ඔබේ “ගැළවීමේ බලාපොරොත්තුව” නැවුම්ව තබාගන්න!
‘ගැළවීමේ බලාපොරොත්තුව නමැති ආරක්ෂා තොප්පිය පැළඳගෙන . . . සිටිමු.’—1 තෙසලෝනික 5:8.
1. “ගැළවීමේ බලාපොරොත්තුව” විඳදරාගැනීමට රුකුලක් වන්නේ කෙසේද?
පුද්ගලයෙක් ඉතා අසීරු තත්වයකට මුහුණ දෙමින් සිටිනවායයි සිතමු. ඔහුට ඉන් ගැළවීමක් ලැබෙන බවට යම් බලාපොරොත්තුවක් ඇත්නම්, එම අපේක්ෂාවෙන් ඔහු ශක්තිමත් වන බවට සැකයක් නැත. මුහුදුබත් වූ නැවකින් පණ බේරාගෙන ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැඟගත හැකි වූ කෙනෙකුට, තමාව බේරාගැනීම සඳහා නැවක් ළඟ ළඟම එන බව දැනගන්න ලැබුණොත්, ඔහු ඉන් ඉමහත් දිරියක් ලබයි. එලෙසම, වසර දහස් ගණනක් පුරා, ‘යෙහෝවා සිදු කර දෙන ගැළවීම’ කෙරෙහි බලාපොරොත්තුව තබාගැනීම, ඇදහිලිවන්ත පුරුෂයන් සහ ස්ත්රීන්ට අසීරු අවස්ථාවන්වලදී පුදුම ශක්තියක් සහ ධෛර්යයක් වී තිබේ. මෙම බලාපොරොත්තුව නොනිවී පවතී. (නික්මයාම 14:13; ගීතාවලිය 3:8; රෝම 5:5; 9:33) ප්‍රේරිත පාවුල් මෙම “ගැළවීමේ බලාපොරොත්තුව” ක්‍රිස්තියානි භක්තිකයෙකුගේ ආත්මික යුදායුධ කට්ටලයේ ‘ආරක්ෂා තොප්පියට’ සමාන කළේය. (1 තෙසලෝනික 5:8; එපීස 6:17) මේ අනුව, දෙවි අපට ගැළවීම ලබා දෙන බව අපට ස්ථිර නිසා අපගේ සිතුවිලි ආරක්ෂා වේ. පීඩා, විරුද්ධවාදිකම් සහ පරීක්ෂා මධ්‍යයෙහි සිහි ඇතුව සිටීමටත් එය රුකුලක් වේ.
2. “ගැළවීමේ බලාපොරොත්තුව” සැබෑ නමස්කාරයේදී අතිවැදගත් කාර්යයක් ඉටු කරන්නේ කෙබඳු ආකාරවලින්ද?
2 මුල් ක්‍රිස්තියානීන් වට වී සිටියේ මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙනි. අන්තර්ජාතික සම්මත බයිබල් විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) එම මිථ්‍යා දෘෂ්ටිකයන් සම්බන්ධයෙන් මෙසේ පැවසීය. “මිථ්‍යා දෘෂ්ටික මනුෂ්‍යයන්ට අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් නොතිබිණ.” (එපීස 2:12; 1 තෙසලෝනික 4:13) ඊට වෙනස්ව, සැබෑ නමස්කාරකයන්ට “ගැළවීමේ බලාපොරොත්තුව” අතිවැදගත් දෙයක් වේ. ඒ කෙසේද? යෙහෝවාගේ සේවකයන්ගේ ගැළවීමේ බලාපොරොත්තුව දෙවිගේ නාමයට සම්බන්ධයි. ගීතිකාකාර ආසාප් මෙසේ යාච්ඤා කළේය. “අපේ ගැළවීමේ [දෙවි], ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමය උදෙසා අප නිදහස් කොට අපේ පව් පහකරදැමුව මැනව.” (ගීතාවලිය 79:9; එසකියෙල් 20:9) මීට අමතරව, යෙහෝවා සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගැනීමට ඔහු පොරොන්දු වී ඇති ආශීර්වාදයන් ගැන නිසැක වීම අත්‍යවශ්‍ය වේ. පාවුල් මෙලෙස පැහැදිලි කළේය. ‘ඇදහිල්ල නැතුව ඔහුව ප්‍රසන්න කරන්ට නුපුළුවන. මක්නිසාද දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහු විද්‍යමාන බවත්, ඔහුව [උනන්දුවෙන්, NW] සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය.’ (හෙබ්‍රෙව් 11:6) තවද පාවුල් පැහැදිලි කළ ආකාරයට, යේසුස් පොළොවට පැමිණි ප්‍රධානම හේතුවලින් එකක් වූයේ පසුතැවිලිවන්නන්ට ගැළවීම සලසා දීමය. ‘පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස් ලෝකයට ආවේය යන කීම විශ්වාස වූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතු වූ කීමක්ය’ කියා ඔහු පැවසීය. (1 තිමෝති 1:15) තවද ප්‍රේරිත පේතෘස් එම ගැළවීම ‘අපගේ ඇදහිල්ලේ තීන්දුව [නොහොත් ප්රතිවිපාකය]’ ලෙස හැඳින්වීය. (1 පේතෘස් 1:9) එසේ නම්, ගැළවීමක් ගැන බලාපොරොත්තු තබාගැනීම යෝග්‍ය දෙයකි. එනමුත් ගැළවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? තවද එය අත් කරගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
ගැළවීම යනු කුමක්ද?
3. පුරාණයේ විසූ යෙහෝවාගේ සේවකයන් අද්දුටුවේ කෙබඳු ආකාරයේ ගැළවීමක්ද?
3 හෙබ්‍රෙව් ලියවිලිවල, “ගැළවීම” යන්නෙන් අදහස් කරන්නේ, හිංසා පීඩා නැතහොත් දරුණු හෝ අකල් මරණයකින් බේරීම හෝ මිදීමයි. නිදසුනකට, යෙහෝවාව “මිදුම්කාරයාණෝ” ලෙස හඳුන්වමින්, දාවිත් මෙසේ පැවසීය. ‘මාගේ පර්වතය වූ දෙවිය, . . . මාගේ රක්ෂස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවන්නෙහිය. ප්‍රශංසනීය වූ යෙහෝවාට අයැද සිටින්නෙමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගැළවෙන්නෙමි.’ (2 සාමුවෙල් 22:2-4) යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් උපකාරය ඉල්ලා මොරගසන විට, යෙහෝවා සවන් දෙන බව දාවිත් දැන සිටියේය.—ගීතාවලිය 31:22, 23; 145:19.
4. ක්‍රිස්තුස්ට පෙර යෙහෝවාට සේවය කළ අයට අනාගත ජීවිතය පිළිබඳව තිබුණේ කුමන බලාපොරොත්තුවද?
4 ක්‍රිස්තුස්ට පෙර යෙහෝවාට සේවය කළ අයද අනාගත ජීවිතයක් කෙරෙහි බලාපොරොත්තු තැබූහ. (යෝබ් 14:13-15; යෙසායා 25:8; දානියෙල් 12:13) ඇත්තෙන්ම ගැළවීමක් පිළිබඳව හෙබ්‍රෙව් ලියවිලිවල සඳහන් වූ පොරොන්දු බොහොමයක් වඩාත් උතුම් ගැළවීමකට එනම්, සදාතනික ජීවනයට මඟ පෙන්වන ගැළවීමකට අනාවැකිමය ආකාරයකින් යොමු දැක්වීය. (යෙසායා 49:6, 8; ක්‍රියා 13:47; 2 කොරින්ති 6:2) යේසුස්ගේ කාලයේදී යුදෙව්වන් බොහෝදෙනෙකු සදාකාල ජීවනයක් ගැන බලාපොරොත්තු තැබුවද, එම බලාපොරොත්තුව සැබෑ කරවීමේදී යේසුස් ඉටු කරන අතිවැදගත් කාර්යභාරය පිළිගැනීමට ඔවුහු මැළි වූහ. යේසුස් තම කාලයේ විසූ ආගමික නායකයන්ට මෙසේ කරුණු පැහැදිලි කළේය. “ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි.”—යොහන් 5:39.
