ඔබ ‘නිසි ආකල්පයක් ඇතුව බලා සිටිනවාද?’
“ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමට හා දේවභක්තියට අදාළ ක්‍රියා කරමින්, යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්රමුඛව තබාගන්න.”—2 පේතෘස් 3:11, 12, NW.
1, 2. යෙහෝවාගේ දවස සම්බන්ධයෙන් අඛණ්ඩව ‘නිසි ආකල්පයක් ඇතුව බලා සිටීම’ අපට නිදර්ශනය කළ හැක්කේ කෙසේද?
රාත්‍රී කෑමකට අමුත්තන් පිරිසක් එන තුරු බලා සිටින පවුලක් ඔබේ සිතෙහි මවාගැනීමට උත්සාහ කරන්න. අමුත්තන් පැමිණිය යුතු වේලාව කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබේ. භාර්යාව කඩිමුඩියේ ආහාර ලකලැහැස්ති කිරීමෙහි නිරත වන්නීය. ඇයට තව ඉතිරිව ඇත්තේ තවත් සුළු සුළු කාර්යයන් කිහිපයක් පමණි. ඇගේ පුරුෂයාද දරුවෝද ඇයට සහයෝගය දෙමින් සෑම දෙයක්ම පිළිවෙළකට තිබේද කියා පරීක්ෂා කර බලති. සියලුදෙනාම සිටින්නේ ඉමහත් උද්යෝගයකිනි. ඔව්, පවුලේ සියලුදෙනාම ඉතා උනන්දුවෙන් පුල පුලා බලා සිටින්නේ අමුත්තන්ගේ පැමිණීමත් රසවත් ආහාරයක් සහ කදිම ඇසුරක් භුක්ති විඳීමටත්ය.
2 ක්‍රිස්තියානීන් ලෙස අප බලා සිටින්නේ ඊටත් වඩා වැදගත් දෙයක පැමිණීමය. ඒ කුමක්ද? අප සියලුදෙනාම බලා සිටින්නේ “යෙහෝවාගේ දවස” පැමිණෙන තෙක්ය! ඒ දවස පැමිණෙන තෙක්, අප අනාගතවක්තෘ මීකා හා සමාන ආකල්පයක් දැරිය යුතුය. ඔහු පැවසුවේ, “මා සෝදිසියෙන් සිටින්නේ යෙහෝවා ගැනය. මාගේ ගැලවීමේ දෙවි සම්බන්ධයෙන් නිසි ආකල්පයක් ඇතුව බලා සිටින්නෙමි.” (මීකා 7:7, NW) මින් අඟවන්නේ කිසිවක් නොකර ඔහේ බලා සිටීමද? නැත. කළ යුතු වැඩකොටස නම් සුළු පටු එකක් නොවේ.
3. දෙවන පේතෘස් 3:11, 12ට අනුව ක්‍රිස්තියානීන් පවත්වාගත යුත්තේ කවර ආකල්පයක්ද?
3 බලා සිටින අතරතුරේදී නිසි ආකල්පයක් දැරීමට ප්‍රේරිත පේතෘස් අපහට උපකාර කරයි. ඔහු මෙසේ පවසයි. “ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමට හා දේවභක්තියට අදාළ ක්‍රියා කරමින්, යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්රමුඛව තබාගන්න.” (2 පේතෘස් 3:11, 12) පේතෘස් මෙහිදී පළ කළ අදහසින් අප කෙබඳු අය විය යුතුද යන්න ගැන ප්‍රශ්න කළේ නැති බව සැලකිල්ලට ගන්න. ඇත්තටම ක්‍රිස්තියානීන් කෙබඳු අය විය යුතුද යන්න ගැන ඔහු විසින් දේවානුභාවයෙන් ලියන ලද ලිපි දෙක තුළින් විස්තර කෙරිණ. ඔහු තවදුරටත් ඔවුන්ට උනන්දු කළේ ‘ශුද්ධ වූ හැසිරීමෙහි හා දේවභක්තියට අදාළ ක්‍රියා කිරීමෙහි’ නිරත වන්නට කියාය. යේසුස් ක්‍රිස්තුස් “සමාජ ක්රමයේ අවසාන කාලපරිච්ඡේදය” පිළිබඳ ලකුණ දී 30 වසරක් පමණ ගෙවී ගොස් තිබුණද, ක්‍රිස්තියානීන්ගෙන් දිගටම අවදිව සිටීම අපේක්ෂා කෙරිණ. (මතෙව් 24:3, NW) ඔවුන් යෙහෝවාගේ දවස පැමිණීම “බලා සිටිමින්, එය මනසෙහි ප්රමුඛව” තබාගැනීම අවශ්‍ය විය.
4. ‘යෙහෝවාගේ දවස පැමිණීම මනසෙහි ප්රමුඛව තබාගැනීමට’ අයත් වන්නේ කුමක්ද?
