ගිලියඩ් පාසල—වසර 50ක් පුරා සමෘද්ධිමත් ව!
“රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පුළුල් ප්‍රමාණයකට සාක්ෂි දරා නොමැති බොහෝ ප්‍රදේශ තිබේ,” යයි 1943 පෙබරවාරි 1දා, එනම් ගිලියඩ් පාසල ආරම්භ වූ දවසේ එහි පළමු වෙනි පංතිය අමතා එන්. එච්. නෝර් සඳහන් කළේ ය. ඔහු මෙසේ එකතු කළේ ය: “ක්ෂේත්රයේ වැඩකරුවන් වැඩියෙන් සිටියා නම්, තවත් සිය දහස් ගණන් අය වෙත ළඟා විය හැකියි, ස්වාමින් වහන්සේගේ අනුග්‍රහයෙන්, තවත් බොහෝ දෙනෙකු සිටීවි.”
බොහෝ වැඩකරුවන්—එසේ ය මිලියන ගණනක් තවත් වැඩකරුවන් සිට තිබේ! රාජ්‍යය ප්‍රචාරකයන්ගේ ප්‍රමාණය 1943 දී රටවල් 54ක 1,29,070 සිට 1992 රටවල් 229ක 44,72,787 දක්වා ඉහළ නැඟ තිබේ! මෙම වර්ධනයට හේතු වූ සාක්ෂිදැරීමට ගිලියඩ් පාසල බොහෝ සෙයින් දායක වී තිබේ. වසර 50කට පසු ව, මෙම ලෝක ක්ෂේත්රය තුළ අවශ්‍ය කරන්නා වූ ඕනෑ ම තැනක සේවය කිරීම සඳහා මිෂනාරිවරුන් පුහුණු කිරීමේ ලා ගිලියඩ් පාසල අති වැදගත් කාර්ය භාරයක් ඉටු කරමින් සිටී.
වර්ෂ 1993 මාර්තු 7දා, ආරාධිත අමුත්තන් හා එක්සත් ජනපද බෙතෙල් පවුලේ සාමාජිකයන් 4,798ක්, 94 වෙනි පංතියේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා න්යූ ජර්සි හි ජර්සි නගරයේ එක්රැස් වීම් ශාලාවට රැස්වූහ. සැබවින් ම මෙම විශේෂ-අවස්ථාව, වසර 50ක ගිලියඩ් පාසලේ අතීතය දෙස ආපසු හැරී බලන්නට අවස්ථාව උදා විය. මෙම වැඩසටහන ගැන මඳක් දැනගන්නට ඔබ කැමැත්තෙහි ද?
ආරම්භක ගීතිකාවෙන් පසු, පාලක මණ්ඩලයේ ජෝර්ජ් ඩී. ගැන්ගස් හෘදයාංගම යාච්ඤාවක් ඉදිරිපත් කළේ ය. ඉන් පසු, සභාපති, එනම් කේරී ඩබ්. බාබර්ගේ හැඳින්වීමේ වචන ස්වල්පයෙන් පසු, උපාධි අපේක්ෂකයන්—එමෙන් ම සබයේ සිටි සියල්ලෝ—කෙටි කථා මාලාවකට ප්‍රවේසමෙන් සවන් දුන්හ.
පළමුවෙන් ම “ඔබ කිසිවිටෙකත් තනි වී නොසිටින්නෙහි ය” යන තේමාවෙන් යුතු ව කථා කළේ රොබට් ඩබ්. වෝලන් ය. උණුසුම් ස්වරයකින්, ඔහු මෙසේ පැවසුවේ ය: ‘ඉදිරියට පැමිණෙන්නට යන දවස්වල, යම් අවස්ථාවල ඔබට තනිකමක් දැනෙන අවස්ථාවන් ඔබගේ ජීවිතයේ පැන නගිනවා ඇත. ඔව්, ඔබගේ පවුලේ අයගෙන් සහ මිත්‍රයන්ගෙන් වෙන් ව තනි වූ අවස්ථා තිබෙනු ඇත.’ එසේ නම්, “ඔබ කිසිවිටෙකත් තනි වී නොසිටින්නෙහි ය” යනුවෙන් පැවසිය හැක්කේ කෙසේ ද? ඔහු පැහැදිලි කළේ මෙසේයි: ‘මක්නිසාදයත් ඔබ සෑම කෙනෙකුට ම විවෘත වී තිබෙන හැකියාව නම්, යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ සැනෙකින් කථා බහ කිරීමේ හැකියාවයි.’ යාච්ඤාවේ වරප්‍රසාදය ආදරයෙන් රැකගන්නා මෙන් උපාධිලාභීන්ගෙන් උදක් ම ඉල්ලා සිටි ඔහු, එය දින පතා යොදා ගන්නා මෙන් ඉල්ලා සිටියේ ය. එවිට, යේසුස් වහන්සේ මෙන්, “මම තනි නොවෙමි” යයි පවසන්නට ඔවුනට හැකි වනු ඇත. (යොහන් 16:32, NW) එම වචන උපාධිලාභීන් හට මොනතරම් දිරිගන්වන සුලු වී ද!
