යෙහෝවා කෙරෙහි සතුටුව ප්‍රීති වෙන්න
යම් ප්‍රයෝජනවත් වැඩ කටයුත්තක සාර්ථක නිමාව සැමවිටම සතුටුදායක අවස්ථාවක් වෙනවා. වර්ෂ 1999 මාර්තු 13වනදා, නියූ යෝක්, පැටසන්හි, මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානයේ පැවැත්වූ උපාධි ප්‍රදාන වැඩසටහන, ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 106වන පංතියේ ශිෂ්‍යයන් 48දෙනා සඳහා ඇත්තෙන්ම එවැනි අවස්ථාවක් වුණා.
සත්වන ගිලියද් පංතියෙන් උපාධිය ලැබූ, මෙම උපාධි ප්‍රදාන වැඩසටහනේ සභාපති වූ, පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන තියඩෝ ජැරැස් ප්රාරම්භක අදහස් දැක්වූ අතර ගීතාවලිය 32:11හි වචන හුවා දැක්වුවා: “ධර්මිෂ්ඨයෙනි, [යෙහෝවා] කෙරෙහි සතුටුව ප්‍රීතිවව්.” මෙම අවස්ථාවේදී සියල්ලන්ම සතුටු වීම යෝග්‍ය මන්දැයි පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසුවා: “අපි මේ වගේ උත්සවවලදී සතුටු වෙන්නේ අපේ ගිලියද් ශිෂ්‍යයන් ඇතුළු හදවතින් අවංක අය සම්බන්ධයෙන් යෙහෝවා ඉටු කරන දේ නිසයි.” ශිෂ්‍යයන් ගිලියද් පාසැලට පැමිණීමට සැලසුම් යොදා, මිෂනාරි සේවය සඳහා සුදුසුකම් ලැබීමට උද්යෝගයෙන් වෙහෙසී තිබුණත්, සියල්ල සාර්ථකව නිම කිරීමට හැකි කළේ යෙහෝවායි. (හිතෝපදේශ 21:5; 27:1) ‘යෙහෝවා කෙරෙහි සතුටු වීමට’ හේතුව එයයි කියා සහෝදර ජැරැස් අවධාරණය කළා.
පැටසන් ශ්‍රවණාගාරයේ සිටි අය අතර, මෙම ප්‍රීතිමත් අවස්ථාව නැරඹීම සඳහා ශිෂ්‍යයන්ගේ පවුල්වල සාමාජිකයන් හා අමුත්තන් රටවල් 12කින් පැමිණ සිටියා. පැමිණ සිටි 5,198දෙනා වැඩසටහනේ ඊළඟ කොටස පැමිණෙන තෙක් ආශාවෙන් බලා සිටි මෙම අවස්ථාවේදී, ප්‍රීතිමත් ස්වභාවයක් හාත්පස පැතිර තිබුණා. මෙම ගණනට, ශ්රව්යමය හා දෘශ්‍යමය ආකාරයකින් සම්බන්ධව සිටි බෘක්ලින්, පැටසන් සහ වෝල්කිල්හි බෙතෙල් සාමාජිකයන්ද ඇතුළත් වෙනවා.
ප්‍රීතිමත් ස්වභාවයක් පවත්වාගැනීමට අවවාද ලැබ
සහෝදර ජැරැස් ඔහුගේ ප්රාරම්භක අදහස් දැක්වීම අවසන් කරද්දී, මුල් කථිකයන් පස්දෙනාව හඳුන්වා දුන්නා; ඔවුන් ගිලියද් උපාධිලාභීන්ට පමණක් නොව නමුත් පැමිණ සිටි සියල්ලන් සඳහාත්, දිරිගන්වන ශුද්ධ ලියවිලිමය අවවාද සූදානම් කර තිබුණා.
