දේවවචනයෙහි ශිෂ්‍යයන් සමත් කරවීම
පළමුවන සියවසේ ක්‍රිස්තියානීන්ව අනුකරණය කරමින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දොරින් දොරට දේශනා කිරීම නිසා ලොව පුරා ප්‍රසිද්ධත්වයක් උසුලනවා. ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 102වන පංතියට උපාධි පිරිනැමූ වැඩසටහනේදී, සඳහන් කළ ප්රාරම්භක වදන්වලින් ඒ වැඩය අවධානයට ලක් කරනු ලැබුවා.
වර්ෂ 1997 මාර්තු 1වනදා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇල්බට් ෂ්‍රෝඩ’ ප්‍රංශ සඟරාවක් වන ල’ ප්වැන්හි මෑතකදී පළ වූ ලිපියකට අවධානය යොමු කළා. රෝමානු කතෝලිකයන් ඉතාලියෙහි ගෙයින් ගෙට දේශනා කිරීම ආරම්භ කරන්න සැලසුම් කරනවා කියලා එහි සඳහන් වී තිබුණා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්ෂේත්රයේ [වතිකානු මිෂනාරිවරුන්] තරඟ වදින කොට, වතිකානුවේ නියෝජිතයන් ගෙයින් ගෙට ගොස් සුභ අස්න ‘තබා යන’ ප්‍රවීණයන්ට [සාක්ෂිකරුවන්ට] මුහුණ දෙද්දී, හිස් අතින් එයට අවතීර්ණ වීමෙන් වැළකී සිටීමට, වතිකානුව ශුද්ධ වූ මාර්ක්ගේ සුවිශේෂයේ පිටපත් දශලක්ෂයක් අච්චු ගැසීමට තරම් දුරදිග ගිහිල්ලා තියෙනවා” කියලා එම ලිපියෙහි සඳහන් වුණා.
දේවවචනය ව්‍යාප්ත කිරීමෙහි යේසුගේ ප්‍රවීණ දේශනා කිරීමේ ක්‍රම අනුකරණය කරලා තියෙන අය අතර මෙම උපාධිලාභීන් 48දෙනා ඉන්නවා. ඔවුන් නියූ යෝක් පැටසන්වල පිහිටි මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයට රටවල් අටකින් ඇවිල්ලා තිබුණා. ඔවුන්ගේ මාස පහක් දිග අධ්‍යාපන පාඨමාලාවේදී, ඔවුන් බයිබලයේ මුල ඉඳන් අගට යනකල් එය අධ්‍යයනය කළා. ඔවුන්ගේ පාඨමාලාවට, දෙවිගේ සංවිධානයෙහි ඉතිහාසය, මිෂනාරි ජීවිතයෙහි ප්‍රායෝගික අංග සහ දෙවිගේ ආත්මයේ ඵලදාව ඇතුළත් වුණා. මේ සියල්ල ඉගෙනගත්තේ එක ඉලක්කයක් පෙරදැරි කරගෙනයි: ඔවුන්ව යවන්න නියමිතව තිබුණු රටවල් 17හි විදේශ මිෂනාරි සේවය සඳහා ඔවුන්ව සූදානම් කිරීමටයි. ඔවුන් උපාධි ලබද්දී, එම අවස්ථාවේ ප්‍රීතියට 5,015දෙනෙකුගෙන් සමන්විත අන්තර්ජාතික ශ්‍රාවක පිරිසක් සහභාගි වුණා. එම ගිලියද් ශිෂ්‍යයන්ට අන්තිමට ලැබුණේ මොන වගේ ප්‍රායෝගික උපදෙස්ද?
