ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 ජූලි 2-7 පි.
  • අපි උපදෙස් ගන්න ඕනෙ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි උපදෙස් ගන්න ඕනෙ ඇයි?
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මට තියෙන්න ඕන ගුණාංගය මොකක්ද?
  • හොඳ උපදෙස් දෙන්න පුළුවන් කාටද?
  • උපදෙස් ගද්දී විවෘත මනසකින් ඉන්න
  • මං වෙනුවෙන් අනිත් අයට තීරණ ගන්න කියන එක හරිද?
  • දිගටම උපදෙස් ගන්න
  • හොඳ උපදෙස් දෙන්නේ කොහොමද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • විශ්වාසවන්ත පුරුෂයන්ගේ අවසන් වදන්වලින් පාඩම්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 ජූලි 2-7 පි.

පාඩම් ලිපිය 28

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

අපි උපදෙස් ගන්න ඕනෙ ඇයි?

“අනිත් අයගෙන් උපදෙස් ලබාගන්න අය ප්‍රඥාවන්තයි.”—හිතෝ. 13:10.

ලිපියේ අරමුණ

ලැබෙන උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද?

1. හොඳ තීරණ ගන්නත් ඒවා සාර්ථක කරගන්නත් අපි මොනවාද කරන්න ඕනේ? (හිතෝපදේශ 13:10; 15:22)

අපි හැමෝටම ඕනෙ හොඳ තීරණ ගන්න. ඒ තීරණ සාර්ථක වෙනවා දකින්නත් අපි කැමතියි. ඔය දෙකම වෙන්න නම් බයිබලේ කියනවා අපි උපදෙස් ගන්න ඕනෙ කියලා.—හිතෝපදේශ 13:10; 15:22 කියවන්න.

2. අපි වෙනුවෙන් මොනවා කරනවා කියලද යෙහෝවා පොරොන්දු වෙන්නේ?

2 අපිට හොඳම උපදෙස් දෙන්න පුළුවන් අපේ තාත්තා යෙහෝවාට. ඉතින් අපි ඔහුට යාච්ඤා කරලා ප්‍රඥාව ඉල්ලන්න ඕනේ. ඔහු පොරොන්දු වෙනවා “මම ඔබ දිහා හොඳින් බලන් ඉඳලා ඔබට අවවාද කරන්නම්” කියලා. (ගීතා. 32:8) ඒකෙන් තේරෙනවා යෙහෝවා ඔහේ නිකන් අපිට උපදෙස් දෙන්නේ නැහැ කියලා. ඔහු පොරොන්දු වෙන්නේ අපි දිහා බලලා, අපිට ගැළපෙනම උපදෙස් දීලා, ඒවා අදාළ කරගන්න අපිට උදව් කරනවා කියලා.a

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 අපි බයිබලේ පාවිච්චි කරලා මේ ප්‍රශ්න හතරට උත්තර මේ ලිපියෙන් හොයනවා. (1) ලැබෙන උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න නම් මට තියෙන්න ඕන ගුණාංගය මොකක්ද? (2) මට හොඳ උපදෙස් දෙන්න පුළුවන් කාටද? (3) උපදෙස් ගද්දී විවෘත මනසකින් ඉන්න මට පුළුවන් කොහොමද? (4) මං වෙනුවෙන් තීරණ ගන්න කියලා අනිත් අයට කියන එක හොඳ නැත්තේ ඇයි?

මට තියෙන්න ඕන ගුණාංගය මොකක්ද?

4. උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න තියෙන්න ඕන ගුණාංගය මොකක්ද?