“ඔබගේ බලාපොරොත්තුව තදින් අල්ලා ගන්න” යන මැයෙන් යුත් කථාව (මාර්තු 7දා දින පදය මත පදනම් ව) පාලක මණ්ඩලයේ ලයිමන් ඒ. ස්විංගල්, ගුණාංග දෙකක—එනම් විඳදරා ගැනීමේ හා බලාපොරොත්තුවේ අවශ්‍යතාව ගැන කථා කළේ ය: ‘නින්දාව, එදිරිවාදිකම්, වෛරය, සිරගත වීම්, මරණය පවා, ක්‍රිස්තියානින්ගේ පැත්තෙන් විඳදරා ගැනීම අවශ්‍ය කරවන හේතු වෙයි’ යනුවෙන් ඔහු පැවසී ය. ‘අවශ්‍ය අවස්ථාවල දී යෙහෝවඃ වහන්සේගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් හට ඇදී යා හැකි සාමාන්‍යය ඉක්ම වූ ශක්තියට සීමාවක් නොමැත. මෙය ඇත්තෙන් ම දිරිගන්වන සුලු ය, විශේෂයෙන් ම උපාධිලාභී, ඔබට, බලාපොරොත්තු ව ගැන කුමක් කිව හැකි ද? ‘බලාපොරොත්තුව නැතුව ම බැරි ය,’ ඔහු පැහැදිලි කළේ ය. ‘ආරක්ෂක හිස් වැස්මක් එය පළඳින්නා ව ආරක්ෂා කරනවාක් මෙන් ම, ක්‍රිස්තියානියෙකුට තම අඛණ්ඩතාවය පවත්වා ගැනීමට හැකි කරවමින්, ගැලවීම නමැති බලාපොරොත්තුව ඔහු ව ආරක්ෂා කර ඔහුගේ මානසික බලයන් රැක දෙයි.’—1 තෙසලෝනික 5:8.
ඊළඟ කථිකයා, රැල්ෆ් ඊ. වෝල්ස් කුතුහලය දනවන තේමාවක් තෝරා ගත්තේ ය. එය නම්, “ ‘ඉඩකඩ ඇති තැනක’ ආරක්ෂාව සඳහා අපට බේරිය හැක්කේ කෙසේ ද” යන්නයි. මෙම “ඉඩකඩ ඇති තැන” කුමක් ද? (ගීතාවලිය 18:19, නව අනුවාදය) “මනසේ සාමය හා හෘදයේ ආරක්ෂාව ගෙනෙන ගැලවීමේ තත්ත්වයකි” යයි කථිකයා පහදා දුන්නේ ය. අපට ගැලවීම අවශ්‍ය වන්නේ කුමකින් ද? ‘ඔබගෙන් ම—ඔබගේ ම අඩුලුහුඬුකම්වලින්.’ ඔහු මෙසේ එකතු කළේ ය: ‘තව ද සාතන්ගෙන් අනුබල ලැබෙන බාහිර තත්ත්වයන්ගෙන් ද අපට ගැලවීම අවශ්‍ය ය.’ (ගීතාවලිය 118:5) ඉඩකඩ ඇති තැනක ආරක්ෂාව පතා අපට ගැලවී යා හැක්කේ කෙසේ ද? ‘අප කරන සියල්ලේ දී යෙහෝවඃ වහන්සේගේ නියෝගයන් ගැන සොයා බැලීමෙන් සහ අපගේ සියලු ඕනෑ එපාකම්වල දී, ඇදහිල්ලෙන් යුතු ව යෙහෝවඃ වහන්සේට කන්නලව් කිරීම මගින් ය.’
