සුළු මාපිය පවුල්වලට සාර්ථක විය හැකියි
සුළු පවුල්වලට සාර්ථක විය හැකිද? අදාළ පාර්ශ්ව මතු අදහස මතකයේ තබාගන්නවා නම්, එසේ විය හැකියි. එනම්, “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” යන්නයි. (2 තිමෝති 3:16) සියලුමදෙනා බයිබල් ප්‍රමිති අදාළ කරගන්නා විට, නොඅනුමානවම සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකියි.
මූලික ගුණාංගය
මිනිස් සබඳතා පාලනය කිරීමට බයිබලය ඇත්තෙන්ම පිහිටුවා ඇත්තේ නීති කිහිපයක් පමණි. ඊට වඩා එය උනන්දු කරන්නේ අපට නැණවත් අයුරින් කටයුතු කිරීමට මඟ පෙන්වන හොඳ ගුණාංග හා ආකල්ප වර්ධනය කිරීමටයි. එවන් හොඳ ආකල්ප හා ගුණාංග ප්‍රීතිමත් පවුල් ජීවිතයක පදනමයි.
මෙවන් දෙයක් කීමට අවශ්‍ය නැති වුණත්, පවුලක් සාර්ථක වීම සඳහා අවශ්‍ය මූලිකම ගුණාංගය වන්නේ, ප්‍රේමයයි. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “ප්‍රේමය වංචා රහිත වේවා. . . . සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න.” (රෝම 12:9, 10) බොහෝ අවස්ථාවලදී, “ප්‍රේමය” යන වචනය අනිසි ලෙස යොදාගැනෙන නමුත්, මෙහි පාවුල් යොමු දැක්වූ ගුණාංගය අද්විතීය එකකි. එය දිව්‍ය ප්‍රේමය වන අතර, එය “කිසිකලක පහවන්නේ නැත.” (1 කොරින්ති 13:8) බයිබලය එය පරාර්ථකාමී එකක් හැටියට මෙන්ම සේවය පිරිනැමීමට සූදානම් ගුණාංගයක් හැටියටද විස්තර කොට ඇත. එය වෙනත් අයගේ යහපත තකා ක්‍රියාශීලීව වැඩ කරයි. එය ඉවසීම පෙන්වන අතර, කරුණාවන්තද වෙයි; ප්‍රේමය කිසිදාක ඊර්ෂ්‍යා වෙන්නේ හෝ උදම් අනන්නේ හෝ පුරසාරම් දොඩන්නේ හෝ නැහැ. එය කවදාවත් තම වාසියට කටයුතු නොකරයි. අන්‍යයන්ගේ වැරදි අමතක කිරීමට, විශ්වාස කිරීමට, බලාපොරොත්තුවෙන් සිටීමට හා තමන් හමුවට එන ඕනෑම දෙයක් දරාගැනීමට එය සැමවිටම සූදානම්.—1 කොරින්ති 13:4-7.
වෙනස්කම් සමථයකට පත් කර, වෙනස් පසුබිම් හා පෞද්ගලිකත්වයන්ගෙන් යුත් මිනිසුන් එක්සත්කමින් එකට බැඳ තබාගන්න සැබෑ ප්‍රේමයට පුළුවන්. එමෙන්ම දික්කසාදයකින් හෝ ස්වාභාවික දෙමාපියෙකුගේ වියෝවෙන් ඇති විය හැකි විනාශකාරි ප්‍රතිඵල හොඳ අතට හැරවීමට එයට හැකියි. එක් සුළු පියෙක් තමාට බලපෑම් කළ සැබෑ ගැටලු මෙසේ විස්තර කරයි: “මම හුඟක් වෙලාවට හිතුවේ මගේ හැඟීම් ගැන. ඉතින් මම මගේ සුළු දරුවන්ගෙත් භාර්යාවගෙත් හැඟීම් සැලකිල්ලට ගත්තේ නැහැ. මට සිද්ධ වුණා වැඩියෙන් සංවේදී වෙන එක නවත්වගන්න. හැබැයි ඊටත් වඩා මට සිද්ධ වුණා නිහතමානිකම ඉගෙනගන්න.” අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ප්‍රේමය ඔහුට උපකාර වුණා.
