කාලයන්ද ප්‍රස්තාවන්ද යෙහෝවාගේ අතෙහිය
“[පියා] තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.”—ක්‍රියා 1:7.
1. යේසුස් තම ගෝලයන්ගේ කාලීන ප්‍රශ්නවලට උත්තර දුන්නේ කොහොමද?
ක්‍රිස්තියානි ලෝකය තුළ හා ලොව පුරා “කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන” අය, මේ දුෂ්ට පිළිවෙළ අවසාන වී, දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොව එන්නේ කවදාදැයි ප්‍රශ්න කිරීම සාධාරණ දෙයක් නොවෙයිද? (එසකියෙල් 9:4; 2 පේතෘස් 3:13) යේසුස්ගේ මරණයට පෙර හා නැවත නැඟිටීමෙන් පසු, ඔහුගේ ප්‍රේරිතයන් ඔහුගෙන් කාලීන ප්‍රශ්න විමසුවා. (මතෙව් 24:3; ක්‍රියා 1:6) කොහොම වුණත්, යේසුස් එයට උත්තරයක් හැටියට දින ගණනය කිරීම සඳහා ඔවුන්ට පදනමක් දුන්නේ නැහැ. එක් අවස්ථාවකදී ඔහු ඔවුන්ට සංයුක්ත ලකුණක් දුන් අතර, තවත් අවස්ථාවකදී “[පියා] තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත” කියා ඔවුන්ට පැවසුවා.—ක්‍රියා 1:7.
2. අවසාන කාලයේ සිදුවීම් ඉටුවීමට යන තම පියාගේ කාල වකවානුව, යේසුස් මුලින් දැන නොසිටියා කියා කිව හැක්කේ ඇයි?
2 යේසුස් යෙහෝවාගේ ඒක ජාතක පුත්‍රයා වුණත්, ඔහු පවා තම පියාගේ සිදුවීම් ඉටු වන කාලසටහන සැමවිටම දැන හිටියේ නැහැ. අන්තිම දවස් පිළිබඳ ඔහුගේ අනාවැකියේ, යේසුස් නිහතමානීව මෙසේ පිළිගත්තා: “ඒ දවස හා පැය මාගේ [පියා] මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.” (මතෙව් 24:36) මෙම දුෂ්ට දේවල පිළිවෙළට විරුද්ධව විනාශකාරි ක්‍රියාමාර්ග ගැනීමට නිශ්චිත කාලය තම පියා අනාවරණය කරන තුරු යේසුස් ඉවසිලිවන්තව බලා සිටීමට කැමැත්තෙන් සිටියා.a
3. දෙවිගේ අරමුණ සම්බන්ධ වූ ප්‍රශ්නවලට යේසුස් දුන් උත්තරවලින් අපට කුමක් උගත හැකිද?
3 දෙවිගේ අරමුණ ඉටුවීමෙහිලා දේවල් සිදු වෙන්න යන කාලය සම්බන්ධ වූ ප්‍රශ්නවලට යේසුස් උත්තර දුන් ආකාරයෙන් අපට නිගමන දෙකකට එළඹිය හැකියි. පළමු එක නම් දෙවිට කාලසටහනක් තිබීමයි; දෙවනුව, එය ඔහු විසින්ම පමණක් සකස් කරනු ලබන අතර, ඔහුගේ කාලයන් හා ප්‍රස්තාවන් පිළිබඳ පූර්ව මෙන්ම නිශ්චිත තොරතුරු ඔහුගේ සේවකයන්ට ලබා දෙයි කියා අපේක්ෂා කළ නොහැකි බවයි.
යෙහෝවාගේ කාලයන් හා ප්‍රස්තාවන්
4. ක්‍රියා 1:7හි “කාලයන්” හා “ප්‍රස්තාවන්” හැටියට පරිවර්තනය කොට ඇති ග්‍රීක් වචනයේ අරුත් මොනවාද?