“ඉදිරියේ තිබෙන්නේ කුමක් ද?” යන්න ඩොන් ඒ. ඇඩම්ස් විසින් තෝරා ගන්නා ලද තේමාවයි. ඇරත් නව මිෂනාරිවරුන් සඳහා ඉදිරියේ තිබුණේ කුමක් ද? සකස්වීමේ කාල පරිච්ඡේදයකි, යයි ඔහු පැහැදිලි කළේ ය. “ඔබ සඳහා බොහෝ ආශීර්වාදයන් ද තිබේ.” නිදසුනක් වශයෙන්, තමන්ගේ පැවරුමට ගියායින් පසු මෙසේ ලියූ නවක මිෂනාරිවරුන් දෙදෙනෙකු ගැන ඔහු පැවසී ය: “සේවය තුළ ඔබට තිබුණා වූ හොඳ ම දවස් ගැන සිතන්න. තව ද සෑම දවසක් ම මේ වාගේ ය. වුවමනා තරම් පොත් පත් අපට ගෙන යන්නට බැහැ, මිනිසුන් බයිබල් පාඩම් අපෙන් නිතර ම ඉල්ලා සිටිනවා.” උපාධිලාභීන්ගේ පවුලේ අය සහ මිත්‍රයන් හට කථිකයා වචන කිහිපයක් කථා කළේ ය: ‘මෙම උපාධිලාභීන් ගැන කනස්සලු වෙන්නට ඔබට අවශ්‍ය නැහැ. ඔවුන් හට දිරිගැන්වෙන වචන ලියා යැවීමෙන් ඔවුන්ට උපකාර කරන්නට ඔබට පුළුවන්.’—හිතෝපදේශ 25:25.
ඊළඟට කථා කළේ පාසලේ උපදේශකවරුන් ය. ජැක් ඩී. රෙඩ්ෆඩ්, “කිසිවෙකුගෙන් කිසිවක් අපේක්ෂා නොකරන්න” යන තේමාව තෝරා ගත්තේ ය. උපාධිලාභීන් මුහුණ පාන අභියෝගවලින් එකක් නම්, මිනිසුන් සමඟ හොඳින් පෑහී කටයුතු කිරීමයි, යනුවෙන් ඔහු පහදා දුණි. මෙයට උපකාරවත් විය හැක්කේ කුමක් ද? “ඔවුන්ගේ වැරදි ගණන් නොගන්න. මිනිසුන්ගෙන් ඕනෑවට වඩා අපේක්ෂා නොකරන්න. ඔබට ලැබිය යුතු යයි සලකන සම්පූර්ණ ප්‍රමාණය ම සෑම විට ම අපේක්ෂා නොකරන්න. වෙනත් මිනිසුන්ගේ අසම්පූර්ණකම් සැලකිල්ලට ගෙන ක්‍රියා කරන්න. තව ද මේ ආකාරයේ කරුණාවන්තකම, හොඳින් පෑහී කටයුතු කිරීමේ දී ඔබට උපකාරවත් වනු ඇත. වෙනත් මිනිසුන් සමඟ හොඳින් පෑහී කටයුතු කිරීමට ඔබට තිබෙන හැකියාව ඔබගේ මේරූකමේ මිම්මක් වනු ඇත.” (හිතෝපදේශ 17:9) ස්ථිර වශයෙන් ම, මෙම ඥානවන්ත උපදෙස් අදාළ කර ගැනීම, උපාධිලාභීන් හට විදේශ රටක මිෂනාරිවරුන් වශයෙන් සාර්ථක ලෙස සකස් වන්නට හැකි කරවනවා ඇත!
“මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව” යයි 2 කොරින්ති 4:7 පවසයි. ගිලියඩ් පාසලේ ලේකම්, යූලිසීස් වී. ග්ලාස්, මෙම පාඨය පහදා දුන්නේ “ඔබගේ විශ්වාසනීය, ඇදහිලිවන්ත සහෝදරයන් කෙරෙහි දැඩි විශ්වාසයෙන් සිටින්න” යන තේමාව ඔස්සේ කථා කරන විට ය. මෙම “මැටි භාජන” මොනවා ද? “මේවායින් යොමු දක්වන්නේ අසම්පූර්ණ මිනිසුන් වන අපට විය යුතුයි” යනුවෙන් ඔහු සටහන් කළේ ය. මෙම “වස්තුව” කුමක් ද? “එය නම්, අපගේ ක්‍රිස්තියානි දේව සේවය” යයි ඔහු පහදා දුන්නේ ය. (2 කොරින්ති 4:1) මෙම වස්තුව සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු වේ ද? “යෙහෝවඃ වහන්සේ විසින් අපට පවරා දී ඇති මෙම වස්තුව හෙවත් නිධානය, සඟවා ගැනීමට තිබෙන දෙයක් නොවෙයි. එමනිසා, ප්‍රිය අනාගත මිෂනාරිවරුනි, ඔබට තිබෙන මෙම නිධානය ඔබ යන ඕනෑ ම තැනක දී බෙදා දෙන්න, එමෙන් ම, එය බෙදා දෙන ආකාරය වෙනත් බොහෝ දෙනෙකුට උගන්වන්න.”
