දෙවිට සේවය කිරීමට වූ මගේ පොරොන්දුව ඉටු කරමින්
ෆ්රාන්ස් ගුඩ්ලිකීස්ගේ කතාව
සීයකට වැඩිය හිටිය මගේ මිත්‍ර සොල්දාදුවන්ගෙන් බේරුණේ හතරදෙනෙක් විතරයි. මරණය අබියස මම දණින් වැටී, දෙවිට මෙසේ පොරොන්දු වුණා, ‘මම යුද්ධයෙන් බේරුණොත්, ඔබට හැමදාම සේවය කරනවා.’
මීට අවුරුදු 54කට ඉස්සෙල්ලා, 1945 අප්‍රියෙල්වලදී මම ජර්මානු හමුදාවේ සොල්දාදුවෙක්ව ඉන්න කොට එසේ පොරොන්දු වුණා. දෙවන ලෝක යුද්ධය අවසන් වීමට ටික කාලෙකට ඉස්සෙල්ලා, සෝවියට් හමුදාව පසුබැසීමකින් තොරව බර්ලින් කරා ඇදෙමින් සිටියා. බර්ලින්වලින් කිලෝමීටර් 65කට වඩා අඩු දුරක ඇති ඕඩර් නදිය සමීපයෙහි පිහිටි සීලෝ නගරය අසල අපේ භටයන්ව රඳවා තිබුණා. එහිදී අපි දිවා රෑ දෙකෙහිම කාලතුවක්කු විශාල ප්‍රමාණයක ප්‍රහාරවලට ලක් වූ අතර මගේ මිතුරන් හරියට මැස්සො වගේ මැරිලා වැටුණා.
මගේ ජීවිතයේ මුල් වතාවට මම අඬ අඬා දෙවිට යාච්ඤා කළේ එවිටයි. දේවභයැති මගේ අම්මා නිතර සඳහන් කළ බයිබල් පදයක් මට මතක් වුණා: “විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.” (ගීතාවලිය 50:15) එම අගල්වල මරණ බියෙන් පසු වෙද්දී මම ඉහත සඳහන් කළ ආකාරයට දෙවිට පොරොන්දු වුණා. පොරොන්දුව ඉටු කරන්න මට පුළුවන් වුණේ කොහොමද? එමෙන්ම මම ජර්මානු හමුදාවේ සාමාජිකයෙක් බවට පත් වුණේ කෙසේද?
ලිතුවේනියාවේ හැදී වැඩෙමින්
වර්ෂ 1918දී, Iවන ලෝක යුද්ධ සමයේදී, ලිතුවේනියාවට නිදහස ලැබුණු අතර එහි ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයක් පිහිටුවනු ලැබුවා. මම ඉපදුණේ 1925දී බෝල්ටික් මුහුද අසල මේමල් (ක්ලයිපිඩා) දිස්ත්‍රික්කයේයි. මම උපදින්න කලින් වසරේදී මෙම දිස්ත්‍රික්කය ලිතුවේනියාවට ඈඳාගෙන තිබුණා.
මගේ සහෝදරියන් පස්දෙනාට හා මට සතුටුදායක ළමා කාලයක් තිබුණා. කිට්ටු මිතුරෙක් වගේ තාත්තා නිතරම අපි එක්ක එකට දේවල් කළා. අපේ දෙමාපියන් එවැන්ජලිස්ත සභාවේ සාමාජිකයන්ව සිටි නමුත්, එහි දේවගැතියාගේ කුහකකම හේතුවෙන් අම්මාට කේන්ති ගිහින් තිබුණ නිසා ඔවුන් දේවමෙහෙයන්වලට ගියේ නැහැ. ඒත් ඇය දෙවිටත්, ඇය දැඩි ආශාවකින් කියෙවූ දේවවචනය වන බයිබලයටත් ඇලුම් කළා.
