ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 11/15 13-18 පි.
  • ඔබේ උදාර මැවුම්කරුව සිහි කරන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ උදාර මැවුම්කරුව සිහි කරන්න!
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අතීතයෙන් කදිම ආදර්ශ
  • යෙහෝවාව සිහි කරන්න දැන්!
  • මහලු වියේ බලපෑම්
  • සිහි කරන අය සඳහා තිබෙන්නේ කෙබඳු අනාගතයක්ද?
  • ඔබේ ජීවිතයෙන් උපරිමය නෙළාගන්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දෙවිට ඔබේ සම්පූර්ණ යුතුකම ඉටු කරමින් සිටිනවාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න”
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දුෂ්කර දවස් පැමිණෙන්න කලින් දෙවිව සිහි කරන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 11/15 13-18 පි.

ඔබේ උදාර මැවුම්කරුව සිහි කරන්න!

“විපත්ති දවස් පැමිණීම ආරම්භ වීමට කලින් . . . ඔබේ උදාර මැවුම්කරුව දැන් සිහි කරන්න.”—දේශනාකාරයා 12:1, NW.

1. දෙවිට කැප වී සිටින යෞවනයන්ට තමන්ගේ යෞවන කාලය හා ශක්තිය යෙදවීමට වුවමනාවක් තිබිය යුත්තේ කුමන ආකාරයටද?

යෙහෝවා ඔහුගේ සේවකයන්ට ඔහුගේ කැමැත්ත කිරීමට අවශ්‍ය ශක්තිය සපයනවා. (යෙසායා 40:28-31) ඔවුන් කුමන වයස් මට්ටමක පසු වුණත් මෙය සැබෑවක් වෙනවා. විශේෂයෙන්ම දෙවිට කැප වී සිටින යෞවනයන්ට තමන්ගේ යෞවන කාලය හා ශක්තිය නැණවත් ලෙස යොදවන්න වුවමනාවක් තිබිය යුතුයි. එනිසා, ඔවුන් “දේශනාකාරයාගේ” එනම් පුරාණ ඉශ්‍රායෙලයේ විසූ සාලමොන් රජුගේ උපදේශය හෘදයට ගන්නවා. ඔහු මහත් ඕනෑකමින් මෙසේ ඉල්ලා සිටියා: “විපත්ති දවස් පැමිණීම ආරම්භ වීමට කලින් හෝ ඒවා මට ප්‍රිය නැත කියා ඔබ පවසන්න යන අවුරුදු පැමිණෙන්න කලින්, ඔබේ යෞවන දවස්වලදී ඔබේ උදාර මැවුම්කරුව දැන් සිහි කරන්න.”—දේශනාකාරයා 1:1; 12:1, NW.

2. කැප වී සිටින ක්‍රිස්තියානීන්ගේ දරුවන් කළ යුත්තේ කුමක්ද?

2 යෞවන වයසේදී උදාර මැවුම්කරුව සිහි කිරීම සම්බන්ධයෙන් සාලමොන්ගේ උපදේශය මුලින්ම ලබා දුන්නේ ඉශ්‍රායෙලයේ විසූ තරුණ තරුණියන්ටයි. ඔවුන් ඉපද සිටියේ යෙහෝවාට කැප වූ ජාතියකටයි. අද සිටින කැප වූ ක්‍රිස්තියානීන්ගේ දරුවන් ගැන කියන්න පුළුවන් මොනවාද? නිසැකවම, ඔවුන්ද තමන්ගේ උදාර මැවුම්කරුව සිහි කළ යුතුයි. ඔවුන් මෙය කරනවා නම්, මැවුම්කරුව ගෞරවයට පත් කරන්න යන අතර, ඔවුන්ද ප්‍රයෝජන ලබන්න යනවා.—යෙසායා 48:17, 18.

අතීතයෙන් කදිම ආදර්ශ

3. යෝසෙප්, සාමුවෙල් සහ දාවිත් තැබුවේ කිනම් ආදර්ශද?

