හොඳම ජීවිත මඟෙහි එක්සත්ව
ලෝක ජනගහනය මෙයාකාරයෙන් දිගටම වර්ධනය වූවොතින්, තව වැඩි කලක් යන්න මත්තෙන් පෘථිවියේ මිනිසුන් බිලියන හයක් සිටීවි. සියලු මනුෂ්‍යයන් එකම මුතුන් මිත්තෙක්ගෙන් පැමිණෙන නමුත්, අප සියලුදෙනාම නැණවත්, ප්‍රේමනීය මැවුම්කරුවෙකුට ගණන් දිය යුතු, එකම ජගත් පවුලේ සාමාජිකයන්ය යන කාරණය වැඩිදෙනෙක් බැහැර කරන බවයි පෙනෙන්න තිබෙන්නේ. ජාතීන්, වර්ගයන් හා සංස්කෘතීන් එකිනෙක අතරේ පවතින අසමඟිය හා වෛරය, මෙම කනගාටුදායක තත්වයට මැනවින් සාක්ෂි සපයයි.
වර්තමාන ලෝක තත්වයන් දෙස බලද්දී, ජගත් එක්සත්කම අත් කරගත නොහැකි ඉලක්කයක් සේ දිස් විය හැකියි. කොලම්බියා ලෝක ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) මෙසේ ප්‍රකාශ කරයි: “එකට ජීවත් වන්නේ කෙසේද යන අතිවැදගත් ප්රශ්නය ගත් කල, වත්මන් ලෝකයාට ඒ සඳහා එක පිළියමක්වත්, ඔව් එකක්වත් ඉදිරිපත් කළ නොහැකියි.”
කොහොම වුණත්, ලෝකයේ සියලුම ජනාවාසීන් අතරේ එකමුතුකම ඇති කිරීම සඳහා නව පිළියමක් අවශ්‍ය කරන්නේ නැහැ. එක්සත්කම සඳහා මඟ ශුද්ධ ලියවිල්ලෙහි මැනවින් පෙන්නුම් කොට තිබෙනවා. පොළොව හා එහි වසන සියලු ජීවින් මැවූ තැනැත්තාට නමස්කාර කිරීම ගැන එය මූලික වශයෙන් කතා කරයි. දෙවිගේ සෙනඟ අතරේ දැනටමත්, සිතීමේ, අරමුණුවල හා ජීවිත මඟෙහි සැබෑ එක්සත්කමක් ඇත. රටවල් 233ක මිලියන පහමාරකට වඩා වැඩි ප්‍රමාණයක් සිටින ඔවුන්, ජීවිතය සඳහා තිබෙන හොඳම මඟ, දෙවිගේ මඟය යන විශ්වාසයෙන් එකමුතු වී සිටියි. ගීතිකාකරු මෙන් ඔවුන් මෙසේ යාච්ඤා කරයි: “[යෙහෝවා], ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.”—ගීතාවලිය 86:11.
මෙසේ පරිශුද්ධ නමස්කාරයෙහි මිනිසුන් එකමුතු වීම ගැන යෙසායා බොහෝ කලකට ඉහතදී පුරෝකථනය කළා. ඔහු මෙසේ ලිව්වා: ‘මතු දවස්වලදී යෙහෝවාගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස් වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කතා කොට: එන්න, යෙහෝවාගේ කන්දටත් යාකොබ්ගේ දෙවිගේ ගෘහයටත් යමු; ඔහු තමන්ගේ මාර්ග අපට උගන්වන්නේය, අපිද ඔහුගේ මාවත්වල යන්නෙමු.’—යෙසායා 2:2, 3.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්සත්කම අද්විතීයයි. ලෝක ව්‍යාප්ත සභාවන් 87,000කට වැඩි ප්‍රමාණයක සතියක් පාසා සතියක් පවත්වන රැස්වීම්වලදී ඔවුන් එකම ආත්මික ආහාර භුක්ති විඳියි. (මතෙව් 24:45-47) කොහොම වුණත්, 1998 මැද භාගයේ සිට 1999 මුල දක්වා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තවත් ආකාරයකින් තමන්ගේ එකමුතුකම විදහාපෙන්වූවා; එසේ විදහාපෙන්වූයේ ලෝක ව්‍යාප්තවම පවත්වන ලද “ජීවිතය සඳහා දෙවිගේ මඟ” නමැති දින තුනේ සමුළුවට සහභාගි වීමෙනි. ප්‍රදේශයන් ගණනාවකින් පැමිණි නියෝජිතයන් රැසක් රටවල් 13ක පැවැත්වූ මෙම එක්රැස් වීම්වලට සහභාගි වූ අතර, මේවා ජාත්‍යන්තර සමුළු ලෙසින් හැඳින්වූවා. වෙනත් ඒවා හැඳින්වූයේ දිස්ත්‍රික් සමුළු ලෙසයි. ඒ කෙසේ වුණත්, මේ සෑම සමුළුවකම ඉදිරිපත් වූයේ හොඳ දෙයින් පිරි එකම ආත්මික ආහාර වැඩසටහනකි.
යෙහෝවා විසින් උගන්වනු ලැබීම සඳහා, විනීතව ඇඳ පැළඳ හා ප්‍රීතියෙන්, නියෝජිතයන් ශ්‍රවණාගාර හා ක්‍රීඩාංගණවලට වැල නොකැඩී එනවා දැකීම මොනතරම් මනහර දෙයක් වීද! අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන්හි පවත්වන ලද ජාත්‍යන්තර සමුළුවට පැමිණි නියෝජිතවරියක් කළ ප්‍රකාශය නිතර නිතර අසන්න ලැබූ එකක් වුණා. ඇය මෙසේ පැවසුවා: “ලෝකේ හැම පැත්තකින්ම අපේ සහෝදරයන් ඇවිල්ල ඉන්නවා දකිද්දී මට දැනුණේ පුදුමාකාර සතුටක්. චෙක් සමූහාණ්ඩුව, බාර්බේඩොස්, නයිජීරියාව, හංගේරියාව, එංගලන්තය, නෙදර්ලන්තය, ඉතියෝපියාව, කෙන්යාව වගේම තවත් රටවල් ගොඩකින් ආපු අය එකිනෙකාව වැලඳගන්නවා දකින කොට මට නං දැනුණ සන්තෝෂය කොයිතරංද කියල කියන්න බැහැ. සහෝදරයන් එකට ඉන්නවා දකින කොට ඒක කොයිතරං ලස්සනද! ඒගොල්ලන්ගේම සහෝදරයන්ටත්, ශ්‍රේෂ්ඨ දෙවි වන යෙහෝවාටත් ඇති ප්‍රේමය නිසා දැනුණ සතුට කොච්චරද කිව්වොත් ඒ අයගේ ඇස්වල කඳුළුත් පිරිල තිබුණා.” ලොව පුරා මිලියන ගණනක් විසින් භුක්ති විඳි සමුළු වැඩසටහන මීළඟ ලිපියෙන් සාකච්ඡා කරයි.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.