වර්ෂ 1939දී, අපි විසූ ලිතුවේනියාවේ කොටසක් ජර්මනිය විසින් අල්ලාගත්තා. ඉන්පසු, 1943 මුල්භාගයේදී, මාව ජර්මනියේ හමුදා සේවයට කැඳවලා තිබුණා. එක සටනකින් මට තුවාල වුණත්, තුවාල සුව වුණාට පස්සේ, මම නැවතත් නැඟෙනහිර පෙරමුණට ගියා. මේ වන විට යුද්ධයේ තත්වය වෙනස් වී තිබුණු අතර, සෝවියට් හමුදාව ඉදිරියෙහි ජර්මානුවන් පසුබසිමින් සිටියා. මුලදී විස්තර කළ පරිදි, මම අනූනමයෙන් බේරුණේ එතකොටයි.
මගේ පොරොන්දුව ඉටු කිරීම
යුද්ධ කාලයේදී, ලීප්ෂිග්වලින් ගිනිකොන දිශාවෙහි පිහිටි ජර්මනියේ ඕෂාට්ස්වල පදිංචි වීම සඳහා මගේ දෙමාපියන් එහි ගියා. යුද්ධයේ නිමාවෙන් පසු, ඔවුන්ව සොයාගැනීම අපහසු වුණා. නමුත් අවසානයේදී යළි එකතු වීමට ලැබීම අපට මොනතරම් ප්‍රීතියක් වුණාද! ඉන් වැඩි කලක් යෑමට මත්තෙන්, 1947 අප්‍රියෙල්වලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වන මාක්ස් ෂූබර් දුන් ප්‍රසිද්ධ කථාවකට අම්මා මාවත් එක්කගෙන ගියා. තමාට සැබෑ ආගම සම්බ වී ඇති බව අම්මා විශ්වාස කළ අතර, රැස්වීම් කීපයකට ගියාට පස්සේ, මමත් ඇය විශ්වාස කළ දේවල් විශ්වාස කරන්න පටන්ගත්තා.
ඉන් ටික කලකට පසුව, අම්මා ඉණිමඟකින් වැටී සිදු වූ තුවාල නිසා මාස කීපයක් දුක් විඳ මියගියා. ඇගේ මරණයට පෙර රෝහලේ සිටියදී, ඇය මට මෙසේ උණුසුම් ලෙස දිරිගැන්නුවා: “අඩු තරමින් මගේ එක දරුවෙකුටවත් දෙවි වෙතට යන මාර්ගය සොයාගන්න ලැබෙන්න කියා මම නිතර යාච්ඤා කළා. මගේ යාච්ඤාවලට පිළිතුරු ලැබිලා තිබෙන බව දැන් මට පේනවා; මට දුකක් නැතුව මැරෙන්න පුළුවන්.” අම්මා මළවුන්ගෙන් නැඟිටින මෙන්ම ඇගේ යාච්ඤා ඉටු වී ඇති බව ඇය දැනගන්න කාලය එන තෙක් මම බලා සිටින්නේ කොයිතරම් ආශාවකින්ද!—යොහන් 5:28.
සහෝදර ෂූබර්ගේ කතාවට සවන් දී මාස හතරක් ගෙවුණට පස්සේ, 1947 අගෝස්තු 8වෙනිදා යෙහෝවා දෙවිට මගේ කැපවීම සංකේතවත් කිරීමක් හැටියට මම ලීප්ෂිග්හි එක්රැස්වීමකදී බව්තීස්ම වුණා. කොහොමහරි, මම දෙවිට මගේ පොරොන්දුව ඉටු කිරීම සඳහා පියවර ගනිමින් සිටියා. වැඩි කල් නොගොස් මම පුරෝගාමියෙක් බවට පත් වුණා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයන්ව හඳුන්වන්නේ ඒ ආකාරයටයි. ඒ කාලයේදී පුරෝගාමීන් 400කට කිට්ටු සංඛ්‍යාවක් හිටියා. ඔවුන් ජීවත් වෙමින් සිටියේ පසු කාලෙක ජර්මානු ප්රජාතන්ත්රවාදී ජනරජය හෝ නැඟෙනහිර ජර්මනිය බවට පත් වූ ස්ථානයෙයි.
