පාඩම් ලිපිය 29
ගීතිකාව 87 එන්න! සහනය ලබන්න
හොඳ උපදෙස් දෙන්නේ කොහොමද?
“මම ඔබ දිහා හොඳින් බලන් ඉඳලා ඔබට අවවාද කරන්නම්.”—ගීතා. 32:8.
ලිපියේ අරමුණ
අනිත් අයට ප්‍රයෝජනවත් වෙන විදිහට උපදෙස් දෙන්න පුළුවන් කොහොමද කියලා අපි බලමු.
1. අනිත් අයට උපදෙස් දෙන්න සිද්ධ වෙන්නේ කාටද? ඒ ඇයි?
උපදෙස් දෙන එක ගැන ඔයාට කොහොමද දැනෙන්නේ? කෙනෙක්ට උපදෙසක් දෙන එක සමහරුන්ට එච්චර අමාරු නැහැ. ඒත් සමහරු උපදෙස් දෙන්න බයයි. එයාලා ඒකට එච්චර ආසත් නැහැ. ඒ කොහොමවුණත් අපි හැමෝටම සමහර වෙලාවට අනිත් අයට උපදෙස් දෙන්න වෙනවා. ඒ ඇයි? යේසුස් කිව්වා අපි ඔහුගේ ගෝලයන් කියලා අඳුරගන්න තියෙන ලකුණ තමයි අනිත් අයට පෙන්නන ආදරේ කියලා. (යොහ. 13:35) ඉතින් ආදරේ පෙන්නන්න පුළුවන් එක විදිහක් තමයි අවශ්‍ය වෙලාවට අපේ සහෝදර සහෝදරියන්ට ඕන කරන උපදෙස් දෙන එක. ඒ වගේම බයිබලේ කියනවා අපි “ආදරයෙන් උපදෙස් දෙද්දී” අපි අතර තියෙන යාළුකම් තව ශක්තිමත් වෙනවා කියලා.—හිතෝ. 27:9.
2. වැඩිමහල්ලන්ට පුළුවන් වෙන්න ඕනෙ මොකක් කරන්නද? ඒ ඇයි? (“සති මැද රැස්වීමේදී දෙන උපදෙස්” කියන කොටුවත් බලන්න.)
2 අනිත් අයට හොඳ උපදෙස් දෙන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම වැඩිමහල්ලන් දැනගෙන ඉන්න එක වැදගත්. මොකද යෙහෝවායි, යේසුයි සභාව රැකබලා ගන්න පත් කරලා තියෙන්නේ එයාලවයි. (1 පේතෘ. 5:2, 3) එයාලා ඒක කරන එක විදිහක් තමයි සභාවේ දේශන දෙද්දී ඒ දේශනවලට බයිබලේ තියෙන උපදෙස් ඇතුළත් කරන එක. එයාලා තනි තනි බැටළුවන්ට, සමහර වෙලාවට රැළෙන් ඈත් වෙලා ඉන්න අයට වුණත් උපදෙස් දෙන්න වෙද්දී ඒවා දෙන්න අදිමදි කරන්නේ නැහැ. වැඩිමහල්ලන්ට වගේම අපිටත් පුළුවන් කොහොමද අනිත් අයට හොඳ උපදෙස් දෙන්න?
3. (අ) අනිත් අයට ප්‍රයෝජනවත් උපදෙස් දෙන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද? (යෙසායා 9:6; “උපදෙස් දෙද්දී යේසුස්ව ආදර්ශයට ගන්න” කියන කොටුවත් බලන්න.) (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?
3 බයිබලේ ඉන්න සමහර චරිතවලිනුත් උපදෙස් දෙන එක ගැන අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. විශේෂයෙන්ම යේසුස්ගෙන්. යේසුස්ව බයිබලේ හඳුන්වන එක විදිහක් තමයි “උතුම් උපදේශකයා.” (යෙසායා 9:6 කියවන්න.) අපි මේ ලිපියෙන් මේ ප්‍රශ්නවලට උත්තර බලමු. කෙනෙක් අපෙන් උපදෙස් ඉල්ලද්දී අපිට කරන්න පුළුවන් මොකක්ද? කෙනෙක් අපෙන් උපදෙස් ඉල්ලුවේ නැතත් එයාට උපදෙස් ඕනෙ කියලා තේරෙද්දී අපිට කරන්න පුළුවන් මොකක්ද? හරි වෙලාවේදී, හරි විදිහට උපදෙස් දෙන එක වැදගත් ඇයි?
