යෙහෝවාගේ බැටළුවන් බලාගැනීමට “තෑගි වශයෙන් මනුෂ්‍යයන්”
“ඔහු උසස් තැනට නැඟුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල් කොට ගෙන ගොස්, තෑගි වශයෙන් මනුෂ්‍යයන් දුන්නේය.”—එපීස 4:8, NW.
1. තම සභාවේ සිටින වැඩිමහල්ලන් සම්බන්ධයෙන් එක් ක්‍රිස්තියානි සහෝදරියක් පැවසුවේ කුමක්ද?
“අපි ගැන මේ තරම් සැලකිල්ලක් දක්වන එක ගැන බොහොම ස්තූතියි. ඕගොල්ලන්ගේ සිනාව, උණුසුම්භාවය, සැලකිල්ල, හද පත්ලෙන්ම එන ඒවා. ඇහුම්කන් දෙන්න වගේම අපිව ගොඩනංවන අදහස් බයිබලයෙන් බෙදාගන්නත් ඕගොල්ලන් ඕනෙම වෙලාවක ලෑස්තියි. මේ දේවල් හැමදාම අගය කරන්න උදව් ඉල්ලලා මම යාච්ඤා කරනවා.” තම සභාවේ වැඩිමහල්ලන්ට එක් සහෝදරියක් ලීවේ මෙසේයි. පැහැදිලිවම, සැලකිල්ලක් දක්වන ක්‍රිස්තියානි එඬේරුන් පෙන්වූ ප්‍රේමය මැයගේ හෘදයට තදින් කාවැදී තිබුණා.—1 පේතෘස් 5:2, 3.
2, 3. (අ) යෙසායා 32:1, 2ට අනුව, දයානුකම්පිත වැඩිමහල්ලන් යෙහෝවාගේ බැටළුවන් කෙරෙහි සැලකිල්ල දක්වන්නේ කොහොමද? (ආ) වැඩිමහල්ලෙකුව තෑග්ගක් හැටියට සැලකිය හැක්කේ කොයි අවස්ථාවේදීද?
2 වැඩිමහල්ලන්, යෙහෝවාගේ බැටළුවන් බලාගැනීම සඳහා දී ඇති සැපයුමකි. (ලූක් 12:32; යොහන් 10:16) යෙහෝවාට ඔහුගේ බැටළුවන් ඇත්තෙන්ම අනර්ඝයි; කොතරම් අනර්ඝද කියනවා නම්, ඔහු ඔවුන් මිල දී ගත්තේ යේසුස්ගේ අනර්ඝ වූ රුධිරයෙනි. එසේ නම්, වැඩිමහල්ලන් තම රැළ මෘදුකමින් යුතුව බලාගනිද්දී, යෙහෝවා සතුටු වීම ගැන පුදුම විය යුතු නැහැ. (ක්‍රියා 20:28, 29) මෙම වැඩිමහල්ලන් නැතිනම්, ‘අධිපතීන්’ ගැන කළ අනාවැකිමය විස්තරය සලකා බලන්න: “මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.” (යෙසායා 32:1, 2) ඔව්, ඔවුන් සිටින්නේ බැටළුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ට නැවුම්බවක් ගෙන දී, සහනය ලබා දීමටත්ය. ඉතින් රැළ කෙරෙහි දයානුකම්පිතව එඬේරකම් කරන වැඩිමහල්ලන්, දෙවි තමන්ගෙන් අපේක්ෂා කරන දෙයට අනුව ජීවත් වීමට වෙර දරනවා.
3 එවැනි වැඩිමහල්ලන්ව බයිබලයේ යොමු දක්වන්නේ ‘තෑගි වශයෙන් වූ මනුෂ්‍යයන්’ හැටියටයි. (එපීස 4:8) ඔබ තෑග්ගක් ගැන සිතන විට ඔබට මතක් වන්නේ, ලබන තැනැත්තාගේ යම් අවශ්‍යතාවක් සපුරාලීමට හෝ ඒ තැනැත්තාව සතුටු කිරීමේ අටියෙන් දෙනු ලබන දෙයක්. රැළට අවශ්‍ය සහය ලබා දීමට හා රැළේ සන්තෝෂයට දායක වන ආකාරයට වැඩිමහල්ලෙක් තම හැකියාවන් යොදාගන්නා විට, ඔහුව තෑග්ගක් හැටියට සැලකිය හැකියි. ඔහුට මෙය කළ හැකි වන්නේ කොහොමද? එපීස 4:7-16හි ඇති පාවුල්ගේ වචනවල සොයාගත හැකි උත්තරය, යෙහෝවාට තම බැටළුවන් කෙරෙහි ඇති ප්‍රේමනීය සැලකිල්ල විශාල කොට දක්වයි.
“තෑගි වශයෙන් මනුෂ්‍යයන්”—කොහෙන්ද?
