ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 8/1 16-21 පි.
  • අන්‍යයන්ට ගෞරව කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අන්‍යයන්ට ගෞරව කරන්න
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා මනුෂ්‍යයන්ට ගෞරව කරයි
  • යේසුස් අන්‍යයන්ට ගෞරවය දැක්වූවා
  • පාවුල් ගෞරවය දැක්වූවා
  • අපගේ කාලයේදී ගෞරවය දැක්වීම
  • යෙහෝවාට ගෞරව කිරීම
  • ගෞරවය ලැබිය යුතු අයට ගෞරවය දෙමු
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ගෞරව කිරීමේදී ඔබ පෙරමුණ ගන්නවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ අන් අයට ගෞරව කරන කෙනෙක්ද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට සහ ඔහුගේ පුත්‍රයාට ගරු කරමු
    2001 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 8/1 16-21 පි.

අන්‍යයන්ට ගෞරව කරන්න

“එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගෙන කටයුතු කරන්න.”—රෝම 12:10, NW.

1, 2. (අ) අපගේ යටහත් මනස විදහාපෙන්වීම සඳහා අප පුරුද්දක් ලෙස කුමක් කළ යුතුද? (ආ) බයිබලය සාමාන්‍යයෙන් “ගෞරවය” යන වචනය භාවිත කරන්නේ කෙසේද? තවද ගෞරවය දැක්වීම වඩාත් පහසු කාර්යයක් වන්නේ කාටද?

‘නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස යටත්කම [යටහත් මනසක්, NW] පැළඳගන්න. මක්නිසාද දෙවි උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන්නේය’ යන දෙවිගේ වචනයෙහි උපදෙස අපගේ කලින් ලිපියෙහි අවධාරණය කරනු ලැබුවා. (1 පේතෘස් 5:5) යටහත් මනසක් පැළඳගැනීමට එක් මාර්ගයක් නම්, අන්‍යයන්ට ගෞරවය දැක්වීමේ පුරුද්ද ඇති කරගැනීමයි.

2 බයිබලයෙහි “ගෞරවය” යන වචනය භාවිත කර ඇත්තේ අන්‍යයන්ට අප පෙන්විය යුතු ගරුත්වය සහ සැලකිල්ල දැක්වීමටයි. අන්‍යයන්ට කාරුණික වීමෙන්, ඔවුන්ගේ ආත්ම-ගරුත්වයට ගෞරවය කිරීමෙන්, ඔවුන්ගේ අදහස්වලට සවන් දීමෙන් සහ අපගෙන් බලාපොරොත්තු වන සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට කැමති වීමෙන් අප ඔවුන්ට ගෞරවය දක්වනවා. යටහත් මනසක් ඇති අයට මෙය සාමාන්‍යයෙන් දුෂ්කර යමක් නොවෙයි. කෙසේවෙතත්, උඩඟු සිත් ඇත්තත්ට සැබෑ ගෞරවය පෙන්නුම් කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ වෙනුවට අනුග්‍රහය සහ යම් වාසි ප්‍රයෝජන අත් කරගැනීමට ඔවුන් වංක ලෙස චාටු බස් දෙඩීමට යොමු විය හැකියි.

යෙහෝවා මනුෂ්‍යයන්ට ගෞරව කරයි

3, 4. යෙහෝවා ආබ්‍රහම්ට ගෞරවය දැක්වූයේ කෙසේද? ඒ මන්ද?

3 ගෞරවය පෙන්වීම ගත් කල, යෙහෝවා කදිම ආදර්ශයක් තබයි. ඔහු මනුෂ්‍යයන්ව නිදහස් කැමැත්ත ඇතුවයි මැව්වේ. එමනිසා ඔහු ඔවුන්ව කිසිම කල්පනා ශක්තියක් නැති යන්ත්‍ර ලෙස සලකන්නේ නැහැ. (1 පේතෘස් 2:16) නිදසුනක් ලෙස, සොදොම දුෂ්ටකමේ අන්තයටම යෑම හේතුවෙන් විනාශ වන බව දෙවි ආබ්‍රහම්ට පැවසූ විට, ආබ්‍රහම් මෙසේ ඇසුවා: ‘ඔබ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශ කරන්නෙහිද? ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස්දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් පනස්දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශ කරන්නෙහිද?’ ධර්මිෂ්ඨයන් පනස්දෙනෙකු සිටී නම් එම නුවර විනාශ නොකරනවා කියා යෙහෝවා පිළිතුරු දුන්නා. ඉන්පසුවත් ආබ්‍රහම් නිහතමානීව දිගින් දිගටම කන්නලව් කළා. හොඳයි, එම සංඛ්‍යාව 45ක්, 40ක්, 30ක්, 20ක් හෝ 10ක් වුණොත්? ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් දහදෙනෙක් හෝ සම්බ වුණොත් සොදොම විනාශ නොකරන බව යෙහෝවා ආබ්‍රහම්ට පොරොන්දු වුණා.—උත්පත්ති 18:20-33.