ස්වාභාවික දෙමාපියා
දරුවා ළඟ දැන් නැති තම ස්වාභාවික දෙමාපියා සමඟ ඇති සබඳතාව සමඟ කටයුතු කිරීමේදී ප්‍රේමයට උපකාර කළ හැකියි. සුළු පියෙක් මෙසේ අදහස් දක්වයි: “මට උවමනා වුණේ මගේ සුළු දරුවන් මට විතරක් ප්‍රේම කරනවා දකින්නයි. ඒගොල්ලන්ගේ තාත්තව බලන්න යන අවස්ථාවලදී, එයාව විවේචනය කරන්න මං තුළ පුදුම පෙලඹීමක් ඇති වුණා. ඒගොල්ලන් තාත්තා එක්ක හොඳට කාලේ ගත කරපු දවසට මට මහ කාලකණ්ණි හැඟීමක් ඇති වුණා. තාත්තව බලන්න ගිහිල්ලා ළමයි දුකෙන් ආවොත්, මට සන්තෝෂයක් දැනුණා. ඇත්තෙන්ම මං බයෙන් හිටියේ මට ඒගොල්ලන්ව නැති වෙයි කියල. මගේ සුළු දරුවන්ගේ ජීවිතවලට ස්වාභාවික පියෙක්ගේ තියෙන බලපෑමේ වැදගත්කම පිළිගන්න තමයි මට ගොඩක්ම අමාරු වුණේ.”
“ක්ෂණික” ප්‍රේමයක් බලාපොරොත්තු වෙන එක යථාර්ථවාදී නැති දෙයක් කියා තේරුම්ගැනීමට මෙම සුළු පියාට උපකාර කළේ අව්‍යාජ ප්‍රේමයයි. දරුවන් ඔහුව එකවිටම පිළිනොගත් විට ඔහුව ප්‍රතික්ෂේප කළා කියා හැඟිය යුතුව තිබුණේ නැහැ. දරුවාගේ පැත්තෙන් බලන කල, ඔහුට සම්පූර්ණයෙන්ම ස්වාභාවික පියාගේ තැන ගත නොහැකි බව ඔහුට වැටහී ගියා. දරුවන් තම පියාව මුල සිට දැන සිටි අතර, සුළු පියා අලුතින් පැමිණි කෙනෙක්; තවද ඔහුට දරුවන්ගේ ආදරය දිනාගැනීම සඳහා වැඩ කිරීමට සිදු වෙනවා. පර්යේෂක එලිසබත් අයින්ස්ටයින් මෙසේ පවසද්දී, එය බොහෝදෙනෙකුගේ අද්දැකීම මැනවින් විස්තර කරනවා: “ස්වාභාවික දෙමාපියාගේ තැන කිසිවෙකුට කවමදාකවත්, ඔව් කවමදාකවත් ගත නොහැකියි. මැරුණු දෙමාපියෙක්ට හෝ දරුවන්ව අතහැර ගිය දෙමාපියෙක්ට පවා දරුවන්ගේ ජීවිතවල වැදගත් තැනක් හිමි වෙනවා.”
හික්මවීම—සංවේදී විෂයක්
සුළු දරුවන් ඇතුළුව යෞවනයන්ට ප්‍රේමනීය හික්මවීම අවශ්‍ය බව බයිබලය අඟවයි. (හිතෝපදේශ 8:33) ප්‍රවීණයන් බොහෝදෙනෙක් බයිබලය මේ සම්බන්ධයෙන් පවසන දෙය සමඟ දැන් එකඟ වීමට පටන්ගෙන ඇත. මහාචාර්යවරියක් වන සිරීස් ආල්වීස් දි ආරාවුජු මෙසේ ප්‍රකාශ කළා: “අපි කවුරුත් ස්වභාවයෙන්ම සීමා පැනවීම්වලට කැමති නැහැ, හැබැයි ඒවා අවශ්‍යයි. ‘එපා’ ‘බැහැ’ කියන වචන ආරක්ෂිත ඒවායි.”