3 තමන්ගේ උදාර මැවුම්කරුව සිහි කළ යෞවනයන් බොහෝදෙනෙකුගේ කදිම ආදර්ශ ගැන බයිබල් වාර්තාවේ කියවීමට තිබෙනවා. කුඩා කාලයේ සිටම යාකොබ්ගේ පුත් යෝසෙප් තම මැවුම්කරුව සිහි කළා. පෝතිඵර්ගේ භාර්යාව ඇය සමඟ ලිංගික දුරාචාරයේ හවුල් වීමට යෝසෙප්ව පොලඹවාගැනීමට වෑයම් කළ විට, ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසුවා: “මම මේ මහත් දුෂ්ටකම කර [දෙවිට] විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද”? (උත්පත්ති 39:9) ලෙවීවරයෙක් වූ සාමුවෙල් ඔහුගේ ළමා කාලයේදී පමණක් නොව, මුළු ජීවිත කාලය පුරාම ඔහුගේ මැවුම්කරුව සිහි කළා. (1 සාමුවෙල් 1:22-28; 2:18; 3:1-5) බෙත්ලෙහෙමේ විසූ තරුණ දාවිත් නිසැකවම ඔහුගේ මැවුම්කරුව සිහි කළා. ඔහු පිලිස්තීය යෝධ ගොලියත්ගේ අභියෝගයට මුහුණ දෙමින්, මෙසේ ප්‍රකාශ කරද්දී, දෙවි කෙරෙහි වූ ඔහුගේ දැඩි විශ්වාසය පැහැදිලි වුණා: “තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල [යෙහෝවාගේ] නාමයෙන් තා ළඟට එමි. අද දවසේ [යෙහෝවා] තා මා අතට [පාවා දෙන්නේය]; මම තට ගසා, තාගේ හිස [කපා දමන්නෙමි]. . . . මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත. [යෙහෝවා] කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුද්ධය [යෙහෝවාගේය, ඔහුද] නුඹලා අප අතට [පාවා දෙන්නේය].” වැඩි වේලාවක් යන්න කලින් ගොලියත් මරණයට පත් වුණා; පිලිස්තිවරුන් පලා ගියා.—1 සාමුවෙල් 17:45-51.

4. (අ) සිරියාවේ වහල්භාවයේ සිටි ඉශ්‍රායෙල් ජාතික ගැහැනු ළමයා හා තරුණ යොෂියා රජ අපේ උදාර මැවුම්කරුව සිහි කළ බව පෙනෙන්නේ කුමකින්ද? (ආ) තම මැවුම්කරුව තමන් සිහි කළ බව වයස අවුරුදු 12 පසු වූ යේසුස් පෙන්නුවේ කෙසේද?

4 ඉශ්‍රායෙල් ජාතික වහල් ගැහැනු ළමයා, තම උදාර මැවුම්කරුව සිහිපත් කළ තවත් යෞවන කෙනෙකි. ඇය සිරියානු හමුදා ප්‍රධානියා වූ නාමන්ගේ භාර්යාවට මොනතරම් කදිම සාක්ෂියක් දැරුවාද කියනවා නම්, ඔහු දෙවිගේ අනාගතවක්තෘ වෙත ගොස් ලාදුරු රෝගයෙන් සුවය ලබා, යෙහෝවාගේ නමස්කාරකයෙක් වුණා. (2 රාජාවලිය 5:1-19) යොවුන් වියේ පසු වූ යොෂියා රජ යෙහෝවාගේ නිර්මල නමස්කාරය නඟාසිටුවීමට නිර්භීතව කටයුතු කළා. (2 රාජාවලිය 22:1–23:25) නමුත් ළාබාල වයසක සිට තමාගේ උදාර මැවුම්කරුව සිහිපත් කිරීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය සපයන්නේ නාසරෙත්හි විසූ යේසුස්. ඔහුට වයස අවුරුදු 12දී සිදු වූ දෙය සලකා බලන්න. ඔහුගේ දෙමාපියන් ඔහුව යෙරුසලමේ පවත්වන පාස්කු උත්සවයට ගෙන ගියා. ඔවුන් ආපසු එන ගමනේදී යේසුස් ඔවුන් අතර නොසිටි බව ඔවුන් දැක්කා; එනිසා ඔහුව සෙවීමට ඔවුන් ආපසු හැරී ගියා. තුන්වන දවසේදී ඔවුන් ඔහුව සොයාගනිද්දී, ඔහු දේවමාළිගාවේ ගුරුවරුන් සමඟ ශුද්ධ ලියවිලිමය ප්‍රශ්න සාකච්ඡා කරමින් සිටියා. කලබලයට පත්ව සිටි ඔහුගේ මව කළ විමසීමකට උත්තර දෙමින් යේසුස් මෙසේ ඇසුවා: “නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ [පියාගේ] ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්ද”? (ලූක් 2:49) ‘ඔහුගේ පියාගේ ගෘහය’ වූ දේවමාළිගාවට ගොස් ආත්මික වටිනාකමකින් යුත් තොරතුරු ලබාගැනීමෙන් යේසුස් ප්‍රයෝජන ලැබුවා. අදදින, අපේ උදාර මැවුම්කරු ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තිබෙන කදිම ස්ථානයකි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව.

