සාර්ථක ශිෂ්‍යයන්ගේ සිට සාර්ථක මිෂනාරිවරුන් දක්වා
“අපිට මේ වරප්‍රසාදය ලැබුණා කියලා මට තවමත් විශ්වාස කරන්න බැහැ!” එසේ හඬනඟා කිව්වේ විල්. ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙහි 103වන පංතියේ ශිෂ්‍යයන් වශයෙන් ඔහුත් ඔහුගේ භාර්යාව වන පැට්සිත් නිම කර තිබූ පුහුණුවටයි ඔහු යොමු දක්වමින් සිටියේ. සාහීඩ් සහ ජෙනි ඊට එකඟ වුණා. “මෙහෙ ඉන්න පුළුවන් වෙලා තියෙන එක අපි ලොකු ගෞරවයක් හැටියට සලකනවා” කියා ඔවුන් පැවසුවා. හැම ශිෂ්‍යයෙකුම පාසැලෙහි හොඳින් වැඩ කර තිබුණා. මිෂනාරිවරුන් වශයෙන් තම ජීවන ගමන ඇරඹීමට ඔවුන් එවිට සිටියේ උද්යෝගවත්වයි. එනමුත්, 1997 සැප්තැම්බර් 6වනදා පැවති උපාධි ලැබීමේ වැඩසටහනේදී, තම මිෂනාරි පැවරුම්වල සාර්ථක වීමට ඔවුන්ට උපකාරවත් වන ප්‍රේමනීය උපදෙස් ඔවුන්ට මුලින්ම ලැබුණා.
වැඩසටහනේ සභාපති වුණේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන තියඩෝ ජැරැස්. බෙතෙල් පවුල මෙන්ම වොච් ටවර් සමිතියේ ශාඛා 48ක නියෝජිතයන් සමඟින්, කැනඩාවෙන්, යුරෝපයෙන්, පුවටෝ රිකෝවෙන් සහ එක්සත් ජනපදයෙන් මිත්‍රයන් සහ නෑදෑයන් පැමිණ සිටියේ ශිෂ්‍යයන්ට ඔවුන්ගේ අනුබලය සහ ප්‍රේමය සහතික කිරීමට බව ඔහු පෙන්නුම් කර සිටියා. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මගින් යවන ලද මිෂනාරිවරුන් බොහෝවිට මිෂනාරි සේවයෙන් ඉවතට යොමු වී, ශාස්ත්‍රීය සමර්ථයන් අත් කරගැනීමට වෑයම් කර තිබෙනවා නැතහොත් දේශපාලනයට පවා පටලැවී සිටින බව සහෝදර ජැරැස් නිරීක්ෂණය කළා. ඊට වෙනස්ව ගිලියද් උපාධිධාරීන් ඔවුන්ට කිරීමට පුහුණු කර තිබෙන දේ කරනවා. ඔවුන් ජනයාට බයිබලය උගන්වනවා.
ඊළඟට සමිතියේ බෘක්ලින් කාර්යාලයෙන් පැමිණි රොබට් බට්ල’ “ඔබේ මාර්ගය සඵල කරගන්න” යන තේමාවට එකඟව කතා කළා. මනුෂ්‍යයන්, සාර්ථකත්වය මූල්‍යමය හෝ වෙනත් පෞද්ගලික ලාභ අනුව මැන්නත්, ඇත්තෙන්ම වැදගත් වන්නේ දෙවි සාර්ථකත්වය මනින්නේ කොහොමද කියන එකයි කියා ඔහු පැහැදිලි කළා. යේසුගේ දේවසේවය සාර්ථක වුණේ ඔහු විශාල පිරිසක් හරවාගත් නිසා නොව, නමුත් ඔහු තම පැවරුමෙහි විශ්වාසවන්තව සිටි නිසයි. යේසු යෙහෝවාට මහිමය ගෙනා අතර, ලෝකයෙන් දූෂ්‍ය වන්නේ නැතුව සිටියා. (යොහන් 16:33; 17:4) මේවා හැම ක්‍රිස්තියානියෙකුටම කළ හැකි දේවල්.
