මිථ්‍යාදෘෂ්ටික අත්තිවාරම් මත ගොඩනැඟීම
ඉතාලියේ, රෝමයෙහි සංචාරකයන් බැහැදැකීමට යන චමත්කාරජනක ස්මාරකයන් අතුරින් එකකි, පැන්තියොනය. රෝම ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍ර ගණයේ නිර්මාණයක් වන මෙය, එදා පැවති තත්වයෙන්ම වර්තමානය දක්වා පැවත ඇති ගොඩනැඟිලි කිහිපයකින් එකකි. පොදු යුගයට පෙර 27දී පමණ අග්‍රිපා විසින් ගොඩනැඟීමට ආරම්භ කරන ලද මෙය, පො.යු. 120දී පමණ හේඩ්රියන් විසින් යළි ගොඩනැඟීමට පටන්ගත්තා. මෙම ගොඩනැඟිල්ලෙහි ඇති එක් අද්විතීය අංගයක් වන්නේ එහි ඇති මීටර් 43ක් උස ගෝලාර්ධයයි. තවද පළලින් එයට වඩා විශාල වූ නිර්මාණයක් බිහිව ඇත්තේ වර්තමානයේ පමණයි. මුලින්ම පැන්තියොනය යොදාගැනුණේ මිථ්‍යාදෘෂ්ටික සිද්ධස්ථානයක් වශයෙනි. “සියලුම දෙවිවරුන්ට ස්ථානයක්” යන්න මෙහි මුල් ග්‍රීක වචනයේ අරුතයි. එය රෝමානු කතෝලික පල්ලියක් ලෙස තවමත් සැලකේ. එවන් පුදුමාකාර වෙනස් වීමක් සිදු විය හැක්කේ කොහොමද?
දිගු කලක් පුරා භාවිත නොකළ මෙම සිද්ධස්ථානය, පොදු යුගයේ 609දී IVවන බොනෆස් පාප් විසින් “ක්‍රිස්තියානි” පල්ලියක් හැටියට යළි කැප කළා. ඒ අවස්ථාවේදී ඊට සාන්ත මරීය රෝටුන්ද පල්ලිය යන නම දුන්නා. වර්ෂ 1900දී, ලා චීවීල්ටා කටෝලීකා නම් ඉතාලියානු ජේසු නිකායික සඟරාවෙහි ප්‍රකාශයට පත් කළ එක් ලිපියකට අනුව, බොනෆස්ගේ මනසේ තිබුණේ “ක්‍රිස්තියානි ධර්මයේ සියලු ප්‍රාණ පරිත්‍යාගීන් නැතිනම් සියලුම සාන්තුවරුන්ව තේජවත් කිරීම සඳහාත්, සියල්ලටම වැඩියෙන් කන්‍ය මරිය මව්තුමියව ගෞරවයට පත් කිරීම සඳහාත්” පැන්තියොනය යොදාගැනීමටයි. නූතන දින රෝමානු කතෝලික සභාවෙන් පැන්තියොනයට, සාන්ත මරීය ආද් මාතීරෙස් නැත්නම්, ඒ වෙනුවට, සාන්ත මරීය රෝටුන්ද යන නාමයන් දීමෙන්, තිබූ ශුද්ධ ලියවිලිමය නොවන චේතනාව මනාව පැහැදිලි වෙයි.—ක්‍රියා 14:8-15 සසඳන්න.
පැන්තියොනය, එහි නව භාවිතය සඳහා සකස් කරන්න “ඉතිරිව තිබුණේ දේවල් කිහිපයක් පමණයි. ක්‍රිස්තියානි නමස්කාරය සඳහා මිථ්‍යාදෘෂ්ටික සිද්ධස්ථාන යොදාගැනීමේ ප්‍රවීණයෙක් හා ආදර්ශකයෙක් වූ, තමාට කලින් සිටි මහා ශාන්ත ග්‍රෙගරි [Iවන ග්‍රෙගරි පාප්] විසින් ස්ථාපිත සරල මෙන්ම උදාර නීති බොනෆස් විසින් පවත්වාගෙන ගිය බව” එම ලිපිය තවදුරටත් පෙන්නුම් කරයි. එම නීති මොනවාද?
පොදු යුගයේ 601දී, මිථ්‍යාදෘෂ්ටික බ්‍රිතාන්‍යය දක්වා ගමන් කිරීමට සූදානමින් සිටි මිෂනාරියෙකුට යැවූ ලිපියක, ග්‍රෙගරි මෙම උපදෙස දුන්නා: “බ්‍රිතාන්‍යයේ ඇති රූප සහිත සිද්ධස්ථාන විනාශ නොකළ යුතුයි; නමුත් එතුළ ඇති පිළිම පමණක් විනාශ කළ හැකියි. . . . සඳහන් කරන ලද සිද්ධස්ථාන හොඳ තත්වයක පැවතේ නම්, යක්ෂයන්ට කරන නමස්කාරයක සිට සැබෑ දෙවිට කරන නමස්කාරයක් දක්වා එම ස්ථාන මාරු කළ යුතුයි.” පුරාණ සිද්ධස්ථාන විනාශ නොවී ඇති බව මිථ්‍යාදෘෂ්ටික මිනිසුන් දුටුවොතින්, ඒවාට නිතර නිතර යෑමට ඔවුන් වැඩියෙන් නැඹුරුවනු ඇතැයි යන්න ග්‍රෙගරිගේ අදහස වුණා. මිථ්‍යාදෘෂ්ටිකයන් කලින් “යක්ෂයන්ට පූජා වශයෙන් ගවයන් මැරුවත්, යක්ෂයන්ට තවදුරටත් සතුන් ඔප්පු කිරීමට ඔවුන්ට උවමනා නැත; ඒ වෙනුවට දෙවිට ප්‍රශංසාව පිණිස තමන්ගේම පරිභෝජනය උදෙසා උන්ව මරාගත හැකියි” කියා පාප් ලීවා.