ඇදහිල්ලට මුලින් එල්ල වූ පරීක්ෂා
මම ජර්මනියේ සමාජවාදී එක්සත් පක්ෂයට (SED) බැඳෙනවා නම් රජයේ අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා කියා පවසමින්, ඕෂාට්ස්වල අසල්වැසියෙක් මා තුළ මාක්ස්වාදයට උනන්දුවක් ඇති කරන්න වෑයම් කළා. යේසු සාතන්ගේ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළා වගේම, මමත් එම ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළා.—මතෙව් 4:8-10.
වර්ෂ 1949 අප්‍රියෙල් මාසයේ දවසක පොලිස් භටයන් දෙන්නෙක් මගේ වැඩපොළට ඇවිත් ඔවුන්ට එකතු වෙන්න කියලා මට බල කළා. සෝවියට් ඔත්තු සේවය පිළිබඳ ප්‍රාදේශීය කාර්යාලයට මාව ගෙන ගිය අතර, මම බටහිරේ සිටින ධනපතීන්ට වැඩ කිරීම සම්බන්ධයෙන් එහිදී මට චෝදනා එල්ල වුණා. මට ගෙයින් ගෙට සේවයේ නිරත විය හැකි අතර, කවුරුහරි සෝවියට් සංගමයට හෝ SED එකට විරුද්ධව කතා කළොත් ඒ ගැන වාර්තා කිරීමෙන්, එහෙමත් නැත්නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන අය ගැන ඔවුන්ට වාර්තාවක් දීමෙන් මට මගේ නිර්දෝෂීභාවය ඔප්පු කළ හැකියයි ඔවුන් පැවසුවා. ඊට සහයෝගය දීමට මම අකමැති වූ විට මාව සිරකුටියක දැම්මා. පසුව, මාව හමුදා අධිකරණයක්යයි කිව හැකි තැනකට ගෙන ගියා. මගේ දඬුවම: සයිබීරියාවේ අවුරුදු 15ක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්!
මම සන්සුන්ව සිටි අතර එය නිලධාරීන්ගේ සිත්වල පෙලඹීමක් ඇති කළා. මගේ දඬුවම දිගටම පවතින්න යන නමුත් මම ඔවුන්ට සහයෝගය දක්වන්න කැමති වන තුරු සතියකට වරක් මම වාර්තා කරනවා නම් ප්‍රමාණවත් වනු ඇතැයි ඔවුන් මට පැවසුවා. වඩාත් මේරූ සාක්ෂිකරුවන්ගේ උපදෙස් ලබාගැනීමට කැමැත්තෙන් මම එවකට වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය පිහිටුවා තිබූ මැග්ඩබර්ග්වලට ගමන් කළා. කොහේ ගියත් මා ගැන ඇහැගහගෙන සිටි නිසා ගමන පහසු එකක් වුණේ නැහැ. මැග්ඩබර්ග්හි නීති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි අර්න්ස්ට් වව’ මට මෙසේ පැවසුවා: “සටන් කරන්න එවිට ඔබ ජයගනියි. ඇදහිල්ල පාවා දෙන්න, එවිට ඔබ පරාජය වෙයි. අපි වදක කඳවුරේදී ඉගෙනගත්තේ එයයි.”a දෙවිට සේවය කිරීමට මා වුණු පොරොන්දුව ඉටු කිරීමට එම අවවාදය මට උපකාරවත් වුණා.