මුලින්ම කතා කිරීමට තිබුණේ, පාලක මණ්ඩලයේ ඉගැන්වීමේ කමිටුවෙහි සහයකයෙක් ලෙස දැන් සේවය කරන, 34වන ගිලියද් පංතියේ උපාධිලාභියෙකු වූ විලියම් මැලෙන්ෆොන්ට්ටයි. දේශනාකාරයා 1:2 මත පදනම් වූ “‘සියල්ලම’ නිෂ්ඵල නැත!” යන ඔහුගේ තේමාව සම්බන්ධයෙන් ඔහු මෙම ප්රශ්නය නැඟුවා: “සියල්ලම නිෂ්ඵලයි කියද්දී, සාලමොන් වචනයේ පරිසමාප්තියෙන්ම එවැන්නක් අදහස් කළාද?” පිළිතුර: “නැහැ. දිව්‍ය කැමැත්ත නොසලකාහරින මිනිස් කාර්යයන් හා දිව්‍ය කැමැත්තෙන් දුරස් වූ ලුහුබැඳීම් යන සියල්ල නිෂ්ඵල බවයි ඔහු පෙන්වමින් සිටියේ.” මීට වෙනස්ව, සැබෑ දෙවි වූ යෙහෝවාට නමස්කාර කිරීම නිෂ්ඵල දෙයක් නොවෙයි; එමෙන්ම දේවවචනය වන බයිබලය අධ්‍යයනය කිරීමත්, එය අන්‍යයන්ට ඉගැන්වීමත් නිෂ්ඵල දේවල් නොවෙයි. තම සේවකයන් දරන එවැනි වෑයම් දෙවිට අමතක වෙන්නේ නැහැ. (හෙබ්‍රෙව් 6:10) ඇත්තවශයෙන්ම, දෙවිගේ අනුග්‍රහය ලත් අයට විපත්ති සිදු වුවත්, ඔවුන්ව ‘යෙහෝවා වෙත ජීවතුන්ගේ මිටියෙහි බඳිනු ලබයි.’ (1 සාමුවෙල් 25:29) එය මොනතරම් හද උණුසුම් කරවන්නක්ද! මෙම කරුණු මතක තබාගැනීම, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාටම ප්‍රීතිමත් ස්වභාවයක් පවත්වාගැනීමට උපකාරවත් විය හැකියි.
පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජොන් බා, “ඔබේ මිෂනාරි පැවරුමෙන් ප්‍රීතිය ලබන්න” යන කතාව දීමෙන් උපාධිලාභී පංතිය දිරිගැන්නුවා. මිෂනාරි සේවය සැමවිටම යෙහෝවා දෙවිගේ හෘදයට ඉතා සමීප සේවයක් වී තිබෙන බව ඔහු පෙන්නුවා. “එය ලෝකය උදෙසා යෙහෝවා දැක්වූ ප්‍රේමයේ අනිවාර්ය අංගයක්ව තිබුණා. ඔහු ඔහුගේ ඒකජාතක පුත්‍රයාව මේ පොළොවට එව්වා. යේසු උතුම්ම මිෂනාරිවරයායි, ප්‍රධානතම මිෂනාරිවරයායි.” පොළොව මත තම පැවරුමේදී සාර්ථක වීම සඳහා යේසු සිදු කළ වෙනස්කම් මෙනෙහි කිරීමට උපාධිලාභීන්ට හැකි අතර, යේසුගේ මිෂනාරි සේවයෙන් ප්‍රයෝජන ගන්න කැමති අයට තවමත් ඒවායින් ප්‍රයෝජන ලබාගත හැකියි. සහෝදර බා පෙන්වූ ආකාරයට මීට හේතුව, දෙවිගේ වැඩයෙහි නිරත වීම යේසුට ප්‍රීතියක් වූ නිසා හා ඔහු මනුෂ්‍ය පුත්‍රයන්ටත් ප්‍රේම කළ නිසයි. (හිතෝපදේශ 8:30, 31) තමන්ගේ පැවරුම්වල රැඳී සිටින්න කියා සහෝදර බා උපාධිලාභීන්ගෙන් බලවත් ලෙස ඉල්ලා සිටියේ, එය නිකම්ම විඳදරාගැනීමේ කාරණයක් වශයෙන් පමණක් නොව නමුත් එසේ කිරීමෙන් ඔවුන් ප්‍රීති වන නිසයි. “යෙහෝවා මත රඳා සිටින්න; ඔහු ඔබව අත්හරින්නේ නැහැ” කියා ඔහු පංතියට ආයාචනාත්මකව පැවසුවා.—ගීතාවලිය 55:22.