4 “මනසෙහි ප්රමුඛව තබාගන්න” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයෙහි පදගතානුකූල අදහස වන්නේ “වේගවත් කිරීමය.” අපගේ මැදිහත් වීමෙන් යෙහෝවාගේ දවස ඇත්තටම ‘වේගවත්’ කළ නොහැකි බව නොකිවමනාය. ඇත්තෙන්ම යේසුස් ක්‍රිස්තුස් තම පියාණන්ගේ සතුරන්ව විනිශ්චය කිරීමට පැමිණෙන “දවස හා පැය” අප “දන්නේ නැත.” (මතෙව් 24:36; 25:13; NW) එක් ආශ්‍රේය ග්‍රන්ථයක පැහැදිලි කරන ආකාරයට “වේගවත් කිරීම” ලෙස දක්වා ඇති යෙදුමට මුල් වන ක්‍රියා පදයෙන් “ඉක්මන් වන්න” යන අදහස ලබා දෙයි. “මේ අනුව යම් කිසිවක් ගැන ‘උද්යෝගීව, ක්‍රියාශීලීව හා සැලකිල්ලෙන් සිටීම’ යන අදහස් ඊට කිට්ටු නෑකමක් දක්වයි.” එමනිසා පේතෘස් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ යෙහෝවාගේ දවසේ පැමිණීම ගැන බලවත් ආශාවකින් සිටින්නට කියාය. ඔවුන්ට මෙය කළ හැක්කේ එය නිරතුරුවම මනසෙහි ප්රමුඛව තබාගැනීමෙනි. (2 පේතෘස් 3:11, 12) “යෙහෝවාගේ මහත් වූ භයානක වූ දවස” මේ තරමින් අත ළඟම පවතින බැවින්, ඒ හා සමාන මානසික ආකල්පයක් අපටද තිබිය යුතුය.—යෝවෙල් 2:31.
“ශුද්ධ වූ හැසිරීම” පවත්වාගනිමින් බලා සිටින්න
5. “යෙහෝවාගේ දවස” දකින්නට අප තුළ උද්යෝගිමත් ආශාවක් ඇති බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?
5 යෙහෝවාගේ දවසින් බේරෙන්නට අපට උද්යෝගිමත් ආශාවක් ඇත්නම්, අපගේ ‘ශුද්ධ වූ හැසිරීමෙන් හා දේවභක්තියට අදාළ ක්‍රියා’ මාර්ගයෙන් අප එය පැහැදිලිව පෙනෙන්නට සලස්වනවා ඇත. “ශුද්ධ වූ හැසිරීම” යන යෙදුම සලකා බලද්දී අපට පේතෘස්ගේ මෙම උනන්දුමත් අවවාදය මතක් විය හැක. ඔහු පැවසුවේ මෙසේය. “ඔබේ නොදන්නාකම නිසා කලින් ඔබට තිබුණු ආශාවලට අනුව හැඩගැසීමෙන් වැළකී, කීකරු දරුවන් මෙන්, ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තා මෙන් ඔබත් ඔබේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. මන්ද, ‘මා ශුද්ධව සිටින නිසා, ඔබද ශුද්ධව සිටිය යුතුය’යි ලියා තිබේ.”—1 පේතෘස් 1:14-16, NW.
6. ශුද්ධව සිටීමට නම් අප කුමක් කළ යුතුද?
6 ශුද්ධව සිටීමට නම් අප ශාරීරික, මානසික, සදාචාරමය සහ ආත්මික පවිත්‍රකම පවත්වාගත යුතුය. යෙහෝවාගේ නාමය දරන පුද්ගලයන් ලෙස අපගේ ශුද්ධකම රැකගනිමින් “යෙහෝවාගේ දවස” සඳහා අප සූදානම් වෙමින් සිටිනවාද? ලෝකයේ සදාචාර ප්‍රමිති එන්න එන්නම පිරිහෙමින් පවතින නිසා, එවන් පවිත්රකමක් පවත්වාගෙන යෑම අදදින ලෙහෙසි පහසු කාර්යයක් නම් නොවේ. (1 කොරින්ති 7:31; 2 තිමෝති 3:13) අපගේ සදාචාර ප්‍රමිති සහ ලෝකයේ ඒවා අතර පරතරය පුළුල් වන බවක් අපට තේරෙනවාද? එසේ නොතේරෙනවා නම්, අප සැලකිලිමත් විය යුතුය. ඇතැම්විට අපගේ පෞද්ගලික ප්‍රමිති ලෝකයේ ප්‍රමිතිවලට වඩා ඉහළ තලයක තිබෙනවා වන්නට පුළුවන. එනමුත් ඒවාද පිරිහෙමින් පවතිනවා වෙන්නට පුළුවන්ද? තත්වය එය නම්, දෙවිව සතුටු කිරීම පිණිස යම් යම් දේ නිවැරදි කරගැනීමට අප විසින් ධනාත්මක පියවර ගැනීම අවශ්‍යය.
