ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 සැප්තැම්බර් 2-7 පි.
  • “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “උදව් ඉල්ලන්න” ඕනෙ මොන වෙලාවටද?
  • උදව් ඉල්ලන්න ඕනෙ ඇයි?
  • වැඩිමහල්ලන් අපිට උදව් කරන්නේ කොහොමද?
  • අපේ වගකීම
  • වැඩිමහල්ලෙනි, වරදක් කරපු කෙනෙක්ට ආදරේ සහ දයාව පෙන්නන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ක්‍රිස්තියානීන්ව සංවිධානය කරලා තියෙන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • සහෝදරයෙනි, වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපි වෙනුවෙන් ඇපකැප වෙන එඬේරු
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 සැප්තැම්බර් 2-7 පි.

පාඩම් ලිපිය 36

ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

“වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”

“එයා සභාවේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඕනේ.”—යාකො. 5:14.

ලිපියේ අරමුණ

උදව් ඕන වෙලාවට වැඩිමහල්ලන්ගෙන් ඒ උදව් ඉල්ලන්න ඕනෙ ඇයි කියලා අපි බලමු.

1. යෙහෝවාගේ බැටළුවන්ව ඔහුට ගොඩක් වටිනවා කියලා ඔහු පෙන්නලා තියෙන්නේ කොහොමද?

යෙහෝවාට ඔහුගේ බැටළුවන්ව ගොඩක් වටිනවා. ඔහු එයාලව මිල දීලා ගත්තේ යේසුස්ගේ ලේවලින්. ඔහුගේ රැළ බලාගන්න ඔහු වැඩිමහල්ලන්ව පත් කළා. (ක්‍රියා 20:28) දෙවියන්ට ඕනෙ වැඩිමහල්ලන් ඔහුගේ රැළ ආදරෙන් බලාගන්නවා දකින්න. යේසුස්ගේ නායකත්වය යටතේ වැඩිමහල්ලන් බැටළුවන්ව ප්‍රාණවත් කරනවා. දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන දේවලින් රැළ ආරක්ෂා කරනවා.—යෙසා. 32:1, 2.

2. යෙහෝවා විශේෂයෙන්ම හිතන්නේ කවුරු ගැනද? (එසකියෙල් 34:15, 16)

2 යෙහෝවා ඔහුගේ හැම බැටළුවෙක් ගැනම හිතනවා. වේදනා විඳින අය ගැන ඔහු වැඩියෙන් හිතනවා. සමහරු වේදනාවෙන් ඉන්නේ එයාලා කරපු වැරදි නිසා. යෙහෝවා වැඩිමහල්ලන් මාර්ගයෙන් එයාලට උදව් කරනවා. (එසකියෙල් 34:15, 16 කියවන්න.) හැබැයි උදව් ඕනෙ වෙලාවට අපි ඒ උදව් ඉල්ලයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. අපි යාච්ඤා කරලා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවාට අමතරව සභාවේ ‘එඬේරුන්, ගුරුවරුන් විදිහට’ සේවේ කරන අයගෙනුත් උදව් ඉල්ලන්න ඕනේ.—එෆී. 4:11, 12.

3. වැඩිමහල්ලන්ට තියෙන වගකීම ගැන හිතන එක අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

3 වැඩිමහල්ලන්ගෙන් උදව් ලබාගන්න යෙහෝවා ඇති කරලා තියෙන සැලැස්ම ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒ ගැන බලද්දී අපි මේ ප්‍රශ්නවලට උත්තර හොයමු. අපි වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඕනෙ මොන වෙලාවටද? අපි උදව් ඉල්ලන්න ඕනෙ ඇයි? එයාලා අපිට උදව් කරන්නේ කොහොමද? මේ වෙද්දී ඔයාට යෙහෝවාත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති. ඒ නිසා ඔයාට වැඩිමහල්ලන්ගේ උදව් ඕනෙ නැතුව ඇති. ඒත් ඒ ප්‍රශ්නවලට උත්තර දැනන් ඉන්න එක දෙවියන්ගේ සැලැස්ම ගැන අපිට තියෙන අගය තව වැඩි කරයි. දවසක අපිට උදව් ඕන වුණොත් අපි කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්නත් ඒක අපිට උදව් වෙයි.