4 උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න නම් අපි නිහතමානී වෙන්න ඕනේ. අපි හැම දෙයක් ගැනම දන්නේ නැහැ කියලත් සමහර තීරණ ගන්න ඕන කරන අද්දැකීම් අපි ගාව නැහැ කියලත් අපි පිළිගන්න ඕනේ. නිහතමානිකම අපි ගාව නැත්නම් යෙහෝවාට බැහැ අපිට උදව් කරන්න. එහෙම වුණොත් බයිබලේ කියවද්දී යෙහෝවා අපිට දෙන උපදෙස් අපේ හිතට යන්නේ නැතුව ඒවා නිකම්ම ලිස්සලා යයි. හරියට නෙළුම් කොළේට වතුර දැම්මා වගේ. (මීකා 6:8; 1 පේතෘ. 5:5) හැබැයි අපි නිහතමානී නම් බයිබලෙන් අපිට උපදෙස් ලැබෙද්දී අපි ඒවා කැමැත්තෙන් පිළි අරන් ඉක්මනින් අදාළ කරගන්නවා.

5. දාවිත්ට ආඩම්බර වෙන්න තිබුණ හේතු මොනවාද?

5 දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු. දාවිත්ට කරන්න පුළුවන් වුණ දේවල් නිසා ඕනෙ නම් එයාට ආඩම්බර වෙන්න තිබුණා. රජ වෙන්න අවුරුදු ගාණකට කලින් ඉඳන්ම එයා දක්ෂ සංගීතඥයෙක් විදිහට මිනිස්සු අතරේ ප්‍රසිද්ධයි. එයා රජ ඉස්සරහත් සංගීතය වාදනය කළා. (1 සාමු. 16:18, 19) ඊළඟ රජ විදිහට අභිෂේක කළාට පස්සේ යෙහෝවා ඔහුගේ බලය දාවිත්ට දීලා එයාව බලවත් කළා. (1 සාමු. 16:11-13) ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ව පරාජය කළාම මිනිස්සු දාවිත්ට ගොඩක් ප්‍රශංසා කළා. එයා පරද්දපු ඒ වගේ කෙනෙක් තමයි ගොලියත්. (1 සාමු. 17:37, 50; 18:7) ආඩම්බර කෙනෙක් නම් මේ වගේ වෙලාවට හිතනවා එයාට අනිත් අයගේ උපදෙස්, අවවාද ඕනෙ නැහැ කියලා. හැබැයි දාවිත් එහෙම නැහැ.

6. අනිත් අයගේ උපදෙස් පිළිගන්න දාවිත් කැමැත්තෙන් හිටියා කියලා අපි දන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

6 රජ වුණාම දාවිත් කිට්ටු යාළුවන් විදිහට තෝරගත්තේ එයාට උපදෙස්, අවවාද දීපු අයව. (1 ලේක. 27:32-34) එයා රජ වෙන්න කලින් ඉඳන්ම අනිත් අයගෙන් ලැබුණ උපදෙස් පිළිගත්ත කෙනෙක්. පිරිමි අයගේ විතරක් නෙවෙයි ගැහැනු කෙනෙක් වුණ අබිගායිල් දීපු උපදෙසත් එයා පිළිගත්තා. අබිගායිල්ගේ මහත්තයා නාබල් කිසිම කෙනෙක්ට ගෞරව කළේ නැති, කිසිම දෙයක් අගය කළේ නැති, ආඩම්බර මනුස්සයෙක්. හැබැයි දාවිත් අබිගායිල් දීපු උපදෙස නිහතමානීව පිළිගත්තා. ඒ නිසා එයා අතින් ලොකු වරදක් වෙන එක වැළකුණා.—1 සාමු. 25:2, 3, 21-25, 32-34.

අබිගායිල් බිම ඉඳගෙන, හරිම බැගෑපත්ව දාවිත්ගෙන් ඉල්ලීමක් කරද්දී දාවිත් එයා කියන දේට හොඳට ඇහුම්කන් දෙනවා.

දාවිත් අබිගායිල් දීපු උපදෙස නිහතමානීව පිළි අරන් ඒක අදාළ කරගත්තා (6 ඡේදය බලන්න)


7. අපිට දාවිත්ගෙන් ඉගෙනගන්න පුළුවන් වටින පාඩම් මොනවාද? (දේශනාකාරයා 4:13) (පින්තූරත් බලන්න.)