7, 8. (අ) ‘ශුද්ධ වූ හැසිරීම’ පවත්වාගැනීමේ වැදගත්කම අපගේ දෘෂ්ටියෙන් බොඳ වී යා හැක්කේ කෙසේද? (ආ) ගැටලුවක් තිබේ නම් එය නිවැරදි කරගැනීමට කවර පියවර ගැනීම අවශ්‍ය විය හැකිද?
7 අන්තර්ජාලය තුළින් කාමුක දර්ශන ලබාගත හැකි නිසාත්, ඒවා බාධාවකින් තොරව පෞද්ගලිකව නැරඹීමට තිබෙන ඉඩ කඩ නිසාත්, කලින් එවැනි දුරාචාරමය දර්ශන නැරඹීමට කිසිදු අවස්ථාවක් නොලැබූ අයට “ලිංගික අද්දැකීම්වලින් වින්දනයක් ලැබීමට අපමණ අවස්ථා” උදා වී ඇත කියා එක්තරා වෛද්‍යවරයෙක් පවසයි. අන්තර්ජාලයේ එවැනි අපවිත්‍ර වෙබ් අඩවිවලින් වින්දනයක් ලබාගැනීමට අප මාන බැලුවහොත්, ‘කිසි අපවිත්‍ර දෙයකට අත නොගසන්න’ යන බයිබලයේ ආඥාව අප නොසලකා හරින බවට නිසැකයි. (යෙසායා 52:11) අප ඇත්තටම ‘යෙහෝවාගේ දවස පැමිණීම මනසෙහි ප්රමුඛව තබාගෙන සිටිනවා’ කියා පැවසිය හැකිද? එසේ නැතහොත් එවැනි දේවලින් අපගේ මනස අපවිත්‍ර කළද, පවිත්‍ර වීමට තවමත් කල් තිබෙනවායයි තර්ක කරමින් අප මනසින් එම දවස කල් දමමින් සිටිනවා විය හැකිද? මෙම කාරණය සම්බන්ධයෙන් අපට ගැටලුවක් තිබේ නම්, ‘නිෂ්ඵල දේ බැලීමෙන් අපගේ ඇස් හරවා, යෙහෝවාගේ මාර්ගයන්හි අපව ප්‍රාණවත් කිරීමට’ යෙහෝවාගෙන් අයැද සිටීම මොන තරම් හදිසි කාරණාවක් වනු ඇද්ද!—ගීතාවලිය 119:37.
8 බාල මහලු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බහුතරයක්ම දෙවිගේ උසස් සදාචාර ප්‍රමිතිවලට ඇලී සිටිමින් මෙම ලෝකයේ දුරාචාරමය ඇම ප්‍රතික්ෂේප කරමින් සිටිති. අපගේ කාලයේ තිබිය යුතු හදිසිතාවේ හැඟීම ගැනත්, “යෙහෝවාගේ දවස සොරෙකු මෙන් පැමිණෙන” බවට වූ පේතෘස්ගේ අනතුරු ඇඟවීම ගැනත් සාවධානව සිටින ඔවුහු ‘ශුද්ධ වූ හැසිරීම’ දිගටම පවත්වාගනිමින් සිටිති. (2 පේතෘස් 3:10, NW) ‘යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්රමුඛව තබාගන්නා’ බව ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන් සනාථ වේ.a
“දේවභක්තියට අදාළ ක්‍රියා කරමින්” බලා සිටින්න
9. දේවභක්තිය කුමක් කිරීමට අපව පෙලඹවිය යුතුද?
9 යෙහෝවාගේ දවස මනසෙහි තබාගැනීමට නම්, “දේවභක්තියට අදාළ ක්‍රියා” කිරීමද අපහට අත්‍යවශ්‍යය. “දේවභක්තිය” කියද්දී එය දෙවිට දක්වන ගැඹුරු ගෞරවය හා සම්බන්ධව පවතින්නකි. ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉදිරියෙහි ප්‍රසන්න දේ කිරීමට එය අපව පොලඹවයි. දේවභක්තියට අදාළ මෙවැනි ක්‍රියා කිරීමට අපව පොලඹවන්නේ යෙහෝවා කෙරෙහි අපට තිබෙන ගැඹුරු පක්ෂපාතී ඇල්මය. “සියලු ආකාර මිනිසුන් ගැලවීමත්, සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” ඔහුගේ කැමැත්තය. (1 තිමෝති 2:4, NW; 2:3, පැ.අ.) “සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට [දෙවි] කැමති නැත.” (2 පේතෘස් 3:9, NW) එසේනම්, යෙහෝවා ගැන ඉගෙනගෙන ඔහුව අනුකරණය කිරීමට ජනයාට උපකාර කරන්නට අප දරන වෑයම වැඩි කිරීමට අප තුළ තිබෙන දේවභක්තිය අපව පෙලඹවිය යුතු නොවේද?—එෆීස 5:1.
