විදේශීය ක්ෂේත්රයක සේවය කරන්න ඔබට පුළුවන්ද?
“මිෂනාරි සේවය කිරීම ගැන මම හැමදාම සිහින මැව්වා. තනිකඩයෙකුව සිටියදී, දේශනාකරුවන් සඳහා මහඟු අවශ්‍යතාවක් තිබුණු එ.ජ.යේ ටෙක්සාස් ප්‍රාන්තයේ සේවය කළා. අපේ විවාහයෙන් පස්සේ මගේ බිරිඳ මා සමඟ එයට එක් වුණා. අපේ දුව ඉපදුණාට පසුව මං හිතුවා ‘දැන් නම් පිට රටකට ගිහිල්ලා පුරෝගාමී සේවය කරලා ඉවරයි’ කියලා. නමුත් යෙහෝවා සිහින සැබෑ කරන්නෙක්. විශේෂයෙන්ම ඒවා ඔහුගේ කැමැත්තට එකඟ නම් ඔහු එසේ කරනවා.”—බිරිඳ හා දරුවන් තිදෙනා සමඟ ඉක්වදෝරයේ දැන් සේවය කරන ජෙසී.
“ගිලියඩ් මිෂනාරි පාසැලේ පුහුණුවක් නැතුව මට ඒ වාගේ දෙයක් කරන්න පුළුවන් වේවි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මගේ බයිබල් ශිෂ්‍යයෙක් කතාවක් දෙන කොට නැත්තම් දේශනා සේවයේ යනවා දැක්කහම මා තුළ පුදුම සන්තෝෂයක් ඇති වුණා. මෙම ප්‍රස්තාව ලබා දීම ගැන මම දෙවිට නිතරම ස්තූති කරනවා.”—වසර අටක් දකුණු අමෙරිකාවේ පුරෝගාමී සේවයේ නියැලුණු තනිකඩ ස්ත්‍රියක් වන කේරන්.
“එක්සත් ජනපදයේ අවුරුදු 13ක් පුරා පූර්ණ කාලීනව දේශනා කෙරුවාට පස්සේ අපිට අලුත් අභියෝගයක් අවශ්‍යයි කියලා මගේ භාර්යාවටයි මටයි හැඟුණා. පෙර කිසිවිටකවත් නොතිබුණු සතුටක් දැන් අපට තිබෙනවා; මේක ඇත්තටම පුදුමාකාර ජීවිතයක්.”—තම බිරිඳ වන ලින්ඩා සමඟ ඇමසන් ප්‍රදේශයේ පුරෝගාමී සේවය කරන ටොම්.
මෙම අගය දැක්වීම් කරන්නේ, නොයෙක් පෞද්ගලික හේතූන් නිසා ගිලියඩ් මුරටැඹ බයිබල් පාසැලේ පුහුණුව ලබන්න අවස්ථාව නොලැබූ කිහිපදෙනෙක්. කෙසේවෙතත් ඔවුන් විදේශීය ක්ෂේත්රයක සේවය කිරීමේ ප්‍රීතිය හා අභියෝග අද්දැක්කා. එය අද්දැක්කේ කොහොමද? මෙවන් සේවයක් ඔබට ගැළපෙයිද?
නිසි පෙලඹවීම් අවශ්‍යයි
විදේශීය ක්ෂේත්රයක සේවය කිරීමට නම් ධෛර්ය සම්පන්න ස්ප්රීතුවකට වඩා වැඩි යමක් අවශ්‍යයි. දිගටම වෙර දැරූ අය එසේ කළේ නිසි පෙලඹවීම් ඇතුවයි. ප්‍රේරිත පාවුල් මෙන්, තමන් දෙවිට පමණක් නොව මනුෂ්‍යයන්ටද ණයගැති බව ඔවුන්ට හැඟෙනවා. (රෝම 1:14) ඔවුන්ට, තමන්ගේම බල ප්‍රදේශයේ දේශනා සේවය කිරීමෙන් දේවආඥාව ඉෂ්ට කරන්න තිබුණා. (මතෙව් 24:14) නමුත් තමන් ණයගැතිව සිටින බව ඔවුන්ට හැඟුණු අතර, ශුභාරංචිය කලාතුරකින් අසන්න ලැබෙන අයට උපකාර කරන්න වෙර දැරීමට ඔවුන් පෙලඹුණා.
