‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ව’ අගය කිරීම
“නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, . . . තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන [සාමාන්‍යයට වඩා වැඩි සැලකිල්ලක් දක්වන, NW] ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමු.”—1 තෙසලෝනික 5:12, 13.
1. ක්‍රියා 20:35ට අනුව, දීමේ ඇති බලය කුමක්ද? නිදසුන් කොට දක්වන්න.
“ගැනීමට වඩා දීමේ වැඩි සතුටක් ඇත.” (ක්‍රියා 20:35, NW) යේසුස්ගේ මෙම වචනවල ඇති සත්‍යතාව හැඟුණු අවසාන වතාව ඔබට මතකද? ඔබ බොහෝ සෙයින් ආදරය කරන කෙනෙකුට තෑග්ගක් දුන් අවස්ථාවේදී ඔබට සමහරවිට එසේ හැඟෙන්න ඇති. එම තෑග්ග ඔබ පරෙස්සමින් තෝරා බැලුවා. මන්දයත් ඔබ ආදරය කරන තැනැත්තා ඒ දෙය සදහටම ස්නේහයෙන් රැකබලා ගන්නවා දකින්නයි ඔබ කැමති. එවිට ඔබ ආදරය කරන තැනැත්තාගේ මුහුණෙන් දිස් වූ ප්‍රීතිය! ආහ්! ඔබ හදේ ඇති වූ හැඟීම් මොනතරම්ද! නිසි ලෙස පෙලඹුණොතින්, දීම ප්‍රේමයේ ප්‍රකාශයක් වන අතර, ප්‍රේමය ප්‍රකාශ කිරීම තුළ සතුට ඇති කිරීමේ බලයක් ගැබ්ව ඇත.
2, 3. (අ) කිසිවෙක් යෙහෝවා තරම් සතුටින් නැහැ කියා පැවසිය හැක්කේ මන්ද? එමෙන්ම “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” නිසා ඔහුගේ හදවත ප්‍රීතියෙන් ඉපිල යෑමට සලස්වන්නේ කෙසේද? (ආ) දෙවිගෙන් වූ තෑග්ගකට කුමක් කිරීමටද අපට උවමනා නොවන්නේ?
2 එසේ නම් ‘සියලු යහපත් දීමනා’ දෙන්නා වන යෙහෝවා තරම් සතුටින් සිටින්නේ කවුද? (යාකොබ් 1:17; 1 තිමෝති 1:11) ඔහු දෙන සෑම ත්‍යාගයක්ම ප්‍රේමයෙන් පෙලඹුණු ඒවා වෙයි. (1 යොහන් 4:8) දෙවි සභාවට, යේසුස් ක්‍රිස්තුස් මගින් දී ඇති ත්‍යාගය වන “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. (එපීස 4:8) රැළ බලාගැනීමට දෙවි වැඩිමහල්ලන්ව සැපයීම ගත් කල, එය තම සෙනඟ වෙනුවෙන් දෙවි ගැඹුරින් පෙන්වා ඇති ප්‍රේමයේ ප්‍රකාශයකි. මෙම පුරුෂයන්ව පරෙස්සමින් තෝරාගන්නා අතර, ඒ අය ශුද්ධ ලියවිලිමය සුදුසුකම්වලට අනුව සිටිය යුතුයි. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) ‘රැළට අනුකම්පාවෙන්’ සැලකිය යුතු බව ඔවුන් දනියි. එවිට, එවන් ප්‍රේමනීය එඬේරුන් සඳහා ස්තුතිපූර්වක වීමට බැටළුවන්ට හේතුවක් ලබා දෙයි. (ක්‍රියා 20:29; ගීතාවලිය 100:3) තම බැටළුවන්ගේ හදවත් එවන් ස්තුතිවන්තභාවයකින් පිරී තිබෙනවාය කියා යෙහෝවා දකින විට, ඔහුගේ හදවතද ඇත්තෙන්ම ප්‍රීතියෙන් ඉපිල යනවා නියතයි!—හිතෝපදේශ 27:11.
3 දෙවිගෙන් ලද තෑග්ගක වටිනාකම නොතකාහැරීමට අපගෙන් කවරෙකුටවත් වුවමනා වන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔහු දෙන ත්‍යාගයක් අගය නොකර සිටීමට අපට වුවමනා වන්නේද නැහැ. එහෙයින් ප්‍රශ්න දෙකක් පැනනඟියි: වැඩිමහල්ලන් තමන් සභාවේ දරන වගකීම කෙසේ සැලකිය යුතුද? ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ව’ තමන් අගය කරන බව සභාවේ සෙස්සන්ට පෙන්නුම් කළ හැක්කේ කෙසේද?
