අනුන් ඔබේ උපදෙස් භාරගන්නවාද?
හොඳ උපදෙස් නිසි අයුරින් දුන්නොත් හැමවිටම කදිම ප්‍රතිඵල ලැබෙයි. හරිද? නෑ, වැරදියි! සමර්ථ උපදේශකයන් දෙන විශිෂ්ට උපදෙස් පවා නොසලකා හැරේ, නැතහොත් ප්‍රතික්ෂේප කෙරේ.—හිතෝපදේශ 29:19, නව අනුවාදය.
තම සහෝදර වූ ආබෙල් සඳහා වෛරයක් වර්ධනය කරගෙන සිටි කායින්ට යෙහෝවා උපදෙස් දුන් විට, සිදු වුණේ එයයි. (උත්පත්ති 4:3-5) කායින් සිටි අවදානම් තත්වය දැන, දෙවි ඔහුට මෙසේ පැවසුවා: “නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද? නුඹ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය. නුඹද එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහිය [ඔබට එය ආණ්ඩු කළ හැකිද?, NW].”—උත්පත්ති 4:6, 7.
මේ අනුව යෙහෝවා පාපය සම කළේ ලැග සිටින සතෙකුටයි. කායින් තම සහෝදරයාට විරුද්ධව දිගින් දිගටම අමනාපයක් පවතින්න ඉඩහැරියොත් පාපය ඔහු වෙතට කඩාපනින බව පැහැදිලියි. (යාකොබ් 1:14, 15 සසඳන්න.) හානිකර ක්‍රියාමාර්ගයක් ලුහුබඳිනවා වෙනුවට, ‘යහපත කිරීම සඳහා’ තම ආකල්පය වෙනස් කිරීමට කායින් සඳහා තවමත් කාලය ඉතිරිව තිබෙනවා. කනගාටුදායක ලෙස, කායින් ඇහුම්කන් නොදී, යෙහෝවාගේ උපදෙස් ප්‍රතික්ෂේප කළා. මොනතරම් භයානක ප්‍රතිඵල ලැබුවාද!
සමහරුන් කුමන ස්වභාවයකින් හෝ ලැබෙන උපදෙස් නුරුස්සා, ප්‍රතික්ෂේප කරනවා. (හිතෝපදේශ 1:22-30) කෙසේවෙතත්, උපදෙස් ප්‍රතික්ෂේප කරන විට, උපදේශකයා අතිනුත් යම් දුර්වලකමක් සිදු වී ඇතැයි කියන්න බැරිද? (යෝබ් 38:2) උපදෙස් දෙන ඔබ, අනුන්ට එය භාරගැනීම අසීරු කාර්යයක් කරනවාද? මිනිස් අසම්පූර්ණකම නිසා, ඒ සම්බන්ධයෙන් සැබෑ අන්තරාවක් පවතී. එනමුත් එවැනි දෙයක් සිදුවීමට ඇති ඉඩ කඩ අවම කිරීම සඳහා පරෙස්සමින් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම ප්‍රයෝජනවත් වෙයි. එවන් ප්‍රතිපත්ති කිහිපයක් සලකා බලමු.
‘මෘදුකමේ ස්වභාවයකින් යුක්තව යළි සකස් කරන්න’
“සහෝදරයෙනි, යම් මනුෂ්‍යයෙක්, නොදැන යම් වැරදි පියවරක් ගන්නේ නම්, ආත්මික සුදුසුකම් ඇති ඔබ, එවන් මනුෂ්‍යයෙකුව මෘදුකමේ ස්වභාවයකින් යුක්තව යළි සකස් කිරීමට උත්සාහ දරන්න. ඔබද පරීක්ෂාවට හසු වේය යන බිය නිසා, ඔබත් ඔබ ගැනම ඇසක් තබාගන්න.” (ගලාති 6:1, NW) ‘නොදැන යම් වැරදි පියවරක් ගත්තොත්’ ක්‍රිස්තියානියෙකුව යළි සකස් කිරීමට “ආත්මික සුදුසුකම්” ඇති අය උත්සාහ කළ යුතු බව ප්‍රේරිත පාවුල් ගෙනහැර දැක්වූ බව මෙයින් පැහැදිලි වේ. සමහරවිට, උපදෙස් දීමට අඩුම සුදුසුකම් ඇති අය තමයි උපදෙස් දීමට වැඩිම නැඹුරුවාවක් දක්වන්නේ. එබැවින් අනුන්ට උපදෙස් දෙන්න හදිස්සි වන්න එපා. (හිතෝපදේශ 10:19; යාකොබ් 1:19; 3:1) මෙසේ කිරීමට ආත්මික සුදුසුකම් මූලිකවම ඇත්තේ සභා වැඩිමහල්ලන්ටයි. කෙසේවෙතත්, සහෝදරයෙකු අන්තරාවකට වැටෙන්න යනවා දකින ඕනෑම මේරූ ක්‍රිස්තියානියෙක් ඔහුට අවවාද කළ යුතු බව නොකිවමනාය.