5. ගැළවීමෙන් මූලිකවම අදහස් කරන්නේ කුමක්ද?
5 දෙවි ගැළවීමට සම්බන්ධ සෑම කාරණයක්ම යේසුස් තුළින් පැහැදිලි කළේය. පාපයට වහල් වීමෙන්, බොරු ආගමෙන්, සාතන්ගේ බලයෙහි පවතින ලෝකයෙන්, මනුෂ්‍යයන්ට තිබෙන බියෙන් මෙන්ම මරණයට තිබෙන බියෙන් පවා මිදීමක් ඉන් අදහස් වේ. (යොහන් 17:16; රෝම 8:2; කොලොස්සි 1:13; එළිදරව් 18:2, 4) දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් දෙවිගෙන් ගැළවීම ලබන නිසා, තාඩන පීඩන සහ සිත්තැවුල්වලින් මිදෙනවා පමණක් නොව, සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාවද ඔවුන්ට උදා වේ. (යොහන් 6:40; 17:3) ‘කුඩා රැළට’ ගැළවීම යන්නෙන් අදහස් කරන්නේ ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටීමක් ලබාගැනීම බව යේසුස් ඉගැන්වූයේය. ඔවුන් එහිදී ක්‍රිස්තුස් සමඟ රාජ්‍ය පාලනයට හවුල් වනවා ඇත. (ලූක් 12:32) සෙසු මනුෂ්‍යවර්ගයාට ගැළවීම යන්නෙන් අදහස් කරන්නේ පරිපූර්ණ ජීවිතයකි. ආදම් සහ ඒවගේ පාපයට කලින් ඔවුන් ඒදන් උයනෙහි දෙවි සමඟ භුක්ති වින්ද සම්බන්ධතාවම මොවුන් භුක්ති විඳිනවා ඇත. (ක්‍රියා 3:21; එපීස 1:9) මනුෂ්‍යවර්ගයා සඳහා දෙවි මුලින්ම අරමුණු කළේ පාරාදීසමය තත්වයන් යටතේ සදාකාල ජීවනය ලබා දීමටය. (උත්පත්ති 1:28; මාර්ක් 10:30) කෙසේවෙතත්, එවන් දෙයක් යළිත් යථාර්ථයක් වීමට මඟ සලසා දෙන්නේ කුමක්ද?
ගැළවීමට මඟ—මිදීමේ මිලය
6, 7. අපගේ ගැළවීම සඳහා යේසුස්ගෙන් ඉටු වන කාර්යභාරය කුමක්ද?
6 සදාකාල ජීවනයට එකම මඟ යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාවය. ඒ මන්ද? ආදම් පව් කළ විට, ඔහු තමාවත්, අප ඇතුළුව ඔහුගේ අනාගත පරම්පරාවත් පාපයට ‘විකිණූ’ බව බයිබලයෙහි පැහැදිලි කර ඇත. එමනිසා, මිනිසාට යම් පදනමක් ඇති බලාපොරොත්තුවක් ලැබීමට මිදීමේ මිලයක් සැපයීම අවශ්‍ය විය. (රෝම 5:14, 15; 7:14) දෙවි මුළු මිනිස් සංහතිය උදෙසා මිදීමේ මිලයක් ලබා දෙන බවට පූර්වාදර්ශයක් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ පැවති සත්ව පූජා විධිවිධානයෙන් සපයා දෙන ලදි. (හෙබ්‍රෙව් 10:1-10; 1 යොහන් 2:2) මෙම අනාවැකිමය පූර්වාදර්ශ ඉටු වූයේ යේසුස්ගේ පූජාව තුළිනි. මේ අනුව යේසුස්ගේ උපතට කලින් යෙහෝවාගේ දූතයා මෙම නිවේදනය කළේය. ‘තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ ඔහුය.’—මතෙව් 1:21; හෙබ්‍රෙව් 2:10.