4. ගීතාවලිය 68:18හි ඉටුවීමක් හැටියට, යෙහෝවා ‘උසස්ථානයට නැඟී ගියේ’ කුමන ආකාරයකින්ද? එමෙන්ම “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” වූයේ කවුද?
4 පාවුල් “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” කියා කියද්දී ඔහු දාවිත්ගේ වචනවලින් උපුටා දක්වමිනුයි හිටියේ. දාවිත් යෙහෝවා ගැන මෙසේ පැවසුවා: “ඔබ උසස්ථානයට නැඟී ගොස් ඇත. වහලුන් වහල්කමට ගෙනගොස් ඇත. ඔබ තෑගි වශයෙන් මනුෂ්‍යයන්ව ගෙනගොස් ඇත.” (ගීතාවලිය 68:18, NW) ඉශ්රායෙල්වරු අවුරුදු කිහිපයකට පොරොන්දු දේශයේ සිටි විට, යෙහෝවා සංකේතාත්මක ලෙස සියොන් කන්දට ‘නැඟී ගිය’ අතර, ඉශ්රායෙල් රාජ්‍යයේ අගනුවර හැටියට යෙරුසලම පිහිටෙවූ අතර දාවිත්ව එහි රජ බවට පත් කළා. නමුත් “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” වූයේ කවුද? ඔවුන් නම් දේශය ආක්‍රමණය කරද්දී වහල්භාවයට ගත් මිනිසුන්ය. මෙම වහලුන්ගෙන් සමහරෙකුව පසු කලෙකදී, මණ්ඩපයේ වැඩවලට උපකාර කිරීම සඳහා ලෙවීවරුන්ට භාර දුන්නා.—එස්රා 8:20.
5. (අ) ගීතාවලිය 68:18ට ක්‍රිස්තියානි සභාව තුළ ඉටුවීමක් තිබෙනවාය කියා පාවුල් අඟවන්නේ කොහොමද? (ආ) යේසුස් ‘උසස්ථානයට නැඟී ගියේ’ කුමන ආකාරයකින්ද?
5 ගීතිකාකරුගේ වචනවල වඩා විශාල ඉටුවීමක් ක්‍රිස්තියානි සභාවට අදාළ වන බව එපීසවරුන්ට ලිවූ ලිපියේ පාවුල් අඟවයි. ගීතාවලිය 68:18හි සමස්ත අදහස ඉදිරිපත් කරමින් පාවුල් මෙසේ ලීවා: “අපෙන් එක් එක්කෙනාට ක්‍රිස්තුස්ගේ දීමනාවේ ප්‍රමාණයේ හැටියට අනුග්‍රහය දෙන ලද්දේය. එහෙයින් ඔහු කතා කොට: ඔහු උසස් තැනට නැඟුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල් කොට ගෙනගොස්, තෑගි වශයෙන් මනුෂ්‍යයන් දුන්නේය.” (එපීස 4:7, 8, NW) මෙහිදී, පාවුල් දෙවිගේ නියෝජිතයා වන යේසුස්ට මෙම ගීතිකාව අදාළ කරයි. යේසුස් තම ඇදහිලිවන්ත ගමන් මාර්ගය හේතුවෙන් ‘ලෝකයෙන් ජයගත්තා.’ (යොහන් 16:33) දෙවි ඔහුව මළවුන්ගෙන් නැඟිටුවීම හේතුවෙන් ඔහු මරණයෙන් මෙන්ම සාතන්ගෙනුත් ජයගත්තා. (ක්‍රියා 2:24; හෙබ්‍රෙව් 2:14) පොදු යුගයේ 33දී, නැවත නැඟිටුවනු ලැබූ යේසුස් වෙනත් සෑම ස්වර්ගික මැවිල්ලකටම ඉහළින්, එනම්, “සියලු ස්වර්ගවලින් ඉහළට නැගුණා.” (එපීස 4:9, 10; පිලිප්පි 2:9-11) ආක්රමණිකයා හැටියට යේසුස්, සතුරන්ව “වහල්කමට” ගත්තා. ඒ කෙසේද?
6. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ පටන්ගැනීමත් සමඟ ස්වර්ගයට ගිය යේසුස්, සාතන්ගේ ගෘහය පැහැරගැනීමට පටන්ගත්තේ කොහොමද? එමෙන්ම ඔහු ‘වහලුන්’ සම්බන්ධයෙන් කළේ කුමක්ද?