4 සොදොමෙහි ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් 10දෙනෙකු නොසිටි බව යෙහෝවා දැන සිටියත්, ආබ්‍රහම්ගේ අදහස්වලට සවන් දීමෙන් සහ ඔහු සමඟ ගෞරවාන්විතව කටයුතු කිරීමෙන් ඔහු ආබ්‍රහම්ට ගෞරව කළා. ඒ මන්ද? ආබ්‍රහම් “[යෙහෝවා] විශ්වාසකෙළේය; [ඔහු] ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත්” නිසයි. ආබ්‍රහම්ව හැඳින්වූයේ ‘යෙහෝවාගේ මිත්‍රයා’ ලෙසයි. (උත්පත්ති 15:6; යාකොබ් 2:23) තවද, ආබ්‍රහම් අන්‍යයන්ට ගෞරව කළ බවට වූ කාරණයද යෙහෝවා දුටුවා. ආබ්‍රහම්ගේ එඬේරුන් සහ ඔහුගේ බෑනා වූ ලොත්ගේ එඬේරුන් අතර දේශය බෙදාගැනීම සම්බන්ධව දබරයක් ඇති වූ විට, ආබ්‍රහම් ලොත්ට ගෞරවය දැක්වූයේ තමාට කැමති දේශය මුලින්ම තෝරාගන්න කියා පැවසීමෙනුයි. ලොත් හොඳම දේශය ලෙස තමා සැලකූ භූමි ප්‍රදේශය තෝරාගත් අතර, ආබ්‍රහම් වෙනත් ප්‍රදේශයකට මාරු වුණා.—උත්පත්ති 13:5-11.

5. යෙහෝවා ලොත්ට ගෞරව කළේ කෙසේද?

5 සමානාකාරයෙන්, යෙහෝවා ධර්මිෂ්ඨ ලොත්ටද ගෞරවය දැක්වූවා. සොදොම විනාශ කිරීමට මත්තෙන්, කඳුකර ප්‍රදේශයක් වෙත පලා යන්න කියා ඔහු ලොත්ට කිව්වා. කෙසේවෙතත්, එහි යෑමට තමා අකමැති බව ලොත් පැවසුවා. ඔහු කැමති වූයේ ළඟපාතක පිහිටි ශොවර් නුවරටයි. එය විනාශ කිරීමට නියම වූ ප්‍රදේශයෙහි පිහිටා තිබුණද, ඔහු එහි යෑමට මනාපයක් දැක්වූවා. එමනිසා යෙහෝවා ලොත්ට මෙසේ පැවසුවා: “බලව, නුඹ සඳහන්කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් නුඹ පිළිගතිමි [ඔබ ගැන සලකන්නෙමි, NW].” ඇදහිලිවන්ත ලොත් ඉල්ලූ දේ කිරීමෙන් යෙහෝවා ඔහුට ගෞරවය දැක්වූවා.—උත්පත්ති 19:15-22; 2 පේතෘස් 2:6-9.

6. යෙහෝවා මෝසෙස්ට ගෞරව කළේ කෙසේද?

6 යෙහෝවා තම සෙනඟව මිසර වහල්භාවයෙන් ඉවතට ගෙනයෑම සඳහාත්, තම සෙනඟව නිදහස් කිරීම පිළිබඳව ඵාරාවෝට කතා කිරීම සඳහාත් මෝසෙස්ව පත් කළ විට, මෝසෙස් මෙසේ ප්‍රතිචාරය දැක්වූවා: “අහෝ, [යෙහෝවා], මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි.” එහෙත් යෙහෝවා මෝසෙස්ගේ බිය සැක මෙසේ දුරු කළා: “මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමි.” එයින් පසුවත් මෝසෙස්ගේ පසුබෑම නතර වුණේ නැහැ. එවිට යෙහෝවා මෝසෙස්ගේ බිය සැක දුරු කරමින්, ඔහුගේ සහෝදර වූ ආරොන් ඔහු වෙනුවෙන් කතා කරන්නෙකු ලෙස සිටීමට විධිවිධාන යෙදුවා.—නික්මයාම 4:10-16.