යෙහෝවාව සිහි කරන්න දැන්!

5. දේශනාකාරයා 12:1හි වාර්තා වී තිබෙන ආකාරයට දේශනාකාරයා පැවසූ දෙය ඔබගේම වචනවලින් ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

5 පූර්ණ හෘදයෙන් යෙහෝවාට නමස්කාර කරන කෙනෙකුගේ ආශාව වන්නේ, හැකි විගස ඔහුට සේවය කිරීම ආරම්භ කර, තමන්ගේ ජීවිතය තිබෙන තාක් කල් දෙවිට සේවය කිරීමයි. කොහොමවුණත්, මැවුම්කරුව සිහිපත් නොකිරීම නිසා තමන්ගේ යෞවන කාලය නිෂ්ඵල වී යෑමට ඉඩහරින කෙනෙකුට අපේක්ෂා කරන්න පුළුවන් මොනවාද? දේවානුභාවය යටතේ දේශනාකාරයා මෙසේ පවසනවා: “විපත්ති දවස් පැමිණීම ආරම්භ වීමට කලින් හෝ ඒවා මට ප්‍රිය නැත කියා ඔබ පවසන්න යන අවුරුදු පැමිණෙන්න කලින්, ඔබේ යෞවන දවස්වලදී ඔබේ උදාර මැවුම්කරුව දැන් සිහි කරන්න.”—දේශනාකාරයා 12:1.

6. මහලු වියේ පසු වූ සිමියොන් සහ ආනා තමන්ගේ උදාර මැවුම්කරුව සිහි කළ බවට තිබෙන සාක්ෂි මොනවාද?

6 මහලු වියේදී අද්දකින ‘විපත්ති දවස්වලට’ කිසි කෙනෙක් ප්‍රිය නැහැ. ඒ වුණත්, දෙවිව දිගටම සිහි කරන වයසක අය සිටින්නේ සන්තෝෂයෙනුයි. උදාහරණයක් හැටියට මහලු වියේ පසු වූ සිමියොන් දේවමාළිගාවේදී ළදරු යේසුස්ව තමාගේ දෑතින් ගෙන, ප්‍රීතියෙන් මෙසේ පැවසුවා: “[ස්වාමීනි], දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට [හරින්නේය]; මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනගගේ තේජසදවූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ ගැළවීම මාගේ ඇස්වලින් දුටිමි.” (ලූක් 2:25-32) අසූහතර හැවිරිදි ආනාද ඇගේ මැවුම්කරුව සිහි කළා. ඈ නිතරම දේවමාළිගාවේ රැඳී සිටි අතර, ළදරු යේසුව ගෙනෙද්දී ඇය එහි සිටියා. “ඈද ඒ පැයෙහිම ඇවිත් [දෙවිට] ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට [ඔහු] ගැන කථාකළා.”—ලූක් 2:36-38.

7. දෙවිට දිගු කලක් සේවය කරමින් දැන් මහලු වියේ සිටින අයගේ තත්වය ගැන කියන්න පුළුවන් මොනවාද?

7 දිගු කාලයක් පුරා දෙවිට සේවය කරමින් දැන් මහලු වියේ පසු වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහලු වියේදී අද්දකින වේදනා හා සීමාවලට මුහුණ දෙනවා විය හැකියි. ඒ වුණත්, ඔවුන් සිටින්නේ මොනතරම් සන්තෝෂයකින්ද! අපි ඔවුන්ගේ ඇදහිලිවන්ත සේවය මොනතරම් අගය කරනවාද! යෙහෝවා කිසිවෙකුට බිඳ හෙළිය නොහැකි ඔහුගේ බලය මේ පොළොව කෙරෙහි පතුරුවන්න පටන්ගෙන තිබෙන බවත්, බලසම්පන්න ස්වර්ගීය රජ හැටියට යේසුස් ක්‍රිස්තුස්ව පත් කර තිබෙන බවත් ඔවුන් දැන සිටින නිසා, ඔවුන් ‘යෙහෝවා කෙරෙහි ප්‍රීති වෙනවා.’ (නෙහෙමියා 8:10) තරුණ මහලු හැමකෙනාම මෙම ආයාචනයට සවන් දීමට කාලය දැන්: “තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට [යෙහෝවාට] ප්‍රශංසාකරව්. මොව්හු [යෙහෝවාගේ] නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද [ඔහුගේ] නාමය පමණක් උසස්ය. [ඔහුගේ] මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.”—ගීතාවලිය 148:12, 13.

