යෙහෝවා මට ප්‍රේමනීය-කරුණාව දක්වන දෙවි කෙනෙක්
යානිස් ආන්ඩ්රෝනිකෝස්ගේ කතාව
වර්ෂය 1956යි. මගේ විවාහයෙන් දවස් නවයකට පස්සේ, උතුරු ග්‍රීසියේ කොමොටිනිහි ඇපැල් උසාවියක් ඉදිරියේ මම පෙනී සිටියා. දේවරාජ්‍යය ගැන දේශනා කළ නිසා මට ලැබුණ මාස 12ක සිර දඬුවම ඉවත් කරයි කියල මම බලාපොරොත්තු වුණා. එම බලාපොරොත්තුව සිඳ බිඳ දමමින්, මාස හයක සිරදඬුවමක් දීමට ඇපැල් උසාවිය තීරණය කළා. ඇත්තෙන්ම ඒක පීඩා බොහෝමයක පටන්ගැන්මක් විතරයි. කොහොමනමුත්, මේ සියල්ලේදීම, යෙහෝවා මට ප්‍රේමනීය කරුණාව දක්වන දෙවි කෙනෙක් බව ඔප්පු කළා.
වර්ෂ 1931 ඔක්තෝබර් 1වෙනිදා මම ඉපදෙන කොට, මගේ පවුලේ අය ජීවත් වෙමින් සිටියේ කාවාලා නගරයෙයි; ඒක ප්‍රේරිත පාවුල් ඔහුගේ දෙවෙනි මිෂනාරි සංචාරයේදී ගිය ස්ථානයක් වූ මකිදෝනියේ නෙයාපොලිසයයි. මට වයස පහේදී අම්මා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් බවට පත් වූ අතර, ඇය ලියන්න කියවන්න හරියටම දැනගෙන හිටියේ නැතත් දෙවි කෙරෙහි ප්‍රේමයක් හා ඔහු කෙරෙහි භයක් මා තුළ පැළපදියම් කරන්න උපරිම උත්සාහයක් ගත්තා. මගේ තාත්තා ගතානුගතික මතවල අන්තයටම එල්බ සිටි, හිතුවක්කාර ලෙස ග්‍රීක් ඕතඩොක්ස් සම්ප්‍රදායට ඇලී සිටි තැනැත්තෙක්. බයිබල් සත්‍යය කෙරෙහි ඔහු තුළ කිසිම උනන්දුවක් තිබුණේ නැහැ; ඒ වගේම හුඟක් වෙලාවලදී දරුණු විදිහට හිරිහැර කරමින් ඔහු අම්මට විරුද්ධ වුණා.
මෙලෙස, මම හැදුණේ වැඩුණේ තාත්තා අම්මට ගැහුව, බැන්න, ඒ වගේම අපිව අත්ඇරලා දාලා පවා ගිය බෙදුණු පවුලකයි. මගේ පොඩි කාලේ ඉඳන්ම, අම්මා මාවත් මගේ පුංචි නංගිවත් ක්‍රිස්තියානි රැස්වීම්වලට අරගෙන ගියා. කොහොමනමුත්, මට වයස 15ක් වුණහම තරුණ ආශාවන් හා ස්වාධීනව කටයුතු කිරීමේ ස්වභාවය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් මාව ඈත් කළා. ඒ වුණත්, මගේ ඇදහිලිවන්ත අම්මා සෑහෙන වෙහෙසක් දැරුවා; මට උපකාර කරන්න වෑයම් කරද්දී ඇය සෑහෙන්න කඳුළු සැලුවා.
