“ස්වර්ග ශස්‍යයෙන්” ප්‍රයෝජන ගැනීම
ඉශ්රායෙල්වරුන් ප්රාතිහාර්යමය ලෙස මිසරයෙන් මිදීම ලැබ ටික කලකට පසු, ඔවුන්ගේ මිදුම්කරුවා වූ යෙහෝවා කෙරෙහි දැඩි ඇදහිල්ලේ ඌනතාවක් පෙන්නුවා. ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවා ඔවුන්ට වසර 40ක් පුරා සීනයිහි පාළුකරයේ ඉබාගාතේ යෑමට සැලැස්සුවා. ඒ මුළු කාලය පුරාම, ඉශ්රායෙල්වරුන් හා ඔවුන්ට එකතු වූ විදේශීන්ගෙන් යුත් “මිශ්‍ර සමූහය” කා බී “තෘප්තිමත්” [NW] වුණා. (නික්මයාම 12:37, 38) මෙය සිදු වුණේ කෙසේද කියා ගීතාවලිය 78:23-25 අපට පවසනවා: ‘යෙහෝවා ඉහළින් ආකාශයට අණ කොට, ස්වර්ගයේ දොරවල් ඇරියේය; කෑම පිණිස මන්නා වස්වමින්, ස්වර්ග ශස්‍යයෙන් ඔවුන්ට දුන්නේය. මනුෂ්‍යයා බලවතුන්ගේ රොටි කෑවේය. සෑහෙන පමණ ආහාර ඔහු ඔවුන්ට එව්වේය.’
මන්නා ආහාරයට ගත් තැනැත්තෙකු වශයෙන් මෝසෙස්, මේ අද්විතීය ආහාරය විස්තර කළා. ඔහු මෙසේ ලිව්වා: උදෑසන ‘වැටී තිබුණු පිනි හිඳුණු කල . . . හිම වැනි හීන් කුඩා වට වූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය. ඉශ්රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දැයි නොදැන එකිනෙකාට මෙසේ කීවෝය: මේ මොනවාද?’ එහෙමත් නැත්නම් ඔවුන් හෙබ්‍රෙව් බසින් පැවසුවේ “මාන් හූ?” කියලයි. මෙම ප්‍රකාශය සමහරවිට හටගැනෙන්න ඇත්තේ “මන්නා” කියන වචනයෙන් විය හැකියි; කෑම සඳහා ඉශ්රායෙල්වරුන් භාවිත කළේ ඒ නමයි. මෝසෙස් මෙසේ පැවසුවා: “ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.”—නික්මයාම 16:13-15, 31 හා NW පාදසටහන.
සමහරු තර්ක කරන ආකාරයට මන්නා ඉබේම ඇති වූ දෙයක් නොවෙයි. එය ලබා දීමට අධිමානුෂික බලයක් සම්බන්ධ වී සිටියා. උදාහරණයක් හැටියට, එය යම් ස්ථානයක් හෝ ඍතුවක් අනුව ලබාගත හැකිව තිබුණු දෙයක් නොවෙයි. පසුදා වන තුරු එය තබාගත්තා නම්, එහි පණුවෝ හටගෙන ගඳගහන්න පටන්ගත්තා; එහෙත්, සතිපතා සබතට පෙර දිනයේදී සෑම පවුලක්ම ඒවා දෙගුණයක් රැස් කරගත්තත්, පසුදා වන විට ඒවා නරක් වෙලා තිබුණේ නැහැ; එනිසා මන්නා නොලැබුණු දිනය වන සබත් දිනයේදී ඒවා ආහාරයට ගත හැකි වුණා. ඇත්තෙන්ම, මන්නා ප්රාතිහාර්යමය සැපයුමක්.—නික්මයාම 16:19-30.