“උදව් ඉල්ලන්න” ඕනෙ මොන වෙලාවටද?

4. යාකොබ් 5:14-16, 19, 20 කතා කරන්නේ යෙහෝවාත් එක්ක තියෙන බැඳීම දුර්වල වුණ කෙනෙක් ගැන කියලා අපි දන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)

4 යෙහෝවා වැඩිමහල්ලන් මාර්ගයෙන් අපිට උදව් කරන්නේ කොහොමද කියලා යාකොබ් මෙහෙම විස්තර කරනවා. “ඔයාලා අතරේ ඉන්න කවුරු හරි අසනීපෙන් ඉන්නවාද? ඒ වගේ වෙලාවකදී එයා සභාවේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඕනේ.” (යාකොබ් 5:14-16, 19, 20 කියවන්න.) අවට පද බලද්දී තේරෙනවා මෙතන කතා කරන්නේ දෙවියන් එක්ක තියෙන බැඳීම දුර්වල වුණ කෙනෙක් ගැන කියලා. මොකද එතන කියන්නේ අසනීප වුණ කෙනා දොස්තර කෙනෙක්ගෙන් නෙවෙයි වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න ඕනෙ කියලයි. එයාගේ වරදට සමාව ලැබුණාම එයා සනීප වෙනවා කියලත් යාකොබ් කියනවා. අසනීප වුණ කෙනෙක් සනීප වෙන්න නම් දොස්තරව හම්බ වෙලා, එයාගේ තත්වේ කියලා, දොස්තර දෙන උපදෙස්වලට අනුව වැඩ කරන්න ඕනේ. දෙවියන් එක්ක තියෙන බැඳීම දුර්වල වුණ කෙනෙකුත් ඒ බැඳීම ආයේ ඇති කරගන්න නම් වැඩිමහල්ලන් ළඟට ගිහින්, එයාගේ තත්වේ කියලා, බයිබලෙන් එයාලා දෙන මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන්න ඕනේ.

පින්තූරවල අදහස: 1. කෙනෙක් එයාගේ උරහිසේ තියෙන කැක්කුමක් ගැන දොස්තරට විස්තර කරනවා. 2. එළිමහනක බංකුවක ඉඳන් සහෝදරයෙක් එයාගේ තත්වේ ගැන වැඩිමහල්ලෙක්ට විස්තර කරනවා.

අසනීප වුණොත් අපි දොස්තර කෙනෙක් ගාවට යන්න ඕනේ. ඒ වගේ යෙහෝවාත් එක්ක තියෙන අපේ බැඳීම දුර්වලයි කියලා දැනුණොත් අපි වැඩිමහල්ලන් ළඟට යන්න ඕනේ (4 ඡේදය බලන්න)


5. යෙහෝවාත් එක්ක තියෙන බැඳීම දුර්වල වෙන්න පටන් අරන් කියලා දැනගන්නේ කොහොමද?