7. අන්‍යයන්ට ගෞරවය දක්වන්න යෙහෝවා කැමති වූයේ මන්ද?

7 ඒ සියලු අවස්ථාවන්හිදී, යෙහෝවා අන්‍යයන්ට, විශේෂයෙන් ඔහුට සේවය කළ අයට ගෞරවය දක්වන්න කැමැත්තක් දැක්වූවා. ඔවුන් ඉල්ලූ දේ යෙහෝවා මුලින් අදහස් කළ දෙයට වඩා යම් ලෙසකින් වෙනස් වුවද, ඔහු ඔවුන්ගේ ඉල්ලීම්වලට සැලකිල්ල දක්වා, ඒවා ඔහුගේ අරමුණට පටහැනිව දිව නොයන තාක් කල්, ඒවාට ඉඩහැරියා.

යේසුස් අන්‍යයන්ට ගෞරවය දැක්වූවා

8. බරපතළ අසනීපයකින් පෙළුණු ස්ත්‍රියකට යේසුස් ගෞරව කළේ කෙසේද?

8 අන්‍යයන්ට ගෞරවය දැක්වීම සම්බන්ධයෙන් ගත් කල, යේසුස් යෙහෝවාව අනුකරණය කළා. එක් අවස්ථාවකදී, සෙනඟ අතර අවුරුදු 12ක් පුරා මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් සිටියා. ඇයගේ රෝගය සුව කිරීමට වෛද්‍යවරුන්ට බැරි වී තිබුණා. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, ඇය චාරිත්‍රානුකූලව අපවිත්‍ර තත්වයකයි සිටියේ. එමනිසා ඒ සෙනඟ අතර සිටීමට ඇයට අවසර තිබුණේ නැහැ. ඇය යේසුස්ට පිටුපසින් ඇවිත්, ඔහුගේ වස්ත්‍රය ස්පර්ශ කොට සුවය ලැබුවා. ඒ අවස්ථාවේදී, ඇය කළ දේ නිසා ඇයට බැණ වැදීමෙන් යේසුස් ව්‍යවස්ථාව අකුරටම පිළිපදින්න ගියේ නැහැ. ඒ වෙනුවට, ඇගේ තත්වය තේරුම්ගෙන ඇයට ගෞරව කරමින් ඔහු මෙසේ පැවසුවා: “දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්න.”—මාර්ක් 5:25-34; ලෙවී කථාව 15:25-27.

9. යේසුස් අන්‍යජාතික ස්ත්‍රියකට ගෞරව කළේ කෙසේද?

9 තවත් අවස්ථාවක, කානානීය ස්ත්‍රියක් යේසුස්ට මෙසේ පැවසුවා: “දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීය.” අන්‍යජාතිකයන් වෙත නොව, ඉශ්‍රායෙල් ජාතිය වෙත තමාව එවා තිබුණු බවට දැන සිටි යේසුස් මෙසේ පැවසුවා: “[ඉශ්‍රායෙල්හි] දරුවන්ගේ රොටි රැගෙන [කුඩා, NW] බල්ලන්ට [අන්‍යජාතිකයන්ට] දැමීම නුසුදුසුය.” ස්ත්‍රියගේ පිළිතුර වූයේ මෙයයි: “[කුඩා, NW] බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබෙලි කති.” ඊළඟට යේසුස් මෙසේ පැවසුවා: ‘ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම නුඹට වේවා.’ ඇගේ දුව සුවය ලැබුවා. මෙම අන්‍යජාතික ස්ත්‍රිය පෙන්වූ ඇදහිල්ල නිසා යේසුස් ඇයට ගෞරවය දැක්වූවා. වල් බල්ලන්ට කර්කශව යොමු දක්වනවා වෙනුවට, ‘කුඩා බල්ලන්’ යන මුදු මොළොක් යෙදුම භාවිත කිරීමෙන් පවා පැහැදිලි වන්නේ යේසුස් පෙන්නුම් කළ අනුකම්පාවයි.—මතෙව් 15:21-28.

10. යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූයේ කුමන බලවත් පාඩමද? තවද මෙය සඳහා අවශ්‍යතාවක් තිබුණේ මන්ද?

10 යේසුස්ගේ ගෝලයන් ඒ වෙද්දිත් මමත්වය සම්බන්ධ ගැටලුවකට මුහුණ දුන් බැවින්, යටහත් මනසක් පැළඳගැනීම සහ අන්‍යයන්ට ගෞරවය දැක්වීමේ අවශ්‍යතාව ඔවුන්ට දිගටම උගන්වන්න ඔහුට සිදු වුණා. එක් අවස්ථාවක ඔවුන් අතර පැවති වාදයකින් පසු යේසුස් “නුඹලා මාර්ගයේදී කුමක් ගැන විවාදකළහුදැයි” ඇසුවා. එනමුත් ඔවුන් නිශ්ශබ්දව සිටියේ “වඩා උතුම් තැනැත්තා කවුදැයි කියා ඔවුන් මාර්ගයේදී තමුන් අතරේ විවාදකළ” නිසයි. (මාර්ක් 9:33, 34) යේසුස් මියයන්න කලින් රාත්‍රියේදී පවා, ‘ඔවුන්ගෙන් ඉතා උතුම් කොට ගණන්ගනු ලබන්නේ කවරෙක්දැයි ඔවුන් අතරේ විවාදයක් හටගත්තා.’ (ලූක් 22:24) එමනිසා, පාස්කුවට සහභාගි වෙද්දී, යේසුස් ‘භාජනයට වතුර වත් කොට ගෝලයන්ගේ පාද සෝදන්ට පටන්ගත්තා.’ මොනතරම් බලවත් පාඩමක්ද! යේසුස් දෙවිගේ පුත්‍රයා. යෙහෝවාට පසුව මුළු විශ්වයේ ඉහළම තනතුර හෙබවූයේ යේසුස්ය. එනමුත්, තම ගෝලයන්ගේ පාද සේදීමෙන් ඔහු ඔවුන්ට ගෞරවය පිළිබඳ පාඩමක් ඉගැන්වූවා. ඔහු මෙසේ පැවසුවා: “මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.”—යොහන් 13:5-15.

පාවුල් ගෞරවය දැක්වූවා

11, 12. පාවුල් ක්‍රිස්තියානියෙකු වූවායින් පසු, ඔහු ඉගෙනගත්තේ කුමක්ද? මෙම පාඩම පිලෙමොන් සම්බන්ධයෙන් ඔහු අදාළ කරගත්තේ කෙසේද?

11 ක්‍රිස්තුස්ව අනුකරණය කළ අයෙකු වශයෙන්, ප්‍රේරිත පාවුල් අන්‍යයන්ට ගෞරවය දැක්වූවා. (1 කොරින්ති 11:1) ඔහු පැවසුවේ, “නුඹලාගෙන්වත් අන්‍යයන්ගෙන්වත් මනුෂ්‍ය ගෞරවය නොසෙවුවෙමුව. එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමු” කියායි. (1 තෙසලෝනික 2:6, 7) කිරි මවක් ඇගේ දරුවන්ව රැකබලා ගන්නවා. පාවුල් ක්‍රිස්තියානියෙකු වුණායින් පසු, යටහත් මනසක් පැළඳගැනීමට සහ සෙසු ක්‍රිස්තියානීන්ට මුදු මොළොක් සෙනෙහසින් සැලකිල්ල දැක්වීමෙන් ඔවුන්ට ගෞරවය දක්වන්න ඔහු ඉගෙනගත්තා. එසේ කටයුතු කිරීමේදී, ඔහු රෝමයේ සිරකාරයෙකුව සිටියදී සිදු වූ දෙයකින් පැහැදිලි වන්නාක් මෙන්, ඔවුන්ගේ නිදහස් කැමැත්තටද ඔහු ගෞරව කළා.