“සියලුම පුද්ගලයන්ට දාසයන් වන්න” යනුවෙන් අවවාද කළේ ප්රාචීනයේ හිටපු මිෂනාරිවරයෙකු වන රොබට් පෙවී. ප්‍රේරිත පාවුල් සාර්ථක මිෂනාරිවරයෙක් වුණා. කුමක්ද ඔහුගේ රහස? ඔහු සියල්ලන් වෙනුවෙන් දාසයෙකු වුණා. (1 කොරින්ති 9:19-23) කථිකයා මෙසේ පැහැදිලි කළා: “එවැනි ආකල්පයක් දරන ගිලියද් උපාධිධාරියෙක්, මිෂනාරි සේවය රැකියාවේ උසස් වීමක් වගේ මෙන්ම සංවිධානයේ වඩාත් වැදගත් තනතුරුවලට ගන්නා ඉදිරි පියවරක් වශයෙන් සලකන්න යන්නේ නැහැ. මිෂනාරිවරයෙක් තම පැවරුමට අවතීර්ණ වන්නේ එකම එක චේතනාවක් ඇතුව විතරයි: ඒ සේවය කරන්නයි, ඇයි ඒ දේ තමයි දාසයන් කරන්නේ.”
තම උපදෙස් මූලික වශයෙන් 2 කොරින්ති 3වන සහ 4වන පරිච්ඡේද මත පදනම් කරගනිමින්, පාලක මණ්ඩලයේ ගෙරට් ල’ෂ් ශිෂ්‍යයන්ට දිරිගැන්වූයේ “යෙහෝවාගේ මහිමය කැඩපත් මෙන් පරාවර්තනය කරන්න” කියායි. ක්‍රිස්තියානියෙකු දෙවි පිළිබඳ දැනුම පිළිගැනීමට තම හෘදය විවෘත කරන විට, එය ඔහුව ආලෝකවත් කරන ආලෝකයක් හා සමාන බව ඔහු ඔවුන්ට සිහිගැන්වූවා. ශුභාරංචිය දේශනා කිරීමෙන් සහ කදිම හැසිරීමක් පවත්වාගැනීමෙන් අප එම ආලෝකය පරාවර්තනය කරනවා. “සමහර වෙලාවට ඔබ තත්වයට නොසෑහෙන බව හැඟෙන්න පුළුවන්” කියා ඔහු පිළිගත්තා. “එවැනි හැඟීම් ඉස්මතු වන විට, ‘සාමාන්‍යය ඉක්මවූ බලය දෙවිගේ වන පිණිස’ යෙහෝවා මත රඳා සිටින්න.” (2 කොරින්ති 4:7, NW) දෙවන කොරින්ති 4:1හි වාර්තා වී ඇති පාවුල්ගේ වදන් ප්රතිනාද කරමින් සහෝදර ල’ෂ් ශිෂ්‍යයන්ගෙන් මෙසේ අයැද සිටියා: “ඔබේ මිෂනාරි පැවරුම අත්හරින්න එපා. ඔබේ කැඩපත ඔප දමමින්ම තබාගන්න!”
ගිලියද් පීඨයේ සාමාජිකයෙකු වන කාල් ඇඩම්ස් “යෙහෝවා කොතැනද?” යන කුතුහලය ඇති කරවන තේමාවට එකඟව කතා කළා. එම ප්රශ්නය යෙහෝවා විශ්වයේ කොතැනක සිටිනවාද යන්නට නොව, නමුත් යෙහෝවාගේ දෘෂ්ටිකෝණය සහ ඔහුගේ මඟ පෙන්වීමේ ඇඟවීම් සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාවට යොමු දක්වනවා. “පීඩන අද්දකින විට, යෙහෝවාගේ සේවයෙහි දිගු කාලයක් පුරා සේවය කර ඇති පුද්ගලයෙකු පවා එය අමතක කර දැමිය හැකියි.” (යෝබ් 35:11) අපේ නවීන කාලය ගැන කුමක් කිව හැකිද? වර්ෂ 1942දී, දෙවිගේ සෙනඟට මඟ පෙන්වීමක් අවශ්‍ය වුණා. දේශනා වැඩය නිම වෙමින් තිබුණාද නැතහොත් කිරීමට තවත් වැඩ තිබුණාද? තම සෙනඟ සඳහා යෙහෝවාගේ කැමැත්ත කුමක් වුණාද? දෙවිගේ වචනය අධ්‍යයනය කරද්දී, උත්තරය ඔවුන්ට පැහැදිලි වුණා. “ඒ අවුරුද්ද ඉවර වෙන්න කලින්, ගිලියද් මුරටැඹ බයිබල් පාසැල පිහිටුවීම සඳහා සැලසුම් යොදා තිබුණා” කියා සහෝදර ඇඩම්ස් ප්‍රකාශ කළා. එම පාසැලෙන් යවා ඇති මිෂනාරිවරුන්ගේ වැඩවලට යෙහෝවා ඇත්තටම ආශීර්වාද කර තිබෙනවා.