‘අපි හවුල් වැඩකරන්නෝ වන්නෙමු’
4, 5. (අ) පාවුල් සභාව සමාන කරන්නේ කුමකටද? තවද මෙය උචිත උපහැරණයක් වන්නේ මන්ද? (ආ) එකිනෙකා දෙස බැලිය යුතු හා එකිනෙකාව සැලකිය යුතු අන්දම සම්බන්ධයෙන් පාවුල්ගේ උපහැරණය අපට පෙන්නුම් කරන්නේ කුමක්ද?
4 ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ට’ සභාවේ යම් අධිකාරියක් යෙහෝවා විශ්වාසයෙන් භාර දී ඇත. නමුත් වැඩිමහල්ලන්ට එම අධිකාරිය අයථා ලෙස පාවිච්චි කිරීමට වුවමනා නැති බව අප දන්නවා; එනමුත් අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන්, එසේ කිරීම එතරම්ම අපහසු නොවන බවත් ඔවුන් දන්නා කාරණයකි. එසේ නම්, රැළට සාපේක්ෂව ඔවුන් තමන්වම සැලකිය යුත්තේ කොහොමද? ප්‍රේරිත පාවුල් විසින් යොදාගත් උපහැරණය අපි සලකා බලමු. “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සපයා ඇත්තේ මන්ද යන්න සාකච්ඡා කිරීමෙන් පසු, පාවුල් මෙසේ ලීවා: “ප්‍රේමයෙන් යුක්තව . . . හිසව සිටින [ක්‍රිස්තුස්] උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිස . . . [ඔහු] මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප්‍රමාණයේ ක්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනයවන ලෙස ශරීරය වැඩෙන්නේය.” (එපීස 4:15, 16) ඉතින් පාවුල් වැඩිමහල්ලන් හා වෙනත් සාමාජිකයන් ඇතුළු සභාව ශරීරයකට සමාන කරයි. මෙය උචිත උපහැරණයක් වන්නේ මන්ද?
5 මනුෂ්‍ය ශරීරය විවිධ සාමාජිකයන්ගෙන් සෑදී තිබුණත්, එයට ඇත්තේ එක හිසක් පමණයි. කොහොම වුණත්, සිරුරේ කිසිම අවයවයක්, එනම් එක මාංශ පේශියක්වත්, එක ස්නායුවක්වත්, එක් රුධිරවාහිනියක්වත්, වැදගැම්මකට නැති ඒවා නොවෙයි. සෑම අවයවයක්ම වැදගත් වන අතර, මුළු සිරුරේම යහපත් සෞඛ්‍යයටත් අලංකාරයටත් ඒවා එක සේ දායක වෙයි. එයාකාරයෙන්ම, සභාවද විවිධ සාමාජිකයන්ගෙන් සැදී තිබෙනවා. නමුත් සෑම සාමාජිකයෙක්ම, එනම් ඔවුන් යෞවන හෝ මහලු වේවා, ශක්තිමත් හෝ දුර්වල වේවා, සභාවේ මුළු ආත්මික සෞඛ්‍යයට හා අලංකාරයට ඔවුන් කදිම අයුරින් දායක විය හැකියි. (1 කොරින්ති 12:14-26) තමන්ව ගණන් නොගැනීමට තරම් තමන් වටින්නේ නැතැයි කියා හැඟීමට කාටවත් අවශ්‍යතාවක් නැහැ. එහි අනික් අන්තය ගත් කල, කිසිවෙකු ඉතා උසස් හැඟීමක් ආරූඪ කරගත යුතුද නැහැ. මන්දයත් අප සියලුමදෙනා එනම්, එඬේරුන් හා බැටළුවන් යන දෙපිරිසම ශරීරයේ කොටස් වන අතර, ඇත්තේ එක හිසක් වන ක්‍රිස්තුස් පමණි. මෙසේ පාවුල් එකිනෙකා කෙරෙහි පෙන්විය යුතු ප්‍රේමයේ, සැලකිල්ලේ හා ගෞරවයේ හැඟීම්බර පින්තූරයක් ඇඳ දක්වයි. මෙය වටහාගැනීම, සභාවේ තමන්ට ඇති වගකීම සම්බන්ධයෙන් නිහතමානි, සමබර ආකල්පයක් වර්ධනය කරගැනීමට වැඩිමහල්ලන්ට උපකාර කරයි.
6. ප්‍රේරිතමය අධිකාරිය තිබුණත්, පාවුල් නිහතමානි ආකල්පයක් පෙන්නුම් කළේ කොහොමද?