වඩාත් ඵලදායි ප්‍රදේශයක සේවය කිරීමට තිබෙන ආශාව තවත් පෙලඹීමකි. මෙයත් සුදුසු පෙලඹීමක්. සෙසු මසුන් අල්ලන්නෙකු සාර්ථකව මාළු අල්ලනවා දකිද්දී පොකුණේ ඔහු අසල ස්ථානයකට ළඟා වෙන්න උත්සාහ නොකරන්නේ කවුද? එලෙසම වෙනත් රටවල්වලින් සිත් සතුටු කරවන විශිෂ්ට වාර්තා ගැන අසන්න ලැබූ විට, සමහරුන්ට එය “මසුන් මහත් රාශියක්” ඇති ස්ථානවලට යෑමට දිරිගැන්වීමක් වී තිබෙනවා.—ලූක් 5:4-10.
ගණන් බලන්න
විදේශීය පළාත්වලින් පැමිණෙන ආගමික ස්වේච්ඡා සේවකයන්ට රැකියා කිරීමට බොහෝ රටවල්වල අවසර දෙන්නේ නැහැ. ඒ නිසා විදේශීය රටකට ගොස් සේවය කරන්න කැමති අයට, බොහෝ විට ස්වාධීනව ජීවත් වීමට තරම් වත්කමක් තිබිය යුතුයි. ඔවුන් මෙම ආර්ථික අභියෝගයට මුහුණ දී ඇත්තේ කෙසේද? කිහිපදෙනෙක් අවශ්‍ය මුදල් ලබාගැනීමට තම ගෙවල් කුලියට දී හෝ විකුණා තිබෙනවා. ඇතමෙක් තමන්ගේ ව්‍යාපාර විකුණා තිබෙනවා. සමහරු තම ඉලක්කය අත් කරගැනීම සඳහා මුදල් ඉතිරි කරගෙන තිබෙනවා. තවත් සමහරු, අවුරුද්දක් හෝ දෙකක් විදේශීය රටක සේවය කළාට පසු ඔවුන්ගේ උපන් රටට ගොස් රැකියා කර මුදලක් එකතු කරගැනීමෙන් අනතුරුව නැවතත් ඔවුන් කලින් සේවය කරපු රටට යනවා.
සංවර්ධනය වෙමින් පවතින රටක ජීවත් වීමේ කැපීපෙනෙන වාසියක් නම් එහි ජීවන වියදම සංවර්ධිත රටවල ජීවන වියදමට වඩා නිතරම වාගේ බෙහෙවින් අඩුවීමයි. මේ නිසා සුළු විශ්‍රාම වැටුපකින් වුවද සතුටුදායක ලෙස සමහරුන්ට ජීවත් වීමට හැකි වී තිබෙනවා. නමුත් කෙනෙකුගේ වියහියදම් රඳාපවතින්නේ ඔහු තෝරාගන්නා ජීවන රටාව මතයි. සංවර්ධනය වන රටවල පවා බොහෝ සැප පහසුකම් සහිත නවාතැන් සොයාගත හැකි අතර ඒවා මිල අධිකයි.
මෙවැනි වගකීමක් භාරගැනීමට පෙර වියහියදම් ගණන් බැලීම අවශ්‍ය බව අමුතුවෙන්ම කිව යුතු නැහැ. එහෙත් ගණන් බැලීම ආර්ථික පැත්තට පමණක් සීමා නොකළ යුතුයි. ඇතැම් විට දකුණු අමරිකාවේ සේවය කළ සමහරෙකු පවසන දේ අපව මේ සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් කරාවි.