6 භූතයන් විසින් යටත් කරගෙන සිටි අයව නිදහස් කිරීමෙන් යේසුස් සාතන්ට විරුද්ධව ඇති තම බලය මේ පොළොවේදී නිරූපණය කොට දැක්වූවා. එය හරියට යේසුස් සාතන්ගේ නිවස ආක්‍රමණය කර, ඔහුව බැඳ ඔහුගේ වස්තුව තමන් සතු කරගත්තාක් මෙනි. (මතෙව් 12:22-29) නැවත නැඟිටුවා, ‘ස්වර්ගයේ හා පොළොවේ සියලු බලය’ භාර දීමෙන් පසු, යේසුස්ට කළ හැකි පැහැරගැනීම ගැන සිතා බලන්න! (මතෙව් 28:18) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ පටන්ගැනීමත් සමඟ, දෙවිගේ නියෝජිතයා වන ස්වර්ගයට නැඟුණු යේසුස්, සාතන්ගේ ගෘහයෙන් ‘වහලුන් පැහැරගත්තා.’ මේ අය දිගු කාලයක් පුරා සාතන්ගේ පාලනය යටතේ පාපයට හා මරණයට වහල්ව සිටියා. මෙම ‘වහලුන්’ ස්ව-කැමැත්තෙන්ම ‘ක්‍රිස්තුස්ගේ දාසයන් මෙන් [මුළු, NW] සිතින් දෙවිගේ කැමැත්ත’ කරන්නන් බවට පත් වුණා. (එපීස 6:6) මෙහි ප්‍රතිඵලයක් හැටියට, යේසුස් ඔවුන්ව සාතන්ගේ පාලනයෙන් මුදවාගත්තා. තවද ඔහු යෙහෝවා වෙනුවෙන්, සභාව සඳහා “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” ලෙස ඔවුන්ව දුන්නා. සාතන්ගේ පාලනය යටතේ සිටි අයව සාතන් ඉදිරිපිටදීම ඔහුගෙන් ගත්තා කියද්දී, ඔහුට ඇති වූ කෝපය ගැන නිකමට සිතා බලන්න!
7. (අ) “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සභාවල සේවය කරන්නේ කුමන තත්වයන්වලද? (ආ) වැඩිමහල්ලෙකු හැටියට සේවය කරන සෑම පුරුෂයෙකුටම යෙහෝවා කුමන ප්‍රස්තාව දී ඇද්ද?
7 අද එවැනි “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සභාව තුළ දැකගැනීමට සිටිනවාද? ඇත්තෙන්ම ඔව්! ‘එවැන්ජලිස්තවරුන්, එඬේරුන් හා ගුරුවරුන් හැටියට,’ වැඩිමහල්ලන් ලොව වටා දෙවිගේ සෙනඟ සිටින සභාවල් 87,000කට වැඩි ප්‍රමාණයක වෙහෙස මහන්සි වී සේවය කරමින් සිටියි. (එපීස 4:11, NW) ඇත්තෙන්ම ඔවුන් රැළට අනිසි ලෙස සලකනවා දකින්න ලැබුණොත්, ඊට වඩා ප්‍රීතියට හේතුවක් සාතන්ට තවත් නැහැ. නමුත් ක්‍රිස්තුස් මගින් දෙවි ඔවුන්ව සභාවට දුන්නේ ඒ සඳහා නෙවෙයි. ඒ වෙනුවට, යෙහෝවා ඔවුන්ව සපයා ඇත්තේ සභාවේ යහපත තකායි. තවද ඔවුන්ට භාර දී ඇති බැටළුවන් සම්බන්ධයෙන් ඔවුන් යෙහෝවාට ගණන් දිය යුතුයි. (හෙබ්‍රෙව් 13:17) ඔබ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා නම්, ඔබේ සහෝදරයන්ට තෑග්ගක් හෝ ආශීර්වාදයක් හැටියට තමන්වම ඔප්පු කිරීමට යෙහෝවා ඔබට අනගි ප්‍රස්තාවක් දී තිබෙනවා. වැදගත් වගකීම් හතරක් ඉටු කිරීමෙන් ඔබට එසේ කළ හැකියි.
“යළි සකස් වීම” සඳහා අවශ්‍යතාවක් ඇති වන විටදී
8. අප සියලුදෙනාටම කලින් කලට යළි සකස් කිරීම් අවශ්‍ය වන්නේ කුමන ආකාරවලින්ද?
8 පළමුව, “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සපයනු ලබන්නේ “ශුද්ධවන්තයන්ගේ යළි සකස් වීම” සඳහායයි පාවුල් පවසයි. (එපීස 4:13, NW) “යළි සකස් වීම” හැටියට දක්වා ඇති ග්‍රීක නාම පදයෙන් යොමු දැක්වෙන්නේ, යමක් “නිසි තැනට ගෙන ඒමයි.” අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන්, කලින් කලට අප සියලුදෙනාවම යළි සකස් කළ යුතුයි. එනම් අපේ සිතුවිලි, ආකල්ප හෝ හැසිරීම දෙවිගේ සිතීමට හා කැමැත්තට එකඟව “නිසි තැනට ගෙන ඒම” අවශ්‍යයි. යෙහෝවා, ප්‍රේමනීය ලෙස අවශ්‍ය වෙනස්කම් කිරීමට අපට උපකාර කිරීම සඳහා “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” දී තිබෙනවා. ඔවුන් මෙය කරන්නේ කොහොමද?