ගීතාවලිය 78හි “බලවතුන්” හෝ “දේවදූතයන්” ගැන සඳහන් කර තිබීමෙන් අදහස් කරන්නේ, මන්නා සැපයීමට යෙහෝවා දේවදූතයන්ව යොදාගන්න ඇති බවයි. (ගීතාවලිය 78:25, NW පාදසටහන) කාරණය කුමක් වුවත්, දෙවිගේ කරුණාවන්තකම සඳහා දෙවිට ස්තුති කිරීමට ජනයාට සෑම හේතුවක්ම තිබුණා. කෙසේනමුත්, තමන්ව මිසරයේ වහල්භාවයෙන් මුදවාගත් තැනැත්තා කෙරෙහි වැඩිදෙනෙක් අකෘතඥ ආකල්පයක් පෙන්නුවා. ඔහුගේ ප්‍රේමනීය-කරුණාව සම්බන්ධයෙන් මෙනෙහි කර බැලීමට අප අසමත් වුවහොත්, අපත් යෙහෝවාගේ සැපයුම් සැලකිල්ලට නොගැනීමට හෝ කෘතඥපූර්වක නොවීමට පවා ඉඩ තිබෙනවා. එනිසා, යෙහෝවා “අපගේ ඉගෙනගැනීම” සඳහා, ඉශ්රායෙල්වරුන්ගේ මිදීම හා ඉන්පසු වුණු සිද්ධීන් වාර්තා කර තිබීම ගැන අපට සතුටු විය හැකියි.—රෝම 15:4.
ඉශ්රායෙල්වරුන් සඳහා පාඩමක් ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් වෙයි
යෙහෝවා මන්නා සැපයූ විට, මිලියන තුනක පමණ ඉශ්රායෙල්වරුන්ගේ ශාරීරික අවශ්‍යතා නිකම්ම සපුරාලනවාට වඩා වැඩි යමක් ඔහුගේ මනසේ තිබුණා. ඔවුන්ගේම ප්‍රයෝජනය පිණිස ඔවුන්ව පවිත්‍ර කර, හික්මවීම සඳහා ‘ඔවුන්ව යටහත් කර සෝදිසි කිරීමට’ ඔහුට වුවමනා වුණා. (ද්විතීය කථාව 8:14; යෙසායා 48:17) එම පවිත්‍ර කිරීමට හා හික්මවීමට ඔවුන් ප්‍රතිචාරයක් දැක්වුවා නම්, පොරොන්දු දේශයේදී ඔවුන්ට සමාදානය, සශ්‍රීකත්වය හා සන්තෝෂය දෙමින් ‘ඔවුන්ගේ මතු කාලයේදී ඔවුන්ට යහපත කිරීමට’ යෙහෝවා කැමති වේවි.
“මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් [යෙහෝවාගේ] මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත්” ඔවුන් ඉගෙනගත යුතුව තිබීම එක වැදගත් කාරණයක්. (ද්විතීය කථාව 8:3) දෙවි මන්නා සැපයුවේ නැත්නම්, ජනයා සාගින්නෙන් පෙළෙන්න තිබුණා; එය ඔවුන් නිතැතින්ම පිළිගත් කාරණයක්. (නික්මයාම 16:3, 4) මෙය, තමන් මුළුමනින්ම යෙහෝවා කෙරෙහි රඳා සිටිය යුතු බව, අගය දක්වන ඉශ්රායෙල්වරුන්ට දිනපතා සිහිගැන්වීමක් වූ අතර, එම හේතුවෙන් ඔවුන් යටහත් පහත් වූවා. ආහාර බහුලව තිබෙන පොරොන්දු දේශයෙහි සිටින විට, ඔවුන්ට යෙහෝවාව හා ඔහු මත ඔවුන්ගේ රඳා සිටීම අමතක වීමට තිබුණු ඉඩ කඩ ඉතා අඩුයි.
ඉශ්රායෙල්වරුන් මෙන් ක්‍රිස්තියානීන් තමන්ගේ ජීවිතයේ ශාරීරික හා ආත්මික අවශ්‍යතාවන් සඳහා දෙවි කෙරෙහි රඳාපැවතීම ගැන සාවධාන විය යුතුයි. (මතෙව් 5:3; 6:31-33) යක්ෂයා ගෙනා පරීක්ෂාවලින් එකකට පිළිතුරක් වශයෙන්, යේසුස් ක්‍රිස්තුස් ද්විතීය කථාව 8:3හි තිබෙන මෝසෙස්ගේ වචන මෙසේ උපුටා දැක්වුවා: “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ.” (මතෙව් 4:4) ඔව්, දෙවිගේ සැබෑ නමස්කාරකයන් පෝෂණය වන්නේ යෙහෝවාගේ වචනයෙහි ඇති ඔහුගේ ප්‍රකාශයන් කියවීමෙනුයි. ඊට අමතරව, ඔවුන් දෙවි සමඟ ගමන් කරද්දී මෙන්ම ඔහුගේ රාජ්‍ය කටයුතුවලට මුල් තැන දෙද්දී ඔවුන්ගේ ජීවිත තුළ මෙම ප්‍රකාශයන්වල ප්‍රයෝජනවත් ප්‍රතිඵල අද්දකින විට, ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා.
