දිගු කාලීන ජීවිතයක් සොයා යන ගමන සාර්ථක කරගත හැක්කේ කෙසේද?
ජීවිතය දීර්ඝ කරගැනීමට මිනිසා දරන වෑයමේදී නව සහස්‍රය සාර්ථකත්වයක් දකීවි කියා සමහරු ආශාවෙන් බලා සිටිනවා. වෛද්‍ය. රොනල්ඩ් ක්ලාට්ස් ඔවුන්ගෙන් කෙනෙක්. ඔහු වයසට යෑම වැළැක්වීමේ ප්‍රතිකාර පිළිබඳ අමෙරිකානු ආයතනයක සභාපති ලෙස කටයුතු කරනවා. එය, මිනිසාගේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා ඇප කැප වී වැඩ කරන වෛද්‍යවරුන් හා විද්‍යාඥයන්ගෙන් සමන්විත සංවිධානයක්. ඔහු හා ඔහු සමඟ වැඩ කරන මිත්‍රයන් දිගු කලක් ජීවත් වීමට අපේක්ෂා කරනවා. “අඩුම තරමින් අවුරුදු 130ක්වත් ජීවත් වෙන්න මම බලාපොරොත්තු වෙනවා” කියා වෛද්‍ය ක්ලාට්ස් පවසනවා. “වයසට යෑම වැළැක්විය හැකියි කියලා අපි විශ්වාස කරනවා. වයසට යෑම වශයෙන් දැන් හඳුන්වන ශාරීරික පිරිහීම හා ඊට සම්බන්ධ රෝග ඇතිවීම ප්‍රමාද කිරීමට, නැවැත්වීමට හා සමහරවිට සැලකිය යුතු ප්‍රමාණයකින් ආපස්සට ගැනීමට පවා හැකි තාක්ෂණයක් පවතිනවා.” දිගු කාලීන ජීවිතයක් සොයා යන තම ගමනේදී වෛද්‍ය. ක්ලාට්ස්ම දිනපතා පෙති 60ක් පමණ ගන්නවා.
හෝමෝන චිකිත්සාව හා ප්රවේණි විද්‍යාව—බලාපොරොත්තු තැබීමට හේතුකාරකයන්ද?
හෝමෝන චිකිත්සාව බලාපොරොත්තු ඇති කරන එක ක්ෂේත්රයක්. ඩීඑච්ඊඒ ලෙස හැඳින්වෙන හෝමෝනයක් යොදාගෙන කළ අත්හදා බැලීම්වලින්, රසායනාගාරවල සත්වයන්ගේ වයසට යෑමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට හැකි බවක් පෙන්වනවා.
ශාක හෝමෝනයක් වන කයිනටින් සම්බන්ධයෙන්, ඩෙන්මාර්ක්හි ඔරූස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වූ වෛද්‍ය. සූරෙෂ් රාටාන්, ආටොන්බ්ලාඩට් නැමති දිනපතා පුවත්පතට මෙසේ ප්‍රකාශ කළා: “වයසට යෑමේදී සාමාන්‍යයෙන් මිනිස් සමේ සෛලයක සිදු වන වෙනස් වීම්, කයිනටින්වල වැඩෙන්න සැලැස්වූ සෛලවල සිදු නොවන බව අපේ රසායනාගාර පරීක්ෂණවලින් පෙන්වනවා. ඒවා පවතින තුරු තරුණභාවය රැකෙනවා.” එම හෝමෝනයෙන් ප්‍රතිකාර ලැබූ කෘමීන් සාමාන්‍ය කෘමීන්ට වඩා සියයට 30 සිට 45 දක්වා වැඩි කාලයක් ජීවත් වන බව පැවසේ.
මෙලටොනින් ප්‍රතිකාරය මීයන්ගේ ජීවිත කාලය සියයට 25කින් වැඩි කර ඇති බවට පැවසේ. එපමණක්ද නොව, එයින් උන්ට වඩාත් තරුණ, සෞඛ්‍ය සම්පන්න හා ප්‍රාණවත් පෙනුමක් ලැබුණා.