12 ඔනේසිමස් නම් පලාගිය දාසයෙක් පාවුල් ඉගැන්වූ දෙයට සවන් දී ක්‍රිස්තියානි භක්තිකයෙකු මෙන්ම පාවුල්ගේ මිතුරෙකු බවටද පත් වුණා. දාසයාගේ අයිතිකරු වූයේ ක්‍රිස්තියානි භක්තිකයෙකු වූ පිලෙමොන්ය. ඔහු සුළු ආසියාවේ වාසය කළා. පිලෙමොන්ට ලියූ ලිපියක පාවුල් ඔනේසිමස් ඔහුට කොතරම් ප්‍රයෝජනවත් වූවාදැයි ලිව්වා. “මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි” කියා ඔහු පැවසුවා. එනමුත්, පාවුල් ඔනේසිමස්ව නැවතත් පිලෙමොන්ට භාර දුන්නා. එයට හේතුව ඔහු මෙසේ සඳහන් කළා: “නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටුනූණෙමි.” පාවුල් තමා ප්‍රේරිතයෙකු බවට වූ කාරණයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට බැලුවේ නැහැ. එනමුත්, ඔනේසිමස්ව රෝමයේ රඳවාගන්න ඉඩ දෙන හැටියට පිලෙමොන්ගෙන් ඉල්ලා නොසිටීමෙන් ඔහු ඔහුට ගෞරවය දැක්වූවා. තවද “මෙතැන් පටන් දාසයෙකු කොට නොව දාසයෙකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු කොට” ඔනේසිමස්ව සලකන්න කියාත් පාවුල් පිලෙමොන්ට අවවාද කළා.—පිලෙමොන් 13-16.

අපගේ කාලයේදී ගෞරවය දැක්වීම

13. රෝම 12:10 අපට කියන්නේ කුමක් කරන්නද?

13 දෙවිගේ වචනය මෙසේ උපදෙස් දෙයි: “එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගෙන කටයුතු කරන්න.” (රෝම 12:10) මෙයින් අදහස් කරන්නේ, මුලින්ම ගෞරවය දැක්වීමට අප අන්‍යයන් දෙස නොබැලිය යුතු බවත්, මූලික පියවර අප විසින් ගත යුතු බවත්ය. “කිසිවෙක් තමාගේම කාරණා නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා.” (1 කොරින්ති 10:24; 1 පේතෘස් 3:8, 9) එබැවින්, යෙහෝවාගේ සේවකයන් පවුලේ සාමාජිකයන්ට, සභාවේ සෙසු ක්‍රිස්තියානීන් සහ සභාවෙන් පිටත අයට පවා ගෞරවය දැක්වීමට ප්‍රස්තා සොයනවා.

14. පුරුෂයා සහ භාර්යාව අතර ගෞරවය පෙන්නුම් කරන්නේ කෙසේද?

14 ‘එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්ය; ස්ත්‍රියගේ හිස පුරුෂයාය’ කියා බයිබලය ප්‍රකාශ කරනවා. (1 කොරින්ති 11:3) ක්‍රිස්තුස් සභාව සලකන්නාක් මෙන්ම පුරුෂයා විසින් තම භාර්යාවව සැලකීම යෙහෝවා බලාපොරොත්තු වෙනවා. පළමුවන පේතෘස් 3:7හි ‘වඩා දුර්වල භාජනයක් වූ තම භාර්යාවට ගෞරවය දෙන්න’ කියා පුරුෂයාට අණ කර තිබෙනවා. සවන් දීමට සැබෑ කැමැත්තක් දැක්වීමෙන් සහ තම භාර්යාවගේ යෝජනා සැලකිල්ලට ගැනීමෙන් ඔහුට මෙය කළ හැකියි. (උත්පත්ති 21:12) යම් විශේෂ බයිබල් ප්‍රතිපත්තියක් අදාළව නොපවතින අවස්ථාවක ඔහුට ඇගේ කැමැත්තට ඉඩ දිය හැකි අතර, ඇය වෙනුවෙන් දේවල් කරමින් ඇය සමඟ කාරුණික ආකාරයකින් කටයුතු කළ හැකියි. ඒත් සමඟම, “භාර්යාවද පුරුෂයාට භයපක්ෂව සිටින්ට [ගැඹුරු ගෞරවය දැක්වීමට, NW]” වගබලා ගත යුතුයි. (එපීස 5:33) ඇය ඔහුට සවන් දෙයි. හැමවිටම තමාට ඕනෑ දේ ඉෂ්ට කරගන්න බලන්නේ නැහැ. ඔහුව සුළු කරන්නේවත්, ඔහුට කන්දොස්කිරියාවක් වන්නේවත් නැහැ. ඇතැම් පැතිවලින් ඇය හැකියාව අතින් උසස් වුණත්, ඇගේ පුරුෂයාව පාලනය කිරීමට උත්සාහ නොකිරීමෙන් ඇය යටහත් මනසක් පෙන්නුම් කරයි.