කතා කළ දෙවන උපදේශකයා මාක් න්යූමා. “ඔබ ඔබේ තලෙන්තය භාවිත කරන්න යන්නේ කෙසේද?” යන මැයින් යුත් ඔහුගේ කතාවේදී, ඔවුන් තම අලුත් පැවරුමට පැමිණි වහාම ගිලියද්හි ලබාගත් පුහුණුව අදාළ කරගැනීමට ශිෂ්‍යයන්ට ඔහු දිරිගැන්වූවා. “අන්‍යයන් වෙත උනන්දුවකින් යුතුව ළඟා වන්න” ඔහු පැවසුවා. “හැම දෙයක් ගැනම උනන්දු වන්න. රටේ සිරිත් විරිත්, ඉතිහාසය සහ හාස්‍ය රසය ගැන ඉගෙනගන්න උත්සුක වන්න. භාෂාව ඉක්මනින් ඉගෙනගන්නා තරමටම, වාසියත් වැඩියි.”
ජ්වලිත ශිෂ්‍යයන් දේවසේවයෙහි ප්‍රීතිය අද්දකියි
ගිලියද්හි සිටි විට තම අධ්‍යයනවලට සෑහෙන අවධානයක් දෙන අතරතුරේදී, මෙම ශිෂ්‍යයන් අවට සභා 11ක සේවය කිරීමට පැවරුම් ලැබුවා. සති අන්තවල, ඔවුන් දේශනා සේවයෙහි ජ්වලිතව සහභාගි වුණා. ගිලියද් පීඨයට අයත් වොලස් ලිවරන්ස්, ඔවුන්ගේ අද්දැකීම් සබය සමඟ බෙදාගැනීමට ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට ඇරයුම් කළා. වෙළඳ සංකීර්ණවල, රථ ගාල්වල, ව්‍යාපාරික බලප්‍රදේශයෙහි, වීථියේ සහ ගෙයින් ගෙට සාක්ෂිදැරීමේදී ලැබූ අද්දැකීම් විස්තර කරද්දී ඔවුන්ගේ ප්‍රීතිය කාටත් පැහැදිලි වුණා. ඔවුන්ගෙන් සමහරදෙනෙකු තම සභා බලප්‍රදේශයෙහි ජීවත් වූ සහ වැඩ කළ විදේශීය භාෂා කතා කරන ජනයා වෙත එළඹීමට මං සෙව්වා. එකසිය තුන්වන පංතියේ සාමාජිකයන්, පුහුණුව ලැබූ මාස පහ තුළදී අඩුම තරමින් නිවාස බයිබල් පාඩම් දහයක් අරඹා පවත්වනු ලැබුවා.
දිගුකාලීන මිෂනාරිවරුන් සාර්ථක වීමේ රහස් බෙදාගනී
වැඩසටහනේ ආස්වාදයක් ගෙන දුන් මෙම කොටසින් පසු, පැට්රික් ලා ෆ්‍රැන්කා සහ විලියම් වැන් ඩී වෝල්, තම මිෂනාරි සේවය තුළ ඉගෙනගත් පාඩම් පංතියේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කිරීමට ශාඛා කමිටුවේ සාමාජිකයන් සත්දෙනෙකුට ඇරයුම් කළා. තම මිෂනාරි පැවරුම යෙහෝවාගෙන් ලැබෙන යමක් සේ සැලකීමටත් තම පැවරුමට ඇලී සිටින්න අධිෂ්ඨාන කරගැනීමටත් ඔවුන් උපාධිධාරීන්ට අනුශාසනා කළා. ගිලියද් පුහුණුව ලද මිෂනාරිවරුන් වෙනත් දේශයන්හි කරන වැඩවලට ඒකාන්ත ලෙස බලපා තිබෙන අන්දම ගැන ඔවුන් කතා කළා.