රෝමානු කතෝලික ධර්මය “මිථ්‍යාදෘෂ්ටික නමස්කාරයට පහර ගැසූ” තවත් ක්‍රමයක් වන්නේ, පරණ සිද්ධස්ථාන අසලින් “ක්‍රිස්තියානි” සාන්තුවරුන්ට කැප කළ පල්ලි පිහිටුවීමයි. පුරාණ උත්සව ඈඳාගෙන “ක්‍රිස්තියානි” මුහුණුවරක් එයට දුන්නා. ලා චීවීල්ටා කටෝලීකා යොදාගන්නාවූ වචනවලින් විස්තර කළොත්, “මුල් ක්‍රිස්තියානීන්ගේ චාරිත්‍ර හා ආගමික වතාවන් කිහිපයක් මිථ්‍යා වත් පිළිවෙත්වලට සමීපව තිබූ බව අදදින සිටින විශාරදයන් සියල්ලන්ම හොඳින් දන්නා කාරණයක්. මේ වත් පිළිවෙත් මිනිසුන්ගේ හදට කිට්ටුවෙන්ම පැවති ඒවායි; ඒවා හොඳින් ස්ථාපිතව තිබුණා මෙන්ම පෞරාණික ලෝකයේ ප්‍රසිද්ධ හා පෞද්ගලික ජීවිතයට කෙළින්ම සම්බන්ධව තිබුණා. මෙවැනි වත් පිළිවෙත් හා චාරිත්‍ර මුලිනුපුටා දැමිය යුතු බව මව් පල්ලිය විශ්වාස කළේ නැහැ; ක්‍රිස්තියානි මුහුණුවරකින් ඒවා නැවත ප්‍රතිශෝධනය කිරීමෙන් ඒවා වඩා නව උසස් තත්වයකට හා නව ජීවයකට ගෙනාවා. බහුතරයකගේ හා නැණවත් පිරිසකගේ හදවත් නොකලතා තමන්ට හොඳ නාමයක් ලබාගැනීම සඳහා ප්‍රබල එහෙත් මෘදු ආකාරයකින් ඒවාට බලපෑම් කළා.”
නත්තලද මෙවන් එක් මිථ්‍යාදෘෂ්ටික උත්සවයක ඈඳාගැනීමක් වන බව නොකිවමනායි. ඇත්තෙන්ම රෝමවරුන් දීයස් නටාලීස් සොලීස් ඉන්වික්ටී නැතිනම් “අපරාජිත හිරුගේ උපන් දිනය” සැමරුවේ දෙසැම්බර් 25වනදායි.
එහෙයින් මිථ්‍යාදෘෂ්ටික හදවත් දිනාගැනීමේ අටියෙන් පල්ලිය සත්‍යයට එකඟව කටයුතු කළේ නැහැ. සංකලනය, එනම් “බහුතරයට සමීපව තිබූ” අන්‍යාගමික විශ්වාසයන් සහ වත් පිළිවෙත් ඈඳාගැනීම, ඇය සාධාරණ යමක් සේ පිළිබිඹු කළා. මෙනයින් ඇති වූ ප්‍රතිඵලය වූයේ, ක්‍රිස්තියානි ධර්මයෙන් බොහෝ සෙයින් වෙනස් වූ ඇදහිල්ල අත්හළ දෙමුහුන් පල්ලියක් බිහිවීමයි. එසේ නම් මේ සියල්ල සැලකිල්ලට ගැනීමේදී, කලින් “සියලුම දෙවිවරුන්ට” කැප කළ රෝමානු ආගමික ස්ථානයක් වන පැන්තියොනය, මරියාට හා සියලු “සාන්තුවරුන්ට” කැප කළ රෝමානු කතෝලික පල්ලියක් බවට පත්වීම ගැන පුදුම විය යුතු නැහැ.
කොහොම වුණත්, “යක්ෂයන්ට කරන නමස්කාරයක සිට සැබෑ දෙවිට කරන නමස්කාරයක් දක්වා” වෙනස් කිරීමට, හුදු ආගමික ස්ථානයක කැප කළ තත්වය වෙනස් කිරීම හෝ උත්සවයක නම වෙනස් කිරීමම පමණක් නොසෑහෙන බව හොඳින් තේරුම් යා යුතුයි. ‘දේවතා රූප සමඟ දෙවිගේ මාළිගාවට ඇති එකඟකම මොකද?’ කියා ප්‍රේරිත පාවුල් ඇසුවා. ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: ‘එබැවින්—නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි යෙහෝවා කියන්නේය. එවිට මම නුඹලා පිළිගෙන, නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රම වූ යෙහෝවා කියන්නේය.’—2 කොරින්ති 6:16-18.