මිනිස් වර්ධක හෝමෝනයට (එච්ජීඑච්) පක්ෂව කතා කරන අය පවසා සිටින්නේ, එය පැහැපත් සමකට, මාංශ පේශී වර්ධනයට, ලිංගික රුචියට, ප්‍රීතිමත් ස්වභාවයකට හා තියුණු අවබෝධ ශක්තියකට දායක වන බවත්, නහඹරයෙකුට සමාන ශක්තියක් ලබා දෙන බවත්ය.
බොහෝදෙනෙක් ප්රවේණි විද්‍යාවෙනුත් පිහිට පතනවා. ජාන සැකසීම මගින්, වටපණුවෙකුගේ ජීවිත කාලය පාලනය කරන්න තමන්ට හැකියි කියා විද්‍යාඥයන් නිගමනය කර තිබෙනවා. ඇත්තවශයෙන්ම, උන්ගෙන් සමහරෙකුව, උන්ගේ සාමාන්‍ය ජීවිත කාලය මෙන් හය ගුණයක් ජීවත් කරවීමට තරම් ඔවුන් සාර්ථක වී තිබෙනවා. මනුෂ්‍යයා තුළ එවැනිම ජාන සොයාගෙන සකසාලීම සම්බන්ධයෙන් මෙය බලාපොරොත්තු ඇති කර තිබෙනවා. මොන්ට්රීයල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිග්ෆ්රෙඩ් හෙකීමිගේ අදහස් ටයිම් සඟරාවේ පළ වුණේ මෙසේයි: “මිනිසාගේ ආයු කාලය තීරණය කරන ජාන සියල්ල අපට සොයාගන්න ලැබුණොත්, සමහරවිට ඒවායේ ක්‍රියාකාරිත්වය ප්‍රමාද කර අපේ ආයු කාලය දීර්ඝ කරගන්න අපිට පුළුවන් වෙයි.”
සෛලයක් යළි නිපදවන හැම අවස්ථාවකම, වර්ණදේහයක ටෙලමිය කියා හඳුන්වන අග කොටස කෙටි වෙන බව විද්‍යාඥයන් සෑහෙන කාලයක් තිස්සේ දැන සිටිනවා. ටෙලමියෙහි දිග ප්‍රමාණය සියයට 20කින් පමණ අඩු වන විට, යළි නිපදවීමට සෛලයට ඇති හැකියාව නවතින අතර ක්‍රමයෙන් එය මියයයි. ටෙලමිරේස් ලෙසින් හැඳින්වෙන විශේෂ එන්සයිමයකට ටෙලමියෙහි සම්පූර්ණ දිග ප්‍රමාණය යළි ලබා දිය හැකි අතර එමගින් සෛලයට දිගටම බෙදී යෑමට ඉඩ සැලසිය හැකියි. සෛල බොහොමයක මෙම එන්සයිමය මර්දනය වී අක්‍රීයව පවතින නමුත්, ඇතැම් සෛලවලට සාර්ථක ලෙස ක්‍රියාශීලී ටෙලමිරේස් ඇතුල් කර තිබෙන අතර, එමගින් ඒවායේ සාමාන්‍ය වර්ධනය හා බෙදී යෑම වඩා වැඩියෙන් සිදුවීමට සලස්වනවා.
පර්යේෂකයන් පවසන පරිදි, මෙමගින් වයස්ගත වීම හා සම්බන්ධ රෝගවලට එරෙහිව සටන් කිරීමට පුදුම දනවන හැකියාවන් විවෘත වෙනවා. ශරීරයේ උත්පාදක සෛල (ශරීරයේ පටක යළි ප්‍රකෘතිමත් කරවන සෛල) වෙනුවට, ක්‍රියාශීලී ටෙලමිරේස් එන්සයිමයෙන් “අමරණීයත්වයක්” ලබා දී ඇති උත්පාදක සෛල යොදාගැනීම ගැන කුමක් කිව හැකිද? වෛද්යාචාර්ය විලියම් ඒ. හේසෙල්ටින් මෙසේ පවසනවා: “මේක ඊළඟ අවුරුදු 50 පුරා මනුෂ්‍යයාගේ අමරණීයත්වය පිළිබඳව ක්‍රම ක්‍රමයෙන් හඳුන්වා දෙන්න යන පැහැදිලි අදහසක්.”—ද නියූ යෝක් ටයිම්ස්.
