ඔබේ පොරොන්දු ඉටු කළ යුත්තේ මන්ද?
“අඩුවෙන්ම පොරොන්දු දෙන තැනැත්තාට මනාපය දෙන්න; ඔබව අඩුවෙන්ම අධෛර්යයට පත් කරන තැනැත්තා ඔහු වේවි” කියා හිටපු ජනාධිපති උපදේශක බර්නාඩ් බාරූක් පැවසුවා. අදදින ලෝකය තුළ පොරොන්දු දෙන්නේ ඒවා කඩ කිරීමට බව පෙනෙන්න තිබෙනවා. ඒවා විවාහ පොරොන්දු, ව්‍යාපාර ගිවිසුම් හෝ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන බවට වූ පොරොන්දු විය හැකියි. “තමන්ගේ වචනෙට අනුව වැඩ කරන්නෙක් යහපත්ය” යන සම්ප්‍රදායික ආප්තෝපදේශයෙන් අඟවන දෙය පුළුල් ලෙස නොසලකා හැර තිබෙනවා.
ඇත්තෙන්ම, බොහෝදෙනෙක් පොරොන්දු දෙන්නේ, ඒවා ඉටු කිරීමේ අදහසින් නොවේ. වෙනත් අය තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි හදිසි පොරොන්දු දෙනවා; එහෙමත් නැත්නම්, අනුගමනය කළ හැකි පහසුම ක්‍රියාමාර්ගය පොරොන්දු කඩ කිරීම බැවින් එසේ කරනවා.
අපේක්ෂා නොකළ තත්වයන් උදා වුණොත් පොරොන්දුවක් ඉටු කිරීම දුෂ්කර විය හැකි බව පිළිගත යුතුයි. නමුත් කඩ වුණු පොරොන්දුවක් ඇත්තෙන්ම බොහෝ හානි සිදු කරයිද? ඔබ ඔබේ පොරොන්දු බැරෑරුම් ලෙස සැලකිය යුතුද? යෙහෝවා දෙවිගේ ආදර්ශය කෙටියෙන් සලකා බැලීම, අප මෙම කාරණය බැරෑරුම්ව සැලකිය යුත්තේ මන්දැයි දැකීමට අපට උපකාර කරනු ඇත.
යෙහෝවා තම පොරොන්දු ඉටු කරයි
අපි නමස්කාර කරන්නේ පොරොන්දු ඉටු කිරීම සමඟ තම නම බැඳී තිබෙන දෙවිකෙනෙකුටයි. බයිබල් කාලවලදී නමක් බොහෝවිට පුද්ගලයෙකු ගැන යමක් කියා පෑවා. “ඔහු සිදුවීමට සලස්වයි හා යමක් බවට පත් වෙයි” යන අර්ථය ඇති යෙහෝවා යන නම සම්බන්ධයෙනුත් මෙය සත්‍යයයි. (නික්මයාම 3:14) මෙසේ, දෙවි තම පොරොන්දු ඉටු කර, ඔහුගේ අරමුණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට වූ අදහස දිව්‍ය නම තුළ ගැබ්ව තිබෙනවා.
යෙහෝවා පුරාණ ඉශ්රායෙල් ජාතියට දුන් සෑම පොරොන්දුවක්ම තම නමට එකඟව ඉටු කළා. එම පොරොන්දු සම්බන්ධයෙන්, සාලමොන් රජ මෙසේ පිළිගත්තා: “[තමා] පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්රායෙල්ට නිශ්චලතාව දුන් [යෙහෝවාට] ප්‍රශංසාවේවා. [ඔහු] තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.”—1 රාජාවලිය 8:56.
යෙහෝවාව කොයිතරම් විශ්වාස කළ හැකිද කියනවා නම්, ඒ ගැන ප්‍රේරිත පාවුල්ට මෙසේ පැහැදිලි කිරීමට හැකි වුණා: “දෙවි ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් නැති නිසා තමන්ගේම නමෙන් දිවුරුවේය.” (හෙබ්‍රෙව් 6:13, NW) ඔව්, තමන්ට සෑහෙන පාඩුවක් සිදු වුණත්, තම පොරොන්දු ඉටු නොකර නාරින බවට යෙහෝවාගේ නම හා පෞද්ගලිකත්වයම සහතිකයක් වෙනවා. (රෝම 8:32) යෙහෝවා තම පොරොන්දු ඉටු කරනවාය යන සත්‍යය, අපේ ප්‍රාණයට හෝ ජීවිතයට නැංගුරමක් වැනි බලාපොරොත්තුවක් ලබා දෙනවා.—හෙබ්‍රෙව් 6:19.