තහනම හා යළි අත්අඩංගුවේ
වර්ෂ 1950 ජූලි මාසයේදී, මාව සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කිරීමට නිර්දේශ කළා. කොහොමනමුත්, අගෝස්තු 30වෙනිදා, පොලිසිය විසින් මැග්ඩබර්ග්හි අපේ නිවස වැටලූ අතර අපේ දේශනා වැඩය තහනම් කළා. එනිසා මගේ පැවරුම වෙනස් වුණා. පෝල් හර්ෂ්බර්ගට සහ මට සභා 50ක පමණ සහෝදරයන් එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. තහනම යටතේ තම දේවසේවය කරගෙන යෑමට සංවිධානය වීම සඳහා සහෝදරයන්ට උපකාර කරමින් හැම කෙනා සමඟම දවස් දෙකක් හෝ තුනක් ගත කළා. ඊළඟ මාසවලදී, මම හය වතාවක් පොලිසියට අහු නොවී බේරුණා!
අපිව රජයේ ආරක්ෂක සේවයක් වන ෂ්ටාසි පොලිසියට අල්ලා දීමට කෙනෙක් රහසින් සභාවකට ඇතුල් වී සිටියා. මේ නිසා, 1951 ජූලිවලදී, අවි අමෝරාගත් මිනිසුන් පස්දෙනෙක් පෝල්වයි, මාවයි පාරෙදී අත්අඩංගුවට ගත්තා. සිද්ධ වුණ දේ ගැන කල්පනා කරලා බලද්දී, අපි ප්‍රමාණවත් ලෙස යෙහෝවාගේ සංවිධානය මත රඳා සිටලා නැති බවක් අපි දැක්කා. කොයිම වෙලාවකවත් එකට ගමන් කරන්න එපා කියා වයසින් මුහුකුරා ගිය අපේ සහෝදරයන් අපට අවවාද කර තිබුණා. දැඩි ආත්ම විශ්වාසය අපේ නිදහස අහිමි වීමට මඟ පෑදුවා! එපමණක් නොව, අපව අත්අඩංගුවට ගත්තොත් අප කුමක්ද කියන්න යන්නේ කියලා අපි කලින් සාකච්ඡා කරලා තිබුණෙත් නැහැ.
මගේ සිර කුටියේ තනි වී සිටිය මම, මගේ සහෝදරයන්වත් මගේ ඇදහිල්ලවත් පාවා නොදෙන්න මට උපකාර කරන්න කියා කඳුළෙන් යුක්තව යෙහෝවාගෙන් අයැද සිටියා. මම නින්දට වැටුණහම, එක පාරටම මගේ මිත්‍ර පෝල්ගේ කටහඬ ඇසී අවදි වුණා. මගේ කුටියට උඩින් තිබුණ කාමරයේදී, ෂ්ටාසි පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියා. එය උණුසුම් රාත්‍රියක් වූ බැවින්, බැල්කනියේ දොර විවෘත කරලයි තිබුණේ. මට හැම දෙයක්ම වගේ යන්තමින් ඇහුණා. පසුව, මගෙන් ප්‍රශ්න කළ විට, මමත් ඒ උත්තරම දුන් නිසා නිලධාරීන් පුදුමයට පත් වුණා. “විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි” යන අම්මාගේ ප්‍රියතම බයිබල් පදය මගේ මතකයට නැඟුණ අතර මාව හුඟාක් දිරිගැන්වුණා.—ගීතාවලිය 50:15.
ප්‍රශ්න කළාට පස්සේ, නඩුව ඇසීමට පෙර පෝල් සහ මම හාල නගරයෙත්, පසුව මැග්ඩබර්ග්හිත් තිබූ ෂ්ටාසි බන්ධනාගාරයේ මාස පහක් ගත කළා. මැග්ඩබර්ග්හි සිටින අතරතුරේදී, මට ඒ වෙද්දී වසා තිබුණු අපේ ශාඛා කාර්යාල ගොඩනැඟිල්ල ඉඳහිට දකින්න ලැබුණා. බන්ධනාගාරයේ සිටිනවාට වඩා මට එහි වැඩ කරමින් ඉන්න තිබුණා නම් කියා මට හිතුණා! වර්ෂ 1952 පෙබරවාරිවලදී අපේ නඩු තීන්දුව නිවේදනය කළා: “බන්ධනාගාරයේ අවුරුදු 10ක් ගත කරන්න සිදු වෙනවා; අවුරුදු 20කට සිවිල් අයිතිවාසිකම් අහිමි වෙනවා.”
