පාඩම් ලිපිය 49
ගීතිකාව 44 අසරණයෙකුගේ අයැදීම
උපදෙසක් දෙන්න වෙද්දී යෝබ් පොතෙන් උදව්
“අනේ යෝබ්, දැන් මං කියන දේ අහන්න.”—යෝබ් 33:1.
ලිපියේ අරමුණ
හොඳ උපදෙස් දෙන්න යෝබ් පොත අපිට උදව් වෙන්නේ කොහොමද?
1-2. යෝබ්ගේ යාළුවෝ තුන්දෙනායි, එලිහුයි මූණ දුන්නේ මොන අභියෝගයටද?
ධනවත් කෙනෙක් වුණ යෝබ්ට හැම දෙයක්ම නැති වුණා කියන ආරංචිය නැඟෙනහිර පැත්ත පුරාම ළැව් ගින්නක් වගේ පැතිරුණා. ඒ දේ එලිෆස්, බිල්දද් සහ ෂෝපර් කියන යෝබ්ගේ යාළුවෝ තුන්දෙනාටත් ආරංචි වුණා. ඉතින් එයාලා ඒක දැනගත්ත ගමන් යෝබ්ගේ හිත සනසන්න හිතාගෙන ඌෂ්වලට එනවා. යෝබ්ට වෙලා තියෙන දේ දැක්කාම එයාලට අදහාගන්න බැරි වෙනවා.
2 මේ වෙද්දී යෝබ්ගේ බැටළුවෝ, ගවයෝ, ඔටුවෝ, බූරුවෝ හැම දේම නැති වෙලා. එයාගේ ළමයි හැමෝම මැරිලා. සේවකයන් හුඟදෙනෙක්ව මරලා දාලා. එයාගේ ළමයින්ගේ ඇඟට කඩන් වැටුණ ගේ ඔහේ සුන්බුන් විදිහට තියෙනවා. ඒ මදිවට යෝබ්ට කුෂ්ඨ රෝගයක් හැදිලා එයා ඉන්නේ ගොඩක් වේදනාවෙන්. එයාගේ මුළු ඇඟම රිදුම් දෙනවා. යෝබ්ව බලන්න එන එයාගේ යාළුවෝ ඈත තියාම දකිනවා යෝබ් අළු ගොඩේ ඉඳගෙන වේදනාවෙන් ඉන්න විදිහ. එයාලා ඊළඟට මොනවා කරයිද? දවස් හතක් විතර යන කල් එයාලා මුකුත් කියන්නේ නැතුව යෝබ් ගාව ඉඳගෙන ඉන්නවා. (යෝබ් 2:12, 13) ඔය අතරේ එයාලට වඩා වයසින් බාල එලිහු එතනට ඇවිල්ලා එයාත් ඒ ළඟ ඉඳගෙන ඉන්නවා. මෙච්චර වෙලා නිහඬව හිටපු යෝබ් අන්තිමේදී කතා කරන්න පටන්ගන්නවා. යෝබ් එයා ඉපදුණ දවසට ශාප කරලා ජීවත් වෙනවාට වඩා මැරුණා නම් හොඳයි කියලා කියනවා. (යෝබ් 3:1-3, 11) මේ දේවලින් පේනවා යෝබ්ට සහනය ඕන වුණා කියලා. ඉතින් යෝබ් ළඟ ඉන්න මේ අය කියන කරන දේවලින් පෙන්නන්න යනවා එයාලා ඇත්තටම යෝබ්ට ආදරේ කරන යාළුවෝද නැද්ද කියලා.
3. අපි බලන්නේ මොනවා ගැනද?
