ඔබ සැබෑ නිහතමානීකම පෙන්වන්නේ කෙසේද?
සැබෑ නිහතමානීකම දෙවි ඉදිරියේ ඉතා අනර්ඝයි. යාකොබ් මෙසේ ලිව්වා: “දෙවි උඩඟුවූවන්ට විරුද්ධ වන නමුත්, නිහතමානී අයට ලබන්න නොවටිනා තරම් වූ කරුණාව දෙන්නේය.” (යාකොබ් 4:6, NW) මෙහිදී යාකොබ් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ප්‍රකාශ කර ඇති අදහස් කීපයකටම යොමු දක්වමින් සිටියා විය හැකියි. ‘යෙහෝවා උසස් නමුත් [නිහතමානී, NW] අය සලකන්නේය. නමුත් උඩඟු අයව දුරදීම දන්නේය.’ “මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත් කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, . . . [යෙහෝවා] පමණක් උසස්කරනු ලබන්නේය.” ‘නින්දාකරන්නන්ට සැබවින්ම ඔහු නින්දා කරන්නේය, යටහතුන්ට නම් කරුණාව දෙන්නේය.’—ගීතාවලිය 138:6; යෙසායා 2:11; හිතෝපදේශ 3:34.
ප්‍රේරිත පේතෘස්ද නිහතමානී වීමට උනන්දු කළා. ඔහු මෙසේ ලිව්වා: ‘නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවි උඩඟු අයට විරුද්ධව සිට [නිහතමානී අයට ලබන්න නොවටිනා තරම් වූ කරුණාව, NW] දෙන්නේය.’—1 පේතෘස් 5:5.
නිහතමානීකම සම්බන්ධව යේසුගේ ආදර්ශය
නිහතමානී වීම යහපත් දෙයක් හැටියට සලකන්නේ කොහොමද? එසේත් නැතිනම් එයින් අත් වන ප්‍රයෝජන මොනවාද? කියා ඔබ අසන්ට ඉඩ තිබෙනවා. සැබෑ ක්‍රිස්තියානියෙක් වීමට වෙර දරන පුද්ගලයෙකුට තිබෙන පිළිතුර හරිම සරලයි. එනම් නිහතමානී වීමට නම් ක්‍රිස්තුස් මෙන් විය යුතුයි. දේවදූතයන්ටත් වඩා පහත් මනුෂ්‍යයෙක් බවට පත් වෙමින් ස්වර්ගික විෂයේ සිට පොළොවට පැමිණීමට වූ අද්විතීය පැවරුම පිළිගැනීම මගින් යේසු තම නිහතමානීකම පෙන්නුම් කළා. (හෙබ්‍රෙව් 2:7) ඔහු දෙවිගේ පුත්‍රයා වුණත්, ඔහුගේ ආගමික සතුරන් විසින් ඔහුට කළ නින්දාවන් ඔහු විඳදරාගත්තා. තම උපකාරය සඳහා දේවදූත මහත් සේනාවක් කැඳවීමට හැකියාව තිබුණත් ඔහු තම පරීක්ෂාවලදී ශාන්තභාවය පවත්වාගත්තා.—මතෙව් 26:53.
අවසානයේදී, යේසුව අපකීර්තියට පත් කරමින් වධ කණුවක එල්ලුවත් ඔහු තම පියාට ඇදහිලිවන්තව සිටියා. එමනිසයි පාවුල්ට ඔහු සම්බන්ධයෙන් මෙසේ ලියන්න හැකි වුණේ: ‘ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. ඔහු දෙවිගේ රූපාකාරය දැරුවත්, දෙවිට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතු වූ වස්තුවකැයි නොසිතා, එය ඉවත් කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණියේය. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, වධ කණුවේ මරණය දක්වා කීකරු වූයේය.’—පිලිප්පි 2:5-8.
ඉතින් සැබෑ නිහතමානීකම අප විදහාපෙන්වන්නේ කෙසේද? ජීවිතයේ ප්‍රායෝගික අවස්ථාවන්වලදී, අහංකාර ආකාරයකින් කටයුතු කරනවා වෙනුවට නිහතමානී ආකාරයකින් ප්‍රතිචාරය දක්වන්න අපට හැක්කේ කෙසේද?