ජීවිතයේ දෛනික කොටසක් බවට පත් වෙන දේවල් සඳහා අසම්පූර්ණ මනුෂ්‍යයන්ගේ අගය අඩු වී යා හැකියි; ඒ දේවල් යෙහෝවාගේ ප්‍රේමනීය සැලකිල්ල පිළිබිඹු කිරීමක් වුවත් එසේ විය හැකියි. උදාහරණයක් වශයෙන්, අධිස්වාභාවික ආකාරයකින් මන්නා ලැබීම හේතුවෙන් ඉශ්රායෙල්වරුන් මුලදී පුදුමයටත්, සන්තෝෂයටත් පත් වුණ නමුත්, කල් යත්ම ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පැමිණිලි කළා. “අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේ” යයි ඔවුන් අගෞරවනීය ලෙස කොඳුරන්න පටන්ගත්තා; මෙය ඔවුන් ‘ජීවමාන දෙවි කෙරෙන් අහක්ව යන්න’ පටන්ගනිමින් සිටි බවට ඇඟවීමක් වුණා. (ගණන් කථාව 11:6; 21:5; හෙබ්‍රෙව් 3:12) එබැවින්, ඔවුන්ගේ උදාහරණය, ‘කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාදයක්’ ලෙස ක්‍රියා කරනවා.—1 කොරින්ති 10:11.
මේ අවවාදාත්මක උදාහරණය අපේ හෘදයට ගැනීමට අපට හැක්කේ කෙසේද? එක ක්‍රමයක් නම්, විශ්වාසවන්ත නුවණ ඇති දාස පංතිය මගින් අප ලබන බයිබල් ඉගැන්වීම් හෝ සැපයුම් සාමාන්‍ය, වැදගත්කමින් තොර ඒවා වීමට කිසිදා ඉඩ නොහැරීමයි. (මතෙව් 24:45) යෙහෝවාගේ දීමනා නොසලකා හැරීමට හෝ ඒවා සම්බන්ධයෙන් උදාසීනබවක් දැක්වීමට අප පටන්ගන්නා විට, ඔහු සමඟ ඇති අපේ සබඳතාව ක්‍රමයෙන් බිඳී යෑමට පටන්ගනියි.
යෙහෝවා අපව චංචල කරවන අලුත් අලුත් දේවල්වලින් යටපත් නොකරන්නේ හොඳ හේතු ඇතුවයි. ඒ වෙනුවට, ඔහු තම වචනය මත හෙළන ආලෝකය වැඩි කරන්නේ ක්‍රමක්‍රමයෙන් ප්රගතිශීලී ලෙසයි. (හිතෝපදේශ 4:18) මෙය තම ජනයාට ඔවුන් ඉගෙනගන්නා දේවල් ධාරණය කරගෙන, ඒවා ක්‍රියාවට නැංවීමට ඉඩහරියි. තම මුල් ගෝලයන්ට උගන්වන විට යේසු තම පියාගේ ආදර්ශය අනුගමනය කළා. “ඔවුන්ට දරන්ට පුළුවන් ප්‍රමාණයට” එහෙමත් නැත්නම් සමහර පරිවර්තනයන්හි දක්වන පරිදි “තේරුම්ගත හැකි පමණට” ඔහු ඔවුන්ට දෙවිගේ වචනය පැහැදිලි කළා.—මාර්ක් 4:33; සසඳන්න යොහන් 16:12.