අපෙන් උපදෙසක් ඉල්ලුවොත්
4-5. කෙනෙක් අපෙන් උපදෙසක් ඉල්ලුවොත් අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද? උදාහරණයක් දෙන්න.
4 කෙනෙක් අපෙන් උපදෙසක් ඉල්ලුවාම අපිට මුලින්ම දැනෙන්නේ කොහොමද? ‘එයා අපිව විශ්වාස කරලා අපෙන් උපදෙසක් ඉල්ලුවානේ’ කියලා අපිට ලොකු සතුටක් දැනෙයි. ඉක්මනට උදව් කරන්නත් හිතෙයි. හැබැයි ඔක්කොටම කලින් අපි අපෙන් අහගන්න ඕනෙ ‘එයා උදව් ඉල්ලන මේ කාරණය ගැන මං හොඳට දන්නවාද, මට ඒ ගැන අද්දැකීම් තියෙනවාද’ කියලා. සමහර වෙලාවට එයාට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ තමයි අපි කට ඉස්සර කරගන්නේ නැතුව ඒ කාරණය ගැන හොඳට දන්න කෙනෙක් ළඟට එයාව යවන එක.
5 මේ උදාහරණේ බලන්න. ඔයාගේ කිට්ටු යාළුවෙක් බරපතළ විදිහට අසනීප වෙනවා. එයා ඔයාගෙන් අහනවා “මං ප්‍රතිකාර ක්‍රම කීපයක් ගැනම හෙව්වා. හොඳම එක මොකක් කියලද ඔයා හිතන්නේ” කියලා. ඔයා ආස ප්‍රතිකාර ක්‍රමයක් ඇති. හැබැයි ඒ ගැන එයාට උපදෙස් දෙන්න ඔයා දොස්තර කෙනෙක්වත් ඒක කරන විදිහ ගැන පුහුණුව ලබපු කෙනෙක්වත් නෙවෙයි. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් හොඳම උදව්ව තමයි ඒ ප්‍රතිකාර ක්‍රමය ගැන හොඳට දන්න, ඒ ගැන පුහුණුව ලබපු කෙනෙක් ගාවට යාළුවාව යවන එක.
6. උපදෙසක් දෙන්න ඉක්මන් නොවී ඉන්න එක හොඳ ඇයි?
6 සමහරවිට අපිට හිතෙයි යාළුවා අහපු දේට හොඳ උපදෙසක් දෙන්න අපිට පුළුවන් කියලා. හැබැයි ඒ වුණත් උපදෙස දෙන්න ඉක්මන් නොවී ඉන්න එක තමයි නුවණට හුරු. මොකද හිතෝපදේශ 15:28 කියනවා “ධර්මිෂ්ඨයා උත්තරයක් දෙන්න කලින් හොඳට හිතලා බලනවා” කියලා. එයාට දෙන්න ඕන උපදෙස් අපි දන්නවා කියලා හිතුණත් ඒ ගැන අධ්‍යයනය කරන්න, යාච්ඤා කරන්න, තව ගැඹුරින් හිතන්න කාලේ ගන්න. එතකොට තමයි ‘අපි දෙන්න යන උපදෙස ගැන යෙහෝවා සතුටු වෙයිද’ කියලා හරියටම ස්ථිර කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අනාගතවක්තෘ නාතන් ගැන බලමු.
7. නාතන්ගේ සිද්ධියෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
7 දාවිත් රජ නාතන් එක්ක කතා කරකර ඉද්දී කිව්වා එයාට යෙහෝවා වෙනුවෙන් මාලිගාවක් හදන්න ඕනෙ කියලා. නාතන් ගත් කටටම කිව්වා ඒක හොඳ අදහසක් කියලා. හරි නම් නාතන් කරන්න තිබුණේ ඒ ගැන යෙහෝවාගෙන් අහන එක. මොකද යෙහෝවා ආස වුණේ නැහැ දාවිත් දේවමාලිගාව හදනවාට. (1 ලේක. 17:1-4) ඒ සිද්ධියෙන් පේනවා කෙනෙක් අපෙන් උපදෙසක් ඉල්ලද්දී අපි කතා කරන්න ‘ඉක්මන් වෙන්න හොඳ නැහැ’ කියලා.—යාකො. 1:19.
