ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 නොවැම්බර් 20-25 පි.
  • සහෝදරයෙනි, වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සහෝදරයෙනි, වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හොඳ නමක් දිනාගන්න
  • පවුල් මූලිකයෙක් විදිහට හොඳ ආදර්ශයක් වෙන්න
  • සභාව වෙනුවෙන් සේවේ කරන්න ඕනේ
  • උත්සාහය අත්හරින්න එපා
  • සහෝදරයෙනි, සහායක සේවකයෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘තෑගි විදිහට දුන්න පුරුෂයන්ව’ අගය කරන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 නොවැම්බර් 20-25 පි.

පාඩම් ලිපිය 47

ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

සහෝදරයෙනි, වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?

“කෙනෙක් වැඩිමහල්ලෙක් විදිහට වගකීම් දරන්න වෑයම් කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ එයා යහපත් සේවයක් කරන්න ආසාවෙන් ඉන්නවා කියන එකයි.”—1 තිමෝ. 3:1.

ලිපියේ අරමුණ

සහෝදරයෙක්ට වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන්න බයිබලේ කියලා තියෙන සුදුසුකම් ගැන මේ ලිපියෙන් කතා කරනවා.

1-2. වැඩිමහල්ලන් කරන්නේ මොන වගේ “යහපත් සේවයක්ද?”

ඔයා සහායක සේවකයෙක්ද? එහෙමනම් වැඩිමහල්ලෙක් වෙන්න ඕන කරන ගුණාංග හදාගන්න ඔයා මහන්සි වෙනවා ඇති. වැඩිමහල්ලෙක් වෙලා ඔයාගේ සහෝදරයන්ට තව වැඩියෙන් සේවේ කරන්න ඔයා කැමතිද?—1 තිමෝ. 3:1.

2 වැඩිමහල්ලන් සභාව වෙනුවෙන් කරන්නේ මොන වගේ සේවයක්ද? වැඩිමහල්ලෙක් දේශනා සේවේ උද්‍යෝගයෙන් හවුල් වෙලා හොඳ ආදර්ශයක් තියනවා. අනිත් අයට උගන්නන්න, එයාලව බලාගන්න මහන්සි වෙනවා. එයා කියන කරන දේවලින් අනිත් අයට යෙහෝවා ගැන තියෙන විශ්වාසේ ශක්තිමත් කරගන්නත් උදව් කරනවා. බයිබලේ වැඩිමහල්ලන්ව ‘තෑගි විදිහට දුන්න පුරුෂයන්’ කියලා හඳුන්වන එක පුදුමයක්ද!—එෆී. 4:8.

3. සහෝදරයෙක් වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන්න සුදුසුකම් ලබාගන්නේ කොහොමද? (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9)

3 වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන්න සුදුසුකම් ලබාගන්නේ කොහොමද? ඒක ජොබ් එකකට සුදුසුකම් ලබාගන්නවා වගේ දෙයක් නෙවෙයි. ජොබ් එකකට යන්න නම් ආයතනයෙන් බලන දක්ෂතා, හැකියාවන් තිබ්බොත් ඇති. හැබැයි වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන්න ඔයාට දේශනා කරන, උගන්නන හැකියාව විතරක් තිබ්බාට මදි. ඒකට ඔයා ගාව 1 තිමෝති 3:1-7 සහ තීතස් 1:5-9 තියෙන සුදුසුකමුත් තියෙන්න ඕනේ. (කියවන්න.) වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තුනක් ගැන මේ ලිපියේ කතා කරනවා. (1) ඔයාට සභාවේ වගේම සභාවෙන් පිටත් හොඳ නමක් තියෙන්න ඕනේ. (2) පවුල් මූලිකයෙක් විදිහට ඔයා හොඳ ආදර්ශයක් තියන්න ඕනේ. (3) සභාවේ අය වෙනුවෙන් සේවේ කරන්න ඔයා කැමැත්තෙන් ඉන්න ඕනේ.