3 යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා කියපු දේවලුයි, එලිහු කියපු දේවලුයි වාර්තා කරන්න යෙහෝවා මෝසෙස්ට මඟ පෙන්නුවා. එලිෆස් කියපු සමහර දේවල් බලද්දී පේනවා එයාට මඟ පෙන්නන්න ඇත්තේ භූතයෙක් කියලා. හැබැයි එලිහු දේවල් කිව්වේ යෙහෝවාගේ මඟ පෙන්වීමෙන්. (යෝබ් 4:12-16; 33:24, 25) එහෙම බලද්දී හොඳම උපදෙස් වගේම නරකම උපදෙසුත් යෝබ් පොතේ තියෙන එක අහන්නත් දෙයක්ද! ඇත්තටම කෙනෙක්ට උපදෙසක් දෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න යෝබ් පොත අපිට ලොකු උදව්වක්. ඉතින් මුලින්ම අපි බලමු යෝබ්ගේ යාළුවෝ තුන්දෙනාගේ නරක ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා. ඊටපස්සේ එලිහුගෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් බලමු. මේ දේවල් සාකච්ඡා කරද්දී යෝබ් පොතේ තියෙන ඒ තොරතුරු ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන්න ඇත්තේ කොහොමද කියලත් අද අපිට ඒවා උදව් වෙන්නේ කොහොමද කියලත් අපි බලනවා.
යාළුවෝ තුන්දෙනා උපදෙස් දුන්න විදිහ
4. යෝබ්ගේ යාළුවෝ තුන්දෙනාට එයාව සනසන්න බැරි වුණේ ඇයි? (පින්තූරයත් බලන්න.)
4 බයිබලේ කියනවා යෝබ්ට වෙච්ච දේවල් ආරංචි වුණාම එයාගේ යාළුවෝ තුන්දෙනාට ඕන වුණා “යෝබ්ව සනසන්න” කියලා. (යෝබ් 2:11) හැබැයි ඒ දේ කරගන්න එයාලට බැරි වුණේ ඇයි? අඩුම ගාණේ ඒකට හේතු තුනක්වත් තියෙනවා. (1) එයාලා වැරදි නිගමනයකට එන්න ඉක්මන් වුණා. උදාහරණෙකට එයාලා හිතුවා යෝබ් මෙච්චර දුක් විඳින්නේ එයා කරපු වරදක් නිසා කියලා.a (යෝබ් 4:7; 11:14) (2) එයාලා කියපු දේවල් හරිම ප්‍රඥාවන්තයි කියලා පේන්න තිබුණාට ඒකෙන් යෝබ්ට කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. (යෝබ් 13:12) ඒ වගේම එයාලා යෝබ්ට කතා කළේ හිත පෑරෙන විදිහට. උදාහරණෙකට බිල්දද් දෙසැරයක්ම කිව්වා යෝබ් කතා කරනවා වැඩියි කියලා. (යෝබ් 8:2; 18:2) ෂෝපර් හරිම නපුරු විදිහට කිව්වා යෝබ්ට “මොළේ කළඳක් නැහැ” කියලා. (යෝබ් 11:12) (3) එයාලා යෝබ්ට කෑගහලා උපදෙස් දුන්නේ නැතත් එයාලා උපදෙස් දුන්න විදිහෙන් යෝබ්ව පහත් කළා, දෙපැත්ත කැපෙන වචන කිව්වා, එයාට චෝදනා කළා. (යෝබ් 15:7-11) ඇත්තටම එයාලට ඕන වුණේ යෝබ්ව සනසලා එයාගේ විශ්වාසේ ශක්තිමත් කරනවාට වඩා යෝබ් වැරදියි කියලා ඔප්පු කරන්න.
කෙනෙක්ට උපදෙසක් දෙද්දී කවදාවත් ඔයා එයාට වඩා හොඳයි කියන හැඟීම දෙන්න එපා. ඔයාගේ ඉලක්කය වෙන්න ඕනෙ එයාට උදව් කරන එක (4 ඡේදය බලන්න)
5. යාළුවෝ තුන්දෙනා දීපු උපදෙස් නිසා වුණේ මොකක්ද?