කොහොම වුණත්, එකට මිශ්‍ර පවුලක හික්මවීම පිළිබඳව ඇති මතයන් බරපතළ ගැටුම්වලට මඟ පෑදිය හැකියි. සුළු දරුවන් යම් දුරකට, දැන් නොසිටින වැඩිහිටියෙකු අතින් හැඩ ගැසී ඇත. එහෙයින් සුළු දෙමාපියෙකුට නුරුස්සන පුරුදු හෝ චාරිත්‍ර ඔවුන්ට තිබිය හැකියි. තවද ඇතැම් කරුණු ගැන සුළු දෙමාපියාට තදින් හැඟෙන්නේ මන්දැයි ඔවුන්ට නොවැටහෙන්න පුළුවන්. එම තත්වය සමඟ සාර්ථකව කටයුතු කරන්නේ කොහොමද? “ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න” කියා පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කරයි. (1 තිමෝති 6:11) සුළු දෙමාපියන් හා දරුවන් යන දෙපාර්ශ්වයටම එකිනෙකාව තේරුම්ගැනීමට ඉගෙනීමේදී ක්‍රිස්තියානි ප්‍රේමය උපකාරවත් වෙයි. සුළු දෙමාපියා නොඉවසිලිවන්ත නම්, ‘කෝපය, උදහස හා අපහාස’ මගින් දැනට භුක්ති විඳින ඕනෑම සබඳතාවක් විනාශ වී යා හැකියි.—එපීස 4:31.
මෙවැන්නකදී උපකාරවත් වන දෙය සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් ප්‍රොපේත මීකා සපයනු ලැබුවා. ඔහු මෙසේ පැවසුවා: “ධර්මිෂ්ඨකම් කිරීමත් [යුක්තිසහගතව ක්‍රියා කිරීමත්, NW] කරුණාවට ප්‍රේමවීමත් නුඹේ [දෙවි] වෙත යටහත්ලෙස හැසිරීමත් මිස [යෙහෝවා] නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” (මීකා 6:8) හික්මවීම දීමේදී යුක්තිය අතිවැදගත් වන දෙයක්. නමුත් කරුණාව ගැන කුමක් කිව හැකිද? සභාවේ නමස්කාර කටයුතු සඳහා තම සුළු දරුවන්ව ඉරිදා උදෑසන ඇහැරවීම අමාරු බව එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් පවසයි. ඔවුන්ට බැණ වදිනවා වෙනුවට ඔහු කරුණාව පෙන්වූවා. ඔහු උදෑසනින්ම නැඟිට උදේ ආහාරය පිළියෙළ කර, උණු බීමක් සාදා, ඒවා ඔවුන්ට රැගෙන ගියා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, නැඟිටීමට වූ ඔහුගේ පෙරැත්ත කිරීම්වලට කීකරු වීමට ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූවා.
මහාචාර්යවරියක් වන ආනා ලුවීසා වියේරා ඩි මාටොස් මතු දැක්වෙන උනන්දුව දනවන අදහස ඉදිරිපත් කළා: “වැදගත් වන්නේ පවුල කෙබඳු එකක්ද යන්න නොව නමුත් සබඳතාවේ ගුණයයි. මගේ අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙන්නේ, හැසිරීමේ ගැටලු තිබෙන යෞවනයන් බොහෝවිට, නිසි දෙමාපිය අධීක්ෂණයකින් තොර අය බවයි. ඔවුන්ට නීතිවල හා අදහස් හුවමාරුවේ ඌනතාවක් තිබෙනවා.” ඇය මෙසේද පැවසුවා: “දරුවන් හැදීමේදී එපා බැහැ කියා කීමේ අවශ්‍යතාව කාවැද්දීම ඉතා වැදගත්.” මෙයට අමතරව, වෛද්‍ය එමලි හා ජෝන් විෂර් මෙසේ ප්‍රකාශ කළා: “සාමාන්‍යයෙන් හික්මවීම සාර්ථක වන්නේ, හික්මවීම දෙන තැනැත්තා ප්‍රතික්‍රියා කරන ආකාරය හා ඒ තැනැත්තා සමඟ ඇති සබඳතාව ගැන හික්මවීම ලබන තැනැත්තා සැලකිලිමත් වනවා නම් පමණයි.”