5 යාකොබ් කියන්නේ දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම දුර්වල වෙනවා කියලා දැනෙද්දීම වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න කියලා. ඒ බැඳීම දුර්වල වෙන්න කලින් ඒක ආරක්ෂා කරගන්න පියවර ගන්න එක හරිම වැදගත්. ඒකට අපි අපිටම අවංක වෙන්න ඕනේ. මොකද බයිබලේ අපිට අනතුරු අඟවනවා අපි හැම දෙයක්ම හොඳට කරනවා කියලා අපිවම රවට්ටගන්න පුළුවන් කියලා. (යාකො. 1:22) ඕකම මුල් සියවසේ සාදිස් සභාවේ හිටපු සමහරු කළා. ඒකයි යේසුස් කිව්වේ දෙවියන් එයාලාගෙන් බලාපොරොත්තු වෙන දේවල් එයාලා කරන්නේ නැහැ කියලා. (එළි. 3:1, 2) යෙහෝවාත් එක්ක තියෙන බැඳීම දුර්වල වේගෙන එනවා කියලා දැනගන්නේ කොහොමද? එක විදිහක් තමයි නමස්කාරයේ දේවල් ගැන බව්තීස්ම වුණ මුල් කාලේ අපිට හැඟුණ විදිහයි, දැන් හැඟෙන විදිහයි සසඳලා බලන එක. (එළි. 2:4, 5) ඒකට මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘බයිබලේ කියවලා ඒ ගැන කල්පනා කරද්දී මට කලින් දැනුණ සතුට දැන් දැනෙන්නේ නැද්ද? මං රැස්වීම්වලට ලෑස්ති වෙන්නේ, රැස්වීම් යන්නේ සමහර දවස්වලට විතරද? සේවේ කරන්න මට කලින් තිබුණ උද්‍යෝගය දැන් බැහැලද? සේවේ කරනවාට වඩා විනෝද වෙන්නද, සල්ලි හම්බ කරන්නද මං දැන් වැඩිපුර කැමති?’ ඒ එකකට හරි උත්තරේ “ඔව්” නම් යෙහෝවාත් එක්ක අපිට තියෙන බැඳීම දුර්වල වේගෙන එනවා වෙන්න පුළුවන්. ඒක ඉක්මනටම හදාගත්තේ නැත්නම් අපි භයානක තැනකට වුණත් වැටෙන්න පුළුවන්. යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න තනියම බැහැ කියලා හිතෙනවා නම්, යෙහෝවා අකමැති දෙයක් මේ වෙද්දීත් අපි අතින් වෙලා නම් ඉක්මනටම වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න.

6. බරපතළ වරදක් කරපු කෙනෙක් කරන්න ඕනෙ මොකක්ද?

6 සමහර වැරදි කොච්චර බරපතළද කියනවා නම් ඒ ගැන අවංකවම පසුතැවුණේ නැත්නම් ඒ කෙනාව සභාවෙන් අයින් කරන්න වුණත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ වරදක් කරපු කෙනෙක් අනිවාර්යයෙන්ම වැඩිමහල්ලෙක් එක්ක ඒ ගැන කතා කරන්න ඕනේ. (1 කොරි. 5:11-13) මොකද එයාට බැහැ යෙහෝවාත් එක්ක පලුදු වුණ එයාගේ බැඳීම තනියම ආයේ හරිගස්සගන්න. ජීවිත පූජාව මාර්ගයෙන් යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් ‘පසුතැවිලි වුණා කියලා එයා වැඩ කරන විදිහෙන් පෙන්නන්න’ ඕනේ. (ක්‍රියා 26:20) ඒකට එයා බරපතළ වරදක් කළා කියලා වැඩිමහල්ලන්ට ගිහින් කියන එකත් ඇතුළත්.

7. උදව් ඉල්ලන්න ඕනෙ තව කවුද?