නැනෝතාක්ෂණය හා ක්රයොනික්ස් ක්‍රමය පිළියමද?
නැනෝමීටර (මීටරයකින් බිලියනයකින් එකක) මට්ටමේදී යම් දේවල් සකස් කිරීමේ විද්‍යාව වන නැනෝතාක්ෂණයත් බලාපොරොත්තු ඇති කරන්නක්. මියයමින් පවතින සෛල, පටක හා ඉන්ද්රියයන් අලුත්වැඩියා කර තාරුණ්‍යයට පත් කිරීම සඳහා, අනාගතයේදී අණුක මට්ටමේදී පරීක්ෂණ පැවැත්වීමට සෛලවලට වඩා හුඟාක් කුඩා පරිගණක යන්ත්‍රවලට හැකි වෙයි කියා මේ ක්ෂේත්රයේ සිටින්නන් පවසනවා. වයසට යෑම වැළැක්වීම පිළිබඳ සම්මන්ත්‍රණයකදී එක් පර්යේෂකයෙක්, මිනිසාට ශාරීරික අමරණීයත්වය අත් කරගැනීම සඳහා 21වන සියවසේ වෛද්‍යවරුන් නැනෝතාක්ෂණය යොදාගන්න ඉඩ තිබෙනවා කියා පැවසුවා.
මියගිය අයව යළි ජීවත් කරවමින් මැරුණු සෛල යළි පණගැන්වීමට විද්‍යාවට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මිනිස් සිරුරු මිදෙන්න සැලැස්වීමේ ක්‍රමය ක්රයොනික්ස් ක්‍රමයයි. මුළු ශරීරයම, එහෙමත් නැත්නම් මොළය පමණක් මිදෙන්න සැලැස්විය හැකියි. එක් තැනැත්තෙක් ඇඳ ඇතිරිල්ලක් පවා මිදෙන්න තබා තිබුණා. ඇයි ඇතිරිල්ලක්? මියගිය මිතුරෙකුට අයිති වූ එම ඇතිරිල්ලේ සමේ සෛල කීපයක් හා හිසකෙස් ස්වල්පයක් තිබුණා. සෛල කීපයකින් හෝ එකකින් පවා මිනිසුන්ව නැවත ගොඩනැඟීමේ තත්වයට විද්‍යාව පැමිණුණොත්, ඔහුගේ මිතුරාටත් යළි ජීවත් වීමේ භාග්‍යය ලබා දීමේ අදහසින් ඔහුට ඒවා අයිස්වල මුදවා තබන්න වුවමනා වුණා.
කා මතද අපේ විශ්වාසය තැබිය යුත්තේ?
මිනිසා ස්වභාවයෙන්ම කැමති වන්නේ ජීවත් වීමට මිස මියයන්න නොවෙයි. එබැවින්, මේ ක්ෂේත්රයෙහි විද්‍යාත්මක ප්‍රගතියට දැනටමත් ප්රශංසාත්මක අවධානයක් දී තිබෙන අතර, ඒ මත හුඟක් බලාපොරොත්තු තබා තිබෙනවා. නමුත් ඩීඑච්ඊඒ, කයිනටින්, මෙලටොනින්, එච්ජීඑච් හෝ වෙනත් ඕනෑම ද්‍රව්‍යයකට, මිනිසා වයසට යෑම ඇත්තෙන්ම ප්‍රමාද කළ හැකි බවට මේ දක්වා ස්ථිර සාක්ෂි සොයාගෙන නැහැ. සෛලවල ටෙලමිරේස් එන්සයිමය සැකසීමෙන් පිළිකා වර්ධක සෛල බිහි කරනවා ඇරෙන්න වෙන යහපතක් සිදු කරන එකක් නැහැ කියා සැකකරන්නන් භය වෙනවා. එමෙන්ම නැනෝතාක්ෂණය හා ක්රයොනික්ස් ක්‍රමය තවමත් යථාර්ථයකට වඩා විද්‍යාවේ ප්රබන්ධයක්ව පවතිනවා.