10. “ධනයේ මුළා කරවන බලපෑමෙන්” අප ආරක්ෂා විය යුත්තේ මන්ද?
10 අප පළමුකොට දෙවිගේ රාජ්‍යය සොයනවා නම්, අපගේ ජීවිතය දේවභක්තියට අදාළ ක්‍රියාවලින් පිරී පවතිනු ඇත. (මතෙව් 6:33) ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් අප සමබර ආකල්පයක් දැරීමද මීට අයත් වේ. යේසුස් අනතුරු ඇඟවූයේ මෙලෙසය. “සෝදිසියෙන් සිටිමින්, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න. මන්ද යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.” (ලූක් 12:15, NW) අප මුදලට තිබෙන තණ්හාවෙන් අන්ධ වී සිටිනවා කියා සමහරවිට අප නොසිතනවා විය හැකියි. එනමුත් “සමාජ ක්රමයේ කරදරවලින්ද ධනයේ මුළා කරවන බලපෑමෙන්ද” දෙවිගේ “වචනය යටපත්” විය හැකි බව සැලකිල්ලට ගැනීම යහපති. (මතෙව් 13:22, NW) අපගේ ජීවිකාව පවත්වාගෙන යෑම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවිය හැක. එමනිසා ලෝකයේ ඇතැම් ප්‍රදේශවල වෙසෙන බොහෝදෙනෙකු තර්ක කරන්නේ වඩාත් සුව පහසු ජීවිතයක් ගත කිරීමට නම් ධනවත් රටකට යෑම අවශ්‍ය බවය. ඇතැම්විට ඒ සඳහා වසර කිහිපයක්ම තම පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්ව සිටීමටද ඔවුන්ට සිදු වී ඇත. දෙවිගේ සේවකයන් කිහිපදෙනෙකු පවා මෙලෙස ඒ කාරණය සාධාරණීකරණය කර තිබේ. වෙනත් රටකට යෑමෙන් තම පවුලේ සාමාජිකයන්ට නවීන පහසුකම් සපයා දීමට අවස්ථාව උදා විය හැක. කෙසේවෙතත්, ඔවුන් වෙනත් රටකට ගිය පසු, තම ප්‍රේමණීය භාර්යාවගේ හා දරුවන්ගේ ආත්මිකත්වයට කුමක් සිදු වේවිද? නිවසේදී නිසි මූලිකත්වයක් දක්නට නොලැබෙන නිසා, යෙහෝවාගේ දවසින් බේරී සිටින්නට අවශ්‍ය ආත්මිකත්වය ඔවුන්ට පවත්වාගත හැකි වේවිද?
11. රැකියාවක් සඳහා පිටරට ගිය අයෙක් ධනයට වඩා දේවභක්තියට අදාළ ක්‍රියා කිරීම වැදගත් බව පැහැදිලිව පෙන්නුම් කළේ කෙසේද?
11 පිලිපීනයේ සිට රැකියාවක් සඳහා ජපානයට ගිය පුද්ගලයෙක් එහි සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබල් සත්‍යතා ඉගෙනගත්තේය. මූලිකත්වය හා බැඳි ශුද්ධ ලියවිලිමය වගකීම් ගැන ඉගෙනගත් විට, යෙහෝවාගේ නමස්කාරකයන් වීමට තම පවුලේ සාමාජිකයන්ට තමාගෙන් උපකාර අවශ්‍ය වූ බව ඔහු තේරුම්ගත්තේය. (1 කොරින්ති 11:3) පිලිපීනයේ සිටි ඔහුගේ භාර්යාව ඔහුගේ නව ඇදහිල්ලට තදින්ම විරුද්ධ වූවාය. ඔහු යළිත් මව් රටට පැමිණ තම පවුලට බයිබලය මත පදනම් විශ්වාසයන් උගන්වනවාට ඇය කැමති වූයේ නැත. ඒ වෙනුවට ඇයට වුවමනා වූයේ ඔහු දිගටම විදේශගත වී පවුල සඳහා මුදල් එවනවා දකින්නටය. කෙසේවෙතත්, ජීවත් වන කාලයේ හදිසිතාව තේරුම්ගත් නිසාත්, තම පවුලේ සාමාජිකයන් සඳහා දැඩි සැලකිල්ලකින් සිටි නිසාත්, ඔහු යළිත් සිය මව් රටට පැමිණියේය. පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රේමණීයව කටයුතු කිරීමට ඔහු ඉවසිලිවන්තව දැරූ වෑයමට ප්‍රතිඵල ලැබිණ. කල් යත්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් සැබෑ නමස්කාරය තුළ එක්සත් වූ අතර, ඔහුගේ භාර්යාව පූර්ණ-කාලීන සේවයට පා තැබුවාය.