සන්තෝෂවත්, ඵලදායී මිෂනාරිවරුන් වශයෙන් දශක ගණනාවක් පුරා සේවය කිරීමට මෙම ශාඛා කමිටු සාමාජිකයන්ට උපකාරවත් වුණේ කුමක්ද? ඔවුන් දේශීය සහෝදරයන් සමඟ කිට්ටුවෙන් වැඩ කර ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඔවුන් තම පැවරුම් සඳහා පැමිණි වහාම දේශීය භාෂාව ඉගෙනගැනීමට උත්සුක වුණා. නම්‍යසුලු වන්නත් දේශීය සිරිත් විරිත්වලට අනුව සකස් වන්නත් ඔවුන් ඉගෙනගත්තා. ගිලියද්හි පළමුවන පංතියේ උපාධිධාරියෙකු මෙන්ම අවුරුදු 54ක් පුරා මිෂනාරිවරයෙකු ලෙස සේවය කර ඇති චාල්ස් අයිසන්හව’, සාර්ථක මිෂනාරිවරුන් ඉගෙනගෙන තිබෙන “රහස්” පහක් බෙදාගත්තා: (1) බයිබලය නිතිපතා අධ්‍යයනය කරන්න, (2) භාෂාව අධ්‍යයනය කරන්න, (3) දේවසේවයෙහි ක්‍රියාශීලී වන්න, (4) මිෂනාරි නිවසෙහි සමාදානය තකා වැඩ කරන්න සහ (5) යෙහෝවාට නිතිපතා යාච්ඤා කරන්න. ලබාගත් ප්‍රායෝගික උපදෙස් පමණක් නොව, නමුත් පළපුරුදු මිෂනාරිවරුන් යෙහෝවාගේ සේවය තුළ අද්දකින ප්රත්යක්ෂ ප්‍රීතියද ශිෂ්‍යයන්ගේ සිත්ගත්තා. ආර්මාන්ඩෝ සහ ලූපෙ පැවසූ පරිදි, “ඒගොල්ලන් තමුන්ගේ ජීවිත ගැන කතා කරන කොට, ඒගොල්ලන් ඉන්නේ සන්තෝෂයෙන්.”
සම්මුඛ සාකච්ඡාවලින් පසු එක දේශනයක් ඉතිරිව තිබුණා. පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඇල්බට් ෂ්‍රෝඩ’, “දෙවිගේ වචනයට විශ්වාසවන්ත ගබඩාකාරත්වය සත්‍යයෙහි අනර්ඝ මැණික් හෙළි කරයි” යන්න තම තේමාව හැටියට තෝරාගත්තා. ගිලියද් පාසැලේ ප්‍රධානතම අභ්‍යාස පොත බයිබලය වන බැවින්, ඔහුට කියන්න තිබුණු දේ ගැන ශිෂ්‍යයන් උනන්දු වුණා. ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) සම්බන්ධ වැඩකටයුතු අවුරුදු 50කට කලින් ඇරඹූ විට, නව ලෝක බයිබල් පරිවර්තන කමිටුවේ ආලේප ලත් සාමාජිකයන් ශුද්ධාත්මයේ මඟ පෙන්වීම මත රඳා සිටියා මිසක, මනුෂ්‍යයන්ගේ අනුමැතිය ලැබීමට නොබැලූ බව සහෝදර ෂ්‍රෝඩ’ ගෙනහැර දැක්වූවා. (යෙරෙමියා 17:5-8) කෙසේවෙතත්, නව ලෝක පරිවර්තනය තබා තිබෙන උසස් ප්‍රමිතිය මෑතකදී ඇතැම් අධිකාරීන් පිළිගෙන තිබෙනවා. සමිතියට යැවූ ලිපියක, එක් විශාරදයෙක් මෙසේ පැවසුවා: “ඉහළ ඝනයේ ප්රකාශනයක් හඳුනාගන්න විදිහ මා දන්නවා. ඔබේ ‘නව ලෝක බයිබල් පරිවර්තන කමිටුව’ විශිෂ්ට කාර්යයක් ඉටු කර තිබෙනවා.”
මෙම කතාවෙන් පසු, ශිෂ්‍යයන්ට ඔවුන්ගේ උපාධි ලැබුණු අතර, ඔවුන් ලැබූ පැවරුම් සබයට නිවේදනය කරනු ලැබුවා. පංතියේ සාමාජිකයන්හට එය ඉතා හැඟීම් දනවන මොහොතක් වුණා. පංතියේ සාමාජිකයෙකු අගය ප්‍රකාශ කිරීමේ ලිපියක් කියවද්දී, බොහෝදෙනෙකුට ප්‍රීතිය මුසු දුකක් දැනුණ අතර, ඔවුන්ගේ ඇස්වල කඳුළු තිබුණා. ඇතැම් ශිෂ්‍යයන් මිෂනාරි සේවයට අවුරුදු ගණනාවක්ම තිස්සේ සූදානම් වෙමිනුයි සිටියේ. ගිලියද් පාඨමාලාව ඉංග්‍රීසියෙන් පවත්වන්න යන බව තේරුම්ගනිමින්, ඒ භාෂාවේ භාවිතය වැඩිදියුණු කරගැනීමට කිහිපදෙනෙකු ඉංග්‍රීසි කතා කරන සභාවලට මාරු වී තිබුණා. වෙනත් අය, තම රටේම හෝ පිටරටවල පුරෝගාමීන් සඳහා වැඩි අවශ්‍යතාවක් ඇති තැන්වලට පිටත්ව ගියා. තවත් අය අද්දැකීම් කියවීමෙන්, පර්යේෂණ කරමින් හෝ පොළොවේ සීමාවන් දක්වා (ඉංග්‍රීසියෙන්) නම් වූ සමිතියේ වීඩියෝ පටිය නැවත නැවතත් නැරඹීමෙන් සූදානම් වී තිබුණා.