4 “කාලයන්” හා “ප්‍රස්තාවන්” යයි කීමෙන් අදහස් වන්නේ කුමක්ද? ක්‍රියා 1:7හි සඳහන් ප්‍රකාශයෙහි කාලවල පැති දෙකක් අන්තර්ගත වෙයි. “කාලයන්” යනුවෙන් යොදාගෙන ඇති ග්‍රීක් වචනයේ අරුත වන්නේ “කාල සීමාව යන අර්ථයෙන් කාලයයි,” එනම් යම් කාල වේලාවක් (දීර්ඝ හෝ කෙටි). යම් විශේෂිත අංගයන්ගෙන් සනිටුහන් වූ, නිර්ණය කළ හෝ නියම කරන ලද කාලයකට, යම් විශේෂිත සමයකට හෝ කාලපරිච්ඡේදයකට යොමු දක්වන වචනයකින් “ප්‍රස්තාවන්” පරිවර්තනය වී තිබෙනවා. මෙම මුල් වචන සම්බන්ධයෙන්, ඩබ්ලිව්. ඊ. වයින් මෙසේ ප්‍රකාශ කළා: “ක්‍රියා 1:7හි, පියා තම අධිකාරිත්වය යටතේ කාලවල් (ක්‍රෝනොස්), කාලපරිච්ඡේදයන්වල සීමාවන් හා ප්‍රස්තාවන් (කයිරොස්), එනම් ඇතැම් සිදුවීම් මගින් සලකුණු කෙරෙන වකවානු නියම කොට තිබෙනවා.”
5. දූෂිත ලොව විනාශ කිරීමට යන බවට වූ තම අරමුණ යෙහෝවා නෝවාට දැනුම් දුන්නේ කවදාද? තවද ඔහු ඉටු කළ දෙවැදෑරුම් කාර්යය කුමක්ද?
5 ජලගැල්මට පෙර, මනුෂ්‍යයන් විසින් හා කැරලිකාර මාංශවත් වූ දේවදූතයන් විසින් ඇති කරන ලද දූෂිත ලෝකයට දෙවි අවුරුදු 120ක කාල සීමාවක් නියම කළා. (උත්පත්ති 6:1-3) ඒ කාලය වන විට භක්තිවන්ත නෝවාට අවුරුදු 480ක් වුණා. (උත්පත්ති 7:6) ඔහුට දරුවන් නොසිටි අතර, තවත් අවුරුදු 20ක් යන තුරු ඔහු එම තත්වයේම සිටියා. (උත්පත්ති 5:32) තවත් බොහෝ කලකට පසු, දෙවි මෙලොවින් දුෂ්ටකම තුරන් කිරීමට වූ තම අරමුණ නෝවාට දැන්වූයේ, නෝවාගේ පුතුන් වැඩිහිටියන් වී විවාහ වුණාට පසුව පමණයි. (උත්පත්ති 6:9-13, 18) එවිට පවා, නැව සෑදීම හා සෙස්සන්ට දේශනා කිරීම යන දෙවැදෑරුම් කාර්යය නෝවාට භාර දෙනු ලැබුවත්, යෙහෝවා තම කාලසටහන ඔහුට හෙළි කළේ නැහැ.—උත්පත්ති 6:14; 2 පේතෘස් 2:5.
6. (අ) කාලය හා සබැඳි කාරණා යෙහෝවා අත තැබුවා කියා නෝවා පෙන්වූයේ කොහොමද? (ආ) අපට නෝවාගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කොහොමද?
6 දශක ගණනාවකට, සමහරක් විට අඩ සියවසකට පමණ පසු, ‘නෝවා . . . දෙවි ඔහුට අණ කළ සියල්ල ලෙස කළේය.’ නෝවා එසේ කළේ යම් නිශ්චිත දිනයක් නොදැනයි. එහෙත් “ඇදහිල්ලෙන්.” (උත්පත්ති 6:22; හෙබ්‍රෙව් 11:7) ජලගැල්ම පැමිණීමට සතියක් වෙන තුරු යෙහෝවා සිදුවීම් ඉටු කිරීමට යන නිශ්චිත කාලය ඔහුට දන්වා සිටියේ නැහැ. (උත්පත්ති 7:1-5) යෙහෝවා කෙරෙහි නෝවාට තිබූ පූර්ණ විශ්වාසය හා ඇදහිල්ල, කාලය හා සබැඳි කාරණා දෙවි අත තැබීමට ඔහුට හැකි කෙරෙව්වා. තවද ජලගැල්ම තුළදී යෙහෝවාගෙන් ලද ආරක්ෂාව දැනෙද්දීත්, පසුව නැවෙන් පවිත්‍ර වූ පොළොවකට පය තැබූ විටත්, නෝවාට මොනතරම් කෘතඥතාවේ හැඟීමක් ඇති වෙන්න ඇද්ද! එවැනිම මුදවාගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව අපත් දෙවි කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නැංවිය යුතු නොවේද?