දිළිඳුකමත්, ගත කරමින් හිටිය නරක ජීවිතයත් නිසා, මම දරුණු විදිහට අසනීප වුණා; මාස තුනකට වඩා ඇඳේ ඉන්න සිද්ධ වුණා. මගේ අම්මට සත්‍යය උගන්වලා තිබුණ හුඟාක් යටහත් පහත් සහෝදරයෙක් දෙවි කෙරෙහි මා තුළ අවංක ප්‍රේමයක් තිබෙන බව වටහාගත්තේ එවිටයි. මට ආත්මිකව සුව වෙන්න උපකාර කළ හැකියි කියලා ඔහුට හැඟුණා. අනිත් අය ඔහුට මෙහෙම කිව්වා: “යානිස්ට උපකාර කරන්න වෑයම් කර කර ඔයා කාලේ නාස්ති කරනවා; එයා කවදාවත් හැදෙන කෙනෙක් නෙවෙයි.” නමුත් මේ සහෝදරයාගේ ඉවසීමෙන් හා මට නොකඩවාම උපකාර කිරීමෙන් යහපතක් සිදු වුණා. වර්ෂ 1952 අගෝස්තු 15වෙනිදා වයස 21දී වතුර බව්තීස්මය මගින් මම යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කළා.
බැඳපු අලුත සිරභාරයේ
වසර තුනකට පස්සේ, විශේෂ ගුණාංගත්, ආත්මික මනසකුත් තියෙන සහෝදරියක් වන මාර්තාව දැනහඳුනා ගන්න මට ලැබුණා; වැඩි කල් නොගොස් අපි විවාහ ගිවිසගත්තා. “අද මම ගෙයින් ගෙට දේශනා සේවයේ යන්නයි හිතාගෙන ඉන්නේ. ඔයා කැමතිද මාත් එක්ක එන්න?” කියලා දිනක් මාර්තා මට පැවසුවහම ඇත්තෙන්ම මට පුදුම හිතුණා. වැඩිහරියක් අවිධිමත් දේශනා සේවයේ නිරත වෙලා හිටිය මම මේ වගේ වැඩක කවදාවත් ඒ වෙන තුරු යෙදිලා තිබුණේ නැහැ. ඒ කාලයේදී ග්‍රීසියේ දේශනා කිරීම තහනම් කර තිබුණ අතර, රහසිගතව අපේ දේශනා සේවය කරගෙන යෑමට අපිට සිදු වී තිබුණා. ප්‍රතිඵලයක් වශයෙන්, අත්අඩංගුවට ගැනීම්, නඩු ඇසීම් හා දරුණු සිර දඬුවම් ගණනාවක්ම විඳින්න සිද්ධ වුණා. ඒත් මගේ පෙම්වතියගේ වචනෙට පිටුපාන්න මට බැරි වුණා.
මාර්තා 1956දී මගේ භාර්යාව බවට පත් වුණා. දවස් නවයකට පස්සේ, කොමොටිනිහි ඇපැල් උසාවියෙන් හය-මාසයක සිර දඬුවමක් මට ලැබුණේ එවිටයි. මගේ අම්මගේ මිතුරියක් වූ ක්‍රිස්තියානි සහෝදරියකගෙන් ඉස්සෙල්ලා දවසකදී මම ඇහැව්ව ප්‍රශ්නයක් එවිට මගේ මනසට නැඟුණා: “මම යෙහෝවාගේ සැබෑ සාක්ෂිකාරයෙක් කියලා මට පෙන්වන්න පුළුවන් වෙන්නේ කොහොමද? මට ඇදහිල්ල තිබෙන බව ඔප්පු කරන්න මට ප්‍රස්තාවක් ලැබිලම නැහැ.” මේ සහෝදරිය මාව බලන්න සිරගෙදරට පැමිණි විට, ඇය ඒ ප්රශ්නය මට මතක් කරලා මෙහෙම කිව්වා: “දැන් ඔයාට පුළුවන් යෙහෝවාට පෙන්වන්න ඔයා ඔහුට මොනතරම් ප්‍රේම කරනවද කියලා. ඔයාගේ පැවරුම මේකයි.”