විද්‍යාව සමහරෙකුට වඩාත් දීර්ඝ හා ශක්තිමත් ජීවිතයකට දායක වී හා තවමත් දායක වෙමින් පැවතිය හැකි නමුත් එය කවදාවත් කාටවත් සදා ජීවනය ලබා දෙන්නේ නැහැ. ඇයි නැත්තේ? සරලව කියනවා නම්, වයසට යෑම හා මරණයට මුල් හේතුව මානව විද්‍යා ක්ෂේත්රයෙන් එපිට තිබෙන්නක් වන නිසයි.
වයසට යෑම හා මරණයට මුල් හේතුව
වයසට යෑම හා මරණය කොහොමහරි අපේ ජානවලට ඇතුළත් කර තිබෙන බවට විද්‍යාඥයන් වැඩිදෙනෙක් එකඟ වෙනවා. නමුත් ප්රශ්නය වන්නේ, පවසා ඇති ආකාරයට, ඒවා අපේ ජාන සැකැස්මට ඇතුල් වුණේ කවදාද, කෙසේද, මන්ද යන්නයි.
බයිබලයෙහි ජාන හෝ DNA යන යෙදුම් සඳහන් කරන්නේ නැති වුණත් එහි දෙන උත්තරය සරලයි. රෝම 5:12 මෙසේ පවසනවා: “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”
පළමු මනුෂ්‍යයා වූ ආදම්ට සදහටම ජීවත් වීමේ අපේක්ෂාව තිබුණා. ජීවත් වෙමින්, සදාකාල ජීවනය භුක්ති විඳීම සඳහා අත්‍යවශ්‍ය ඉන්ද්‍රීය ශක්තීන් ඇතුවයි ඔහුගේ ශරීරය සකස් කර තිබුණේ. එහෙත්, සදාකාල ජීවනය තීරණය වුණේ යම් කොන්දේසි උඩයි. ආදම්ට තම ජීවිතය සදහටම පවත්වාගෙන යෑමට නම් ඔහුගේ මැවුම්කරු වූ ජීවනයේ උල්පත සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හා ඔහුට කීකරුව සිටීමට සිදු වුණා.—උත්පත්ති 1:31; 2:15-17.
ආදම් මැවුම්කරුට අකීකරු වීමට තෝරගත්තා. වෙනත් විදිහකින් කියනවා නම්, ආදම් පවසා සිටියේ දෙවිගෙන් ස්වාධීනව තමාවම මෙහෙයවීමෙන් මිනිසාට යහපතක් වන බවයි. මෙබැවින් ඔහු පව් කළා. එය හරියට, එදා පටන්, ඔහුගේ ජාන සැකැස්ම වෙනස් වුණා වගෙයි. තම දරුවන්ට සදාකාල ජීවනය දෙනවා වෙනුවට ආදම් ඔවුන්ට පාපය හා මරණය උරුම කර දුන්නා.—උත්පත්ති 3:6, 19; රෝම 6:23.
සැබෑ බලාපොරොත්තුව
කෙසේවුවත්, එම තත්වය සදහටම පවතින එකක් නොවෙයි. රෝම 8:20, 21 මෙසේ පවසනවා: “මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, . . . බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ [තැනැත්තා] නිසාය.” මනුෂ්‍යවර්ගයා තමාට එරෙහිව පව් කළ නිසා මිනිසාගේ මැවුම්කරු වූ යෙහෝවා දෙවි ඔවුන්ව මරණයට යටත් කළ නමුත් මෙසේ කරන විට ඔහු බලාපොරොත්තුව සඳහා පදනමක්ද සැපයුවා.
යේසුස් ක්‍රිස්තුස් පොළොවට පැමිණි විට මෙම පදනම කුමක්ද කියා පැහැදිලි වුණා. යොහන් 3:16 මෙසේ පවසනවා: ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ එහෙත්, යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් අපට මරණයෙන් බේරිය හැකි වන්නේ කෙසේද?