ඊළඟ කථිකයා වූ, පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන ලොයිඩ් බැරි, “යෙහෝවාගේ නාමයෙන් සදහටම ගමන් කරන්න” යන තේමාව තෝරාගෙන තිබුණා. එකළොස්වන ගිලියද් පංතිය නිම කිරීමෙන් පසු ජපානයෙහි වසර 25කට වඩා මිෂනාරිවරයෙක් වශයෙන් සේවය කර තිබෙන සහෝදර බැරි, මුල් මිෂනාරිවරුන්ගේ සමහර අද්දැකීම් හා ඔවුන්ට මූණපාන්න සිදු වූ අභියෝගයන් විස්තර කළා. උපාධිලාභී පංතිය වෙනුවෙන් දීමට ඔහුට තිබුණේ කුමන ප්‍රායෝගික උපදෙසද? “සියල්ලටම පළමුවෙන්, ඔබේ ආත්මිකත්වය පවත්වාගන්න. එමෙන්ම, භාෂාව හා සංස්කෘතිය ඉගෙනගන්න. සිනාමුසු මුහුණින් ඉන්න. එමෙන්ම වැඩයේ දිගටම යෙදී සිටින්න; වෙහෙසට පත් වන්න හෝ අත්හරින්න එපා.” ඔවුන්ට තම විදේශ පැවරුම්වලදී විවිධ දෙවි දේවතාවුන් නමස්කාර කරන්නන්ව මුණගැසෙයි කියා සහෝදර බැරි උපාධිලාභීන්ට පැවසුවා; එමෙන්ම ඔහු ඔවුන්ට මීකාගේ මෙම වචන සිහිගැන්නුවා: ‘සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය [ගමන් කරති, NW], අපිද අපේ දෙවි වූ යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමු [ගමන් කරමු, NW].’ (මීකා 4:5) මුල් මිෂනාරිවරුන්ගේ ආදර්ශය, දෙවිගේ සියලු සේවකයන්ට යෙහෝවාගේ නමින් ගමන් කිරීමට හා ඔහුට ඇදහිලිවන්තව සේවය කිරීමට ස්ථිරවශයෙන්ම බලවත් පෙලඹීමක් ඇති කරයි.
වැඩසටහනේ ඊළඟට සිටියේ ගිලියද් උපදේශක ලෝරන්ස් බොවෙන්. ඔහුගේ කතාවෙහි “ඔබ කවරෙකු බව ඔප්පු කරන්නෙහිද?” යන ප්රශ්නය නැඟුවා. දෙවිගේ සේවයෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ යෙහෝවා කෙරෙහි තබන ඇදහිල්ල හා විශ්වාසය මත බව ඔහු පෙන්නුම් කළා. යෙහෝවා කෙරෙහි පූර්ණ ලෙස රඳා සිටීමෙන්, ආසා රජුට මිලියනයකින් සමන්විත සතුරු හමුදාවක් පරදා විශිෂ්ට ජයක් අත් කරගැනීමට හැකි වුණා. එහෙත් දෙවි කෙරෙහි දිගටම රඳා සිටීමේ අවශ්‍යතාව ගැන ප්‍රොපේත අසරියා ඔහුට මෙසේ සිහිගැන්නුවා: ‘නුඹලා යෙහෝවා සමඟ සිටින තුරු ඔහු නුඹලා සමඟ සිටින්නේය.’ (2 ලේකම් 14:9-12; 15:1, 2) තම අරමුණ ඉටු කරගැනීම සඳහා සපයන්නෙක්, ආරක්ෂකයෙක් හෝ වධකයෙක් වැනි ඕනෑම ආකාරයක කෙනෙක් බවට පත් විය හැකියි යන්න යෙහෝවා යන දෙවිගේ නාමයෙන් අදහස් කරනවා; මේ නිසා යෙහෝවා මත රඳා සිටින මෙන්ම ඔහුගේ අරමුණට එකඟව වැඩ කරන මිෂනාරිවරුන් තමන්ගේ පැවරුම්වලදී සාර්ථකත්වයක් ලබන බව ඔප්පු කරාවි. (නික්මයාම 3:14) “ඔබ යෙහෝවාගේ අරමුණ ඔබේ අරමුණ කරගන්න තාක් කල්, ඔබේ පැවරුම ඉටු කිරීමට අවශ්‍ය ඕනෑම ආකාරයක කෙනෙක් වීමට ඔහු ඔබට හැකි කරවන බව අමතක කරන්න එපා” යයි පවසමින් සහෝදර බොවෙන් කතාව අවසන් කළා.