ලොකුම අභියෝගය
“ඇත්තෙන්ම මට ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගැනීම අමාරු දෙයක් වුණා” කියා ෆින්ලන්තයෙන් පැමිණි මාකූ සිහිපත් කරයි. “මං භාෂාව දැනගෙන හිටියේ නැති නිසා මට උපස්ථායක සේවකයෙකු හැටියට සේවය කරන්න පුළුවන් වෙනකම් යම් කාලයක් බලා ඉන්න වේවි කියා මම සිතුවා. නමුත් මාස දෙකක්වත් ගත වෙන්න ඉස්සෙල්ලා සභා පොත් පාඩමක් ගන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවම මම පුදුමයට පත් වුණා. ඇත්තටම අපහසුතා ඇති වුණ අවස්ථා හුඟක් තිබුණා. මට විශේෂයෙන්ම නම් මතක තබාගන්න එක අමාරු දෙයක් වුණා. එක දවසක් මම සහෝදර සැන්චෝට ‘සහෝදර චැන්චෝ (ඌරා)’ කියලා කතා කෙරුවා, ඒ වගේම සහෝදරි සලාමේයාට ‘මලාසේයා (දුෂ්ට)’ කියා කතා කරපු එක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. හොඳ වෙලාවට සහෝදර සහෝදරියන් හුඟාක් ඉවසිල්ලෙන් හිටියා.” පසුව මාකූ තම බිරිඳ සෙලීන් සමඟ වසර අටක් ඒ රටේ චාරිකා අවේක්ෂකයෙකු හැටියට සේවය කෙරුවා.
ඉහත සඳහන් කළ ජෙසීගේ බිරිඳ ක්‍රිස් මෙසේ කියයි: “අප මෙහේ ඇවිත් මාස තුනක් විතර ගත වුණාට පස්සේ පළමු වතාවට චාරිකා අවේක්ෂක ආපු අවස්ථාව මට මතකයි. ඒ සහෝදරයා අපගේ හෘද ස්පර්ශ කරන විදිහේ උපහැරණ කියමින් රසවත් දෙයක් කියන්න උත්සාහ කරනවා කියා මට හැඟුණත් මට කිසිම දෙයක් තේරුණේ නැහැ. ඒ වේලාවේම රාජ්‍ය ශාලාවේදී මට ඇඬුණා. මෙය යන්තමින් කඳුළු සැලීමක් නොවෙයි; මම ඉකි ගසමින් ඇඬුවා. එසේ කළේ ඇයි කියා රැස්වීමෙන් පසුව මම චාරිකා අවේක්ෂකට පැහැදිලි කරන්න උත්සාහ කළා. ඔහු හුඟාක් කරුණාවන්තව, හැමෝම මට කියමින් සිටි දේම කිව්වා, ‘ටෙන් පැස්සියෙන්සියා අර්මානා’ (‘ඉවසන්න සහෝදරි’). වසර දෙකකට හෝ තුනකට පසුව අපි ආයෙත් මුණ ගැසුණහම අපි දෙදෙනා විනාඩි 45ක්ම කතා කළා. අපට අදහස් හුවමාරු කරගැනීමට පුළුවන් වීම ගැන අපි හුඟක් සතුටු වුණා.”
“ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි” කියා තවත් සහෝදරයෙක් ප්‍රකාශ කරනවා. “අලුත් භාෂාවක් ඉගෙනගැනීමට අප දැඩි ප්රයත්නයක් දරද්දී අපේ අදහස් හුවමාරු කිරීමේ නිපුණතාවද එන්න එන්නම දියුණු වෙනවා.”
මෙවැනි වෙර දැරීම්වලින් ප්‍රයෝජන රැසක්ම අත් වන බවට සියල්ලන්ම එකඟ වෙනවා. අලුත් භාෂාවක් ඉගෙනගන්න උත්සාහ කරන කෙනෙකු තුළ නිහතමානීකම, ඉවසිලිවන්තකම හා අඛණ්ඩ උත්සාහය යන ගුණාංග පෝෂණය වෙනවා. අන් අයට ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රස්තාව සලසන මහත් දොරටුවක් විවෘතව තිබෙනවා. නිදසුනක් වශයෙන්, ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත් විට, ලොව වටා මිලියන 400කට අධික ජන සමූහයක් කතා කරන භාෂාවක් භාවිත කිරීමේ හැකියාව අප සතු වෙනවා. නැවතත් සිය රටවල්වලට යෑමට සිදු වූ අයට පවා තමන් සතු මෙම නිපුණතාව නිසා, මවු බස වශයෙන් ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට උපකාර කිරීමට හැකි වී තිබෙනවා.