බන්ධනාගාරයේදී ඇදහිල්ල පවත්වමින්
අඩුම තරමින් අවුරුදු දහයකවත් දඬුවමක් ලබා සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බන්ධනාගාරයේ සිටි කාලය අතරතුරේදී, ඔවුන්ව හඳුනාගැනීම සඳහා යම් විශේෂ ඇඳුමක් අඳින්න සිද්ධ වුණා. අපේ කලිසමක එක කකුලකටත්, කමිසයේ එක අතකටත් රතු පටියක් අල්ලා තිබුණා. එමෙන්ම, අපි දරුණු අපරාධකාරයන් කියා ආරක්ෂක භටයන්ට අනතුරු ඇඟවීමට අපේ කුටියේ දොරේ පිට පැත්තේ කුඩා, රතු කාඩ්බෝඩ් රවුමක් එල්ලා තිබුණා.
අධිකාරීන් අපව සැලකුවේ ඇත්තෙන්ම දරුණුම අපරාධකාරයන් හැටියටයි. අපට බයිබලයක් ළඟ තබාගන්න අවසර තිබුණේ නැහැ, මන්ද ආරක්ෂක භටයෙක් මෙසේ පැහැදිලි කළා: “බයිබලයක් අතැති යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හරියට තුවක්කුවක් අතැති අපරාධකාරයෙක් වගෙයි.” බයිබලයේ කොටස් එකතු කිරීම සඳහා අපි රුසියානු ලේඛක ලියෝ ටෝල්ස්ටෝයිගේ පොත් පත් කියෙව්වා; ඔහු ඔහුගේ පොත්වල නිතර බයිබල් පද උපුටා දැක්වුවා. අපි ඒ බයිබල් පද කටපාඩම් කරගත්තා.
වර්ෂ 1951දී මාව අත්අඩංගුවට ගන්න කලින්, මම එල්සා රයිම එක්ක විවාහ ගිවිසගෙන සිටියා. ඇය හැකි සෑම අවස්ථාවකම බන්ධනාගාරයට පැමිණි අතර මාසෙකට සැරයක් මට කෑම පාර්සලයක් එව්වා. ඇය ඇගේ පාර්සල්වල ආත්මික ආහාරත් සඟවා එව්වා. වතාවක, ඇය සමහර ලිංගුස්වල ඇතුලේ මුරටැඹක ලිපි පුරවලා එව්වා. ඇතුලේ යමක් හංගලාද කියා පරීක්ෂා කිරීමට ආරක්ෂක භටයන් නිතරම ඒවා පෙතිවලට කැපුව නමුත්, මේ අවස්ථාවේදී පාර්සලය පැමිණුණේ වැඩ දවස අවසාන වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී නිසා එය පරීක්ෂා කළේ නැහැ.
ඒ වෙද්දී කාල් හයින්ට්ස් ක්ලේබ’ව හා මාව කුඩා සිර කුටියකට දමා තිබුණේ සාක්ෂිකරුවන් නොවන තවත් තුන්දෙනෙක් සමඟයි. කාටවත් නොපෙනෙන විදිහට අපට මුරටැඹ කියවන්න පුළුවන් වුණේ කොහොමද? ඇත්තෙන්ම, පොතක් කියවනවා වගේ ඇඟෙවූ නමුත් අපි එහි මුරටැඹ ලිපි සඟවලයි තිබුණේ. බන්ධනාගාරයේ සිටින සෙසු සාක්ෂිකරුවන්ටත් අපි මේ අගනා ආත්මික ආහාර ලැබෙන්න සැලැස්සුවා.