8, 9. (අ) “විපත්ති දවස්” විපාකදායී නොවන්නේ කාටද? ඔවුන් එවන් තත්වයක් අද්දකින්නේ මන්ද? (ආ) දේශනාකාරයා 12:2 ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

8 තමන්ගේ උදාර මැවුම්කරු ගැන කොහොමටවත් සිතන්නේ නැති අයටත්, ඔහුගේ තේජාන්විත අරමුණු ගැන කිසිම අවබෝධයක් නැති අයටත් ඔවුන්ගේ මහලු වියේ “විපත්ති දවස්” තෘප්තියක් නොමැති, ඇතැම්විට කලකිරුණු හැඟීම්වලින් යුත් කාලයක් විය හැකියි. මහලු වියේ අද්දකින කරදර හා සාතන්ව ස්වර්ගයෙන් පහ කර දැමූ දා සිට මිනිසුන් මුහුණ දෙන දුක සමනය කරගැනීමට ඉවහල් වන ආත්මික කාරණා පිළිබඳ අවබෝධයක් ඔවුන්ට නැහැ. (එළිදරව් 12:7-12) ඒ නිසා, ‘ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරු වීමට හා වැස්සට පසුව වලාකුළු හැරී ඒමට කලින්’ අපේ මැවුම්කරුව සිහි කරන්න කියා දේශනාකරු අපිව උනන්දු කරනවා. (දේශනාකාරයා 12:2) මේ වචනවලින් කියාපාන්නේ මොනවාද?

9 සාලමොන් යෞවන කාලය පලස්තීනයේ පවතින ගිම්හාන කාලයට සමාන කර දක්වනවා. මේ කාලයේදී වලාකුළුවලින් තොර අහසේ පායා තිබෙන හිරු, සඳු හා තරු ආලෝකය විහිදුවනවා. මෙවන් අවස්ථාවක දේවල් දීප්තියෙන් බැබළෙනවා. ඒ වුණත්, මහලු වියේ පසු වන පුද්ගලයෙකුගේ දවස් ශීතල හා වැසි සහිත ශීත කාලයට සමානයි. මේ කාලයේදී එක දිගට කරදර ඇද හැලෙනවා. (යෝබ් 14:1) යෞවන කාලයේදී මැවුම්කරුව දැනගෙන ඔහුට සේවය කරන්න අසමත් වීම මොනතරම් කනගාටුදායක දෙයක්ද! ජීවිතයේ සැඳෑ සමයේදී, විශේෂයෙන්ම නිෂ්ඵල දේවල් ලුහුබැඳීම නිසා තමන්ගේ යෞවන කාලයේදී යෙහෝවාට සේවය කරන්න තිබුණු අවස්ථාවලින් ප්‍රයෝජන නොගත් අය අද්දකින්නේ අඳුරු කාලයක්. අපි මොන වයස් මට්ටමක සිටියත්, අනාගතවක්තෘ මෝසෙස්ගේ පක්ෂපාත ආශ්‍රිතයෙකු වූ ඇදහිලිවන්ත කාලෙබ් කළා වගේ ‘සම්පූර්ණ ලෙස යෙහෝවා අනුව’ යමු.—යෝෂුවා 14:6-9.

මහලු වියේ බලපෑම්

10. (අ) “ගෙයි රැකවල්ලු” (ආ) “බලවන්තයෝ” යන අයගෙන් නියෝජනය කෙරෙන්නේ මොනවාද?