කලින් මිෂනාරිවරයෙකුව සිටි, දැන් පාසැලේ රෙජිස්ට්‍රාර්වරයා වන වොලස් ලිවරන්ස්, වැඩසටහනේ මෙම කොටසේ අවසාන කථිකයායි. “දේවවචනය ඔබ තුළ දිගටම ජීවමානව හා ක්‍රියාකාරීව තබාගන්න” යන මැයෙන් යුත් ඔහුගේ කතාව, සැමවිටම ඉටුවීම කරා ඇදෙන, දෙවිගේ අසාර්ථක නොවන පණිවිඩය හෝ පොරොන්දුව වෙත අවධානය ඇදගනු ලැබුවා. (හෙබ්‍රෙව් 4:12) එයට ඉඩ දෙනවා නම්, එය මනුෂ්‍යයන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කරනවා. (1 තෙසලෝනික 2:13) එම වචනය අපේ ජීවිතවල ජීවමානව හා ක්‍රියාකාරීව තබාගත හැක්කේ කෙසේද? උද්යෝගයෙන් බයිබලය පාඩම් කිරීම මගිනුයි. ගිලියද් පාසැලේදී ඉගෙනගත් බයිබල් අධ්‍යයන ක්‍රම ගැන සහෝදර ලිවරන්ස් සිහිගැන්නුවා; දේවවචනය කියවීම, එහි අර්ථය පැහැදිලි කරගැනීම හා අදාළ කරගැනීම යනාදිය ඒවාට ඇතුළත්ව තිබුණා. වසර 50කට පෙර ගිලියද් පාසැල පිහිටෙවූ කමිටුවේ සභාපති වශයෙන් සේවය කළ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇල්බට් ෂ්‍රෝඩ’ගේ වචන ඔහු උපුටා දැක්වුවා: “දෙවි සපයා තිබෙන දෙවිගේ වචනයේ, පද සම්බන්ධය සලකා බැලීමෙන් කෙනෙකුට එහි සම්පූර්ණ, නිවැරදි, ආත්මික අදහස ලබාගත හැකියි.” මෙලෙස බයිබලය අධ්‍යයනය කිරීමෙන් දෙවිගේ වචනය ජීවමානව හා ක්‍රියාකාරීව පවතින්න සලස්වයි.
ප්‍රීතිමත් අද්දැකීම් හා සම්මුඛ සාකච්ඡා
කතාවලින් පසුව, ශිෂ්‍යයන් ඇතැම් ප්‍රීතිමත් අද්දැකීම් සභාවට ඉදිරිපත් කළා. කලින් මිෂනාරිවරයෙක් හා දැන් ගිලියද් උපදේශකයෙක් වන මාක් නූමැර්ගේ මෙහෙයවීම යටතේ ශිෂ්‍ය කණ්ඩායමක් විවිධ අවස්ථාවන්වලදී ඔවුන් සාක්ෂියක් දැරීමට ප්රයත්නයක් දැරුව ආකාරය විස්තර කර, ඒවා නිරූපණය කර පෙන්නුවා. ජනයාගේ තත්වයන් නිරීක්ෂණය කිරීමෙන් හා ඔවුන් දක්වන අදහස්වලට සවන් දීමෙන් මෙන්ම පෞද්ගලික උනන්දුවක් පෙන්වීමෙන් සමහරුන්ට බයිබල් පාඩම් පටන්ගෙන පවත්වන්න හැකි වුණා. මෙලෙස ශිෂ්‍යයන් ‘ඔවුන් ගැනත් ඔවුන්ගේ ඉගැන්වීම ගැනත් නිරතුරු අවධානයක් යොමු කරමින්’ සිටි අතර, ගැළවීම ලබාගැනීමට අන්‍යයන්ට උපකාර කිරීමට ඇත්තෙන්ම උනන්දුවෙන් සිටියා.—1 තිමෝති 4:16, NW.