7, 8. (අ) ජාතීන් හා ලෝක බලවතුන් ඇති වූයේ කොහොමද? (ආ) යෙහෝවා ‘කාලවල් පිළියෙළ කර සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමා නියම’ කළේ කොයි ආකාරයෙන්ද?
7 ජලගැල්මට පසු, නෝවාගේ පැවතෙන්නන්ගෙන් බහුතරයක් යෙහෝවාට නමස්කාර කිරීම අතහැර දැමුවා. එකම තැනක සිටීමේ පරමාර්ථය ඇතුව ඔවුන් බොරු නමස්කාරය සඳහා නගරයක් හා කොතක් ගොඩනඟන්න පටන්ගත්තා. මැදිහත් වීමට කාලය මෙයයි කියා යෙහෝවා අධිෂ්ඨානය කරගත්තා. ඔහු ඔවුන්ගේ භාෂා වියවුල් කර ‘එතැනින් [බාබෙල්හි සිට] මුළු පොළෝතලයෙහි ඔවුන්ව විසිරෙව්වේය.’ (උත්පත්ති 11:4, 8, 9) පසුව, එම භාෂා කණ්ඩායම් ජාතීන් බවට වර්ධනය වී, ඉන් සමහරක් තවත් ජාතීන්වද ඈඳාගනිමින් ප්‍රාදේශීය බලවතුන් බවට පත් වූ අතර, තවත් සමහරක් ලෝක බලවතුන් බවටද පත් වුණා.—උත්පත්ති 10:32.
8 ඔහුගේ අරමුණ ඉටුවීම පැත්තෙන් ගත් කල, සමහරක් අවස්ථාවලදී ඔහු ජාතික දේශ සීමා මායිම් මෙන්ම යම් ජාතියක් ප්‍රාදේශීය වශයෙන් බලපවත්වන්නේ හෝ ලෝක මට්ටමකින් බලයක් වන්නේ කොයි කාලයේදීදැයි තීරණය කළා. (උත්පත්ති 15:13, 14, 18-21; නික්මයාම 23:31; ද්විතීය කථාව 2:17-22; දානියෙල් 8:5-7, 20, 21) අතීනසයේ සිටි ග්‍රීක බුද්ධිමතුන්ට මෙසේ පැවසූ විට, යෙහෝවාගේ කාලයන් හා ප්‍රස්තාවන් පිළිබඳ මෙම අංගයට ප්‍රේරිත පාවුල් යොමු දැක්වූවා: “ලෝකයද එහි ඇති සියල්ලද මැවූ [දෙවි] . . . පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් [මැව්වේය].”—ක්‍රියා 17:24, 26.
9. රජවරුන් සම්බන්ධයෙන් ගත් කල, යෙහෝවා ‘කාලවල් හා ප්‍රස්තාවන්’ වෙනස් කළේ කොහොමද?
9 ජාතීන් අතරේ සිදු වන සියලු දේශපාලනික ජයග්රහණයන් හා වෙනස් වීම්වලට යෙහෝවා වගකිව යුතු බව මෙයින් අදහස් කරන්නේ නැහැ. එහෙත්, තම අරමුණ ඉටු කිරීමට ඔහුට කැමති වේලාවක මැදිහත් විය හැකියි. මේ හේතුවෙන්, ලෝක බලයක් වූ බබිලෝනියේ වැටීමත්, මේද පර්සියාව ඒ වෙනුවට බලයට පැමිණීමත් සියැසින් දැකීමට සිටිය දානියෙල් යෙහෝවා සම්බන්ධයෙන් මෙසේ පැවසුවා: “කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් [ඔහුය].”—දානියෙල් 2:21; යෙසායා 44:24–45:7.
‘කාලය ළං වෙමින් තිබුණා’
10, 11. (අ) ආබ්‍රහම්ගේ පැවතෙන්නන්ව වහල්භාවයෙන් මුදවනවා කියා යෙහෝවා කලින් නියම කළේ කොපමණ කලකට ඉහතදීද? (ආ) ඉශ්‍රායෙලිතයන් තමන්ව මුදවාගනු ලැබීමට යන දිනය නිශ්චිතවම දැන නොසිටියා කියා අඟවන්නේ කුමකින්ද?