7 දාවිත්ගෙන් අපිට වටින පාඩම් ඉගෙනගන්න පුළුවන්. සමහරවිට අපිත් මොනවා හරි දේකට දක්ෂ ඇති. අපිට යම් අධිකාරියක් තියෙනවා ඇති. එහෙමයි කියලා අපි හිතන්න හොඳ නැහැ අපි හැම දේම දන්නවා, අපිට අනිත් අයගේ උපදෙස් ඕනෙ නැහැ කියලා. හොඳ උපදෙස් කවුරු දුන්නත් දාවිත් වගේ අපිත් ඒකට කන් දෙන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. (දේශනාකාරයා 4:13 කියවන්න.) එතකොට අපිටයි, අනිත් අයටයි ලොකු වේදනාවක් ගේන බරපතළ වැරදි නොකර ඉන්න අපිට පුළුවන්.

පින්තූරවල අදහස: 1. වැඩිමහල්ලන් හතරදෙනෙක් වැඩිමහල් රැස්වීමක ඉන්නවා. එක වැඩිමහල්ලෙක් ටිකක් තදින් කතා කරනවා. 2. පස්සේ ඒ රැස්වීමේ හිටපු තරුණ වැඩිමහල්ලෙක් තදින් කතා කරපු වැඩිමහල්ලා එක්ක කාර් එකේදී තනියම කතා කරනවා.

හොඳ උපදෙස් කවුරු දුන්නත් අපි ඒක අහන්න කැමැත්තෙන් ඉන්න ඕනේ (7 ඡේදය බලන්න)d


හොඳ උපදෙස් දෙන්න පුළුවන් කාටද?

8. දාවිත්ට හොඳ උපදෙස් දෙන්න යොනාතාන්ට පුළුවන් වුණේ ඇයි?

8 දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් පාඩමක් බලන්න. දාවිත් උපදෙස් ගත්තේ යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තිබුණ, එයා ඉන්න තත්වේ හොඳින් තේරුම්ගත්ත අයගෙන්. උදාහරණෙකට සාවුල් රජ එයාත් එක්ක සමාදාන වෙන්න කැමති වෙයිද කියලා දැනගන්න ඕන වුණ වෙලාවේ සාවුල්ගේ පුතා වුණ යොනාතාන් දීපු උපදෙස දාවිත් පිළිගත්තා. මොකද යොනාතාන්ට යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තිබුණා. ඒ වගේම සාවුල් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලත් එයා දැනන් හිටියා. (1 සාමු. 20:9-13) ඒක අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

9. උපදෙස් ගන්න අපි යන්න ඕනෙ කා ළඟටද? උදාහරණයක් කියන්න. (හිතෝපදේශ 13:20)

9 අපිටත් උපදෙසක්, මඟ පෙන්වීමක් ඕන වෙද්දී යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තියෙන, අපිට උදව් ඕනෙ පැත්ත ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් තමයි ඒක ගන්න ඕනේ.b (හිතෝපදේශ 13:20 කියවන්න.) හිතන්න, තරුණ සහෝදරයෙක් විවාහ වෙන්න කෙනෙක්ව හොයනවා කියලා. එයාට හොඳ උපදෙස් දෙන්න පුළුවන් කාටද? විවාහ වෙලා නැති එයාගේ යාළුවෙක් වුණත් බයිබලෙන් උපදෙස් දෙනවා නම් ඒවා හොඳ ඒවා වෙයි. හැබැයි කාලයක් එකට යෙහෝවාට සේවේ කරන, ඒ සහෝදරයාව හොඳට අඳුරන, විවාහක යුවළකගෙන් උපදෙස් ඇහුවොත් එයාට ප්‍රයෝජනවත් වෙන හොඳ උපදෙස් දෙන්න එයාලට පුළුවන් වෙයි. බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න විදිහ ගැන විතරක් නෙවෙයි එයාලා අද්දැකීමෙන් ඉගෙනගත්ත දේවල් ගැනත් ඒ තරුණයාට කියන්න ඒ යුවළට පුළුවන්.