නිහතමානී පුද්ගලයෙක් ප්‍රතිචාරය දක්වන අන්දම
රැකියා ස්ථානයේ හෝ ක්‍රිස්තියානි සේවය තුළදී නිහතමානීකම පෙන්වන ආකාරය සම්බන්ධයෙන් සලකා බලමු. කාර්යයක් සාර්ථකව කිරීම සඳහා අවේක්ෂකයන්, කළමනාකරුවන් සහ අධීක්ෂකවරුන් අවශ්‍ය විය හැකියි. තීරණ ගැනීම සඳහා යම් කෙනෙක් සිටිය යුතුයි. ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔබ මෙසේ තර්ක කරනවාද? “මට කරන්නේ මොකක්ද කියලා කියන්න එයාට තියෙන අයිතිය මොකක්ද? මම මෙහේ වැඩ කරන්නේ එයා එන්න අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉඳලා.” ඔව්, ඔබ අහංකාර නම් අධිකාරිත්වයක් යටතේ සිටින විට, ඔබට කේන්ති යනවා. අනිත් අතට, නිහතමානී පුද්ගලයෙක් ‘පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට අනිත් අය තමාට වඩා උතුම්ය කියා යටහත්කමින් සිතීමට’ වෙර දරනවා.—පිලිප්පි 2:3.
වයසින් බාල පුද්ගලයෙකුගෙන් හෝ ස්ත්‍රියකගෙන් යෝජනාවක් පැමිණෙන විට, ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔබ නිහතමානී නම්, අඩුම ගානේ ඔබ එය සලකලවත් බලයි. ඔබ අහංකාර නම්, ඔබට ඒ සම්බන්ධයෙන් කේන්ති යයි, එසේත් නැතිනම් ඔබ යෝජනාව විගස ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඔබේ විනාශයට හේතු වන ප්‍රශංසා සහ චාටු බස් ලබනවාට කැමතිද? එසේත් නැතිනම් ඔබේ වර්ධනය සඳහා වන ප්‍රයෝජනවත් උපදෙස්වලට කැමතිද?—හිතෝපදේශ 27:9; 29:5.
ඔබට අසීරු අවස්ථාවන්වලට සාර්ථකව මුහුණ දිය හැකිද? යෝබ් කළාක් මෙන්, අසීරු අවස්ථාවන්වලට මුහුණ දීමට සහ විඳදරාගැනීමට, නිහතමානීකම ඔබට උපකාර වෙනවා. ඔබ අහංකාර නම්, ඔබ කලකිරෙන තත්වයට පත් වන අතර, අසීරු අවස්ථාවලදී එමෙන්ම මදිපුංචිකමක් සිදු වූවායයි කියා සිතන විටදී, ඔබට කැරලිකාර හැඟීම් ඇති විය හැකියි.—යෝබ් 1:22; 2:10; 27:2-5.
නිහතමානීකම ප්‍රේමනීයයි, එමෙන්ම සමාව දෙනසුලුයි
සමහර අයට මෙසේ කීමේ අපහසුතාවක් තිබෙනවා: “මට සමාවෙන්න. මගේ අතින් වරදක් සිද්ධ වුණා. ඔයා හරි.” ඒ ඇයි? උඩඟුකම වැඩි නිසයි! නමුත් අවංකව සමාව ඉල්ලීම තුළින් විවාහ ආරවුලක් කොයිතරම් පහසුවෙන් නතර කළ හැකිද?
කෙනෙක් ඔබට වරදක් කරන විට, සමාව දීමට ඔබ සූදානම්ද? එසේ නැතිනම් ඔබේ උඩඟුකම නිසා සමහරවිට දවස් ගණන්, මාස ගණන් වරදක් කළායයි සිතන තැනැත්තා සමඟ කතා නොකරමින් අමනාපය තබාගන්නවාද? පළිගැනීමේ අරමුණින් බද්ධ වෛරයක් පවා දිගටම තබාගන්නවාද? සමහර අවස්ථාවන්වලදී බද්ධ වෛරයන් නිසා මිනිසුන්ව ඝාතනය කර තිබෙනවා. වෙනත් අවස්ථාවලදී චරිත ඝාතනයන් සිදු කිරීමට හේතු වී තිබෙනවා. ඊට වෙනස්ව නිහතමානී පුද්ගලයෙක් ප්‍රේමනීයයි එමෙන්ම සමාව දෙනසුලුයි. මන්දයත් ප්‍රේමය, වැරැද්ද දිගටම මතකයේ තබාගන්නේ නැහැ. ඉශ්‍රායෙලිතයන් තමන්ගේ උඩඟුකම අයින් කරගන්නවා නම්, යෙහෝවා ඔවුන්ට සමාව දීමට සූදානමින් සිටියා. යේසුගේ නිහතමානී අනුගාමිකයන් නැවත නැවතත් සමාව දීමට සූදානමින් සිටිනවා!—යෝවෙල් 2:12-14; මතෙව් 18:21, 22; 1 කොරින්ති 13:5.
