සිරිල් ලුකාරිස්—බයිබලය අගය කළ මිනිසෙක්
එය වර්ෂ 1638 ගිම්හානයේ දිනයකි. ඔටොමන් අධිරාජ්‍යයේ අගනගරය වන කොන්ස්ටන්ටිනෝපල් අසල (නවීන දින ඉස්තාන්බුල්) මාර්මරා මුහුදෙහි සිටි ධීවරයෝ රැල්ලට ගසාගෙන එන මළ සිරුරක් දුටූහ. අසලට ගොස් බැලූ විට, ගෙල සිර කොට මරා දමා ඇති එම පුද්ගලයා කවුරුද යන වග හඳුනාගැනීමට හැකි විය. ඒ අන් කිසිවෙකු නොව කොන්ස්ටන්ටිනෝපල්හි ඕතඩොක්ස් සභාවේ කුලදෙටු පදවිය දැරූ ප්රධානියාය. මෙය, 17වන සියවසේ සිටි සුප්‍රසිද්ධ ආගමික නායකයෙක් වූ සිරිල් ලුකාරිස්ගේ ජීවිතයේ ඛේදනීය අවසානයයි.
ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ල ඒ යුගයේ ව්‍යවහාරයේ පැවති ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීමට වූ ඔහුගේ සිහිනය ඔහුගේ ජීවිත කාලය තුළදී සැබෑ නොවීය. ඔහුගේ අනික් සිහිනය වූයේ ඕතඩොක්ස් සභාව “ක්රිස්තුගේ සරල ඉගැන්වීමට” හැරවීමය. එයද සැබෑ නොවීය. ඇත්තටම මෙම මිනිසා කවුද? ඔහුගේ අරමුණු ඉටු කරගැනීමට වෑයම් දරද්දී ඔහු මුහුණපෑ බාධා කවරේද?
අඩු අධ්‍යාපන මට්ටමේ ප්‍රතිඵල
සිරිල් ලුකාරිස් 1572දී වෙනිසියේ අණසක යටතේ පැවති ක්‍රීතයේ කන්ඩියාහි (නවීන දින ඉරාක්ලියොහි) උපත ලැබීය. මනා කුසලතා සතු වූ ඔහු ඉතාලියේ වෙනිසිය සහ ඉතාලියේ පාඩුවාහි අධ්‍යාපනය ලබා අවසන් වී ඉතාලිය පුරා සහ වෙනත් රටවල සංචාරය කළේය. මෙම සංචාරක ගමනේදී ඔහු කැල්වින්වාදය රජයන ජිනීවා නුවරට ගිය ගමනට යම් අරමුණක් තිබෙන්ට ඇත. සභාව තුළ තිබූ පක්ෂ භේදය ගැන කලකිරී සිටි ඔහු යුරෝපයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය කෙරෙහි උනන්දු විය.
පෝලන්තයේ සංචාරය කරන විට පූජකයන් සහ සාමාන්‍ය ජනතාව අතර කිසිදු වෙනසක් නැති බව ලුකාරිස්ට පැහැදිලිව දැකගන්ට හැකි විය. ඔවුන්ගේ ඉතා පහත් ආත්මික තත්වයට හේතුව ඔවුන්ගේ අඩු අධ්‍යාපන මට්ටම බව ඔහුට තේරුම්ගියේය. ආපසු ඇලෙක්සැන්ඩ්‍රියාවට සහ කොන්ස්ටන්ටිනෝපලයට පැමිණි විට සමහර පල්ලිවල දේශනා කුඩුව එනම් ශුද්ධ ලියවිල්ල කියවන ස්ථානය ඉවත් කර තිබීම ඔහුව කම්පනයට පත් කළේය.