10. අපි දැන් බලන්නේ මොනවා ගැනද?

10 අපිට තියෙන්නම ඕන ගුණාංගයක් ගැනත් හොඳ උපදෙස් අපිට දෙන්න පුළුවන් කොයි වගේ අයටද කියලත් අපි බැලුවා. උපදෙස් ගද්දී අපි විවෘත මනසකින් ඉන්න ඕනෙ ඇයි කියලත් අපි වෙනුවෙන් අනිත් අයට තීරණ ගන්න ඉඩ දෙන එක හරිද කියලත් දැන් අපි බලමු.

උපදෙස් ගද්දී විවෘත මනසකින් ඉන්න

11-12. (අ) සමහර වෙලාවට අපි කරන්න පෙලඹෙන්නේ මොකක්ද? (ආ) වැදගත් තීරණයක් ගන්න ඕන වෙලාවේ රෙහබෝවම් රජ කළේ මොකක්ද?

11 හිතන්න, කෙනෙක් දෙයක් ගැන තීරණයක් ගත්තාට පස්සේ අනිත් අය ළඟට ගිහිල්ලා උපදෙස් ගන්නවා කියලා. එයාට ඇත්තටම ඕනෙ එයාලාගෙන් හොඳ උපදෙස් ගන්න නෙවෙයි. ඒ වෙනුවට එයා අරන් තියෙන තීරණේට ඒගොල්ලොත් එකඟ වෙනවාද කියලා බලන්නයි. ඒ වගේ කෙනෙක් උපදෙස් ගන්නේ විවෘත මනසකින් කියලා කියන්න බැහැ. ඇත්තටම එයා රෙහබෝවම්ට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගන්න ඕනේ.

12 සලමොන්ට පස්සේ රජ වුණේ රෙහබෝවම්. ඒ වෙද්දී ඊශ්‍රායෙල්වරු සමෘද්ධිමත් ජාතියක්. හැබැයි සෙනඟට දැනුණේ සලමොන් රජ එයාලට දරන්න බැරි බරක් පැටෙව්වා කියලයි. ඒ නිසා එයාලා රෙහබෝවම් ළඟට ගිහින් එයාලාගේ බර සැහැල්ලු කරන්න කියලා ඉල්ලනවා. තීරණයක් ගන්න කල් දෙන්න කියලා රෙහබෝවම් ඒ වෙලාවේ සෙනඟට කියනවා. මුලින්ම එයා උපදෙස් ගන්න ගියේ සලමොන්ගේ උපදේශකයන් විදිහට වැඩ කරපු වැඩිමහල්ලන් ළඟට. එයා පටන්ගත්ත විදිහ නම් හොඳයි. (1 රාජා. 12:2-7) හැබැයි වැඩිමහල්ලන් දුන්න උපදෙස් එයා පිළිගත්තේ නැහැ. සමහරවිට ඒ වෙද්දීත් සෙනඟට කියන්න ඕනෙ මොකක්ද කියලා එයා තීරණයක් අරන් ඉන්න ඇති. එයා වැඩිමහල්ලන් ළඟට යන්න ඇත්තේ එයා ගත්ත තීරණේට එයාලා එකඟ වෙයි කියලා හිතාගෙන වෙන්න ඇති. ඊටපස්සේ එයා එයාගෙම වයසේ යාළුවන්ගෙන් ඒ ගැන උපදෙස් ගන්නවා. එයාලා දුන්නේ නම් රෙහබෝවම් බලාපොරොත්තු වුණ උත්තරේ. (1 රාජා. 12:8-14) ඉතින් යාළුවෝ කියන්න කියපු දේ තමයි රෙහබෝවම් සෙනඟට කියන්නේ. ඒකෙන් රාජ්‍යය දෙකට බෙදුණා. එදායින් පස්සේ රෙහබෝවම්ට ගොඩක් ප්‍රශ්නත් ආවා.—1 රාජා. 12:16-19.