5 යෝබ්ගේ යාළුවෝ දුන්න උපදෙස්වලින් හොඳක් නම් වුණේ නැහැ. ඒකෙන් වුණේ යෝබ්ගේ හිත තවත් බිඳුණ එක විතරයි. (යෝබ් 19:2) එයාලා යෝබ් වැරදියි කියලා කියන්න කියන්න යෝබ්ට ඕනෙ වුණේ එයා නිර්දෝෂයි කියලා තව වැඩියෙන් ඔප්පු කරන්න. එහෙම බලද්දී අපිට තේරුම්ගන්න පුළුවන් තමන් ධර්මිෂ්ඨයි කියලා පෙන්නන එක යෝබ්ට එච්චර වැදගත් වුණේ ඇයි කියලා. (යෝබ් 6:3, 26) යෝබ්ගේ යාළුවෝ දේවල් කිව්වේ යෙහෝවා හිතන විදිහට හිතලා නෙවෙයි. අනික එයාලා යෝබ්ට අනුකම්පා කළෙත් නැහැ. එයාලා ඒ විදිහට වැඩ කරපු එකෙන් එයාලා හරිම ලේසියෙන් සාතන්ගේ ඉත්තෝ වුණා. (යෝබ් 2:4, 6) මේ වාර්තාව ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන්න ඇත්තේ කොහොමද? ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?
6. යාළුවෝ තුන්දෙනාගේ නරක ආදර්ශයෙන් ඊශ්‍රායෙලයේ හිටපු වැඩිමහල්ලන් ඉගෙනගන්න ඇත්තේ මොකක්ද?
6 ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ගන්න ඇත්තේ කොහොමද? ඊශ්‍රායෙල්වරුන්ට නීතිය දුන්නාට පස්සේ මිනිස්සුන්ට විනිශ්චයන් දෙන්න වගේම නීතිය පිළිපදින්න එයාලට උදව් කරන්න යෙහෝවා වැඩිමහල්ලන්ව පත් කළා. (ද්වි. 1:15-18; 27:1) ඒ වැඩිමහල්ලන් උපදෙසක්, විනිශ්චයක් දෙන්න කලින් හොඳට ඇහුම්කන් දෙන එක වැදගත් වුණා. (2 ලේක. 19:6) ඒ වගේම එයාලා හැම තොරතුරක්ම දන්නවා කියලා හිතනවා වෙනුවට ප්‍රශ්න අහලා පුද්ගලයාව තේරුම්ගන්නත් ඕනෙ වුණා. (ද්වි. 19:18) උදව් ඉල්ලන් එන අයට නපුරු විදිහට කතා කරන එකෙනුත් එයාලා වළකින්න ඕනෙ වුණා. මොකද උදව් ඉල්ලන් එන කෙනෙක්ට කලබල වෙලා තරහෙන් කතා කළොත් එයාට හැඟෙන දැනෙන දේවල් කියන්න එයා පෙලඹෙන එකක් නැහැ. (නික්. 22:22-24) ඊශ්‍රායෙල් වැඩිමහල්ලෙක් යෝබ්ගේ වාර්තාව බැලුවා නම් එයාට ඒ වගේ වටින පාඩම් ඉගෙනගන්න පුළුවන්කම තිබුණා.
7. ඊශ්‍රායෙල්වල හිටපු වැඩිමහල්ලන්ට අමතරව උපදෙස් දෙන්න පුළුවන්කම තිබුණේ තව මොන වගේ අයටද? යෝබ්ගේ වාර්තාවෙන් එයාලා ප්‍රයෝජන ලබන්න ඇත්තේ කොහොමද? (හිතෝපදේශ 27:9)
7 උපදෙස් දෙන්න පුළුවන්කම තිබුණේ ඊශ්‍රායෙල්වල හිටපු වැඩිමහල්ලන්ට විතරක් නෙවෙයි. කෙනෙක්ට යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් ඕනෙ වුණා නම්, කෙනෙක්ව නිවැරදි කරන්න ඕනෙ වුණා නම් තරුණ මහලු ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව එයාට උපදෙස් දෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්කම තිබුණා. (ගීතා. 141:5) ඇත්තටම හොඳ යාළුවෙක් නම් එහෙම උපදෙස් දෙනවා. (හිතෝපදේශ 27:9 කියවන්න.) හැබැයි යෝබ්ගේ යාළුවෝ තුන්දෙනාගේ නරක ආදර්ශය ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන්න ඇති උපදෙසක් දෙද්දී කියන්න හොඳ නැත්තේ මොකක්ද, කරන්න හොඳ නැත්තේ මොකක්ද කියලා තේරුම්ගන්න.