ඇල්බට් ඩී. ෂ්රෝඩර්, ගිලියඩ් පාසල ආරම්භ කරන විට, එහි ලේකම් වූ බැවින්, ඔහු කථා කරන්නට පටන් ගත් මොහොත කොතරම් හැඟීම් දනවන අවස්ථාවක් වී ද! “දිව්‍යාණ්ඩු පුහුණුවේ අඩ සියවසක්” යන්න ඔහුගේ තේමාව විය. “බලපෑමෙන් යුත් පුහුණුව ඉදිරිපත් කිරීමට යෙහෝවඃ වහන්සේ දන්නා සේක, තව ද උන් වහන්සේ මෙය කර තිබේ,” යයි ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේ ද? මීට වසර 50කට පෙර, පාසල් දෙකක්—එනම් දිව්‍යාණ්ඩු සේවා පාසල හා ගිලියඩි පාසල තුළින් ලත් පුහුණුවට සහෝදර ෂ්රෝඩර් අවධානය යොමු කළේ ය. ඒකාන්ත දැනුම සැපයීමේ වටිනා උපකරණය නම්, න්යූ වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබලය වී තිබෙන බව ඔහු සඳහන් කළේ ය. ඔහු උපාධීලාභීන් හට මෙසේ සහතික කළේ ය: “යෙහෝවඃ වහන්සේගේ අරමුණු පිළිබඳ ඒකාන්ත දැනුම සමඟින් සමිතිය ඔබට හොඳින් සපයනවා ය යන මහත් නිසැකකම ඇතුව ඔබට ඔබගේ විදේශීය පැවරුම්වලට යා හැකියි.”
වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා හි සභාපති මිල්ටන් ජී. හෙන්ෂල්, “ජයගන්නන්ට වඩා යමක්” යන තේමාවෙන් කථා කළේ ය. සහෝදර හෙන්ෂල් තම තේමාව තෝරා ගත්තේ 1943 වාර්ෂික පදය වූ: “අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන . . . අතිශයින්ම ජයගන්නෝ වමුව” යන්නෙනි. (රෝම 8:37) එය ඔබිනා වාර්ෂික පදයක් විණි, ඔහු පැහැදිලි කළේ ය, මන්දයත්, IIවන ලෝක යුද්ධය මැද, බොහෝ රටවල විසූ අපගේ සහෝදරයන්, බොහෝ පීඩාවන් විඳිමින් සිටියහ. එම වාර්ෂික පදය සාකච්ඡා කළ වොච්ටවර් කලාපයේ යම් කොටස් කියවූ සහෝදර හෙන්ෂල් මෙසේ පැහැදිලි කළේ ය: “මෙම වොච්ටවර් ලිපිය [1943 ජනවාරි 15] පළමු ගිලියඩ් පංතිය විසින් පෙබරවාරි මාසයේ දී පාඩම් කරන ලදි, තව ද එය ඔවුන් ව ඉදිරියේ තිබුණු දේට සූදානම් කළේ ය.” පසුගිය වසර 50 තුළ සිටි උපාධිලාභීන්ගේ බොහෝ දෙනෙක් දැනටමත් ජය ගන්නන් බවට ඔප්පු කර සිටිතියි ඔහු පහදා දුණි. මේ 94 වැනි පංතිය ගැන කුමක් කිව හැකි ද? “යෙහෝවඃ වහන්සේට ළං වී සිටින්න, උන් වහන්සේගේ ප්‍රේමයට ළං වී සිටින්න, එවිට ඔබගේ ජයග්‍රහණය ස්ථිර ය.”
උදෑසන කථාවලට පසු, සභාපති, විවිධ රටවලින් ගලා ආ සුභපැතුම් කිහිපයක් බෙදා ගත්තේ ය. ඉන් පසු, එම විවාහක යුවළයන් 24 ඉතා ආශාවෙන් බලා සිටි මොහොත—එනම් ඩිප්ලෝමා බෙදා දීමේ මෙහොත—උදාවිණි. ඇයි, මෙම ගිලියඩ් සිසුන් දැන් නිල වශයෙන් ගිලියඩ් උපාධිලාභීන් ව සිටියහ! ඔවුහු රටවල් 5කින් පැමිණ සිටියහ, නමුත් ඔවුන්ගේ පැවරුම් ඔවුන් ව, හොං කොං, තායිවාන්, මොසැම්බික්, සහ නැගෙනහිර යුරෝපයේ රටවල් ඇතුළු ව, රටවල් 17කට ගෙන යනවා ඇත.