12. අප ජීවිතයේ මුල් තැන ආත්මික කටයුතුවලට දිය යුත්තේ මන්ද?
12 අප සිටින තත්වය ගින්නෙන් දැවී යන ගොඩනැඟිල්ලක සිටින පුද්ගලයන් මුහුණ දෙන තත්වයට සමාන කළ හැකිය. කඩා වැටෙන්නට ඔන්න මෙන්න තිබෙන ගොඩනැඟිල්ලකින්, කලබල වී බඩුබාහිරාදිය ඉවත් කරගැනීමට වෑයමක් දැරීම ඥානවන්ත දෙයක් වනු ඇද්ද? ඇත්තෙන්ම ඒ වෙනුවට ජීවිත, එනම් අපගේ, අපගේ පවුලේ සාමාජිකයන්ගේ සහ එම ගොඩනැඟිල්ලෙහි වෙසෙන වෙනත් අයගේ ජීවිත බේරාගැනීම වඩාත් වැදගත් කාර්යයක් වන්නේ නැද්ද? ඇත්තෙන්ම කියනවා නම්, දැන් පවතින මෙම දුෂ්ට සමාජ ක්‍රමය ශීඝ්‍රයෙන් කඩා වැටෙන්නට ආසන්නය. ඔව්, ජීවිත අනතුරේ! මෙය තේරුම්ගන්නා අප, ආත්මික කටයුතුවලට මුල් තැන දී, ජීවිත ගලවන රාජ්‍යය දේශනා කිරීමේ වැඩය කෙරෙහි ජ්වලිතව අපගේ අවධානය යොමු කළ යුතුය.—1 තිමෝති 4:16.
අප “නොකිලිටිව” සිටිය යුතුය
13. යෙහෝවාගේ දවස පැමිණෙන විට, අප තුළ ඕනෑකමක් තිබිය යුත්තේ කවර තත්වයක සිටින්නටද?
13 අඛණ්ඩව නිසි ආකල්පයක් ඇතුව බලා සිටීමේ වැදගත්කම අවධාරණය කරමින් පේතෘස් මෙසේ පවසයි. “ප්‍රේමණීය තැනැත්තෙනි, ඔබ මේ දේවල් ගැන බලා සිටින නිසා, නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුක්තව අන්තිමේදී [දෙවි] ඉදිරියෙහි පෙනී සිටීමට හැකි වන පිණිස උපරිම ලෙස උත්සාහ කරන්න.” (2 පේතෘස් 3:14, NW) ශුද්ධ ලෙස හැසිරෙන ලෙසටත් දේවභක්තියට අදාළ ක්‍රියා කරන ලෙසටත් බොහෝ උනන්දුවෙන් අවවාද කිරීමෙන් පේතෘස් නතර වන්නේ නැත. ඔහු ඊළඟට අවධාරණය කරන්නේ පුද්ගලයන් හැටියට අවසානයේදී යේසුස්ගේ අනගි රුධිරයෙන් පවිත්‍ර කරනු ලැබූ අය ලෙස යෙහෝවා ඉදිරියේ පෙනී සිටීමේ වැදගත්කමයි. (එළිදරව් 7:9, 14) මේ සඳහා පුද්ගලයෙක් යේසුස්ගේ පූජාව කෙරෙහි ඇදහිල්ල තැබිය යුතු අතර, යෙහෝවාට කැප වූ බව්තීස්ම ලත් සේවකයෙකු වීම අවශ්‍යය.
14. “නොකිලිටිව” සිටීමට අයත් වන්නේ මොනවාද?
14 “නොකිලිටිව” පෙනෙන පිණිස හැකි උපරිමය කරන්නැයි පේතෘස් අපගෙන් උදක්ම ඉල්ලා සිටියි. ක්‍රිස්තියානි හැසිරීම හා පෞද්ගලිකත්වය නමැති අපගේ වස්ත්‍ර, අප නොකිලිටිව, එනම් මේ ලෝකයෙන් දූෂිත නොවන පරිදි තබාගනිමින් සිටිනවාද? අපගේ ඇඳුම් පැල්ලමක් නිසා කිලිටි වී තිබෙනවා කියා දුටුවහොත් එය ඉවත් කිරීමට අප වහාම උත්සාහ කරනවා නොඅනුමානය. ඒ ඇඳුම අප කැමතිම ඒවායින් එකක් නම්, එය පිරිසිදු කිරීමට අපි ඉතා විශේෂ වෑයමක් දරන්නෙමු. අපගේ පෞද්ගලිකත්වයේ හෝ හැසිරීමේ යම් දෝෂයක් ඇති නිසා අපගේ ක්‍රිස්තියානි වස්ත්‍ර කිලිටි කරවන පැල්ලමක් තිබෙනවා නම්, එය ඉවත් කිරීමට අපට ඒ හා සමාන හැඟීමක් ඇති වෙනවාද?