හොඳ නමක් දිනාගන්න

4. වැඩිමහල්ලෙක් “යහපත් ජීවිතයක්” ගත කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

4 වැඩිමහල්ලෙක් වෙන්න නම් ඔයා “කාටවත් චෝදනා කරන්න බැරි වෙන විදිහේ යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕනේ.” ඒ කියන්නේ ඔයා හැසිරෙන විදිහ නිසා සභාවේ අයට ඔයා ගැන හොඳ හැඟීමක් තියෙන්න ඕනේ. ‘සභාවට අයිති නැති අය අතරෙත් ඔයාට හොඳ නමක් තියෙන්න ඕනේ.’ සත්‍යයේ නැති අය ඔයාගේ විශ්වාසයන් පහත් කරලා කතා කරයි. ඒත් ඔයා අවංක, හොඳ කෙනෙක් කියන දේ ගැන ප්‍රශ්න කරන්න එයාලට හේතු තියෙන්න බැහැ. (දානි. 6:4, 5) ඉතින් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘සභාවේ වගේම පිට අය අතරෙත් මට හොඳ නමක් තියෙනවාද?’

5. ‘යහපත් දේට ඔයා ඇලුම් කරනවා’ කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

5 ඔයා “යහපත් දේට ඇලුම් කරන” කෙනෙක් නම් ඔයා අනිත් අයගේ හොඳ පැති බලලා ඒවා අගය කරයි. අනිත් අය වෙනුවෙන් හොඳ දේවල් කරලා, එයාලා ඔයාගෙන් බලාපොරොත්තු වුණේ නැති දේවල් පවා කරලා ඔයා සතුටු වෙයි. (1 තෙස. 2:8) ඒ ගුණාංගය වැඩිමහල්ලන්ට තියෙන්නම ඕනෙ ඇයි? මොකද සභාවේ අයව බලාගන්න, ලැබෙන පැවරුම් කරන්න තමයි එයාලා වැඩි කාලයක් කැප කරන්නේ. (1 පේතෘ. 5:1-3) වැඩ කන්දක් තිබුණත් ඒ හැම වැඩක්ම අනිත් අය වෙනුවෙන් කරන සේවයක් නිසා ඒක එයාලට ලොකු සතුටක්.—ක්‍රියා 20:35.

6. “ආගන්තුක සත්කාරය” පෙන්නන්න පුළුවන් පැති මොනවාද? (හෙබ්‍රෙව් 13:2, 16; පින්තූරයත් බලන්න.)

6 කිට්ටු යාළුවන් වෙනුවෙන් විතරක් නෙවෙයි, හැමෝම වෙනුවෙන් හොඳ දේවල් කරද්දී ඔයා පෙන්නනවා ඔයා “ආගන්තුක සත්කාරයට කැමති” කෙනෙක් කියලා. (1 පේතෘ. 4:9) ඒ වගේ කෙනෙක්ව එක පොතක විස්තර කරන්නේ මෙහෙමයි. “එයා අඳුරන්නේ නැති අය වෙනුවෙන් එයාගේ හිතේ දොරයි, ගෙදර දොරයි ඕනම වෙලාවක ඇරලයි තියෙන්නේ.” ඉතින් මෙහෙම හිතන්න. ‘සභාවට එන ආගන්තුකයන්ව ආදරෙන් පිළිගන්න කෙනෙක් විදිහටද අනිත් අය මාව දකින්නේ?’ (හෙබ්‍රෙව් 13:2, 16 කියවන්න.) ආගන්තුක සත්කාරයට කැමති කෙනෙක් එයාට තියෙන දේ ආගන්තුකයන් එක්ක බෙදාගන්නවා. ඒ අයට යමක්කමක් නැති අය, මහන්සි වෙලා වැඩ කරන චාරිකා සේවකයන්, සභාවට දේශන දෙන්න එන අය ඇතුළත්.—උත්. 18:2-8; හිතෝ. 3:27; ලූක් 14:13, 14; ක්‍රියා 16:15; රෝම 12:13.

යුවළක් චාරිකා සේවකටයි, එයාගේ බිරිඳකටයි එයාලාගේ ගෙදර නවතින්න කාමරයක් දෙනවා.

යුවළක් චාරිකා සේවකටයි, එයාගේ නෝනාටයි ආගන්තුක සත්කාරය පෙන්නනවා (6 ඡේදය බලන්න)


7. ‘සල්ලිවලට කෑදර කෙනෙක් නෙවෙයි’ කියලා වැඩිමහල්ලෙක්ට පෙන්නන්න පුළුවන් කොහොමද?