ගෙදර මතක් වන විට
“අපි 1989දී ඉක්වදෝරයට ගිය මුල් දවස්වල මට අපේ ගෙදර අයව මතක් වුණහම ලොකු පාළුවක් දැනුණා. ඊට පස්සේ අපේ සභාවේ සහෝදර සහෝදරියන් මත වැඩි වැඩියෙන් රඳා පවතින්න මම ඉගෙනගත්තා. ඒගොල්ලෝ මගේම පවුලේ අය වගේ මට සැලකුවා” කියා තම ස්වාමිපුරුෂයා වන ගැරී සමඟ ඇමසන් ප්‍රදේශයේ සේවය කළ ඩෙබෝරා මතක් කරයි.
මෙම ලිපියේ මුලදී වගේ සඳහන් වූ කේරන් මෙසේ නිරීක්ෂණය කරයි: “ගෙදර මතක් වෙන කොට ඇති වන දුක නැති කරගන්න මම හැමදාම ක්ෂේත්‍ර සේවයේ නියැලුණා. මේ නිසා ගෙදර ගැන සිත සිතා ඉන්න මට වේලාවක් තිබුණේ නෑ. මගේ දෙමාපියන් මම විදේශීය ක්ෂේත්රයක කරන වැඩ ගැන ආඩම්බර වන බවත් මතකයේ තබාගත්තා. අම්මා, නිතරම මෙම වචනවලින් මාව දිරිගැන්නුවා: ‘යෙහෝවාට පුළුවන් මට වඩා හොඳට ඔයාව බලාගන්න.’”
ජපන් ජාතික මකීකෝ සිනාසෙමින් මෙහෙම කියයි: “මුළු දවසක්ම ක්ෂේත්‍ර සේවයේ ගත කළාට පස්සේ මට හුඟාක් මහන්සියි. ඊට පස්සේ මම ගෙදර ආවහම ගෙදර මතක් වෙලා පාළුවක් දැනෙන්න පටන් ගන්නකොටම මට නින්ද යනවා. එතකොට ඒ හැඟීම් වැඩි වෙලා තියෙන්නේ නෑ.”
ළමයින් ගැන මොකද කරන්නේ?
දරුවන් සිටින විට, අධ්‍යාපනය වැනි ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම ගැන විමසිලිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී සමහරු තම දරුවන්ට ගෙදරදීම අධ්‍යාපනය සපයන්න තීරණය කර තිබෙන අතර තවත් සමහරු තම දරුවන්ව එම පළාතේ පාසැල්වලට යවා තිබෙනවා.
ඇල්, සිය බිරිඳ, දරුවන් දෙදෙනා හා මව සමඟ දකුණු අමෙරිකාවේ පදිංචියට ගියා. “ළමයින්ව එම පළාතේම පාසැල්වලට යැවීම හේතුවෙන් ඒගොල්ලන් ඉක්මනින්ම භාෂාව ඉගෙනගත්තා. මාස තුනකට පසු ඒගොල්ලන්ට හොඳට කතා බහ කරන්න හැකියාව ලැබුණා” කියා ඔහු පවසයි. නමුත් මයික් සහ කරීගේ නහඹර වියේ පසු වන පුතුන් දෙදෙනා ප්‍රසිද්ධ පාසැලක පාඨමාලාවක් නිවසට තැපෑලෙන් ගෙන්වාගෙන අධ්‍යාපනය ලබයි. “මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් යොදාගත් විට, හැම දෙයක්ම තනියම කරගැනීමේ වගකීම දරුවන්ට පමණක් පැවරීම නුසුදුසුයි කියා අපට තේරුණා. පුතාලාට ලැබුණ විෂය මාලාව වේලාවට කරනවාද කියා බැලීමට අපටත් ඒ පාඩම් මාලාවට සහභාගි වෙන්න සිද්ධ වුණා” යයි දෙමාපියන් කියයි.
ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් සහ ජැනීටා තම පුතුන් දෙදෙනා ගැන මෙසේ අදහස් ප්‍රකාශ කරයි. “අපේ පුත්තු දෙන්නාට, අනිත් අය ජීවත් වෙන හැටි තමන්ගේම ඇස්වලින් දැකගන්න අවස්ථාව දෙන්න අපි කැමති වුණා. අපි ජීවත් වන විදිහ හැමෝටම පොදුයි කියා සිතන එක හුඟක් පහසුයි. ඒ වුණත් ඇත්තටම අපි වගේ ජීවත් වන්නේ ලෝකයේ ජනගහනයෙන් ටිකදෙනෙක් විතරයි. ඒ වගේම රට හෝ සංස්කෘතිය මොකක් වුණත් දිව්‍යාණ්ඩු ප්‍රතිපත්ති ඵලදායි වන බව ඒගොල්ලන්ට දැකගන්න පුළුවන් වෙලා තියෙනවා.”
“අපේ පවුල 1969දී එංගලන්තයෙන් පිට වෙද්දී මගේ වයස අවුරුදු 4යි” කියා කේන් මතක් කරයි. “මං බලාපොරොත්තු වුණු විදිහටම අපි මඩින් තැනූ, පිදුරු සෙවිලි කළ පුංචි පැල්පතක පදිංචි නොවුණ එක ගැන මම කනගාටු වුණත්, යෞවනයෙකුට ලැබිය හැකි හොඳම ඇති දැඩි කිරීම මම අද්දැක්කා කියා මට හැඟෙනවා. ඒ වාගේ ප්‍රස්තාවක් නොලැබූ වෙනත් දරුවන් ගැන මම නිතරම දුක් වුණා! මිෂනාරිවරුන් හා විශේෂ පුරෝගාමීන්ගේ යහපත් ආශ්‍රය නිසා අවුරුදු නවයක් වෙද්දී මම උපකාරික පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා.” අද, කේන් සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කරනවා.
“ඉක්වදෝරය දැන් අපේම නිවසයි” කියා ජෙසීගේ දුව ගබ්රියෙලා එකඟ වෙයි. “මගේ දෙමාපියන් මෙහි පැමිණීමට තීරණය කිරීම ගැන මම හුඟාක් සතුටු වෙනවා.”
අනික් අතට සමහර දරුවන් අවශ්‍ය සකස් කිරීම් කිරීමට අපොහොසත් වූ නිසා ඔවුන්ගේ පවුල්වලට නැවතත් සිය මව් රටට යෑමට සිදු වී තිබෙනවා. ඒ නිසා විදේශීය රටක පදිංචි වීමට පළමුවෙන් එම රට කලින් බැලීමට යෑම නුවණට හුරුයි. එවිට මෙයාකාරයෙන්, සියැසින්ම දුටු දේවල් මත පදනම් වූ තීරණයක් ගන්න පුළුවන්.
පදිංචිය මාරු කිරීමේ ආශීර්වාද
ඇත්තවශයෙන්ම විදේශ ක්ෂේත්රයකට මාරු වෙන විට නොයෙක් අභියෝගවලට මුහුණ දෙන්න සිදු වන අතර, විවිධ පරිත්‍යාගයන් කිරීමටද අවශ්‍ය වෙනවා. මෙම පියවර ගත් අයට හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවාද? ඔවුන් කියන දේට අපි ඇහුම්කන් දෙමු.
ජෙසීගේ අදහස: “අම්බාටෝ නගරයේ අපි හිටපු අවුරුදු දහය තුළ එහි තිබූ සභා ගණන 2 සිට 11 දක්වා වැඩි වෙනවා අපිට දැකගන්න ලැබුණා. ඉන් සභා පහක් පටන්ගැනීමේ වරප්‍රසාදය අප සතු වූ අතර රාජ්‍ය ශාලා දෙකක් ඉදි කිරීමට දායක වන්නත් අපට හැකි වුණා. සාමාන්‍ය වශයෙන් සෑම අවුරුද්දකම බයිබල් ශිෂ්‍යයන් දෙදෙනෙකුට පමණ බව්තීස්ම වීමට අවශ්‍ය සුදුසුකම් ලබන්නට උපකාර කිරීමේ ප්‍රීතියද අපි අද්දැක තිබෙනවා. නමුත් මට කනගාටුවට එක් කාරණයක් තියෙනවා. ඒ තමයි මීට අවුරුදු දහයකට කලින් ආපු නැති එක.”
