ගිලියඩ් උපාධිලාභීහු—“සැබෑ මිෂනාරිවරු!”
“මිෂනාරිවරයෙකු යනු කවරෙක්ද?” මෙම ප්රශ්නය මීට දශක හතරකට පමණ පෙර පුවත්පතක් මගින් නඟන ලදි. මෙහි ලේඛකයා තර්ක කළේ, සැබෑ මිෂනාරිවරුන් වනාහි සමාජීය හා ආර්ථික ප්‍රතිසංස්කරණයේ උපකරණයන් වු බවය. කෙසේවෙතත්, 1995 මාර්තු 5වන ඉරිදා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජර්සි සිටි එක්රැස්වීම් ශාලාවේදී ඉතා වෙනස් ආකාරයක පිළිතුරක් අවධාරණාත්මකව දෙන ලදි. මෙම අවස්ථාව කුමක් වීද? මුළු ලොව පුරා මිෂනාරිවරුන්ව පිටත් කර යවා ඇති පාසැලක් වන, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 98වන පංතියේ උපාධි ප්‍රධානෝත්සවයයි!
ආරම්භක ගීතිකාව සහ යාච්ඤාවෙන් පසු, පාලක මණ්ඩලයේ ඇල්බට් ඩී. ෂ්රෝඩර්, පැමිණි සිටි 6,430දෙනාව උණුසුම්ව පිළිගත්තේය. තම හැඳින්වීමේ කතාවේදී, ගිලියඩ් උපාධිලාභීන්, තමන්ම මිෂනාරිවරුන් යයි කියා සිටින වෙනත් අයගෙන් වෙනස් වන්නේ මන්ද කියා පැහැදිලි කර සිටියේය. “ගිලියඩ් සඳහා ප්‍රධානම ග්‍රන්ථය වන්නේ බයිබලයයි” යනුවෙන් ඔහු කියා සිටියේය. ගිලියඩ් මිෂනාරිවරුන්ව පුහුණු කරනු ලබන්නේ, සමාජ සේවකයන් වීම පිණිස නොව, නමුත් දෙවියන්වහන්සේගේ වචනයේ ගුරුවරුන් වීමටය. මෙසේ ඔවුහු, විදේශීය රටවල වෙසෙන ජනයාගේ ආත්මික අවශ්‍යතාවන් කෙරෙහි සැලකිල්ල දැක්වීමට විශේෂ ලෙස සුදුසුකම් ලබති.
ගිලියඩ් මිෂනාරිවරුන් “සැබෑ” මිෂනාරිවරුන් බවට සාක්ෂි දෙන වෙනත් ක්ෂේත්රයන් ගැන මීළඟට පැමිණි කථිකයෝ ගණනාවක්ම සාකච්ඡා කළහ. චාර්ල්ස් මොලහැන්, “මිෂනාරිවරුන් වශයෙන් දිගටම කදිම ඵලදාව දරන්න” යන මැයෙන් කතා කළේය. කොලොස්සි 1:9, 10, NWහි සඳහන් ප්‍රේරිත පාවුල්ගේ වචනවලට අවධානය යොමු කරමින්, සහෝදර මොලහැන් උපාධිධාරීන්ට සිහිගැන්වූයේ, ගිලියඩ් පාසැලේ ඔවුන් ගත කළ පසුගිය මාස පහක කාලය, “දෙවියන්වහන්සේ පිළිබඳ ඒකාන්ත දැනුම තුළ” වර්ධනය වීමට ඔවුන්ට උපකාර කළ බවයි. මෙය ඔවුන්ට ඵලදාව නිපදවීමට ක්‍රම දෙකකින් උපකාර වනු ඇත: දෙවියන්වහන්සේගේ ආත්මයේ ඵල විදහාපෑම මගින් සහ අන්‍යයන් සමඟ සත්‍යය බෙදාගැනීම මගිනි.