8. කෙනෙක්ට උපදෙසක් දෙද්දී අපි මතක තියාගන්න ඕන දේවල් තුන මොනවාද? (පින්තූරත් බලන්න.)
8 අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? ක්‍රිස්තියානීන් විදිහට අපිටත් ඕනෙ සහෝදරයෝ පීඩා මැදින් යද්දී එයාලට උදව් කරන්න. හැබැයි අපි කවදාවත් යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා කරපු දේවල් කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට (1) ඉක්මන් නිගමනවලට එන්නේ නැතුව අපි කෙනෙක්ට කතා කරන්න කලින් හරි තොරතුරු ගැන හොයලා බලන්න ඕනේ. (2) එලිෆස් වගේ අපේ පෞද්ගලික අද්දැකීම් මත රැඳිලා උපදෙස් දෙන්නේ නැතුව කවදාවත් වෙනස් වෙන්නේ නැති, පර්වතයක් වගේ තියෙන දෙවියන්ගේ වචනය මත රැඳිලා අපි උපදෙස් දෙන්න ඕනේ. (යෝබ් 4:8; 5:3, 27) (3) නපුරු, අකාරුණික විදිහට කතා කරන එකෙන් අපි වළකින්න ඕනේ. එලිෆස් සහ එයාගේ යාළුවෝ දෙන්නා කියපු සමහර දේවල් ඇත්ත. මොකද එයාලා කියපු එක දෙයක් පස්සේ පාවුලුත් උපුටලා ගත්තා. (යෝබ් 5:13; 1 කොරි. 3:19) හැබැයි එයාලා දෙවියන් ගැන කියපු ගොඩක් දේවල් බොරු. ඒ වගේම එයාලා යෝබ්ව රිද්දුවා. ඒ නිසා යෙහෝවා සැලකුවේ එයාලා කිව්ව දේවල් බොරු කියලා. (යෝබ් 42:7, 8) ඒ දේවලින් පේනවා හොඳ උපදෙසක් කවදාවත් යෙහෝවා ගැන නරක පින්තූරයක් අඳින්නෙවත් යෙහෝවාගේ ආදරේ ලබන්න තරම් අපි වටින්නේ නැහැ කියන හැඟීම දෙන්නෙවත් නැහැ කියලා. දැන් අපි බලමු එලිහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා.
උපදෙස් දෙද්දී (1) ඒ කෙනාව හොඳට තේරුම්ගන්න, (2) බයිබලේ පාවිච්චි කරන්න, (3) ආදරෙන් කතා කරන්න (8 ඡේදය බලන්න)
එලිහු උපදෙස් දුන්න විදිහ
9. යාළුවෝ තුන්දෙනා කතා කළාට පස්සෙත් යෝබ්ට උදව් ඕනෙ වුණේ ඇයි? යෙහෝවා ඒ උදව් දුන්නේ කොහොමද?