ලින්ඩා මෙසේ කියයි: “ශුභාරංචියටත් අපගේ ප්‍රයත්නවලටත් සෙසු අය දැක්වූ අගය කිරීම අපව බොහෝ සෙයින් දිරිගැන්නුවා. නිදසුනක් හැටියට කැලෑවේ පිහිටා තිබූ කුඩා ගමක වාසය කළ බයිබල් ශිෂ්‍යයෙක් වූ ඇල්ෆොන්සෝ, එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ කථා පැවැත්වීම මොනතරම් ප්‍රයෝජනවත් දෙයක් වේවිද කියා වටහාගත්තා. එම ගමේ තිබූ ලීයෙන් තැනූ ගෙවල් කිහිපයෙන් එකක් වූ ඔහුගේ අලුත් ගෙදරට ඔහු වාසයට ගොස් වැඩි කාලයක් ගත වී තිබුණේ නැහැ. මුළු ප්‍රදේශයේම යෙහෝවාට සුදුසු වූයේ ඔහුගේ නිවස පමණක්යයි ඔහු තීරණය කර, එය සහෝදරයන්ට රාජ්‍ය ශාලාවක් ලෙස පාවිච්චි කරන්න භාර දීලා ඔහු කලින් හිටපු පිදුරුවලින් තැනූ පැල්පතට ගියා.”
ජිම් මෙසේ අදහස් දක්වයි: “මිනිසුන් එක්ක හරි විදිහට කතා බහ කරන්න ලැබෙන කාලය එක්සත් ජනපදයේ ලැබෙන කාලයට වඩා දහ ගුණයකින් විතර වැඩියි. ඊට අමතරව, ජීවිතය එච්චරම කාර්යබහුල නෑ. නිසැකවම පාඩම් කරන්නත් ක්ෂේත්‍ර සේවයේ යන්නත් වැඩිපුර කාලයක් ඉතිරි වෙනවා.”
සැන්ඩ්‍රා තම හැඟීම් මෙලෙස ප්‍රකාශ කරයි: “සත්‍යය නිසා මිනිසුන්ගේ ජීවිත යහමඟට හැරෙන විදිහ දකිද්දී මම මහත් සෑහීමකට පත් වෙනවා. මම, සිල්ලර කඩයක අයිතිකාරියක් වූ 69 හැවිරිදි ආමඩා සමඟ කාලයක් පාඩම් කළා. ඇය පුරුද්දක් වශයෙන් සෑම කිරි බඳුන් දහයකටම වතුර බඳුන් දෙකක් දමා මිශ්‍ර කෙරුවා. ඒ විතරක් නෙවෙයි මේ උකු ගතිය අඩු කළ කිරි අඩුවෙන් මැන දීමෙන් බඩු ගැනීමට කඩයට පැමිණි අයට ඇය වංචා කළා. නමුත් සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 13වන පරිච්ඡේදයේ ‘අවංකකමේ ප්‍රතිඵලය සන්තෝෂය’ යන උපමාතෘකාව යටතේ තිබූ තොරතුරු පාඩම් කිරීමෙන් අනතුරුව ඇය මෙම වැරදි පුරුදු අත්හැරියා. ටික කාලෙකට පස්සේ ඇය බව්තීස්ම වෙනවා දකින්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද!”
කේරන් මෙසේ කියයි: “යෙහෝවා කෙරෙහි රඳා පැවතීමට කවදාවත් මෙතරම් අවශ්‍යතාවක් තිබුණේ නැති අතර, ඔහු මාව මෙහිදී පාවිච්චි කළ ආකාරයට වෙන කිසිදාක පාවිච්චි කරලා තිබුණේ නෑ. යෙහෝවා සමඟ තිබෙන මගේ මිත්‍රත්වය, වඩාත් අර්ථවත් හා ශක්තිමත් එකක් වී තියෙනවා.”
එතකොට ඔබ?