යෙහෝවාගේ පොරොන්දු හා අපේ අනාගතය
අපේ බලාපොරොත්තුව, අපේ ඇදහිල්ල හා අපේම ජීවිතය යන සියල්ල රඳාපවතින්නේ යෙහෝවාගේ පොරොන්දු ඉටුවීම මතයි. අපි ආශාවෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [දෙවිගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” (2 පේතෘස් 3:13) “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය” කියා ශුද්ධ ලියවිල්ල ඇදහිල්ල සඳහා අපට පදනමක්ද සපයනවා. (ක්‍රියා 24:15) එමෙන්ම මේ වත්මන් ජීවිතයට වඩා වැඩි යමක් තිබෙන බව අපට ස්ථිර විය හැකියි. ඇත්තෙන්ම, ප්‍රේරිත යොහන් “පොරොන්දුව” ලෙස හඳුන්වන දෙය “සදාකාල ජීවනයය.” (1 යොහන් 2:25) නමුත් තම වචනය තුළ යෙහෝවා දී ඇති පොරොන්දු අනාගතයට සීමා වී නැහැ. ඒවා අපේ එදිනෙදා ජීවිතවලට මේ දැන් පවා අර්ථයක් ලබා දෙනවා.
ගීතිකාකරු මෙසේ ගායනා කළා: ‘යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටින්නේය. . . . ඔවුන්ගේ මොරගැසීම අසන්නේය.’ (ගීතාවලිය 145:18, 19) ‘ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන්නේය; බලය නැත්තාට සවිය වැඩි කරන්නේය’ කියාත් දෙවි අපට සහතික කරනවා. (යෙසායා 40:29) එමෙන්ම ‘දෙවි අපේ පුළුවන්කමට වඩා අපව පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී, අපට පරීක්ෂාව ඉවසිය හැකි වන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදා දෙන’ බව දැනගැනීම මොනතරම් සැනසීමක්ද! (1 කොරින්ති 10:13) මේ පොරොන්දුවලින් සමහරක් ඉටු වෙනවා අපි පෞද්ගලිකව අද්දැක තිබෙනවා නම්, යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකි බව අපි දන්නවා. දෙවි දෙන මෙන්ම ඉටු කරන බොහෝ පොරොන්දුවලින් අපි ලබන ප්‍රයෝජන ගැන කල්පනා කර බලද්දී, අප ඔහුට වන පොරොන්දු කෙසේ සැලකිය යුතුද?
දෙවිට වන අපේ පොරොන්දු ඉටු කිරීම
දෙවිට අපේ කැපවීම, නිසැකවම අපට කළ හැකි වඩාත් වැදගත්ම පොරොන්දුවයි. මේ පියවර ගැනීමෙන්, යෙහෝවාට සදහටම සේවය කරන්න අපට වුවමනා බව අපි පෙන්නුම් කරනවා. දෙවිගේ ආඥා පීඩාකාරි බරක් නොවුණත්, අප මෙම දුෂ්ට දේවල පිළිවෙළේ ජීවත් වන විට ඔහුගේ කැමැත්ත කිරීම සැමවිටම පහසු දෙයක් නොවිය හැකියි. (2 තිමෝති 3:12; 1 යොහන් 5:3) නමුත් ‘අපේ අත නගුලේ තබා’ යෙහෝවාගේ කැප වූ සේවකයන් හා ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත් වූ පසු, අප පසෙකලා පැමිණි ලෝකයේ දේවල් දෙස යළි කෙදිනකවත් හැරී නොබැලිය යුතුයි.—ලූක් 9:62.
අපි යෙහෝවාට යාච්ඤා කරන විට, දුර්වලකමකින් ගොඩ ඒමට, ක්‍රිස්තියානි ගුණාංගයක් වර්ධනය කරගැනීමට හෝ අපේ දිව්‍යාණ්ඩුමය ක්‍රියාකාරකම්වල යම් අංගයක් වැඩිදියුණු කරගැනීමට අපි ප්රයත්නයක් දරන බව ඔහුට පොරොන්දු වීමට අපි පෙලඹිය හැකියි. මේ පොරොන්දුවලට අනුව ක්‍රියා කිරීමට අපට කුමක් උපකාර වේවිද?—දේශනාකාරයා 5:2-5 සසඳන්න.