9 යෝබ් සහ එයාගේ යාළුවෝ තුන්දෙනා සෑහෙන වෙලා වාද කළා. එයාලා කොච්චර කතා කළාද කියනවා නම් බයිබලේ පරිච්ඡේද 28කම තියෙන්නේ එයාලා කියපු දේවල්. ඒ දේවලින් පේනවා එයාලා මේ වෙද්දී හිත් අමනාපෙන්, කේන්තියෙන් ඉන්නේ කියලා. එහෙම බලද්දී යෝබ් තාමත් අධෛර්යය වෙලා ඉන්න එක පුදුමයක් නෙවෙයි. එයාට තාමත් සහනය ඕනෙ වුණා. එයාව නිවැරදි කරන්න ඕනෙ වුණා. ඉතින් යෙහෝවා කොහොමද එයාට උදව් කළේ? ඒක කරන්න යෙහෝවා එලිහුව පාවිච්චි කළා. ඒත් මෙච්චර වෙලා එලිහු සද්ද නොකර හිටියේ ඇයි? එයාම ඒ ගැන මෙහෙම කියනවා. “මං වයසින් බාලයි. ඔයාලා හැමෝම වයසින් හුඟක් වැඩියි. ඒ නිසයි මං කතා කරන්න ඉක්මන් වුණේ නැත්තේ.” (යෝබ් 32:6, 7) තරුණ වයසේ හිටපු එලිහු තේරුම් අරන් හිටියා වයසින් වැඩි අය හුඟක් කල් ජීවත් වෙලා තියෙන නිසා, එයාලට අද්දැකීම් තියෙන නිසා එයාලාගේ ප්‍රඥාවත් වැඩියි කියලා. හැබැයි යෝබ් සහ එයාගේ යාළුවෝ කියපු දේවල් හරිම ඉවසීමෙන් අහගෙන හිටපු එලිහුට තවත් නම් නිහඬව ඉන්න බැරි වුණා. එයා මෙහෙම කිව්වා. “කෙනෙක් වයසට ගියා කියලා එයා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ. හරි දේ වටහාගන්න හැකියාව තියෙන්නේ මහලු අයට විතරක් නෙවෙයි.” (යෝබ් 32:9) එලිහු ඊළඟට කිව්වේ මොකක්ද? එයා ඒක කිව්වේ කොහොමද?
10. යෝබ්ට උපදෙස් දෙන්න කලින් එලිහු කළේ මොකක්ද? (යෝබ් 33:6, 7)
10 උපදෙස් දෙන්න කලින් ඒක පිළිගන්න පුළුවන් විදිහට එලිහු යෝබ්ව සන්සුන් කළා. කොහොමද එයා ඒක කළේ? මුලින්ම එලිහු එයාවම සන්සුන් කරගත්තා. මොකද බයිබලේ කියනවා එයාලා කියපු දේවල් අහලා එලිහු හිටියේ කේන්තියෙන් කියලා. (යෝබ් 32:2-5) හැබැයි එලිහු කොයිම වෙලාවකවත් කේන්තියෙන් නපුරු විදිහට එයාට කතා කළේ නැහැ. ඒ වෙනුවට එයා නිහතමානීව හොඳ යාළුවෙක් විදිහටයි යෝබ් එක්ක කතා කළේ. උදාහරණෙකට එයා යෝබ්ට කිව්වා “සැබෑ දෙවියන් ඉස්සරහා මමත් ඔයා වගේමයි” කියලා. (යෝබ් 33:6, 7 කියවන්න.) ඊටපස්සේ එලිහු යෝබ්ට පෙන්නුවා යෝබ් කියපු දේවල් එයා හොඳට අහගෙන හිටියා කියලා. ඇත්තටම උපදෙස් දෙන්න කලින් යෝබ් කියපු දේවල මූලික කරුණු එයා යෝබ්ට මතක් කළා. (යෝබ් 32:11; 33:8-11) තව අවස්ථාවලදීත් යෝබ්ට උපදෙස් දෙන්න කලින් එලිහු ඒ දේම කළා.—යෝබ් 34:5, 6, 9; 35:1-4.