10 ඊළඟට සාලමොන් දුෂ්කර කාලවල් ගැන මෙසේ සඳහන් කරනවා: “ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය.” (දේශනාකාරයා 12:3) ‘ගෙයින්’ අඟවන්නේ මිනිස් සිරුරයි. (මතෙව් 12:43-45; 2 කොරින්ති 5:1-8) එහි “රැකවල්ලු” වන්නේ, සිරුර ආරක්ෂා කරමින් එයට අවශ්‍ය දේවල් සපයන දෑත්ය. බොහෝවිට මහලු වියේදී දෑත් වෙවුලයි; පණ නැති ගතියක් දැනෙයි. “බලවන්තයෝ” වන දෙපා තවදුරටත් ශක්තිමත් කණු මෙන් නොව නැමී දුර්වල වේ; අඩියක් දෙකක් ගමන් කරනෙත් පා අද්ද අද්දාය. ඒ වුණත්, අපේ සෙසු වයසක ඇදහිලිවන්තයන් ක්‍රිස්තියානි රැස්වීම්වලට ඇවිත් සිටිනවා දැකීමෙන් ඔබ සතුටට පත් වන්නේ නැද්ද?

11. උපමාලංකාර භාෂාවෙන් කතා කරද්දී, “අඹරන්නෝ” සහ “කවුළුවලින් බලන්නෝ” කවුද?

11 “අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය.” ඒ කොහොමද? දත් නරක් වී හෝ වැටී තිබෙන්න පුළුවන්. ඝන ආහාර ඇඹරීම අමාරුයි; නැත්නම් කොහොමටවත් හපන්න බැහැ. “කවුළුවලින් බලන්නෝ” වන අපේ මානසික ඉන්ද්‍රීය ශක්තිය හා සම්බන්ධ ඇස්වල පෙනීම අඩුයි; නැත්නම් කොහොමටවත් පේන්නේ නැහැ.

12. (අ) ‘වීදියේ දොරවල් වසා තිබෙන්නේ’ කෙසේද? (ආ) මහලු වියේ සිටින රාජ්‍ය ප්‍රචාරකයන් ගැන ඔබ සිතන්නේ කුමක්ද?

12 දේශනාකරු තවදුරටත් මෙසේ පවසනවා: “වීදියේ දොරවල් වසනු ලබන්නේය, ඇඹරීමේ ශබ්දය බාලවන්නේය, ඔහු කුරුල්ලාගේ හඬට නැගිටින්නේය, ගීතිකා කියන සෑම දූවරුද බෙලහීනවන්නෝය.” (දේශනාකාරයා 12:4) මුඛයේ දොරවල් දෙක වන තොල්වලට, විශේෂයෙන්ම දෙවිට සේවය නොකරන මහලු වියේ පසු වන අයට තවදුරටත් ‘ගෙයි’ එනම් සිරුර ඇතුළේ තිබෙන අදහස් ප්‍රකාශ කිරීමට තරම්වත් විවෘත වෙන්න බැහැ. ප්‍රසිද්ධ ජීවිතය නමැති ‘වීදියෙන්’ කිසිවක් නික්මෙන්නේ නැහැ. ඒ වුණත්, ජ්වලිතව රාජ්‍ය ප්‍රචාරය කරන මහලු වියේ පසු වන අය ගැන කියන්න පුළුවන් මොනවාද? (යෝබ් 41:14) ඔවුන් ගෙයින් ගෙට ඇවිදින්නේ සෙමින් වුවත්, සමහරුන් කතා කරන්නේ අමාරුවෙන් වුණත්, ඔවුන් යෙහෝවාව ඇත්තෙන්ම ප්‍රශංසාවට ලක් කරනවා!—ගීතාවලිය 113:1.

13. දේශනාකරු මහලු වියේ වෙනත් ගැටලු විස්තර කරන්නේ කෙසේද? නමුත් මහලු වියේ සිටින ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් පවතින සැබෑව කුමක්ද?