7 බරපතළ වැරදි කරපු අයට විතරක් නෙවෙයි වැරදි ආශාවන් එක්ක සටන් කරන්න අමාරුයි කියලා හැඟෙන අයටත් වැඩිමහල්ලන් උදව් කරනවා. (ක්‍රියා 20:35) ඔයා සත්‍යයට එන්න කලින් මත්ද්‍රව්‍යවලට, අසභ්‍ය දර්ශන බලන එකට ඇබ්බැහි වෙලා ඉන්න ඇති. අනාචාර ජීවිතයක් ගත කරන්න ඇති. එහෙමනම් වැරදි ආශාවන් එක්ක සටන් කරන්න ඔයාට තවත් අමාරු වෙයි. හැබැයි හිතන්න එපා ඔයාට මේ සටන කරන්න වෙන්නේ තනියම කියලා. ඔයාට හොඳින් ඇහුම්කන් දෙන වැඩිමහල්ලෙක් එක්ක ඔයාට දැනෙන දේ කියන්න. ඔයා වෙනස් කරගන්න ඕනෙ පැති එයා පෙන්නලා දෙයි. අමාරුවෙන් හරි ඔයා දිගටම මේ සටන කළොත් යෙහෝවා ඔයා ගැන සතුටු වෙයි කියලත් එයා ඔයාට මතක් කරයි. (දේශ. 4:12) මේ සටන දිගටම කරන්න වෙන එක ගැන ඔයා ඉන්නේ කලකිරිලා වෙන්න ඇති. හැබැයි ඔයා උදව් ඉල්ලපු එකෙන්ම පේනවා යෙහෝවාත් එක්ක ඔයාට තියෙන බැඳීම ඔයාට ගොඩක් වටිනවා කියලා. ඔයා ඔයා ගැන වැඩිපුර විශ්වාසේ තියන්නේ නැහැ කියලත් පේනවා. ඒ ගැනත් වැඩිමහල්ලා ඔයාට මතක් කරයි.—1 කොරි. 10:12.

8. අපි අතින් වෙන හැම වරදක් ගැනම අපි වැඩිමහල්ලන්ට කියන්න ඕනෙද? පැහැදිලි කරන්න.

8 අපි අතින් වෙන හැම වරදක් ගැනම වැඩිමහල්ලන්ට කියන්න ඕනෙ නැහැ. උදාහරණෙකට තව කෙනෙක්ගේ හිත රිදෙන විදිහට ඔයා කතා කරයි. නැත්නම් ඔයාට තව කෙනෙක් එක්ක කේන්ති යයි. ඒ වගේ වෙලාවට වැඩිමහල්ලෙක්ට ඒ ගැන කියනවා වෙනුවට හොඳම දේ යේසුස්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙලා එයා එක්ක සමාදාන වෙන්න උත්සාහ කරන එක. (මතෙ. 5:23, 24) ඔයාට පුළුවන් මෘදුකම, ඉවසීම, තමන්ව පාලනය කරගන්න එක වගේ ගුණාංග ගැන අධ්‍යයනය කරන්න. එතකොට ඒ ගුණාංග වැඩියෙන් පෙන්නන්න ඔයාට පුළුවන්. ඒ හැම දේම කරලත් ප්‍රශ්නේ විසඳුණේ නැත්නම් වැඩිමහල්ලෙක්ගෙන් උදව් ගන්න. ෆිලිප්පි සභාවේ හිටපු යුවෝදියා සහ සින්ටිකී අතර ඇති වුණ ප්‍රශ්නේ එයාලට විසඳගන්න බැරි වුණාම පාවුල් ඒ සභාවේ සහෝදරයෙක්ට කිව්වා ඒක විසඳගන්න එයාලට උදව් කරන්න කියලා. ඔයාගේ සභාවේ ඉන්න වැඩිමහල්ලෙක්ටත් ඒ දේම කරන්න පුළුවන්.—ෆිලි. 4:2, 3.

උදව් ඉල්ලන්න ඕනෙ ඇයි?