මෙම අදහස් ගැන කතා කිරීමේදී පැනනඟින ප්රශ්නය වන්නේ සුළු මාපිය පවුලක හික්මවීම දිය යුත්තේ කවුද යන්නයි. එපා බැහැ කියා කිව යුත්තේ කවුද? දේවල් කතා කරගැනීමෙන් පසුව, මුලදී ප්‍රධාන හික්මවන්නා විය යුත්තේ ස්වාභාවික දෙමාපියා බව සමහරක් දෙමාපියන් තීරණය කර තිබෙනවා; තවද එසේ කරන්නේ දරුවන් සමඟ කිට්ටු සබඳතාවක් ගොඩනැඟීමට සුළු දෙමාපියාට කාලය දීම සඳහායි. සුළු දෙමාපියා විසින් හික්මවීමට පෙර ඔහුගේ හෝ ඇයගේ ප්‍රේමය ගැන ස්ථිර වීමට දරුවන්ට ඉඩ දෙන්න.
සුළු මාපියා පියෙක් නම් කුමක් කිව හැකිද? පියා පවුලේ හිස බව බයිබලය පවසන්නේ නැද්ද? ඔව්. (එපීස 5:22, 23; 6:1, 2) කොහොම වුණත්, විශේෂයෙන්ම දඬුවම් දීමක් ඇතුළත් නම්, හික්මවීමේ කාර්යය තම භාර්යාවට පවරන්න සුළු පියා කැමති වන්න ඉඩ ඇත. ‘[අලුත්] පියාගේ බස් ඇසීමට’ හැකිවීම සඳහා හොඳ අත්තිවාරමක් දමන අතරතුරේදී, ‘මවගේ ගුරුකමට සවන් දීමට’ ඔහු දරුවන්ට ඉඩ දිය හැකියි. (හිතෝපදේශ 1:8; 6:20; 31:1) සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ, අන්තිමේදී, මෙය මූලිකත්වයේ ප්‍රතිපත්තියට විරුද්ධව නොයන බවයි. මීට අමතරව, එක් සුළු පියෙක් මෙසේ පැවසුවා: “හික්මවීම කියන්නේ උපදෙස් දීම, නිවැරදි කිරීම වගේම තරවටු කිරීම කියන එක මගේ මතකයට ආවා. මේක යුක්තිසහගත ප්‍රේමනීය වගේම දයානුකම්පිත ආකාරයකට දීලා, දෙමාපිය ආදර්ශයෙන් පෙන්නුම් කරද්දී සාමාන්‍යයෙන් හරි යනවා.”
දෙමාපියන් අදහස් හුවමාරු කරගැනීම අවශ්‍යයි
හිතෝපදේශ 15:22 මෙසේ කියයි: “මන්ත්‍රණය [විශ්වාස කටයුතු කතාබහ, NW] නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය.” සුළු මාපිය පවුලක, දෙමාපියන් අතර සිදු වන සන්සුන් හා ඍජුව කරන විශ්වාස කටයුතු කතාබහ ඇත්තෙන්ම වැදගත්. ඔ එස්තාදො සාඋ පාවුලු යන පුවත්පතේ පත්රකලාවේදියක් මෙසේ නිරීක්ෂණය කළා: “දරුවන් බොහෝවිට දෙමාපියන් පනවන සීමා, පරීක්ෂණයට ලක් කරයි.” මෙවැන්නක් සුළු මාපිය පවුල්වල වැඩියෙන් සත්‍යයක් විය හැකියි. එහෙයින්, තමන් එකමුතුව සිටිනවා කියා දරුවන්ට පෙන්වීම සඳහා විවිධ කාරණා සම්බන්ධයෙන් දෙමාපියන් එකඟතාවකට පැමිණිය යුතුයි. නමුත්, සුළු දෙමාපියා අයුක්තිසහගත අන්දමකින් කටයුතු කරනවාය කියා ස්වාභාවික දෙමාපියාට හැඟෙයි නම් කුමක් කිව හැකිද? එවිට, දෙදෙනා කාරණය පෞද්ගලික වශයෙන් සමථයකට ගෙන ආ යුතුයි; එසේ කළ යුත්තේ දරුවන් ඉදිරියෙහි නෙවෙයි.