13 දත් නැති වීදුරු මස්වලින් ආහාර විකන විට, ඇඹරුම්හළින් නිකුත් වන ශබ්දය බාලයි. වයසක කෙනෙකු බාධාවලින් තොර සුව නින්දක් ලබන්නේ නැහැ. කුඩා කුරුල්ලෙකුගේ හඬට පවා ඔහු ඇහැරෙනවා. ඔහුගේ ගී ගැයීමේ හැකියාව දුර්වලයි; හඬේ මධුරතාව පහ වී ගිහින්. “ගීතිකා කියන සෑම දූවරු” වන මධුර ස්වර ‘බෙලහීනයි.’ වෙනත් අය රචනා කර තිබෙන සංගීතයට හා ගීතවලට සවන් දීමේ හැකියාවද දුර්වලයි. කොහොමවුණත්, ක්‍රිස්තියානි රැස්වීම්වලදී දෙවිට ප්‍රශංසා කරන ගී ගැයීමේදී, මහලු වියේ පසු වන ආලේප ලත් අය හා එතරම්ම තරුණ වයසක නොසිටින ඔවුන්ගේ සහායකයන් ඔවුන්ගේ හඬ දිගටම එක් කරමින් සිටිනවා. සභාවේදී යෙහෝවාව මහිමයට පත් කරන මේ අය අප සමඟ සිටීම ගැන අපි මොනතරම් සතුටු වෙනවාද!—ගීතාවලිය 149:1.

14. මහලු අයව බියපත් කරන්නේ කුමන දේවල්ද?

14 වයසක අය බොහෝදෙනෙකුට, විශේෂයෙන් මැවුම්කරුව නොසලකා හැර තිබෙන අයට අත් වන විපාකය මොනතරම් කනගාටුදායකද! දේශනාකරු මෙසේ පවසනවා: “ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය, කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය [පළඟැටියා මෙන් ගාටමින් යන්නේය, නව අනුවාදය], ආශාව පහවන්නේය [කේප බෙරි පිපිරී යන්නේය, NW]. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.” (දේශනාකාරයා 12:5) උස් පඩිපෙළක මුදුනේ සිටින විට, වයසක අය බොහෝදෙනෙකුට තමන් වැටෙයිදෝ කියා බියක් දැනෙනවා. ඉතා උස් යමක් දකිද්දී පවා ඔවුන්ට කැරකැවිල්ල වගේ දැනෙනවා. සෙනඟ පිරී සිටින වීදියකට යන්න සිදු වූ විට, තමන්ට යම් හිරිහැරයක් වෙයිදෝ කියා හෝ සොර සතුරන්ට අසු වෙයිදෝ කියා බියක් දැනෙනවා.

15. “කොට්ටම්බා ගස මල්ගන්නේ” කෙසේද? පළඟැටියා ‘ගාටන්නේ’ කෙසේද?

15 වයසක කෙනෙකු සම්බන්ධයෙන් ගත් කල, “කොට්ටම්බා ගස මල්ගන්නේය” යන්නෙන් පෙනෙන විදිහට අඟවන්නේ, හිසකෙස් පැසී පසුව සුදු පැහැගැන්වීමයි. සුදු පැහැති හිසකෙස් වැටෙන්නේ හරියට කොට්ටම්බා ගසේ සුදු පැහැති මල් වැටෙනවා වගෙයි. ඔහු ‘ගාටමින් යන’ විට, ඇතැම් අවස්ථාවල ඔහු අත් දෙක පහතට වැටෙන සේ කොන්ද නමාගෙන නැත්නම් වැලමිට නැමෙන සේ අත් දෙක උකුල මත තබාගෙන යන විට, ඔහු හරියට පළඟැටියෙක් වගෙයි. බාහිර පෙනුමෙන් අපගෙන් කවුරු හරි කෙනෙක් තුළ එවන් පෙනුමක් බලා සිටින අය දැක්කත්, අපි යෙහෝවාගේ ශක්තිමත් හා වේගවත් පළඟැටි හමුදාවට අයත් බව අපේ ක්‍රියාවෙන් පෙන්වමු.—1998 මැයි 1 මුරටැඹහි 8-13 පිටු බලන්න.

16. (අ) ‘කේප බෙරි පිපිරී යෑමෙන්’ අඟවන්නේ කුමක්ද? (ආ) මිනිසාගේ ‘සදාකාල ගෙය’ කුමක්ද? මරණයට ළඟාවීමේදී දක්නට තිබෙන්නේ කිනම් ලකුණුද?