9. ලැජ්ජාවක් දැනුණයි කියලා වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතුව ඉන්න එක හොඳ නැත්තේ ඇයි? (හිතෝපදේශ 28:13)

9 අපි අතින් බරපතළ වරදක් වෙලා තියෙනවා නම්, වැරදි ආශාවක් එක්ක කරන සටන තවත් කරන්න බැහැ කියලා හිතෙනවා නම් උදව් ඉල්ලන්න අපිට ලොකු විශ්වාසයක්, ධෛර්යයක් තියෙන්නම ඕනේ. ලැජ්ජාව නිසා වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතුව ඉන්න එපා. මොකද යෙහෝවා වැඩිමහල්ලන්ව දීලා තියෙන්නේ ඔහුත් එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න අපිට උදව් කරන්නයි. අපි වැඩිමහල්ලන්ට කතා කරන එකෙන් පේනවා අපිට යෙහෝවාව විශ්වාසයි, අපි ඔහුට කීකරු වෙනවා කියලා. හරි දේ කරන්න අපිට යෙහෝවාගේ උදව් ඕනෙමයි කියලා අපි තේරුම් අරන් ඉන්නවා කියලත් ඒකෙන් පේනවා. (ගීතා. 94:18) ඉතින් අපි අතින් වරදක් වෙලා තියෙනවා නම්, අපි ඒ ගැන කියලා ඒකෙන් අයින් වෙනවා නම් යෙහෝවා අනිවාර්යයෙන්ම අපිට දයාව පෙන්නනවා.—හිතෝපදේශ 28:13 කියවන්න.

10. අපි අපේ වැරදි හැංගුවොත් මොනවා වෙයිද?

10 අපි අතින් වුණ වරදක් වැඩිමහල්ලන්ට කියලා උදව් ගද්දී ආශීර්වාද ලැබෙනවා. හැබැයි ඒක හැංගුවොත් හිතාගන්න බැරි තරම් වේදනාවක් දැනෙයි. කාලයක් දාවිත් රජත් එයාගේ වරදක් හැංගුවා. ඒ නිසා එයාට ලොකු පීඩනයක්, වේදනාවක් දැනුණා. එයාට දැනුණා යෙහෝවාගේ අනුමැතිය එයාට නැහැ කියලා. (ගීතා. 32:3-5) අසනීපෙකට බෙහෙත් ගන්න අපි පරක්කු කරන්න කරන්න ඒක වැඩි වෙනවා. ඒ වගේම තමයි වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න පරක්කු කරන තරමට අපිට දැනෙන වේදනාවත් වැඩියි. ඒක දන්න නිසයි යෙහෝවා අපෙන් ඉල්ලන්නේ ඔහු ඇති කරලා තියෙන සැලැස්මට කීකරු වෙලා ඔහුත් එක්ක ඇති වුණ “ප්‍රශ්නේ විසඳගන්න” කියලා.—යෙසා. 1:5, 6, 18.

11. අපි කරපු බරපතළ වරදක් හංගද්දී ඒක අනිත් අයට බලපාන්න පුළුවන් කොහොමද?

11 අපි බරපතළ වරදක් කරලා ඒක හංගනවා නම් ඒක අනිත් අයටත් බලපානවා. ඒ නිසා මුළු සභාවටම දෙවියන්ගේ බලය ලැබෙන එක නවතින්න පුළුවන්. ඒක සභාවේ සාමයටත් තර්ජනයක්. (එෆී. 4:30) අපි දන්නවා නම් සභාවේ ඉන්න කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා ඒක හංගන එකෙන් අපිත් ඒ වරදට හවුල් වෙනවා. (ලෙවී. 5:1) ඒ නිසා එයාට කියන්න ගිහින් ඒ වරද ගැන වැඩිමහල්ලන්ට කියන්න කියලා. එයාට සාධාරණ කාලයක් දුන්නාට පස්සෙත් ඒ ගැන එයා වැඩිමහල්ලන්ට කියන්නේ නැත්නම් ඔයා ඒ ගැන වැඩිමහල්ලන්ට කියන්න ඕනේ. මොකද ඔයා යෙහෝවාට ආදරෙයි. ඔයාට ඕනෙ ඔහුට විශ්වාසවන්තව ඉන්න. ඒ විදිහට අපිට පුළුවන් සභාව පවිත්‍රව තියාගන්න වගේම යෙහෝවාත් එක්ක බිඳුණු බැඳීම ආයේ ඇති කරගන්න ඒ කෙනාට උදව් කරන්න.