7 යේසුස්ගේ උපත ආශ්චර්යයකි. කන්‍යාවක් වූ මරියාගෙන් උපන් ඔහුව හැඳින්වූයේ දෙවිගේ පුත්‍රයා ලෙසිනි. එමනිසා ආදම්ගේ පාපය ඔහුට උරුම වූයේ නැත. තවද යේසුස් තම ජීවිතය පුරාම විශ්වාසවන්තකම පරිපූර්ණ ආකාරයකින් විදහාපෙන්වීය. එමනිසා මිනිස් සංහතිය පාපයෙන් සහ මරණයෙන් නිදහස් කිරීමට අවශ්‍ය වටිනාකම ඔහුගේ ජීවිතයට තිබිණ. (යොහන් 8:36; 1 කොරින්ති 15:22) යේසුස් පව්කාර සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා වෙනස් වූයේය. ඔහු මරණයට යටත් වූවෙක් නොවීය. එමනිසා ඔහු පොළොවට පැමිණියේ අරමුණක් ඇතුවය. එනම් “බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය” දීමටය. (මතෙව් 20:28) එම අරමුණ දැන් ඉටු වී ඇති නිසා, නැවත-නැඟිටුවනු ලැබ, සිංහාසනාරූඪව සිටින යේසුස්, දෙවිගේ අවශ්‍යතාවලට අවනත වන සැමට ගැළවීම ලබා දීමේ හැකියාව ඇතුව සිටියි.—එළිදරව් 12:10.
ගැළවීම ලබාගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
8, 9. (අ) ගැළවීම ගැන ධනවත් තරුණයෙකු ඇසූ ප්‍රශ්නයට යේසුස් පිළිතුරු දුන්නේ කෙසේද? (ආ) තම ගෝලයන්ට උගන්වන්න යේසුස් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කෙසේද?
8 “සදාකාල ජීවනය උරුමකරගන්නා පිණිස මා විසින් කුමක් කරන්ටදැයි” වරක් පොහොසත් තරුණයෙක් යේසුස්ගෙන් ඇසීය. (මාර්ක් 10:17) ඔහුගේ ප්රශ්නය තුළින් යුදෙව්වන් අතර ගැළවීම සම්බන්ධයෙන් පැවති අදහස පිළිබිඹු වන්න ඇති. එම අදහසට අනුව දෙවි ඇතැම් යහපත් ක්‍රියා ඉල්ලා සිටී. එමනිසා එම ක්‍රියාවල ප්‍රමාණවත් ලෙස නිරත වීමෙන්, පුද්ගලයෙකුට දෙවිගෙන් ගැළවීම උපයාගත හැකි බව විශ්වාස කෙරිණ. කෙසේවෙතත් එවැනි භක්තියකට මුල් වන්නේ ආත්මාර්ථකාමී චේතනාය. තවද ගැළවීම සඳහා ස්ථිර බලාපොරොත්තුවක් එවන් ක්‍රියා තුළින් ලබාගත නොහැකිය. ඊට හේතුව දෙවිගේ ප්‍රමිතිවලට එකඟව කිසිම අසම්පූර්ණ පුද්ගලයෙකුට අංග සම්පූර්ණ ලෙස ක්‍රියා කළ නොහැකි වීමයි.