6 වෙනත් සෙසු නමස්කාරකයන්ගේ ජීවිත හෝ ඇදහිල්ල පාලනය කිරීමට “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” උත්සාහ කරන්නේ නැහැ. පාවුල්ට ප්‍රේරිතයෙකු වශයෙන් අධිකාරිය තිබුණත්, ඔහු කොරින්තිවරුන්ට මෙසේ නිහතමානිව ලීවා: “නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව [ප්‍රීතියට දායක වන හවුල් වැඩකරන්නෝ වන්නෙමු, NW]. මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කරණකොටගෙනය.” (2 කොරින්ති 1:24) තම සහෝදරයන්ගේ ඇදහිල්ල හෝ ජීවිත පාලනය කිරීමට පාවුල් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇත්තෙන්ම, එසේ කිරීමේ අවශ්‍යතාවක් ඔහු කොහෙත්ම දුටුවේ නැහැ. මන්දයත් ඔහු පෙන්නුම් කළ ආකාරයට, ඔවුන්ට හරි දේ කිරීමට වුවමනා වී තිබූ නිසා, ඒ අය ඒ වන විටත්, යෙහෝවාගේ සංවිධානයේ ඇදහිලිවන්ත ස්ත්‍රී පුරුෂයන් වී තිබූ බවට ඔහු තම විශ්වාසය පළ කළා. එහෙයින්, තමන් ගැනත් තම සංචාරක සහකරුවා වන තිමෝති ගැනත් පවසමින් පාවුල් ඇත්තටම කියමින් සිටියේ, ‘දෙවිට ප්‍රීතියෙන් යුතුව ඔබ සමඟ සේවය කිරීම අපේ වගකීම’ කියායි. (2 කොරින්ති 1:1) කොතරම් නිහතමානි ස්ප්රීතුවක්ද!
7. සභාවේ තමන්ට ඇති වගකීම සම්බන්ධයෙන් නිහතමානි වැඩිමහල්ලන්ට වැටහෙන්නේ මොනවාද? එමෙන්ම සෙසු හවුල් වැඩකරන්නන් සම්බන්ධයෙන් ඔවුන්ට ඇති නිසැකකම කුමක්ද?
7 අද සිටින ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ටද’ ඒ හා සමාන වගකීමක් තිබෙනවා. ඔවුන් ‘අපේ ප්‍රීතියට ආධාරකයෝ’ වෙයි. තවද, වෙනත් අයට දෙවි ඉදිරියෙහි කළ හැකි ප්‍රමාණය කුමක්ද කියා නිශ්චය කිරීමට තමන්ට අයිතියක් නැති බව නිහතමානි වැඩිමහල්ලන් තේරුම්ගනියි. සේවය පුළුල් කිරීමට හෝ වැඩිදියුණු කිරීමට ඔවුන් වෙනත් අයව දිරිමත් කළද, දෙවිට කරන සේවය නික්මිය යුත්තේ කැමැත්තෙන් යුතු හෘදයකිනි. (2 කොරින්ති 9:7 සසඳන්න.) තමන්ගේ සෙසු වැඩ කරන්නන් ප්‍රීතියෙන් සිටී නම්, ඔවුන්ට හැකි සියල්ල කරනු ඇති බව ඔවුන්ට නිසැකයි. එහෙයින් තම සහෝදරයන්ට ‘යෙහෝවාට ප්‍රීතියෙන් සේවය කිරීමට’ උපකාර කිරීම, ඔවුන්ගේ හෘදයාංගම ආශාවයි.—ගීතාවලිය 100:2, NW.
ප්‍රීතියෙන් යුතුව සේවය කිරීමට සියල්ලන්ට උපකාර කිරීම
8. යෙහෝවාට ප්‍රීතියෙන් සේවය කිරීම සඳහා තම සහෝදරයන්ට උපකාර කිරීමේදී, වැඩිමහල්ලන්ට එය කළ හැකි සමහරක් ක්‍රම මොනවාද?