පාලක මණ්ඩලයේ ඩැනියල් සිඩ්ලික්, “ඔබගේ ජීවිතය උවදුරට ලක් කිරීමට ඉඩ නොදෙන්න” යන සිතිවිලි කලතන තේමාව යටතේ කතා කළේය. ඔහු යේසුස්වහන්සේගේ මෙම ප්රශ්නය සඳහන් කළේය: “මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?” (මතෙව් 16:26) සහෝදර සිඩ්ලික් මෙසේ නිරීක්ෂණය කළේය: “මිනිසුන් තමන්ගේ ආත්ම, පහසු සැහැල්ලු ජීවිත රටාවක් සඳහා විකුණා තිබෙනවා.” කෙසේවෙතත්, ජීවමාන ඇදහිල්ලක් ඇති අයට පරීක්ෂා හමුවේ තම ප්‍රතිපත්ති පාවා දිය නොහැකියි. යේසුස්වහන්සේගේ වදන්වලින් අඟවන්නේ, යමෙක් තම ආත්මය හෙවත් ජීවිතය ලබාගැනීම සඳහා එය “දීමට” එනම් පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටිය යුතු බවයි. තමන්ගේ සියලු දේ, එනම් තමන්ට ඇති හොඳම දෙය යෙහෝවඃවහන්සේගේ සේවය තුළ උන්වහන්සේට දීමට නව මිෂනාරිවරුන්ට අනුශාසනා කරන ලදි!
ඊළඟට, සේවා අංශ කමිටුවේ විලියම් වැන් ඩෙ වෝල්, “ප්‍රේරිත පාවුල්—අනුකරණය කිරීමට වටින ආදර්ශයක්” යන තේමාව මත කතා කළේය. සහෝදර වැන් ඩෙ වෝල් මෙසේ පැහැදිලි කළේය: “පාවුල් පළමු සියවසේ මිෂනාරි සේවය තුළ පෙරමුණ ගත්තා.” එසේනම්, අදදින මිෂනාරිවරුන් සඳහා ප්‍රේරිත පාවුල් විසින් යහපත් ආදර්ශයක් තබන ලද පැති හතරක් ඉස්මතු කිරීම යෝග්‍ය විය: (1) ජනයා උදෙසා පාවුල්ගේ අව්‍යාජ සැලකිල්ල සහ ප්‍රේමය, (2) දේවසේවය තුළ ඔහුගේ බලපෑමෙන් යුක්ත බව, (3) තමාවම ඉහළින් තැබීමට ඔහුගේ නිහතමානි ප්රතික්ෂේපය, (4) යෙහෝවඃවහන්සේ තුළ ඔහු තැබූ ප්‍රශ්න කළ නොහැකි දැඩි විශ්වාසය.
“ඔබගේ නව පැවරුම තුළ ඔබව මුළුමනින්ම විමසා බැලීමට යෙහෝවඃවහන්සේට ඉඩ දෙන්න” යන්න පාලක මණ්ඩලයේ ලයිමන් ඒ. ස්විංගල් විසින් සාකච්ඡා කරන ලද විෂය විය. එම දවසේ දිනපදය වූ ගීතාවලිය 139:16 යොදාගනිමින්, සහෝදර ස්විංගල්, පිළිගත්තේ, නව මිෂනාරිවරුන් වශයෙන් ඔවුන් තම පැවරුම තුළ ගැටලුවලට මුහුණ පාන්ට වන බවත්, එමෙන්ම යෙහෝවඃවහන්සේ පිළියම් දන්නා බවත්ය. “උන්වහන්සේ වෙතට යන්න, ඔබට ගැටලුවක් තිබෙන විට, උන්වහන්සේට කතා කරන්න, උන්වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා සොයා බලන්න” යයි ඔහු අනුශාසනා කළේය.