9 එම තරුණයාට පිළිතුරු දෙද්දී, දෙවිගේ ආඥාවලට කීකරු වීමේ අවශ්‍යතාව විනා වෙන කිසිවක් යේසුස් ඔහුට මතක් කර දුන්නේ නැත. යොවුන් වියේ පටන් තමා ඒවා රක්ෂා කළ බව කීමට මෙම තරුණ පාලකයා උත්සුක විය. යේසුස්ට ඔහු කෙරෙහි සෙනෙහසක් ඇති වූයේ ඔහු අවංකව පිළිතුරු දුන් බවට වටහාගත් හෙයිනි. එමනිසා යේසුස් ඔහුට මෙසේ පැවසීය. “ගොස් නුඹ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, ස්වර්ගයෙහි නුඹට වස්තු ඇතිවන්නේය. නුඹ මා අනුව එන්න.” එහෙත්, තරුණයාට “බොහෝ සම්පත් තිබුණු බැවින්” ශෝකයෙන් පිටත්ව ගියේය. අනතුරුව, මේ ලෝකයේ වස්තුවට අනවශ්‍ය ලෙස ඇල්මක් දැක්වීම ගැළවීමට බාධාවක් බව යේසුස් තම ගෝලයන්ට අවධාරණය කළේය. කිසිම කෙනෙකුට තම පරිශ්‍රමයෙන් ගැළවීම ලබාගත නොහැකි බවද ඔහු පැවසීය. එනමුත් ඔවුන්ගේ බිය සැක දුරු කරමින් යේසුස් මෙසේ පැවසීය. “මනුෂ්‍යයන්ට නම් නුපුළුවන, නුමුත් [දෙවිට] එසේ නොවේය. මක්නිසාද [දෙවිට] සියල්ලම පුළුවන.” (මාර්ක් 10:18-27; ලූක් 18:18-23) එසේ නම් ගැළවීම අත් කරගැනීමට පුළුවන් වන්නේ කෙසේද?
10. ගැළවීම ලබාගැනීම සඳහා අපගෙන් ඉටු විය යුතු මූලික දේවල් මොනවාද?
10 ගැළවීම දෙවිගෙන් ලැබෙන දීමනාවක් වුවද, එය ඉබේම අපට අත් වන දෙයක් කියා පැවසිය නොහැක. (රෝම 6:23) එම දීමනාව ලබාගැනීමට සෑම පුද්ගලයෙකුගෙන්ම ඉටු විය යුතු මූලික දේවල් කිහිපයක් තිබේ. යේසුස් මෙසේ පැහැදිලි කළේය. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. පුත්‍රයා කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය. දෙවිගේ උදහස ඔහු කෙරෙහි පවතියි.’ (යොහන් 3:16, 36) එසේ නම්, සදාකාලික ගැළවීමක් අත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින සෑම පුද්ගලයෙකුගෙන්ම දෙවි ඇදහිල්ල සහ කීකරුකම අපේක්ෂා කරන බව පැහැදිලිය. මිදීමේ මිලය පිළිගෙන, යේසුස්ගේ අඩිපාරේ ගමන් කරනවාද නැද්ද යන්න පෞද්ගලිකව තීරණය කළ යුතුය.
11. අසම්පූර්ණ පුද්ගලයෙකුට යෙහෝවාගේ අනුමැතිය දිනාගත හැක්කේ කෙසේද?
11 අප සියලුමදෙනා අසම්පූර්ණ නිසා, කීකරු වීම අපගේ ස්වාභාවික නැඹුරුවාව නොවේ. එමනිසා අංග සම්පූර්ණ මට්ටමකින් කීකරු වීමට අපට නොහැකිය. අපගේ පාප වසාදැමීම සඳහා යෙහෝවා මිදීමේ මිලයක් සපයා ඇත්තේ එමනිසාය. කෙසේවෙතත්, දෙවිගේ මාර්ගවලට එකඟව ජීවත් වීමට අප නිරන්තර වෑයමක් දැරිය යුතුය. යේසුස් කලින් සඳහන් කළ පොහොසත් තරුණයාට පැවසුවාක් මෙන්, දෙවිගේ ආඥා පැවැත්වීමට අපි බැඳී සිටින්නෙමු. එසේ කිරීමෙන් දෙවිගේ අනුමැතිය ලැබෙනවා පමණක් නොව ඉමහත් ප්‍රීතියක්ද අද්දැකිය හැක. ඒ මන්ද? ‘ඔහුගේ ආඥා බර නැති’ නිසාය. ඇත්තෙන්ම, ඒවා පැවැත්වීමෙන් ඉමහත් ප්රබෝධයක් හෝ ‘සනීපයක්’ දැනේ. (1 යොහන් 5:3; හිතෝපදේශ 3:1, 8) කෙසේවෙතත්, ගැළවීමේ බලාපොරොත්තුව අල්ලාගැනීම ලෙහෙසි පහසු දෙයක් කියා පැවසිය නොහැක.
“ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර” අල්ලන්න
12. ගැළවීමේ බලාපොරොත්තුව, දුරාචාරයෙහි යෙදීමට තිබෙන පරීක්ෂාවලට එරෙහිව සිටීමට ක්‍රිස්තියානියෙකුව ශක්තිමත් කරන්නේ කෙසේද?
12 ශ්‍රාවක යූද් මුල් ක්‍රිස්තියානීන්ට “[ඔවුන්ගේ] පොදු ගැළවීම” ගැන ලිවීමට අදහස් කළද, පැවති සදාචාරමය වාතාවරණය හේතුවෙන් “ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන” ලෙස උපදෙස් දීමට ඔහු පෙලඹුණේය. අසීරුතාවන් නැත්නම්, ඇදහිල්ලේ සිටීම, සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ලට ඇලී සිටීම සහ කීකරුව සිටීම පහසු දෙයකි. ගැළවීම ලබාගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවේ. පරීක්ෂා සහ දුරාචාරමය බලපෑම් හමුවේ ස්ථිරව සිටීමට තරම් ශක්තිමත් භක්තියක් අපට යෙහෝවා සම්බන්ධයෙන් තිබිය යුතුය. එනමුත් මුල් සියවසේ සභාවට ලිංගික දුරාචාරය සහ අපවිත්‍ර ක්‍රියා, අධිකාරයට අගෞරව කිරීම, භේද සහ සැකයන් වැනි දෑ බලපෑ බවට සාක්ෂි ඇත. මෙවැනි නැඹුරුවාවන්වලට එරෙහිව සිටීම සඳහා, යූද් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ ඔවුන්ගේ පරමාර්ථය කුමක්ද කියා මනසෙහි තබාගැනීමටය. ‘ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමින්, ශුද්ධාත්මය ඇතුව යාච්ඤා කරමින්, සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ දයාව බලා සිටිමින්, දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න’ කියා ඔවුන්ට උනන්දු කළේය. (යූද් 3, 4, 8, 19-21) සදාචාරමය වශයෙන් පවිත්‍රව සිටීමේ සටනින් ජයගැනීමට ඔවුන්ට රුකුලක් වූයේ ගැළවීම ලබාගැනීමේ බලාපොරොත්තුවය.
13. දෙවිගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාවේ අරමුණ අප තේරුම්ගැනීමට අපොහොසත් වී නැති බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?
13 යෙහෝවා දෙවි ගැළවීම දානය කිරීමට අදහස් කරන අයගෙන් සදාචාරමය වශයෙන් ආදර්ශවත් හැසිරීමක් අපේක්ෂා කරයි. (1 කොරින්ති 6:9, 10) එනමුත්, දෙවිගේ සදාචාරමය ප්‍රමිති රකින පළියට, අන්‍යයන්ව විනිශ්චයට ලක් කිරීමට අපට නිදහස නැත. සෙසු මනුෂ්‍යයන්ගේ සදාකාලික අනාගතය තීරණය කිරීම අපගේ අතේ පවතින දෙයක් නොවේ. එය දෙවි කරන දෙයකි. දෙවි කිරීමට අදහස් කරන දේ පාවුල් අතීනසයේ සිටි ග්‍රීක්වරුන්ට කතා කරද්දී මෙසේ පැහැදිලි කළේය. ‘තමන් විසින් පත් කළ මනුෂ්‍යයා [යේසුස් ක්‍රිස්තුස්] ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරවන්ට දෙවි එක් දවසක් නියම කර තිබේ.’ (ක්‍රියා 17:31; යොහන් 5:23) යේසුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල තබමින් අප ජීවත් වෙනවා නම්, මතු පැමිණෙන විනිශ්චය දවස ගැන භයවීමට කිසිදු හේතුවක් නොමැත. (හෙබ්‍රෙව් 10:38, 39) කෙසේවෙතත්, සැලකිය යුතු යමක් තිබේ. “දෙවිගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව [මිදීමේ මිලය තුළින් අප දෙවි හා සමඟි වී ඇති අන්දම] පිළිගන්නා අතරම, එහි අරමුණ තේරුම්ගැනීමට [අප] අපොහොසත්” නොවිය යුතුය. එසේ අපොහොසත් විය හැක්කේ වැරදි සිතුවිලි සහ ක්‍රියාවන් වෙත පසුබට නොවී ඇදී යෑමෙනි. (2 කොරින්ති 6:1, NW) අන්‍යයන්ට ගැළවීම ලබාගැනීමට උපකාර කිරීමෙන්ද, දෙවිගේ දයාවේ අරමුණ තේරුම්ගැනීමට අප අපොහොසත් වී නැති බව පෙන්විය හැක. අන්‍යයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
ගැළවීමේ බලාපොරොත්තුව බෙදාගැනීම
14, 15. ගැළවීම පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ පැවරුම යේසුස් භාර දුන්නේ කාටද?