7 ඔයා “සල්ලිවලට කෑදර කෙනෙක් වෙන්න බැහැ.” ඒකෙන් අදහස් කරන්නේ ඔයාගේ ජීවිතේ මුල් තැන ඔයා දීලා තියෙන්නේ සල්ලිවලටවත් සල්ලිවලින් ගන්න පුළුවන් දේවලටවත් නෙවෙයි කියලයි. ඔයා දුප්පත් වුණත් පෝසත් වුණත් ඔයාට ඕනෙ දේවරාජ්‍යයට මුල් තැන දෙන්නයි. (මතෙ. 6:33) ඔයාගේ කාලය, ශක්තිය, ඔයාට තියෙන දේවල් ඔයා පාවිච්චි කරන්නේ යෙහෝවා වෙනුවෙන්, ඔයාගේ පවුලේ අය වෙනුවෙන් සහ සභාවේ අය වෙනුවෙන්. (මතෙ. 6:24; 1 යොහ. 2:15-17) ඉතින් මෙහෙම හිතන්න. ‘සල්ලිවලට මං දීලා තියෙන්නේ මොන වගේ තැනක්ද? අත්‍යවශ්‍ය දේවලින් මං සෑහීමට පත් වෙනවාද? නැත්නම් මට ඕනෙ තව සල්ලි හම්බ කරන්නද? තව තව දේවල් ගන්නද?’—1 තිමෝ. 6:6, 17-19.

8. ‘හැම දේකදීම සීමාව දැනගෙන වැඩ කරන, තමන්ව පාලනය කරගන්න පුළුවන් කෙනෙක්’ කියද්දී අදහස් කරන්නේ මොකක්ද?

8 ඔයා ‘හැම දේකදීම සීමාව දැනගෙන වැඩ කරන, තමන්ව පාලනය කරගන්න කෙනෙක්’ වෙන්න ඕනේ. ඒ කියන්නේ කන බොන, අඳින පලඳින, විනෝදෙට කරන දේවල් වගේ ජීවිතේ හැම කාරණයකදීම ඔයා අන්තයට යන්නේ නැහැ. මේ ලෝකේ ඉදිරිපත් කරන කරන දේට ඔයා අහු වෙන්නෙත් නැහැ. (ලූක් 21:34; යාකො. 4:4) කේන්ති යන දෙයක් වුණත් ඔයා සන්සුන්ව ඉන්නවා. අනිත් අතට ඔයා “බේබද්දෙක් වෙන්නත් බැහැ.” ඔයා හොඳට බොන කෙනෙක් විදිහට අනිත් අය අතරේ ප්‍රසිද්ධ වෙන්නත් බැහැ. ඉතින් මෙහෙම හිතන්න. ‘මං සීමාව දැනගෙන වැඩ කරන, මාව පාලනේ කරගන්න පුළුවන් කෙනෙක් කියලා පේනවාද?’

9. ‘හොඳ සිහිකල්පනාවෙන්, පිළිවෙළකට වැඩ කරන’ කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

9 ඔයා “හොඳ සිහිකල්පනාවෙන් දේවල් කරන” කෙනෙක් නම් හැම කාරණයකදීම බයිබල් ප්‍රතිපත්ති අදාළ වෙන විදිහ ගැන හිතනවා. ඒ නිසා ඔයාට බයිබල් ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔයා ආවාට ගියාට තීරණ ගන්නේ නැහැ. හැම තොරතුරක් ගැනම හොඳට හොයලා තමයි ඔයා තීරණයක් ගන්නේ. (හිතෝ. 18:13) ඒ නිසා යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න ඔයාට පුළුවන්. අනිත් අතට ඔයා “පිළිවෙළකට වැඩ කරන” කෙනෙක් නම් ඔයා දේවල් හොඳට සැලසුම් කරලා, වෙලාවට වැඩ කරනවා. අනිත් අය ඔයාව දකින්නේ විශ්වාසවන්ත, මඟ පෙන්වීම්වලට කීකරු වෙන කෙනෙක් විදිහටයි. මේ උපමාතෘකාවේ කතා කරපු ගුණාංග වර්ධනය කරගද්දී අනිත් අය ඉස්සරහා හොඳ නමක් දිනාගන්න ඔයාට පුළුවන්. වැඩිමහල්ලෙක් වෙන්න ඕන කරන තව සුදුසුකමක් තමයි පවුල් මූලිකයෙක් විදිහට හොඳ ආදර්ශයක් තියන එක. ඒකට උදව් වෙන ගුණාංග ගැන දැන් බලමු.