වැඩිමහල්ලන් අපිට උදව් කරන්නේ කොහොමද?

12. දෙවියන් එක්ක තියෙන බැඳීම දුර්වල වුණ අයට වැඩිමහල්ලන් උදව් කරන්නේ කොහොමද?

12 දෙවියන් එක්ක තියෙන බැඳීම දුර්වල වුණ අයට උදව් කරන්න කියලා වැඩිමහල්ලන්ට මඟ පෙන්නලා තියෙනවා. (1 තෙස. 5:14) ඉතින් ඔයා අතිනුත් බරපතළ වරදක් වුණොත් ඔයාට හිතෙන විදිහ, දැනෙන විදිහ එළියට ‘ඇදලා ගන්න’ එයාලා ඔයාගෙන් ප්‍රශ්න අහයි. (හිතෝ. 20:5) ඔයාගේ සංස්කෘතිය නිසා, හැදුණු වැඩුණු විදිහ නිසා, කරපු දේ ගැන දැනෙන ලැජ්ජාව නිසා වුණ හැම දේම වැඩිමහල්ලන්ට කියන්න ලේසි නැති වෙයි. ඒත් ඒවා කිව්වොත් තමයි ඔයාට උදව් කරන්න එයාලට පුළුවන්. ඔයාට හිතෙයි ඔයා කතා කරන්නේ “වියරු වැටුණ කෙනෙක් වගේ” කියලා. (යෝබ් 6:3) ඒකට කමක් නැහැ. ඔයා කියන දේවල් අහලා වැඩිමහල්ලෝ ඔයා ගැන ඉක්මන් තීරණවලට එන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා කියන දේට එයාලා හොඳට ඇහුම්කන් දෙයි. ඒ ගැන හිතලා බලයි. ඊටපස්සෙයි එයාලා ඔයාට ඕන කරන උපදෙස් බයිබලෙන් දෙන්නේ. (හිතෝ. 18:13) වැඩිමහල්ලෝ දන්නවා ඔයාට උදව් කරන්න නම් ඔයාත් එක්ක කීප සැරයක්ම කතා කරන්න ඕනෙ කියලා.

13. වැඩිමහල්ලන් අපි වෙනුවෙන් යාච්ඤා කරන එකෙන්, බයිබලෙන් උපදෙස් දෙන එකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)

13 වැඩිමහල්ලන්ට ඕනෙ ඔයාගේ වේදනාව වැඩි කරන්න නෙවෙයි. ඒ වෙනුවට එයාලා ඔයා වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒ යාච්ඤාවලට කොච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔයාට හිතාගන්නවත් බැරි වෙයි. ඒකෙන් ඔයාට ලොකු ශක්තියක් දැනෙයි. ඒ වගේම වැඩිමහල්ලන් ‘යෙහෝවාගේ නාමයෙන් ඔයාට තෙල් ආලේප කරනවා.’ (යාකො. 5:14-16) “තෙල්වලින්” අදහස් කරන්නේ බයිබලේ තියෙන සත්‍යය. ඉතින් බයිබලේ තියෙන දේවල් පෙන්නලා එයාලා ඔයාට ලොකු සහනයක් ලබා දෙනවා. යෙහෝවාත් එක්ක බිඳුණු බැඳීම ආයේ ශක්තිමත් කරගන්න ඔයාට උදව් කරනවා. (යෙසා. 57:18) බයිබලෙන් එයාලා දෙන උපදෙස් ඔයාට උදව් වෙයි හරි දේ කරන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න. වැඩිමහල්ලන් මාර්ගයෙන් යෙහෝවා කියන මේ වචන ඔයාට ඇහෙයි. “මේක තමයි හරි පාර. මේ පාරේ යන්න.”—යෙසා. 30:21.