බන්ධනාගාරයේදී අන්‍යයන්ට දේවරාජ්‍යය ගැන කතා කිරීමට ලැබෙන අවස්ථාවලිනුත් අපි ප්‍රයෝජන ගත්තා. ප්‍රතිඵලයක් වශයෙන් මේ සෙසු සිරකරුවන්ගෙන් කෙනෙක් ඇදහිලිවන්තයෙක් බවට පත් වෙනවා දැකීමෙන් මම ප්‍රීති වුණා.—මතෙව් 24:14.
යළිත් පූර්ණ-කාලීන සේවයට
අවුරුදු හයක් හිරේ සිටියායින් පසුව, 1957 අප්‍රියෙල් 1වෙනිදා මාව නිදහස් කළා. සති දෙකක් යෑමට කලින් මම එල්සාව විවාහ කරගත්තා. මම නිදහස් වුණ බව ෂ්ටාසි දැනගත් විට, ඔවුන් මාව ආපහු හිරේ යවන්න ක්‍රම සෙව්වා. එයින් වැළකීම සඳහා එල්සයි, මමයි දේශ සීමාව පසු කර බටහිර බර්ලිනයේ ජීවත් වෙන්න ආවා.
අපි බටහිර බර්ලිනයට පැමිණි විට, අපේ සැලසුම් මොනවාද කියා දැනගැනීමට සමිතියට වුවමනා වුණා. අපි දෙන්නාගෙන් එක්කෙනෙක් පුරෝගාමී සේවයේ යෙදෙද්දී, අනිත් කෙනා බාහිර රැකියාවක යෙදෙන්නම් කියා අපි පැහැදිලි කළා.
“ඔය දෙන්නාම පුරෝගාමීන් වෙන්න කැමති නැද්ද” කියා අපෙන් ඇසුවා.
“එහෙම කරන්න පුළුවන් නම්, අපි දැන්මම පටන්ගන්න කැමතියි” කියා අපි පිළිතුරු දුන්නා.
මේ නිසා සෑම මාසයකම අපේ අවශ්‍යතා සපුරාගැනීමට උපකාරයක් වශයෙන් අපට සුළු දීමනාවක් දුන් අතර 1958දී අපි විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න පටන්ගත්තා. බයිබලය පාඩම් කළ පුද්ගලයන් තම ජීවිත වෙනස් කරමින් යෙහෝවාගේ සේවකයන් බවට පත් වෙනවා දැකීමෙන් අපි මොනතරම් ප්‍රීතියක් ලැබුවාද! විශේෂ පුරෝගාමී සේවයෙහි යෙදුණු ඊළඟ අවුරුදු දහය, අපිට පුරුෂයා හා භාර්යාව හැටියට කිට්ටුවෙන් වැඩ කරන්න ඉගැන්නුවා. එල්සා හැමවිටම, කාර් එක අලුත්වැඩියා කරන විට පවා මගේ ළඟ සිටියා. ඒ වගේම අපි එකට කියෙව්වා; පාඩම් කළා; යාච්ඤා කළා.
හැම සතියකම විවිධ සභාවලට යමින් එහි සාමාජිකයන්ගේ අවශ්‍යතා අනුව සේවය කිරීම සඳහා 1969දී අපට සංචාරක සේවයට පැවරුම් ලැබුණා. සංචාරක සේවය සම්බන්ධයෙන් අද්දැකීම් ලත් තැනැත්තෙක් වූ යෝසෙෆ් බාට් මට මෙම අවවාදය ඉදිරිපත් කළා: “ඔබේ පැවරුමෙහි සාර්ථකත්වයක් ලබාගැනීමට ඔබට වුවමනා නම්, සහෝදරයන්ට සහෝදරයෙක් වෙන්න.” ඒ අවවාදය අදාළ කරගැනීමට මම වෑයම් කළා. ප්‍රතිඵලයක් වශයෙන්, සෙසු සාක්ෂිකරුවන් හා අප අතර ඉතාමත්ම උණුසුම්, එකඟතාවකින් යුතු සබඳතාවක් ගොඩනැඟුණු අතර, එය අවශ්‍ය වූ විට උපදෙස් දීමට පහසුවක් ඇති කළා.