නවක මිෂනාරිවරුන්ට කාලෝචිත දිරිගැන්වීම්
සභාපතිගේ ප්රාරම්භක අදහස්වලින් පස්සේ, පාලක මණ්ඩලයේ සේවා පිරිස් කමිටුවට උපකාර කරන රැල්ෆ් වෝල්ස්, නවක මිෂනාරිවරුන් සඳහා ප්‍රායෝගික උපදෙස් ඇතුළත් පළමුවන කෙටි කතාව දුන්නා. ඔහුගේ තේමාව වුණේ “ප්‍රේමය පෙන්වීමට මතක තියාගන්න” යන්නයි. ලෝකය වැඩි වැඩියෙන් ප්‍රේමය නැති තත්වයකට පත් වන බව බයිබලයෙහි 2 තිමෝති 3වන පරිච්ඡේදයෙහි පුරෝකථනය කළ බව ඔහු ගෙනහැර දැක්වූවා. පළමුවන කොරින්ති 13:1-7හි සොයාගන්න පුළුවන් ප්‍රේමය පිළිබඳ විස්තරයට එකඟව, ඔහු නවක මිෂනාරිවරුන්ට මෙම කාලෝචිත සිහිගැන්වීම ඉදිරිපත් කළා: “මිෂනාරිවරුන් වශයෙන්, ඔබේ නියමිත පැය ප්‍රමාණයට වඩා ඔබ වැඩියෙන් කරනවා වෙන්න පුළුවන්. ඔබේ ගිලියද් පුහුණුව නිසා දැනුම් සම්භාරයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම්, අපේ ශාඛා පැවරුම්වලදී ජ්වලිතව අමතර කාලයක් යොදවමින් අපි වැඩ කරනවා වෙන්නත් පුළුවන්. ඒත් අපිට ප්‍රේමය පෙන්නන්න අමතක වී ගියොත්, අපේ හැම ප්රයත්නයක්ම සහ පරිත්‍යාගයක්ම වැඩක් වෙන්නේ නැහැ.”
වැඩසටහනේ ඊළඟට, පාලක මණ්ඩලයේ කේරි බාබ’, “යෙහෝවා අපව ජයග්‍රහණය කරා මඟ පෙන්වනවා” කියන විෂය සලකා බැලුවා. පළමුවන ලෝක යුද්ධයෙන් පස්සේ ඔවුන්ගේ කුඩා ආරම්භයේ පටන්, යෙහෝවා දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ට මඟ පෙන්වා තියෙනවා, පීඩා අභිභවා, ඔහුගේ රාජ්‍යයෙහි ශුභාරංචිය ප්‍රචලිත කිරීමෙහි ජයග්‍රහණයක් ලබාගන්න. වර්ෂ 1931දී, එදා බයිබල් ශිෂ්‍යයන් හැටියට හඳුන්වනු ලැබූ අය, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයේ දොම්නසට හේතු වෙමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන නම පවරා ගත්තා. “එම පරිශුද්ධ නාමය ඉගෙනගන්න, හැකි සෑම කෙනෙක්ටම ප්‍රස්තාවක් දීමේ තේජාන්විත වැඩයට පුළුල් ආකාරයෙන් සහභාගි වීමේ උදාර වරප්‍රසාදය, ගිලියද් පුහුණුව ලැබූ මිෂනාරිවරුන්ගේ 102වන පංතියට දැන් තියෙනවා” කියලා සහෝදර බාබ’ කිව්වා. ගිලියද් පාසැලෙහි පුහුණුව ලබා, දේවවචනය දේශනා කිරීමේ කටයුත්ත 1943දී රටවල් 54ක ඉඳන් අදදින රටවල් 233ක් දක්වා ව්‍යාප්ත කරන්න උපකාර කරලා තියෙන මිෂනාරිවරුන් 7,131දෙනාගෙන් යුත් දිග ලැයිස්තුවට ඔවුන් එකතු වෙනවා.
ඊළඟ කථිකයා, ලොයිඩ් බැරි පාලක මණ්ඩලයට අයත් කෙනෙක්, ඒ වගේම 11වන ගිලියද් පංතියේ උපාධිධාරියෙක්; ඔහු ජපානයෙහි මිෂනාරිවරයෙක් හැටියට අවුරුදු 25කටත් වැඩිය සේවය කළා. “ඒවායේ පවතින්න” යන ඔහුගේ තේමාවට එකඟව ඔහු දිරිගැන්වීමක් සැපයුවා. “විඳදරාගැනීමෙන් තමයි ඔබගේ ප්‍රීතියෙන් වැඩිහරියක් ලැබෙන්නේ” කියලා ඔහු ශිෂ්‍යයන්ට කිව්වා. මිෂනාරි සේවයෙහි හෝ ඕනෑම දිව්‍යාණ්ඩුමය පැවරුමකදී විඳදරාගැනීමෙන් අත් වන විපාක මොනවාද? “හැම දෙයකටම වඩා, අපේ විඳදරාගැනීම යෙහෝවාගේ හෘදය ප්‍රීතිමත් කරවනවා . . . පරීක්ෂා යටතේ අඛණ්ඩතාව පැවැත්වීමෙන් මහත් තෘප්තියක් ලැබෙනවා . . . මිෂනාරි සේවය ඔබේ ජීවිතයේ කාර්යය කරගන්න . . . ඔබේ විපාකය, ‘බොහොම හොඳයි’ කියන හද උණුසුම් කරවන ප්‍රශංසාවක් වේවි.” (මතෙව් 25:21, NW; හිතෝපදේශ 27:11) තමා ඉදිරිපත් කළ අදහස් නිම කරද්දී, මිෂනාරි ක්ෂේත්රය ඔවුන්ගේ ජීවිතයම කරගැනීමට අදිටන් කරගැනීමෙන් නවක මිෂනාරිවරුන්ට “ඒවායේ පවතින්න” කියලා සහෝදර බැරි ඔවුන්ට මුළු හෘදයෙන්ම නිර්දේශ කළා.—1 තිමෝති 4:16.