“ඔබේ ඇදහිල්ල අතිශයින් වැඩිවෙමින් තිබේ” යන තේමාව ඔස්සේ ඊළඟට කතා කළේ, පාලක මණ්ඩලයේ ජෝන් ඊ. බාර්ය. (2 තෙසලෝනික 1:3) ලූක් 17:1හි යේසුස්වහන්සේ මෙසේ පැවසූ බව අපට කියවීමට තිබේ: “බාධා නොපැමිණී තිබෙන්ට බැරිය.” ඇතැම්හු සෙසු මිෂනාරිවරුන්ගේ පෞද්ගලිකත්වයන් නිසා බාධාවට පත්වී සිටිති. එහෙත් සහෝදර බාර්, සමාව දීමට අවශ්‍ය ඇදහිල්ල තබාගන්නා මෙන් මිෂනාරිවරුන් දිරිගැන්වූයේය. ඇත්තෙන්ම, “අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි” යේසුස්වහන්සේගේ ගෝලයන් අයැද සිටියේ එම පසුබිම තුළය. (ලූක් 17:2-5) විවිධ සංවිධානාත්මක සකස් කිරීම් මගින්ද මිෂනාරිවරුන්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් විය හැකිය. “මේවා භාරගැනීමට අපට ඇදහිල්ලක් තිබෙනවාද? නැත්නම් මේවා කඳු වැනි බාධක බවට පත්වේවිද?” යයි සහෝදර බාර් ඇසීය.
ඊළඟට යම් අවවාද පැමිණියේ ගිලියඩ් උපදේශකවරුන් දෙදෙනෙකුගෙන්ය. ජැක් රෙඩ්ෆඩ්, ඒකාන්ත ආකල්පයක් පවත්වාගන්නා මෙන් උපාධිලාභීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. තම සෙසු මිෂනාරිවරුන්ගේ යම් විහිළු තහළු නිසා තම පැවරුමෙන් බැහැර වූ එක් මිෂනාරිවරියක් ගැන ඔහු පැවසුවේය. කෙසේවෙතත්, අනවශ්‍ය ලෙස දේවල් ගැන අමනාප වීමට එරෙහිව ශුද්ධ ලියවිලි අපට අනතුරු අඟවයි. (දේශනාකාරයා 7:9) “හරි ආකල්පය ඇතුව සිටින්න, ඔබ වටා සිටින වෙනත් අයගේ අත්වැරදි සහ අසම්පූර්ණකම්වලට සමාව දෙන්න,” කියා ඔහු දිරිගැන්වීය.
ගිලියඩ් රෙජිස්ට්‍රාර්වරයා වන යූ. වී. ග්ලාස් අනතුරුව මෙසේ ඇසීය: “ ‘කාලය සමඟ කලින් දැකිය නොහැකි සිදුවීම්වලට’ මුහුණ දීමට ඔබ සූදානම්ද?” (දේශනාකාරයා 9:11, NW) “අපගේ ජීවිත රටාව සෑමවිටම වෙනස්කම්වලට භාජන වෙනවා, සමහර ඒවා තරමක් අප්‍රසන්න වෙන්ට පුළුවන්” යයි සහෝදර ග්ලාස් සඳහන් කළේය. ඇතැම් මිෂනාරිවරුන්ට අනපේක්ෂිත ලෙස අසනීපවලට, රෝගවලට සහ පවුලේ ගැටලුවලට මුහුණ දීමට සිදුවී තිබෙන නිසා, තම පැවරුම අත්හැරීමට සිදුවී තිබෙනවා. “කලින් දැකිය නොහැකි සිදුවීම් මොනවා වුවත්, යෙහෝවඃවහන්සේ ඒ ගැන සාවධානව සිටින බවත්, උන්වහන්සේ ඒ ගැන සැලකිලිමත් වන බවත් අප දන්නවා” යයි සහෝදර ග්ලාස් පැවසීය. “අප උන්වහන්සේ මත රඳා සිටින්නේ නම්, අපට ජයගත හැකි වනු ඇති බවත් අප දන්නවා!”