අවංක පොරොන්දු පැනනඟින්නේ හෘදයෙන් මෙන්ම මනසින්. එමනිසා, යාච්ඤාව තුළින් යෙහෝවාට අපේ හෘද විවෘත කරමින්, අවංකවම අපේ බිය, ආශාවන් හා දුර්වලකම් ප්‍රකාශ කරමින් ඔහුට අප කළ පොරොන්දු ස්ථිර කරමු. පොරොන්දුවක් ගැන යාච්ඤා කිරීම, එය ඉටු කිරීමට ඇති අපේ අධිෂ්ඨානය ශක්තිමත් කරනු ඇත. අප දෙවිට කළ පොරොන්දු ණය හැටියට අපට සැලකිය හැකියි. ණය අධිකව තිබෙන විට ගෙවීම් කිරීමට සිදු වන්නේ ක්රමක්රමයෙනුයි. එලෙසම, අපි යෙහෝවාට දෙන බොහෝ පොරොන්දු ඉටු කිරීමට කාලයක් යයි. නමුත් අපට හැකි දේ ඔහුට නිතිපතා දීමෙන්, අපි කියන විදිහටම කරන බව අපි පෙන්වන අතර, ඔහු ඒ අනුව අපිට ආශීර්වාද කරනවා.
අපේ පොරොන්දු ගැන සමහරවිට හැම දවසකම පාහේ යාච්ඤා කිරීමෙන් අප ඒවා බැරෑරුම් ලෙස සලකන බව පෙන්විය හැකියි. මෙයින් අපේ අවංකබව අපේ ස්වර්ගික පියාට පෙන්වනු ඇත. එය නිතිපතා සිහිගැන්වීමක් වශයෙන්ද ක්‍රියා කරනු ඇත. මේ සම්බන්ධයෙන් දාවිත් අපට කදිම ආදර්ශයක් තැබුවා. ගීතිකාවෙහි, ඔහු යෙහෝවාගෙන් මෙසේ අයැද සිටියා: ‘දෙවියනි, මාගේ මොරගැසීම අහන්න; මාගේ යාච්ඤාවට කන් දෙන්න. එවිට මාගේ භාර [පොරොන්දු, NW] දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි.’—ගීතාවලිය 61:1, 8.
පොරොන්දු ඉටු කිරීම විශ්වාසය ගොඩනංවයි
දෙවිට වන පොරොන්දු සැහැල්ලුවට ගත යුතු නැත්නම්, අපි සෙසු ක්‍රිස්තියානීන්ට වන පොරොන්දු ගැනත් පැවසීමට තිබෙන්නේ එම දෙයමයි. අපි යෙහෝවාට එක විදිහකටත්, සහෝදරයන්ට තවත් විදිහකටත් සැලකීම සුදුසු නැහැ. (1 යොහන් 4:20 සසඳන්න.) කන්ද උඩ දේශනාවේදී යේසුස් මෙසේ පැවසුවා: “නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද; නැත, නැත කියාද වේවා.” (මතෙව් 5:37, ඇල අකුරු අපගේය.) අපි පවසන දේවල් සැමවිටම විශ්වාසවන්ත බව සහතික කරගැනීම, ‘ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම් කිරීමට’ හැකි එක ක්‍රමයක්. (ගලාති 6:10) අපි ඉටු කරන සෑම පොරොන්දුවකින්ම විශ්වාසය ගොඩනැංවෙයි.
පොරොන්දුවක් කඩ කිරීමෙන් ඇති වන හානියට මුදල් සම්බන්ධ වන විට බොහෝවිට ඒ හානිය වඩාත් විශාලයි. ණයක් ආපසු ගෙවීම, සේවාවක් සිදු කිරීම හෝ ව්‍යාපාරික ගිවිසුමකට අනුව ක්‍රියා කිරීම යන කුමක් වුවත් ක්‍රිස්තියානියෙක් තම වචනයට එකඟව වැඩ කළ යුතුයි. මෙය දෙවිව සතුටු කරවන අතර සහෝදරයන් ‘එකට වාසය කිරීමට’ අත්‍යවශ්‍ය වන අන්‍යොන්‍ය විශ්වාසයද ශක්තිමත් කරවයි.—ගීතාවලිය 133:1.