ගිලියද් පංති බොහොමයකට දේශන ඉදිරිපත් කිරීමෙහි සහභාගි වුණ කාල් ඇඩම්ස් ඉදිරිපත් කළ ප්රශ්නය තමයි “ඔබ මොනවාද දකින්න යන්නේ?” නවක මිෂනාරිවරුන් තමුන්ගේ පැවරුම්වලදී දකින්න යන දේවල් ඔවුන්ගේ කායික පෙනීම මත විතරක් නෙමෙයි, නමුත් ඔවුන්ගේ හෘදය නමැති ඇස් මතත් රඳා පවතින බව ඔහු ගෙනහැර දැක්වූවා. (එපීස 1:18, 19) ඉශ්රායෙල් ඔත්තුකාරයන් පොරොන්දු දේශය පරීක්ෂා කර බැලූ විට ඔවුන් දුටු දෙයින් මෙය නිදර්ශනය කරනු ලැබුවා. කායික දෘෂ්ටිකෝණයකින් ඔත්තුකාරයන් 12දෙනාම එකම දේ දුටුවත්, පොරොන්දු දේශය දෙවිගේ දෘෂ්ටිකෝණයෙන් දැක්කේ දෙදෙනෙක් විතරයි. මිෂනාරිවරුන්ටත් පුළුවන් දේවල් දෙස විවිධාකාරව බලන්න. ඔවුන් සේවය කරන්න යන ඇතැම් රටවල, දුගීකම, වේදනාව සහ බලාපොරොත්තු විරහිතභාවය ඔවුන් දැකිය හැකියි. ඒත්, නිෂේධාත්මක විදිහට ප්‍රතික්‍රියා කරලා ඒ රට අත්හැර නොයා යුතුයි. මෑතක පංතියක මිෂනාරිවරයෙක්ගේ අද්දැකීම ගැන සහෝදර ඇඩම්ස් විස්තර කළා; ඒ මිෂනාරිවරයා මෙහෙම කිව්වා: “මේ අද්දැකීම් නිසා මම තේරුම්ගත්තා, මම මෙහෙ ඉන්න ඕනෙ කියලා. මේ මිනිස්සුන්ට අනාගතය සඳහා බලාපොරොත්තුවක් අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කරන්න මට ඕනෙ.” තමුන්ට පවරා තියෙන රටවල්, යෙහෝවා තම සමස්ත ලෝක පාරාදීසයෙහි කොටසක් කරන්න තීරණය කරලා තියෙන ප්‍රදේශ වශයෙනුත්, එහි ජනයා නව ලෝක සමාජයට අයත් විය හැකි සාමාජිකයන් වශයෙනුත් සලකන්න කියලා නව මිෂනාරිවරුන්ට දිරිගන්වමින් සහෝදර ඇඩම්ස් කතාව අවසන් කළා.
වැඩසටහනේ මේ කොටසෙහි අවසාන දේශනය වොලස් ලිවරන්ස් ඉදිරිපත් කළා; ඔහු ගිලියද් උපදේශකයෙක් වෙන්න කලින්, මිෂනාරි ක්ෂේත්රයෙහි අවුරුදු ගණනාවක්ම සේවය කළා. “දෙවිගේ විස්මයජනක ක්‍රියා සම්බන්ධව තීක්ෂ්ණ බුද්ධියකින් ක්‍රියා කරන්න” යන්න ඔහුගේ තේමාව වුණා. තීක්ෂ්ණ බුද්ධියෙන් ක්‍රියා කරන එකට ඇතුළත් වෙනවා විචක්ෂණ බුද්ධියෙන්, ස්ථානෝචිත ප්‍රඥාවෙන් සහ සාමාන්‍ය බුද්ධියෙන් ක්‍රියා කිරීම. ඉශ්රායෙල්හි සාවුල් රජ කරන්න අසමත් වුණ දෙයක් තමයි ඒ.—1 සාමුවෙල් 13:9-13; 15:1-22.
