බටහිර අප්‍රිකාවේ සොරකමක් වැළැක්වේ
යූනිස් ඒබූ පැවසූ පරිදි
“සාමාන්‍යයෙන් අපේ ගෙදර සභා පොත් පාඩම තිබෙන දවසේ නිවසට පනින්න අවි සන්නද්ධ හොරු සැලසුම් කර තිබුණා. සහෝදර සහෝදරියන්ට හා උනන්දුව දක්වන අයට එන්න අපි ගේට්ටු ඇරලයි තියන්නේ. අපි සාමාන්‍යයෙන් කරන දේවල් වගේම රැස්වීම පැවැත්වෙන වෙලාවත් හොරු දැනගෙන ඉන්න ඇති. ඔවුන් වෙනත් තැනක කාර් එකක් සොරකම් කරලා තිබුණ බවත්, පොත් පාඩම පවත්වන දවසේ පොත් පාඩම වෙලාවේදී අපේ ගේට්ටුව ළඟට ඇවිත් හිටිය බවත් අප හොඳටම දන්නවා.
“හොඳ වෙලාවට, ඔවුන් පැමිණ තිබුණේ චාරිකා අවේක්ෂක බැහැදකින සතියෙයි. අපේ නිවසේ රැස් වෙනවා වෙනුවට අපි රැස් වුණේ රාජ්‍ය ශාලාවෙයි. රැස්වීම ඉවර වුණාට පස්සේ වැඩිමහල්ලන්ගේ රැස්වීමක් තිබුණා. සාමාන්‍යයෙන් මමයි දරුවනුයි ගෙදර යනවා වුණත් වැඩිමහල්ලෙක් වන මගේ සැමියා කිව්වා ඔහු එනකම් ඉන්න කියලා. වැඩි වෙලාවක් ගන්නේ නැහැ කියලා ඔහු කිව්වා. ඉතින් අපි හිටියා.
“ඊට පස්සේ කාර් එක පණගන්වන්න බැරි බව අපි දැනගත්තා. චාරිකා අවේක්ෂකටයි මගේ සැමියාටයි බැරි වුණා ඒක හදන්න. අපි කැඳවූ යාන්ත්‍රික ශිල්පියාටත් ඒක හදන්න බැරි වුණා.
“දරුවන්ට පයින් ගෙදර යන්න සිද්ධ වුණා. ටික වෙලාවකට පස්සේ, මමත් ගෙදර ගියා. මම ආවේ දහයට විතර. මමවත් මගේ දරුවන්වත් කාර් එකකින් ඉඩමට ඇතුල් වුණේ නැහැ; එහෙම කළා නම් ලොකු ගේට්ටුව අරින්න සිද්ධ වෙනවා.
“මගේ නිදන කාමරයට මම ගියහම, මට මහා වෙඩි හඬක් ඇහුණා. මොකක්ද වෙන්නේ කියලා මම කල්පනා කළා. පොලිසියට දුරකථනයෙන් අමතන්න මම උත්සාහ කළත් දුරකථනය ක්‍රියා විරහිත වී තිබුණා. මම පහළ තට්ටුවට දුවලා ගිහින් ඉස්සරහ යකඩ දොර වහලා ඊට පස්සේ ඉක්මනින් මැද දොරත් වහලා දැම්මා. ලයිට් නිවලා දැම්මා. දරුවෝ භය වෙලා හිටිය නිසා මම ඒගොල්ලන්ට සන්සුන් වෙන්න කිව්වා. අපි එකතු වෙලා යෙහෝවාගේ ආරක්ෂාව ඉල්ලලා යාච්ඤා කළා. මේ අතරතුරේ, මගේ සැමියා කාර් එක පණගන්වන්න උත්සාහ කරමින් රාජ්‍ය ශාලාවෙයි හිටියේ.
“මම ජනේලෙන් පිටත බැලුවහම මිනිහෙක් ගේට්ටුවෙන් එහා බිම වැටිලා ඉන්නවා දැක්කා. හොරු ගිහින් වගේ පෙනෙන්න තිබුණ නිසා මම තුවාලකරුවාව මගේ කාර් එකේ දාගෙන ඉක්මනින්ම රෝහලට අරගෙන ගියා. ඒක අවදානම් වැඩක් වුණත් මම යමක් කළ යුතුව තිබුණා. ඒත්, ඔහු ඊළඟ දවසේ මැරුණ එක කනගාටුදායක දෙයක්.
“ඒ දුක්ඛදායක සිද්ධියට අමතරව දේවල් ඊටත් වඩා දරුණු වෙන්න ඉඩ තිබුණා. චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම නිසා අපට අපේ නිවසේ පොත් පාඩම පවත්වන්න සිද්ධ වුණේ නැහැ. කාර් එක කැඩුණු එකෙන් වුණේ අපිට පවුලක් හැටියට ගෙදරට රිය පදවාගෙන එන්න බැරි වුණ එකයි. මගේ සැමියා ආවා නම් හොරු ස්ථිරවශයෙන්ම එයාව අල්ලගන්නවා, ඒත් එයා හුඟාක් රෑ වෙන තුරුම ගෙදර ආවේ නැහැ. ඒ රාත්‍රියේ මේවා සහ වෙනත් ඒවා සිද්ධ වුණේ අපේම වාසියටයි.
“යෙහෝවා අපේ බලකොටුව සහ රක්ෂස්ථානයයි. එය හරියටම ශුද්ධ ලියවිල්ලේ කියනවා වගේ ‘යෙහෝවා ගෙය නොසාදන්නේ නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. යෙහෝවා නුවර ආරක්ෂා නොකරන්නේ නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.’ ”—ගීතාවලිය 127:1.