10 මිසරීය ලෝක බලයේ එවකට සිටි රජව නින්දාවට පත් කරන නිශ්චිත අවුරුද්ද මෙන්ම ආබ්‍රහම්ගේ පැවතෙන්නන්ව වහල්භාවයෙන් නිදහස් කරන අවුරුද්දත් යෙහෝවා සියවස් හතරකට පෙර කලින්ම නියම කර තිබුණා. ආබ්‍රහම්ට තම අරමුණ හෙළි කරමින් දෙවි මෙසේ පොරොන්දු වුණා: “නුඹේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න. තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය.” (උත්පත්ති 15:13, 14) යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියේ ඉශ්‍රායෙල්ගේ ඉතිහාසය සාරාංශ කොට දක්වද්දී, ස්තේපන් මෙම අවුරුදු 400 කාලපරිච්ඡේදයට යොමු දක්වමින් මෙසේ ප්‍රකාශ කළා: “නුමුත් [දෙවි] ආබ්‍රහම්ට දුන් පොරොන්දුවේ කාලය ළංවී, යෝසෙප් නොහඳුනන අන් රජෙක් මිසරය කෙරෙහි පැමිණෙන තුරු සෙනග මිසරයෙහි වැඩී බොහෝ වූවෝය.”—ක්‍රියා 7:6, 17, 18.
11 මෙම නව ඵාරාවෝ ඉශ්‍රායෙලිතයන්ව වහල්භාවයට පත් කළා. මේ වන විට මෝසෙස් විසින් උත්පත්ති පොත ලියා නොතිබුණත්, යෙහෝවා ආබ්‍රහම්ට කළ පොරොන්දු වාචිකව හෝ ලිඛිතව පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ දුරට ගෙන ආවා විය හැකියි. කොහොම වුණත්, ඉශ්‍රායෙලිතයන්ට තිබූ තොරතුරු මගින්, මෙම පීඩාවලින් මිදීම ලබන නිශ්චිත දිනය ගණනය කිරීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඔවුන්ව ගළවන දිනය දෙවි දැන සිටියද, පීඩා විඳිමින් සිටි ඉශ්‍රායෙලිතයන්ට එය දැනුම් දෙනු ලැබුවේ නැහැ. අපට මෙසේ කියවීමට තිබෙනවා: ‘ඉක්බිති කල් යෑමේදී මිසරයේ රජ මළේය. ඉශ්රායෙල් පුත්‍රයෝ වහල් වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවි වෙතට පැමිණුණේය. දෙවි ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහි කළේය. දෙවි ඉශ්රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්වය සැලකුවේය.’—නික්මයාම 2:23-25.
12. මෝසෙස් යෙහෝවාගේ කාලයට කලින් ක්‍රියා කළා කියා ස්තේපන් පෙන්නුම් කළේ කොහොමද?
12 ඉශ්‍රායෙලිතයන්ගේ මිදීමේ නිශ්චිත කාලය පිළිබඳව කිසිම දැනුමක් නොතිබූ බව ස්තේපන්ගේ නිගමනයෙන් අපට උකහාගත හැකියි. මෝසෙස් සම්බන්ධයෙන් කතා කරමින් ඔහු මෙසේ පැවසුවා: “ඔහු සතළිස් අවුරුදු වයසට ළංවූ කල ඉශ්රායෙල් පුත්‍රයන් වන තමාගේ සහෝදරයන් බලන්ට යන ලෙස ඔහුගේ සිතෙහි අදහසක් හටගත්තේය. එකල ඔහු කෙනෙකුට අයුක්තියක් සිදුවෙනවා දැක, ඔහුට උදවුවී, මිසරයාට පහරදෙමින්, පීඩා වින්ද අයට යුක්තිය කෙළේය. මක්නිසාද [දෙවි] ඔහු කරණකොටගෙන ඔවුන්ට ගැළවීම දෙන බව තමාගේ සහෝදරයන් දන්නවායයි ඔහු සිතුවේය; නමුත් ඔව්හු තේරුම් නොගත්තෝය.” (ක්‍රියා 7:23-25) මෙහිදී මෝසෙස් දෙවිගේ කාලයට අවුරුදු 40කට කලින් ක්‍රියා කළා. දෙවි ‘තමා කරණකොටගෙන ඔවුන්ට ගැළවීම දෙන’ තුරු මෝසෙස්ට තවත් අවුරුදු 40ක් බලා සිටීමට සිදු වූ බව ස්තේපන් පෙන්නුම් කළා.—ක්‍රියා 7:30-36.