තීක්ෂ්ණ බුද්ධියෙන් ක්‍රියා කරන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි, අලුත් භාෂාවක් ඉගෙනගැනීම සහ මිනිස්සුන්ව දැනහඳුනා ගැනීම ඇතුළුව, අලුත් ජීවන රටාවක් අනුව හැඩගැසීමේ අභියෝගය පිළිගැනීම. යෝෂුවා සහ කාලෙබ්, දෙවි ඔවුන්ට පැවරූ දේශය යටත් කළ විට ශක්තිමත් වූ ආකාරයෙන්ම, අභියෝගයන්ට මුහුණ දීමේදී සහ බාධකයන් පරාජය කිරීමේදී මිෂනාරිවරුන්ට අද්දකින්න ලැබෙන දේවල් ඔවුන්ව ආත්මික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන්.
සම්මුඛ සාකච්ඡා
වැඩසටහනේ ඉන්පසුව පැමිණි කොටසට, සම්මුඛ සාකච්ඡා මාලාවක් ඇතුළත් වුණා. හැරල්ඩ් ජැක්සන්, ගිලියද් පාසැලේ රෙජිස්ට්‍රාර් ලේකම් සහ දිගුකලක් තිස්සේ උපදේශක ලෙස කටයුතු කර තියෙන දැන් 85වන වියේ පසු වන යූලිසීස් ග්ලාස්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. අවුරුදු ගණනාවක් පුරා ඔහු කළ විශ්වාසවන්ත ඉගැන්වීම සහ පුහුණුව ක්ෂේත්රයේ තවමත් සිටින මිෂනාරිවරුන්ට මතකයි. ඊළඟට, ගිලියද් පාසැල් කාර්ය මණ්ඩලයට එකතු වෙන්න කලින්, අප්‍රිකාවේ විදේශ සේවයෙහි වර්ෂ ගණනාවක්ම ගත කළ ගිලියද් උපදේශක මාක් නූමැ පැමිණියා. ශිෂ්‍යයන් පුහුණුව ලැබූ මාස පහ තුළදී ඔවුන් කළ සේවය ගැන විමසීමට ඔහු ඔවුන්ව සම්මුඛ සාකච්ඡාවට කැඳෙව්වා. අවට බලප්‍රදේශයෙහි දේවවචනය කෙරෙහි උනන්දුවක් ඇති අය ඉන්න බව ඔවුන්ගේ අද්දැකීම්වලින් පැහැදිලිව පෙනී ගියා.
ඊළඟට රොබට් සිරැන්කෝ සහ චාල්ස් මොලහන්, තවත් පාසැලකට, එනම් ශාඛා කාර්යාලවල සේවය කරන අයට තියෙන පාසැලකට සහභාගි වෙමින් සිටි අද්දැකීම් ලත් පුරුෂයන් සමඟ කතා බහ කළා. උපාධි ලැබූ පංතියට ඔවුන් දුන් උපදෙස්වලට ඇතුළත් වුණේ, නිහතමානී වීමේ අවශ්‍යතාව සහ සභාවේ සමඟියට දායක වීමේ අවශ්‍යතාවයි. මිෂනාරි සේවයෙහි යෙදෙන කොට මොනව වෙයිද කියලා කලින් නියම කරගත් අදහස් ඇති කරගන්නේ නැතුව, ඔවුන් හමුවට පැමිණෙන ඕනෑම දෙයක් පිළිගන්න කැමැත්තක් දක්වන්න කියලා ඔවුන් උපාධිධාරීන්ට යෝජනා කළා. මෙම උපදෙස් අදාළ කරගැනීම, දේවවචනයෙහි ගුරුවරුන් වශයෙන් නවක මිෂනාරිවරුන්ට තම පැවරුම් ඉටු කරගන්න උපකාරවත් වන බවට කිසිම සැකයක් නැහැ.