විවේක කාලයෙන් පසු, සවස් වරුවේ වැඩසටහන, රෝබට් එල්, බට්ලර් විසින මෙහෙයවන ලද සංක්ෂිප්ත මුරටැඹ පාඩමකින් ආරම්භ විණි. ඉන් පසු, උපාධිලාභීහු තමන් අසල න්යූ යෝර්ක් නුවර වොල්කිල් හි, සාක්ෂි දරන විට තමන් අත්දුටු කැපී පෙනෙන අත්දැකීම් සමහරක් නාට්‍යානුසාරයෙන් යළි නිරූපනය කළෝ ය. කිසිදු සැකයකින් තොර ව ඔවුන් ව ගිලියඩ් වෙතට ගෙනා දේවලින් එකක් වැඩසටහන තුළ පිළිබිඹු විණි—එය නම්, තම ක්ෂේත්‍ර සේවය සඳහා ඔවුන් තුළ තිබුණා වූ ගැඹුරු ප්‍රේමයයි.
ශිෂ්‍යයන්ගේ වැඩසටහනින් පසු, ගිලියඩ් පාසලේ වසර 50 සැමරීම අරභයා යම් විශේෂ අංගයක් තිබෙනු ඇති දැයි සබයේ සිටි බොහෝ දෙනෙක් බලා සිටියහ. ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වූයේ නැත!—“ගිලියඩ් පාසලේ වසර 50 දෙස ආපසු හැරී බැලීම” යන කොටුව බලන්න.
වසර 50කට පෙර, තමා ඇදහිල්ලේ සහ දූරදර්ශී භාවයේ මිනිසෙකු බව සහෝදර නෝර් නිරූපනය කොට තිබුණි. ගිලියඩ් පාසල සාර්ථක වනු ඇති බවට ඔහු තුළ තිබුණා වූ ස්ථිර විශ්වාසය, පළමු පංතියට ඔහු ඉදිරිපත් කරන ලද ආරම්භක කථාව තුළ ප්‍රකාශ වුණි: “එහි නාමය සැබෑ කරවමින්, මෙම ස්ථානයේ සිට ලොවේ සියලු ම ප්‍රදේශවලට ‘සාක්ෂි ගොඩක්’ යන බවටත්, එවැනි සාක්ෂිදැරීමක් දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ස්මාරකයක් ලෙස තිබෙනු ඇති බවටත් කිසිවිටෙක එය විනාශ කළ නොහැකි බවටත් අපි විශ්වාස කරමු. ඔබ තෝරා පත්කරන ලද දේව සේවකයන් වශයෙන් ඔබගේ පූර්ණ දැඩි විශ්වාසය මහෝත්තමයාණන් කෙරෙහි තබනවා ඇත, තව ද උන් වහන්සේ ඔබට මඟ පෙන්වනු ඇති බවත්, අවශ්‍ය ඕනෑ ම වේලාවක දී උන් වහන්සේ ඔබ ව මෙහෙයවන බවත්, එමෙන් ම උන් වහන්සේ වනාහි ආශීර්වාදයේ දෙවියන් වහන්සේ බවත් ඔබ දන්නෙහි ය.a
වසර 50කට පසු ව, ගිලියඩ් පාසල තවමත් සමෘද්ධිමත් වෙමින් තිබේ! මෙම 94 වෙනි පංතියේ උපාධිලාභීන්ට, ඔවුන්ට පෙර සිටි 6,500කට වඩා වැඩි දෙනෙකු ව අනුගමනය කිරීමේ වරප්‍රසාදය දැන් තිබේ. යෙහෝවඃ දෙවියන් වහන්සේ ව මහිමවත් කිරීම සඳහා ස්මාරකයක් වශයෙන් තිබෙනු ඇති “සාක්ෂි ගොඩ” ගොඩ ගැසීමේ තම කොටස කරනවාත් සමඟ ම, ඔවුන් තම පූර්ණ දැඩි විශ්වාසය මහෝත්තමයාණන් මත තබාවා.
[පාදසටහන්වල]
a “ගිලියඩ්” යන හෙබ්‍රෙව් වචනයේ අදහස, “සාක්ෂි ගොඩ” යන්න ය.—උත්පත්ති 31:47, 48.
[25වන පිටුවේ කොටුව]
පංතියේ දත්ත
සිසුන්ගේ මුළු සංඛ්‍යාව: 48
නියෝජනය කළ රටවල් ගණන: 5
පැවරුම් ලද රටවල් ගණන: 17
වයසේ සාමාන්‍යය: 32
සත්‍යය තුළ සාමාන්‍ය වසර ගණන: 15.3
පූර්ණ-කාලීන සේවයේ සාමාන්‍ය වසර ගණන: 9.6
[26, 27වන පිටුවේ කොටුව]
ගිලියඩ් පාසලේ වසර 50 දෙස ආපසු හැරී බැලීම
ගිලියඩ් පාසලේ ඉතිහාසයේ කොටසක් වූ අයගේ—එනම් එහි මුල් උපාධිලාභීන්ගේ, උපදේශකයන්ගේ, සහ එය සංවිධානය කිරීමට උපකාරවත් වූ අයගේ අත්දැකීම් තුළින් යනවාට වඩා එම පාසලේ ඉතිහාසය තුළින් ගමන් කරන්නට වෙන කිනම් වඩාත් හොඳ මඟක් තිබේ ද? තියඩෝර් ජරස් විසින් මෙහෙයන ලද “ගිලියඩ් පාසලේ 50ස් වසර දෙස ආපසු හැරී බැලීම” යන කොටසට සවන් දෙන විට සබය ප්‍රීතියෙන් පිනා ගියේ ය.