පින්තූරවල අදහස: 1. කලින් පින්තූරේ හිටපු දොස්තර ඒ කෙනාගේ උරහිස පරීක්ෂා කරලා බලනවා. උරහිසේ ගත්ත එක්ස්-රේ එකක් තිරයේ දාලා තියෙනවා. 2. කලින් පින්තූරේ හිටපු වැඩිමහල්ලයි, තව වැඩිමහල්ලෙකුයි ඒ සහෝදරයාගේ ගෙදරට ගිහින් බයිබලෙන් එයාව දිරිගන්වනවා. ඒ සහෝදරයා සතුටින් එයාලට ඇහුම්කන් දෙනවා.

වැඩිමහල්ලන් බයිබලේ පාවිච්චි කරලා අපිව සනසනවා, දිරිගන්වනවා (13-14 ඡේද බලන්න)


14. “වැරදි පියවරක්” අරන් තියෙන කෙනෙක්ට වැඩිමහල්ලන් උදව් කරන්නේ කොහොමද? (ගලාති 6:1) (පින්තූරත් බලන්න.)

14 ගලාති 6:1 කියවන්න. කෙනෙක් ගන්න වැරදි තීරණයක් නිසා, කරන බරපතළ වරදක් නිසා එයා “වැරදි පියවරක්” ගන්න පුළුවන්. එහෙම කෙනෙක් දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව වැඩ කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවට වැඩිමහල්ලන් ‘ඒ කෙනාව නිවැරදි කරන්න උත්සාහ කරනවා. එයාලා ඒක කරන්නේ ආදරෙන්.’ එතන “නිවැරදි කරන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනේ අදහස කැඩුණු අස්ථියක් කෙළින් කරලා ඒක හරි විදිහට තියනවා කියන එක. එතකොටයි ඒක සුව වෙන්නේ. දක්ෂ වෛද්‍යවරයෙක්ට ඕනෙ රෝගියාට අඩුවෙන්ම වේදනාව දැනෙන විදිහට ඒ අස්ථිය හදන්න. වැඩිමහල්ලන්ටත් ඕනෙ කෙනෙක්ව නිවැරදි කරද්දී එයාගේ වේදනාව තව වැඩි නොකර එයාට උදව් කරන්න. වැඩිමහල්ලන් ‘තමන් ගැනත් සෝදිසියෙන් ඉන්න’ ඕනේ. එයාලා කෙනෙක්ව නිවැරදි කරද්දී තමන් අතින් කවදාවත් වරදක් වෙන්නේ නැහැ කියන හැඟීම දෙන්නේ නැහැ. වරද කරපු කෙනාට වඩා තමන් උසස්, ධර්මිෂ්ඨයි කියන අදහස දෙනවා වෙනුවට වැඩිමහල්ලන් එයාව නිවැරදි කරන්නේ නිහතමානීව, දයාවෙන් පෙලඹිලා.—1 පේතෘ. 3:8.

15. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කරන්න ඕනෙ මොකක්ද?