8 වැඩිමහල්ලෙනි, ප්‍රීතියෙන් යුතුව සේවය කිරීමට ඔබේ සහෝදරයන්ට ඔබට උපකාර කළ හැක්කේ කොහොමද? ආදර්ශයෙන් දිරිගැන්වීමට ඔබට හැකියි. (1 පේතෘස් 5:3) සේවය සඳහා ඇති ඔබේ ජ්වලිතයත් ප්‍රීතියත් පෙන්වන්න. එමගින් ඔබේ ආදර්ශය අනුකරණය කිරීමට වෙනත් අයද පෙලඹිය හැකියි. වෙනත් අයගේ පූර්ණ උත්සාහයන් ප්‍රශංසාවට ලක් කරන්න. (එපීස 4:29) උණුසුම් හා අව්‍යාජ ප්‍රශංසාවක් දීමෙන්, තමන්ගෙන් ප්‍රයෝජනයක් තිබෙන බවත් තමන්ව අවශ්‍යය යන හැඟීමත් වෙනත් අයට ලබා දෙයි. දෙවිට සේවය කිරීමේදී, තමන්ගේ උපරිමය කිරීමට කැමති වන්න එය ඔවුන්ව දිරිමත් කරයි. නුවමනා සැසඳීම් කිරීමෙන් වළකින්න. (ගලාති 6:4) එවැනි සන්සන්දනය කිරීම්, වැඩිදියුණු වීමට වෙනත් අයව පොලඹවනවා වෙනුවට ඒ අයව අධෛර්යයට පත් කරයි. ඊට අමතරව, යෙහෝවාගේ බැටළුවන්, වෙනස් තත්වයන් හා හැකියාවන්ගෙන් යුත් පුද්ගලයන් වෙයි. පාවුල් මෙන්, ඔබේ සහෝදරයන් සම්බන්ධයෙන් විශ්වාසය පළ කරන්න. ප්‍රේමය ‘සියල්ල විශ්වාස කරයි.’ එනිසා, අපේ සහෝදරයන්ද දෙවිට ප්‍රේම කරන බවත් ඔහුව සතුටු කිරීමට ඔවුන්ට වුවමනා බවත් විශ්වාස කිරීම අපට යහපතකි. (1 කොරින්ති 13:7) ‘වෙනත් අයට ගෞරවය පෙන්වීමේදී,’ ඔවුන් තුළ තිබෙන හොඳම සාරය ඔබ එළියට ගනියි. (රෝම 12:10) බැටළුවන්ව දිරිමත් කරන විට හා ප්‍රබෝධවත් හැඟීමක් ඔවුන්ට ලබා දෙන විට, දෙවිට සේවය කිරීමට වැඩිදෙනෙක් ඔවුන්ට හැකි සෑම දෙයක්ම කරනු ඇති බවටත්, ඔවුන් සේවයේ ප්‍රීතිය සොයාගනු ඇති බවටත් නිසැක වන්න.—මතෙව් 11:28-30.
9. සෑම වැඩිමහල්ලෙකුටම ප්‍රීතියෙන් යුතුව සේවය කිරීම සඳහා සෙසු වැඩිමහල්ලන් ගැන කුමන ආකල්පයක් වර්ධනය කරගැනීම සුදුසු වනවාද?
9 ‘හවුල් වැඩකරුවෙක්’ හැටියට නිහතමානීව ඔබව සැලකීම, ප්‍රීතියෙන් යුතුව සේවය කිරීමටත්, සෙසු වැඩිමහල්ලන්ගේ අද්විතීය වූ කුසලතා අගය කිරීමටත් ඔබට උපකාර වනු ඇති. සෑම වැඩිමහල්ලෙකුටම තමන්ටම ආවේණික වූ කුසලතා හා හැකියාවන් ඇති අතර, එය ඔහු සභාවේ ප්‍රයෝජනය පිණිස යොදාගනියි. (1 පේතෘස් 4:10) ඉගැන්වීම සම්බන්ධයෙන් යමෙකුට හොඳ හැකියාවක් තිබෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඵලදායී සංවිධායකයෙක් හැටියට හැකියාවක් තිබෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ උණුසුම්බව හා දයානුකම්පාව නිසා ඔහු වෙතට පහසුවෙන්ම එළඹිය හැකි වන්න පුළුවන්. යථාර්ථය වන්නේ, කොයිම වැඩිමහල්ලෙකුටවත් සෑම කුසලතාවක්ම එකම මට්ටමකින් නොතිබීමයි. යම් කුසලතාවක්, උදාහරණයක් වශයෙන් ඉගැන්වීමේ කුසලතාව තිබූ පමණින් ඔහුව වෙනත් කෙනෙකුට වඩා උසස් කරනවාද? කොහෙත්ම නැහැ! (1 කොරින්ති 4:7) අනික් අතට, වෙනත් කෙනෙකුට ඇති කුසලතාව ගැන ඊර්ෂ්‍යා වීමට හෝ වෙනත් වැඩිමහල්ලෙකුගේ හැකියාව නිසා ඔහුට වෙනත් අයගෙන් ප්‍රශංසාව ලැබෙනවා නම් තමන් නොවටිනවාය යන හැඟීම ඇති කරගැනීමටද අවශ්‍යතාවක් නැහැ. යෙහෝවාට පෙනෙන කුසලතාවන් ඔබ තුළ තිබෙන බව මතක තබාගන්න. තවද ඒ කුසලතා වර්ධනය කරගැනීමට හා ඔබේ සහෝදරයන්ගේ ප්‍රයෝජනය පිණිස ඒවා යොදාගැනීමට ඔබට උපකාර කිරීමට යෙහෝවාට හැකියි.—පිලිප්පි 4:13.
“කීකරුව යටත්වෙන්න”
10. ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ට’ අප අගය පෙන්වීම යෝග්‍ය වන්නේ මන්ද?
10 අප යම් තෑග්ගක් ලබන විට, අගය පෙන්වීම සුදුසු දෙයක්. “ස්තුතිවන්තවද සිටින්න” කියා කොලොස්සි 3:15 පවසයි. යෙහෝවා අපට දී ඇති අනර්ඝ තෑග්ග වන “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” ගැන කුමක් කිව හැකිද? මුලින්ම අප ත්‍යාගශීලීව තෑගි දෙන්නා වන, යෙහෝවාට ස්තුතිපූර්වක වෙමු. නමුත් “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” ගැන කුමක් කිව හැකිද? ඔවුන්ව අප අගය කරන බව පෙන්විය හැක්කේ කොහොමද?