මෙම පාසල පිහිටුවීමට තුඩු දුන් තත්ත්වයන් මොනවා ද? මෙම පාසල සංවිධානය කිරීමට තමාට හා තවත් උපදේශකයන් දෙදෙනෙකුට ලැබුණේ මාස හතරක් පමණක් බව සහෝදර ෂ්රෝඩර් පැහැදිලි කළේ ය. “එහෙත්, 1943 පෙබරවාරි 1 සදුඳා වන විට, අප කැප කිරීමට සූදානමින් සිටියා.”
යවනු ලැබූ මුල් මිෂනාරින් සඳහා එය කුමක් හා සමාන වූයේ ද? සහෝදර හෙන්ෂල් මෙසේ සිහිකරයි: “මිෂනාරිවරුන්ට ඔවුන් සමඟ ගෙන යාමට වුවමනා වූ ඔවුන්ගේ දේවල් සමිතියේ නැව්ගත කිරීමේ අංශය මගින් ලොකු ලෑලි පෙට්ටිවලට බහාලනු ලැබුවා. එම ලෑලි පෙට්ටි නියමිත ස්ථානවලට ළඟා වූ විට, ඔවුන් ඒවා ප්‍රවේසමෙන් විවෘත කර තමන්ට අයත් දේවල් පිටතට ගත්තා. නමුත් ඔවුන් එම ලෑලි පෙට්ටි ගෘහ භාණ්ඩ සෑදීමට ප්‍රයෝජනයට ගත්තා.” අවසානයේ දී, සමිතිය විසින් ප්‍රමාණවත් අයුරින් සූදානම් කරන ලද මිෂනාරි නිවාස සඳහා කටයුතු පිළියෙළ කළා යයි ඔහු සටහන් කළේ ය.
ඊළඟට වැඩසටහනේ, දැනට එක්සත් ජනපද බෙතෙල් පවුලේ සාමාජිකයන් ව සිටින, ගිලියඩ් පාසලේ මුල් පංතිවල උපාධිලාභීන් සමහරක්, තමන්ගේ මතකයන්, තමන්ගේ හැඟීම්, සහ තම අත්දැකීම් බෙදා ගත්හ. ඔවුන්ගේ අදහස් ඇත්තෙන් ම, සබයේ සිටි සියල්ලන්ගේ හදවත් ස්පර්ශ කරන්නට විය.
“පළමු පංතියට සහභාගි වන ලෙසට මට ආරාධනාවක් ලැබුණු පසු, මගේ මවට පිළිකාවක් තිබූ බව මට දැනගන්නට ලැබුණා. එහෙත්, ඈ වයස අවුරුදු 16 සිට පුරෝගාමි සේවය කර තිබූ නිසා, මෙම ආරාධනය පිළිගන්නා මෙන් ඈ මගෙන් බලවත් සේ ඉල්ලා සිටියා. එමනිසා, මිශ්‍ර වූ චිත්ත වේගයන්ගෙන් සහ යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසයෙන් යුතු ව, මම දකුණු ලැන්සිං නුවරට ගමන් කළා. මා ගිලියඩ් පුහුණුව සම්පූර්ණයෙන් ම භුක්ති විඳි අතර, ගැඹුරින් අගය කළා. මගේ උපාධිය ලැබී ටික කලකට පසු මගේ මව ඇගේ භූමික ජීවිතය අවසන් කළා.”—මැක්සිකෝවේ සහ එල් සැල්වදෝර් හි සේවය කළ ශාලට් ෂ්රෝර්ඩර්.
“මා පොළොවේ එවකට සිටි ප්‍රදේශයේ, යෙහෝවඃ වහන්සේ එවිටත් මා ව රැකබලා තිබූ හෙයින්, මා පොළොවේ කොහේ ගියත් උන් වහන්සේ තවමත් මා ව රැකබලා ගන්නා බවට මා තුළ සහතිකයක් තිබුණා. එමනිසා, පළමු පංතියට සහභාගි වන ලෙස මට කළ ආරාධනය ගැන මා ඉතා සතුටු වුණා.”—මෙක්සිකෝවේ සහ එල් සැල්වදෝර් හි සේවය කළ ජූලියා වයිල්ඩ්මන්.
“එය ඉතා පුදුමාකාරයි! සෑම ගෙදරක දී ම කථා කරන්නට අපට හැකි වුණා. පළමු මාසයේ දී, මම පොත් 107ක් බෙදා දුන් අතර, බයිබල් පාඩම් 19ක් පැවැත්වූවා. දෙවෙනි මාසයේ දී, මා බයිබල් පාඩම් 28ක් පවත්වා තිබුණා. ඇත්ත වශයෙන් ම, රස්නය, ආර්ද්‍රතාව, මකුණන් වැනි දේවල් වලට පුරුදු වන්නට අපට සිදු වුණා. එහෙත්, එහි සිටීම පුදුමාකාර වරප්‍රසාදයක් වුණා. එය මා සැමදා ඉතා ආදරයෙන් රැකබලා ගන්නා දෙයක්.”—දෙවෙනි පංතියේ, මේරි ඇඩම්ස්, කියුබාවේ ඇගේ පැවරුම සම්බන්ධයෙන් කථා කරමින්.
“අපට ඇලස්කාවේ දී මුහුණු පෑමට තිබූ ලොකු ම බාධකවලින් එකක් තමයි, කාලගුණය. උතුරුකරයේ, එය ඉතා ම සීතල ව, උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක බිංදුවටත් පහළින් අංශක 60 දක්වාත් ඊට වඩාත් පහළින් බසිනවා. ඉන්දියානු ගම්මාන සහ ගිණිකොන දිග ඇලස්කාවේ කුඩා හුදෙකලා ප්‍රදේශවලට යන්නට වුණේ බෝට්ටුවෙන් හෝ ගුවන් යානා මගින්.”—තුන් වෙනි පංතියේ ජෝන් එරිකෙට්ටි.
“මට නම්, ගිලියඩ් වනාහි, ආත්මික ව ශක්තිමත් කිරීමටත් පුදුමාකාර ජීවන මාර්ගයක් අපට පෙන්වීමටත් යෙහෝවඃ වහන්සේ උන් වහන්සේගේ භූමික සංවිධානය තුළින් කරන ලද ආරාධනයක් වුණා.”—අයර්ලන්තයේ සේවය කළ 11 වෙනි පංතියේ මිල්ඩ්රඩ් බාර්.
තවත් ප්‍රිය උපදවන සම්මුඛ සාකච්ඡා ඊළඟට පැවැත්විණි—ලුසීල් හෙන්ෂල් (14 පංතිය, වෙනිසුලාවේ සේවය කළා ය), මාර්ගරීටා ක්ලයින් (20 වෙනි පංතිය, බොලීවියාවේ සේවය කළා ය), ලූසීල් කොල්ට්රප් (24 වෙනි පංතිය, පේරූ හි සේවය කළා ය), ලොරේන් වෝලන් (27 වෙනි පංතිය, බ්‍රසීලයේ සේවය කළා), විලියම් සහ සැන්ඩ්‍රා මැලේන්ෆොන්ට් (34 වෙනි පංතිය, මොරොක්කොවේ සේවය කළෝ ය), ගෙරිටි ලර්ෂ් (41 වෙනි පංතිය, ඕස්ට්‍රියාවේ සේවය කළේ ය), ඩේවිඩ් ස්ප්ලේන් (42 පංතිය, සෙනෙගාල්හි සේවය කළේ ය).
උපදේශකයන් වශයෙන් සේවය කර ඇති සහෝදරයන් සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද? ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ව ද සම්මුඛ සාකච්ඡාවට භාජනය කරන ලදි—රසල් කූර්සන්, කාල් ඇඩම්ස්, හැරල්ඩ් ජැක්සන්, ෆ්‍රෙඩ් රස්ක්, හැරී පෙලොයන්, ජැක් රෙඩ්ෆෝඩ්, සහ යූලිසීස් ග්ලාස්. ඔවුන් තම වරප්‍රසාදය ගැන කථා කළේ, එය අද දින දක්වා ඔවුන් කෙරේ බලපා ඇති ආකාරය ගැන පළ කරමිනි.
