සුළු මාපිය පවුල්වලටම ආවේණික වූ ගැටලු
ප්‍රීතිමත් සුළු මාපිය පවුලක් සැබෑවක් විය හැකියි. කෙසේද?
සුළු මාපිය පවුල් ලෝකයේ සුලභව දක්නට ලැබෙන දසුනක් බවට පත්ව ඇත. එහෙත් සුළු මාපිය පවුල්වලට ඊටම ආවේණික වූ ගැටලු තිබේ. දරුවන් ඇති දැඩි කිරීම ඒ අතුරින් අසීරුතම අභියෝගය බවට කිසිම සැකයක් නැහැ. කොහොම වුණත්, මතු දැක්වෙන ලිපි දෙක පෙන්නුම් කිරීමට යන පරිදි, සුළු මාපිය පවුලකින් යුත් වාතාවරණයක දරුවන් ඇති දැඩි කිරීම කළ හැකි දෙයකි.
පොදුවේ ගත් කල, සුළු පියවරුන්ට හා මව්වරුන්ට ලැබී ඇති නම එතරම් හොඳ එකක් නෙවෙයි. කුඩා කාලයේදී අපගෙන් බොහෝදෙනෙක්, තම කුරිරු සුළු මවගෙන් බොහෝ දුක් අත් විඳි සින්ඩරෙල්ලාගේ සුරංගනා කතාව අසා තිබේ. යුරෝපයේ සිටින දරුවන්ද හිම කුමාරි හා කුරුමිට්ටන් සත්දෙනාගේ කතාව අසා ඇත. අන්තිමට ඔප්පු වෙන්නේ හිම කුමාරිගේ සුළු මව දුෂ්ට මායාකාරියක් බවයි.
එවන් සුරංගනා කතාවලින් සුළු මාපිය පවුල් පිළිබඳ නිසි දෘෂ්ටියක් ලබා දෙයිද? සෑම සුළු දෙමාපියෙක්ම ඒ කියන තරම්ම නපුරුද? නැහැ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට උවමනා වන්නේ විවාහයෙන් උරුම වන දරුවන්ට යහපතක් සිදු වෙනවා දැකීම පමණයි. එනමුත්, සුළු මාපිය පවුල් ජීවිතවලට සහජයෙන්ම උරුම වන දුෂ්කර ගැටලුවලට ඔවුන්ට මුහුණ දීමට සිදු වෙයි.
දරුවන් ඇති දැඩි කිරීමේ ගැටලු
පළමු විවාහය බිඳවැටීමේදී, බොහෝදුරට එයට හේතුව වන්නේ කලත්‍රයන්ගේ නොමේරූකමයි. දෙවන විවාහයකදී, දරුවන් සමඟ කටයුතු කිරීම එම සබඳතාවට පීඩන එල්ල කළ හැකියි. සමහර වාර්තා පෙන්නුම් කරන්නේ, එකට මිශ්‍ර වූ පවුල් 10කින් 4ක්ම පළමු අවුරුදු 5 ඇතුළතදී දික්කසාදයෙන් අවසන් වන බවයි.
සුළු දෙමාපියෙකු ජීවිතයට ඇතුල් වීමේදී පුබුදුවාලිය හැකි චිත්තවේගීය කාංසාව, ලැදියාව සම්බන්ධයෙන් පැනනඟින ගැටීම් හා ඊර්ෂ්‍යාවේ හා කෝපයේ හැඟීම් ගැන අලුතින් විවාහ වූ අය නොදැන සිටින්න පුළුවන්. ස්වාභාවික දෙමාපියා තමන්ට වඩා සුළු දෙමාපියාට වැඩි ලෙන්ගතුකමක් පෙන්වනවාය කියා සුළු දරුවන්ට හැඟී යා හැකියි. තවදුරටත්, කලත්‍රයෙකු විසින් අත්හළ ස්වාභාවික දෙමාපියෙකුට, දරුවා තවමත් තමාගේ මුල් කලත්‍රයාට එතරම් කිට්ටු මන්දැයි නොතේරෙන්න පුළුවන්. තම ස්වාභාවික පියා සමඟ ඇති හොඳ සබඳතාව එක් දරුවෙක් විසින් මෙසේ පැහැදිලි කළා: “අම්මේ මම දන්නවා තාත්ති අම්මිට හොඳට සැලකුවේ නැහැයි කියල, හැබැයි තාත්තා මට නං හොඳට සලකනවානෙ!” එවන් ප්‍රකාශයක් කොතරම් අවංක වුණත්, දරුවාගේ පියා කෙරෙහි මව තුළ දැඩි කේන්තියක් ඇති විය හැකියි.
එක් සුළු පියෙක් මෙසේ පිළිගත්තා: “මගේ සුළු දරුවන්ව ඇති දැඩි කිරීමේදී පැනනඟින හැම ගැටලුවකටම සාර්ථකව මුහුණ දෙන්න මම සූදානම් වෙලා හිටියේ නැහැ. මම තත්වය දිහා බැලුවේ මෙන්න මෙහෙමයි. මම ඒගොල්ලන්ගේ අම්මව බැන්දා, ඉතින් දැන් මම ඒගොල්ලන්ගේ තාත්තා. කතාව එච්චරයි! දරුවන්ට ඒගොල්ලන්ගේ නියම තාත්තට තිබුණු බැඳීම මට තේරුණේ නැහැ. ඉතින් මගේ අතින් වැරදි ගොඩක් සිද්ධ වුණා.”
හික්මවීම සම්බන්ධ කාරණය ගත් කල, පීඩනයක් විශේෂයෙන්ම ඇති විය හැකියි. දරුවන්ට ප්‍රේමනීය හික්මවීමක් අවශ්‍ය වුණත්, ස්වාභාවික දෙමාපියෙකු විසින් එය කළත් ඔවුන් එයට විරුද්ධව කැරලි ගසයි. එසේ නම්, එය සුළු දෙමාපියෙකුගෙන් ලැබෙන විට එය පිළිගැනීම තවත් කොතරම් අමාරුද! පොදු වශයෙන් ගත් කල, එවන් හික්මවීමක් ලැබෙන විට, සුළු දරුවෙක් මෙසේ කිව හැකියි: “ඔයා මගේ තාත්තා නෙවෙයි!” හොඳ චේතනා ඇති සුළු දෙමාපියෙකුට එවන් වචන කොතරම් වේදනාවක් ඇති කළ හැකිද!
මිශ්‍ර පවුලක සිටින දරුවන්ව සාර්ථකව ඇති දැඩි කළ හැකිද? සාර්ථක සුළු මාපිය පවුලක් ගොඩනැඟීමේදී සුළු දෙමාපියන්ට ඒකාන්ත කාර්යයක නියැලිය හැකිද? සෑම පාර්ශ්වයක්ම දෙවිගේ ආනුභාව ලත් වචනය වන බයිබලයෙහි ඇති උපදෙස් පිළිපදී නම්, ප්‍රශ්න දෙකටම පිළිතුර වනු ඇත්තේ එසේය යන්නයි.
[3වන පිටුවේ පින්තූරය]
“ඔයා මගේ තාත්තා නෙවෙයි!”