15. (අ) ඊශ්‍රායෙලිතයන් තම වස්ත්‍ර වාටිවල දාවලු සාදාගත යුතු වූයේ මන්ද? (ආ) යෙහෝවාගේ වත්මන් සේවකයන් වෙනස් අය ලෙස කැපීපෙනෙන්නේ මන්ද?
15 ඊශ්‍රායෙලිතයන්ට “තමුන්ගේ වස්ත්‍ර වාටිවල දාවලු සාදාගෙන එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් අල්ලන” ලෙස නියෝග කර තිබිණ. ඒ මන්ද? යෙහෝවාගේ ආඥා සිහි කර, ඒවාට කීකරු වී, තමන්ගේ දෙවි ඉදිරියේ “ශුද්ධව සිටින” පිණිසය. (ගණන් කථාව 15:38-40) යෙහෝවාගේ නවීන-දින සේවකයන් ලෙස අප මේ ලෝකය ඉදිරියේ වෙනස් අය ලෙස කැපීපෙනෙන්නේ අප දිව්‍ය නීති හා ප්‍රතිපත්ති අනුගමනය කරන බැවිනි. නිදසුනකට අපි සදාචාර පවිත්‍රකම රැකගනිමු, රුධිරයේ පරිශුද්ධභාවයට ගරු කරන්නෙමු, රූප නමස්කාරයේ සියලුම පැතිවලින් වැළකී සිටින්නෙමු. (ක්‍රියා 15:28, 29) අපවිත්‍ර නොවී සිටීමට අප තුළ තිබෙන ස්ථිර අධිෂ්ඨානය දැක බොහෝදෙනෙක් අපට ගෞරවය කරති.—යාකොබ් 1:27.
අප “නිකැළැල්ව” සිටිය යුතුය
16. “නිකැළැල්ව” සිටීමට අයත් වන්නේ මොනවාද?
16 අප “නිකැළැල්ව” සිටින බවත් පෙනී යා යුතුයයි පේතෘස් පැවසීය. එවන් දෙයක් කළ හැක්කේ කෙසේද? සාමාන්‍යයෙන් කිලිටි පැල්ලමක් පිසදැමීමෙන් හෝ සෝදාහැරීමෙන් හෝ ඉවත් කළ හැකිය. එනමුත් කැළලක් සම්බන්ධයෙන් මෙවන් දෙයක් කළ නොහැකිය. කැළලකින් ඇඟවෙන්නේ අභ්‍යන්තරයේ යම් දෝෂයක් තිබෙන බවය. ප්‍රේරිත පාවුල් ෆිලිප්පියේ විසූ සෙසු ක්‍රිස්තියානීන්ට උනන්දුමත් ලෙස අවවාද කළේ මෙලෙසය. “ඔබ කුමන දෙයක් කළත් මැසිවිලි කීමක්වත් විවාදයක්වත් නැතිව කරන්න. එසේ කළ යුත්තේ වංක, නොමඟ ගිය පරම්පරාවක් අතරේ ඔබ නිර්දෝෂව සහ අවංකව සිටිමින් දෙවිගේ නිකැළැල් දරුවන් වන පිණිසය. ඔබ ඔවුන් අතරේ ලෝකයෙහි ප්‍රදීප මෙන් බැබළෙමින්” සිටින්න. (ෆිලිප්පි 2:14, 15, NW) අප එම අවවාදය අනුගමනය කරනවා නම්, මැසිවිලි නැඟීමෙන් හා විවාදවලට පැටලීමෙන් අප වැළකී සිටින අතර, පිරිසිදු චේතනාවකින් දෙවිට සේවය කරනු ඇත. “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කරන විට, යෙහෝවා කෙරෙහිත්, අපගේ අසල්වාසීන් කෙරෙහිත් ප්‍රේමයෙන් පෙලඹී අප ක්‍රියා කරනු නියතය. (මතෙව් 22:35-40; 24:14, NW) දෙවි ගැනත් ඔහුගේ වචනය වන බයිබලය ගැනත් ඉගෙනීමට අන් අයට උපකාර කරන්නට දරන වෑයමක් වශයෙන් අපගේ කාලය ස්වේච්ඡාවෙන්ම මිඩංගු කරන්නේ ඇයි කියා වැඩි ජන පිරිසක් තේරුම් නොගන්නවා විය හැකි වුණත්, ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි අප නොකඩවා නිරත වනු ඇත.