13. මිසරයෙන් මිදීමට පෙර ඉශ්‍රායෙලිතයන්ගේ තත්වයට අපේ තත්වය සමාන වන්නේ කොහොමද?
13 ‘පොරොන්දුවේ කාලය ළං වෙමින් තිබුණත්,’ දෙවි විසින් එම නිශ්චිත අවුරුද්ද නියම කර තිබුණත්, මෝසෙස්ටත් සියලු ඉශ්රායෙලිතයන්ටත් ඇදහිල්ල ක්‍රියාවට නංවන්න සිදු වුණා. යෙහෝවා නියම කරන ලද කාලය එන තුරා බලා සිටීමට ඔවුන්ට සිදු වුණා; තවද එසේ සිටීමට සිදු වුණේ කලින් ගණනය කිරීමට හැකියාව නැතුවයි. මෙම වත්මන් දේවල පිළිවෙළෙන් ලැබෙන මිදීම අත ළඟම ඇති බව අපටත් ඒත්තුගොස් තිබෙනවා. අප ජීවත් වන්නේ “අන්තිම දවස්වල” බව අප දන්නවා. (2 තිමෝති 3:1-5) එසේනම් අපත් අපේ ඇදහිල්ල නිරූපණය කරමින් යෙහෝවාගේ මහත් දවස සඳහා වූ නියමිත කාලය එන තුරු බලා සිටිය යුතු නොවෙයිද? (2 පේතෘස් 3:11-13) එසේනම් මෝසෙස් හා ඉශ්‍රායෙලිතයන් මෙන් යෙහෝවාගේ ප්‍රශංසාව උදෙසා අපත් මිදීමේ තේජවත් වූ ගීයක් ගයමු.—නික්මයාම 15:1-19.
“කාලය සම්පූර්ණවූ කල”
14, 15. දෙවි තම පුත්‍රයා මෙලොවට පැමිණෙන කාලය කලින් නියම කළා කියා අප දන්නේ කොහොමද? තවද ප්‍රොපේතවරුන් මෙන්ම දේවදූතයන් පවා කුමක් ගැනද සුපරීක්ෂාකාරිව සිටියේ?
14 මෙසියස් හැටියට තම ඒක ජාතක පුත්‍රයා මෙලොවට එන නියමිත කාලය යෙහෝවා නියම කර තිබුණා. පාවුල් මෙසේ ලිව්වා: ‘නමුත් කාලය සම්පූර්ණ වූ කල, දෙවි ස්ත්‍රියකගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයා එව්වේය.’ (ගලාති 4:4) මෙය වංශයක් එනම් ‘මනුෂ්‍යවර්ගයාගේ කීකරුකම ලැබෙන ෂිලෝ’ එවීමට වූ දෙවිගේ පොරොන්දුව ඉටුවීම හා සම්බන්ධව තිබුණා.—උත්පත්ති 3:15; 49:10.
15 දෙවිගේ ප්‍රොපේතවරුන් සහ දේවදූතයන් පවා මෙසියස් මෙලොවට පැමිණ පාපතර මනුෂ්‍යවර්ගයා සඳහා ගැළවීම හැකි කරවීමට යන “කාලය” නොහොත් “ප්‍රස්තාව” ගැන සුපරීක්ෂාකාරිව සිටියා. ‘නුඹලාට පැමිණෙන්ට තිබුණු අනුග්‍රහය ගැන අනාගතවාක්‍ය කී අනාගතවක්තෘවරු ඒ ගැළවීම ගැන බොහෝ සෙයින් විභාග කොට සෙව්වෝය. ඔවුන් තුළෙහි වූ ක්‍රිස්තුස්ගේ ආත්මය ක්‍රිස්තුස්ට නියම වූ වධ විඳීමද ඊට පසු පැමිණෙන තේජසද ගැන කලින් සාක්ෂි දුන් විට, කවර කාලයක් නොහොත් කොයි ප්‍රකාර කාලයක් හැඟවූයේද කියා ඔව්හු සෙව්වෝය. . . . ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශා වෙති,’ කියා පේතෘස් පැවසුවා.—1 පේතෘස් 1:1-5, 10-12.
