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 9/1 22-23 පි.

බෙතෙල් හොඳ හා නරක නගරයක්

සමහර නගර ඒවායෙහි සිදු වන දේවල් අනුව කීර්තියක් ලබයි; එහෙමත් නැත්නම් අපකීර්තියක් ලබයි. ඒ අතින් බෙතෙල් අසාමාන්‍යයි. එය හොඳ හා නරක යන දෙකටම ප්‍රසිද්ධ වුණා. කුලදෙටු යාකොබ් එම නගරයට බෙතෙල් යන නම තැබූ අතර, එහි අර්ථය ‘දෙවිගේ ගෘහය’ යන්නයි. නමුත් අවුරුදු දාහකට පසුව, ප්‍රොපේත හොෂෙයා විසින් නගරය හඳුන්වනු ලැබුවේ “පීඩාකාරි ගෘහය” වශයෙනුයි. මේ නගරයේ හොඳ තත්වය නරක අතට හැරුණේ කෙසේද? තවද එහි ඉතිහාසයෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?

දෙවිගේ ජනයා සමඟ බෙතෙල්හි සම්බන්ධය ඇරඹුණේ ආබ්‍රහම් ජීවත්ව සිටියදීම පො.යු.පෙ. 1943දීයි. ඒ කාලයේදී, නගරය ප්‍රසිද්ධ වී තිබුණේ එහි මුල් කානානීය නම වන ලූස් ලෙසයි. එය පිහිටා තිබුණේ යෙරුසලමෙන් කිලෝමීටර් 17ක් පමණ උතුරෙහි, කඳු රටෙයි. බෙතෙල් අවට කඳුකරයේ උස් ස්ථානයක සිට ආබ්‍රහම් හා ඔහුගේ බෑනා වූ ලොත්, සාරවත්ව වැඩුණු පහත යොර්දාන් මිටියාවත දෙස බලන ආකාරය මනසේ ඇඳගන්න. තම විශාල රැළවලට තණ බුදීම සඳහා ප්‍රදේශ වෙන් කිරීමේ අසීරුතාව, ආබ්‍රහම් උපායශීලී ලෙස ලොත්ගේ අවධානයට මෙසේ ලක් කරයි: “මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය. මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමි.”—උත්පත්ති 13:3-11.

ආබ්‍රහම්, තමාට ප්‍රථමයෙන්ම තෝරාගැනීමට තිබූ අයිතිය තහවුරු කළේ නැහැ. ඒ වෙනුවට, ඔහු හොඳම කොටස තෝරාගැනීමට බාල තැනැත්තාට ඉඩහැරියා. ආබ්‍රහම්ගේ කදිම ආකල්පය අනුගමනය කිරීමට අපට හැකියි. සන්සුන්ව කතා කිරීමට හා පරාර්ථකාමීව ක්‍රියා කිරීමට මුලපිරීමෙන්, අපට විවාදශීලී ප්‍රශ්න සමථයකට පත් කරගත හැකියි.—රෝම 12:18.

වසර ගණනකට පසුව ආබ්‍රහම්ගේ මුනුපුරා වූ යාකොබ්, ලූස්හි කඳවුරු බැඳගත් විට අසාමාන්‍ය සිහිනයක් දැක්කා. ‘පොළොවෙහි තබන ලද හිණිමඟක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවිගේ දූතයෝ එහි නඟිමින්ද බසිමින්ද සිටියෝය. බලව, යෙහෝවා ඊට ඉහළින් සිටියේය.’ මෙයයි ඔහු දුටු සිහිනය. (උත්පත්ති 28:11-19; සසඳන්න යොහන් 1:51.) සිහිනයට වැදගත් අර්ථයක් තිබුණා. යාකොබ්ගේ වංශය සම්බන්ධයෙන් දෙවි ඔහුට පොරොන්දු වූ දේ ඉටු කිරීමේදී ඔහු දුටු දේවදූතයන් ඔහුට සේවය කරනු ඇත. ඉණිමඟට ඉහළින් යෙහෝවා සිටීමෙන් පෙන්වනු ලැබුවේ, මේ වැඩයේදී දේවදූතයන්ට ඔහු මඟ පෙන්වනු ඇති බවයි.