පවුල් මූලිකයෙක් විදිහට හොඳ ආදර්ශයක් වෙන්න

10. “පවුලේ අය අතරේ පෙරමුණ අරන් එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන” කෙනෙක් වෙන්නේ කොහොමද?

10 ඔයා වැඩිමහල්ලෙක් වෙන්න ආසාවෙන් ඉන්න ස්වාමිපුරුෂයෙක් නම් ඔයාගේ පවුලේ අයත් ආදර්ශවත් අය වෙන්න ඕනේ. ඉතින් ඔයා “පවුලේ අය අතරේ පෙරමුණ අරන් එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන” කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා පවුලේ අයව ආදරෙන් බලාගන්න, එයාලා වෙනුවෙන් හොඳ තීරණ ගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒකට නමස්කාරේ දේවල්වලදී ඔයා පෙරමුණ ගන්න එකත් ඇතුළත්. ඇයි ඒක එච්චරට වැදගත්? මොකද පාවුල් කිව්වා “තමන්ගෙම පවුලේ අය අතරේ පෙරමුණ අරන් එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන්න කෙනෙක්ට බැරි නම් එයා කොහොමද දෙවියන්ගේ සභාවේ අයව රැකබලා ගන්නේ” කියලා.—1 තිමෝ. 3:5.

11-12. වැඩිමහල්ලෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න සහෝදරයෙක්ගේ පවුලේ අයගේ හැසිරීම ගැන බලන එක වැදගත් ඇයි? (පින්තූරයත් බලන්න.)

11 ඔයා තාත්තා කෙනෙක් නම් අවුරුදු 18ට අඩු ‘ඔයාගේ දරුවන් ඔයාට යටත් වෙලා වැඩ කරන, ගෞරවනීයව හැසිරෙන අය වෙන්න ඕනේ.’ ඔයා එයාලට දේවල් ආදරෙන් උගන්නලා එයාලව පුහුණු කරන්න ඕනේ. ඔයාත් ආස ඇති ඔයාගේ ළමයි දුවලා පැනලා සතුටින් ඉන්නවාට. හැබැයි කීකරු, අනිත් අයට ගරු කරන, හොඳට හැසිරෙන අය වෙන්න ඔයා එයාලව පුහුණු කරන්නත් ඕනේ. යෙහෝවා එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න, බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න, බව්තීස්මය දක්වා දියුණු වෙන්න එයාලට උදව් කරන එකත් ඔයාගේ වගකීමක්.

12 “දරුවන් සත්‍ය මාර්ගයේ යන, සෙල්ලක්කාර ජීවිත ගත කරන්නේ නැති, හිතුවක්කාර විදිහට වැඩ කරන්නේ නැති අය වෙන්න ඕනේ.” යෙහෝවාට නමස්කාර කරන දරුවෙක් බරපතළ වරදක් කළොත් ඒක තාත්තාට බලපාන්නේ කොහොමද? දරුවාට හොඳ පුහුණුවක්, හික්මවීම් දෙන එක තාත්තා අතපසු කරලා නම් ගොඩක් දුරට වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන්න එයා සුදුසුකම් ලබන්නේ නැහැ.—1996 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 21 පි. 6-7 ඡේ. බලන්න.

පින්තූරවල අදහස: 1. තාත්තා කෙනෙක් එයාගේ නෝනායි, පුංචි දරුවොයි එක්ක පවුලේ නමස්කාරය කරනවා. එයාලා jw.org වෙබ් එකේ “යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - දෙවිගේ ගෘහය පිරිසිදුව තියාගන්න” කියන වීඩියෝ එක බලනවා. 2. පස්සේ ඒ තාත්තායි, පුතාලා දෙන්නායි නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරනවා. තාත්තායි, තව පුතෙකුයි වැකියුම් කරද්දී අනිත් පුතා දූවිලි පිහදානවා.