“මිෂනාරි සේවයට වෙන් කරනු ලැබ” යන තේමාවෙන් යුත් කතාව සමඟ උදය වරුවේ දේශන මාලාව අවසන් විණ. පාලක මණ්ඩලයේ තියඩෝර් ජෙරෙස්, මෙම ලිපියේ පළමුව සඳහන් වූ ප්රශ්නය නැඟීය, එනම්, “මිෂනාරිවරයෙකු යනු කවරෙක්ද?” මීට පිළිතුරු වශයෙන්, හේ, පාවුල් සහ බාර්ණබස්ගේ මිෂනාරි වැඩ පිළිබඳව ක්‍රියා 13 සහ 14වන පරිච්ඡේද සාකච්ඡා කළේය. පැහැදිලිවම, අවධානය යොමු වී තිබුණේ, සමාජීය ගැටලු විසඳීමට නොව, නමුත් ‘ශුභාරංචිය ප්‍රකාශ කිරීමටයි.’ (ක්‍රියා 13:32) සහෝදර ජෙරෙස් මෙසේ ඇසීය: “සැබෑ මිෂනාරිවරයෙක් කිනම් ආකාර පුද්ගලයෙකුද කියා පාවුල් සහ බාර්ණබස් නිරූපනය කළ බවට ඔබ එකඟ වන්නේ නැද්ද?” අනතුරුව, එවැන්ජලිස්තවරයෙකු වශයෙන්, හද උණුසුම් කරවන තම අද්දැකීම්වලින් සමහරක් බෙදාගැනීමට මෙක්සිකෝවේ පළපුරුදු මිෂනාරිවරයෙකු වූ රොබට් ට්‍රේසි කැඳවන ලදි.
සහෝදර ෂ්රෝඩර් විසින් උපාධිලාභීන් 48දෙනාට ඩිප්ලෝමා බෙදා දීමත් සමඟම, උදෑසන වැඩසටහන උච්චාවස්ථාවට පැමිණිණ. මෙම මිෂනාරිවරුන්ට පැවරුම් දී ඇති රටවල් 21හි නම් ඇසීමෙන් සබය සතුටින් පිනා ගියේය. ඒවා නම්: එස්ටෝනීයාව, ඉක්වඩෝරය, කෝට් ඩේව්වා, කොස්ටරීක, ගිනි-බිසවු, තායිවාන්, නිකරගුවාව, පැරගුවේ, පේරු, බෙනින්, බාර්බේඩස්, බොලීවියාව, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව, මුරිට්ස්, මොසැම්බික්, ලැට්වියාව, ලීවර්ඩ් දූපත්, වෙනිසියුලාව, සමක ගිනියාව, සෙනගොල් සහ හොණ්ඩුරස්.
විවේක කාලයෙන් පසු, සේවා අංශයේ රොබට් පී. ජොන්සන් විසින් මෙහෙයවන ලද මුරටැඹ සජීවි පාඩමක් සබය භුක්තිවින්දේය. අනූඅටවන පංතියේ සාමාජිකයෝ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ. ඉන් අනතුරුව ගිලියඩ් සේවා මණ්ඩල සාමාජිකයන් විසින් මෙහෙයවන ලද සතුට දනවන සම්මුඛ සාකච්ඡා වැළක් පවත්වන ලදි. උපාධිලාභීන් ක්ෂේත්‍ර සේවයේ තම අද්දැකීම් බෙදාගෙන, තම විදේශීය පැවරුම් පිළිබඳව තම හැඟීම් ප්‍රකාශ කරත්ම, සබය මහත් සේ දිරිගන්වනු ලැබිණ.