16, 17. (අ) යෙහෝවා කුමන අනාවැකියක් මාර්ගයෙන්ද පළමු ශතවර්ෂයේ යුදෙව්වන්ට මෙසියස්ව බලාපොරොත්තුවෙන් සිටීමට උපකාර කළේ? (ආ) දානියෙල්ගේ අනාවැකිය යුදෙව්වන්ට මෙසියස් පිළිබඳව තිබූ බලාපොරොත්තුවලට බලපෑවේ කොහොමද?
16 නොසැලෙන ඇදහිල්ලක් තිබූ තම ප්‍රොපේත වූ දානියෙල් මගින් යෙහෝවා “සති සැත්තෑව” පිළිබඳ අනාවැකිය දී තිබුණා. එම අනාවැකිය මගින් පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන්ට පොරොන්දු වූ මෙසියස්ගේ ඊම එළඹෙමින් තිබූ බව දැනගැනීමට හැකි කෙරෙව්වා. එම අනාවැකියේ එක් කොටසක් මෙසේ ප්‍රකාශ කළා: “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද [තිබේ.]” (දානියෙල් 9:24, 25) යුදෙව්, කතෝලික හා රෙපරමාදු විශාරදයන් සඳහන් කර ඇති මෙම ‘සතිවලින්’ වර්ෂ සති අඟවන බවට පොදුවේ එකඟ වෙනවා. පර්සියානු රජ වන අර්තක්ෂස්තා නෙහෙමියාට “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට” විධාන කළ විට දානියෙල් 9:25හි සඳහන් “සති” 69 (අවුරුදු 483) පො.යු.පෙ. 455දී පටන්ගත්තා. (නෙහෙමියා 2:1-8) ඒවා අවුරුදු 483කින් එනම් පො.යු. 29දී අවසන් වුණා. එනම් යේසුස් බව්තීස්ම වී ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබ, මෙසියස් නැත්නම් ක්‍රිස්තුස් බවට පත් වූ විටයි.—මතෙව් 3:13-17.
17 අවුරුදු 483 නිශ්චිතවම පටන්ගත්තේ කවදාද කියා යුදෙව්වන් දැන සිටියාද යන්න තවමත් ප්රහේලිකාවකි. නමුත් යොහන් බව්තීස්ත තම මෙහෙය පටන්ගත් කාලයේදී, ‘සෙනඟ බලාපොරොත්තුවෙන් සිටි අතර සියල්ලන් යොහන් ගැන, ඔහු ක්‍රිස්තුස් දෝහෝයි සිතින් කල්පනා කරමින් සිටියෝය.’ (ලූක් 3:15) සමහරක් බයිබල් විශාරදයන් මෙම බලාපොරොත්තුව දානියෙල්ගේ අනාවැකියත් සමඟ සම්බන්ධ කරනවා. මෙම පදය ගැන අදහස් දක්වමින්, මැතිව් හෙන්රි මෙසේ ලිව්වා: “මෙසියස් ගැනත් ඔහු ඉතා ඉක්මනින් එන බවත් සිතන්න, යොහන්ගේ මෙහෙය හා බව්තීස්මය හේතුවෙන් මිනිසුන්ව පෙලඹුණු හැටි . . . මෙතැනින් කියවෙනවා. . . . දැන් දානියෙල්ගේ සති සැත්තෑව සමාප්තියකට පැමිණෙමින් තිබුණා.” වීගූරූ බාක්වැස් හා බ්රාසාක් විසින් රචිත ප්‍රංශ මැනුඒල් බීබ්ලීක් මෙලෙස ප්‍රකාශ කරනවා: “දානියෙල් විසින් සකසන ලද වර්ෂ සති සැත්තෑව නිමාවකට පැමිණෙමින් තිබූ බව මිනිසුන් දැන සිටියා. යොහන් බව්තීස්ත දේවරාජ්‍යය ළඟයයි ප්‍රකාශ කරනවා ඇසීමෙන් කවුරුත් පුදුමයට පත් වූයේ නැහැ.” යුදෙව් විශාරද ඇබා හිලල් සිල්වර් ලිව්වේ එදා පැවති “පොදු කාල ගණිතයට” අනුව “මෙසියස්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේ පළවෙනි ශතවර්ෂයේ පො.යු. 25 සිට 50 දක්වා වූ කාලය තුළ” බවයි.