කෙසේවුවත්, ගිවිසුම්වලට අනුව ක්‍රියා කිරීමට අසමත් වීමෙන් ඊට කෙළින්ම සම්බන්ධ වී සිටින අයටත්, සභාවටත් හානි සිදු විය හැකියි. සංචාරක අවේක්ෂකයෙක් මෙසේ නිරීක්ෂණය කරයි: “ගිවිසුම්වලදී ස්ථිර වශයෙන්ම ව්‍යාපාරික ආරවුල් ඇති වන්නේ අඩුම තරමින් එක පක්ෂයක් හෝ එයට එකඟව ක්‍රියා කර නොතිබෙන නිසා වන අතර, බොහෝවිට මේ බව අනිත් අයත් දැනගන්නවා. මේ නිසා සහෝදරයන් පැති ගන්නා අතර, රාජ්‍ය ශාලාවේ වාතාවරණය කලබලකාරි ස්වභාවයක් ගනියි.” අපි ගිවිසුමකට බැඳෙන ඕනෑම දෙයක් පරෙස්සමින් සලකා බලා, එය ලිඛිතව තබාගැනීම මොනතරම් වැදගත්ද!a
මිල අධික නිෂ්පාදන විකුණන විට හෝ ආයෝජනයන් නිර්දේශ කරන විට පරෙස්සම් විය යුතු අතර, විශේෂයෙන්ම එම ගනු දෙනුවෙන් අපි පෞද්ගලික ලාභයක් ලබනවා නම් එසේ කළ යුතුයි. ඇතැම් භාණ්ඩවලින් හෝ සෞඛ්‍ය නිෂ්පාදනවලින් ලැබෙන ප්‍රයෝජන වැඩි කර නොකීමට හෝ ආයෝජනවලින් යථාර්ථවාදී නොවන ලාභයක් ලැබෙන බවට පොරොන්දු නොවීමට හුඟක් සැලකිලිමත් වීම සඳහා අවශ්‍යතාවක් තිබෙනවා. ඇති විය හැකි ඕනෑම අවදානමක් පැහැදිලි කිරීමට ප්‍රේමය ක්‍රිස්තියානීන්ව පෙලඹවිය යුතුයි. (රෝම 12:10) සහෝදරයන්ගෙන් වැඩිදෙනෙකුට සීමිත ව්‍යාපාරික අද්දැකීම් තිබෙන බැවින්, අපි ඔවුන්ට ඇදහිල්ල තුළ නෑකම් කියන නිසා අප පවසන දේ ඔවුන් එකපාරටම විශ්වාස කළ හැකියි. මේ විශ්වාසය පලුදු වුණොත් එය කෙතරම් ශෝචනීයද!
ක්‍රිස්තියානීන් වශයෙන් අපට වංක වීමට හෝ අන් අයගේ අයිතිවාසිකම් නොසලකා හරින ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට නොහැකියි. (එපීස 2:2, 3; හෙබ්‍රෙව් 13:18) ‘යෙහෝවාගේ මණ්ඩපයේ අමුත්තන්’ හැටියට ඔහුගේ අනුමැතිය දිනාගැනීම සඳහා අපි විශ්වාසවන්ත අය විය යුතුයි. ‘අපට අලාභ පැමිණෙන දිවුරුමක් කළත් අපි එය වෙනස් කරන්නේ නැහැ.’—ගීතාවලිය 15:1, 4.
අම්මොන්වරුන්ගෙන් තමන්ට ජය අත් කර දෙනවා නම්, සටනින් පසු යළි පැමිණෙද්දී හමු වන මුල්ම තැනැත්තාව දවන පූජාවක් හැටියට යෙහෝවාට දෙනවා කියා ඉශ්රායෙල්හි විනිශ්චයකාර යෙප්තා දෙවිට දිවුරුවා. යෙප්තාට මුලින්ම හමු වුණේ ඔහුගේම එකම දරුවාව වුණත් ඔහු ඔහුගේ වචනය වෙනස් කළේ නැහැ. ඔහුගේ දියණියගේ හෘදයාංගම එකඟ වීමත් සමඟම ඔහු ඇයව දෙවිගේ පූජනීය ස්ථානයේ ස්ථිර සේවය සඳහා ඉදිරිපත් කළා. එය නිසැකවම වේදනාකාරි මෙන්ම විවිධ පැතිවලින් පාඩු සිදු වූ පූජාවක් වුණ බවට සැකයක් නැහැ.—විනිශ්චයකාරයන් 11:30-40.