වර්ෂ 1602දී, ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවට ගොස් ඔහුගේ ඥාතියෙකු වූ කුලදෙටු මිලිටියොස්ගේ පදවිය ලබාගත් අතර, ඉන්පසු යුරෝපයේ ප්රතිසංස්කරණයකට පක්ෂ ආකල්ප දැරූ දේවධර්මවාදීන් සමඟ ලිපි හුවමාරු කිරීම ආරම්භ කළේය. ඔහුගේ එක් ලිපියක ඕතඩොක්ස් සභාවේ වැරදි ක්‍රියා බොහොමයක් පෙන්නුම් කෙරිණ. වෙනත් ලිපි තුළ සභාවේ තිබූ මිථ්‍යා ඉගැන්වීම් වෙනුවට “ක්‍රිස්තුස්ගේ සරල ඉගැන්වීම” ඇතුළත් කිරීම සහ එකම අධිකාරය හැටියට ශුද්ධ ලියවිල්ල මත රඳා සිටීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන ලදි.
සභාවේ පියවරුන් හැටියට කටයුතු කළ අයගේ ආත්මික අධිකාරය, යේසුස් සහ ප්‍රේරිතයන් පැවසූ දේට සමාන වීම ලුකාරිස්ව තැතිගැන්වීය. ඔහු පැවසුවේ “මනුෂ්‍යයන්ගේ පරම්පරාගත චාරිත්‍ර හා ශුද්ධ ලියවිල්ල එක හා සමානව තිබෙනවායයි මනුෂ්‍යයන් කියනු ලැබීම ඇත්තෙන්ම මට දරාගත නොහැකි දෙයක්” කියාය. (මතෙව් 15:6) ඔහුගේ අදහසට අනුව, රූප නමස්කාරය මහත් ව්‍යසනකාරි දෙයක් මෙන්ම “සාන්තුවරයන්” යැදීම ඇත්තෙන්ම එකම මැදහත්කරු වන යේසුස්ට කරන නිග්රහයකි.—1 තිමෝති 2:5.
කුලදෙටු පදවිය වෙන්දේසි කිරීම
ඔහුගේ එවන් අදහස් සහ කතෝලික සභාව කෙරෙහි ඔහු පෙන්වූ බලවත් අකමැත්ත නිසා ජේසු නිකායිකයන් සහ කතෝලිකයන් සමඟ යළි එක්වීමට මනාපයක් දැක්වූ ඕතඩොක්ස් සභිකයන් ලුකාරිස්ට වෛර කරමින් ඔහුට පීඩා එල්ල කරන ලදි. කොතරම් විරුද්ධවාදිකම් තිබුණද ඔහුව නැවතත් 1620දී කොන්ස්ටන්ටිනෝපල්හි කුලදෙටු පදවියට පත් විය. ඕතඩොක්ස් සභාවේ කුලදෙටු පදවිය ඔටොමන් අධිරාජ්‍යයේ බලය යටතේ හොබවන ලදි. එමනිසා, ඕනෑම අවස්ථාවක යම් මුදලකට එම තනතුරින් කෙනෙකුව පහ කර තවත් කෙනෙකුට එය දීමට ඔටොමන් රජයට හැකියාවක් තිබිණ.
ලුකාරිස්ගේ ප්‍රධානම සතුරෝ වන ජේසු නිකායිකවරු සහ බලවත්ම හා භයානකම කණ්ඩායම වූ කොන්ග්රෙගාතියො දේ ප්රොපාගාන්දා ෆෙදේ (ඇදහිල්ල ප්‍රචාරණය කිරීමේ සංවිධානය) දිගින් දිගටම අපහාස කරමින් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණ දියත් කළහ. “ඔවුන්ගේ අරමුණ ඉටු කරගැනීමට ජේසු නිකායවරු සෑම ක්‍රමයකින්ම එනම් වංචාව, අසාධාරණ චෝදනා සහ සියල්ලටම වඩා [ඔටොමන් ආණ්ඩු] නිලධාරීන්ගේ සහාය ලබාගත හැකි හොඳම ක්‍රමය වශයෙන් අල්ලස් දූෂණයට හසු කරගැනීමට උත්සාහ කළෝය” කියා කිරිලොස් ලුකාරිස් සඳහන් කළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1622දී ලුකාරිස්ව රෝඩ්ස් දිවයිනට පිටුවහල් කෙරිණ. පසුව අමාසියාවෙහි (තුර්කියේ පළාතක්) ග්‍රෙගරි රිදී කාසි 20,000ක් ගෙවා සභා පදවිය මිල දී ගත්තේය. කෙසේ හෝ පොරොන්දු වූ මුදල ගෙවීමට ග්‍රෙගරිට නොහැකි වූ නිසා එඩ්රියානොපල්හි ඇන්තිමස් සභා පදවිය මිල දී ගත්තේය. පසුව ඔහුට අස්වීමට සිදු විය. පුදුමයකට හේතුවක් වෙමින් ලුකාරිස්ව කුලදෙටු පදවියට නැවත පත් කරන ලදි.