13. අපි උපදෙස් ගන්නේ විවෘත මනසකින්ද කියලා දැනගන්නේ කොහොමද?

13 අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද? අපිත් දෙයක් ගැන තීරණයක් අරන් ඊටපස්සේ අනිත් අයගෙන් උපදෙස් ගන්න එකේ තේරුමක් නැහැ. අපි උපදෙස් ගන්න ඕනෙ විවෘත මනසකින්. අපි එහෙම කරනවාද කියලා දැනගන්න අපෙන්ම මෙහෙම අහගන්න ඕනේ. ‘මං අනිත් අයගෙන් උපදෙස් ඉල්ලුවත් එයාලා කියන්නේ මං බලාපොරොත්තු වෙන දේ නෙවෙයි නං මං ඒක මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරනවාද?’

14. උපදෙසක් ලැබෙද්දී මතක තියාගන්න ඕනෙ මොකක්ද? උදාහරණයක් කියන්න. (පින්තූරයත් බලන්න.)

14 හිතන්න, සහෝදරයෙක්ට හොඳ පඩියක් තියෙන රස්සාවක් හම්බ වෙනවා කියලා. එයා ඒක භාරගන්න කලින් වැඩිමහල්ලෙක්ගෙන් ඒ ගැන අහනවා. එයා වැඩිමහල්ලාට කියනවා රස්සාවට ගියොත් එයාට සෑහෙන කාලයක් ගෙදරින් පිට ඉන්න වෙනවා කියලා. ඉතින් වැඩිමහල්ලා එයාට බයිබලෙන් පෙන්නනවා එයාගේ ප්‍රධානම වගකීම පවුලේ අයට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න උදව් කරන එක කියලා. (එෆී. 6:4; 1 තිමෝ. 5:8) හැබැයි ඒ උපදෙසට සහෝදරයා කැමති නැහැ. ඉතින් එයා බලාපොරොත්තු වෙන වචන ටික එළියට එන කල් එයා සභාවේ තව තව අය ළඟට ගිහින් ඒ ගැන අහනවා. එයා ඒ විදිහට උපදෙස් ගන්නේ හොඳ තීරණයක් ගන්න එයාට ඇත්තටම ඕන නිසාද? නැත්නම් එයාට ඕනෙ එයා අරන් තියෙන තීරණේට එකඟ වෙන කෙනෙක්ව හොයාගන්නද? මතක තියාගන්න, අපේ හිත රැවටිලිකාරයි. (යෙරෙ. 17:9) සමහර වෙලාවට අපි අහන්න අකමැතිම උපදෙස තමයි ඇත්තටම අපිට ඕන උපදෙස.

සහෝදරියක් සභාවේ කීපදෙනෙක්ගෙන්ම උපදෙස් ගන්නවා. ඒ කවුරුත් දෙන උපදෙස්වලට එයා කැමති නැති නිසා එක් කෙනෙක් එක්ක කතා කරලා ආයේ තව කෙනෙක් ළඟට යනවා.

අපිට ඇත්තටම ඕනෙ හොඳ උපදෙස් ලබාගන්නද නැත්නම් අපේ තීරණේට එකඟ වෙන කෙනෙක්ව හොයාගන්නද? (14 ඡේදය බලන්න)


මං වෙනුවෙන් අනිත් අයට තීරණ ගන්න කියන එක හරිද?

15. අපි වළකින්න ඕනෙ මොකක් කරන එකෙන්ද? ඒ ඇයි?

