ඔබ ඔබවම අන්‍යයන් සමඟ සසඳනවාද?
අපට වඩා හොඳ පෙනුමක් තිබෙන, අපට වඩා ජනප්‍රිය, දේවල් ඉක්මනින් වටහාගැනීමේ හැකියාව තිබෙන අයව අපි හැමෝම අඳුරනවා විය හැකියි. ඔබ යෞවනයෙක් නම් පාසැලේදී ඔබට වඩා හොඳ ලකුණු ලබාගන්න යෞවනයෙක්ව ඔබ දන්නවා විය හැකියි. සමහරවිට අනිත් අයට අපට වඩා හොඳ සෞඛ්‍යයක් තිබෙනවා වෙන්න පුළුවන්. ඔවුන් අපට වඩා සාර්ථක ජීවිතයක් ගත කරනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔවුන්ට මිත්‍රයන් හුඟදෙනෙක් සිටිනවා වෙන්න පුළුවන්. දේපොළ වස්තු හෝ මුදල් අතින් ඔවුන්ට කිසි අඩුවක් නැති බව පෙනෙන්නට පුළුවන්. ඔවුන්ගේ වාහනය අපේ එකට වඩා අලුත්ද? ඔවුන් අපිට වඩා සන්තෝෂයෙන් සිටිනවා වගේද පේන්නේ? මෙවැනි දේවල් දකිද්දී අපි ඒ අයත් එක්ක අපිව සසඳලා බලනවාද? එසේ කිරීම නොවැළැක්විය හැකි දෙයක්ද? ක්‍රිස්තියානියෙකුට සැසඳීම් කිරීම නුසුදුසු විය හැක්කේ මොන අවස්ථාවලදීද? එමෙන්ම කිසිම කෙනෙක් එක්ක අපව සන්සන්දනය නොකර අපට සතුටින් සිටිය හැක්කේ කෙසේද?
සැසඳීම සහ ඊට හේතුව
කෙනෙක් තමන්ව අන් අයත් එක්ක සන්සන්දනය කරන්නේ ඇයි? තමන්ට තමන් ගැන තිබෙන හොඳ හැඟීම වැඩි කරගැනීමේ අරමුණෙන් විය හැකියි. තමන්ගේ මට්ටමේ සිටින අය වගේ තමුනුත් සාර්ථක බව දැනගැනීමෙන් බොහෝවිට මිනිස්සු සෑහීමට පත් වෙනවා. තවත් සමහරුන් තමන්ව අන් අයත් එක්ක සන්සන්දනය කරන්නේ තමන්ට තමන් ගැනම එතරම් හොඳ හැඟීමක් නැති නිසයි. තමාට කළ හැකි දේවල් සහ කළ නොහැකි දේවල් අන් අයට කළ හැකි හා කළ නොහැකි දේවල් හා සැසඳීමෙන් ඔවුන් එවැනි හැඟීම්වලින් ගොඩ එන්න උත්සාහ කරනවා. ඔවුන් තේරුම්ගන්නේ අන් අයට වඩා ඔවුන් එතරම් වෙනස් නොවන බවයි.
බොහෝවිට පුද්ගලයන් සැසඳීම් කරන්නේ එකම වයසේ එකම පසුබිමක සිටින තමන් දන්නා හඳුනන අය සමඟයි. ස්ත්‍රීන් ස්ත්‍රීන් සමඟත් පුරුෂයන් පුරුෂයන් සමඟත් සැසඳීම් කරනවා. අපත් තවත් පුද්ගලයෙකුත් අතර ලොකු වෙනසක් තිබෙනවා නම් අපි සාමාන්‍යයෙන් ඔහු සමඟ අපව සන්සන්දනය කරන්න යන්නේ නැහැ. තවත් විදිහකින් කියනවා නම් පාසැල් යන දැරියක් සාමාන්‍යයෙන් තමාව සසඳන්නේ තම පාසැල් මිතුරියන් සමඟ මිසක සුප්‍රසිද්ධ නිළියක් සමඟ නෙවෙයි. ඒ වගේම නිළියක් තවත් නිළියක් සමඟ මිසක පාසැල් යන දැරියක් සමඟ තමාව සැසඳීමට යන්නේ නැහැ.