9. වරදක් කළ බැටළුවෙකුව යළි සකස් කිරීමට වැඩිමහල්ලෙකුට හැක්කේ කොහොමද?
9 සමහර අවස්ථාවලදී, වරදක් කර ඇති එනම්, ‘නොදැනුවත්ව යම් වැරදි පියවරක් ගෙන ඇති’ බැටළුවෙකුට උදව් කිරීම සඳහා වැඩිමහල්ලෙකුගේ සහය පැතිය හැකියි. වැඩිමහල්ලෙකුට උපකාර කළ හැක්කේ කොහොමද? “මෘදු ස්වභාවයකින් එවැනි තැනැත්තෙකුව යළි සකස් කිරීමට යත්න දරන්න” කියා ගලාති 6:1 [NW] පවසයි. එහෙයින් උපදෙස් දෙන විට, වැඩිමහල්ලෙක් වරද කළ තැනැත්තාට කර්කශ වචන යොදාගනිමින් දොස් පැවරීමට යන්නේ නැහැ. උපදෙස් ලබන තැනැත්තාව එමගින් දිරිගැන්වෙනවා මිස ‘බියගැන්වීමක්’ සිදු වන්නේ නැහැ. (2 කොරින්ති 10:9; සසඳන්න යෝබ් 33:7.) දැනටමත් එම පුද්ගලයාට යම් ලජ්ජාවක් දැනී තිබිය හැකි නිසා, ප්‍රේමනීය එඬේරුන් එම තැනැත්තාගේ ආත්ම-විශ්වාසය බිඳ දැමීමෙන් වැළකිය යුතුයි. උපදෙස්, එනම් ස්ථිරබවකින් දෙන තරවටු පවා, ප්‍රේමනීයව දෙන විට, වරද කරන තැනැත්තාගේ සිතුවිලි හෝ හැසිරීම නිසි තැනට ගෙන ඒමට හේතුපාදක විය හැකියි; මෙමගින් ඔහුව නැවත ප්‍රකෘතිමත් ස්වභාවයට ගෙන එයි.—2 තිමෝති 4:2.
10. වෙනත් අයව යළි සකස් කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?
10 අපේ යළි සකස් වීම සඳහා “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සැපයීමේදී, යෙහෝවාගේ මනසේ තිබුණේ, වැඩිමහල්ලන් ආත්මික වශයෙන් නැවුම්බවකින් යුක්ත වීමත්, දෙවිගේ සෙනඟ විසින් අනුකරණය කිරීමට සුදුසු තත්වයක සිටීමත්ය. (1 කොරින්ති 16:17, 18; පිලිප්පි 3:17) වෙනත් අයව යළි සකස් කරනවා යන්නෙන් අදහස් කරන්නේ, වැරදි මාර්ගයක් ගන්නා අයව නිවැරදි කිරීම පමණක් නොව, හරි මාර්ගයේ රැඳී සිටීමට ඇදහිලිවන්ත අයට උපකාර කිරීමත්ය.a අදදින අධෛර්යය වීමට තුඩු දෙන ගැටලු එතරම්ම ප්‍රමාණයක් තිබෙන නිසා, බොහෝදෙනෙකුට ස්ථිරව සිටීම සඳහා දිරිගැන්වීම අවශ්‍යයි. දෙවිගේ සිතුවිලි සමඟ තම සිතුවිලි එකඟ කරගැනීම සඳහා සමහරෙකුට මෘදු උපකාරය අවශ්‍ය විය හැකියි. උදාහරණයක් හැටියට, ගැඹුරට මුල් බැස ඇති, නොවැදගත්කමේ හෝ නොවටිනාබවේ හැඟීම් සමඟ සමහරක් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් පොරබැදිය හැකියි. එවන් “කාංසාවට පත් පුද්ගලයන්ට,” යෙහෝවා තමන්ට කවදාවත් ප්‍රේම නොකරාවිය කියාද තමන්ගේ හොඳම වෑයම් පවා දෙවිට පිළිගත නොහැකියි කියාද හැඟෙන්න පුළුවන්. (1 තෙසලෝනික 5:14, NW) නමුත් මෙවැනි සිතීමේ රටාවක් දෙවි තම නමස්කාරකයන් සම්බන්ධයෙන් සැබෑවටම දරන ආකල්පයට හාත්පසින්ම වෙනස්ය.
11. නොවටිනාබවේ හැඟීම් සමඟ පොරබදින අයට උපකාර කිරීම සඳහා වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?