නැවත විවාහ වූ එක් මවක් මෙසේ පවසයි: “දරුවන්ව සුළු පියෙක් හික්මවනවා කියන්නේ අම්මා කෙනෙක්ට දරාගන්න අමාරුම දෙයක්. එයා ඉක්මන් වුණා වැඩියි එහෙම නැත්තං ඇත්තෙන්ම අසාධාරණයි කියල හැඟෙද්දී ඒක දරාගන්න තවත් අමාරුයි. ඒක හිතට කොහෙත්ම වාවන්නේ නැහැ. ඉතින් එතකොට හිතෙන්නේ දරුවන්ව ආරක්ෂා කරගන්නයි. ඒ වගේ වෙලාවකට තමන්ගේ මහත්තයට වුණත් යටත් වෙලා එයාට සහයෝගය දෙන එක හරිම අමාරුයි.
“එක් අවස්ථාවකදී මගේ පුතාල දෙන්නට මෙන්න මේ වගේ සිද්ධියක් වුණා. එතකොට වැඩිමලාට 14යි, අනිත් එක්කෙනාට 12යි. ඒගොල්ලො ඒගොල්ලන්ගේ සුළු පියාගෙන් මොකක්ද දෙයක් කරන්න අවසර ඉල්ලුවා. එයා එක පයින්ම බැහැයි කියල, ඒගොල්ලන්ට ඒක ඒතරම්ම වැදගත් වුණේ ඇයි කියලවත් කියන්න අවස්ථාවක් දෙන්නේ නැතුව කාමරෙන් යන්න ගියා. ළමයින්ගේ ඇස්වල කඳුළු පිරිලා, අඬන්න ඔන්න මෙන්න. මට කර කියාගන්න දෙයක් තිබුණේ නැහැ. ලොකු පුතා මං දිහා බලල මෙහෙම කිව්වා: ‘අම්මේ, එයා අපිට කරපු දේ දැක්කද?’ මම එතකොට මෙහෙම කිව්වා: ‘ඔව් මම දැක්කනං තමයි පුතේ. හැබැයි එයානෙ ගෙදර මූලිකයා, ඉතින් අපිට බයිබලය කියන්නේ මූලිකත්වයට ගෞරව කරන්න කියලනෙ.’ මොනා වුණත් ඒ ළමයි දෙන්නා හරිම හොඳ දෙන්නෙක්, ඉතින් මං කියපු දේට ඒගොල්ලෝ එකඟ වුණා. ඊට පස්සේ ඒගොල්ලන් ටිකක් නිවුණා. ඒ හැන්දෑවෙම, මම මගේ මහත්තයට දේවල් තේරුම් කරල දුන්න. එතකොට එයාට වැටහුණා එයා ටිකක් සැර වුණා වැඩියි කියල. එයා කෙළින්ම ළමයි ගාවට ගිහිල්ල, ඒගොල්ලන්ගෙන් සමාව ඉල්ලුවා.