මාව ඇප පිට නිදහස් කිරීමට මුදල් එකතු කරන්න මගේ නීතිඥයා වෑයම් කළ බව මම දැනගත්තහම, මම ඔහුට කිව්වා මගේ සිරදඬුවම සම්පූර්ණයෙන්ම විඳින්න මම කැමතියි කියලා. සිරගත වෙලා හිටිය මාස හය අවසානයේදී, මා එක්ක හිරේ හිටිය තවත් දෙන්නෙක් සත්‍යය පිළිගන්නවා දැකීම මට මොනතරම් සතුටක්ද! ඊළඟ අවුරුදුවලදී, ශුභාරංචිය වෙනුවෙන් මට නඩු විභාග ගණනාවකටම පෙනී සිටින්න සිද්ධ වුණා.
අපි ගත් පසුතැවිලි නොවුණු තීරණ
මගේ නිදහස් වීමෙන් අවුරුදු කීපයකට පස්සේ, 1959දී මම සභා සේවකයෙක් හෝ මුලසුන භාර අවේක්ෂකයෙක් හැටියට සේවය කරමින් සිටි අතර, සභා වැඩිමහල්ලන් සඳහා පුහුණු කිරීමේ පාඨමාලාවක් වන රාජ්‍ය සේවා පාසැලට සහභාගි වීමට මට ආරාධනාවක් ලැබුණා. ඒත්, මේ එක්කම වගේ, රජයේ රෝහලක මට ස්ථිර රැකියාවක් ඉදිරිපත් කළා; මෙය මටත්, මගේ පවුලේ අයටත් මුදල් අතින් කරදරයක් නැතුව ජීවත් වෙන්න ලබා දෙන ප්‍රස්තාවක් වුණා. මම මොකක්ද තෝරගන්න යන්නේ? මම ඒ වෙනකොටත් තාවකාලිකව මාස තුනක් රෝහලේ වැඩ කරමිනුයි හිටියේ; මගේ වැඩ ගැන අධ්‍යක්ෂකට හොඳ පැහැදීමක් තිබුණත්, පාසැලට සහභාගි වීමට ආරාධනාව ලැබුණහම පඩි රහිත නිවාඩුවක්වත් ගන්න ඔහු මට අවසර දුන්නේ නැහැ. උභතෝකෝටික ප්රශ්නය ගැන යාච්ඤාපූර්වකව සිතා බැලුවාට පස්සේ, රාජ්‍යයේ කටයුතුවලට මුල් තැන දෙන්න මම තීරණය කළ අතර, රැකියා ප්‍රස්තාව ප්‍රතික්ෂේප කළා.—මතෙව් 6:33.
ඒ කාලයේදීම, දිස්ත්‍රික් හා චාරිකා අවේක්ෂකයන් අපේ සභාවට ආවා සේවය කරන්න. ග්‍රීක් ඕතඩොක්ස් පූජකයන්ගේ හා බලධාරීන්ගේ දැඩි විරෝධය නිසා අපිට අපේ රැස්වීම් පවත්වන්න සිද්ධ වුණේ රහසිගතව පුද්ගලික නිවෙස්වලයි. එක රැස්වීමකින් පස්සේ දිස්ත්‍රික් අවේක්ෂකයා මා ළඟට ඇවිත්, මම පූර්ණ-කාලීන සේවය කරන්න කල්පනා කරලා තියෙනවාද කියලා මගෙන් ඇහැව්වා. මම බව්තීස්ම වුණ දා ඉඳලා මේක මගේ සිහිනය වෙලා තිබුණ නිසා ඔහුගේ යෝජනාව මගේ හෘදයට කාවැදුණා. “ඔව්, ඇත්තෙන්ම මම කැමතියි” කියලා මම පිළිතුරු දුන්නා. කොහොමනමුත්, මට ඒ වෙනකොටත් දුවෙක් ඇති දැඩි කිරීමේ වගකීම තිබුණා. සහෝදරයා මට මෙහෙම කිව්වා: “යෙහෝවා තුළ විශ්වාසය තියන්න; ඔයාගේ අරමුණු ඉටු කරගන්න ඔහු ඔයාට උපකාර කරයි.” මෙලෙස, අපේ පවුල් වගකීම් අතපසු නොකර අපේ තත්වයන් සකස් කරගන්න මගේ භාර්යාවට හා මට පුළුවන් වුණා; ඉතින් 1960 දෙසැම්බර්වලදී විශේෂ පුරෝගාමියෙක් හැටියට නැඟෙනහිර මකිදෝනියේ සේවය කරන්න පටන්ගත්තා. මුළු රටටම හිටිය විශේෂ පුරෝගාමීන් පස්දෙනාගෙන් මමත් එක්කෙනෙක්.