මුලදී සඳහන් කළ විල් සහ පැට්සි, ශිෂ්‍යයන්ට දැක්වූ පෞද්ගලික උනන්දුව ගැන ඉමහත් සේ පැහැදුණා. “අපිව කවදාකවත් අඳුනාගෙන හිටියේ නැති පුද්ගලයන් පවා අපිව බදාගනිමින් ඡායාරූප ගත්තා. පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් අතට අත දී ‘අපිට ඔයගොල්ලන් ගැන හරි ආඩම්බරයි!’ කියලා කිව්වා.” කිසිම සැකයක් නැහැ, 103වන පංතියේ ශිෂ්‍යයන්ට ඉමහත් සේ ප්‍රේමය දක්වනු ලබනවා. ඔවුන්ට හොඳ පුහුණුවක් දී තිබෙනවා. ගිලියද්හි ඔවුන්ට ලැබී තිබෙන පුහුණුව සාර්ථක ශිෂ්‍යයන්ගේ සිට සාර්ථක මිෂනාරිවරුන් දක්වා මාරුවීමට ඔවුන්ට ඉවහල් වෙනවා ඇති.
[22වන පිටුවේ කොටුව]
පංතියේ දත්ත
නියෝජිත රටවල් සංඛ්‍යාව: 9
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 18
ශිෂ්‍ය සංඛ්‍යාව: 48
විවාහක යුවළයන්ගේ සංඛ්‍යාව: 24
වයස් සාමාන්‍යය: 33
සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 16
පූර්ණ-කාලීන සේවයේ සිටි අවුරුදු සාමාන්‍යය: 12
[23වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 103වන පංතිය
පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර ඇත.
(1) බන්, ඒ.; ඩාල්ස්ටෙඩ්, එම්.; කාම්පාන්යා, සෙඩ්.; බෝයිආජූඅලූ, ආර්.; ඕගැන්ඩෝ, ජී.; නිකන්චක්, ටී.; මෙල්වින්, එස්. (2) මේ, එම්.; මැපලා, එම්.; ලුවන්, ජේ.; හයිටමා, ඩී.; හෙර්නාන්ඩෙස්, සී.; බෝයිආජූඅලූ, එන්.; ස්ට’ම්, ඒ.; මෙල්වින්, කේ. (3) ටෝම්, ජේ.; මැපලා, ඊ.; නෝල්, එම්.; ටීස්ඩේල්, පී.; රයිට්, පී.; පෙරස්, එල්.; ෂෙනෆෙල්ට්, එම්.; පැක්, එච්. (4) ම’ෆි, එම්.; කාම්පාන්යා, ජේ.; ස්ටුවට්, එස්.; චේරේඩා, එම්.; රීඩ්, එම්.; පෙරස්, ඒ.; ටීස්ඩේල්, ඩබ්.; පැක්, ජේ. (5) ස්ටුවට්, ඩී.; රයිට්, ඒ.; චේරේඩා, පී.; නිකන්චක්, එෆ්.; රීඩ්, ජේ.; හයිටමා, කේ.; ඕගැන්ඩෝ, සී.; ෂෙනෆෙල්ට්, ආර්. (6) ම’ෆි, ටී.; හෙර්නාන්ඩෙස්, ජේ.; නෝල්, එම්.; බන්, බී.; ටෝම්, ආර්.; ඩාල්ස්ටෙඩ්, ටී.; ලුවන්, සෙඩ්.; මේ, ආර්.; ස්ට’ම්, ඒ.
[24වන පිටුවේ පින්තූරය]
කොහෙද අපි යන්නේ?