මරණයට හේතුව පාපය නම්, මරණය සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට පෙර පාපය ඉවත් කළ යුතුයි. ක්‍රිස්තුස් වශයෙන් යේසුස්ගේ මුල් කාලයේ දේවසේවය සම්බන්ධයෙන් යොහන් බව්තීස්ත මෙසේ පැවසුවා: ‘අන්න, ලෝකයේ පාපය දුරු කරන දෙවිගේ බැටළු පැටියා!’ (යොහන් 1:29) යේසුස් ක්‍රිස්තුස් සම්පූර්ණයෙන්ම පාපය රහිත කෙනෙක් වුණා. මෙබැවින්, ඔහු පාපය සඳහා දඬුවම වන මරණයට ගොදුරු වුණේ නැහැ. කෙසේනමුත්, ඔහු තමාව මරන්න අන්‍යයන්ට ඉඩහැරියා. ඇයි? එසේ ගැනීමෙන් අපේ පාපය වෙනුවෙන් ඔහු මිලය ගෙව්වා.—මතෙව් 20:28; 1 පේතෘස් 3:18.
එම මිලය ගෙවීමෙන්, යේසුස් කෙරෙහි ඇදහිල්ල පවත්වන හැමෝටම කිසිදා නොමැරී ජීවත් වීමේ ප්‍රස්තාව විවෘත වුණා. යම් සීමිත ප්‍රමාණයකට අපේ ආයු කාලය දීර්ඝ කිරීමට විද්‍යාව දායක විය හැකි නමුත් සදාකාල ජීවනයට සැබෑ මාර්ගය වන්නේ යේසුස් කෙරෙහි ඇදහිල්ල පැවැත්වීමයි. යේසුස් ස්වර්ගයෙහි එවැනි ජීවිතයක් ලබාගත් අතර ඔහුගේ ඇදහිලිවන්ත ප්‍රේරිතයන්ට හා තවත් සමහරෙකුටත් එය ලැබෙනවා. එහෙත්, යේසුස් කෙරෙහි ඇදහිල්ල පවත්වන අපෙන් වැඩිදෙනෙකුට, යෙහෝවා දෙවි භූමික පාරාදීසය යළි ගොඩනැඟූ විට මේ පොළොව මත සදාකාල ජීවනය ලැබේවි.—යෙසායා 25:8; 1 කොරින්ති 15:48, 49; 2 කොරින්ති 5:1.
පාරාදීස පොළොවක සදාකාල ජීවනය
එක් මනුෂ්‍යයෙක් මෙසේ ඇසුවා: “තමන්ට මියයන්න සිදු නොවන කාලෙක ජීවත් වෙන්න ලැබුණොත් කීදෙනෙක් ඒක අගය කරයිද?” මරණය නොමැති ජීවිතය නීරස වෙයිද? එසේ නොවන බව බයිබලය අපට සහතික කරනවා. “[ඔහු] සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. [ඔහු] ලෝකයද [සදාකාලයද, NW] ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා [දෙවි] කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.” (දේශනාකාරයා 3:11) යෙහෝවා දෙවිගේ මැවිල්ල මොනතරම් බහුලත්වයකින් හා සංකීර්ණත්වයකින් යුක්තද කියනවා නම්, එය දිගටම අපේ කුතුහලය අවුස්සනවා; උනන්දුව ජනිත කරවනවා; අප ජීවත් වන තාක් කල්, එනම් සදාකාලයටම පවා අපව සන්තෝෂයට පත් කරවනවා.
සයිබීරියානු ජේ යනුවෙන් ප්‍රසිද්ධ කුරුල්ලෙක් ගැන අධ්‍යයනය කළ මනුෂ්‍යයෙක් ඌව “අසාමාන්‍ය, හද බැඳගන්නා ආශ්‍රිතයෙක්” හැටියට හැඳින්වූ අතර, ඔහුගේ ජීවිතයේ වඩාත්ම ප්‍රීතිදායක අද්දැකීම මේ කුරුල්ලාව නිරීක්ෂණය කිරීම බව පැවසුවා. ඔහු කුරුල්ලා ගැන වැඩි වැඩියෙන් අධ්‍යයනය කරද්දී, ඔහුගේ කුතුහලයත් වැඩි වෙන බව ඔහුට වැටහුණා. වසර 18කට පසුව පවා ඔහුගේ අධ්‍යයනය අවසන් කිරීමට බැරි වුණ බව ඔහු පැවසුවා. බුද්ධිමත් මනුෂ්‍යයෙක් දීර්ඝ අධ්‍යයනයක යෙදුණු වසර 18 පුරා එක කුරුලු විශේෂයකට ඔහුගේ කුතුහලය අවුස්සා, ඔහුව උනන්දුවට පත් කර, ඔහුව සන්තෝෂයෙන් තැබීමට හැකි වුණා නම්, මුළු භූමික මැවිල්ල ගැන අධ්‍යයනය කළොත් ලැබිය හැකි ප්‍රීතිය හා සෑහීම මොනතරම්ද කියා සිතා බලන්න.