11. එලිහු යෝබ්ට උපදෙස් දුන්නේ කොහොමද? (යෝබ් 33:1)
11 එලිහු යෝබ්ව නිවැරදි කරද්දී යෝබ් කිසිම වැඩකට නැති කෙනෙක් කියලා දැනෙන්න සැලැස්සුවේ නැහැ. ඒ වෙනුවට එයා යෝබ්ට ගෞරව කළා. උදාහරණෙකට යෝබ්ගේ නම කියලා එයා යෝබ්ට කතා කළා. හැබැයි පේන විදිහට අනිත් තුන්දෙනා එහෙම කළේ නැහැ. (යෝබ් 33:1 කියවන්න.) කලින් යෝබ් සහ එයාගේ යාළුවෝ තුන්දෙනා වාද කරද්දී එලිහුටත් ලොකු වුවමනාවක් තිබ්බා එයාගේ අදහසුත් කියන්න. සමහරවිට ඒක මතක් වුණ නිසා වෙන්න ඇති යෝබ්ට උපදෙස් දෙද්දී යෝබ්ටත් කතා කරන්න එයා අවස්ථාව දුන්නේ. (යෝබ් 32:4; 33:32) ඒ වගේම යෝබ් කියපු කරපු සමහර දේවල් වැරදියි කියන්න හේතුත් එයා පැහැදිලි කළා. ප්‍රඥාව, බලය, යුක්තිය, නොසැලෙන ආදරය වගේ යෙහෝවාට තියෙන අතිශ්‍රේෂ්ඨ ගතිලක්ෂණ ගැනත් එලිහු මතක් කළා. (යෝබ් 36:18, 21-26; 37:23, 24) එලිහු ඒ විදිහට උපදෙස් දුන්න එක යෝබ්ට උදව් වෙන්න ඇති ඊළඟට යෙහෝවා දෙන උපදෙස්වලට හොඳට කන් දෙන්න. (යෝබ් 38:1-3) මේ වාර්තාව අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන්න ඇත්තේ කොහොමද? ඒක අද අපිට උදව් වෙන්නේ කොහොමද?
12. සෙනඟට උදව් කරන්න යෙහෝවා අනාගතවක්තෘවරුන්ව පාවිච්චි කළේ කොහොමද? එලිහුගේ ආදර්ශය ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන්න ඇත්තේ කොහොමද?
12 ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ගන්න ඇත්තේ කොහොමද? අතීතයේදී යෙහෝවා තමන්ගේ සෙනඟට උගන්නන්න, එයාලව නිවැරදි කරන්න අනාගතවක්තෘවරුන්ව පත් කළා. උදාහරණෙකට විනිශ්චයකරුවන්ගේ කාලේ අනාගතවක්තෘවරියක් වුණ දෙබොරා අම්මා කෙනෙක් වගේ ඊශ්‍රායෙල් ජාතියට මඟ පෙන්නුවා. සාමුවෙල් පොඩි කාලේ ඉඳන්ම යෙහෝවාගේ පණිවිඩ දැනුම් දුන්නා. (විනි. 4:4-7; 5:7; 1 සාමු. 3:19, 20) රජවරුන්ගේ කාලෙත් සෙනඟට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න, සැබෑ නමස්කාරයෙන් ඈත් වුණ අයව ආයේ හරි මඟට ගන්න යෙහෝවා දිගින් දිගටම අනාගතවක්තෘවරුන්ව පත් කළා. (2 සාමු. 12:1-4; ක්‍රියා 3:24) ඉතින් කෙනෙක්ට උපදෙසක් දෙන්න වෙද්දී කියන්නේ මොනවාද, ඒක කියන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඒ කාලේ හිටපු විශ්වාසවන්ත පුරුෂයන්ට, ස්ත්රීන්ට එලිහුගේ ආදර්ශය උදව් වෙන්න ඇති.
13. අද ඉන්න ක්‍රිස්තියානීන්ට අනිත් අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද?
13 අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? අනාගතවක්තෘවරු වගේ අද අපිත් දෙවියන් ගැන බයිබලේ තියෙන දේවල් මිනිස්සුන්ට දැනුම් දෙනවා. ඒ වගේම එයාලා වගේ අපිත් අපේ වචනවලින් අනිත් අයව දිරිගන්වනවා, සනසනවා. (1 කොරි. 14:3) විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට වගකීමක් තියෙනවා සහෝදර සහෝදරියන්ව “සනසන්න.” එයාලා කේන්තියෙන් “වියරු වැටුණ” අය වගේ කතා කළත් වැඩිමහල්ලන් එයාලව සනසන්න ඕනේ.—1 තෙස. 5:14; යෝබ් 6:3.