“ඒ සිද්ධියෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. තීරණ ගන්න ඉස්සෙල්ලා ඇහුම්කන් දෙන එකේ තියෙන වැදගත්කම මගේ මහත්තයා ඉගෙනගත්තා. සමහරවිට, දරාගන්න ටිකක් අමාරු වෙලාවලදී වුණත්, මූලිකත්වයට ගෞරවය කරන්න මම ඉගෙනගත්තා. ළමයි ඉගෙනගත්තා යටත්ව සිටීමේ වැදගත්කම. (කොලොස්සි 3:18, 19) ඒ වගේම මගේ මහත්තයා හෘදයෙන්ම සමාව ඉල්ලපු එකෙන් අපි හැමෝටම හොඳ පාඩමක් ඉගැන්නුවා; ඒ තමයි නිහතමානි වීමේ වැදගත්කම. (හිතෝපදේශ 29:23) අද පුතාල දෙන්නම ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ.”
වැරදි හැමෝම අතින් සිදු වෙනවා. හිත රිදෙන දේවල් දරුවන් කියන්න කරන්න ඉඩ තිබෙනවා. ඒ මොහොතේදී ඇති වන පීඩනය අසාධාරණ අන්දමින් ක්‍රියා කිරීමට දෙමාපියන්ට මඟ පාදන්න පුළුවන්. කොහොම වුණත්, “මගේ අතින් වැරදීමක් වුණේ, මට සමාවෙන්න” කියන සරල වචනවලට හැකියි, තුවාල සුව කරන්න.
පවුලේ එකමුතුකම ශක්තිමත් කිරීම
සුළු මාපිය පවුලක උණුසුම් සබඳතාව ගොඩනැඟීම සඳහා කාලය ගත වෙයි. ඔබ සුළු දෙමාපියෙක් නම්, ඔබ සංවේදනය පෙන්වීම අවශ්‍යයි. තේරුම්ගැනීමට උත්සාහ කරන්න. දරුවන් සමඟ කාලය ගත කිරීමට සූදානම්ව සිටින්න. බාල අය සමඟ සෙල්ලම් කරන්න. වැඩිහිටි අය සමඟ කතා කිරීමට සූදානම්ව සිටින්න. එකට කාලය ගත කිරීම සඳහා ඇති ප්‍රස්තා යොදාගන්න. උදාහරණයක් හැටියට, ගෙදර දොරේ කාර්යයන්වලදී උපකාර කරන්න දරුවන්ට උනන්දු කරන්න. රෑ කෑම පිළියෙළ කිරීම හෝ වාහනය සේදීම වැනි කාර්යයන් මෙයට අයත් විය හැකියි. ඔබ කඩේට යන විට ඔබ සමඟ පැමිණ ඔබට උපකාර කරන හැටියට ඔවුන්ට ආරාධනා කරන්න. මීට අමතරව, ඔබට තිබෙන ආදරය නන් අයුරින් පෙන්වීමටද පුළුවන්. (නමුත් ආදරය පෙන්වීමේදී, කිසිවෙකු අපහසුවට ලක් නොකරන අන්දමකින් සුළු පියවරුන් ඔවුන්ගේ සුළු දූවරුන් සමඟ කටයුතු කළ යුතුයි. පිරිමි ළමුන්ටද සීමා ඇති බව සුළු මව්වරුන් මතක තබාගත යුතුයි.)
සුළු මාපිය පවුල්වලට සාර්ථක විය හැකියි. හුඟදෙනෙක් එසේ සාර්ථකව කටයුතු කරයි. වැඩියෙන්ම සාර්ථක වී ඇති සුළු මාපිය පවුල් වන්නේ, අදාළ සියලු පාර්ශ්ව, විශේෂයෙන්ම දෙමාපියන් නිවැරදි ආකල්ප හා යථාර්වාදී අපේක්ෂාවන් ඇතුව සිටින පවුල් ඒකකයි. ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: “ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය [දෙවිගෙන්ය].” (1 යොහන් 4:7) ඔව්, මුළු හදින්ම නැඟෙන ප්‍රේමය ප්‍රීතිමත් සුළු මාපිය පවුලක සැබෑ රහස වෙයි.
[7වන පිටුවේ පින්තූර]
ප්‍රීතිමත් සුළු මාපිය පවුල්
දේවවචනය එකට අධ්‍යයනය කරයි . . .
එකට කාලය ගත කරයි . . .
එකට කතා කරයි . . .
එකට වැඩ කරයි . . .