විශේෂ පුරෝගාමියෙක් හැටියට මම අවුරුද්දක් වැඩ කළාට පස්සේ, සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කරන්න කියලා ඇතන්ස්වල ශාඛා කාර්යාලයෙන් මට ආරාධනාවක් ලැබුණා. මේ සේවය සම්බන්ධයෙන් මාසයක පුහුණුවක් ලබා මම නැවත ගෙදර ඇවිත් මාර්තාට මගේ අද්දැකීම් විස්තර කර කර ඉන්නකොට, විශාල මැන්ගනීස් ආකරයක අධ්‍යක්ෂකවරයෙක් ඇවිත්, පිරිපහදු කිරීමේ අංශයේ කළමනාකාරයා වෙන්න කියා මට ආරාධනා කළා; වසර පහක කොන්ත්‍රාත්තුවක්, කදිම නිවසක් හා වාහනයක් දෙන්න ඔහු ත්‍යාගශීලීව ඉදිරිපත් වුණා. දවස් දෙකකින් පිළිතුරු දෙන්න කියලා ඔහු මට කිව්වා. නැවතත්, කිසිම පසුබෑමකින් තොරව මම යෙහෝවාට යාච්ඤා කළා: ‘මෙන්න මම මෙහිය, මා යවන්න.’ (යෙසායා 6:8) මගේ භාර්යාව මුළු හිතෙන්ම ඊට එකඟ වුණා. දෙවි කෙරෙහි විශ්වාස කරමින් අපි සංචාර වැඩයේ යෙදෙන්න පටන්ගත් අතර, ප්‍රේමනීය-කරුණාව දක්වන යෙහෝවා අපිව කවදාවත් අධෛර්යයට පත් කළේ නැහැ.
දුෂ්කරතා මැද්දේ සේවය කිරීම
ආර්ථික ගැටලු තිබුණත් අපි නොසැලී ඉදිරියට ගිය අතර යෙහෝවා අවශ්‍යතා සැපුරුවා. මුලදී, මම කිලෝමීටර් 500ක දුරක් ගෙවමින් කුඩා මෝටර් සයිකලයකින් සභාවලට ගියා. හුඟක් වෙලාවලදී මට අමාරු වුණා; අනතුරු කීපයකටත් මුහුණ දුන්නා. එක ශීත ඍතුවකදී සභාවක ඉඳලා ආපහු ගෙදර එනකොට විශාල වතුර පාරක් හරහා යද්දී මෝටර් සයිකලය නැවතුණා; මගේ දණහිස් වෙනකම්ම මාව තෙතබරිත වුණා. ඊට පස්සේ මෝටර් සයිකලයේ ටයර් එකක හුළං ගියා. හුළං පොම්පයක් තිබුණ ඒ ළඟින් ගිය කෙනෙක් මට උපකාර කළ නිසා මට පුළුවන් වුණා ළඟම තිබුණ ගමට ගිහින් ටයර් එක අලුත්වැඩියා කරගන්න. අන්තිමේදී මම හෙම්බත් වෙලා වෙව්ල වෙව්ල පාන්දර තුනට ගෙදර ආවා.