14-15. කෙනෙක්ට උපදෙසක් දෙන්න වෙද්දී වැඩිමහල්ලෙක්ට එලිහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
14 මේ අවස්ථාව හිතින් මවාගන්න. වැඩිමහල්ලෙක් දැනගන්නවා එයාගේ සභාවේ ඉන්න එක සහෝදරියක් ඉන්නේ හොඳටම අධෛර්යය වෙලා කියලා. ඉතින් එයා තව සහෝදරයෙක් එක්ක ඒ සහෝදරියව දිරිගන්වන්න යනවා. එහෙම ගියාම ඒ සහෝදරිය කියනවා කොච්චර රැස්වීම් ගියත් සේවේ ගියත් එයාට කිසිම සතුටක් දැනෙන්නේ නැහැ කියලා. මේ වගේ වෙලාවට වැඩිමහල්ලා මොනවා කරයිද?
15 මුලින්ම වැඩිමහල්ලා තේරුම්ගන්න ඕනෙ ඒ සහෝදරියට එහෙම දැනෙන්නේ ඇයි කියලා. ඒක කරන්න නම් එයාට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ සහෝදරියට එහෙම දැනෙන්නේ යෙහෝවාගේ ආදරේ ලබන්න තරම් එයා වටින්නේ නැහැ කියලා හිතන නිසාද? නැත්නම් “ජීවිතයේ ඇති වෙන කරදර නිසා” එයාගේ හිතේ ලොකු බරක් තියෙනවාද? (ලූක් 21:34) ඊළඟට ඒ සහෝදරියගේ හොඳ පැති අගය කරන්නත් වැඩිමහල්ලා වෙලාව ගන්න ඕනේ. මොකද කොච්චර අධෛර්යය වෙලා හිටියත් එයා තාමත් රැස්වීම් එනවා, සේවේ යනවා. අන්තිමට එයා ඉන්න තත්වේ තේරුම්ගත්තාම, එයා අධෛර්යය වෙලා ඉන්නේ ඇයි කියලා තේරුම්ගත්තාම වැඩිමහල්ලාට පුළුවන් බයිබලේ පාවිච්චි කරලා යෙහෝවා එයාට ගොඩක් ආදරෙයි කියලා පෙන්නලා දෙන්න.—ගලා. 2:20.
දිගටම ප්‍රයෝජන ගන්න
16. යෝබ්ගේ වාර්තාවෙන් දිගටම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද?
16 යෝබ් පොතෙන් කොච්චර නම් දේවල් අපිට ඉගෙනගන්න තියෙනවාද! අපි කලින් ලිපියේ බැලුවා වගේ දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරිය හේතුව විතරක් නෙවෙයි දුක් වේදනා දරාගන්නේ කොහොමද කියලත් යෝබ් පොතේ පෙන්නනවා. ඒ වගේම අපි මේ ලිපියෙන් බැලුවා යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා වගේ වෙන්නේ නැතුව එලිහුව ආදර්ශයට ගන්නවා නම් අපි ඕනම කෙනෙක්ට හොඳ උපදෙස් දෙන්න පුළුවන් කියලා. ඉතින් කෙනෙක්ට උපදෙසක් දෙන්න කලින් ආයේ යෝබ් පොතෙන් අපි ඉගෙනගත්ත තොරතුරු මතක් කරගන්න එක හොඳයි නේද? ඔයා යෝබ් පොත කියවලා ටික කාලයක් ගිහින් නම් ආයේ ඒ පොත කියවන්න ඉලක්කයක් තියාගන්න. එහෙම කළොත් ඔයාට තවත් වටිනා පාඩම් ඒකෙන් හොයාගන්න පුළුවන් වෙයි.
ගීතිකාව 125 “දයාවන්ත අය සන්තෝෂවත්”
a පේන විදිහට යෙහෝවා කිසිම කෙනෙක්ව ධර්මිෂ්ඨයෙක් විදිහට සලකන්නේ නැහැ කියලත් ඒ නිසා කිසිම කෙනෙක්ට ඔහුව සතුටු කරන්න බැහැ කියලත් එලිෆස් කියන්න ඇත්තේ භූතයෙක්ගේ බලපෑම නිසයි. එලිෆස් ඒක විශ්වාස කළා. ඒ නිසයි යෝබ්ට කතා කරපු හැම වෙලාවකම එයා ආයේ ආයේ ඒක කිව්වේ.—යෝබ් 4:17; 15:15, 16; 22:2.