15. වයසින් මුහුකුරා ගිය අයට කුමනාකාරයේ සැලකිල්ලක් දැක්විය යුතුද? එමෙන්ම ඔවුන් ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

15 ක්‍රිස්තියානි සභාව තුළ, වයසින් මුහුකුරා ගිය අය වැනි විශේෂයෙන් ගෞරවය ලැබීමට වටිනා පුද්ගලයන් සිටියි. “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ [හෝ මැහැල්ලියගේ] මුහුණට ගෞරවකරන්න.” (ලෙවී කථාව 19:32) “පැසුණු හිස” “ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි” නම්, එය “ගෞරවයේ ඔටුන්නක්” වන බැවින්, යෙහෝවාට වසර ගණනාවක් පුරා ඇදහිලිවන්ත සේවයක් පිරිනමා ඇති අයට විශේෂයෙන් එවන් ගෞරවයක් දිය යුතුයි. (හිතෝපදේශ 16:31) තමාට වඩා වයසින් වැඩි සෙසු ක්‍රිස්තියානීන්ට ගෞරවය දැක්වීමේදී අවේක්ෂකයන් ආදර්ශය තැබිය යුතුයි. කෙසේවෙතත්, තරුණයන්, විශේෂයෙන්ම රැළ රැකබලා ගැනීමේ වගකීමට හවුල්ව සිටින තරුණයන් කෙරෙහි ගෞරවාන්විත ආකල්පයක් විදහාපෙන්වීම සම්බන්ධයෙන් මහලු අය නිදහස්ව සිටිනවා නොවෙයි.—1 පේතෘස් 5:2, 3.

16. දෙමාපියන් සහ දරුවන් එකිනෙකාට ගෞරව කරන්නේ කෙසේද?

16 දරුවන් තම දෙමාපියන්ට ගෞරවය දැක්විය යුතුයි: “දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට [ස්වාමීන්] තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.” ඒත් සමඟම තම “දරුවන්ට කෝප නූපදවා, [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න” යන ආඥාව දෙමාපියන්ට දී තිබෙන නිසා, ඔවුන් තම දරුවන්ට ගෞරව කරනවා.—එපීස 6:1-4; නික්මයාම 20:12.

17. “දෙගුණයක් ගෞරව” ලබන්න වටින්නේ කවුද?

17 සභාවට සේවය කිරීමේදී අනලස සේවයක් පිරිනමන අයටද ගෞරවය දැක්වීම උචිතයි. “යහපත්ලෙස ප්‍රධානකම්කරන [මූලිකත්වය ගෙන කටයුතු කරන, NW] වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.” (1 තිමෝති 5:17) ඔවුන්ට මෙම ගෞරවය දැක්වීමේ එක් මඟක් නම්, හෙබ්‍රෙව් 13:17හි [NW] පවසන දේ කිරීමයි: ‘ඔබ අතර පෙරමුණ ගන්නන්ට කීකරු වී යටත් වන්න.’

18. සභාවෙන් පිටත සිටින අය සම්බන්ධයෙන් අප කෙලෙස කටයුතු කළ යුතුද?

18 සභාවෙන් පිටත අයට ගෞරවය දක්වන්න අප බැඳී සිටිනවාද? ඔව්. නිදසුනකට, “හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා” යන ආඥාව අපට ලැබී තිබෙනවා. (රෝම 13:1) මොවුන් ලෞකික පාලකයන්ය. ඔවුන්ට තම අධිකාරය හෙබවීමට යෙහෝවා ඉඩ දෙන්නේ ඔහුගේ රාජ්‍යය ඒවායෙහි තැන ගන්නා තෙක්ය. (දානියෙල් 2:44, 45) එබැවින්, ‘සියල්ලන්ට දෙන්ට යුතු දේ අප දෙනවා. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද අප දෙනවා. භය වෙන්ට නිස්සාට භය වෙනවා. ගෞරව ලබන්ට නිස්සාට ගෞරව කරනවා.’ (රෝම 13:7) “සියලු ආකාර පුරුෂයන්ට [හෝ ස්ත්‍රීන්ට] ගෞරව කරන්න” අප බැඳී සිටිනවා.—1 පේතෘස් 2:16ආ, NW.

19. අන්‍යයන්ට ‘යහපත්කම් කරන්නත්’ ඔවුන්ට ගෞරවය දක්වන්නත් අපට හැක්කේ කෙසේද?