11 වැඩිමහල්ලෙනි, මෙවැනි අයට උපකාර කිරීමට ඔබට කුමක් කළ හැකිද? යෙහෝවා සෑම සේවකයෙකු කෙරෙහිම සැලකිල්ලක් දක්වනවාය කියා ශුද්ධ ලියවිලිමය සාක්ෂි ඇතුව ඔවුන්ට පෙන්වන්න. තවද මෙම බයිබල් පද ඔවුන්ට පෞද්ගලිකව අදාළ වේය කියා පවසමින් ඔවුන්ගේ බිය සැක දුරු කරන්න. (ලූක් 12:6, 7, 24) යෙහෝවා, ඔහුට සේවය කිරීම සඳහා ඔවුන්ව ‘අදිනු ලැබ ඇති’ නිසා, නිසැකවම යෙහෝවා ඔවුන්ව අගනා කොට සලකන බව වටහාගැනීමට ඔවුන්ට උපකාර කරන්න. (යොහන් 6:44) ඔවුන් තනි වී නැති බවත්, යෙහෝවාගේ සේවකයන්ගෙන් බහුතරයකට ඒ හා සමාන හැඟීම් තිබෙන බවත් ඔවුන්ට පවසන්න. ප්‍රොපේත එලියා එක් අවස්ථාවකදී කොතරම් දැඩි ලෙස කනගාටුවට පත් වුණාද කිවහොත් මරණයට පත් වෙන්න පවා ඔහු කැමති වුණා. (1 රාජාවලිය 19:1-4) පළමු ශතවර්ෂයේ සිටි සමහරක් ආලේප ලත් ක්‍රිස්තියානීන්ට හැඟුණේ, තම හදවත් තමන්ටම “දෝෂාරෝපණය” කළ බවයි. (1 යොහන් 3:19) බයිබල් කාලවලදී සිටි ඇදහිලිවන්තයන්ට “අප සමාන ගති” තිබූ බව දැනගැනීම ඇත්තෙන්ම සහනයක්. (යාකොබ් 5:17) මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල ඇති දිරිගන්වන ලිපි කනස්සල්ලට පත්ව ඇති අය සමඟ සාකච්ඡා කිරීමට ඔබට හැකියි. ඔබව “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” හැටියට දී ඇති දෙවි, මෙවැන්නන්ගේ ආත්ම විශ්වාසය වඩවාලීමට ඔබ කරන ප්‍රේමනීය ක්‍රියා නොදැක සිටින්න යන්නේ නැහැ.—හෙබ්‍රෙව් 6:10.
රැළ “ගොඩනැඟීම”
12. ‘ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීම’ කීමෙන් අර්ථවත් කරන්නේ කුමක්ද? එමෙන්ම රැළ ගොඩනැඟීමට යතුර කුමක්ද?
12 දෙවනුව, “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” දී ඇත්තේ “[ක්‍රිස්තුස්ගේ] ශරීරයේ වර්ධනයවීම [ගොඩනැඟීම, NW]” පිණිසයි. (එපීස 4:13) පාවුල් මෙහිදී වාක්යාලංකාරයක් යොදාගනියි. “ගොඩනැඟීම” කියන විට මනසට නැඟෙන්නේ යම් ඉදි කිරීමක්. එමෙන්ම ‘ක්‍රිස්තුස්ගේ ශරීරයෙන්’ යොමු දක්වන්නේ ආලේප ලත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ගෙන් සැදි අයටයි. (1 කොරින්ති 12:27; එපීස 5:23, 29, 30) සහෝදරයන්ට ආත්මිකව හොඳින් වර්ධනය වීමට වැඩිමහල්ලන් ඔවුන්ට උපකාර කළ යුතුයි. ඔවුන්ගේ අරමුණ වන්නේ රැළ ‘බිඳහෙළීම නොව ගොඩනැඟීමයි’. (2 කොරින්ති 10:8) රැළ ගොඩනැඟීමේ යතුර වන්නේ ප්‍රේමයයි. මන්දයත් ප්‍රේමය “ප්‍රේමය ගොඩනංවන” නිසයි.—1 කොරින්ති 8:1, NW.
13. සංවේදනය පෙන්නුම් කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම වැඩිමහල්ලන් සංවේදනය පෙන්නුම් කිරීම වැදගත් වන්නේ ඇයි?
13 රැළ ගොඩනැඟීමට උපකාර වන ප්‍රේමයේ එක් පැත්තක් වන්නේ සංවේදනයයි. සංවේදනය පෙන්නුම් කිරීමෙන් අදහස් වන්නේ අනුන් ගැන සානුකම්පිතව හැඟීමයි. ඔවුන්ගේ සිතුවිලි හා හැඟීම් මෙන්ම ඔවුන්ගේ සීමාවන් තේරුම්ගෙන කටයුතු කිරීමයි. (1 පේතෘස් 3:8) වැඩිමහල්ලෙකුට සංවේදනය තිබීම අවශ්‍ය වන්නේ මන්ද? සියල්ලටම වැඩියෙන්, “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” දෙන යෙහෝවා සංවේදනය දක්වන දෙවිකෙනෙක් නිසයි. ඔහුගේ සේවකයන් දුක් විඳින විට හෝ වේදනා විඳින විට ඒ ගැන ඔහුට අනුකම්පාව දැනෙයි. (නික්මයාම 3:7; යෙසායා 63:9) ඔහු ඔවුන්ගේ සීමාවන් ගැන සාවධානීව සිටියි. (ගීතාවලිය 103:14) එසේ නම්, වැඩිමහල්ලන්ටත් සංවේදනය පෙන්නුම් කළ හැක්කේ කෙසේද?