යම් අවවාදයක් හෝ උපදෙසක් දෙනවා නම්, මිනිස් මතිමතාන්තර හෝ දර්ශන මත නොව දිව්‍ය ප්‍රඥාව මත ඔබ කියන දේ පදනම් කරගැනීමට වගබලා ගන්න. (කොලොස්සි 2:8) කෝකියෙක් ආහාර පිළියෙළ කරද්දී, පාවිච්චි කරන ආහාර ද්‍රව්‍ය ගුණදායක බවටත්, විෂ විය හැකි කිසිම දෙයක් එහි නැති බවටත් ස්ථිර කරගන්නවා. උපදෙස් දෙන විට ඔහුගේ ආදර්ශය මතක තබාගන්න. ඔබේ උපදෙස් පෞද්ගලික අදහස් මත නොව දෙවිගේ වචනය මත ස්ථිරසාරව පදනම් වී ඇති බවට සහතික කරගන්න. (2 තිමෝති 3:16) මෙසේ කිරීමෙන්, ඔබේ උපදෙස් මගින් කිසිවෙකුට හානියක් සිදු නොවන බවට ස්ථිර වන්න ඔබට පුළුවන්.
උපදෙස්වල පරමාර්ථය වන්නේ වරදකට වැටුණු කෙනෙකුව ‘යළි සකස් කරගැනීමයි.’ අකමැත්තෙන් හරි ඔහුට වෙනස් වෙන්න බල කිරීම නොවෙයි. “යළි සකස් කිරීම” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය, විසන්ධි වූ අස්ථියක් නැවත සකස් කර, එමගින් තවත් හානියක් සිදුවීම මඟහැරීම අඟවනවා. ශබ්දකෝෂ කර්තෘ ඩබ්. ඊ. වයින්ට අනුව, “ඒ අතරතුරේදී ඉවසිල්ල සහ නොපසුබස්නා උත්සාහයේ අවශ්‍යතාවද” ඉන් ඇඟවේ. අනවශ්‍ය වේදනාවක් ශරීරයට දීමෙන් වැළකී සිටීම සඳහා අවශ්‍ය මෘදුබවත්, දක්ෂකමත් කොතරම්දැයි සිතා බලන්න. ඊට සමානව, උපදෙස් ලබන තැනැත්තාට වේදනාවක් නොදීමට නම් උපදෙස් දෙන්නා ඉමහත් සැලකිල්ලක් දැක්විය යුතුයි. යමෙකු යම් උපදෙසක් ඉල්ලා සිටින විට මෙය දුෂ්කර කාර්යයකි. එනමුත්, ඔබෙන් උපදෙස් නොපතන අවස්ථාවක, ඊටත් වඩා දක්ෂකමකුත්, උපායශීලීබවකුත් අවශ්‍ය කෙරේ.
ඔහුව ඔබෙන් දුරස් කරනවා නම්, ඔහුව ‘යළි සකස් කරන්න’ ඔබට කොහොමටවත් බැරි වෙයි. මෙයින් වැළකී සිටීමට, “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද” දැක්වීමේ අවශ්‍යතාව සිහියේ තබාගන්න. (කොලොස්සි 3:12) වෛද්‍යවරයෙකු නොඉවසිලිමත්ව, ගරුසරුවක් නැතුව රෝගියාට සලකනවා නම්, රෝගියා ඔහුගේ උපදෙස් සලකාවිද? අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ආපසු එයිද?