නිහතමානී පුද්ගලයෙක් ‘වෙන කෙනෙකුට ගෞරවය කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගන්නවා.’ (රෝම 12:10, NW) නව අනුවාදයේ මෙසේ සඳහන් වෙනවා: “ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.” ඔබ අනිත් අයව ප්‍රශංසා කර ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් අගය කරනවාද? එසේ නැතිනම්, ඔවුන්ගේ හොඳ නාමයට මඩගහන්න ඔබ නිතරම ඔවුන්ගේ වරදක් සොයනවාද? ඇත්තෙන්ම අනිත් අයට අවංකව ප්‍රශංසා කිරීමට ඔබට හැකියාවක් තිබෙනවාද? මේ සම්බන්ධයෙන් ඔබට අපහසුතාවක් තිබෙනවා නම්, ඇතැම්විට හීනමානය සහ උඩඟුකම ඔබට තිබෙන ගැටලු වන්න පුළුවන්.
උඩඟු පුද්ගලයෙක් නොඉවසිලිවන්තයි. නමුත් නිහතමානී පුද්ගලයෙක් බොහෝ ඉවසිලිවන්තයි. ඔබ සම්බන්ධයෙන් තත්වය කුමක්ද? නුසුදුසු අන්දමින් සලකන බව හැඟෙන ඕනෑම විටක ඔබ ආවේගාත්මකව ක්‍රියා කරනවාද? එලෙස ප්‍රතිචාරය දැක්වීමක් බොහෝ ඉවසිලිවන්ත වීමට පටහැනියි. ඔබ නිහතමානී නම් ඔබ ගැන ඕනෑවට වඩා ඉහළින් සිතන්න යන්නේ නැහැ. යේසුගේ ගෝලයන් තමන් ගැන ඕනෑවට වඩා ඉහළින් සිතන්න ගිය විට සිදු වූ දේ මතක තබාගන්න. වඩා උතුම්ව සිටින්න යන්නේ කවුදැයි යන්න පිළිබඳව ඔවුන් සැර විවාදයකට පැටලුණා. ඔවුන් සියල්ලන්ම “නිෂ්ප්රයෝජන දාසයෝ” බව ඔවුන්ට අමතක වුණා!—ලූක් 17:10; 22:24; මාර්ක් 10:35-37, 41.
ප්‍රංශ ලේඛක වෝල්තෙයාර් නිහතමානීකම විස්තර කළේ “පුද්ගලයෙකුට තිබෙන විනීතභාවය, . . . උඩඟුකමට තිබෙන විෂනාශකය” ලෙසයි. ඔව්, උඩඟුකම කියන්නේ මනසින් යටහත් පහත්කමයි. නිහතමානී පුද්ගලයෙක් විනීත ස්වභාවයක් විදහාපෙන්වන අතර ඔහු උඩඟු වන්නේ නැහැ. ඔහු ඉතා ගෞරවය දක්වනසුලු වන අතර ආචාරශීලීයි.
එහෙම නම් නිහතමානී වීමට වෙර දැරිය යුත්තේ ඇයි? මන්දයත් නිහතමානීකමට දෙවිගේ අනුමැතිය තිබෙන අතර, අපට දිව්‍ය මඟ පෙන්වීම අත් කරගන්න එය උපකාර කරන නිසයි. යෙහෝවා දානියෙල්ව “බොහෝ ප්රේමලද්දෙක්” ලෙස සලකා ඔහු වෙතට දර්ශනයක් සමඟින් දේවදූතයෙක් එවූ එක් හේතුවක් වූයේ ප්‍රොපේතවරයාගේ නිහතමානීකමයි! (දානියෙල් 9:23; 10:11, 19) නිහතමානීකම නිසා බොහෝ ආශීර්වාද අත් වෙනවා. ඔබට ආදරය කරන සැබෑ මිතුරන්ව එය අත් කර දෙනවා. ඊට වඩා වැදගත් දේ නම්, එය යෙහෝවාගේ ආශීර්වාද ගෙන ඒමයි. “නිහතමානීකමේ සහ යෙහෝවා කෙරෙහි භයවීමේ විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.”—හිතෝපදේශ 22:4, NW.
[7වන පිටුවේ පින්තූරය]
සමාව ඉල්ලීමේ නිහතමානී වචනයකින් ජීවිතය වඩා පහසු කළ හැකියි