19 සභාවෙන් පිට අයට ගෞරවය දැක්වීමට අප බැඳී සිටිනවාට අමතරව, දෙවිගේ වචනය අවධාරණය කරන දේ සැලකිල්ලට ගන්න: “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.” (ගලාති 6:10) ඇත්තෙන්ම අන්‍යයන්ට ‘යහපත්කම් කිරීමට’ හොඳම මාර්ගය නම් ඔවුන් තුළ ආත්මික අවශ්‍යතාවක් ජනිත කර එය සපුරාලීමයි. (මතෙව් 5:3, NW) ප්‍රේරිත පාවුල්ගේ මතු දැක්වෙන සිහිගැන්වීමට අවනත වීමෙන් අපට මෙය කළ හැකියි: “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, [දෙවිට] ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.” අපගේ ‘සේවය සම්පූර්ණ කිරීමට’ සාක්ෂිදරන්න ලැබෙන සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගැනීමට උපයාශීලීව මං සොයන විට, අප සියලුදෙනාටම යහපත්කම් කරනවා පමණක් නොව, අප ඔවුන්ට ගෞරවයද දක්වනවා.—2 තිමෝති 2:15; 4:5.

යෙහෝවාට ගෞරව කිරීම

20. ඵාරාවෝ සහ ඔහුගේ හමුදාවන්ට සිදු වුණේ කුමක්ද? ඒ මන්ද?

20 යෙහෝවා තම මැවිලිවලට ගෞරව කරයි. එසේ නම්, අපත් ඔහුට ගෞරව කිරීම සාධාරණයි. (හිතෝපදේශ 3:9; එළිදරව් 4:11) යෙහෝවාගේ වචනයෙහි මෙසේ පවසා තිබෙනවා: “මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.” (1 සාමුවෙල් 2:30) දෙවිගේ සෙනඟව නිදහස් කරන්න මිසරයේ ඵාරාවෝට අණ කළ විට, ඔහු අහංකාර ලෙස මෙසේ පිළිතුරු දුන්නා: “මා විසින් [යෙහෝවාගේ] බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද?” (නික්මයාම 5:2) ඉශ්‍රායෙල්වරුන්ව වනසා දැමීමේ අදහසින් ඵාරාවෝ තම හමුදාවන් එවූ විට, යෙහෝවා ඉශ්‍රායෙල් වෙනුවෙන් රතු මුහුද දෙබෑ කළා. එනමුත් මිසරවරුන් ඉශ්‍රායෙල්වරුන් පසුපස හඹා ගිය විට, යෙහෝවා එය නැවත හා කළා. ‘ඵාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව යෙහෝවා මුහුදට හෙළුවා.’ (නික්මයාම 14:26-28; 15:4) එමනිසා යෙහෝවාව ගෞරවයට පත් කරන්න උඩඟු ලෙස විරුද්ධ වූ ඵාරාවෝට විපත්තිදායක අවසානයකට මුහුණ දෙන්න සිදු වුණා.—ගීතාවලිය 136:15.

21. යෙහෝවා බේල්ෂශර්ට විරුද්ධ වූයේ මන්ද? කුමන ප්‍රතිඵලය ඇතුවද?

21 බබිලෝනියේ බේල්ෂශර් රජුත් යෙහෝවාට ගෞරව කිරීමේ අදහසට පිටු පෑවා. මධුපානෝත්සවයකදී, යෙරුසලමේ දේවමාළිගාවෙන් ගෙනා රන් සහ රිදීවලින් සෑදූ පරිශුද්ධ භාජනවලින් මුද්‍රිකපානය බීමෙන් ඔහු යෙහෝවාට සරදම් කළා. තවද එසේ කරන අතරතුර, ඔහු තම මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට ගරු බුහුමන් කළා. එනමුත් යෙහෝවාගේ සේවක දානියෙල් ඔහුට මෙසේ පැවසුවා: ඔබ “ඔබගේ සිත යටත්කර නොගෙන, ස්වර්ගයේ [ස්වාමීන්ට] විරුද්ධව උසස්වී” ඇත. එම රාත්‍රියේදීම, බේල්ෂශර්ව ඝාතනය කළ අතර, ඔහුගේ රාජ්‍යය වෙනත් කෙනෙකුට දෙනු ලැබුවා.—දානියෙල් 5:22-31.