14. වැඩිමහල්ලන්ට වෙනත් අය සඳහා සංවේදනය පෙන්නුම් කළ හැක්කේ කුමන ආකාරවලින්ද?
14 අධෛර්යයට පත් වූ යමෙක් ඔවුන් වෙතට පැමිණෙන විට, එම තැනැත්තාගේ හැඟීම් පිළිගනිමින් ඔවුන් ඇහුම්කන් දෙයි. ඔවුන්ගේ සහෝදරයන්ගේ පසුබිම, පෞද්ගලිකත්වය හා තත්වයන් තේරුම්ගැනීමට ඔවුන් උත්සුක වෙයි. එවිට, වැඩිමහල්ලන් ගොඩනංවනසුලු ශුද්ධ ලියවිලිමය උපකාරය දෙන විට, තමන්ව ඇත්තෙන්ම තේරුම්ගන්නා හා තමන් ගැන සැලකිල්ලක් දක්වන එඬේරුන්ගෙන් මෙම උපදෙස් ලැබෙන නිසා බැටළුවන්ට ඒවා පහසුවෙන්ම පිළිගැනීමට හැකි වෙයි. (හිතෝපදේශ 16:23) වෙනත් අයගේ සීමාවන් තේරුම්ගැනීමට හා එමගින් ඇති වන හැඟීම් වටහාගැනීමට සංවේදනය උපකාර වෙයි. උදාහරණයක් හැටියට, වයස නිසා හෝ දුර්වල සෞඛ්‍ය තත්වයක් හේතුවෙන් දෙවිගේ සේවයෙහි තමන්ට වැඩිමනත් දෙයක් කළ නොහැකි වීම නිසා, හෘදය සාක්ෂියට එකඟව වැඩ කරන සමහර ක්‍රිස්තියානීන්ට යම් වරද සහිතබවක් දැනිය හැකියි. අනික් අතට, තමන්ගේ සේවය සම්බන්ධයෙන් වැඩිවර්ධනය වීමට සමහරුන්ට දිරිගැන්වීම අවශ්‍ය විය හැකියි. (හෙබ්‍රෙව් 5:12; 6:1) වෙනත් අයව ගොඩනංවන “ප්‍රිය වචන” සොයාගැනීමට වැඩිමහල්ලන්ව පොලඹවන්න යන්නේ සංවේදනයයි. (දේශනාකාරයා 12:10) යෙහෝවාගේ බැටළුවන්ව ගොඩනංවා පොලඹවන විට, ඔහුට කරන සේවයෙහි හැකි සියල්ල කිරීමට ප්‍රේමය ඔවුන්ව පොලඹවනු ඇත!
සමඟිය වැඩිවර්ධනය කරන පුරුෂයන්
15. ‘ඇදහීමේ එකමුතුකම’ කියා කීමෙන් අදහස් වන්නේ කුමක්ද?
15 තෙවනුව, “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සපයනු ලබන්නේ ‘ඇදහීමේද දෙවිගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමට අප සියල්ලන් පැමිණෙන පිණිසය.’ (එපීස 4:12, 13) ‘ඇදහීමේ එකමුතුකම’ යන යෙදුමෙන් අඟවන්නේ විශ්වාසයන්ගේ පමණක් නොව ඇදහිලිවන්තයන් අතරත් ඇති සමඟියයි. එසේ නම්, දෙවි අපට “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” දීමට තවත් හේතුවක් වන්නේ, තම සෙනඟ අතරේ සමඟිය වැඩිවර්ධනය කිරීම සඳහායි. ඔවුන් මෙය කරන්නේ කොහොමද?
16. වැඩිමහල්ලන් තමන් අතරේ සමඟිය පවත්වාගැනීම වැදගත් වන්නේ මන්ද?