15 අපි වෙනුවෙන් තීරණ ගන්න වගකීම තියෙන්නේ අපිටමයි. (ගලා. 6:4, 5) අපි දැනගත්තා හොඳ තීරණයක් ගන්න කලින් බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද කියලා හොයන එක වගේම කාලයක් තිස්සේ යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරන අයගෙන් ඒ ගැන අහන එක හොඳ දෙයක් කියලා. හැබැයි තීරණ ගන්න අපිට තියෙන වගකීම අපි අනිත් අය පිට පටවන්නේ නැතුව ඉන්න ඕනේ. සමහරු එයාලට කිට්ටු කෙනෙක් ළඟට ගිහින් අහනවා “ඔයා මං ඉන්න තැන හිටියා නං ඔයා මොකද කරන්නේ” කියලා. තවත් අය අනිත් අය කරන දේ දිහා බලලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒකම කරනවා.

16. රූපවලට ඔප්පු කරපු මස් ගැන කොරින්ති සභාවේ ඇති වුණ ප්‍රශ්නේ මොකක්ද? ඒවා කනවාද නැද්ද කියන තීරණේ ගන්න වගකීම තිබුණේ කාටද? (1 කොරින්ති 8:7; 10:25, 26)

16 රූපවලට පූජා කරලා ඇති කියලා හිතන්න පුළුවන් මස් කනවාද නැද්ද කියන තීරණේ ගන්න කොරින්ති සභාවේ හිටපු අයට වුණා. ඉතින් පාවුල් එයාලට මෙහෙම කිව්වා. “අපි දන්නවා රූපයක් කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි කියලා. මොකද ඉන්නේ එක දෙවි කෙනෙක් විතරයි.” (1 කොරි. 8:4) පාවුල් කියපු ඒ දේ අහලා ඒ සභාවේ හිටපු සමහරු තීරණේ කරන්න ඇති රූපවලට පූජා කළත් පස්සේ වෙළඳපොළට ගෙනල්ලා විකුණන මස් කන එක ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි සමහරු තීරණේ කරනවා එයාලාගේ හෘද සාක්ෂිය වධ දෙන නිසා ඒ වගේ මස් නොකා ඉන්න. (1 කොරින්ති 8:7; 10:25, 26 කියවන්න.) ඒ වගේ මස් කනවාද නැද්ද කියන එක එක් එක් කෙනා ගන්න ඕන තීරණයක්. අනිත් අය වෙනුවෙන් තීරණ ගන්න කියලවත් අනිත් අය කරන දේවල් කොපි කරන්න කියලවත් පාවුල් කොරින්තියේ අයට කිව්වේ නැහැ. එයාලා හැම කෙනෙක්ම එයාලා “කරන කියන දේවල් ගැන දෙවියන්ට උත්තර දෙන්න ඕනේ.”—රෝම 14:10-12.

17. අනිත් අය කරන දේ කොපි කරන්න ගියොත් මොකක් වෙන්න පුළුවන්ද? උදාහරණයක් කියන්න. (පින්තූරත් බලන්න.)

17 අදත් ඒ වගේම දෙයක් වෙන්න පුළුවන්ද? ලේවල අනුකොටස් ගැන හිතන්න. ඒවා අපි ගන්නවාද නැද්ද කියන තීරණේ අපි එක් එක් කෙනා තනියම ගන්න ඕන තීරණයක්.c ඇත්ත, ඒ වගේ විෂයක් තේරුම්ගන්න එක ලේසි නැහැ. හැබැයි අපි වෙනුවෙන් ඒ තීරණේ ගන්න වගකීම වෙන කෙනෙක්ට පටවන්න අපිට බැහැ. (රෝම 14:4) තව කෙනෙක් ගත්ත තීරණයක් අපි කොපි කරන්න ගියොත් ඒකෙන් අපේ හෘද සාක්ෂියට හානියක් වෙන්න පුළුවන්. අපේ හෘද සාක්ෂිය පුහුණු කරන්න නම් අපි ඒක පාවිච්චි කරලා තීරණ ගන්නම ඕනේ. (හෙබ්‍රෙ. 5:14) එතකොට අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ගෙන් අපි උපදෙස් ගන්න ඕනෙ කොයි වෙලාවේදීද? තොරතුරු හොඳට හෙව්වාට පස්සෙත් සමහර බයිබල් ප්‍රතිපත්ති අපේ තත්වෙට අදාළ වෙන විදිහ තේරුම්ගන්න උදව් ඕන නම් තමයි අපි ඒක කරන්න ඕනේ.