බොහෝ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ අතර, මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානයේ පැවැත්වූ, ශාඛා කමිටු සාමාජිකයන් සඳහා පාසැලෙහි පුහුණුව ලබමින් සිටි අද්දැකීම් ලත් සහෝදරයන් කීපදෙනෙක්ද මිෂනාරි සේවයෙහි ප්‍රීතිය ගැන සාක්ෂි දුන්නා. බොලීවියාවේ, සිම්බාබ්වේහි, නිකරාග්වාහි, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ, ඩොමිනිකන් ජනරජයේ, පැපුවා නිව් ගිනියාවේ මෙන්ම කැමරූන්වල සමිතියේ ශාඛා කාර්යාලවලින් පැමිණි නියෝජිතයන් සමඟ මූලස්ථාන කාර්ය මණ්ඩලයේ සහෝදර සැමුවෙල් හර්ඩ් හා රොබට් ජොන්සන් ප්‍රාණවත් සම්මුඛ සාකච්ඡාවන් පැවැත්වුවා.
අද්දැකීම් හා සම්මුඛ සාකච්ඡාවලින් පසුව, 41වන ගිලියද් පංතියේ උපාධිලාභියෙක් හා දැන් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්ව සිටින ගෙරට් ලොෂ්, “ඔබ ‘ප්‍රේමය ලැබූ කෙනෙක්ද’?” යන සිතුවිලි-කලතන තේමාවක් මත අවසාන කතාව දුන්නා. දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා වන යේසුස්ව ප්‍රේමය ලැබූ කෙනෙකු හැටියට මිනිසුන් නොසැලකූ අතර, ‘මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබූ’ බව සහෝදර ලොෂ් මුලින්ම උපාධිලාභීන්ට සිහිගැන්නුවා. (යෙසායා 53:3) එමනිසා අදදින ලෝකයේ බොහෝ තැන්වල මිෂනාරිවරුන්ව පිළිගැනීමට අකමැති වීම පුදුමයක් නොවෙයි. අනිත් අතට, දානියෙල් බබිලෝනියේ දීර්ඝ කාලයක් සේවය කළ අවදියේදී, දේවදූතයෙකු මාර්ගයෙන් මැවුම්කරු දානියෙල්ව ‘බොහෝ ප්‍රේමය ලැබූ’ තැනැත්තා වශයෙන් තුන් වරක් හැඳින්නුවා. (දානියෙල් 9:23; 10:11, 19) ඒ ආකාරයෙන් දානියෙල්ව හැඳින්වීමට හේතුව කුමක්ද? බබිලෝනියේ සංස්කෘතියට අනුව හැඩගැසෙන විට ඔහු කෙදිනකවත් බයිබල් ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ; ඔහුගේ තත්වය කෙදිනකවත් පෞද්ගලික වාසි තකා යොදා නොගත් ඔහු සෑම අයුරකින්ම අවංකව සිටියා; එමෙන්ම ඔහු දේවවචනයෙහි ජ්වලිත ශිෂ්‍යයෙක් වුණා. (දානියෙල් 1:8, 9; 6:4; 9:2) තවද ඔහු යෙහෝවාට නොකඩවාම යාච්ඤා කළ අතර, ඔහුගේ අත් කරගැනීම් සඳහා දෙවිට මහිමය දීමට සැමවිටම සූදානම්ව සිටියා. (දානියෙල් 2:20) දානියෙල්ගේ ආදර්ශය අනුගමනය කිරීම මගින්, ලෝකය ඉදිරියෙහි නොව නමුත් යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රේමය ලබන අය බව ඔප්පු කිරීමට යෙහෝවාගේ සේවකයන්ට හැකියි.