11. (අ) “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සඳහා අපේ අගය නිරූපණය කළ හැක්කේ කොහොමද? (ආ) “කීකරු වෙන්න” හා “යටත්වෙන්න” යන ප්‍රකාශයන්වල ඇති වැදගත්කම කුමක්ද?
11 ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්හට’ අපේ අගය නිරූපණය කළ හැකි ක්‍රමයක් වන්නේ, බයිබලය මත පදනම් වූ ඔවුන්ගේ උපදෙස් හා තීරණ පිළිපැදීමට යුහුසුලු වීමෙන්ය. බයිබලය අපට මෙසේ අවවාද කරයි: “නුඹලාගේ ප්‍රධානියෝ [පෙරමුණ ගන්නන්, NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව [කීකරු වෙන්න, NW] යටත්වෙන්න.” (හෙබ්‍රෙව් 13:17) පෙරමුණ ගන්නන්ට අප “කීකරු වෙන්න” අවශ්‍ය වනවා පමණක් නොව ‘යටත් වෙන්නද’ අවශ්‍යය කියා මෙහි පෙන්වන බව සැලකිල්ලට ගන්න. ‘යටත් වීම’ සඳහා ඇති ග්‍රීක් වචනයේ පදගතාර්ථය වන්නේ, “නැමී යටත් වන්න” යන්නයි. “කීකරු වෙන්න” හා “යටත්වෙන්න” යන යෙදුම් සම්බන්ධයෙන් බයිබල් විශාරද ආර්. සී. එච්. ලෙන්ස්කි මෙසේ අදහස් දක්වයි: “තමන්ට කිරීමට කියා ඉල්ලා ඇති දෙයෙහි නිවැරදිබවත්, ප්රයෝජනවත්බවත් ඒත්තුගෙන ඊට එකඟ වන විට කෙනෙක් ඊට කීකරු වෙයි; කෙනෙකු නැමෙන්නේ . . . ඔහුට වෙනස් මතයක් ඇති විටයි.” පෙරමුණ ගන්නා අයව තේරුම්ගෙන ඒ අය සමඟ එකඟ වන විට, කීකරු වීම නිරායාසයෙන්ම ආ හැකියි. නමුත් යම් තීරණයක් පිටුපස ඇති හේතුව අප දන්නේ නැතිනම් තත්වය කුමක්ද?
12. යම් තීරණයක් පිටුපස ඇති හේතුව අප නියම අන්දමින් නොදන්නවා වුවත්, අප යටත් විය යුත්තේ හෝ නැමිය යුත්තේ ඇයි?
12 මෙහිදී තමයි අප යටත් වීම නැතිනම් නැමීම අවශ්‍ය වන්නේ. ඇයි? ආත්මික වශයෙන් සුදුසුකම් ලැබ සිටින මේ පුරුෂයන්ට අවශ්‍ය වන්නේ අපේම යහපතට යමක් කිරීම බව අප විශ්වාස කළ යුතුයි. මන්දයත්, තමන්ට බලාගැනීමට කියා පවරා ඇති බැටළුවන් සම්බන්ධයෙන් තමන් යෙහෝවාට ගණන් දිය යුතු බව ඔවුන් වටහාගෙන සිටියි. (යාකොබ් 3:1) මීට අමතරව, දැනුවත් තීරණයක් ගැනීමට ඔවුන්ව මඟ පෑදූ සියලුම රහස්‍යම කාරණා අප දන්නේ නැති බවත් අප මතක තබාගැනීම හොඳ දෙයකි.—හිතෝපදේශ 18:13.
13. වැඩිමහල්ලන්ගේ විනිශ්චමය තීරණ සම්බන්ධයෙන් ගත් කල, යටත් වීමට අපට උපකාර කළ හැක්කේ කුමක්ද?