සිදුවීම්—ගණනය කිරීම් නෙවෙයි
18. දානියෙල්ගේ අනාවැකිය මෙසියස් කවදාද එන්නේ කියා බලාපොරොත්තුවෙන් සිටීමට උපකාර කළ නුමුදු, යේසුස්ගේ මෙසියස්බව වඩාත්ම තහවුරු කරන සාක්ෂිය කුමක්ද?
18 මෙසියස් පැමිණෙන්නේ කවදාද යන්න පිළිබඳ සාමාන්‍ය අදහස් ඇති කරගැනීමට කාල ගණිතයන් පෙනෙන ප්‍රකාරයට උපකාරයක් වූ නුමුදු, ඉන්පසුව ඉටු වූ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ යේසුස්ගේ මෙසියස්බව ඔවුන් තුළ තහවුරු කිරීමට කාල ගණිතයන් උපකාරවත් නොවූ බවයි. යේසුස්ගේ මරණයට අවුරුද්දකටත් වඩා අඩු කාලයකදී, යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් මෙසේ ඇසුවා: “මා කවුරුය කියා මනුෂ්‍යයෝ [කියද්ද?]” ඔවුන් මෙසේ උත්තර දුන්නා: “යොහන් බව්තීස්තය; එහෙත් සමහරෙක් එලියාය; අන් සමහරෙක් පුරාණ අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැවත නැගිට සිටීය කියා කියති.” (ලූක් 9:18, 19) යේසුස් තමා මෙසියස් කියා ඔප්පු කිරීමට සංකේත සතිවල අනාවැකිය උපුටා දැක්වූවා කියා අපට කොතැනකවත් සඳහනක් සොයාගත නොහැකියි. නමුත් එක් අවස්ථාවකදී ඔහු මෙසේ පැවසුවා: “මට ඇත්තාවූ සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්ය. මක්නිසාද මා විසින් ඉෂ්ටකරන පිණිස [පියා] මට භාරදුන්නාවූ මා කරන්නාවූ වැඩම, [පියා] මා එවූ බවට මා ගැන සාක්ෂිදෙයි.” (යොහන් 5:36) යම් හෙළි කරන ලද කාල ගණිතයක් වෙනුවට, යේසුස්ගේ දේශනා කිරීම, ඔහුගේ ආශ්චර්යයන් හා මරණය වටා ගෙතුණු සිදුවීම්වලින් (ආශ්චර්යවත් අන්ධකාරය, දේවමාළිගා තිරය දෙකඩ වීම හා භූමිකම්පාව) ඔහුව දෙවි විසින් එවන ලද මෙසියස් බවට සනාථ කළා.—මතෙව් 27:45, 51, 54; යොහන් 7:31; ක්‍රියා 2:22.
19. (අ) යෙරුසලමේ විනාශය ළං වී තිබුණා කියා ක්‍රිස්තියානීන් දැන සිටියේ කොහොමද? (ආ) යෙරුසලමෙන් පලාගිය මුල් ක්‍රිස්තියානීන්ට ඒ වන විටත් මහත් ඇදහිල්ලක් අවශ්‍ය වූයේ මන්ද?
19 එයාකාරයෙන්ම, යේසුස්ගේ මරණයෙන් පසු පැමිණෙමින් තිබූ යුදෙව් දේවල පිළිවෙළේ සමාප්තිය ගණනය කිරීමට මුල් ක්‍රිස්තියානීන්ට කිසිදු ක්‍රමයක් සපයනු ලැබුවේ නැහැ. නමුත් සංකේතාත්මක සති පිළිබඳ දානියෙල්ගේ අනාවැකියේ එම පිළිවෙළේ සමාප්තිය ගැන සඳහන් වූවා යන්න සත්‍යයක්. (දානියෙල් 9:26ආ, 27ආ) නමුත් මෙය සිදු වනු ඇත්තේ “සති සැත්තෑව” නිමා වූවාට පසුවයි (පො.යු.පෙ. 455-පො.යු. 36). වෙනත් වචනවලින් කිව්වොත්, පො.යු. 