යෙහෝවා වෙනුවෙනුයි, සභාව වෙනුවෙනුයි දේවල් කරන්න තාත්තා කෙනෙක් දරුවන්ව පුහුණු කරනවා (11 ඡේදය බලන්න)


සභාව වෙනුවෙන් සේවේ කරන්න ඕනේ

13. ඔයා ‘සාධාරණව වැඩ කරන,’ “තමන්ට ඕනෙ දේම කරගන්න හදන්නේ නැති” කෙනෙක් කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

13 හොඳ ගුණාංග තියෙන සහෝදරයන් සභාවට වටිනවා. ඔයා “සාධාරණව හිතලා වැඩ කරන කෙනෙක්” නම් ඔයා සාමය රැකගන්න උත්සාහ කරනවා. අනිත් අයට හොඳට ඇහුම්කන් දෙනවා. එයාලව තේරුම්ගන්නවා. උදාහරණෙකට හිතන්න, වැඩිමහල් රැස්වීමකදී වැඩිමහල්ලෝ හුඟදෙනෙක් එක තීරණයක් ගන්නවා. ඒත් ඔයාගේ තීරණේ වෙන එකක්. එයාලාගේ තීරණෙන් බයිබල් ප්‍රතිපත්තියක්, නීතියක් කැඩෙන්නේ නැත්නම් ඒකට එකඟ වෙන්න ඔයා කැමති වෙයිද? “තමන්ට ඕනෙ දේම කරගන්න හදන්නේ නැති” කෙනෙක් තේරුම්ගන්නවා අනිත් අයගේ අදහසුත් වටිනවා කියලා. (උත්. 13:8, 9; හිතෝ. 15:22) ඒ වගේම ඔයා “රණ්ඩු දබරවලට පැටලෙන කෙනෙක්වත්” “ඉක්මනින් කේන්ති ගන්න” කෙනෙක්වත් වෙන්න බැහැ. ඒ කියන්නේ ඔයා අනිත් අයට අගෞරවනීයව සලකන්නේවත් වාදවලට පැටලෙන්නේවත් නැහැ. ඒ වෙනුවට එයාලව තේරුම් අරන් එයාලට කරුණාවෙන් සලකනවා. “සාමකාමී” කෙනෙක් සාමය නැති වෙන වෙලාවලදීත් සාමය ඇති කරන්න මහන්සි වෙනවා. (යාකො. 3:17, 18) ඔයාගේ කාරුණික වදන්වලට පුළුවන් ඔයාගේ විශ්වාසයන්ට විරුද්ධ වෙන කෙනෙක්ගේ ගල් හිතක් වුණත් මොළොක් කරන්න.—විනි. 8:1-3; හිතෝ. 20:3; 25:15; මතෙ. 5:23, 24.

14. “ළඟදී දෙවියන්ට සේවය කරන්න පටන්ගත්ත කෙනෙක්” නෙවෙයි කියන එකෙන් සහ “දෙවියන්ට ළැදි” කෙනෙක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

14 වැඩිමහල්ලෙක් වෙන්න සුදුසුකම් ලබන සහෝදරයෙක් “ළඟදී දෙවියන්ට සේවය කරන්න පටන්ගත්ත කෙනෙක්” වෙන්න බැහැ. ඒ කියන්නේ එයා බව්තීස්ම වෙලා කාලාන්තරයක් ඉන්න ඕන කියන එක නෙවෙයි. හැබැයි කෙනෙක්ට අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙන්න යම් කාලයක් යනවා. ඔයා වැඩිමහල්ලෙක් වෙන්න කලින් යේසුස් වගේ නිහතමානීව අනිත් අයට සේවේ කරන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. යෙහෝවා තව පැවරුම් දෙන කල් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. (මතෙ. 20:23; ෆිලි. 2:5-8) ඔයා යෙහෝවාව අත්හරින්නේ නැතුව, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වෙලා, සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් පිළිගන්නවා නම් ඔයා “දෙවියන්ට ළැදි” කෙනෙක් කියලා ඔප්පු කරයි.—1 තිමෝ. 4:15.