13 විනිශ්චමය කාරණා සම්බන්ධයෙන් ගත් කල, යටත් වීම ගැන කුමක් කිව හැකිද? අප ප්‍රේම කරන යමෙකුව සමහරවිට, ඥාතියෙකුව හෝ කිට්ටු මිතුරෙකුව සභාවෙන් කපාහැරීම වැනි තත්වයකදී මෙය පහසු දෙයක් නොවිය හැකියි. මෙහිදීත්, ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ගේ’ විනිශ්චයට අප ඉඩ දිය යුතුයි. විෂය මූලිකව කටයුතු කිරීමට ඔවුන් වඩා හොඳ තත්වයක සිටින අතර, ඔවුන් කාරණා සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයකින් යුතුව සිටිය හැකියි. මෙවැනි කාරණා සම්බන්ධයෙන් තීරණගැනීමේදී මෙම සහෝදරයන් සෑහෙන වෙහෙස මහන්සියක් දරනවා; මන්දයත් ‘යෙහෝවා උදෙසා විනිශ්චය කරනවා’ කියන්නේ බැරෑරුම් වගකීමක්. (2 ලේකම් 19:6) දයාන්විත වීමට ඔවුන් හැකි සෑම ප්රයත්නයක්ම දරන්නේ දෙවි “කමාවෙන්ට සූදානම්” බව ඔවුන් දන්නා නිසයි. (ගීතාවලිය 86:5) නමුත් ඔවුන් සභාව පවිත්‍රව තබාගත යුතු අතර, ඒ සඳහා පසුතැවිලි නොවන පව්කාරයන්ව සභා ආශ්රයෙන් කපාහැරිය යුතු බව බයිබලය පෙන්නුම් කරයි. (1 කොරින්ති 5:11-13) බොහෝ අවස්ථාවලදී, වැරදි කරන්නාම තීරණය පිළිගනියි. තවද, ඔහුට තම නියම සිහියට පැමිණීමට අවශ්‍යව තිබුණේ ඒ උපදෙස්ම විය හැකියි. ඔහුට ප්‍රේම කරන්නන් වශයෙන් අප, තීරණයට යටත් වනවා නම්, ලබා දුන් එම හික්මවීමෙන් ප්‍රයෝජන ලැබීමට අප ඔහුට උපකාර කරනවා විය හැකියි.—හෙබ්‍රෙව් 12:11.
‘සාමාන්‍යයට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්න’
14, 15. (අ) 1 තෙසලෝනික 5:12, 13ට අනුව, වැඩිමහල්ලන් අපේ සැලකිල්ල ලැබීමට වටින්නේ ඇයි? (ආ) වැඩිමහල්ලන් ‘අප අතරේ වෙහෙස වී කටයුතු කරනවාය’ කියා කිව හැක්කේ ඇයි?
14 ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ට’ සැලකිල්ල දැක්වීමෙන් අපට ඔවුන් කෙරෙහි අගය පෙන්නුම් කළ හැකියි. තෙසලෝනික සභාවට ලියද්දී, පාවුල් එහි සාමාජිකයන්ට මෙසේ උනන්දු කළා: “සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, [ස්වාමීන්] තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ [මුලසුන දරන්නාවූ, NW], නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන [සාමාන්‍යයට වඩා වැඩි සැලකිල්ලක් දක්වන, NW] ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමු.” (1 තෙසලෝනික 5:12, 13) ‘වෙහෙස වීම.’ ඔබ වෙනුවෙන් පරාර්ථකාමීව කැප වී වැඩ කරන වැඩිමහල්ලන්ව එම යෙදුමෙන් මැනවින් විස්තර වන්නේ නැද්ද? මෙම සහෝදරයන් ගෙන යන මහත් බර ගැන මඳකට කල්පනා කර බලන්න.
15 මේ අය බොහෝ විට, තම පවුලේ අවශ්‍යතා සැපයීම සඳහා ලෞකික තැන්වල රැකියා කරන පවුල්කාරයන්ය. (1 තිමෝති 5:8) වැඩිමහල්ලාට දරුවන් සිටී නම්, මේ තරුණ ළමුන්ට කාලය හා අවධානය තම පියාගෙන් අවශ්‍ය වෙයි. ඔවුන්ගේ පාසැල් වැඩකටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට උපකාර කරන්න ඔහුට සිදු විය හැකි අතර, ඔවුන්ගේ යෞවන ශක්තිය කදිම විනෝදාස්වාදයක යෙදවීම සඳහා යම් කාලයක් මිඩංගු කිරීමට ඔහුට සිදු විය හැක. (දේශනාකාරයා 3:1, 4) වඩා වැදගත් ලෙස, ඔහු ඔහුගේ පවුලේ ආත්මික අවශ්‍යතා සැලකිල්ලට ගන්නා අතර, නිතිපතා පවුලේ පාඩම පවත්වමින්, ඔවුන් සමඟ ක්ෂේත්‍ර සේවයේ වැඩ කරමින්, ඔවුන්ව රැස්වීම්වලට ගෙන යෑම ගැන සලකා බැලීම අවශ්‍යයි. (ද්විතීය කථාව 6:4-7; එපීස 6:4) අප බොහෝදෙනාට පොදු වූ මෙම වගකීම්වලට අමතරව, වැඩිමහල්ලන්ට වෙනත් වගකීම්ද තිබෙන බව අමතක කරන්න එපා: රැස්වීමේ කොටස්වලට සූදානම් වීම, එඬේර බැහැදැකීම් කිරීම, සභාවේ ආත්මික ශුභසාධනය වෙනුවෙන් වැඩ කිරීම හා අවශ්‍ය වන විටදී, විනිශ්චමය කාරණා හැසිරවීම යනාදි වගකීම් මීට ඇතුළත්. සමහරු මීට අමතරව, චාරිකා එක්රැස්වීම්, දිස්ත්‍රික් සමුළු, රාජ්‍ය ශාලා ඉදි කිරීම හා රෝහල් සබඳතා කමිටු හා සම්බන්ධ වගකීම්ද උසුලයි. ඇත්තෙන්ම, මෙම සහෝදරයන් ‘වෙහෙස වී වැඩ කරයි.’