පින්තූරවල අදහස 1. සහෝදරයෙක් ‘රුධිරය එපා!’ කාඩ් එක පුරවන්න කලින් බයිබලෙයි, ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 39 පාඩමයි, ‘ප්‍රතිකාර තෝරගද්දී ඥානවන්ත තීරණ ගන්න’ කියන වීඩියෝ එකයි පාවිච්චි කරලා තොරතුරු හොයනවා. 2. පස්සේ අවබෝධයෙන් වැඩ කරන සහෝදරයක් එයාත් එක්ක බයිබල් පදයක් සාකච්ඡා කරද්දී එයා හොඳට ඇහුම්කන් දෙනවා.

අපි උපදෙස් ඉල්ලන්න ඕනෙ තොරතුරු හොඳට අධ්‍යයනය කළාට පස්සේ (17 ඡේදය බලන්න)


දිගටම උපදෙස් ගන්න

18. යෙහෝවා අපි වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද?

18 තීරණ ගන්න අපිට නිදහස දීලා යෙහෝවා පෙන්නලා තියෙනවා ඔහුට අපිව ගොඩක් විශ්වාසයි කියලා. ඔහු අපිට ඔහුගේ වචනය වන බයිබලේ දීලා තියෙනවා. බයිබලේ තියෙන ප්‍රතිපත්ති හොඳට තේරුම්ගන්න අපිට උදව් කරන්න හොඳ යාළුවන්වත් දීලා තියෙනවා. ඒ විදිහට ඔහු පෙන්නලා තියෙනවා ඔහු අපි ගැන හිතන, ආදරණීය තාත්තා කෙනෙක් කියලා. (හිතෝ. 3:21-23) ඔහු අපි වෙනුවෙන් කරන දේවල් අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

19. යෙහෝවාව දිගටම සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද?

19 දරුවන් උස් මහත් වෙලා අනිත් අයට උදව් කරන, විශ්වාසවන්ත සේවකයන් වෙනවා දකින එක තරම් සතුටක් දෙමාපියන්ට තවත් තියෙනවාද! අන්න ඒ වගේ අපිත් යේසුස්ව තව වැඩියෙන් ආදර්ශයට අරන්, අනිත් අයගෙන් හොඳ උපදෙස් අරන් යෙහෝවාව ගෞරවයට පත් වෙන තීරණ ගන්නවා දකින්නයි ඔහු කැමති.

උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න නම් අපි . . .

  • නිහතමානී වෙන්න ඕනෙ ඇයි?

  • විවෘත මනසක් තියාගන්න ඕනෙ ඇයි?

  • තීරණ අපිම ගන්න ඕනෙ ඇයි?

ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

a බයිබලේ “උපදෙස්” සහ “අවවාද” කියද්දී ඒ දෙකෙන්ම එකම දේ අදහස් වෙන්න පුළුවන්.

b ක්‍රිස්තියානීන්ට ආර්ථික, වෛද්‍ය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් යෙහෝවාට නමස්කාර කරන්නේ නැති අයගෙන් සමහර වෙලාවට උපදෙස් ගන්න වෙයි.

c මේ විෂය ගැන තව තොරතුරු දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 39වෙනි පාඩමේ 5 කරුණ සහ “තව දැනගන්න” කියන කොටස බලන්න.

d පින්තූරේ අදහස: වැඩිමහල්ලන්ගේ රැස්වීමකදී එක වැඩිමහල්ලෙක් කතා කරපු විදිහ ගැන එයාට වඩා වයසින් අඩු වැඩිමහල්ලෙක් එයාට උපදෙසක් දෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න