පූජකයන් හා සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා බයිබල් පරිවර්තනයක් සහ වෙනත් ආගමික පත්‍රිකා මුද්‍රණය කිරීමට මෙම ලැබුණ ප්‍රස්තාව ප්‍රයෝජනයට ගැනීමට ලුකාරිස් අදිටන් කරගත්තේය. මෙය ඉටු කරගැනීම සඳහා ඉංග්‍රීසි ජාතික තානාපතිගේ ආරක්ෂාව යටතේ කොන්ස්ටන්ටිනෝපලයට මුද්‍රණ යන්ත්‍රයක් ගෙනෙන ලදි. කෙසේනමුත්, මුද්‍රණ යන්ත්‍රය 1627 ජූනි මස රැගෙන ආ විට, ලුකාරිස්ගේ සතුරෝ ඔහු එය ආණ්ඩු විරෝධී ක්‍රියා සඳහා යොදවන බවට බොරු සාක්ෂි එල්ල කර එය විනාශ කළෝය. පසුව ලුකාරිස් ජිනීවා නුවර මුද්‍රණාලයකින් සිය වැඩ කටයුතු කරගත්තේය.
ක්‍රිස්තියානි ලියවිලි පරිවර්තනය කිරීම
බයිබලයට සහ එහි ඇති ඉගැන්වීමේ හැකියාවට ලුකාරිස් දැක්වූ මහත් ගෞරවයම, එය පරිවර්තනය කිරීමේදී සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි ආකාරයට පරිවර්තනය කිරීමට දායක විය. දේවානුභාවය ලත් මුල් ග්‍රීක් ලියවිලිවල අත්පිටපතෙහි භාෂාව සාමාන්‍ය පුද්ගලයෙකුට තේරුම්ගත නොහැකි බව ඔහු වටහාගත්තේය. එමනිසා, ලුකාරිස් මුලින්ම කළේ ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ල ඔහුගේ කාලයේ භාවිත කළ ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීමයි. මෙම කර්තව්‍යය, උගත් පූජකයෙක් වූ මැක්සිමස් කැලිපොලිටිස් විසින් 1629 මාර්තු මස ආරම්භ කළේය. පුරාණ ග්‍රීක් පිටපත සාමාන්‍ය ජනතාවට වටහාගත නොහැකි වුවත් එය පරිවර්තනය කිරීම සාපරාධි ක්‍රියාවක් හැටියට බොහෝ ඕතඩොක්ස් සාමාජිකයෝ සැලකූහ. ඔවුන්ව සතුටු කිරීම සඳහා ලුකාරිස් නවීන පරිවර්තනය සහ මුල් පිටපත එක ළඟ තීරුවල මුද්‍රණය කළ අතර, සුළු සුළු සටහන්ද ඊට එකතු කළේය. අත්පිටපත ලියා අවසන් වනවාත් සමඟම කැලිපොලිටිස් මියගිය හෙයින් ලුකාරිස් විසින්ම පිටපතේ සෝදු පත් කියවන ලදි. එම පරිවර්තනය, 1638 ලුකාරිස්ගේ මරණයෙන් කෙටි කාලයකට පසු මුද්‍රණය කරන ලදි.