16. වැඩිමහල්ලන්ට සැලකිල්ල පෙන්නුම් කළ හැකි ක්‍රම විස්තර කරන්න.
16 අපට මේ අය සඳහා සැලකිල්ලක් පෙන්විය හැක්කේ කොහොමද? බයිබල් හිතෝපදේශයක් මෙසේ පවසයි: “කලට සුදුසු වචනය කොපමණ හොඳද!” (හිතෝපදේශ 15:23; 25:11) එහෙයින් අවංක අගය කිරීමේ හා දිරිගැන්වීමේ වචනවලින්, ඔවුන් වෙහෙස මහන්සි වී කරන වැඩ අප අගය කරන බව පෙන්විය හැකියි. එමෙන්ම, අප ඔවුන්ගෙන් අපේක්ෂා කරන දෙය සම්බන්ධයෙන්ද සාධාරණ විය යුතුයි. අනික් අතට, උපකාරය සඳහා අප ඔවුන් වෙත භිය සැකයකින් තොරව එළඹිය යුතුයි. ‘අපේ සිත තුළ තද වේදනා සහිත’ අවස්ථා තිබිය හැකි අතර, දෙවිගේ වචනය “උගන්වන්ට සමර්ථවූ” අයගෙන්, ශුද්ධ ලියවිලිමය දිරිගැන්වීම, මඟ පෙන්වීම හා උපදෙස් අවශ්‍ය වන අවස්ථාද තිබිය හැකියි. (ගීතාවලිය 55:4; 1 තිමෝති 3:2) ඒ අතරවාරයේම, අප වෙනුවෙන් වැඩිමහල්ලෙකුට දිය හැකි කාලයේ සීමාවක් තිබෙන බවද අප වටහාගත යුතුයි. මන්දයත් තමන්ගේ පවුලේ අයගේ සහ සභාවේ වෙනත් අයගේ අවශ්‍යතා නොසලකාහැරීමට ඔහුට නොහැකියි. “අනුකම්පාව” තිබීම නිසා මෙම වෙහෙස මහන්සි වී වැඩ කරන අය මත අසාධාරණ ඉල්ලීම් කිරීමට අපට වුවමනා වන්නේ නැහැ. (1 පේතෘස් 3:8) ඒ වෙනුවට, අප වෙනුවෙන් ඔවුන්ට සාධාරණ ලෙස දිය හැකි මොන යම් කාලයක් හෝ අවධානයක් අපි අගය කරමු.—පිලිප්පි 4:5.
17, 18. වැඩිමහල්ලන් වන පුරුෂයන්ගේ භාර්යාවන් කුමන පරිත්‍යාගයන් සිදු කර ඇද්ද? මෙම ඇදහිලිවන්ත සහෝදරියන්ව අගය කරනවාය කියා පෙන්වීමට අපට හැක්කේ කොහොමද?
17 වැඩිමහල්ලන්ගේ භාර්යාවන් ගැන කුමක් පැවසිය හැකිද? ඔවුන්ද අපේ සැලකිල්ල ලැබීමට වටින්නේ නැද්ද? මන්දයත්, ඔවුන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සභාවන් සමඟ බෙදාගනිමින් සිටියි. මෙයින් අදහස් වන්නේ ඔවුන්ගේ පැත්තෙන් යම් පරිත්‍යාගයන් සිදු කළ යුතු බවයි. විටින් විට, වැඩිමහල්ලන් රෑ බෝ වන තුරු දීර්ඝ වේලාවන්, සභාවේ වැඩ කටයුතුවලට කැප කළ යුතු වන අතර, එසේ නොවූවා නම් ඔවුන් ඒ කාලය තම පවුල් සමඟ ගත කිරීමට තිබුණා විය හැකියි. සභාවන් බොහොමයක, ඇදහිලිවන්ත ක්‍රිස්තියානි ස්ත්‍රීන් කැමැත්තෙන්ම පරිත්‍යාගයන් කරන්නේ තම ස්වාමිපුරුෂයන්ට යෙහෝවාගේ බැටළුවන් කෙරෙහි සැලකිල්ලක් දැක්වීමට හැකි වන පිණිසයි.—2 කොරින්ති 12:15 සසඳන්න.