22. (අ) ඉශ්‍රායෙල්හි නායකයන් සහ ඔවුන්ගේ සෙනඟ කෙරෙහි යෙහෝවා උදහස් වූයේ මන්ද? (ආ) යෙහෝවා අනුග්‍රහය දැක්වූයේ කාටද? කුමන ප්‍රතිඵලය ඇතුවද?

22 පොදු යුගයේ මුල් සියවසේ, හෙරොද් රජ ප්‍රසිද්ධ දේශනයක් දෙමින් සිටියදී, මහජනයා මෙසේ මොරගැසුවා: ‘මෙය මනුෂ්‍යයෙකුගේ හඬ නොව දෙවිකෙනෙකුගේ හඬයි!’ එම අහංකාර රජ එයට විරෝධය නොපෑවේ එම ගෞරවය ලබාගැනීමට ඔහුට වුවමනා වූ නිසයි. ඒ අවස්ථාවේදී, “ඔහු ඒ ගෞරවය [දෙවිට] නුදුන් බැවින්, [යෙහෝවාගේ] දූතයෙක් එකෙණෙහිම ඔහුට පහර [දුන්නා].” (ක්‍රියා 12:21-23) යෙහෝවාට නොව තමාට ගෞරවය ලබාගත් නිසා, හෙරොද්ව මරනු ලැබුවා. ඒ කාලයේ විසූ ආගමික නායකයන් දෙවිගේ පුත්‍ර යේසුස්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමෙන් දෙවිට අගෞරව කර තිබුණා. ඇතැම් මුලාදෑනීන් “[දෙවිගෙන්] ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රියවූ” නිසා යේසුස් සත්‍යය ඉගැන්වූ බවට දැන සිටියත් ඔහුව අනුගමනය කිරීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. (යොහන් 11:47-53; 12:42, 43) සමස්තයක් වශයෙන් එම ජාතිය යෙහෝවාටවත් ඔහු පත් කළ නියෝජිතයාටවත් ගෞරවය දැක්වූයේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස, යෙහෝවා ඔවුන්වත් ඔවුන්ගේ දේවමාළිගාවත් විනාශයට නියම කිරීමෙන්, ඔවුන්ට ගෞරවය දැක්වීම නතර කළා. එනමුත් ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ගෞරවය කළ අයගේ ප්‍රාණ ඔහු රැකගත්තා.—මතෙව් 23:38; ලූක් 21:20-22.

23. දෙවිගේ නව ලොවෙහි ජීවත් වීමට නම් අප කුමක් කළ යුතුද? (ගීතාවලිය 37:9-11; මතෙව් 5:5)

23 මෙම වත්මන් දුෂ්ට පිළිවෙළේ විනාශයෙන් පසු පවතින දෙවිගේ නව ලොවෙහි ජීවත් වීමට කැමති සියලුදෙනා දෙවිටත් ඔහුගේ පුත්‍ර ක්‍රිස්තුස් යේසුස්ටත් ගෞරව කළ යුතු අතර, ඔවුන්ට කීකරු විය යුතුයි. (යොහන් 5:22, 23; පිලිප්පි 2:9-11) එවැනි ගෞරවයක් නොදක්වන අය ‘දේශයෙන් සිඳ දමනු ලබනවා.’ අනික් අතට, දෙවිට සහ ක්‍රිස්තුස්ට ගෞරව කරමින් ඔවුන්ට කීකරු වන නිර්දෝෂ අය ‘දේශයෙහි වාසය කරනවා’ නිසැකයි.—හිතෝපදේශ 2:21, 22.

පුනරීක්ෂණය

◻ අන්‍යයන්ට ගෞරව කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා එය කළේ කෙසේද?

◻ යේසුස් සහ පාවුල් අන්‍යයන්ට ගෞරවය දැක්වූයේ කෙසේද?

◻ අදදින ගෞරවය ලැබීමට වටින්නේ කවුද?

◻ අප යෙහෝවාට සහ යේසුස්ට ගෞරවය දැක්විය යුත්තේ මන්ද?

[17වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම්ගේ කන්නලව්ව සැලකිල්ලට ගැනීමෙන් යෙහෝවා ඔහුට ගෞරවය දැක්වූවා

[18වන පිටුවේ පින්තූරය]

සාර්ථක විවාහයන්වල පුරුෂයා සහ භාර්යාව එකිනෙකාට ගෞරව කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න