ලුකාරිස් ආරක්ෂිත පියවර ගෙන තිබුණත් එම පරිවර්තනය බොහෝ බිෂොප්වරු පිළි නොගත්හ. එම පරිවර්තනයේ පෙරවදනින් දේවවචනය සඳහා ලුකාරිස්ට තිබූ ප්‍රේමය නිරූපණය විය. එවකට ජනයාගේ ව්‍යවහාර භාෂාවෙන් ලද ලියවිල්ල ගැන ඔහු පැවසුවේ මෙසේය. එය “ස්වර්ගයෙන් අපට දෙනු ලැබූ මිහිරි පණිවුඩයකි.” “[බයිබලයෙහි] අඩංගු සියලු දේ හොඳින් දැනගන්න කියා” ඔහු මිනිසුන්ට උපදෙස් දුන් අතර “ඇදහිල්ලට සම්බන්ධ නිවැරදි දේ දැනගත හැකි එකම ක්‍රමය . . . සුවිශේෂ පමණක් බව” ඔහු පැවසීය.—පිලිප්පි 1:10, 11.
බයිබලය අධ්‍යයනය කිරීම සහ මුල් ලියවිලි පරිවර්තනය කිරීම තහනම් කරන අයව ලුකාරිස් තරයේ හෙළා දුටුවේය. “අප පවසන දේ හෝ කියවන දේ අර්ථයෙන් තොර නම් එය සුළඟට කතා කරන්නාක් මෙනි” කියා ඔහු පැවසීය. (1 කොරින්ති 14:7-9 සසඳන්න.) පෙරවදන අවසන් කරමින් ඔහු ලීවේ මෙයයි: “ඔබ සියලුදෙනාම දේවානුභාවය ලත් සුවිශේෂය ඔබේම භාෂාවෙන් කියවන විට, එම කියවන දෙයින් ප්‍රයෝජන ගන්න, . . . එවිට යහපත කරා මඟ පෙන්වන ඔබේ මාර්ගය දෙවි අලෝකවත් කරාවි.”—හිතෝපදේශ 4:18.
ඇදහිල්ල පිළිබඳ ප්‍රකාශයක්
එම බයිබල් පරිවර්තනයට පසු, ලුකාරිස් තවත් නිර්භීත පියවරක් තැබීය. වර්ෂ 1629දී ජිනීවා නුවරදී ඇදහිල්ල පිළිබඳ ප්‍රකාශයක් ඔහු නිකුත් කළේය. එය විශ්වාසයන් පිළිබඳ ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයකි. ඕතඩොක්ස් සභාව එය භාරගනීවි කියාද ඔහු අපේක්ෂා කළේය. ඕතඩොක්ස් සභාව (ඉංග්‍රීසියෙන්) නමැති ග්රන්ථයට අනුව, ඇදහිල්ල පිළිබඳ ප්‍රකාශය මගින් “ඕතඩොක්ස් සභාවේ ඉගැන්වීම් වන පූජකතන්ත්‍රය සහ සියලු ආකාරයේ දේවගැති ධුරයන් අනවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම පිළිම ඉදිරියේ වැඳ වැටීම සහ ආශීර්වාද ලබාගැනීමට සාන්තුවරුන්ට යැදීමත් රූප නමස්කාරය ලෙස හඳුන්වා තිබේ.”
ප්‍රකාශයෙහි වගන්ති 18ක් අඩංගු විය. එහි දෙවන වගන්තියෙන් ප්‍රකාශ කරන ලද්දේ, ශුද්ධ ලියවිල්ල දෙවිගේ ආනුභාවයෙන් බවත් එහි අධිකාරය සභාවේ අධිකාරය ඉක්මවා යා යුතු බවත්ය. එහි පවසන්නේ මෙසේයි: “ශුද්ධ ලියවිල්ල දෙවි විසින් දෙනු ලැබූ බව අප විශ්වාස කරන අතර . . . එය සභාවේ අධිකාරය ඉක්මවා යා යුතුයි. ශුද්ධාත්මයෙන් ලබන ඉගැන්වීම මනුෂ්‍යයෙකුගෙන් ලබන ඉගැන්වීමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි.”—2 තිමෝති 3:16.