16 කේප බෙරි තරම් රසවත් ආහාරයක් වයසක කෙනෙකු ඉදිරියෙහි තිබුණත්, ඒවා අනුභව කිරීමට තරම් රුචියක් ඔහු තුළ හටගන්නේ නැහැ. මෙම බෙරි වර්ගය ආහාර සඳහා රුචියක් ඇති කිරීමට බොහෝ කලක් තිස්සේ භාවිත කර තිබෙනවා. ‘කේප බෙරි පිපිරීමෙන්’ අදහස් කරන්නේ, වයසක කෙනෙකුගේ ආහාර රුචිය නැති වී යද්දී, ආහාර සඳහා ඔහු තුළ රුචියක් ඇති කරන්න මේ පලතුරු වර්ගයට පවා බැරි බවයි. මෙවැනි දේවලින් ඇඟවෙන්නේ, ඔහු “තමාගේ සදාකාල ගෙට,” එනම් මිනීවළට ළඟා වෙමින් සිටින බවයි. තමන්ගේ මැවුම්කරුව සිහිපත් කරන්න ඔහු අසමත් වී, දෙවි නැවත නැඟිටීම මගින් ඔහුව සිහිපත් නොකිරීමට තරම් දුෂ්ට ක්‍රියාමාර්ගයක් ඔහු ලුහුබැඳ තිබෙනවා නම්, එය ඔහුගේ සාදාකාලික ගෙය වේවි. මහලු මිනිසාගේ මුවේ තිබෙන දොරවලින් නික්මෙන විලාප හඬ හා දුක්ගැනවිලි සහිත කෙඳිරිගෑම් ඔහු මරණයට ළඟා වෙමින් සිටින බවට පැහැදිලි ලකුණු වෙනවා.

17. “රිදී ලනුව” ලිහෙන්නේ කෙසේද? ‘රන් භාජනයෙන්’ නියෝජනය විය හැක්කේ කුමක්ද?

17 “රිදී ලනුව ලිහී රන් භාජනය පොඩිවෙන්ටත්, උල්පතේදී කළය බිඳෙන්ටත්, ළිඳේ චක්‍රය කැඩෙන්ටත් . . . පළමුවෙන්” අපේ මැවුම්කරුව සිහි කරන්න කියා අපිව උනන්දු කරනවා. (දේශනාකාරයා 12:6, 7ආ) “රිදී ලනුව” කොන්දේ පිහිටි සුෂුම්නාව විය හැකියි. මොළයට තොරතුරු ගෙන යන මෙම මවිතකර ගමන් මඟ සුව කළ නොහැකි ලෙස හානියට පත් වූ විට මරණය නියතයි. ‘රන් භාජනයෙන්’ ඇඟවිය හැක්කේ, සුෂුම්නාව සම්බන්ධ වී තිබෙන භාජනයක් වැනි කපාලයේ නොහොත් හිස් කබලේ තැන්පත් වී තිබෙන මොළයයි. රන්වලට වඩා වටිනා මොළය ක්‍රියා විරහිත වීමේ ප්‍රතිඵලය මරණයයි.

18. ‘උල්පතේදී කළයට’ සමාන වන්නේ කුමක්ද? එය බිඳෙද්දී සිදු වන්නේ කුමක්ද?

18 ‘උල්පතේ කළය’ වන්නේ හෘදයයි. හෘදය මගින් රුධිරය ලබාගෙන, එය නැවත සිරුර පුරා බෙදාහරිනවා. මරණයේදී සිදු වන්නේ හෘදය බිඳුණු කළයකට සමාන වීමයි; තවදුරටත් සිරුරේ ක්‍රියාකාරිත්වය ප්‍රාණවත්ව තබාගන්න අවශ්‍ය ජීව පදාර්ථය වන රුධිරය ලබාගෙන සිරුර පුරා පොම්ප කිරීමට එයට නොහැකි නිසා උල්පත බිඳී යයි. ජීවිතය රඳා පවතින රුධිර සංසරණය නතර කරමින් ‘ළිඳේ චක්‍රය කැඩෙයි.’ මෙසේ යෙහෝවා රුධිර සංසරණය ගැන සාලමොන්ට හෙළි කළේ, 17වන සියවසේ විසූ වෛද්‍ය විලියම් හාවි රුධිරය සංසරණය ගැන පැහැදිලි කරන්නත් කලිනුයි.

19. දේශනාකාරයා 12:7හි සඳහන් වචන මරණයේදී අදාළ වන්නේ කෙසේද?

19 දේශනාකරු තවදුරටත් මෙසේ පැවසුවා: ‘දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරී යන්නේය. ආත්මය ඒක දුන් දෙවි වෙතට හැරී යන්නේය.’ (දේශනාකාරයා 12:7) ‘ළිඳේ චක්‍රය කැඩීම’ නිසා, මුලින්ම භූමියේ දූවිල්ලෙන් සාදන ලද මිනිස් සිරුර ආපසු දූවිල්ලට හැරී යයි. (උත්පත්ති 2:7; 3:19) දෙවි විසින් දෙන ලද ආත්මය නොහොත් ජීව-බලය ආපසු අපේ මැවුම්කරු වෙතට යන නිසා ප්‍රාණය මිය යයි.—එසකියෙල් 18:4, 20; යාකොබ් 2:26.