ආත්මිකව නඟා සිටුවන වැඩසටහන අවසන් කිරීමට, සභාපති විසින් ලොව දස අතින් පැමිණ තිබුණු සමහර විදුලි පණිවුඩ හා පණිවුඩ කියෙව්වා. ඉන්පසු, යුවළයන් 24දෙනාගෙන් හැම යුවළකටම ඔවුන්ගේ උපාධි ලැබුණු අතර, ඔවුන් පැවරුම් ලැබ සිටින රටද නිවේදනය කරනු ලැබුවා. අවසානයේදී, ඉකුත් මාස පහ තුළ ලබාගත් පුහුණුව හා සූදානම සම්බන්ධයෙන් පංතියේ ශිෂ්‍යයන්ගේ අගය ප්‍රකාශ කරමින් පංති නියෝජිතයෙක් පාලක මණ්ඩලය හා බෙතෙල් පවුල ඇමතූ ලිපියක් කියෙව්වා.
වැඩසටහන එහි අවසානයට පැමිණි විට, නික්ම යන සෙනඟ අතරේ ‘ප්‍රීති ප්‍රමෝදයද, ස්තුති කිරීමද’ පැතිර ගියා.—නෙහෙමියා 12:27, නව අනුවාදය.
[27වන පිටුවේ කොටුව]
පංති සංඛ්‍යාලේඛන
නියෝජිත රටවල් සංඛ්‍යාව: 10
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 19
ශිෂ්‍ය සංඛ්‍යාව: 48
විවාහක යුවළයන් සංඛ්‍යාව: 24
වයස් සාමාන්‍යය: 33
සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 16
පූර්ණ-කාලීන සේවයෙහි සිටි අවුරුදු සාමාන්‍යය: 13
[25වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 106වන පංතිය
පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර ඇත.
(1) ඩීකන්, ඩී.; පුඕපෝලෝ, එම්.; ලගුන, එම්.; ඩවෝල්ට්, එස්.; ඩෝමින්ගෙස්, ඊ.; බර්ක්, ජේ. (2) ගෞට, එස්.; වාස්කෙස්, ඩබ්.; සීබෘක්, ඒ.; මොස්කා, ඒ.; හෙලී, එල්.; බෲඅ’ඩ්, එල්. (3) බ්‍රැන්ඩන්, ටී.; ඕලිවාරස්, එන්.; කෝල්මන්, ඩී.; ස්කොට්, වී.; පීටර්සන්, එල්.; මක්ලෞඩ්, කේ. (4) මක්ලෞඩ්, ජේ.; තොම්සන්, ජේ.; ලූබරිස්, එෆ්.; ස්පේට, බී.; ලේටමාකි, එම්.; ලගුන, ජේ. (5) ගෞට, යූ.; ඩෝමින්ගෙස්, ආර්.; හෙලී, එෆ්.; ස්මිත්, එම්.; බය’, ඩී.; මොස්කා, ඒ. (6) ස්කොට්, කේ.; සීබෘක්, වී.; ස්පේට, ආර්.; කෝල්මන්, ආර්.; බෲඅ’ඩ්, එල්.; ඩවෝල්ට්, ඩබ්. (7) ස්මිත්, ඩී.; ලේටමාකි, ටී.; පීටර්සන්, පී.; තොම්සන්, ජී; වාස්කෙස්, ආර්.; බය’, ඒ. (8) ලූබරිස්, එම්.; ඩීකන්, සී.; බ්‍රැන්ඩන්, ඩී; පුඕපෝලෝ, ඩී.; ඕලිවාරස්, ඕ.; බර්ක්, එස්.