වර්ෂ 1972දී, එල්සාට පිළිකාවක් තිබෙන බව සොයාගත් අතර ශල්‍යකර්මයකට භාජන කළා. පසුව, ඇයට රූමැටිසියාවත් හැදුණා. වේදනාවෙන් පෙළුණත්, ඇය දිගටම සෑම සතියකම මාත් එක්ක සභාවල සේවය කරමින්, ඇයට හැකි උපරිමයෙන් සහෝදරියන් සමඟ දේවසේවයේ ගියා.
අවශ්‍යතා සකස් කරගැනීම
වර්ෂ 1984දී මගේ විවාහ ඥාතීන්ව නිතරම බලාකියා ගැනීමේ අවශ්‍යතාවක් ඇති වූ නිසා, ඔවුන්ව බලාගැනීමට උපකාරයක් වශයෙන් අපි සංචාරක වැඩය අත්හැරියා; අවුරුදු හතරකට පස්සේ ඔවුන් මියගියා. (1 තිමෝති 5:8) ඉන්පසු, 1989දී එල්සාට හුඟක් අසනීප වුණා. ඇය තරමක් දුරට සුවය ලැබීම සතුටට කාරණාවක් වුණත්, ගෙදර දොරේ වැඩකටයුතු සියල්ලක්ම බලාගැනීමට මට සිද්ධ වී තිබෙනවා. නිරතුරුවම වේදනා විඳින කෙනෙකු සමඟ කටයුතු කිරීමට මම තවමත් ඉගෙනගනිමින් සිටිනවා. මානසික හා චිත්තවේගීය විඩාවක් තිබුණත් අපි ආත්මික දේවලට තිබෙන අපේ ප්‍රේමය දිගටම පවත්වාගෙන තිබෙනවා.
අදදින, තවමත් අපි පුරෝගාමී ලැයිස්තුවේ සිටීම ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෙ. කෙසේවෙතත්, වැදගත් වන්නේ අපට තිබෙන තත්වය හෝ අපට කොයිතරම් දුරකට කරන්න පුළුවන්ද කියන එක නොවෙයි, නමුත් අපි දිගටම ඇදහිලිවන්තව සිටීම බව අපට වැටහී තිබෙනවා. අපිට අපේ දෙවි වූ යෙහෝවාට සේවය කිරීමට වුවමනා වන්නේ අවුරුදු කීපයකට නොව නමුත් සදාකාලයටමයි. අපේ අද්දැකීම අනාගතය සඳහා පුදුමාකාර පුහුණුවක් වී තිබෙනවා. ඒ වගේම ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ පවා යෙහෝවා අපට ශක්තිය දී තිබෙනවා ඔහුට ප්‍රශංසා කරන්න.—පිලිප්පි 4:13.
[පාදසටහන]
a 1991 අගෝස්තු 1, මුරටැඹෙහි (ඉංග්‍රීසියෙන්) 25-29 දක්වා පිටුවල අර්න්ස්ට් වව’ගේ ජීවිත කතාව පළ වුණා.
[23වන පිටුවේ පින්තූරය]
මම මෙහි මැග්ඩබර්ග්හි සිරගත වී සිටියා
[හිමිකම් විස්තර]
Gedenkstätte Moritzplatz Magdeburg für die Opfer politischer Gewalt; පින්තූරය: Fredi Fröschki, Magdeburg
[23වන පිටුවේ පින්තූරය]
අපි 1957දී විවාහ වූ විට
[23වන පිටුවේ පින්තූරය]
අදදින එල්සා සමඟ