වසර හයාමාරකට, ගිලියඩ් පාසැල පිහිටා තිබුණේ, නිව් යෝර්ක්හි, වෝල්කිල්හි වොච්ටවර් සමිතියේ පහසුකම්වලය. කෙසේවෙතත්, 1995 අප්‍රියෙල් මාසයේදී, පාසැල, නිව් යෝර්ක්හි පැටර්සන්හි පිහිටි නව වොච්ටවර් අධ්‍යාපන ආයතනය වෙත ගෙන යන ලදි. වෝල්කිල්හි බෙතෙල් පවුලට මෙම වෙනස හැඟුණේ කෙසේද? මෙම උපාධි ප්‍රධානෝත්සවයේදී වෝල්කිල්හි සිට පැමිණි කිහිපදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට භාජන කරන ලදි. ගිලියඩ් ශිෂ්‍යයන් ඔවුන් කෙරෙහි සදා අමරණීය සිහිවටනයක් තබා ගොස් ඇති බව ඔවුන්ගේ හැඟීම් දනවන ප්‍රකාශවලින් පැහැදිලි විය. පැහැදිලිවම, කැමැත්තෙන් සේවය කරන මෙම පුරුෂයෝ සහ ස්ත්‍රීහු, නිහතමානී, ආත්ම-පරිත්‍යාගී, අන්‍යයන්ට උපකාර කිරීමට ගැඹුරු සැලකිල්ලක් තිබූ සැබෑ මිෂනාරිවරු වූහ.
උපාධි ප්රදානෝත්සවය අවසාන වීමත් සමඟ, පැමිණි සියල්ලන් තුළ නිසැකකමක් ඇතිවූයේ, ගිලියඩ් පාසැල වසර 50ක් මුළුල්ලේ සාර්ථකව කර ඇති දෙය දිගටම කරනු ඇති බව නිසයි.—එනම්, ඒ සැබෑ මිෂනාරිවරුන් බිහි කිරීමයි!
[18වන පිටුවේ කොටුව]
පංතියේ දත්ත:
නියෝජිත රටවල් සංඛ්‍යාව: 8
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 21
ශිෂ්‍ය සංඛ්‍යාව: 48
වයස් සාමාන්‍යය: 32.72
සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 15.48
පූර්ණ-කාලීන සේවයේ සිටි අවුරුදු සාමාන්‍යය: 10.91
[18වන පිටුවේ පින්තූරය]
වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි උපාධිලාභී 98වන පංතිය
පහත සඳහන් ලැයිස්තුවේ, පේළි ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තු ගත කර ඇත.
(1) එස්ලිංගර්, ඒ.; මෑන්, ටී.; රිවෙරා, ජී.; බාර්වෙරෝ, එම්.; වාස්, එම්.; ඩූර්ග, කේ.; සිල්වෙරක්ස්, එච්.; අල්වරාඩෝ, ඩී. (2) ටෝත්, බී.; සෙගාරා, එස්.; හාර්ට්, ආර්.; රොරාක්, අයි.; එස්කෝබාර්, පී.; අයිස්ට්රප්, ජේ.; ස්ලයි, එල්.; රිවෙරා, ඊ. (3) අර්චාර්ඩ්, ඩී.; ස්නේත්, එස්.; මාර්සිඑල්, පී.; කොල්යනන්, ඩී.; වොඩල්, එස්.; බ්ලැක්බර්න්, එල්.; එස්කොබාර්, එම්.; ආර්චාර්ඩ්, කේ. (4) හාර්ට්, එම්.; ටොත්, එස්.; කොල්යනන්, ජේ.; බෙරිමන්, එච්.; මෑන්, ඩී.; බ්ලැක්බර්න්, ජේ.; පාර්ක්, ඩී.; වාස්, එෆ්. (5) සෙගාරා, එස්.; ස්ලයි, එල්.; ලෙස්ලි, එල්.; බරිමන්, බී.; බාර්වෙරෝ, ඩබ්ලිව්.; අල්වරාඩෝ, ජේ.; ලෙස්ලි, ඩී.; පාර්ක්, ඩී. (6) සිල්වෙරක්ස්, කේ.; එස්ලිංගර්, ආර්.; වොඩල්, ජේ.; ස්නේත්, කේ.; ඩූර්ගා, ඒ.; රොරාක්, එෆ්.; අයිස්ට්රප්, සී.; මාර්සිඑල්, ඩී.