‘සත්‍යය ඔබව නිදහස් කරන්නේය’
‘ඔබ සත්‍යය අවබෝධ කරගන්නහුය; සත්‍යය ඔබව නිදහස් කරන්නේය.’ යෙරුසලම් දේවමාළිගාවේ රැස්ව සිටි ජන සමූහයට උගන්වමින් සිටි විටදී යේසු එසේ ප්‍රකාශ කළා. (යොහන් 8:32, නව අනුවාදය) යේසුගේ ප්‍රේරිතයන්ට ඔහුගේ ඉගැන්වීම් සත්‍යයයි කියා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වුණා. ඔවුන්ගේ ගුරුවරයාගේ දිව්‍යමය මූලාරම්භය ගැන ඔවුන් ඕනෑ තරම් සාක්ෂි දැක තිබුණා.
කාහොම වුණත්, යේසු පැවසූ සත්‍යය හඳුනාගැනීමට අද සමහරුන්ට අපහසු වන්න පුළුවන්. ප්‍රොපේත යෙසායාගේ කාලයේ මෙන් අදත් “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ” අය සිටිනවා. (යෙසායා 5:20) දැන් කාලයේ ඉදිරිපත් කරමින් සිටින නානා ප්‍රකාර මත, දර්ශනවාදයන් සහ ජීවිත රටාවන් නිසා සෑම දෙයක්ම සාපේක්ෂ බවත්, සත්‍යයයයි කිව හැකි දෙයක් නොමැති බවත් බොහෝ මනුෂ්‍යයන්ට හැඟෙනවා.
සත්‍යය ඔවුන්ව නිදහස් කරන බව යේසු ඔහුගේ සවන්දෙන්නන්ට පැවසූ විට, ඔවුන් මෙසේ කියමින් ප්‍රතිචාරය දැක්වූවා: “අපි ආබ්‍රහම්ගේ වංශයය, කිසි කලක අපි කිසිවෙකුට වහල් නූණෙමුව. නුඹලා නිදහස්වන්නහුයයි නුඹ කියන්නේ [කොහොමද?]” (යොහන් 8:33) කිසිම කෙනෙක් නැත්නම් කිසිම දෙයක් මාර්ගයෙන් ඔවුන්ව නිදහස් කරලීමට අවශ්‍ය බව ඔවුන්ට හැඟුණේ නැහැ. නමුත් යේසු ඊළඟට මෙසේ පැහැදිලි කළා: “සැබවක් සැබවක් නුඹලාට කියමි—පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය.” (යොහන් 8:34) යේසු කතා කරමින් සිටි සත්‍යයට, පාපයෙන් නිදහස්කමට මං විවෘත කරන්න පුළුවන්. “එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස්කරන්නේ නම් සැබවින් නුඹලා නිදහස්වන්නහුය” යයි යේසු පැවසුවා. (යොහන් 8:36) එනිසා මනුෂ්‍යයන්ව නිදහස් කරන සත්‍යය නම් දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ සත්‍යයයි. ඕනෑම කෙනෙකුට පාපයෙන් සහ මරණයෙන් නිදහස් විය හැක්කේ යේසුගේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයේ පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් පමණයි.
වෙනත් අවස්ථාවක යේසු මෙසේ පැවසුවා: “සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළමැනව. ඔබගේ වචනය සත්‍යතාවය.” (යොහන් 17:17, 18අ) මිථ්‍යා විශ්වාස සහ බොරු නමස්කාරයෙන් නිදහස ගෙනා හැකි සත්‍යය නම් බයිබලයේ ප්‍රකාශ කර ඇති දෙවිගේ වචනයයි. යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ සත්‍යය බයිබලයේ අඩංගු වෙනවා. එය ඔහු කෙරෙහි ඇදහිල්ල තැබීමට මඟ පාදන අතර, අනාගතය සඳහා දීප්තිමත් බලාපොරොත්තුවකට මං විවර කරනවා. දෙවිගේ වචනයේ ඇති සත්‍යතාව දැනගැනීමට ලැබීම මොනතරම් උත්කෘෂ්ට දෙයක්ද!
සත්‍යය දැනගැනීම කොතරම් වැදගත්ද? අද බොහෝ ආගම් බයිබලය අනුගමනය කරනවායයි කියා සිටියත්, මිනිසුන්ගේ දර්ශනවාදයන් සහ සම්ප්‍රදායන්ගේ බලපෑමට ප්‍රබල ලෙස ලක්වනවා. බොහෝවිට ආගමික නායකයන් ඔවුන්ගේ පණිවුඩයේ තිබෙන නිරවද්‍යතාවට අවධානයක් දෙනවාට වඩා ජනයා විසින් ඔවුන්ව පිළිගැනීමට වැඩි අවධානයක් දෙනවා. ඕනෑම ආකාරයක නමස්කාර ක්‍රමයකට, එය අවංකව තිබෙන තාක් කල් දෙවිව සතුටු කළ හැකියයි සමහරුන්ට හැඟෙනවා. නමුත් යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැහැදිලි කළා: “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද [පියාට] නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද [පියා] තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් [සොයන්නේය].”—යොහන් 4:23.
දෙවි පිළිගන්න ආකාරයට නමස්කාර කිරීමට අපට අවශ්‍ය නම්, අප සත්‍යය දැනගත යුතුයි. මෙය වැදගත් කාරණයක්. අපේ සදාතනික සන්තෝෂය රඳාපවතින්නේ එය මතයි. එමනිසා සෑම කෙනෙක්ම තමන්ගෙන්ම මෙසේ ඇසිය යුතුයි: ‘මගේ නමස්කාර ක්‍රමය දෙවිට පිළිගත හැකිද? දෙවිගේ වචනයේ තිබෙන සත්‍යය ඉගෙනගැනීමට මම අවංකවම උනන්දුවක් දක්වනවාද? එසේ නැතිනම් සැලකිලිමත්ව කරන ගවේෂණයකින් කුමක් අනාවරණය කරයිද යන්න ගැන මම බිය වෙනවාද?’