14 පාවුල් ප්‍රොපේත යෝවෙල්ව උපුටා දක්වමින් මෙසේ ලීවේය. ‘යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.’ ඊළඟට ඔහු ප්‍රශ්න කිහිපයක් මතු කළේය. “එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?” ඉන්පසුව ඇදහිල්ල ඉබේම නොව ‘ඇසීමේ’ ප්‍රතිඵලයක් වශයෙන් එනම් ‘ක්‍රිස්තුස් පිළිබඳ වචනය ඇසීමෙන්’ ඇති වන බව පැහැදිලි කළේය.—රෝම 10:13, 14, 17; යෝවෙල් 2:32.
15 ‘ක්‍රිස්තුස් පිළිබඳ වචනය’ අන්‍ය ජාතීන්ට ඇසෙන්න සලස්වන්නේ කවුද? ඒ වන විටත් ඒ ‘වචනය’ ගැන ඉගෙනගෙන තිබූ යේසුස්ගේ ගෝලයන්ට ඔහු එම වැඩය පවරා දුන්නේය. (මතෙව් 24:14; 28:19, 20; යොහන් 17:20) අප රාජ්‍යය ගැන දේශනා කරමින් ගෝලයන් සෑදීමෙහි නිරත වෙමින් සිටින විට, යෙසායා පැවසූ වදන් උපුටා දක්වමින් පාවුල් පැවසූ දේ අප කරමින් සිටින බව පැවසිය හැක. ඔහු පැවසුවේ “ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද” කියායි. අප ගෙන යන ශුභාරංචිය බහුතරයක් ප්‍රතික්ෂේප කළද, යෙහෝවාට නම් අපගේ පාද “අලංකාර” බව අපට විශ්වාසයි.—රෝම 10:15; යෙසායා 52:7.
16, 17. අපගේ දේශනා කිරීමේ වැඩයෙන් ඉටු වන දෙවැදෑරුම් අරමුණු මොනවාද?
16 මෙම පැවරුම ඉටු කිරීමෙන් වැදගත් අරමුණු දෙකක් ඉෂ්ට වේ. මුලින්ම ශුභාරංචිය දේශනා කළ යුත්තේ දෙවිගේ නාමය මහිමවත් කිරීමටයි. එවිට ගැළවීම ලබාගැනීමට ඕනෑ අය තමන් කා වෙතට හැරිය යුතුද යන්න තේරුම්ගනු ඇත. ඒ පැවරුමට අයත් මෙම අංගය පාවුල් තේරුම්ගත් බව පැහැදිලිය. එමනිසා ඔහු මෙසේ පැවසීය. ‘මක්නිසාද යෙහෝවා අපට මෙසේ අණ කළේය. කෙසේදයත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමියි කියා තිබේ.’ මේ අනුව, ක්‍රිස්තුස්ගේ ගෝලයන් වශයෙන් අප සැම කෙනාම, ජනයා වෙතට ගැළවීමේ පණිවිඩය ගෙන යෑමේ කාර්යයෙහි නිරත විය යුතුය.—ක්‍රියා 13:47; යෙසායා 49:6.