අවසාන වශයෙන්, පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන තියඩෝ ජැරැස්, “බලපෑම කාගෙන් කාටද?” යන විෂය පෙරදැරි කරගෙන ශ්‍රාවක පිරිස ඇමතුවා. ක්‍රිස්තියානීන් වශයෙන් අපි ආත්මයේ ඵලදාව විදහාපෙන්වන කොට, අපිට අනිත් මිනිසුන් කෙරෙහි හොඳ බලපෑමක් වෙන්න පුළුවන් කියලා ඔහු පැහැදිලි කළා. “යෙහෝවාගේ සංවිධානය යවලා තියෙන මිෂනාරිවරුන්, සුවදායක, ආත්මික ආකාරයකින් මිනිසුන්ට බලපෑම් කිරීමේදී ප්‍රශංසාකටයුතු වාර්තාවක් තබා තියෙනවා” කියලා ඔහු සඳහන් කළා. මිෂනාරිවරුන් තැබූ හොඳ ආදර්ශයන් හේතුවෙන් දෙවිට සේවය කරන්න උපකාර ලබා තියෙන පුද්ගලයන් දැක්වූ අදහස් සමහරක් ඔහු සඳහන් කළා. “යෙහෝවාගේ සෙනඟ ලබා තියෙන කීර්තිය දිගටම පවත්වාගන්න බලන්න; සුදුසුකම් ඇති අයව සෙවීමට, ඔබේ විදේශ පැවරුමේ දොරවල්වලට දිගටම තට්ටු කරන්න . . . එමෙන්ම ඔබේ නිර්දෝෂ, පිරිසිදු හැසිරීමෙන්, මේ ලෝකයේ ආත්මයට විරුද්ධ වී, යෙහෝවාගේ ප්‍රශංසාවත් ගෞරවයත් පිණිස යහපත සඳහා බලපෑමක් වන්න” කියමින් ඔහු අවසන් කළා.
වැඩසටහන අවසන් කරද්දී, සභාපති දුර නුදුරින් ලැබූ ශුභපැතුම් නිවේදනය කළ අතර, ඉන් අනතුරුව ඩිප්ලෝමාවන් ඉදිරිපත් කර, මිෂනාරි පැවරුම් දැනුම් දුන්නා. ඉන් පස්සේ, සැපයූ උපදෙස්වලට ස්තුතිය ප්‍රකාශ කළ පංතියේ අධිෂ්ඨානයක් උපාධිධාරියෙක් කියෙව්වා. එකසිය දෙවන පංතියේ උපාධි ලැබීමේ වැඩසටහන, දේවවචනය ප්‍රකාශ කිරීමෙහි කාර්යය ඉදිරියටම කරගෙන යන්න පැමිණ සිටි සියලුදෙනා තුළ වැඩි අධිෂ්ඨානයක් ඇති කළ බවට සහතිකයි.
[31වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 102වන පංතිය
පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර ඇත.
(1) ඩෆි, සී.; ඇලෙක්සිස්, ඩී.; හාෆ්, ආර්.; ලී, ජේ.; කෝරී, වී.; නෝටම්, ටී.; මෝරා, එන්.; ජෝනෙට්, එෆ්. (2) යූපවික්, එල්.; සිං, කේ.; හාට්, බී.; කර්කෝරීඅන්, එම්.; ලී, එස්.; රාස්ටල්, එස්.; සූලන්, කේ.; කෝලෙට්, කේ. (3) සිං, ඩී.; පීට්ලූ, ජේ.; පීට්ලූ, එෆ්.; බෝකෝක්, එන්.; ටොර්මා, සී.; මස්ලෝ, ඒ.; රිචඩ්සන්, සී.; නෝටම්, ඩී. (4) හාෆ්, ජේ.; ජෝනෙට්, කේ.; බාබ’, ඒ.; ලෝබෙර්ටෝ, ජේ.; ලෝබෙර්ටෝ, ආර්.; මස්ලෝ, එම්.; මෝරා, ආර්.; හාට්, එම්. (5) ටොර්මා, එස්.; රාස්ටල්, ඒ.; ඩියාස්, ආර්.; ඩියාස්, එච්.; වයිස’, එම්.; වයිස’, ජේ.; කර්කෝරීඅන්, ජී.; සූලන්, ඒ. (6) ඇලෙක්සිස්, ආර්.; බාබ’, ඩී.; යූපවික්, එච්.; ඩෆි, සී.; කෝලෙට්, ටී.; රිචඩ්සන්, එම්.; බෝකෝක්, එස්.; කෝරී, ජී.