තමන්ගේ එකඟ වීම් අනුව ක්‍රියා කිරීමට විශේෂයෙන්ම සභා අවේක්ෂකයන්ට වගකීමක් තිබෙනවා. පළමුවන තිමෝති 3:2ට අනුව, අවේක්ෂකයෙක් “නිර්දෝෂ” කෙනෙක් විය යුතුයි. මෙය “හසු කරගත නොහැකි, දොස් පැවරිය නොහැකි, නින්දාවට පත් කළ නොහැකි” යන අර්ථය ඇති ග්‍රීක් යෙදුමක පරිවර්තනයක්. “මනුෂ්‍යයෙකුට හොඳ නමක් තිබෙනවා කියන එක පමණක් නොව නමුත් ඔහු එය ලැබීමට සුදුසුව සිටිනවා යන්නත්” එයින් “අඟවනවා.” (ග්‍රීක් නව ගිවිසුම තේරුම්ගැනීමට භාෂාමය අත්පොතක් [ඉංග්‍රීසියෙන්]) අවේක්ෂකයෙක් නිර්දෝෂ විය යුතු බැවින්, ඔහුගේ පොරොන්දු හැමවිටම විශ්වාසදායක විය යුතුයි.
අපේ පොරොන්දු ඉටු කිරීමට වෙනත් ක්‍රම
සෙසු ක්‍රිස්තියානීන් නොවන අයට අප වන පොරොන්දු අපි කෙසේද සැලකිය යුත්තේ? “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාට] ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” කියා යේසුස් පැවසුවා. (මතෙව් 5:16) අපි අපේ වචනයට ගරු කරන බව ඔප්පු කිරීමෙන්, අපේ ක්‍රිස්තියානි පණිවිඩයට අන්‍යයන්ව ඇදගැනීමට අපට හැකියි. අවංකකමේ ප්‍රමිති ලොව පුරා පහත වැටෙමින් තිබුණත්, ප්‍රමිතිවලට ඇලී සිටීම තවමත් වැඩිදෙනෙක් අගය කරනවා. අපේ පොරොන්දු ඉටු කිරීම, දෙවිට හා අසල්වැසියන්ට ප්‍රේමය විදහාපෑමටත්, ධර්මිෂ්ඨකමට ප්රේමකරන්නන්ගේ සිත් ඇදගැනීමටත් හැකි එක් මාර්ගයකි.—මතෙව් 22:36-39; රෝම 15:2.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් 1998 සේවා වසරේදී දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් පැය බිලියනයකට වඩා ගත කළා. (මතෙව් 24:14) ව්‍යාපාරික කටයුතුවලදී හෝ වෙනත් කාරණාවලදී අපි අපේ වචනයට අනුව ක්‍රියා කර නොතිබුණා නම්, මේ දේශනා කිරීම්වලින් සමහරකට ප්‍රතිචාරයක් නොලැබී ගොස් තිබිය හැකියි. අපි සත්‍යයේ දෙවිව නියෝජනය කරන නිසා, අපේ අවංකකම ජනයා සුදුසු ලෙස අපේක්ෂා කරනවා. විශ්වාසවන්ත මෙන්ම අවංක වීමෙන්, අපි ‘අපේ ගැළවුම්කාරයා වන දෙවිගේ ධර්මය සියලු කාරණාවලදී අලංකාර කරනවා.’—තීතස් 2:9.
අපේ දේවසේවයේදී, රාජ්‍ය පණිවිඩයට උනන්දුවක් දක්වන අයව බැහැදැකීමට අප නැවත යන විට අපේ වචනයට අනුව ක්‍රියා කිරීමට අපට ප්‍රස්තා ලැබෙනවා. අපි ආපහු එන බව පවසනවා නම්, අපි එසේ කළ යුතුයි. පොරොන්දු වූ පරිදි නැවත යෑම, ‘කරුණාව පෙන්වන්ට අතෙහි බලය තිබියදී, ඕනෑ කරන අයගෙන් එය වළක්වා නොගැනීමට’ හැකි මාර්ගයක්. (හිතෝපදේශ 3:27) එක් සහෝදරියක් කාරණය මෙසේ පැහැදිලි කළා: “සාක්ෂිකරුවෙක් ආපහු එනවා කියලා පොරොන්දු වුණත් ආවේ නැහැ කියලා කිව්ව උනන්දුව දැක්වූ අයව මට කීප විටකදීම මුණගැහිලා තියෙනවා. ඇත්තෙන්ම, නිවැසියන් ගෙදර ඉන්න නැතුව ඇති, එහෙමත් නැත්නම්, ආපහු යන්න බැරි තත්වයක් ඇති වෙන්න ඇති කියලා මම දන්නවා. නමුත් කවුරුහරි මා ගැන එහෙම කියනවාට මම කැමති නැහැ; ඒ නිසා ඒ පුද්ගලයාව ගෙදරදී මුණගැහෙන්න මම පුළුවන් හැම දෙයක්ම කරනවා. මම කාගේ හරි බලාපොරොත්තු සුන් කළොත්, එය යෙහෝවාට විතරක් නෙවෙයි මගේ සහෝදරයන්ටත් නරක නාමයක් වෙයි කියලා මම හිතනවා.”