උපදෙස් දැඩි නොවිය යුතු බව මින් අදහස් කරනවා නොවේ. යේසුස් ආසියා දිස්ත්‍රික්කයේ සභා සතට දැඩි ලෙස උපදෙස් දුන්නා. (එළිදරව් 1:4; 3:1-22) ඇහුම්කන් දී අදාළ කරගත යුතු වූ සෑහෙන ඍජු උපදෙස් ඔහු ඔවුන්ට දුන්නා. එනමුත් යේසුස්ගේ දැඩිබවට හැමවිටම දයානුකම්පාව සහ කරුණාව වැනි ගුණාංග මුසු කරනු ලැබුවා. ඔහු නිතරම තම ස්වර්ගික පියාගේ ප්‍රේමනීය ස්වභාවය විදහාපෙන්නුවා.—ගීතාවලිය 23:1-6; යොහන් 10:7-15.
අනුග්‍රහයෙන් යුතුව උපදෙස් දෙන්න
“නුඹලා එකිනෙකාට උත්තර දියයුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.” (කොලොස්සි 4:6) ලුණුවලට හැකියාවක් තිබෙනවා ආහාරයක් තව තවත් රසවත් කරන්න. උපදෙස් භාරගත හැකි තත්වයක තිබෙන්න නම්, එය “ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව” ඉදිරිපත් කළ යුතුයි. හොඳම ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරමින් වුවත්, ආහාර රසවත්භාවයකින් තොරව පිළියෙළ කළ හැකියි, නැතහොත් දැකීමට ප්‍රිය නොවන ආකාරයකින් පිළිගැන්විය හැකියි. මෙය දකින කිසිවෙකුගේ ආහාර රුචිය වඩවන්නේ නැහැ. ඇත්තෙන්ම එක කටක්වත් කන එක සෑහෙන පිළිකුල්සහගත අද්දැකීමක් විය හැකියි.
උපදෙස් දෙද්දී, හරියටම ගැළපෙන වචන තෝරාගැනීම වැදගත්. ප්‍රඥාවන්ත සාලමොන් මෙසේ පැවසුවා: “කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි [ඇපල් මෙනි, NW].” (හිතෝපදේශ 25:11) අලංකාර ලෙස කැටයම් කළ රිදී බඳුනක ඒ හා සමානව කැටයම් කළ රන් ජම්බු හෝ ඇපල් ගෙඩි ඔහුගේ මනසෙහි තිබෙන්න ඇති. එවැනි දෙයක් නෙතට කොතරම් ප්‍රියද! එය තිළිණයක් හැටියට ලැබුණොත් මොනතරම් සතුටක්ද! සමානාකාරයෙන්, හොඳින් තෝරාගත්, අනුග්‍රහයෙන් යුත් වචන යොදාගත්තොත්, උපකාර කිරීමට ඔබ වෑයම් කරන පුද්ගලයාට එය බෙහෙවින් හොඳ අතට බලපාන්න යනවා.—දේශනාකාරයා 12:9, 10.
ඊට වෙනස්ව, “කර්කශ වචනයකින් තරහ හටගනියි.” (හිතෝපදේශ 15:1) නොසැලකිලිමත්ව වචන පාවිච්චි කරනවා නම්, කෘතඥතාවක් ඇති වනවා වෙනුවට, වේදනාව සහ කෝපය පහසුවෙන්ම හටගත හැකියි. නුසුදුසු වචන යොදාගැනීමෙන් වැළකී සිටීම පමණක් නොව, කියන දේ කාරුණික ස්වරයකින් ඉදිරිපත් කළේ නැත්නම්, පුද්ගලයෙකු විසින් හොඳ උපදෙසක් වුණත් ප්‍රතික්ෂේප කිරීමට එය මඟ පෑදිය හැකියි. උපදෙස් ලබන්නාගේ හැඟීම් සැලකිල්ලට නොගෙන, අසංවේදී ආකාරයකින් උපදෙස් දීම, කෙනෙකුට අවියකින් පහර දීමට සම කළ හැකියි. “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ” කියා හිතෝපදේශ 12:18 කියන්නේ එනිසයි. නොසැලකිලිමත්ව කතා කිරීමෙන්, ඔබේ උපදෙස් අරුචිය උපදවන ඒවා කිරීමේ ඇති ඵලය කුමක්ද?—හිතෝපදේශ 12:15.