17. ක්‍රිස්තියානි සභාවේ වරප්‍රසාද අත් කරගැනීමට උත්සාහ කරන විට, අපගේ චේතනාව කුමක් විය යුතුද?
17 අපගේ ආශාව “නිකැළැල්” අය ලෙස පෙනෙන්නටය. එමනිසා, අප ලුහුබඳින ඕනෑම දෙයකදී අපගේ චේතනාව පරීක්ෂා කර බැලීම යහපති. ලෝකයා සාමාන්‍යයෙන් යම් දේවල් කරන්නේ ආත්මාර්ථකාමී හේතු පෙරදැරි කරගෙනය. ධනය ඉපයීම හෝ බලය ලබාගැනීම වැනි දේවලදී මෙය විශේෂයෙන් පෙනී යයි. එනමුත් අපි ලෝකයේ මෙම ගතිලක්ෂණ අනුකරණය කිරීමෙන් වැළකී සිටින්නෙමු. අපි ක්‍රිස්තියානි සභාවේ වරප්‍රසාද අත් කරගැනීමට උත්සාහ කරනවා නම්, අපගේ චේතනා පිරිසිදුව තබාගනිමු. නිතරම ප්‍රේමයෙන් පෙලඹී යෙහෝවා සහ අන් අය කෙරෙහි ප්‍රේමය පෙන්වමු. ආත්මික පුරුෂයන් ප්‍රීතියෙන්ද, යෙහෝවා හා තම සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන්ද යටහත් ලෙස සේවය කිරීමේ ආශාව ඇතුව “අවේක්ෂකයෙකුගේ කාර්යභාරය අත් කරගැනීමට වෑයම්” කරනවා දැකීම ඉමහත් ප්‍රීතියකට හේතුවකි. (1 තිමෝති 3:1, NW; 2 කොරින්ති 1:24) ඇත්ත වශයෙන්ම, වැඩිමහල්ලන් ලෙස සේවය කිරීමට සුදුසුකම් ලබා සිටින අය ‘දෙවිගේ රැළ රැකබලා ගන්නේ, කැමැත්තෙනි. වංක ලෙස ලාභ ලැබීමට ඇති ආශාව නිසා නොව උනන්දුවෙනි. දෙවිගේ උරුමය වී සිටින්නන් කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමිනි.’—1 පේතෘස් 5:1-4, NW.
අප “සමාදානයෙන්” සිටිය යුතුය
18. යෙහෝවාගේ සාක්ෂිකරුවන් නම් දරා සිටින්නේ කවර ගුණාංග විදහාපෙන්වීම සම්බන්ධයෙන්ද?
18 අවසාන වශයෙන් පේතෘස් අපට පවසන්නේ “සමාදානයෙන්” සිටින අය ලෙස පෙනී සිටින්නටය. මෙම අවශ්‍යතාවට එකඟව ජීවත් වීමට නම්, අප යෙහෝවා සමඟ හා අපගේ අසල්වාසියා සමඟ සමාදානයෙන් සිටිය යුතුය. “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක්” ඇතුව සිටීමේද, සෙසු ක්‍රිස්තියානීන් සමඟ සමාදානය පවත්වාගැනීමේද වැදගත්කම පේතෘස් අවධාරණය කරයි. (1 පේතෘස් 2:17; 3:10, 11; 4:8; 2 පේතෘස් 1:5-7) අප භුක්ති විඳින සමාදානය පවත්වාගෙන යෑමට නම්, එකිනෙකා අතර ප්‍රේමය තිබීම අනිවාර්යය. (යොහන් 13:34, 35; එෆීස 4:1, 2) අප භුක්ති විඳින ප්‍රේමය හා සමාදානය විශේෂයෙන් දැකගත හැකි වන්නේ ජාත්‍යන්තර සමුළු පවත්වන විටදීය. වර්ෂ 1999දී කොස්ටාරිකාහි සමුළුවක් පැවැත්වූ අවස්ථාවකදී සමුළුව සඳහා පැමිණි සහෝදරයන්ව පිළිගැනීමට පැමිණි සාක්ෂිකරුවන් සමූහය ගුවන් තොටුපොළේ වෙළෙන්දෙකුගේ වෙළඳ කුටිය අවහිර කළේ නොදැනුවත්වමය. ඒ හේතුවෙන් එම වෙළෙන්දා කෝපයට පත් විය. කෙසේවෙතත්, ඊළඟ දිනේදී යමක් ඔහුගේ අවධානයට ලක් විය. මෙම සාක්ෂිකරුවන් සමූහය පැමිණෙන අමුත්තන්ව පෞද්ගලිකව හඳුනාගෙන සිටියේ නැතත්, ඔවුන්ව උද්යෝගයෙන් පිළිගත් විට දැකගත හැකි වූ ප්‍රේමය හා සමාදානය ඔහුගේ සිත්ගත්තේය. අවසාන දිනේදී, මෙම වෙළෙන්දාද පිළිගැනීමේ පිරිසට එක් වූ අතර, තමා සමඟ බයිබල් පාඩමක් කරන මෙන්ද ඉල්ලා සිටියේය.