8. උපදෙසක් දෙන්න කලින් හොඳට හිතන්න ඕනෙ තව මොන හේතුව නිසාද?
8 උපදෙසක් දෙන්න කලින් ඒ ගැන අපි හොඳට හිතන්න ඕන තව හේතුවක් තියෙනවා. අපි දෙන උපදෙසක් නිසා කෙනෙක් වැරදි තීරණයක් අරගෙන එයාට නරක ප්‍රතිඵලවලට මූණ දෙන්න වුණොත් ඒකට අපිත් වග කියන්න ඕනේ. ඒ නිසා උපදෙසක් දෙන්න කලින් කියන්න යන දේ ගැන හොඳට හිතන එක කොච්චර වැදගත්ද!
අපෙන් උපදෙසක් ඉල්ලුවේ නැතත්
9. උපදෙස් දෙන්න කලින් වැඩිමහල්ලන් ස්ථිර කරගන්න ඕනෙ මොකක්ද? (ගලාති 6:1)
9 සමහර වෙලාවට වැඩිමහල්ලන්ට සිද්ධ වෙනවා “වැරදි පියවරක්” ගත්ත සහෝදරයෙක්ට, සහෝදරියකට උපදෙස් දෙන්න. (ගලාති 6:1 කියවන්න.) ඒ වගේ කෙනෙක් තවම බරපතළ වරදක් කරලා නැති වුණත් එයා ඇදෙන්නේ වැරදි පැත්තට. වැඩිමහල්ලන්ට ඕනෙ ඒ කෙනාට සදාකාල ජීවනයට යන පාරේ දිගටම යන්න උදව් කරන්න. (යාකො. 5:19, 20) ඒ කෙනාගේ හිතට දැනෙන විදිහට උපදෙස් දෙන්න නම් මුලින්ම වැඩිමහල්ලන් එයා වැරදි පියවරක් අරන්ද නැද්ද කියලා ස්ථිර කරගන්න ඕනේ. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ කෙනෙක් අපිට වඩා වෙනස් තීරණයක් ගත්තා කියලා එයා කරන දේ වැරදියි කියලම කියන්න බැහැ. මොකද යෙහෝවා අපි හැමෝටම හෘද සාක්ෂියට අනුව තීරණ ගන්න නිදහස දීලා තියෙනවා. (රෝම 14:1-4) කෙනෙක් වැරදි පියවරක් අරන් කියලා වැඩිමහල්ලන්ට තේරුණොත් ඒ කෙනාට උපදෙස් දෙන්න එයාලට පුළුවන් කොහොමද?
10-12. උපදෙසක් ඉල්ලුවේ නැති කෙනෙක්ට උපදෙසක් දෙන්න වෙද්දී වැඩිමහල්ලෝ කරන්න ඕනෙ මොකක්ද? උදාහරණයක් දෙන්න. (පින්තූරත් බලන්න.)
10 උපදෙසක් ඉල්ලපු නැති කෙනෙක්ට උපදෙසක් දෙන එක වැඩිමහල්ලන්ටත් ලේසි නැහැ. ඒ ඇයි? මොකද පාවුල් කිව්වා වැරදි පියවරක් ගත්ත කෙනෙක් එයා එහෙම කළාද කියලා දන්නේ නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් වැඩිමහල්ලන් ඒ වගේ කෙනෙක්ට උපදෙසක් දෙන්න කලින් ඒ උපදෙස පිළිගන්න ලේසි වෙන තැනට එයාව ගේන්න ඕනේ.
11 මේ උදාහරණේ බලන්න. ගොවියෙක්ට තද පසක වගා කරන්න වෙනවා. වගා කරන්න කලින් එයා පස බුරුල් කරනවා. ඊටපස්සේ තමයි එයා බීජය පැළ කරන්නේ. දැන් පස බුරුල් නිසා ඒ බීජයට වැඩෙන්නත් ලේසියි. ඊටපස්සේ එයා වතුර දානවා. ඒ වගේ තමයි වැඩිමහල්ලෙක් කෙනෙක්ට උපදෙසක් දෙන්න කලින් එයාට ඒක පිළිගන්න ලේසි වෙන්න දේවල් කරනවා. උදාහරණෙකට කතා කරන්න සුදුසු වෙලාවක් එන කල් වැඩිමහල්ලා බලන් ඉන්නවා. ඊටපස්සේ එයා ඒ සහෝදරයාට කියනවා “මං ඔයා ගැන ගොඩක් හිතනවා. ඒ නිසා ඔයාත් එක්ක පොඩි දෙයක් ගැන කතා කරන්න කැමතියි” කියලා. උපදෙස් දෙන කෙනා හරිම ආදරණීය, කරුණාවන්ත කෙනෙක් කියලා හොඳ නමක් දිනාගෙන තියෙනවා නම් එයා දෙන උපදෙස් පිළිගන්න අනිත් අයට ලේසියි.