සාලමොන් පැවසුවාක් මෙන්, උපදෙසක් ‘කලට සුදුසු ආකාරයෙන්’ ඉදිරිපත් කළ යුතුයි. උපදෙස්වලින් සාර්ථක ප්‍රතිඵල නෙළාගන්න නම්, යොදාගන්නා අවස්ථාව උචිත විය යුතුයි! කෙනෙකුට ආහාර රුචියක් නැත්නම්, ඔහු කෑමවලට කැමැත්තක් නොදක්වන බව පැහැදිලියි. ටිකකට කලින් ඔහු ආහාර අනුභව කරලා ඉන්න ඇති. එසේ නැතහොත් ඔහු අසනීපයෙන් පසු වෙනවා විය හැකියි. ආහාර අනුභව කිරීමට අකමැති කෙනෙකුට බලෙන් ආහාර කැවීම ප්‍රඥාවන්ත දෙයවත් පිළිගත හැකි දෙයවත් නොවෙයි.
යටහත් සිතකින් උපදෙස් දෙන්න
“මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න. පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න [කාරණා ගැනත් පෞද්ගලික උනන්දුවක් දක්වන්න, NW].” (පිලිප්පි 2:2-4) ඔබ හොඳ උපදෙස් දෙන්නෙක් නම්, ඔබේ පෙලඹීම ඇති වන්නේ අනුන්ගේ ශුභසිද්ධිය ගැන ‘පෞද්ගලික උනන්දුවකිනුයි.’ තවද අනුන් ඔබට වඩා උතුම්යයි සිතමින්, ආත්මික සහෝදර සහෝදරියන් සමඟ කටයුතු කරද්දී ‘යටහත් සිතක්’ විදහාපෙන්වීමට මෙය ඔබට හේතුවක් වෙයි. එයින් අදහස් කරන්නේ කුමක්ද?
අහංකාර ආකල්පයකින් හෝ ස්වරයකින් කටයුතු කිරීමෙන් වැළකී සිටීමට ‘යටහත් සිතක්’ ඔබට රුකුලක් වෙයි. සෙසු ඇදහිලිවන්තයන්ට වඩා අපි උතුම් කියා සිතීමට අප කාටවත් පදනමක් නැහැ. කලින් කලට අප සෑම කෙනෙක්ම අතින් යම් යම් අඩුපාඩුකම් සිදු වෙනවා. අනුන්ගේ හෘද කියවන්න ඔබට බැරි නිසා, ඔබ උපදෙස් දෙන තැනැත්තාගේ චේතනාවන් විනිශ්චය නොකිරීම විශේෂයෙන්ම වැදගත් වේ. ඔහු තුළ නරක චේතනාවක් නැතුව ඇති. යම්කිසි වැරදි ආකල්පයක් හෝ ක්‍රියාවක් කරනවා කියා නොදැන සිටිනවා ඇති. දෙවිගේ අවශ්‍යතාවලට පටහැනිව යමක් කරන බව යම්දුරකට ඔහුට තේරෙනවා විය හැකියි. නමුත්, ඔහුගේ ආත්මික ශුභසිද්ධිය කෙරෙහි සැබෑ උනන්දුවකින් යටහත් සිතකින් උපදෙස් දේ නම්, එය භාරගැනීම ඔහුට වඩා පහසු වන බවට සැකයක් නැහැ.
ඔබව කෑමකට ආරාධනා කළත්, ඔබට ඇරයුම් කළ තැනැත්තා රළු අවඥාසහගත ආකාරයකින් සැලකුවා නම්, ඔබට කෙසේ හැඟෙයිද කියා සිතා බලන්න. ඔබ ඉදිරියෙහි තිබෙන ආහාර අනුභව කිරීමට ආශාවක් ඇති වෙයිද? නැහැ. ඇත්තෙන්ම, “වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.” (හිතෝපදේශ 15:17) ඒ හා සමානව, උපදෙස් දෙන්නා උපදෙස් ලබන්නාව නුරුස්සනවා නම්, එසේ නැතහොත් ඔහුට මදිපුංචිකම් කරමින්, ලජ්ජාවට පත් කරනවා නම්, හොඳම උපදෙසක් වුණත් භාරගැනීම අසීරු කරවයි. කෙසේවෙතත්, ප්‍රේමය, එකිනෙකාට ගෞරව කිරීම සහ විශ්වාසය, උපදෙස් දීම සහ භාරගැනීම වඩාත් පහසු කරවන බවට සැකයක් නැහැ.—කොලොස්සි 3:14.