තවත් අවස්ථාවක, මම එක සභාවකින් තවත් සභාවකට යනකොට මෝටර් සයිකලය ඇලයට ලිස්සලා ගිහින් මගේ දණහිස උඩට වැටුණා. එතකොට මගේ කලිසම ඉරිලා ලේවලින් පෙඟුණා. මට වෙන කලිසමක් තිබුණේ නැති නිසා මම ඒ සැන්දෑවේ වෙන සහෝදරයෙකුගේ කලිසමක් ඇඳගෙන කතාව දුන්නා; ඒක මට සෑහෙන ලොකුයි. එනමුත්, යෙහෝවාට හා ආදරණීය සහෝදරයන්ට සේවය කරන්න තිබුණු මගේ ආශාව අඩු කරන්න කිසිම දුෂ්කරතාවකට හැකි වුණේ නැහැ.
තවත් අනතුරකදී, මගේ අතයි, මගේ ඉස්සරහ දත් ටිකකුයි කැඩිලා මට හුඟක් තුවාල වුණා. එක්සත් ජනපදයේ ජීවත් වෙමින් සිටි සාක්ෂිකාරියක් නොවූ මගේ නංගී ඒ දවස්වලදී අපිව බලන්න ආවා. ඇය මට වාහනයක් මිල දී ගන්න උපකාර කළහම මට මොනතරම් සහනයක් වුණාද! ඇතන්ස් ශාඛා කාර්යාලයේ සහෝදරයන් මගේ අනතුර ගැන දැනගත්තහම, ඔවුන් මට දිරිගන්වන ලිපියක් එව්වා; ලියා තිබූ දේවල් අතර ඔවුන් රෝම 8:28 වචනත් ඇතුළත් කරලා තිබුණා; එහි මේ කොටස ලියා තිබුණා: ‘දෙවිට ප්‍රේමකරන්නන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු.’ යළි යළිත් මෙම සහතිකය මගේ ජීවිතයේ ඇත්තෙන්ම සැබෑවක් වෙලා තියෙනවා!
සිත්ගන්නා පුදුමයක්
වර්ෂ 1963දී, ජනයා ප්‍රතිචාරය නොදැක්වූ ගමක මම විශේෂ පුරෝගාමියෙක් එක්ක වැඩ කරමින් හිටියා. අපි වෙන වෙනම වැඩ කරන්න තීරණය කරලා දෙන්නම වීදියේ දෙපැත්තේ වැඩ කළා. මම එක ගෙයකට තට්ටු කරලා වැඩි වෙලාවක් යන්න කලින් කාන්තාවක් මාව ඉක්මනින්ම ගේ ඇතුළට ඇදලා අරං දොර වැහැව්වා. සිදු වෙන්න යන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව මම අන්ද මන්ද වුණා. ඊට ටික වෙලාවකට පස්සේ, විශේෂ පුරෝගාමියාටත් ගේ ඇතුළට එන්න කියලා ඇය විගස පැවසුවා. එවිට කාන්තාව අපිට මෙහෙම කිව්වා: “ෂ්ෂ්ෂ්! සද්ද නොකර හෙළවෙන්නෙවත් නැතුව ඉන්න!” ටික වෙලාවකට පස්සේ, එළියේ කේන්තියෙන් කෑගහන සද්දයක් අපිට ඇහුණා. මිනිස්සු අපිව හොයමින් හිටියා. සද්දේ අඩු වුණාට පස්සේ කාන්තාව අපිට මෙහෙම කිව්වා: “මම මේක කළේ ඕගොල්ලන්ගෙම යහපතටයි. ඕගොල්ලන් සැබෑ ක්‍රිස්තියානීන් කියලා මම දන්නවා; මම ඕගොල්ලන්ට ගරු කරනවා.” අපි අවංකවම ඇයට ස්තුති කරලා, පොත් පත් ගොඩක් ඇයට දීලා ඇගෙන් සමුගත්තා.