වසර ගණනාවක් පුරා දහස් ගණන් සාක්ෂිකරුවන් සේවය කිරීම සඳහා පිට රටකට ගොස් තිබෙනවා. සමහරු වසරකට හෝ දෙකකට යන අතර තවත් සමහරු තම පදිංචිය යම් නිශ්චිත කාලපරිච්ඡේදයකට සීමා නොකරයි. ඔවුන් තම අද්දැකීම්, ආත්මික මේරූබව සහ මූල්‍යමය සම්පත්ද ඇතුව ආපසු පැමිණෙනවා. විදේශීය ක්ෂේත්රයක රාජ්‍ය කටයුතුවල ඉදිරි ගමනට දායක වීම ඔවුන්ගේ අභිප්‍රායයි. රැකියා හිඟකම නිසා ප්‍රදේශයේ ප්‍රචාරකයන් සේවය කරන්න අපොහොසත් වන ස්ථානවලට ඔවුන්ට යෑමට හැකි වී තිබෙනවා. මොවුන්ගෙන් බොහෝදෙනෙක් ෆෝ වීල් ඩ්‍රයිව් ජීප් රථ මිලයට ගෙන සාමාන්‍යයෙන් ළඟා විය නොහැකි දුෂ්කර ප්‍රදේශවලට ගොස් තිබෙනවා. අනිකුත් අය නගරබද ජීවිතයට වැඩි කැමැත්තක් දක්වයි. එවැනි අය වැඩිමහල්ලන් හිඟ නමුත් විශාල සභාවන්වලට ස්ථාවරයක් ගෙන දීමට දායක වී ඇත. සේවය කුමනාකාරයකින් ඉටු කෙරුවත් ආත්මික ආශීර්වාද ගත් කල, ඔවුන් කරන පරිත්‍යාගවලට වඩා ඔවුන් බොහෝ ප්‍රයෝජන ලබා ඇති බව ඔවුන් සෑම කෙනෙක්ම කියා සිටියි.
විදේශීය ක්ෂේත්රයක සේවය කිරීමේ වරප්‍රසාදයට සහභාගි වීමට ඔබට හැකිද? ඔබේ තත්වය එය කිරීමට ඉඩ දේ නම් එවැනි පියවරක් ගැනීම ගැන සිතා බැලීම හොඳ නැද්ද? අත්‍යවශ්‍ය මුල් පියවර වන්නේ ඔබ සේවය කරන්න අදහස් කරන රටේ සමිතියේ ශාඛා කාර්යාලයට ලිපියක් ලිවීමයි. ඉන් අනතුරුව ඔබට ලැබෙන නිශ්චිත තොරතුරු අනුව ඔබට මෙවැනි ව්‍යාපෘතියක සාර්ථකව නියැලිය හැකිද යන්න තක්සේරු කළ හැකියි. ඊට අමතරව, ‘නුඹේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව යන්න’ යන 1988 අගෝස්තු 15 මුරටැඹ කලාපයෙන් (ඉංග්‍රීසියෙන්) ප්‍රායෝගික යෝජනා රැසක් ලබාගත හැකියි. යෝග්‍ය සැලැස්මක් යෙදීමෙනුත් යෙහෝවාගේ ආශීර්වාදය ලැබීමෙනුත් ඔබට විදේශීය ක්ෂේත්රයක සේවය කිරීමේ සතුට අද්දැකිය හැකියි.
[24වන පිටුවේ පින්තූරය]
ඇත ප්‍රදේශයක අඩිපාරක් ඔස්සේ ටොම් සහ ලින්ඩා ශ්වාර් ඉන්දීය ගෝත්‍රිකයන් දෙසට ගමන් කරයි
[25වන පිටුවේ පින්තූරය]
බොහෝදෙනෙකු ඉක්වදෝරයේ අගනගරය වන කුවීටෝහි සේවය කරයි
[25වන පිටුවේ පින්තූරය]
මකීකෝ ඇන්ඩීස් කඳුකරයේ දේශනා කරයි
[26වන පිටුවේ පින්තූරය]
හිල්බිග් පවුල පසුගිය වසර පහ තුළදී ඉක්වදෝරයේ සේවය කර ඇත