අටවන සහ දහවන වගන්තිවල යේසුස් ක්‍රිස්තුස්ව එකම මැදහත්කරු, උත්තම පූජකයා සහ සභාවේ නායකයා වශයෙන් සඳහන් කර ඇත. “අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ පියාගේ දකුණු පැත්තේ හිඳිමින් අපගේ මැදහත්කරු වශයෙන් කටයුතු කරන අතර, ඔහු සභාවේ සැබෑ හා නීත්‍යනුකූල උත්තම පූජක සහ මැදහත්කරු බව අපි විශ්වාස කරන්නෙමු” කියා ලුකාරිස් ලීවේය.—මතෙව් 23:10.
දොළොස්වන වගන්තියේ ප්‍රකාශ වන්නේ සභාව සත්‍යයෙන් වැටී බොරුව තෝරාගෙන සැබෑ මාර්ගයෙන් ඉවත් විය හැකි බවය. එනමුත් විශ්වාසවන්ත සේවකයන්ට ශුද්ධාත්මයේ ආලෝකයෙන් එයින් ගැළවිය හැක. දහඅටවන වගන්තියේ ලුකාරිස් පැවසුවේ ශුද්ධගිනිස්ථානය හුදු සිතුවිලි මාත්‍රයක් පමණක් බවය. “මිථ්‍යා ඉගැන්වීමක් වන ශුද්ධගිනිස්ථානය පිළිගත නොහැකිය.”
ප්‍රකාශයේ උපග්‍රන්ථයෙහි ප්‍රශ්න සහ උත්තර ගණනාවක් තිබිණ. ලුකාරිස් තදින්ම කියා සිටියේ ඇදහිලිවන්ත සියලුදෙනාම ලියවිල්ල කියවිය යුතු බවත් එසේ නොකිරීම ක්‍රිස්තියානියෙකුට හානියක් බවත්ය. තවදුරටත් ඔහු පැවසුවේ, ද්විතීය සම්මත ග්රන්ථ ඉවත් කළ යුතු බවයි.—එළිදරව් 22:18, 19.
හතරවන ප්‍රශ්නයෙන් අසන්නේ, “අප ප්‍රතිමා සැලකිය යුත්තේ කෙසේද?” යන්නයි. ලුකාරිස් පිළිතුරු දුන්නේ මෙලෙසයි: “දේවානුභාවය ලත් ශුද්ධ ලියවිල්ල සරලවම පවසන්නේ, ‘කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව, ඊට නමස්කාර නොකරව, සේවය නොකරව [නික්මයාම 20:4, 5]’ කියායි. එමනිසා, අප නමස්කාර හා ගෞරව කළ යුත්තේ, මැවිල්ලට නොව නමුත් අහස සහ පොළොවේ සැදුම්කරු මෙන්ම මැවුම්කරුවාණන්ට පමණයි. . . . ප්රතිමාවලට නමස්කාර හා සේවය කිරීම ශුද්ධ ලියවිල්ලෙහි තහනම් කර ඇත . . . අප එය ප්‍රතික්ෂේප හෝ අමතක නොකළ යුතුය. එසේ කළහොත් මැවුම්කරු සහ සැදුම්කරු වෙනුවට මැවිල්ල, වර්ණ සහ කලාවට නමස්කාර කරනු ඇත.”—ක්‍රියා 17:29.
ලුකාරිස් විසූ යුගයේ තිබූ ආත්මික අන්ධකාරය නිසා සෑම වැරදි ඉගැන්වීමක්ම ඔහුට අවබෝධ නොවීය.a එසේ වුවත්, බයිබලය සභාවේ ඉගැන්වීම්වල අධිකාරය හැටියට ස්ථාපිත කිරීමටත්, එහි අඩංගු දැනුම මනුෂ්‍යයන්ට ලබා දීමටත් ඔහු ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළේය.