19. සෙසු ඇදහිලිවන්තයන් සමඟ සමාදානය ලුහුබැඳීම ඉතා වැදගත් වන්නේ මන්ද?
19 අප යෙහෝවාගේ දවස සහ ඔහු පොරොන්දු වී ඇති නව ලෝකය පැමිණෙන තෙක් කොතරම් උනන්දුවෙන් බලා සිටිනවාද යන්නට ඇත්තටම බලපෑ හැකි දෙයක් වන්නේ, අපගේ ආත්මික සහෝදර සහෝදරියන් සමඟ සමාදානයෙන් සිටීමට අප අවංකව දරන වෑයමයි. (ගීතාවලිය 37:11; 2 පේතෘස් 3:13) එක්තරා සෙසු ඇදහිලිවන්තයෙකු සමඟ සමාදානය පවත්වාගෙන යෑම අපට අසීරුයි කියා සිතමු. එසේ නම් පාරාදීසයේ ඔහු සමඟ සමාදානයෙන් ජීවත් වෙයි කියා අපට සිතාගත හැකිද? අපට විරුද්ධව යම් කාරණයක් සහෝදරයෙකුට ඇත්නම්, අප වහාම ගොස් ‘ඔහු හා සමාදාන විය’ යුතුය. (මතෙව් 5:23, 24, NW) යෙහෝවා සමඟ සමාදානයෙන් සිටීමට නම්, එවන් දෙයක් කිරීම අත්‍යවශ්‍යය.—ගීතාවලිය 35:27; 1 යොහන් 4:20.
20. ‘නිසි ආකල්පයක් ඇතුව බලා සිටීම’ කවර ආකාරවලින් පිළිබිඹු විය යුතුද?
20 අප පෞද්ගලිකව ‘යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්රමුඛව තබාගෙන’ සිටිනවාද? දුෂ්ටකමේ අවසානය දැකීමට අප තුළ උද්යෝගිමත් ආශාවක් ඇති බව දැකගත හැකි වන්නේ මෙම දුරාචාර ලෝකය තුළ ශුද්ධව සිටීමට අප දරන වෑයමෙනි. එපමණක්ද නොව, දේවභක්තියට අදාළව අප කරන ක්‍රියා තුළින් පෙනී යන්නේ යෙහෝවාගේ දවස පැමිණීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය පාලනය යටතේ ජීවත් වීම සඳහා අපට උනන්දුමත් ආශාවක් ඇති බවය. තවද සාමදායී නව ලොවෙහි ජීවත් වීම සඳහා අපට තිබෙන අපේක්ෂාව ස්ථිර බව අපගේ සෙසු නමස්කාරකයන් සමඟ දැන් පවා සමාදානය ලුහුබැඳීමෙන් පිළිබිඹු වේ. මෙයාකාරයෙන් අප පෙන්නුම් කරන්නේ අප ‘නිසි ආකල්පයක් ඇතුව බලා සිටින’ බවත්, ‘යෙහෝවාගේ දවස පැමිණීම මනසෙහි ප්රමුඛව තබාගෙන සිටින’ බවත්ය.
[පාදසටහන]
a නිදසුන් සඳහා 2000 ජනවාරි 1 මුරටැඹ සඟරාවේ 16වන පිටුව සහ 1997 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ (සිංහලෙන් නැත) 51වන පිටුව බලන්න.
ඔබට මතකද?
• ‘යෙහෝවාගේ දවස පැමිණීම මනසෙහි ප්රමුඛව තබාගැනීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
• අපගේ හැසිරීමෙන් ‘නිසි ආකල්පයක් ඇතුව බලා සිටින’ බව අප විදහාපෙන්වන්නේ කෙලෙසද?
• “දේවභක්තියට අදාළ ක්‍රියා” අතිවැදගත් වන්නේ මන්ද?
• අප “නොකිලිටිව, නිකැළැල්ව සහ සමාදානයෙන් සිටින බව” යෙහෝවාට පෙනෙන පිණිස අප කුමක් කළ යුතුද?
[11වන පිටුවේ පින්තූරය]
‘නිසි ආකල්පයක් ඇතුව බලා සිටීම’ ශුද්ධ වූ හැසිරීම තුළින් පිළිබිඹු වේ
[12වන පිටුවේ පින්තූර]
රාජ්‍ය දේශනා කිරීමේ වැඩය ජීවිත ගලවන්නකි
[14වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ දවස බලා සිටින අතරතුරේදී අන් අය සමඟ සමාදානය ලුහුබඳිමු