අවුරුදු දාහතරකට පස්සේ, මම ග්‍රීසියේ දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වෙමින් ඉන්නකොට ස්ත්‍රියක් මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා: “සහෝදරයා, ඔයාට මාව මතකද? ඕගොල්ලෝ සාක්ෂි දරන්න අපේ ගමට ආවහම විරුද්ධකාරයන්ගෙන් ඕගොල්ලන්ව ආරක්ෂා කළේ මමයි.” ඇය ජර්මනියේ පදිංචියට ගොස් තිබුණ අතර, එහිදී බයිබලය ඉගෙනගෙන, යෙහෝවාගේ සෙනඟව ඇසුරු කර තිබුණා. මේ වෙනකොට, ඇගේ මුළු පවුලම සත්‍යයෙහි සිටියා.
ඇත්තවශයෙන්ම, මේ අවුරුදු ගණන තුළදී, අපි “සාක්ෂිපත්‍ර” බොහෝමයකින් ආශීර්වාද ලබාගෙන තිබෙනවා. (2 කොරින්ති 3:1) අපෙන් බයිබල් සත්‍යය ඉගෙනගත් අයගෙන් කීපදෙනෙක් දැන් වැඩිමහල්ලන්, උපස්ථා සේවකයන් හා පුරෝගාමීන් හැටියට සේවය කරනවා. මම සේවය කළ චාරිකාවල 1960 ගණන්වල මුල් කාලයේදී සිටි ප්‍රචාරකයන් අතළොස්සෙන් යෙහෝවාගේ නමස්කාරකයන් 10,000කට වඩා වැඩි වෙලා සිටිනවා දැකීම මොනතරම් සතුටක්ද! තමන්ට රිසි පරිදි අපිව යොදාගන්න අපේ ප්‍රේමනීය-කරුණාව දක්වන දෙවිට සියලු ගෞරවය හිමි වෙනවා.
“ගිලන්ව ඔත් යහනේදී”
අපි සංචාරක සේවයේ යෙදුණු කාලය පුරා, සැමවිටම ප්‍රීතිමත් ආකල්පයක් ඇතුව මාර්තා විශිෂ්ට සහකාරියක් බව ඔප්පු කළා. කොහොමනමුත්, 1976 ඔක්තෝබර්වලදී, ඇය හුඟක් අසනීප වෙලා වේදනාකාරි ශල්‍යකර්මයකට භාජනය වුණා. ශරීරයේ පහළ කොටස හා කකුල් පණ නැති වෙලා ඇයට රෝද පුටුවෙන් යන්න සිද්ධ වුණා. වියදම හා චිත්තවේගීය පීඩාවට අපි මුහුණ දෙන්නේ කොහොමද? නැවත වරක් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපි ඔහුගේ ප්‍රේමනීය හා ත්‍යාගශීලී හස්තය අද්දැක්කා. මකිදෝනියෙහි සේවය කරන්න මම පිටත් වෙලා යද්දී මාර්තා ශාරීරික චිකිත්සාව සඳහා ඇතන්ස්හි සහෝදරයෙකුගේ නිවසේ නැවතුණා. ඇය මට දිරිගන්වන වචනවලින් දුරකථනයෙන් කතා කළා: “මම හොඳින් ඉන්නවා. ඔයා හොඳින් සේවය කරගෙන යන්න; මට ආපහු එහෙ මෙහෙ යන්න පුළුවන් වුණහම මම මගේ රෝද පුටුවෙන් ඔයත් එක්ක එන්නම්.” ඇත්තෙන්ම ඇය කළෙත් ඒ දෙයමයි. බෙතෙල්හි සිටින අපේ ප්‍රේමනීය සහෝදරයන් අපිට දිරිගන්වන ලිපි බොහෝමයක් එව්වා. ගීතාවලිය 41:3හි වචන මාර්තාට නිතර නිතර මතක් වුණා: ‘යෙහෝවා ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලන්නේය. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස් කරන්නේය.’