සමහර අවස්ථාවලදී, පුද්ගලයා ඇත්තෙන්ම උනන්දුවක් දැක්වුවේ නැහැයි කියා අපි නිගමනය කරන නිසා ආපහු යන්න අපි පෙලඹෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ සහෝදරියම මෙසේ පැහැදිලි කරනවා: “කොයිතරම් උනන්දුවක් දක්වනවද කියලා නිශ්චය කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. මගේම අද්දැකීමෙන් මම ඉගෙනගෙන තියෙන්නේ මුලින් ඇති වෙන හැඟීම් හුඟක් වෙලාවට වැරදි බවයි. ඒ නිසා එක්කෝ සහෝදරයෙක් එහෙමත් නැත්නම් සහෝදරියක් වෙයි කියන හැඟීමෙන් හැම පුද්ගලයෙක් දෙසම ඒකාන්ත ලෙස බලන්න මම උත්සාහ කරනවා.”
ක්‍රිස්තියානි දේවසේවයේදී හා වෙනත් බොහෝ පැතිවලදී, අපේ වචනය විශ්වාස කළ හැකි බව අපි පෙන්නුම් කළ යුතුයි. සමහර දේවල් කියන තරම් කරන්න පහසු නැති බව ඇත්තයි. ප්‍රඥාවන්ත මනුෂ්‍යයා මෙසේ පැවසුවා: “බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?” (හිතෝපදේශ 20:6) අධිෂ්ඨානයකින් යුතුව, අපේ වචනයට අනුව විශ්වාසව සිටින්න හා ක්‍රියා කරන්න අපට හැකියි.
දෙවිගෙන් මහඟු ආශීර්වාද
වුවමනාවෙන්ම බොරු පොරොන්දුවක් දීම වංක ක්‍රියාවක් වන අතර, එය හරියට ගෙවන්න තරම් මුදලක් තැන්පත් කර නැති බැංකුවකින් මුදල් ලබාගැනීමට චෙක්පතක් ලියනවා හා සමානයි. නමුත් අපේ පොරොන්දු ඉටු කිරීමෙන් මොනතරම් විපාක හා ආශීර්වාද අපිට ලැබෙනවද! හොඳ හෘදය සාක්ෂියක්, විශ්වාසවන්ත වීමෙන් ලැබෙන එක ආශීර්වාදයක්. (ක්‍රියා 24:16 සසඳන්න.) බලවත් කනස්සල්ලක කරදරකාරි හැඟීම් වෙනුවට, අපිට සෑහීමක් හා සාමයක් හැඟෙනවා. එපමණක් නොව, අපේ වචනයට අනුව ක්‍රියා කිරීමෙන්, අන්‍යොන්‍ය විශ්වාසය මත රඳාපවතින සභාවේ එකමුතුකමට අපි දායක වෙනවා. අපේ ‘සත්‍යතාවේ වචනයත්’ අපව සත්‍යයේ දෙවිගේ සේවකයන් වශයෙන් නිර්දේශ කරනවා.—2 කොරින්ති 6:3, 4, 7, 10.
යෙහෝවා තම වචනයට අනුව ක්‍රියා කරන අතර ‘බොරුකාර දිවට’ ඔහු වෛර කරනවා. (හිතෝපදේශ 6:16, 17) අපේ ස්වර්ගික පියාව අනුකරණය කිරීමෙන්, අපි ඔහුට තවත් කිට්ටු වෙනවා. එසේ නම් ස්ථිරවශයෙන්ම, අපේ පොරොන්දු ඉටු කිරීමට අපට හොඳ හේතුවක් තිබෙනවා.
[පාදසටහන]
a “එය ලිඛිතව තබන්න!” යන 1983 පෙබරවාරි 8 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 13-15 පිටු බලන්න.
[10වන පිටුවේ පින්තූර]
තම පොරොන්දුව ඉටු කිරීම වේදනාකාරි වුවත්, යෙප්තා එය ඉටු කළා
[11වන පිටුවේ පින්තූර]
ඔබ නැවත එන බවට පොරොන්දු වී ඇත්නම් එසේ කිරීමට හොඳින් සූදානම් වන්න