12 එයාත් එක්ක කතා කරද්දී “අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. ඒ නිසා කාලෙන් කාලෙට අපි හැමෝටම උපදෙස් ඕනෙ” කියලා කියන්න වැඩිමහල්ලාට පුළුවන්. ඒකත් එයාට උදව් වෙයි ඒ උපදෙස පිළිගන්න. (රෝම 3:23) වැඩිමහල්ලාට පුළුවන් එයා වැරදි පියවරක් අරන් තියෙනවා කියලා බයිබලේ පාවිච්චි කරලා එයාට පෙන්නලා දෙන්න. හැබැයි ඒක කරන්න ඕනෙ සන්සුන්ව, ගෞරවයෙන්. එයා අතින් වරදක් වෙලා තියෙනවා කියලා ඒ කෙනා තේරුම්ගත්තාම වැඩිමහල්ලාට පුළුවන් වැරැද්ද හදාගන්න එයා කරන්න ඕනෙ දේ පෙන්නලා දෙන්න. ඒක හරියට බුරුල් වුණ පසේ “බීජය පැළ කරනවා” වගේ. අන්තිමට, ඒ කෙනා කරන හොඳ දේවල් අගය කරලා එයාත් එක්ක යාච්ඤාවක් කරලා පැළ කරපු බීජයට “වතුර දාන්න” වැඩිමහල්ලාට පුළුවන්.—යාකො. 5:15.
වැඩිමහල්ලන් උපදෙස් දෙද්දී ඒක දෙන්නේ පිළිගන්න ලේසි විදිහට, ආදරෙන් (10-12 ඡේද බලන්න)
13. දීපු උපදෙස ඒ කෙනාට තේරිලාද කියලා වැඩිමහල්ලන්ට දැනගන්න පුළුවන් කොහොමද?
13 සමහර වෙලාවට උපදෙස් දෙන කෙනා කියන දේයි, උපදෙස ලබන කෙනාගේ ඔළුවට යන දේයි වෙනස් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් වැඩිමහල්ලන්ට මොනවාද කරන්න පුළුවන්? වැඩිමහල්ලන්ට පුළුවන් දීපු උපදෙස එයාට තේරිලාද කියලා බලන්න එයාගෙන් ප්‍රශ්න අහන්න. හැබැයි ඒක කරන්න ඕනෙ එයා ගැන හිතලා, එයා අපහසුතාවට පත් වෙන්නේ නැති විදිහට. (දේශ. 12:11) ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් වැරැද්ද හදාගන්න එයා කරන්න ඕනෙ මොනවාද කියලා එයා තේරුම් අරන් ඉන්නවාද කියලා වැඩිමහල්ලන්ට දැනගන්න පුළුවන්.
හරි වෙලාවේදී, හරි විදිහට
14. කේන්තියෙන් ඉන්න වෙලාවට අපි උපදෙස් දෙන්න හොඳ නැත්තේ ඇයි?
14 අපි පාපය උරුම කරගත්ත අය නිසා අපි හැමෝම අනිත් අය අප්සට් යන දේවල් කරනවා, කියනවා. (කොලො. 3:13) බයිබලෙත් කියනවා අනිත් අයව කේන්ති ගස්සන දේවල් අපි එකිනෙකා අතින් වෙන්න පුළුවන් කියලා. (එෆී. 4:26) හැබැයි අපි කේන්තියෙන් ඉන්න ඒ වගේ වෙලාවට උපදෙසක් දෙන්න යන එක නම් හොඳ දෙයක් නෙවෙයි. මොකද බයිබලේ කියනවා “කේන්ති ගන්න කෙනෙක්ට දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව වැඩ කරන්න බැහැ” කියලා. (යාකො. 1:20) අපි කේන්තියෙන් ඉන්න වෙලාවක උපදෙසක් දුන්නොත් තත්වේ තව නරක අතට හැරෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපිට හැඟුණ දැනුණ විදිහ අපිව කේන්ති ගස්සපු කෙනාගෙන් හංගන්න ඕනෙ කියලා. ඒත් කේන්තිය නිවුණාට පස්සේ කතා කරන එක වඩා හොඳයි. ඒ ගැන යෝබ්ට උපදෙස් දීපු එලිහුගෙන් අපිට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්.
15. එලිහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (පින්තූරයත් බලන්න.)
15 යෝබ් දවස් ගාණක් තිස්සේ එයාගේ යාළුවෝ එයා ගැන කියපු වැරදි දේවල් නිවැරදි කරන්න හැදුවා. ඒ හැම දේම එලිහු අහන් හිටියා. එලිහුට යෝබ් ගැන අනුකම්පාවක් දැනුණත් එයා යෙහෝවා ගැන කියපු වැරදි දේවල් නිසා, එයා එයා ගැනම ගොඩක් හිතපු නිසා එලිහුට කේන්ති ගියා. හැබැයි කේන්තියෙන් ඉද්දී එලිහු කතා කරන්න ගියේ නැහැ. එයා කතා කරන්න සුදුසු වෙලාවක් එන කල් බලන් හිටියා. ඊටපස්සේ හරිම සන්සුන්ව, ගෞරවනීයව යෝබ්ට උපදෙස් දුන්නා. (යෝබ් 32:2; 33:1-7) එලිහු අපිට හරිම වැදගත් පාඩමක් උගන්නනවා. ඒ තමයි උපදෙසක් දෙන්න ඕනෙ හරි වෙලාවේදී, හරි විදිහට කියන එක. ඒ කියන්නේ අපි උපදෙස් දෙන්න ඕනෙ අපි සන්සුන්ව ඉද්දී අනිත් කෙනාට ගෞරවේ දීලා, ආදරෙන්.—දේශ. 3:1, 7.
මුලදී එලිහුට කේන්ති ගියත් එයා යෝබ්ට උපදෙස් දුන්නේ සන්සුන්ව, ගෞරවයෙන් (15 ඡේදය බලන්න)
දිගටම උපදෙස් දෙන්න, ඒවා පිළිගන්න
16. ගීතාවලිය 32:8 ඔයා ඉගෙනගන්නේ මොනවාද?
16 මේ ලිපියට අදාළ තේමා බයිබල් පදේ යෙහෝවා කියනවා “මම ඔබ දිහා හොඳින් බලන් ඉඳලා ඔබට අවවාද කරන්නම්” කියලා. (ගීතාවලිය 32:8 කියවන්න.) ඒ කියන්නේ ඔහු අපිට උදව් කරන එක නතර කරන්නේ නැහැ. යෙහෝවා අපිට උපදෙස් දෙනවා වගේම ඒවා අදාළ කරගන්න උදව්ත් කරනවා. අපිටත් පුළුවන් යෙහෝවාව ආදර්ශයට ගන්න. අනිත් අයට උපදෙස් දෙන්න වෙද්දී ඒ උපදෙස් නිකන් දීලා නතර වෙන්නේ නැතුව ඒවා අදාළ කරගන්න උදව් කරන්න.
17. බයිබලෙන් උපදෙස් දෙන වැඩිමහල්ලන් ගැන අපිට දැනෙන්නේ කොහොමද? (යෙසායා 32:1, 2)
17 දැන් වෙන කවරදාකටත් වඩා අපි උපදෙස් දෙන්නත් ඕනෙ, උපදෙස් ගන්නත් ඕනේ. (2 තිමෝ. 3:1) බයිබලෙන් අපිට ඕනම කරන උපදෙස් දෙන වැඩිමහල්ලන් හරියට “දිය පොදක් නැති දේශයක ගලා බහින දිය පහරවල් වගේ.” (යෙසායා 32:1, 2 කියවන්න.) අපි අහන්න කැමති දේ කියනවා වෙනුවට ඇත්තටම අපිට අවශ්‍ය උපදෙස් දෙන යාළුවෝ කොච්චර වටිනවාද! එයාලා දෙන උපදෙස් හරියට “කැටයම් කරපු රිදී බඳුන්වල තියපු රන් ඇපල් වගේ.” (හිතෝ. 25:11) ඉතින් අපි හැමෝම හොඳ උපදෙස් දෙන්නත් ඒවා භාරගන්නත් දිගටම ඉගෙනගමු.
ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය