පාඨකයන්ගෙන් ප්‍රශ්න
දෙවන තෙසලෝනික 3:14හි, [NW] සඳහන් ‘සලකුණු කිරීම’ පොදු සභා පිළිවෙතක්ද, නැතහොත් නොහික්මුණු අයගෙන් වැළකී සිටීමට ක්‍රිස්තියානීන් පෞද්ගලිකව කරන යමක්ද?
ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට ලියූ දෙයින් පැහැදිලි වන්නේ, මෙම සලකුණු කිරීම සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ට නිශ්චිත කාර්ය භාරයක් තිබෙන බවයි. කෙසේවෙතත්, ඉන්පසු ආත්මික කාරණා හේතුකොටගෙන එක් එක් ක්‍රිස්තියානිවරයා පෞද්ගලික වශයෙන් ඊට එකඟව ක්‍රියා කරන්න යනවා. මීට අදාළ මුල්ම සිද්ධියේදී, පාවුල්ගේ උපදේශය සලකා බැලීමෙන් මේ කාරණය හොඳින්ම වටහාගන්න අපට හැකියි.
ස්ත්‍රී පුරුෂ සියලුදෙනාටම නමස්කාරකයන් බවට පත්වීමට උපකාර කරමින්, තෙසලෝනික සභාව පිහිටුවන්න පාවුල් උදව් කළා. (ක්‍රියා 17:1-4) පසුව ඔහු ඔවුන්ව අගයමින් සහ දිරිගන්වමින් කොරින්තියේ සිට ලිපියක් ලිව්වා. පාවුල් අවශ්‍ය උපදෙසුත් එහි ඇතුල් කළා. ‘නිශ්චලව සිටින ලෙසත්, තමන්ගේම කාරණා බලාගන්න ලෙසත්, තමන්ගේම අත්වලින් වැඩ කරන ලෙසත්’ ඔහු ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. සමහරුන් එසේ ක්‍රියා කළේ නැති නිසා ඔහු මෙසේ කිව්වා: “සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යයකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.” පැහැදිලිවම, ඔවුන් අතරේ උපදෙස් ලැබීමට අවශ්‍ය කළ ‘අනියම් ලෙස හැසිරෙන්නන්’a සිටියා.—1 තෙසලෝනික 1:2-10; 4:12; 5:14.
මාස කිහිපයකට පසුව, යේසුස්ගේ අනාගත පැමිණ සිටීම පිළිබඳ අමතර කරුණු ඇතුළත් කරමින්, තෙසලෝනිකවරුන්ට පාවුල් තම දෙවන ලිපිය ලිව්වා. “වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට මැදිවෙමින් [සිටි]” අනියම් ලෙස හැසිරෙන්නන් සමඟ කටයුතු කිරීම පිළිබඳ අමතර මඟ පෙන්වීම්ද ඔහු සැපයුවා. වෙහෙසී වැඩ කරන්නෙක් වූ පාවුල්ගේ ආදර්ශයටත්, තමාව නඩත්තු කරගැනීම සඳහා වැඩ කිරීම පිළිබඳ ඔහුගේ පැහැදිලි අණටත් ඔවුන්ගේ ක්‍රියා පටහැනි වුණා. (2 තෙසලෝනික 3:7-12) ඒ පිළිබඳව යම් යම් පියවර ගැනීමට පාවුල් වගබලා ගත්තා. මේ පියවර ක්‍රියාත්මක කළේ, වැඩිමහල්ලන් විසින් අනියම් ලෙස හැසිරෙන්නන්ට උපදෙස් සහ අවවාද දුන්නාට පසුවයි. පාවුල් මෙසේ ලිව්වා:
‘සහෝදරයෙනි, අප ඔබට අණ කරන්නේ, අපෙන් ලැබූ නියෝග ප්‍රකාරයට නොව, අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින ලෙසයි. නුමුත්, සහෝදරයෙනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න. යමෙක් මේ ලියුමේ අපේ වචනයට කීකරු නොවන්නේ නම්, නුඹලා ඔහු බලාගෙන, [ඔහු සලකුණු කර, NW] ඔහු ලජ්ජා වන පිණිස ඔහු සමඟ සමාගම් නොපවත්වා සිටින්න. නුමුත් ඔහුව සතුරෙකු මෙන් ගණන් නොගෙන, සහෝදරයෙකුට මෙන් දැනමුතුකම් දෙන්න.’—2 තෙසලෝනික 3:6, 13-15.
මෙසේ, අනියම් ලෙස හැසිරෙන්නන්ගෙන් වෙන්ව සිටීමත්, ඔවුන්ව සලකුණු කිරීමත්, ඔවුන් සමඟ ආශ්‍රය නැවැත්වීමත්, එහෙත් සහෝදරයෙකුට මෙන් ඔවුන්ට අනුශාසනා කිරීමත් අමතර පියවරවලට අයත් වුණා. සභා සාමාජිකයන් එම පියවර ගන්නේ කිනම් තත්වයන් යටතේද? මෙය පැහැදිලි කරගැනීමට උපකාරයක් හැටියට, පාවුල් යොමු දක්වන්නේ නැති සිද්ධීන් තුනක් සලකා බලමු.
1. ක්‍රිස්තියානීන් අසම්පූර්ණ බවත්, ඔවුන් අතින් වැරදි සිදු වන බවත් අප දන්නවා. ඒ වුණත්, සැබෑ ක්‍රිස්තියානි ධර්මය නියෝජනය වන්නේ ප්‍රේමයෙන්. අනිත් අයගේ වැරදි තේරුම්ගැනීමත්, සමාව දීමත් එමගින් අපේක්ෂා කෙරෙනවා. උදාහරණයක් හැටියට, බාර්ණබස් සහ පාවුල් අතර සිදු වුණාක් මෙන්, ක්‍රිස්තියානිවරයෙක් කලාතුරකින් කෝපයෙන් පිපිරෙන්න ඉඩ තිබෙනවා. (ක්‍රියා 15:36-40) එසේ නැති නම්, අධික වෙහෙස නිසා කෙනෙක් වාචික ප්‍රහාරයක් එල්ල කරන්න ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී, ප්‍රේමය පෙන්වීමෙන් සහ බයිබල් උපදෙස් අදාළ කරගැනීමෙන් වැරදිවලට සමාව දෙන්නත්, ක්‍රිස්තියානීන් සමඟ එකට වසන්නත්, ආශ්‍රය කරන්නත්, වැඩ කරන්නත් ප්‍රස්තාව සැලසෙනවා. (මතෙව් 5:23-25 ; 6:14 ; 7:1-5; 1 පේතෘස් 4:8) දෙවන තෙසලෝනික පොතේ පාවුල් කතා කරමින් සිටියේ පැහැදිලිවම මේ ආකාරයේ වැරදි ගැන නෙවෙයි.
2. උදාහරණයක් හැටියට, විනෝදයට සහ ද්‍රව්‍යමය දේවලට ඕනෑවට වඩා නැඹුරුයි කියා පෙනෙන කෙනෙකුගේ ක්‍රියා කලාපය සහ ආකල්ප හොඳ නැති නිසා ඔහුව ආශ්‍රය කිරීම පෞද්ගලිකව සීමා කිරීමට ක්‍රිස්තියානිවරයෙක් තෝරාගැනීම වැනි තත්වයක් පාවුල් අමතමින් සිටියේද නැහැ. එමෙන්ම දෙමාපියෙක්, මාපිය ආධිපත්‍යය නොසලකන, අවදානම් සහිත ක්‍රීඩාවන්හි යෙදෙන හෝ ක්‍රිස්තියානි ධර්මය බැරෑරුම් ලෙස නොතකන තරුණ තරුණියන් සමඟ තම දරුවාගේ ආශ්‍රය සීමා කරන්න ඉඩ තිබෙනවා. ඒවා හිතෝපදේශ 13:20හි අපට කියවීමට තිබෙන ආකාරයට හුදෙක් පෞද්ගලික තීරණ වෙයි. එහි කියන්නේ මෙසේයි: “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.”—1 කොරින්ති 15:33 සසඳන්න.
3. සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ තත්වයක් යටතේ වඩා බරපතළ පාපයක නියැලෙමින් සිටි පසුතැවිලි නොවූ කෙනෙක් ගැන පාවුල් කොරින්ති සභාවට ලිව්වා. එවැනි පසුතැවිලි නොවන පව්කාරයන්ව සභාවෙන් ඉවත් කරන්න සිදු වුණා. එය හරියට, එම ‘දුෂ්ටයාව’ සාතන්ට බාර දුන්නා වගෙයි. ඉන්පසුව, අනිකුත් පක්ෂපාත ක්‍රිස්තියානීන්ට එවැනි දුෂ්ටයන් සමඟ මිශ්‍රවීමෙන් වැළකීමට සිදු වුණා. ඔවුන්ට සුභ පතන්නවත් එපා කියා ප්‍රේරිත යොහන් උදක්ම ඉල්ලා සිටියා. (1 කොරින්ති 5:1-13; 2 යොහන් 9-11) කෙසේවෙතත්, මෙයත් 2 තෙසලෝනික 3:14 සඳහන් උපදේශයට සමාන නැහැ.
දෙවන තෙසලෝනික පොතේ කතා කරන ‘අනියම් ලෙස හැසිරෙන’ අය ඉහත සඳහන් කළ තත්වයන් තුනටම වඩා වෙනස්. පාවුල් ලිව්වේ ඔවුන්ව ‘සහෝදරයන්’ ලෙස සලකමින් ඔවුන්ට අනුශාසනා කරන්න කියායි. මෙසේ, ‘අනියම් ලෙස හැසිරෙන’ සහෝදරයන් සතු ගැටලුව, ක්‍රිස්තියානීන් අතර හුදෙක් පෞද්ගලික මට්ටමේ එකක්වත්, කොරින්තියේ දුරාචාර සිද්ධියේදී පාවුල් කළාක් මෙන් වැඩිමහල්ලන් විසින් සභා ඇසුරෙන් කපාහැරීමේ පියවර ගැනීමට තරම් බරපතළ එකක්වත් නෙවෙයි. ‘අනියම් ලෙස හැසිරෙන අය’ කොරින්තියේ සභා ඇසුරෙන් කපාහැරිය පුද්ගලයා මෙන් බරපතළ පාපවලට වරදකරුවන් නෙවෙයි.
තෙසලෝනික සභාවේ සිටි ‘අනියම් ලෙස හැසිරුණු’ අය වරදකරුවන් වූයේ, ක්‍රිස්තියානි මාර්ගයෙන් කැපීපෙනෙන ලෙස පිට පැනීම සම්බන්ධයෙනුයි. ඔවුන් වැඩ නොකළ අතර, එසේ නොකළේ, ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම ඉතා ආසන්නයි කියා ඔවුන් සිතූ නිසා හෝ ඔවුන් අලසව සිටි නිසායි. තවදුරටත්, ඔවුන් “අනුන්ගේ කාරණාවලට මැදිවෙමින්” සෑහෙන කරදරද ඇති කළා. පාවුල්ගේ මුල් ලිපිය සහ වෙනත් දිව්‍ය උපදේශයන් ආධාර කරගෙන පෙනෙන විදිහට, සභා වැඩිමහල්ලන් ඔවුන්ට නැවත නැවතත් උපදෙස් දුන්නා. (හිතෝපදේශ 6:6-11; 10:4, 5; 12:11, 24; 24:30-34) එසේ වුණත්, සභාවට අපකීර්තිය පැමිණෙන ලෙසත්, එය අන් ක්‍රිස්තියානීන්ට පැතිරෙන ලෙසත් නොකඩවාම ඔවුන් එම මාර්ගයේ රැඳී සිටියා. ඉතින් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වූ පාවුල්, පුද්ගලයන්ගේ නම් සඳහන් නොකර, ඔවුන්ගේ වැරදි ක්‍රියා කලාපය හෙළි කරමින්, ඔවුන්ගේ අනියම් හැසිරීම සභාවේ අවධානයට යොමු කෙරෙව්වා.
ක්‍රිස්තියානීන් පෞද්ගලිකව අනියම් ලෙස හැසිරෙන්නන්ව “සලකුණු” කිරීම යෝග්‍ය බවද ඔහු සභාවට දැනුම් දුන්නා. මෙයින් ඇඟවූයේ, සභාවට ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවූ ක්‍රියා කලාපය, යම් කෙනෙකු විසින් අනුගමනය කරනවා නම්, සභාවේ සිටින අය එය සැලකිල්ලට ගත යුතු බවයි. “අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින” මෙන් පාවුල් ඔවුන්ට උපදෙස් දුන්නා. ඔවුන් ඔහුට “සහෝදරයෙකුට මෙන් දැනමුතුකම් දෙන්න” කියා කී නිසා, එවැනි පුද්ගලයෙකුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම නිසැකවම එයින් අදහස් කරන්නේ නැහැ. ඔවුන් ක්‍රිස්තියානි රැස්වීම්වලදී සහ සමහරවිට ක්ෂේත්‍ර සේවයේදී ඔහුව දිගටම හමුවීමට ඉඩ තිබෙනවා. තම සහෝදරයා දැනමුතුකම්වලට ප්‍රතිචාරය දක්වා ඔහුගේ හානිකර මාර්ගය අත්හරියි කියා ඔවුන්ට බලාපොරොත්තු විය හැකියි.
ඔහුගෙන් “වෙන්ව” සිටින්නේ කොයි ආකාරයෙන්ද? තිබෙන සාක්ෂිවලට අනුව, ඒ සමාජීය සම්බන්ධයක් ඇති අවස්ථාවන් සම්බන්ධයෙනුයි. (ගලාති 2:12 සසඳන්න.) ඔහු සමඟ සමාජීය සහ විනෝද කටයුතුවල හවුල් වීම නවතා දැමීමෙන්, ප්‍රතිපත්ති ගරුක අය ඔහුගේ මාර්ග එපා කරන බව පෙන්විය හැකියි. ඔහු ලජ්ජාවට පත් වී වෙනස් නොවුණත්, අඩුම තරමින් අනිත් අය ඔහුගේ ක්‍රියා කලාපය ඉගෙනගෙන ඔහු මෙන් වීමෙන් වළකින්න යනවා. ඒ අතරතුරේදී, මේ එක් එක් ක්‍රිස්තියානිවරයා ඒකාන්ත ගොඩනංවනසුලු දේවල් මත අවධානය යොමු කිරීම අවශ්‍යයි. පාවුල් මෙසේ උපදෙස් දුන්නා: “සහෝදරයෙනි, නුඹලා යහපත කිරීමට මැළි නොවෙන්න.”—2 තෙසලෝනික 3:13.
පැහැදිලිවම, සුළු සුළු අඩුපාඩුකම් සහ වැරදි කරන අයව පහත් කොට සලකන්න ප්‍රේරිතයාගේ මේ උපදේශය පදනමක් සපයන්නේ නැහැ. ඒ වෙනුවට, එහි අරමුණ වන්නේ, ක්‍රිස්තියානි ධර්මයට පටහැනි කැපීපෙනෙන ආකාරයේ හානිකර ක්‍රියාමාර්ගයක් ගන්නාවූ අයට උපකාර කිරීමයි.
පාවුල් සංකීර්ණ ප්‍රමිතියක් දමමින් නීතියක් සකස් කරන්න උත්සාහ කළේ නැහැ. එහෙත්, අනියම් ලෙස හැසිරෙන්නාට වැඩිමහල්ලන් මුලින්ම උපදෙස් දී උපකාර කිරීමට උත්සාහ ගත යුතු බව පැහැදිලියි. ඔවුන් සාර්ථක වන්නේ නැත්නම්, එම පුද්ගලයා එම හානිකර මාර්ගයේ දිගටම යෙදී සිටින බවටත්, එය පැතිරෙන බවටත් ලකුණු තිබෙනවා නම්, ඒ ගැන සභාවට දැනුම් දිය යුතු බවට ඔවුන් තීරණය කළ හැකියි. එවැනි අනියම් හැසිරීමකින් වැළකිය යුත්තේ ඇයි යන්න සම්බන්ධයෙන් කතාවක් සැලසුම් කරන්න ඔවුන්ට හැකියි. ඔවුන් නම් සඳහන් කරන්නේ නැති වුණත්, ඔවුන්ගේ අනතුරු ඇඟවීමේ කතාව සභාව ආරක්ෂා කරගන්න උපකාර කරන්න යනවා. මන්ද, ඊට ප්‍රතිචාරය දක්වන අය එවැනි අනියම් ලෙස හැසිරීමක් පැහැදිලි ලෙස විදහාපාන අය සමඟ සමාජීය ක්‍රියාකාරකම්වලදී තම ආශ්‍රය සීමා කරගැනීමට අමතර සැලකිල්ලක් දක්වන්න යනවා.
කාලයාගේ ඇවෑමෙන් අනියම් ලෙස හැසිරුණු තැනැත්තා ලජ්ජාවට පැමිණ, වෙනස් වෙයි කියා අපේක්ෂා කළ හැකියි. සභාවේ වැඩිමහල්ලන් සහ අනිත් අය ඔහුගේ ජීවිතයේ වෙනස්කම් කිරීම දකිද්දී, ඔහුව ආශ්‍රය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකව දමාගෙන තිබූ සීමාවන් ඉවත් කිරීමට පෞද්ගලිකව තීරණය කළ හැකියි.
එසේ නම්, සාරාංශයක් වශයෙන් ගතහොත්, යමෙක් අනියම් ලෙස හැසිරේ නම්, උපකාරය සහ උපදෙස් දීමේ මූලිකත්වය සභා වැඩිමහල්ලන් විසින් ගනු ලබනවා. එහෙත්, ඔහු තම වරද පිළිගන්නේ නැතුව, දිගටම අහිතකර බලපෑමක් ඇති කරයි නම්, බයිබල් දෘෂ්ටිය පැහැදිලි කරන කතාවක් මාර්ගයෙන් සභාවට අනතුරු අඟවන්න වැඩිමහල්ලන්ට හැකියි. මෙය නොඇදහිලිකාරයන් සමඟ පූර්ව විවාහ ඇසුරක් හෝ ඕනෑම නුසුදුසු ක්‍රියා කලාපයක් හෝ සම්බන්ධයෙන් අදාළ විය හැකියි. (1 කොරින්ති 7:39; 2 කොරින්ති 6:14) මෙසේ, තවමත් සහෝදරයන් වන මුත්, පැහැදිලිවම අනියම් ක්‍රියා මාර්ගයක් දිගටම අනුමනය කරන අය සමඟ කරන ඕනෑම ආකාරයක ආශ්‍රයක් සීමා කිරීමට, සභාවේ සිටින අනතුරු ඇඟවීම පිළිගත් ක්‍රිස්තියානීන්ට පෞද්ගලිකව තීරණය කළ හැකියි.
[පාදසටහන]
a මේ සඳහා යොදන ග්‍රීක් වචනය, තම පදවියේ නොසිටි හෝ හික්මවීම නොතැකූ හේවායන් සහ පාසැල් නොගොස් කට්ටි පැන්න ශිෂ්‍යයන් සම්බන්ධයෙන් භාවිත කළා.
[31වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අනියම් ලෙස හැසිරෙන අයට දැනමුතුකම් දුන්නත් ඔවුන්ව සලකන්නේ සෙසු ඇදහිලිවන්තයන් හැටියටයි