15. වැඩිමහල්ලෙක් අනිවාර්යයෙන්ම හොඳ කථිකයෙක් වෙන්න ඕනෙද? පැහැදිලි කරන්න.

15 බයිබලේ කියනවා වැඩිමහල්ලෙක් “උගන්වන්න සුදුසුකම් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ” කියලා. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම දක්ෂ කථිකයෙක් වෙන්න ඕනෙද? නැහැ. හැම වැඩිමහල්ලෙක්ටම දක්ෂ විදිහට දේශන දෙන්න බැහැ. හැබැයි සේවේ යද්දී, අනිත් අයව දිරිගන්වද්දී බයිබලේ හොඳට පාවිච්චි කරලා අනිත් අයගේ හිත්වලට කතා කරන්න එයාලට පුළුවන් වෙන්න ඕනේ. (1 කොරි. 12:28, 29; එෆී. 4:11) ඉතින් වැඩිමහල්ලෙක් වෙන්න ඔයා දක්ෂ කථිකයෙක් වෙන්නම ඕනෙ නැතත් ඉගැන්වීමේ හැකියාව ඔයා දිගටම දියුණු කරගන්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ?

16. හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

16 ඔයා “උගන්නන විදිහෙන් විශ්වාසවන්ත පණිවිඩයට ඇලිලා ඉන්නවා කියලා පැහැදිලි වෙන්න ඕනේ.” හොඳ ගුරුවරයෙක් වෙන්න නම් ඔයා උගන්නද්දී, මඟ පෙන්වීම් දෙද්දී ඒක කරන්න ඕනෙ බයිබලේට එකඟව. ඒකට ඔයා බයිබලේ සහ අපේ ප්‍රකාශන හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. (හිතෝ. 15:28; 16:23) අධ්‍යයනය කරද්දී අපේ ප්‍රකාශනවල බයිබල් පද පැහැදිලි කරලා තියෙන විදි දිහා හොඳට බලන්න. ඔයා උගන්නද්දී අනිත් අයගේ හිත්වලට දැනෙන විදිහට උගන්නන්න උපරිම උත්සාහ කරන්න. ඔයාට තව දියුණු වෙන්න පුළුවන් පැති ගැන අද්දැකීම් තියෙන වැඩිමහල්ලන්ගෙන් අහන එකත් හොඳයි. (1 තිමෝ. 5:17) වැඩිමහල්ලන් අනිත් අයට “දිරිගැන්වීම් ලබා දෙන” අය වෙන්න ඕනේ. ඒත් අනිත් අයට උපදෙස් දෙන්නත්, එයාලව “නිවැරදි කරන්නත්” එයාලට සිද්ධ වෙනවා. ඒ මොන දේ කළත් එයාලා ඒවා කරන්න ඕන කාරුණිකව. ඒ විදිහට ආදරෙන් පෙලඹිලා, බයිබලේට එකඟව උගන්නනවා නම් ඔයාට පුළුවන් හොඳ ගුරුවරයෙක් වෙන්න. මොකද ඔයා ආදර්ශෙට ගන්නේ උතුම් ගුරුවරයා වන යේසුස්ව.—මතෙ. 11:28-30; 2 තිමෝ. 2:24.

පින්තූරවල අදහස: 1. සහායක සේවකයෙකුයි, වැඩිමහල්ලෙකුයි සහෝදරියක්ව බලන්න ගිහින්. සහායක සේවකයා ඒ සහෝදරිය එක්ක කතා කරනවා. එයාලාගේ බයිබල් දිග ඇරලා තියෙනවා. 2. සහායක සේවකයා කණ්ණාඩියක් ඉස්සරහා එයාගේ දේශනයකට සූදානම් වෙනවා.