16 මුලින්ම, ඔවුන් තමන් අතරේ සමඟිය පවත්වාගත යුතුයි. එඬේරුන් බෙදී සිටී නම්, බැටළුවන්ව නොතකාහැරීම හේතුවෙන් ඔවුන් දුක් විඳිය හැකියි. රැළේ එඬේරකම් කිරීම සඳහා යොදාගත හැකි වටිනා කාලය, දීර්ඝ වූ රැස්වීම් හා සුළු සුළු කාරණා සම්බන්ධයෙන් කරන වාද සඳහා වැය විය හැකියි. (1 තිමෝති 2:8) තමන් සාකච්ඡා කරන සෑම කාරණයක් සම්බන්ධයෙන්ම වැඩිමහල්ලන් එකඟ නොවිය හැකියි. මන්දයත් ඔවුන්ටද විශාල වශයෙන් එකිනෙකට වෙනස් පෞද්ගලිකත්වයන් තිබිය හැකි නිසයි. වෙනස් මත තිබීම හෝ විවෘත සාකච්ඡාවකදී සමබර ආකාරයකින් ඒවා ඉදිරිපත් කිරීම සඳහා, සමඟිය බාධාවක් වන්නේ නැහැ. කලින් විනිශ්චය කරන්නේ නැතුව, එකිනෙකාට ගෞරවාන්විතව ඇහුම්කන් දීම තුළින් වැඩිමහල්ලන් සමඟිය පවත්වාගන්නවා. තවද කිසිම බයිබල් ප්‍රමිතියක් කඩ නොවන තාක් කල්, වැඩිමහල් මණ්ඩලයේ අවසන් තීරණයට එකඟ වීමට හා සහය දීමට එක් එක්කෙනා කැමති විය යුතුයි. “සමාදානව, සාධාරණව” ඇති “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” මගින් මඟ පෙන්වනු ලැබීමට තමන් කැමති බව තම එකඟ වීමේ ස්වභාවයෙන් පෙන්නුම් කරයි.—යාකොබ් 3:17, 18, NW.
17. සභාවේ සමඟිය ආරක්ෂා කරගැනීමට, වැඩිමහල්ලන්ට උපකාර කළ හැක්කේ කොහොමද?
17 සභාවේ සමඟිය වර්ධනය කිරීමටද වැඩිමහල්ලන් සාවධානීව සිටියි. හානි ඇති කරන ඕපාදූප, වැරදි චේතනා ඇති කිරීමට දක්වන නැඹුරුවාව හෝ දබරකාර ආකල්පය වැනි බෙදුම් ඇති කරන බලපෑම් මගින් සාමයට තර්ජනයක් එල්ල වන විට, ඔවුන් පසුබට නොවී උපදෙස් ඉදිරිපත් කරයි. (පිලිප්පි 2:2, 3) උදාහරණයක් හැටියට, අනවශ්‍ය ආකාරයට විවේචනය කරන හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින්, මැසිවිලි කියන අය බවට පත් වන පුද්ගලයන් වැඩිමහල්ලන්ගේ අවධානයට නතු විය හැකියි. (1 තිමෝති 5:13; 1 පේතෘස් 4:15) දෙවි විසින් උගන්වා ඇති දෙයට මෙය පටහැනි බවත්, එකිනෙකා ‘තම තමාගේ බර ඉසිලිය’ යුතු බවත් පෙන්වීමට වැඩිමහල්ලන් එවැන්නන්ට උපකාර කරනු ඇත. (ගලාති 6:5, 7; 1 තෙසලෝනික 4:9-12) එවැනි ශුද්ධ ලියවිලි යොදාගැනීමෙන්, යෙහෝවා අපේ පෞද්ගලික හෘද සාක්ෂියට අනුව බොහෝ දේවල් කිරීමට ඉඩහරින බවත්, අපගෙන් කවරෙකුවත් එවැනි කාරණා සම්බන්ධයෙන් කෙනෙකුව විනිශ්චය නොකළ යුතු බවත් වැඩිමහල්ලන්ට පැහැදිලි කළ හැකියි. (මතෙව් 7:1, 2; යාකොබ් 4:10-12) සමඟියෙන් එකට සේවය කිරීම සඳහා, සභාව තුළ විශ්වාසයේ හා ගෞරවයේ වාතාවරණයක් පැවතිය යුතුයි. අවශ්‍ය විටදී ශුද්ධ ලියවිලිමය උපදෙස් පිරිනැමීමෙන්, “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” අපගේ සාමය හා සමඟිය පවත්වාගැනීමට උපකාර කරයි.—රෝම 14:19.
රැළ ආරක්ෂා කරගැනීම
18, 19. (අ) “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” අපව ආරක්ෂා කරන්නේ කාගෙන්ද? (ආ) බැටළුවන් ආරක්ෂා විය යුතු වෙනත් අන්තරාවන් මොනවාද? එමෙන්ම බැටළුවන්ව ආරක්ෂා කිරීමට වැඩිමහල්ලන් ක්‍රියා කරන්නේ කොහොමද?
18 හතරවනුව, “මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින්” ඇති වන බලපෑමෙන් අපව ආරක්ෂා කිරීම පිණිස යෙහෝවා “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සපයයි. (එපීස 4:14) ‘වංචාව’ සඳහා ඇති මුල් ග්‍රීක වචනයෙන් “දාදු දැමීමේදී වංචා කිරීම” හෝ “වංක ලෙස දාදු දැමීමට ඇති දක්ෂතාව” අදහස් වන බව කියැවේ. ඇදහිල්ල අතහැර ගිය අය කොයිතරම් කපටි ලෙස කටයුතු කර ඇද්දැයි එයින් අපට වැටහෙන්නේ නැද්ද? චාටු තර්කවලින්, සැබෑ ක්‍රිස්තියානීන්ව ඔවුන්ගේ ඇදහිල්ලෙන් වෙනතකට යොමු කරවාගැනීමේ අටියෙන් ඔවුන් ශුද්ධ ලියවිලි පෙරළයි. එවන් “රෞද්‍රවූ වෘකයන්” සම්බන්ධයෙන් වැඩිමහල්ලන් අවධානයෙන් සිටිය යුතුයි.—ක්‍රියා 20:29, 30.