17 දෙවනුව, ශුභාරංචිය දේශනා කිරීම දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයට පදනමක් සපයයි. ඒ කෙසේද? ඒ විනිශ්චය සම්බන්ධයෙන් යේසුස් මෙසේ පැවසීය. ‘මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි හිඳගන්නේය. එවිට සියලු ජාතීහු ඔහු ඉදිරියට රැස් කරනු ලබන්නෝය. ඔහු එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔවුන් වෙන් කරන්නේය.’ විනිශ්චය කිරීම සහ වෙන් කිරීම ‘මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසින් එන’ අවස්ථාවේදී සිදු වුවද, දේශනා කිරීමේ වැඩය නිසා ක්‍රිස්තුස්ගේ ආත්මික සහෝදරයන් කවුද කියා හඳුනාගෙන, ඔවුන්ගේ වැඩයට අත හිත දීමට අදදින ජනයාට ප්‍රස්තාවක් උදා වේ. මෙසේ අත හිත දෙන අයට සදාතනික ගැළවීම සහතික කෙරේ.—මතෙව් 25:31-46.
“බලාපොරොත්තුවේ නිසැකකම” රැකගන්න
18. අපගේ “ගැළවීමේ බලාපොරොත්තුව” නැවුම්ව තබාගත හැක්කේ කෙසේද?
18 අපගේ බලාපොරොත්තුව නැවුම්ව තබාගැනීමට තවත් මඟකි දේශනා කිරීමේ වැඩයෙහි ක්‍රියාශීලීව සහභාගි වීම. පාවුල් එය මෙසේ පැහැදිලි කළේය. “නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමු.” (හෙබ්‍රෙව් 6:11) එසේ නම්, ‘දෙවි උදහසට නොව අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ගැළවීම ලබාගැනීම අප සඳහා නියම කළ’ බව සිහියේ තබාගනිමින් “ගැළවීමේ බලාපොරොත්තුව නැමති ආරක්ෂා තොප්පිය” පැළඳගැනීමට අපි සැවොම අදිටන් කරගනිමු. (1 තෙසලෝනික 5:8, 9) තවද පේතෘස්ගේ මෙම දිරිගැන්වීම සිතට ගෙන ක්‍රියාත්මක වෙමු. “නුඹලාගේ සිත් නැමති කටි බැඳගෙන සිහි ඇතුව සිට, . . . නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.” (1 පේතෘස් 1:13) එසේ කරන සියල්ලන්ම තම “ගැළවීමේ බලාපොරොත්තුව” මුළුමනින්ම ඉටු වන ආකාරය දකිනු නියතය.
19. අප මීළඟ ලිපියෙහි සලකා බලන්නේ කුමක්ද?
19 ඒ අතරවාරයේදී, දැන් පවතින ක්රමයෙහි ඉතිරිව ඇති කාලය සම්බන්ධයෙන් අපට තිබිය යුතු දෘෂ්ටිය කුමක්ද? මෙම කාලය අපගේ මෙන්ම අන්‍යයන්ගේ ගැළවීම සහතික කරගැනීමට යොදාගත හැක්කේ කෙසේද? මෙම ප්‍රශ්න මීළඟ ලිපියෙහි සලකා බලනු ලැබේ.
ඔබට පැහැදිලි කළ හැකිද?
• අපගේ “ගැළවීමේ බලාපොරොත්තුව” නැවුම්ව තබාගත යුත්තේ මන්ද?
• ගැළවීමට ඇතුළත් වන්නේ කුමක්ද?
• ගැළවීම නමැති දීමනාව ලබාගැනීමට අප කළ යුත්තේ කුමක්ද?
• දෙවිගේ අරමුණට එකඟව අපගේ දේශනා කිරීමේ වැඩයෙන් ඉටු වන්නේ කුමක්ද?
[10වන පිටුවේ පින්තූර]
විනාශයෙන් බේරීමට වඩා වැඩි දෙයක් ගැළවීමට අයත් වේ