36දී පළමු අන්‍ය ජාතිකයන් යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වූ දා සිට කාල ගණිත තොරතුරු ගත් කල, දානියෙල් 9වන පරිච්ඡේදයෙන් ක්‍රිස්තියානීන් කිසිවක් ලැබුවේ නැහැ. යුදෙව් පිළිවෙළ නිමා වෙනවායයි ඔවුන්ට අඟවනු ලබන්නේ කාල ගණිතයන් නොව සිදුවීම්ය. යේසුස් විසින් පවසන ලද එම සිදුවීම්, රෝම හමුදා යෙරුසලමට පහර දී විසිර ගිය අවස්ථාව වන පො.යු. 66දී එහි උච්චාවස්ථාවට පැමිණියා. මෙය යෙරුසලමේ හා යුදයේ සිටි ඇදහිලිවන්ත හා සුපරීක්ෂාකාරි ක්‍රිස්තියානීන්ට ‘කඳුවලට පලා යෑමට’ අවස්ථාවක් සැලසුවා. (ලූක් 21:20-22) කිසිම කාල ගණිතමය ලකුණක් නොමැතිව සිටි මුල් ක්‍රිස්තියානීන් යෙරුසලමට කවදා විනාශය පැමිණේවිදැයි දැන සිටියේ නැහැ. රෝම හමුදාව නැවත පො.යු. 70දී පැමිණ යුදෙව් පිළිවෙළ සහමුලින්ම විනාශ කරන තුරු තම නිවෙස්, වතුපිටි හා වැඩපොළවල් අතහැර දමා, අවුරුදු හතරක පමණ කාලයක් යෙරුසලමෙන් පිටව සිටීමට කොතරම් ඇදහිල්ලක් අවශ්‍ය වූවාද!—ලූක් 19:41-44.
20. (අ) නෝවා, මෝසෙස් හා පළවන ශතවර්ෂයේ යුදයේ විසූ ක්‍රිස්තියානීන්ගේ ආදර්ශයෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කොහොමද? (ආ) අප ඊළඟ ලිපියේ සාකච්ඡා කිරීමට යන්නේ කුමක්ද?
20 නෝවා, මෝසෙස් හා පළවන ශතවර්ෂයේ යුදයේ විසූ ක්‍රිස්තියානීන් මෙන් අපටත් නිසැකබවින් යුතුව කාලයන් හා ප්‍රස්තාවන් යෙහෝවා අත තැබිය හැකියි. අප අන්තිම කාලයේ ජීවත් වන බවත් අපගේ මිදීම ළඟාවනවාය යන නිසැකභාවයත් රඳා පවතින්නේ, කාල ගණිතයන් මත නොව, නමුත් බයිබල් අනාවැකි ඉටුවීමක් වශයෙන් දක්නට ඇති සැබෑ ජීවිත සිදුවීම් මතයි. තවදුරටත්, අප දැනටමත් ක්‍රිස්තුස්ගේ පැමිණසිටීමේ වකවානුව තුළ ජීවත් වූවත්, ඇදහිල්ල ක්‍රියාවට නැංවීම හා අවදිව සිටීම සම්බන්ධ කාරණය අප සැහැල්ලුවට නොගත යුතුයි. ශුද්ධ ලියවිලිවල පුරෝකථනය කර ඇති කුහුල දනවන සිදුවීම් ගැන මහත් ඕනෑකමකින් යුතුව බලාසිටිමින් අප ජීවත් විය යුතුයි. මෙම විෂය පිළිබඳවයි අප ඊළඟ ලිපියේ කතා කිරීමට යන්නේ.
[පාදසටහන]
පුනරීක්ෂණයක් හැටියට
◻ යෙහෝවාගේ කාලයන් හා ප්‍රස්තාවන් සම්බන්ධයෙන් ගත් කල, යේසුස් ඔහුගේ ප්‍රේරිතයන්ට කිව්වේ කුමක්ද?
◻ ජලගැල්ම පටන්ගැනීමට යනවාය කියා නෝවා දැනගත්තේ කොපමණ කලකට ඉහතදීද?
◻ මිසරවරුන්ගේ වහල්භාවයෙන් තමන්ව මුදවාගැනීමට යන්නේ කවදාද යන්න මෝසෙස් හා ඉශ්‍රායෙලිතයන් නිශ්චිතවම දැන නොසිටි බව අඟවන්නේ කුමකින්ද?
◻ යෙහෝවාගේ කාලයන් හා ප්‍රස්තාවන් සම්බන්ධ බයිබල් ආදර්ශවලින් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ කොහොමද?
[11වන පිටුවේ පින්තූරය]
කාලය හා සබැඳි කාරණා යෙහෝවා අත තැබීමට නෝවාගේ ඇදහිල්ල ඔහුට හැකි කෙරෙව්වා