දිව්‍යමය උපකාරය සම්බන්ධයෙන් මේ සහතිකය යාකොබ්ව ගැඹුරින් පෙලඹෙව්වා. සිහිනයෙන් අවදි වූ ඔහු ඒ ස්ථානයට ‘දෙවිගේ ගෘහය’ යන අර්ථය ඇති බෙතෙල් යන නම තැබූ අතර, ඔහු මෙසේ යෙහෝවාට පොරොන්දු වුණා: “[ඔබ] මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමි.”a (උත්පත්ති 28:20-22) ඔහුට ඇති සියල්ල ලැබී තිබෙන්නේ දෙවිගෙන් බව වටහාගනිමින්, ඔහුගේ කෘතඥතාවේ සංකේතයක් වශයෙන් විශාල කොටසක් දීමට ඔහු කැමති වුණා.

අදදින ක්‍රිස්තියානීන්ටත්, තමන් වෙනුවෙන් සේවය කරන දේවදූතයන් සිටිනවා. (ගීතාවලිය 91:11; හෙබ්‍රෙව් 1:14) ‘දෙවිට බොහෝ ස්තුති දීම්’ මගින් ඔවුන්ටත් තමන්ට ලැබී ඇති සියලු ආශීර්වාද සඳහා තම අගය පෙන්වීමට හැකියි.—2 කොරින්ති 9:11, 12.

කල් යත්ම, යාකොබ්ගෙන් පැවතෙන්නන් ජාතියක් බවට පත් වුණා. කානාන් දේශය යටපත් කිරීමේ ප්‍රයත්නයේ මුල් හරියේදීම වගේ බෙතෙල්හි මිථ්‍යාදෘෂ්ටික රජ පරාජය කිරීමට ඔවුන්ගේ නායක යෝෂුවාට හැකි වුණා. (යෝෂුවා 12:16) විනිශ්චයකරුවන්ගේ කාලයේදී, දෙබොරා ප්‍රොපේතවරිය බෙතෙල් අසල ජීවත් වුණ අතර යෙහෝවාගේ වචනය ජනයාට ප්‍රකාශ කළා. ඉශ්‍රායෙල් ජාතිය විනිශ්චය කළ කාලයේදී සාමුවෙල්ද නිතිපතා බෙතෙල් වෙත ගියා.—විනිශ්චයකාරයන් 4:4, 5; 1 සාමුවෙල් 7:15, 16.

බෙතෙල් ඇදහිල්ල අත්හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙයි

නමුත් බෙතෙල්හි තිබූ නිර්මල නමස්කාරය, පො.යු.පෙ. 997දී රාජ්‍යය බෙදුවාට පසුව ක්‍රමයෙන් නැති වී ගියා. යෙරොබොවම් රජ බෙතෙල්, වසු නමස්කාරය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් කළා; වස්සාගෙන් බොහෝදුරට යෙහෝවාව නිරූපණය කළ බවට පැවසුණා. (1 රාජාවලිය 12:25-29) බෙතෙල්හි විනාශය පුරෝකථනය කරද්දී, හොෂෙයා එයට “පීඩාකාරි ගෘහය” යන අර්ථය ඇති “බෙත්-ආවෙන්” ලෙස යොමු දැක්වූයේ ඒ නිසායි.—හොෂෙයා 10:5, 8.

බෙතෙල් ආත්මික පීඩාකාරි මධ්‍යස්ථානයක් බවට පත් වුණත්, ඊට සම්බන්ධ සිද්ධීන් දිගටම වැදගත් පාඩම් සැපයුවා. (රෝම 15:4) බෙතෙල්හි පූජාසන හා පූජකයන්ගේ විනාශය ගැන පුරෝකථනය කිරීමට, යූදාහි සිට බෙතෙල් වෙත යවනු ලැබූ නිර්නාමික ප්‍රොපේතවරයෙක් සම්බන්ධයෙන් එවැනි පාඩමක් තිබෙනවා. එහිදී කිසිවක් කන්නේ හෝ බොන්නේ නැතුව, කිලෝමීටර් කීපයක් පමණක් දුරින් දකුණේ පිහිටි යූදාට නැවත එන්න කියාත් යෙහෝවා පැවසුවා. බෙතෙල්හි පූජාසනයට ශාප කරමින්, ඉශ්‍රායෙල්හි රජ වූ යෙරොබොවම් ඉදිරියේ මේ ප්‍රොපේතවරයා නිර්භීත ලෙස අනාවැකියක් ප්‍රකාශ කළා. නමුත් ඔහු බෙතෙල්හි මහලු ප්‍රොපේතවරයෙක්ගේ නිවසේදී ආහාර ගැනීමෙන් දෙවිට අකීකරු වුණා. මන්ද? සෙසු ප්‍රොපේතවරයෙක්ට ආගන්තුක සත්කාර කරන්න කියා යෙහෝවාගේ දූතයෙක් තමාට නියෝග කළායයි මහලු ප්‍රොපේතවරයා බොරුවට පැවසුවා. යූදාහි සිට පැමිණි ප්‍රොපේතවරයාගේ අකීකරුකම ඔහුගේ අකල් මරණයට මඟ පෑදුවා.—1 රාජාවලිය 13:1-25.