දෙවිගේ සැපයුම් සඳහා ඔබේ අගය වැඩි කරන්න
යේසු නැවත නැවත කීමේ ක්‍රමයත් යොදාගත්තා. සැබවින්ම, යම් කාරණයක්, උදාහරණයක් වශයෙන්, යම් බයිබල් ප්‍රතිපත්තියක් එකපාරටම තේරුම්ගන්න මනසට පුළුවන් විය හැකියි; නමුත් එය හෘදයට ගෙන, “අලුත්” ක්‍රිස්තියානි ‘පෞද්ගලිකත්වයේ’ කොටසක් කරගැනීම සඳහා ඊට වඩා වැඩි කාලයක් ගත වෙයි. විශේෂයෙන්ම පැරණි ලෞකික මාර්ග හා ආකල්ප ගැඹුරට මුල් බැසගෙන තිබෙනවා නම් මෙසේ විය හැකියි. (එපීස 4:22-24, NW) උඩඟුකම පරදා නිහතමානිකම වර්ධනය කරගැනීමට අවශ්‍ය වූ විට යේසුගේ ගෝලයන් සම්බන්ධයෙන් සිදු වුණේ ඇත්තෙන්ම එයයි. නිහතමානිකම ගැන ඔවුන්ට උගන්වන්න යේසුට කීප වතාවක්ම සිදු වුණා. ඒ සෑම අවස්ථාවකදීම එකම ප්‍රධාන කරුණ විවිධ කෝණවලින් ඉදිරිපත් කළේ හෘදයට කිඳාබසින පිණිසයි; අවසානයේදී ඇත්තෙන්ම එය සිදු වුණා.—මතෙව් 18:1-4; 23:11, 12; ලූක් 14:7-11; යොහන් 13:5, 12-17.
නවීන කාලවලදී, ක්‍රිස්තියානි රැස්වීම් හා වොච් ටවර් ප්‍රකාශන, හොඳින් කල්පනා කර නැවත නැවත කීමේ යේසුගේ ආදර්ශය අනුගමනය කරනවා. එමනිසා අපි මෙය අප සඳහා දෙවිගේ ප්‍රේමනීය සැලකිල්ලේ ප්‍රකාශයක් හැටියට සලකා අගය දක්වමු; එමෙන්ම මන්නා සම්බන්ධයෙන් ඉශ්රායෙල්වරුන් වෙහෙසට පත් වුණාක් මෙන් අපට ලැබෙන දේවල් සම්බන්ධයෙන් අපි කිසිදා වෙහෙසට පත් නොවෙමු. ඇත්තෙන්ම, යෙහෝවාගෙන් නිතිපතා ලැබෙන සිහිගැන්වීම් ධාරණය කරගෙන අපේ ජීවිතවලට අදාළ කරගන්නා විට, අපේ ජීවිත තුළ කදිම ඵලදාවක් අපි දකින්නෙමු. (2 පේතෘස් 3:1, 2ආ) එවැනි අගය කිරීමේ ආකල්පයක් මගින් පෙන්වන්නේ, අපි අපේ හෘදවලින් මෙන්ම අපේ මනස්වලින් දෙවිගේ වචනය ඇත්තෙන්ම ‘තේරුම්ගනිමින්’ සිටින බවයි. (මතෙව් 13:15, 19, 23) මේ සම්බන්ධයෙන්, අපට ගීතිකාකාර දාවිත්ගේ කදිම ආදර්ශය තිබෙනවා. අදදින අප ලබන විවිධ ආත්මික ආහාර ඔහුට නොලැබුණත්, ඔහු යෙහෝවාගේ නීති මෙසේ විස්තර කළා: ඒවා “මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය”!—ගීතාවලිය 19:10.
සදාකාල ජීවනය ගෙන දෙන “මන්නා”
“ජීවනදායක කෑම මමය” කියා යේසු යුදෙව්වන්ට පැවසුවා. “නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවෝය, නුමුත් ඔව්හු මළෝය. . . . ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. . . . ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයය.” (යොහන් 6:48-51) සැබෑ පාන් හෝ මන්නා සදාකාල ජීවනය ලබා නොදුන් අතර, එය දීමටත් නොහැකියි. නමුත් යේසුගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල පවත්වන අය අන්තිමේදී සදා ජීවනයේ ආශීර්වාද භුක්ති විඳිනු ඇත.—මතෙව් 20:28.