19 වෙනත් අන්තරාවන්ගෙන්ද යෙහෝවාගේ බැටළුවන්ව ආරක්ෂා කළ යුතුයි. පුරාණයේ සිටි එඬේරෙකු වන දාවිත් අභීතව තම පියාගේ බැටළු රැළ, අනතුරුදායක සතුන්ගෙන් ආරක්ෂා කරගත්තා. (1 සාමුවෙල් 17:34-36) යෙහෝවාගේ බැටළුවන්ට, විශේෂයෙන්ම දුර්වල අයට අයථා අන්දමින් සැලකිය හැකි හෝ පීඩා කළ හැකි අයගෙන් රැළ ආරක්ෂා කරගැනීම සඳහා, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ධෛර්යය විදහාපෙන්විය යුතු අවස්ථා අද කාලයේ පවා ඇති විය හැකියි. දුෂ්ටකම වර්ධනය කිරීම සඳහා වංචාව, බොරුව හා උපායන් උවමනාවෙන්ම යොදාගන්නා පව්කාරයන්ව සභාවෙන් ඉවත් කිරීමට වැඩිමහල්ලන් ඉක්මනින් කටයුතු කරයි.b—1 කොරින්ති 5:9-13; සසඳන්න ගීතාවලිය 101:7.
20. ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ගෙන්’ ලැබෙන සැලකිල්ලෙන් අපට සුරක්ෂිතභාවයක් හැඟිය හැක්කේ මන්ද?
20 “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සම්බන්ධයෙන් අප කොතරම් ස්තුතිපූර්වක වනවාද! ඔවුන්ගේ ප්‍රේමනීය සැලකිල්ල මධ්‍යයේ, අපට ආරක්ෂාවක් දැනෙයි. ඔවුන් අපව මෘදු ආකාරයකින් සකස් කරන විට, අපව ප්‍රේමනීයව ගොඩනංවන විට, අපේ සමඟිය කැමැත්තෙන් රැක දෙන විට හා එඩිතරව අපව ආරක්ෂා කරන විට එය අපට දැනෙයි. නමුත් “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සභාවේ ඇති තම වගකීම සැලකිය යුත්තේ කොහොමද? තවද ඔවුන්ව අගය කරනවා කියා අපට පෙන්විය හැක්කේ කොහොමද? මෙම ප්‍රශ්න ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරයි.
[පාදසටහන්වල]
a ග්‍රීක් සෙප්ටූඅජින්ට් අනුවාදයේ, “යළි සකස් කිරීම” හැටියට යොදාගැනුණු ක්‍රියා පදයම, ගීතාවලිය 17[16]:5හි, යෙහෝවාගේ මාවත්වල තම අඩි ස්ථිර ලෙස පිහිටුවන්න කියා ඇදහිලිවන්ත දාවිත් කළ යාච්ඤාවේ යොදා තිබුණා.
b උදාහරණයක් හැටියට, 1979 නොවැම්බර් 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ පිටු 31-2 දක්වා ඇති “පාඨකයන්ගෙන් ප්‍රශ්න” හා 1997 ජනවාරි 1 මුරටැඹ කලාපයේ පිටු 26-9 දක්වා ඇති “දුෂ්ට දේවලට ද්වේෂ කරමු” යන ලිපි බලන්න.
ඔබට මතකද?
◻ “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” කියන්නේ කවුද? එමෙන්ම දෙවි ඔවුන්ව ක්‍රිස්තුස් මගින් සභාවට සපයා ඇත්තේ මන්ද?
◻ රැළ යළි සකස් කිරීමේ වගකීම වැඩිමහල්ලන් ඉටු කරන්නේ කොහොමද?
◻ තම සෙසු ඇදහිලිවන්තයන්ව ගොඩනැඟීමට වැඩිමහල්ලන්ට කළ හැකි වන්නේ කුමක්ද?
◻ වැඩිමහල්ලන්ට සභාවේ සමඟිය ආරක්ෂා කරගත හැක්කේ කොහොමද?
[10වන පිටුවේ පින්තූරය]
කනස්සල්ලට පත්ව සිටින අයව දිරිමත් කිරීමට සංවේදනය වැඩිමහල්ලන්ට උපකාර කරයි
[10වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලන් අතරේ ඇති සමඟිය, සභාව තුළ සමඟිය වර්ධනය කරවයි