කාලයට කොටු වී නැති කෙනෙකුට, විද්‍යාවේ උනන්දුව ඇති කරන සියලුම ක්ෂේත්රයන් හැදෑරීමට මෙමගින් ලබා දෙන ප්‍රස්තාවන් පිළිබඳව සිතා බලන්න. ගවේෂණය කිරීමට තිබෙන චිත්තාකර්ෂණීය තැන් සියල්ල හා මුණගැසීමට යන සිත්ගන්නා සියලුදෙනා ගැන කල්පනා කර බලන්න. දේවල් සිතේ මවාගැනීමට, නිර්මාණය කිරීමට හා ඉදි කිරීමට ලැබෙන අසීමිත හැකියාවන් වටහාගැනීමට වෑයම් කරන්න. අපිට ඕන තරම් ප්‍රස්තාවන් විවෘත කරගෙන අපේ නිර්මාණාත්මක හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකියි. අපි මැවිල්ලේ බහුලත්වය ගැන කල්පනා කර බලන විට, ජීවිතයකට කළ හැකි සියල්ලක්ම අත්හදා බැලීමේ ප්‍රස්තාවන් විවෘත වන එකම කාල මාපකය සදාකාලය බව අමුතුවෙන් කිව යුතු නැහැ.
නැවත නැඟිටීම මාර්ගයෙන්, මියගිය අයට පවා සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙන බව බයිබලයේ පෙන්වනවා. (යොහන් 5:28, 29) ඉතිහාසයේ අභිරහස්වලට සම්බන්ධව සිටින්නන්ට අපේ ප්‍රශ්නවලට උත්තර සපයමින් විස්තර කිරීමට හැකිකම ලැබෙන විට, ඒවායින් බොහෝමයක් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. නැවත නැඟිටුණු අය ඉතිහාසයේ විවිධ කාලපරිච්ඡේදයන් පිළිබඳව සපයන්න යන ඥානාවබෝධය ගැන සිතා බලන්න.—ක්‍රියා 24:15.
ඒ කාලය ගැන මෙනෙහි කර බලද්දී, නැවත නැඟිටුණු යෝබ්ට, යෝබ් 14:1හි ප්‍රකාශය වෙනස් කරන්න වුවමනා විය හැකි බව ඔබට වටහාගත හැකි වෙයි. සමහරවිට ඔහු මෙසේ පවසනු ඇත: ‘ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා දැන් සදහටම ජීවත් වන්නාවූ, සෑහීමෙන් පූර්ණ වී සිටින්නාවූ කෙනෙකි.’
යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා, යේසුස් කෙරෙහි ඇදහිල්ල පවත්වන්නාවූ අයට, කාලයේ සීමාවන් පසු කරමින් දිගු කාලීන ජීවිතයක් ලැබෙනවාය යන්න අත් කරගත නොහැකි සිහිනයක් නොවෙයි. එය ළඟදීම සැබෑවක් බවට පත් වෙනවා. වයසට යෑම හා මරණය පහ වී යනු ඇත. මෙය ගීතාවලිය 68:20ට එකඟයි; එහි මෙසේ පවසනවා: “මරණින් මිදෙන මාර්ග අයිතිවන්නේ ස්වාමිවූ [යෙහෝවාටය].”—එළිදරව් 21:3, 4.
[4වන, 5වන පිටුවේ පින්තූර]
විද්‍යාවේ දියුණුව, බොහෝ කලක් ජීවත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර තිබෙනවා
[7වන පිටුවේ පින්තූරය]
ජීවිතයකට කළ හැකි සියල්ලක්ම අත්හදා බැලීමේ ප්‍රස්තාවන් විවෘත වන එකම කාල මාපකය සදාකාලයයි