සැක සහිත යමක් කිරීමට සෙසු ඇදහිලිවන්තයෙක් අපට යෝජනා කරනවා නම්, අපි ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද? හොඳ අභිප්‍රායකින් දෙන උපදෙසක් පවා, එය වැරදි නම් හානිකර විය හැකි බව මතක තබාගන්න. (මතෙව් 16:21-23 සසඳන්න.) යෙහෝවාට යාච්ඤා කරමින් හා ඔහුගේ වචනය අධ්‍යයනය කරමින් ඔහුගේ මඟ පෙන්වීම පැතීමෙන්, නිර්නාමික ප්‍රොපේතවරයා කළ ඛේදජනක වරදෙන් අපි වළකින්න යනවා.—හිතෝපදේශ 19:21; 1 යොහන් 4:1.

වසර 150කට පමණ පසුව, ප්‍රොපේත ආමොස්ද බෙතෙල්ට විරුද්ධව අනාවැකි පළ කිරීමට උතුරට ගමන් කළා. ‘යූදා දේශයට පලා යන්න’ කියා ආමොස්ට අහංකාරයෙන් පැවසූ පූජක අමශියා ඇතුළු ඔහුගේ එදිරිවාදී පිරිසව ආමොස් ස්ථිර වශයෙන්ම හෙළාදැක්කා. එපමණක් නොවෙයි, පූජකයාගේම නිවස මත පැමිණෙන්න යන විපත්ති ගැනත් ආමොස් නිර්භීත ලෙස අමශියාට ප්‍රකාශ කළා. (ආමොස් 5:4-6; 7:10-17) තම යටහත් පහත් දේවසේවකයන්ව නිර්භීත පුද්ගලයන් කිරීමට යෙහෝවාට හැකි බව ඔහුගේ උදාහරණයෙන් අපට සිහිගන්වනවා.—1 කොරින්ති 1:26, 27.

අවසානයේදී, යූදාහි ඇදහිලිවන්ත යොෂියා රජ ‘බෙතෙල්හි තිබූ පූජාසනය’ කඩා දමා, ‘උස්තැන පුලුස්සා දමා කුඩු කර, අෂේරා පිළිමයද පුලුස්සා දැමුවා.’ (2 රාජාවලිය 23:15, 16) දෙවිගේ උපදෙස් අඩ වශයෙන් නොව ජ්වලිත ලෙස සම්පූර්ණයෙන්ම අනුගමනය කිරීමෙන් හා සභාව පවිත්‍රව තබාගැනීමේදී පෙරමුණ ගැනීමෙන් අදදින වැඩිමහල්ලන්ට ඔහුගේ කදිම ආදර්ශය අනුකරණය කළ හැකියි.

ධර්මිෂ්ඨකමේ හා දුෂ්ටකමේ, යෙහෝවාට කීකරු වීමේ හා අකීකරු වීමේ ප්‍රතිඵල, බෙතෙල්හි ඉතිහාසයේ මේ සිද්ධිවලින් විචිත්‍රව පිළිබිඹු කරනවා. මුල් වසරවලදී, මෝසෙස් මෙම තෝරාගැනීම ඉශ්‍රායෙල් ජාතිය ඉදිරියේ තැබුවා: “මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි.” (ද්විතීය කථාව 30:15, 16) අපව ‘පීඩාකාරි ගෘහයකට’ සම්බන්ධ කර හඳුන්වනවා වෙනුවට, සැබෑ නමස්කාරයේ ස්ථානයක් වන ‘දෙවිගේ ගෘහය’ හා සම්බන්ධ කර හැඳින්වීමට බෙතෙල්හි ඉතිහාසය ගැන මෙනෙහි කිරීම අපව දිරිගන්වනවා.

[පාදසටහන]

a යාකොබ් හා ආබ්‍රහම් යන දෙදෙනාම ස්වේච්ඡාවෙන්ම දසයෙන් කොටස ඉදිරිපත් කළා.

[23වන පිටුවේ පින්තූරය]

යෙරොබොවම් වසු නමස්කාරය සඳහා මධ්‍යස්ථානයක් පිහිටෙවූ බෙතෙල් පැවති ස්ථානයෙහි නටබුන්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න