18 මෙම ඇදහිලිවන්ත ක්‍රිස්තියානි සහෝදරියන්ව අප අගය කොට සලකනවා කියා අපට පෙන්විය හැක්කේ කොහොමද? අසාධාරණ ලෙස ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගෙන් කාලය ඉල්ලා නොසිටීම නිසැකවම එක් මඟකි. නමුත් අගයෙන් යුතු සරල වචන කිහිපයක ඇති බලය අප කිසිදාක අමතක නොකරමු. හිතෝපදේශ 16:24 මෙසේ පවසනවා: “ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.” මෙම අද්දැකීම සලකා බලන්න. එක් ක්‍රිස්තියානි රැස්වීමකට පසු, නහඹර වියේ සිටින තම පුතා ගැන කතා කිරීමට එක් විවාහක යුවළක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වෙත ගියා. වැඩිමහල්ලා යුවළට කතා කරන තුරු, ඔහුගේ භාර්යාව ඉවසිලිවන්තව බලා සිටියා. අනතුරුව, මව එම වැඩිමහල්ලාගේ භාර්යාව වෙතට ගොස් මෙසේ පැවසුවා: “අපේ පවුල වෙනුවෙන් ඔයාගේ ස්වාමිපුරුෂයා දුන්න කාලයට බොහොම ස්තූතියි.” එම සරල, එහෙත් සෞම්‍ය වචන ඇත්තෙන්ම එම වැඩිමහල්ලාගේ භාර්යාවගේ හෘදයට තදින් කාවැදුණා.
19. (අ) කණ්ඩායමක් වශයෙන් වැඩිමහල්ලන් විශ්වාසවන්තව ඉටු කරන්නේ කුමන අරමුණුද? (ආ) අප සියල්ලන්ම කිරීමට අධිෂ්ඨාන කරගත යුත්තේ කුමක්ද?
19 බැටළුවන්ව බලාගැනීමට වැඩිමහල්ලන්ව සපයා තිබීම ඇත්තෙන්ම යෙහෝවාගෙන් වූ ‘යහපත් දීමනාවක්.’ (යාකොබ් 1:17) මෙම මිනිසුන් සම්පූර්ණ අය නෙවෙයි. අප වගේම ඒ අය අතිනුත් වැරදි සිදු වෙනවා. (1 රාජාවලිය 8:46) එහෙත් කණ්ඩායමක් වශයෙන් ගත් කල, තමන් සඳහා වන යෙහෝවාගේ අරමුණ ලොව වටා සිටින වැඩිමහල්ලන් ඇදහිලිවන්තව ඉටු කරනවා. යළි සකස් කිරීම, ගොඩනැංවීම, සමඟිය රැකීම හා රැළ ආරක්ෂා කිරීම මීට ඇතුළත් වෙයි. වැඩිමහල්ලන් දිගටම යෙහෝවාගේ බැටළුවන්ව මෘදුව රැකබලා ගැනීමට අධිෂ්ඨාන කරගනීවා! එමගින් තම සහෝදරයන්ට තෑග්ගක් හෝ ආශීර්වාදයක් බවට ඔවුන් ඔප්පු වනු ඇත. එමෙන්ම කීකරු වීමෙන් හා යටත් වීමෙන්ද, ඔවුන් මහන්සි වී කරන වැඩ සඳහා සැලකිල්ලක් පෙන්වීමෙන්ද ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ට’ අගය පෙන්වීමට අපත් අධිෂ්ඨාන කරගනිමු. ‘දෙවිට සතුටින් සේවය කිරීමට ඔබට උපකාර කිරීම අපේ වගකීමයි’ කියා යෙහෝවාගේ බැටළුවන්ට කියන පුරුෂයන්ව සපයා තිබීම ගැන අප කොතරම් ස්තුති විය යුතුද!
ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?
◻ සභාව යෝග්‍ය ලෙස සිරුරකට සම කළ හැක්කේ ඇයි?
◻ යෙහෝවාට ප්‍රීතියෙන් යුතුව සේවය කිරීමට සහෝදරයන්ට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හැක්කේ කොහොමද?
◻ පෙරමුණ ගන්නා අයට අප කීකරු වනවා පමණක් නොව ඔවුන්ට අප යටත් විය යුත්තෙත් මන්ද?
◻ අපට වැඩිමහල්ලන් කෙරෙහි සැලකිල්ල පෙන්විය හැකි මාර්ග මොනවාද?
[16වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලන් වෙනත් අයගේ පූර්ණ උත්සාහයන් ප්‍රශංසාවට ලක් කරයි
[17වන පිටුවේ පින්තූරය]
සේවයේ තමන් පෙන්වන ජ්වලිත ආදර්ශය මගින් පවුල් සාමාජිකයන්ට හා වෙනත් අයට සතුටින් යුතු සේවයක් කිරීම සඳහා වැඩිමහල්ලන්ට උපකාර කළ හැකියි
[18වන පිටුවේ පින්තූර]
වෙහෙස මහන්සි වී වැඩ කරන අපේ වැඩිමහල්ලන්ව අප අගය කරනවා!