මෙම ප්‍රකාශය නිකුත් වූ වහාම ලුකාරිස්ට එරෙහිව නව ආකාරයක විරුද්ධවාදිකම් එල්ල විය. වර්ෂ 1633දී ලුකාරිස්ගේ පෞද්ගලික සතුරෙකු වූ බෙරීයේ (නවීන දින ඇලෙප්පො) බිෂොප්වරයා වූ සිරිල් කොන්තාරි ජේසු නිකායිකයන්ගේද සහාය ඇතුව ඔටොමන් ආණ්ඩුව සමඟ එක් වී කුලදෙටු පදවිය මිල දී ගැනීමට උත්සාහ කළේය. කෙසේනමුත් කොන්තාරි එම මුදල ගෙවීමට අසමත් වූ නිසා ඔවුන්ගේ උපක්‍රමය අසාර්ථක විය. එමගින් ලුකාරිස්ට තම පදවිය තුළ රැඳී සිටීමට හැකියාවක් ලැබිණ. ඊළඟ වර්ෂයේදී තෙසලෝනිකාවේ ඇතනෙසියස් රිදී කාසි 60,000ක් ගෙවා කුලදෙටු පදවිය ලබාගත්තේය. ලුකාරිස්ව යළිත් නිලයෙන් පහ කරනු ලැබීය. එහෙත් මාසයක් ඇතුළත නැවත නිලයට පත් කෙරිණ. මේ වන විට සිරිල් කොන්තාරි අවශ්‍ය මුදල එකතු කරගැනීමට සමත් වූයේය. එනම් රිදී කාසි 50,000ක්. මේ අවස්ථාවේ ලුකාරිස්ව රෝඩ්ස් දිවයිනට පිටුවහල් කරන ලදි. මාස හයකට පසු ඔහුගේ මිත්‍රයෝ නැවත එම නිලයට ඔහුව පත් කරගත්හ.
කෙසේනමුත්, ජේසු නිකායිකවරු සහ ඔවුන්ගේ ආධාරකරුවෝ, ලුකාරිස් ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව ක්‍රියා කළ බවට 1638දී චෝදනා කළෝය. මේ අවස්ථාවේ සුල්තාන්වරයා ඔහුට මරණ දඬුවම නියම කළේය. වර්ෂ 1638 ජූලි 27වන දින ලුකාරිස්ව අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට මෙන් කුඩා බෝට්ටුවකින් ගෙනයන ලදි. බෝට්ටුව මුහුදේ යාත්‍රා කොට ටික දුරක් ගිය විගසම ඔහුගේ ගෙල සිර කොට මරා, මළ සිරුර වෙරළෙහි වළලනු ලැබීය. පසුව සිරුර ගොඩගෙන මුහුදට හෙළන ලදි. පසුව ධීවරයන් සොයාගත් ලුකාරිස්ගේ මළ සිරුර ඔහුගේ මිත්‍රයන් විසින් භූමදාන කරනු ලැබීය.
අපට පාඩමක්
“දහසයවන සහ දාහත්වන සියවසේ මුල් කාලයේ සිටි පූජකයන්ගේ සහ සෙනඟගේ ඉතා පහත් අඩියක තිබූ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට සහ නඟා සිටුවීමට [ලුකාරිස්] ගත් විශිෂ්ට උත්සාහය සුළු කොට නොතැකිය යුතුයි” කියා විශාරදයෙක් සඳහන් කළේය. ලුකාරිස්ගේ වෑයම නතර කිරීමට බොහෝ උත්සාහයන් දරන ලදි. ඔහුව පස් වතාවක් කුලදෙටු පදවියෙන් නෙරපන ලදි. ඔහුගේ මරණයෙන් අවුරුදු තිස්හතරකට පසු යෙරුසලමේ පූජක සභාව මගින් ඔහුගේ විශ්වාසයන් මිථ්‍යා ඉගැන්වීම් ලෙස පිළිකුල් කරන ලදි. ඔවුන් ප්‍රකාශ කළේ ශුද්ධ ලියවිල්ල “ඕනෑම කෙනෙකුට කියවිය නොහැකි බවත් ආත්මයේ ගැඹුරු කාරණා සොයා බලා තේරුම්ගත හැකි අය පමණක් එය කිව යුතු” බවත්ය. ඔවුන් ඉන් අදහස් කළේ උගත් පූජකයන්ව පමණි.
යළිත්, පාලක පූජක පංතිය විසින් දෙවිගේ වචනය ජනයාට දීමේ ප්රයත්නය වළක්වන ලදි. බයිබල් පදනමක් නැති ඔවුන්ගේ වැරදි විශ්වාසයන් ගැන නැඟු ප්‍රශ්න කිරීම් කෲර ලෙස නිහඬ කළේය. ඇත්තෙන්ම ඔවුන් ආගමික නිදහසේ සහ සත්‍යයේ දරුණුතම සතුරන් බව ඔප්පු කොට ඇත. කනගාටුවට කාරණයක් වන්නේ, මෙම ස්වභාවය විවිධ පැතිවලින් අපගේ කාලයෙත් දක්නට තිබීමයි. පූජක පෙලඹවීම් මත කුමන්ත්‍රණ දියත් කිරීමෙන්, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ගයට කුමක් සිදු වේද කියා මෙයින් සක්සුදක් සේ පැහැදිලි වේ.
[පාදසටහන]
a ඔහුගේ ප්‍රකාශයේ, ත්‍රිත්වය, දෛවය, අමරණීය ආත්මය වැනි බයිබලයට පටහැනි ඉගැන්වීම්වලට සහාය දෙන ලදි.
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
බයිබලය සභාවේ ඉගැන්වීම්වල අධිකාරය හැටියට ස්ථාපිත කිරීමටත්, එහි අඩංගු දැනුම මනුෂ්‍යයන්ට ලබා දීමටත් ලුකාරිස් ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළේය
[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ලුකාරිස් සහ කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස්
බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ඇති වටිනා දෑ අතුරින් එකකි, පොදු යුගයේ පස්වන සියවසට අයත් බයිබල් අත්පිටපතක් වන කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස්. එහි තිබූ මුල් පිටපත් 820න් 773ක් පමණ දැනට සුරැකිව පවතී.
ලුකාරිස් ඊජිප්තුවේ, ඇලෙක්සැන්ඩ්රියාවෙහි කුලදෙටු පදවිය දරන කාලයෙහි විශාල පොත් සංඛ්‍යාවක් ඔහු සතුව තිබිණ. කොන්ස්ටන්ටිනෝපල්හි කුලදෙටු පදවියට පත් වූ විට, ඔහු කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස් පිටපත රැගෙන ගියේය. වර්ෂ 1624දී ඔහු එය ඉංග්‍රීසි ජාතික පළමුවන ජේම්ස් රජුට ත්‍යාගයක් වශයෙන් තුර්කියේ සිටි බ්‍රිතාන්‍ය තානාපතිට භාර දෙන ලදි. එය අවුරුදු තුනකට පසු රජකමට පත් වූ පළමුවන චාල්ස් රජුට දෙනු ලැබීය.
වර්ෂ 1757දී රාජකීය පුස්තකාලය බ්‍රිතාන්‍යට දෙනු ලැබීය. දැන් මෙම වටිනා කෝඩෙක්ස් පිටපත නව බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ජෝන් රිට්බ්ලට් කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
[හිමිකම් විස්තර]
Gewerbehalle, Vol. 10
From The Codex Alexandrinus in Reduced Photographic Facsimile, 1909
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Bib. Publ. Univ. de Genève