සිහි කරන අය සඳහා තිබෙන්නේ කෙබඳු අනාගතයක්ද?

20. ගීතාවලිය 90:12හි සඳහන් වන පරිදි මෝසෙස් යාච්ඤාවෙන් ඉල්ලා සිටියේ කුමක්ද?

20 අපේ උදාර මැවුම්කරුව සිහි කිරීම මොනතරම් වැදගත්ද කියා හෘදයට හොඳින් කාවදින අයුරින් සාලමොන් පැහැදිලි කළා. යෙහෝවාව සිහි කරමින් මුළු හදින්ම ඔහුගේ කැමැත්ත කරන අයට තිබෙන්නේ, කරදරවලින් පිරි සාපේක්ෂ වශයෙන් කෙටි ජීවිතයක් නොවන බව ස්ථිරයි. ඔවුන් තරුණ වුණත්, මහලු වුණත් ඔවුන්ට තිබෙන්නේ මෝසෙස්ට තිබුණු ආකල්පයට සමාන ආකල්පයක්. ඔහු මෙසේ යාච්ඤා කළා: “ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.” දෙවිගේ මෙම නිහතමානි අනාගතවක්තෘවරයාගේ අවංක ආශාව වුණේ, ‘තමන්ගේ ජීවිතයේ අවුරුදුවල දවස්’ අගය කිරීමේදී ප්‍රඥාවන්තව කටයුතු කිරීමට හා දෙවි අනුමත කරන ආකාරයට ඒවා ගත කිරීමට තමාටත් ඉශ්‍රායෙල් සෙනඟටත් යෙහෝවා උගන්වනවා දකින්නයි.—ගීතාවලිය 90:10, 12.

21. යෙහෝවාව ගෞරවයට පත් කිරීම සඳහා අපේ දවස් ගණින්න නම්, අපි කළ යුත්තේ කුමක්ද?

21 මැවුම්කරුව සිහි කරන්න කියා දේශනාකරු දුන් උපදේශයට අවනත වීමට විශේෂයෙන්ම යෞවනයන් අදිටන් කරගත යුතුයි. දෙවිට පරිශුද්ධ සේවය පිරිනැමීම සඳහා ඔවුන් ඉදිරියෙහි තිබෙන්නේ මොනතරම් කදිම ප්‍රස්තාවන්ද! අපි මොන වයස් මට්ටමක සිටියත්, මේ ‘අන්තිම කාලයේදී’ යෙහෝවාව ගෞරවයට පත් කිරීම සඳහා අපේ දවස් ගණින්න අපි ඉගෙනගන්නවා නම්, ඒවා සදාකාලයට ගණින්න අපිට හැකි වේවි. (දානියෙල් 12:4; යොහන් 17:3) එසේ කිරීමට නම් අපේ උදාර මැවුම්කරුව සිහි කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. එමෙන්ම දෙවිට තිබෙන අපේ මුළු යුතුකමද අපි ඉටු කිරීම අවශ්‍යයි.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

◻ තමන්ගේ මැවුම්කරුව සිහිපත් කරන්න කියා යෞවනයන්ව උනන්දු කරන්නේ ඇයි?

◻ තමන්ගේ උදාර මැවුම්කරුව සිහිපත් කළ අය සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආදර්ශ සමහරක් නම් කරන්න.

◻ සාලමොන් විස්තර කළ පරිදි මහලු වියේ ඇතැම් බලපෑම් මොනවාද?

◻ යෙහෝවාව සිහි කරන අයට තිබෙන්නේ කෙබඳු අනාගතයක්ද?

[15වන පිටුවේ පින්තූර]

දාවිත්, ඉශ්‍රායෙල් ජාතික වහල් ගැහැනු ළමයා, ආනා සහ සිමියොන් යෙහෝවාව සිහිපත් කළා

[16වන පිටුවේ පින්තූර]

මහලු වියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටින් තමන්ගේ උදාර මැවුම්කරුට පරිශුද්ධ සේවය පිරිනමනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න