යේසුගේ මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ගන්නාවූ වැඩිදෙනෙක් පාරාදීස පොළොවක සදාකාල ජීවනය භුක්ති විඳිනු ඇත. මිසරයෙන් නික්ම ගිය ඉශ්රායෙල්වරුන්ට එකතු වූ විදේශීන්ගෙන් යුත් “මිශ්‍ර සමූහය” මගින් පූර්වාදර්ශනය කළ “මහත් සමූහයක්,” සියලු දුෂ්ටකම් පොළොවෙන් තුරන් කරනු ලබන ‘මහත් පීඩාවෙන්’ බේරෙනු ඇත. (එළිදරව් 7:9, 10, 14; නික්මයාම 12:38) ඉශ්රායෙල්වරුන්ගෙන් පූර්වාදර්ශනය කළ අය, ඊටත් වඩා මහත් විපාකයක් ලබනවා. ප්‍රේරිත පාවුල් මොවුන්ව විස්තර කළේ 1,44,000දෙනෙකුගෙන් සමන්විත දෙවිගේ ආත්මික ඉශ්රායෙල් හැටියටයි. මරණයේදී ඔවුන්ට ලැබෙන විපාකය වනාහි, ස්වර්ගයෙහි ජීවිතය සඳහා නැවත නැඟිටීමයි. (ගලාති 6:16; හෙබ්‍රෙව් 3:1; එළිදරව් 14:1) එහිදී යේසු ඔවුන්ට විශේෂිත ආකාරයක මන්නා දෙනු ඇත.
‘සැඟවී තිබෙන මන්නාවල’ අර්ථය
“ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි” කියා නැවත නැඟිටුවනු ලැබූ යේසු ආත්මික ඉශ්රායෙල්ට පැවසුවා. (එළිදරව් 2:17) මෙම සංකේතාත්මක සැඟවුණු මන්නා, ගිවිසුම් පෙට්ටියක් තුළ රන් භාජනයක තැබීමට දෙවි මෝසෙස්ට අණ කළ මන්නා සිහියට නංවනවා. මෙම ගිවිසුම් පෙට්ටිය තබා තිබුණේ මණ්ඩපයේ අතිශුද්ධස්ථානයෙහියි. එහි එය කිසිවෙකුට නොපෙනෙන සේ සැඟවී තිබුණා. සිහිගැන්වීමක් වශයෙන් තිබුණු මෙම මන්නා කොටස ගිවිසුම් පෙට්ටියේ තිබෙද්දී නරක් නොවී තිබුණා; එබැවින් එය විනාශ නොවන ආහාර සැපයුමක් සම්බන්ධයෙන් ගැළපෙන සංකේතයක් වුණා. (නික්මයාම 16:32; හෙබ්‍රෙව් 9:3, 4, 23, 24) එක්ලක්ෂ හතළිස් හාරදාස්දෙනාට සැඟවුණු මන්නා දීමේදී, ඔවුන් දෙවිගේ ආත්ම පුත්‍රයන් හැටියට අමරණීයත්වය හා නොදිරනසුලුබව ලබන බවට යේසු සහතික කරනවා.—යොහන් 6:51; 1 කොරින්ති 15:54.
“ජීවනයේ උල්පත ඔබ [යෙහෝවා] සමඟය” කියා ගීතිකාකරු පැවසුවා. (ගීතාවලිය 36:9) සැබෑ මෙන්ම සංකේතමය මන්නා සැපයුම මොනතරම් කදිමෙට එම මූලික සත්‍යය යළි තහවුරු කරයිද! දෙවි පුරාණ ඉශ්රායෙල්වරුන්ට දුන් මන්නා, අප වෙනුවෙන් යේසුගේ මාංශය ලෙසින් ඔහු සැපයූ උපමාලංකාර මන්නා හා ඔහු යේසු තුළින් 144,000ට දෙන සංකේතමය සැඟවුණු මන්නා, ජීවිතය සඳහා අප සම්පූර්ණයෙන්ම දෙවි මත රඳාපැවතිය යුතු බව අප සියල්ලන්ටම සිහිගන්වනවා. (ගීතාවලිය 39:5, 7) අපි යටහත් පහත් ලෙස, විනීත ලෙස මෙන්ම නිතිපතා මෙම රඳාපැවතීම පිළිගනිමු. ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවා ‘අපගේ මතු කාලයේදී අපට යහපත’ කරනු ඇත.—ද්විතීය කථාව 8:14.
[26වන පිටුවේ පින්තූර]
සදාකාල ජීවනය ලබාගැනීම සඳහා, සියලු මනුෂ්‍යයන් “ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම” මත රඳා සිටියි
[28වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානි රැස්වීම් සියල්ලටම සහභාගි වීම, යෙහෝවාගේ සිහිගැන්වීම් සඳහා අපේ අගය පිළිබිඹු කරයි