අපේ කාලවල් ගැන ඔබ අවදියෙන් සිටිනවාද?
අනතුරක් සම්බන්ධයෙන් අවදිව සිටීම, ජීවිතය හා මරණය අතර වෙනසක් ඇති කරන්න හේතු විය හැකියි. යමහල් දූපත් දෙකක සිදු වූ දෙයින් මෙය නිදර්ශනය කළ හැකියි.
විසිවන සියවසේ මාරාන්තිකම ගිනි කන්ද වූ පෙලි කන්ද 1902 මැයි 8වනදා පුපුරා ගියා. එය පිහිටා තිබුණේ මාර්ටිනීක් නම් කැරිබියානු දූපතෙයි. එම ගිනි කන්ද පාමුල පිහිටා තිබූ සාන්ත පියේ නම් නගරයේ වාසය කළ 30,000ක ජනගහනයෙන් එක්කෙනෙක් දෙන්නෙක් හැර අන් සියල්ලන්ම පාහේ එයින් මරුමුවට පත් වුණා.
පිනටූබෝ කන්ද 1991 ජූනි මාසයේදී පුපුරා ගියා. එය මෙම සියවසේ සිදු වූ විශාලතම පිපිරීම විය හැකියි. එය සිදු වූයේ පිලිපීනයේ අධි ජනගහනයෙන් යුත් ප්‍රදේශයකයි. එයින් 900දෙනෙක් පමණ මියගියා. කොහොමවුණත් මේ අවස්ථාවේදී ජීවිත දහස් ගණනක් බේරාගැනීමට මෙම සාධක දෙක උපකාරවත් වුණා: එනම් (1) අනතුර ගැන අවදියෙන් සිටීම හා (2) අනතුරු ඇඟවීම්වලට එකඟව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටීමයි.
යෝග්‍ය ක්‍රියාමාර්ගය ජීවිත ගැළෙව්වා
පිනටූබෝ කන්ද 1991 අප්‍රියෙල් මාසයේදී පිපිරීමට ආසන්න ලක්ෂණ පෙන්නුම් කරන්න පටන්ගත් කාලය වන තෙක් එය අවුරුදු සිය ගණනක් පුරා අක්‍රීයව තිබුණා. කඳු මුදුනෙන් හුමාලය හා සල්ෆර්ඩයොක්සයිඩ් පිට වෙන්න පටන්ගත්තා. භූ චලන පෙළක් ප්‍රදේශවාසීන්ට දැනුණා. අශුභ නිමිත්තක් අඟවමින් කොතක හැඩයට ඝන ලාවා කඳක් කන්දෙන් නැඟී එන්න පටන්ගත්තා. පිලිපීනයේ ගිනි කඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් මේ ගැන සුපරීක්ෂාකාරිව සිටියා. අසල පිහිටි නගරවලින් හා ගම්මානවලින් 35,000ක වැසියන් ඉවත් කිරීම නැණවත් දෙයක් බව කාලය ගතවීමත් සමඟම නිලධාරින්ට ඒත්තුගියා.
හේතුවක් නැතුව තමන්ගේ නිවෙස්වලින් පලා යෑමට මිනිසුන් සාමාන්‍යයෙන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වුණත්, ගිනි කන්දක් පිපිරීමෙන් ඇති වන ව්‍යසනකාරි ප්‍රතිඵල වීඩියෝ පටයක් මගින් පෙන්වීමෙන් ඒ අකමැත්තත් ඔවුන්ගෙන් ඉවත් කළා. මිනිසුන් විශාල පිරිසක් ගම් බිම් හැර ගියේ නියම වේලාවේදීමයි. දවස් දෙකකට පසු, විශාල පිපිරීමක් මගින් ඝන කිලෝමීටර් 8ක අළු වායුගෝලයට වේගයෙන් මුදවාහැරියා. ගලායන මඩ නැතහොත් ලහාරවලින් සිය ගණනක් පසුව මියගියා. කොහොමවුණත්, අනතුර සම්බන්ධයෙන් අවදි කර තිබූ නිසාත් අනතුරු ඇඟවීම්වලට එකඟව කටයුතු කළ නිසාත් දහස් ගණනකට ජීවිත ගළවාගන්න හැකි වුණා.
මිනිසා සිදු කළ දරුණු ව්‍යසනයකින් පලා යෑම
අපේ පොදු යුගයේ පළමු සියවසේ යෙරුසලමේ ජීවත් වෙමින් සිටි ක්‍රිස්තියානීන්ටද තමන්ගේ නිවෙස් අත්හැර දමා යනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීමට සිදු වුණා. ඔවුන් පො.යු. 66දී නගරයෙන් පලා යෑම නිසා, එහි පදිංචිව සිටි අනිත් අය හා පො.යු. 70 පාස්කුව පැවැත්වීම සඳහා යෙරුසලමට පැමිණ සිටි යුදෙව්වන් දහස් ගණන මතට පැමිණි විනාශයෙන් ආරක්ෂා වුණා. පලා යෑමේ සියලුම මාර්ග රෝම හමුදා විසින් අවහිර කළ අවස්ථාවේදී, පාස්කුව පැවැත්වීම සඳහා පැමිණි දශලක්ෂයකට වැඩි පිරිසක් තාප්පවලින් වට කර තිබූ එම නගරයේ සිටියා. සාගතය, බලය අල්ලාගැනීම සඳහා කළ සටන් හා රෝමවරුන්ගේ දරුණු ප්‍රහාර යනාදිය නිසා දශලක්ෂයකට වැඩිදෙනෙක් මරුමුවට පත් වුණා.
රෝමවරුන්ට එරෙහිව යුදෙව්වරුන් දියත් කළ විප්ලවය නිමාවට පත් කළ ඒ දරුණු ව්‍යසනය ගැන කලින්ම අනතුරු අඟවා නොතිබුණා නොවෙයි. යෙරුසලම වටලන්න යන බව දශක කිහිපයකට කලින් යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කර තිබුණා. ඔහු මෙසේ පැවසුවා: “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.” (ලූක් 21:20, 21) ඒ උපදෙස් පැහැදිලියි. යේසුගේ අනුගාමිකයන් ඒවා බැරෑරුම් ලෙස සැලකුවා.
යුදය පුරා සිටි ක්‍රිස්තියානීන් යේසුගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාරය දැක්වුවා කියා හතරවන සියවසේ කායිසාරියේ විසූ ඉතිහාසඥයෙකු වූ යූසීබියස් වාර්තා කරනවා. රෝමවරුන් පො.යු. 66දී යෙරුසලම මුල්වරට වැටලීම අත්හැර දමා ගිය අවස්ථාවේදී, යුදෙව් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් පෙරිය නම් රෝම පළාතේ පිහිටි අන්‍ය ජාතීන්ගේ නගරයක් වූ පෙලා නගරයට ගියා. තමන් ජීවත් වෙමින් සිටි කාලවල් ගැන අවදියෙන් සිටීමෙන්ද, යේසු දුන් අනතුරු ඇඟවීමට එකඟව කටයුතු කිරීමෙන්ද, ඔවුන් “මුළු ඉතිහාසයේම සිදු වූ දරුණුතම වටලෑම්වලින් එකක්” ලෙස විස්තර කර තිබෙන අනතුරින් බේරුණා.
අදදිනත් ඒ හා සමානව විමසිලිමත්භාවයක් අවශ්‍යයි. නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන්ද එසේමයි. එයට හේතු ඊළඟ ලිපියේ විස්තර කරනවා.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Godo-Foto, West Stock