15 අපිට අපේ වැඩිමහල්ලන්ව විශ්වාසයි. අපේ පෞද්ගලික කාරණා රහසිගතව තියාගන්න යෙහෝවා එයාලට උගන්නලා තියෙනවා. ඒ වගේම උපදෙසක් දෙද්දී එයාලාගේ අදහස් දෙනවා වෙනුවට බයිබලෙන් උපදෙස් දෙන්නත් ප්‍රශ්නෙකින් ගොඩ එන කල්ම අපිට උදව් කරන්නත් යෙහෝවා එයාලව පුහුණු කරලා තියෙනවා. (හිතෝ. 11:13; ගලා. 6:2) ඇත්ත, එක එක වැඩිමහල්ලාගේ පෞද්ගලිකත්වය, එයාලාගේ අද්දැකීම් වෙනස්. හැබැයි අපිට ඕනම වැඩිමහල්ලෙක්ට අපේ ප්‍රශ්නේ ගැන කියන්න පුළුවන්. ඒත් අපි අහන්න කැමති උපදෙස අපිට කියන කල්ම අපි එක එක වැඩිමහල්ලා ළඟට ගිහින් කතා කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒකෙන් පේන්නේ අපිට ඕනෙ බයිබලේ තියෙන “සත්‍ය ඉගැන්වීම්” ගැන දැනගන්න නෙවෙයි, අපි “අහන්න කැමති දේ” අහගන්න කියලා. (2 තිමෝ. 4:3) අපි වැඩිමහල්ලෙක් ළඟට ගිහින් අපේ ප්‍රශ්න ගැන කියද්දී එයා අහයි “ඔයා මේ ගැන තව වැඩිමහල්ලෝ එක්ක කතා කළාද? එයාලා මොන වගේ උපදෙස්ද දුන්නේ” කියලා. අපි එහෙම කරලා තිබුණත් නැතත් සමහරවිට එයා තීරණේ කරයි දෙන්න ඕනෙ මොන වගේ මඟ පෙන්වීමක්ද කියලා තවත් වැඩිමහල්ලෙක්ගෙන් අහන්න.—හිතෝ. 13:10.

අපේ වගකීම

16. අපිට තියෙන වගකීම මොකක්ද?

16 වැඩිමහල්ලන් දෙවියන්ගේ බැටළුවන්ව රැකබලා ගත්තත් අපි කරන්න ඕනෙ හැම දේම එයාලා අපිට කියයි කියලා අපි හිතන්න හොඳ නැහැ. අපි හැමෝම යෙහෝවාට ආදරෙයි. ඔහු කැමති විදිහට ජීවත් වෙන එක අපි එක් එක් කෙනාගේ වගකීමක්. දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපි කරන සටනට ඔහු උදව් කරයි කියලා අපිට විශ්වාසයි. (රෝම 14:12) ඉතින් වැඩිමහල්ලන් “මේක කරන්න, අරක කරන්න” කියනවා වෙනුවට බයිබලේ පාවිච්චි කරලා දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න අපිට උදව් කරනවා. එයාලා දෙන උපදෙස් අදාළ කරගත්තොත් දෙවියන් හිතන විදිහ තේරුම් අරන් හොඳ තීරණ ගන්න අපි ඉගෙනගන්නවා.—හෙබ්‍රෙ. 5:14.

17. අපේ අධිෂ්ඨානය මොකක්ද?

17 යෙහෝවාගේ බැටළුවෙක් වෙන්න ලැබුණ එක ලොකු වරප්‍රසාදයක්. “උතුම් එඬේරා” වන යේසුස්ගේ ජීවිතේ යෙහෝවා අපි වෙනුවෙන් දුන්න නිසා අපිට අවස්ථාවක් තියෙනවා සදහටම ජීවත් වෙන්න. (යොහ. 10:11) සභාව බලාගන්න වැඩිමහල්ලන්ව දීලා ඔහු මේ පොරොන්දුවත් ඉටු කරලා තියෙනවා. “ඔබව රැකබලා ගන්න මගේ හිත සතුටු කරන විදිහට වැඩ කරන එඬේරුන්ව මං පත් කරනවා. ඔවුන් ඔබට දැනුම සහ අවබෝධය ලබා දෙයි.” (යෙරෙ. 3:15) ඉතින් යෙහෝවාත් එක්ක අපිට තියෙන බැඳීම දුර්වල වේගෙන එනවා නම්, දැනටමත් ඒක බිඳිලා නම් වැඩිමහල්ලන්ගෙන් දිගටම උදව් ගන්න අපි අධිෂ්ඨාන කරගමු.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • අපි වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඕනෙ කොයි වෙලාවටද?

  • අපි “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න” ඕනෙ ඇයි?

  • වැඩිමහල්ලෝ අපිට උදව් කරන්නේ කොහොමද?

ගීතිකාව 31 දෙවි සමඟ පා නඟන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න