ගිලියඩ් පුහුණු මිෂනාරිවරුන්ගේ බලපෑමෙන් යුක්ත බවට ඉතා අමානන්දනීය සාක්ෂියක්, ජපානයේ සේවය කළ ලොයිඩ් බැරී විසින් ඉදිරිපත් කරන ලදි. වර්ෂ 1949 දී, මිෂනාරිවරුන් 15ක් එහි යවන ලද අවස්ථාවේ, මුළු ජපානයේ ම සිටියේ ප්‍රචාරකයන් 10කට වඩා අඩු සංඛ්‍යාවකි. එහෙත්, වර්ෂ 44කට පසු ව, එම රටේ රාජ්‍යය ප්‍රකාශකයන් 1,75,000කටත් වැඩියෙන් සිටී! ඊළඟට රෝබට් වෝලන් කථා කරමින්, ජනයාට සත්‍යයට පැමිණීමට උපකාර කොට තිබූ ඇතැම් මිෂනාරිවරුන්ගේ කැපී පෙනෙන සාර්ථකත්වයන් ගැන සඳහන් කළ අතර, පැනමා හි වසර 45ක් පුරා සේවයේ යෙදී, කැපවී බව්තීස්ම වීමට පුද්ගලයන් 125 දෙනෙකුට උපකාර කළ මිෂනාරි සහෝදරියක් ගැන ද මීට ඇතුළත් විය.
මුළු වැඩසටහනේ උච්චාවස්ථාව එළැඹුණේ, සබයේ සිටි සියලු ම ගිලියඩ් උපාධිලාභීන්ට වේදිකාවට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබූ අවස්ථාවේ දී ය, ඇත්තෙන් ම එය නම්, හද දනවන මොහොතක් විය. සහෝදර සහෝදරියන්ගෙන් යුත් නොකැඩෙන රැල්ලක්—ආරාධිත උපාධිලාභීන්ට අමතර ව, බෙතෙල් පවුලේ 89ක්—සමුළු ශාලාවේ ආසන අතර පේලිවල සිට වේදිකාවේ පඩි පෙල ඔස්සේ වේදිකාව මතට ගමන් කළහ. වසර ගණනාවක් පුරා උපදේශකයන් වශයෙන් සේවය කළ සහෝදරයන් ද ඔවුන්ට එකතු වූ අතර, ඊළඟට 94 වෙනි පංතිය එකතු විය—සියල්ලෝ ම 160ක් පමණ විණි!
“විදේශීය රටවල් සඳහා මිෂනාරිවරුන් පුහුණු කිරීමේ ගිලියඩ් පාසලේ වැඩකටයුතුවලට සාර්ථකත්වයක් ලැබී තිබේ ද?” යයි ඇසුවේ සහෝදර ජරස් ය. “පසුගිය වසර 50 පුරා තිබූ සාක්ෂි මහ හඬින් කියා පාන්නේ, එසේ ය!”
[25වන පිටුවේ පින්තූරය]
වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 94 වෙනි උපාධි ලත් පංතිය
පහත දැක්වෙන ලැයිස්තුවේ පේලි ගණන් කර ඇත්තේ ඉදිරිපස සිට පිටුපස දක්වා වන අතර, සෑම පේලියක ම නම් වමේ සිට දකුණට සඳහන් කර තිබේ.
(1) ඩෙ ලා ගාර්සා, සී.; බෝග්, ඊ.; අරියාගා, ඊ.; චූහ්, ඊ.; පර්වීස්, ඩී.; ෆොස්බරි, ඒ.; ඩෙල්ගාඩෝ, ඒ.; ඩ්‍රෙෂර්, එල්. (2) ස්කොට්, වී.; ෆ්රීඩ්ලුන්ඩ්, එල්.; කෙටූලා, එස්.; කොප්ලන්ඩ්, ඩී.; අරියාගා, ජේ.; තීඩර්, ජේ.; ඕල්සන්, ඊ.; වීඩ්ග්රන්, එස්. එල්. (3) ඩෙල්ගාඩෝ, එෆ්.; කීගන්, එස්.; ලීනෝනන්, ඒ.; ෆිනිගන්, ඊ.; ෆොස්බරි, එෆ්.; හෝල්බෘක්, ජේ.; බර්ග්ලුන්ඩ්, ඒ.; ජෝන්ස්, පී. (4) වොට්සන්, බී.; ෆ්‍රියාස්, සී.; චූහ්, බී.; හෝල්බෘක්, ජේ.; පර්වීස්, ජේ.; ෆිනිගන්, එස්.; ජෝන්ස, ඒ.; කුචියා, එම්. (5) ස්කොට්, ජී.; කොප්ලන්ඩ්, ඩී.; ඩ්‍රෙෂර්, බී.; ඩෙ ලා ගර්සා, ආර්.; ලීනෝනන්, අයි.; කීගන්, ඩී.; වොට්සන්, ටී.; කෙටූලා, එම්. (6) වීඩ්ග්රන්, ජේ.; බෝග්, එස්.; කුචියා, එල්.; බර්ගලුන්ඩ්, ඒ.; ඕල්සන්, බී.; ෆ්‍රියාස්, ජේ.; ෆ්රීඩ්ලුන්ඩ්, ටී.; තීඩර්, පී.