මේ බරපතළ සෞඛ්‍ය ගැටලු නිසා, මගේ ආදරණීය දුව ජීවත් වන කාවාලාහි විශේෂ පුරෝගාමියෙකු හැටියට සේවය කිරීම යෝග්‍යයි කියලා 1986දී මම තීරණය කළා; මම ඇගේ නිවස කිට්ටුවයි ජීවත් වෙන්නේ. ගිය මාර්තුවලදී මගේ ආදරණීය මාර්තා මියගියා; මියයන තෙක්ම ඈ ඇදහිලිවන්තව හිටියා. ඇය මියයන්න පෙර සහෝදරයන් “ඔයාගේ සැප සනීප කොහොමද?” කියා අසන විට, සාමාන්‍යයෙන් ඇය මෙහෙම පිළිතුරු දුන්නා: “මම යෙහෝවාට කිට්ටු නිසා මම හොඳින් ඉන්නවා!” අපි රැස්වීම්වලට සූදානම් වුණ අවස්ථාවෙත් එහෙමත් නැත්නම් බහුල අස්වැන්නක් තිබෙන ප්‍රදේශවල සේවය කිරීමට පෙලඹීමක් ඇති වෙන ආරාධනාවන් ලැබුණ විටත්, මාර්තා මෙහෙම කිව්වා: “යානිස්, අවශ්‍යතාව වැඩි තැනකට ගිහින් අපි සේවය කරමු.” ඇගේ ජ්වලිත ස්වභාවය කවදාවත් නැති කරගත්තේ නැහැ.
අවුරුදු කීපයකට කලින්, මටත් බරපතළ සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. වර්ෂ 1994 මාර්තුවලදී, මට ජීවිත තර්ජන හෘද රෝගයක් තිබෙන බවට නිර්ණය කළ අතර ශල්‍යකර්මයක් කළ යුතුව තිබුණා. ආපහු සැරයක්, යෙහෝවාගේ ප්‍රේමනීය හස්තය මට දරුණු කාලපරිච්ඡේදයකදී උපකාර කරනවා දැනුණා. මම දැඩි සත්කාර ඒකකයෙන් පිට වෙලා යද්දී මගේ ළඟ ඉඳගෙන චාරිකා අවේක්ෂක ඉදිරිපත් කළ යාච්ඤාවත්, මං හිටිය රෝහල් කාමරයේදී සත්‍යයට යම් උනන්දුවක් දැක්වුව ලෙඩ්ඩු හතරදෙනෙක් එක්ක එතනදීම යේසුස්ගේ මරණය සිහි කිරීම පැවැත්වූ ආකාරයත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
යෙහෝවා අපේ උපකාරකයා වී
කාලය ඉගිලී යනවා; අපේ මාංසය දුර්වල වෙනවා; නමුත් පාඩම් කිරීමෙන් හා සේවයෙන් අපේ ස්වභාවය අලුත් වෙනවා. (2 කොරින්ති 4:16) ‘මෙන්න මම මෙහිය, මා යවන්න’ කියා පැවසූ දා සිට දැන් වසර 39ක් ගෙවී ගොස් තිබෙනවා. එය පූර්ණ, සන්තෝෂවත්, විපාකදායී ජීවිතයක්. ඔව්, සමහර අවස්ථාවලදී මට හැඟෙනවා ‘මම දුප්පත්, දිළින්දෙක්’ කියලා; නමුත් මට විශ්වාසයෙන් යුතුව යෙහෝවාට මෙසේ පැවසිය හැකියි: ‘ඔබ මාගේ උපකාරකාරයාය, මාගේ මිදුම්කාරයාය.’ (ගීතාවලිය 40:17) ඇත්තෙන්ම ඔහු මට ප්‍රේමනීය-කරුණාව දක්වා තිබෙන දෙවි කෙනෙක්.
[25වන පිටුවේ පින්තූරය]
1956දී මාර්තා එක්ක
[26වන පිටුවේ පින්තූරය]
කාවාලාහි වරාය
[26වන පිටුවේ පින්තූරය]
1997දී මාර්තා එක්ක