උපදෙස් භාරගත් අවස්ථාවක්
දාවිත් රජුට උපදෙස් දුන් විට, ප්‍රොපේත නාතාන් යටහත් සිතකින් කටයුතු කළා. නාතාන් කළ කී දෙයින් පැහැදිලි වූයේ දාවිත් සඳහා ප්‍රේමයක් සහ ගෞරවයක් ඔහුට තිබූ බවයි. නාතාන් කාරණයට බැස්සේ උපහැරණයක් යොදාගනිමිනුයි. එසේ කළේ දාවිත් උපදෙස්වලට සවන් දෙන්න යම් මැළිකමක් දැක්වූවොත් එය ජයගැනීම පිණිසයි. (2 සාමුවෙල් 12:1-4) යුක්තිය සහ ධර්මිෂ්ඨකම සඳහා දාවිත්ට තිබූ ඇල්ම බැත්-ෂෙබා සම්බන්ධව ඔහු කළ දේවලදී පැහැදිලිව දක්නට නොලැබුණද, එම ප්‍රොපේතවරයා තට්ටු කළේ ඒ ඇල්මටයි. (2 සාමුවෙල් 11:2-27) උපහැරණයෙහි පරමාර්ථය හෘදයට තට්ටු කළ විට, දාවිත්ගේ හෘදයාංගම ප්‍රතිචාරය වූයේ, ‘මම යෙහෝවාට විරුද්ධව පව් කෙළෙමි’ යන්නයි. (2 සාමුවෙල් 12:7-13) යෙහෝවාට සවන් නුදුන් කායින්ට වෙනස්ව, දාවිත් නිහතමානීව හික්මවීම භාරගත්තා.
දාවිත්ගේ අසම්පූර්ණකමද, දාවිත් උපදෙස්වලට හොඳ ප්‍රතිචාරයක් නොදැක්වීමට ඇති ඉඩ කඩද සැලකිල්ලට ගෙන, යෙහෝවා නාතාන්ට මඟ පෙන්වූ බවට සැකයක් නැහැ. නාතාන් කාරණයට ප්‍රවේශ වූයේ ඉතාමත් උපායශීලීවයි. තවද යෙහෝවාගේ පත් කරන ලද රජු වශයෙන් දාවිත්ට තිබූ තනතුර නිසා, දාවිත්ව තමාට වඩා උතුම් ලෙස ඔහු සැලකූ බවත් පැහැදිලියි. ඔබ යම්කිසි අධිකාරයක් හොබවන තැනැත්තෙක් නම් ඔබ දෙන උපදෙස් නිවැරදි විය හැකියි. එනමුත් යටහත් සිතක් විදහාපෙන්වීමට ඔබ අසමත් වෙතොත් එය භාරගැනීම අසීරු කරවිය හැකියි.
නාතාන් දාවිත්ව යළි සකස් කළේ මෘදු ස්වභාවයකිනුයි. එම ප්‍රොපේතවරයා අනුග්‍රහයෙන් යුක්තව සහ පරෙස්සමිනුයි කතා කළේ. එසේ කළේ දාවිත්ගෙන් හිතකර වන ආකාරයේ ප්‍රතිචාරයක් ලබාගැනීමේ අදහසිනි. නාතාන් පෙලඹුණේ ආත්මාර්ථකාමී චේතනාවකින් නොවෙයි. තමා දාවිත්ට වඩා සදාචාර හෝ ආත්මික අතින් උතුම් බව අඟවන්න තැත් කළෙත් නැහැ. නිවැරදි වචන යෝග්‍ය ආකාරයකින් පැවසීම සම්බන්ධයෙන් එය මොනතරම් කදිම ආදර්ශයක්ද! ඔබත් ඒ හා සමාන ස්වභාවයකින් කටයුතු කළොත්, අනුන් ඔබේ උපදෙස් භාරගැනීමට තිබෙන ඉඩ කඩ බෙහෙවින් වැඩි වෙයි.
[22වන පිටුවේ පින්තූරය]
පෝෂ්‍යදායි ආහාරවල ගුණයක් ඇත්තාක් මෙන්, ඔබේ උපදෙස්වලත් ගුණයක් තිබිය යුතුයි
[23වන පිටුවේ පින්තූරය]
රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බු හෝ ඇපල් මෙන්, ඔබ දෙන උපදෙස් සිත්ගන්නා ස්වරූපයකින් දීමට බලනවාද?
[24වන පිටුවේ පින්තූරය]
ප්‍රොපේත නාතාන් නිහතමානීව තට්ටු කළේ, යුක්තිය සහ ධර්මිෂ්ඨකම සඳහා දාවිත්ට තිබූ ඇල්මටයි