සහායක සේවකයෙක් අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක්ගෙන් බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙන්නේ කොහොමද කියලා ඉගෙනගන්නවා. සභාවේ දෙන්න තියෙන දේශනයක් එයා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා පුරුදු වෙනවා (16 ඡේදය බලන්න)


උත්සාහය අත්හරින්න එපා

17. (අ) ඉලක්කේ අත්හරින්නේ නැතුව ඉන්න සහායක සේවකයන්ට උදව් වෙන්නේ මොනවාද? (ආ) සහෝදරයෙක්ගේ සුදුසුකම් බලද්දී වැඩිමහල්ලන් මතක තියාගන්න ඕන මොකක්ද? (“සුදුසුකම් බලද්දී සාධාරණ වෙන්න” කියන කොටුව බලන්න.)

17 මේ ලිපියේ කතා කරපු සුදුසුකම් දිහා බැලුවාට පස්සේ සහායක සේවකයෙක්ට හිතෙන්න පුළුවන් ‘මට නං කවදාවත් වැඩිමහල්ලෙක් වෙන්න බෑ’ කියලා. ඒත් ඔයා ගාව මේ හැම සුදුසුකමක්ම තිතටම තියෙයි කියලා යෙහෝවාවත්, ඔහුගේ සංවිධානයවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (1 පේතෘ. 2:21) මතක තියාගන්න ඒ සුදුසුකම් ලබාගන්න ඔයාට උදව් කරන්නේ දෙවියන්ගේ බලය කියලා. (ෆිලි. 2:13) ඔයාට හිතිලා තියෙනවාද ‘මෙන්න මේ පැත්තෙන් නම් මං තව ටිකක් දියුණු වෙන්න ඕනෙ’ කියලා? එහෙමනම් ඒ ගැන යෙහෝවාට යාච්ඤා කරන්න. ඒ ගුණාංගය ගැන තව අධ්‍යයනය කරන්න. ඒක හදාගන්න පුළුවන් විදි ගැන වැඩිමහල්ලෙක්ගෙන් අහන්න.

සුදුසුකම් බලද්දී සාධාරණ වෙන්න

කෙනෙක්ගේ සුදුසුකම් බලද්දී වැඩිමහල්ලන් සාධාරණ වෙන්න ඕනේ. එයාලා “ඕනෑවට වඩා ධර්මිෂ්ඨ වෙන්න” හොඳ නැහැ. (දේශ. 7:16; රෝම 12:3) වැඩිමහල්ලන් මතක තියාගන්න ඕන එයාලත් පරිපූර්ණ අය නෙවෙයි කියලා. එහෙමනම් වැඩිමහල්ලෙක් වෙන්න සුදුසුකම් තියෙනවාද කියලා බලන සහෝදරයාගෙනුත් එයාලට ඒක බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ සහෝදරයාගේ සුදුසුකම් සාධාරණ මට්ටමකින් තියෙනවාද කියලා තේරුම්ගන්න උදව් කරන්න කියලා එයාලා යෙහෝවාට යාච්ඤා කරලා ඉල්ලනවා. ඒක එයාලට උදව් වෙනවා එයාලා නිර්දේශ කරන සහෝදරයා යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන කෙනෙක්ද, එයා සභාවට ආශීර්වාදයක් වෙයිද කියලා ස්ථිර වෙන්න.

18. හැම සහායක සේවකයෙක්වම දිරිගන්වන්නේ මොකක් කරන්නද?

18 වැඩිමහල්ලන් ඇතුළුව හැම සහෝදරයෙක්ම මේ ලිපියේ කතා කරපු පැතිවලින් දියුණු වෙන්න ඕනේ. (ෆිලි. 3:16) ඔයා සහායක සේවකයෙක් නම් තව වැඩියෙන් සහෝදරයන්ට සේවේ කරන්න ඉලක්කයක් තියාගන්න. යෙහෝවාටයි, සභාවේ අයටයි මීට වඩා වැඩියෙන් සේවේ කරන්න පුළුවන් කෙනෙක් විදිහට ඔයාව අඹන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. (යෙසා. 64:8) වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන්න සුදුසුකම් ලබාගන්න ඔයා මහන්සි වෙද්දී ඒ මහන්සියට යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.

මේ බයිබල් පදවලින් අපි ඉගෙනගත්තේ මොනවාද?

  • 1 තිමෝති 3:1-7?

  • තීතස් 1:5-9?

  • හෙබ්‍රෙව් 13:2, 16?

ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න