සාමාන්‍යයෙන් සැසඳීම් කරන්නේ කුමනාකාර දේවල් සම්බන්ධයෙන්ද? බුද්ධිය, පෙනුම, ධනය, ඇඳුම් පැළඳුම් වැනි දේවල් සම්බන්ධයෙනුයි. එහෙත් සාමාන්‍යයෙන් කෙනෙක් සැසඳීමක් කරන්නේ ඒ පුද්ගලයා පෞද්ගලිකව උනන්දු වන දේවල් ගැන විතරයි. නිදසුනකට තරුණයෙක් මුද්දර එකතු කරනවායයි සිතන්න. ඔහුගේ මිතුරා මුද්දර එකතු කිරීමට විශේෂ උනන්දුවක් දක්වන්නේ නැත්නම් එම තරුණයා එකතු කරගෙන තිබෙන මුද්දර ප්‍රමාණය ගැන ඔහුගේ මිතුරාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
සැසඳීම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට පුද්ගලයන් තුළ ඇති වන හැඟීම් විවිධාකාරයි. සමහරුන්ට තෘප්තියක් ඇති වන අතර, තවත් සමහරුන් දුක් වෙනවා. ඇතැම් අය සැසඳීම් කර අන් අයගේ හොඳ දැක ඒ අය මෙන් වීමට අවංක උත්සාහයක් දරන්න පෙලඹෙනවා. නමුත් සමහරුන් තුළ ඊර්ෂ්‍යාවක් හා වෛරයක් ඇති වෙනවා. මෙවැනි හැඟීම් ඇතිවීම ක්‍රිස්තියානියෙකුට කොහෙත්ම සුදුසු නැහැ.
තරඟකාරිත්වය නිසා කරන සැසඳීම්
හුඟදෙනෙකුට තරඟකාරී ස්වභාවයක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් අන් අයත් එක්ක සැසඳීම් කර “දිනන්න” කැමතියි. තමන් කැපීපෙනෙන පුද්ගලයන් බව ඔවුන්ට හැඟෙන තෙක් ඔවුන් සෑහීමට පත් වෙන්නේ නැහැ. එවැනි අය සමඟ ආශ්‍රය කිරීම පහසු නැහැ. ඔවුන් සමඟ මිත්‍රත්වයක් පවත්වාගැනීමත් හරිම අසීරුයි. එවැනි අය යටහත් පහත් පුද්ගලයන් නොවන අතර තම අසල්වාසියාට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන උපදෙස් ඔවුන් බොහෝවිට අදාළ කරගන්නේ නැහැ. අප එසේ කියන්නේ ඔවුන් හැසිරෙන ආකාරය නිසයි. අන් අය තුළ නොවටිනාකමේ හැඟීමක් ඇති කිරීමට හෝ අන් අයව නින්දාවට පත් කිරීමට හෝ ඔවුන්ට පුළුවන්.—මතෙව් 18:1-5; යොහන් 13:34, 35.
මෙසේ නින්දාවට පත් වන පුද්ගලයාටද එය අහිතකරව බලපානවා. එක් කතුවරියක් මෙහෙම සඳහන් කළා. “අපේ පසුබිමේ සිටින අය අපි ලබාගන්න කැමති දේවල් ලබාගෙන ඇති බව දකින විට අපේ සිතේ දැඩි වේදනාවක් ඇති වෙයි.” ප්‍රතිඵලයක් හැටියට ඊර්ෂ්‍යාවක්, කෝපයක් සහ දැඩි අමනාපයක් ඇති වෙනවා. ඒ නිසා තරඟකාරී ස්වභාවය තවත් වැඩි වෙනවා. අනික් පුද්ගලයාගේ වස්තුව, සැප සම්පත්, තනතුරු ආදිය දෙස ඔහු දැන් බලන්නේ වපර ඇසින්. මෙය දිගින් දිගටම සිදු වෙයි. බයිබලයේ ‘තරඟකාරිත්වයක් ඇති කිරීම’ හෙළා දැක තිබෙනවා.—ගලාති 5:26.
ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කෙනෙක් ක්‍රියා කරන්නේ කොහොමද? ඔහු දැන් උත්සාහ කරන්නේ අනික් කෙනා කරන ඕනෑම දෙයක් හෙළාදකින්නයි. එසේ කිරීමෙන් ඔහු තමාට සිදු වූ නින්දාවෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. මේ ආකාරයට හැසිරීම ඉතා බොළඳ දෙයක්. එම නිසා ඒ බව වටහාගෙන එලෙස නොහැසිරීමට වගබලා ගත්තේ නැත්නම් එයින් අන් අයට බරපතළ හානි සිදු වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව නිසා සිදු වූ හානි ගැන බයිබලයේ සඳහන් සිද්ධීන් දෙකක් ගැන දැන් අපි සලකා බලමු.
ඊසාක් පිලිස්තිවරුන් සමඟ වාසය කළ කාලයේදී ඔහු “එළුබැටළු සම්පත්ද ගව සම්පත්ද බොහෝ ගෙදර වැසියන්ද ඇතුව සිටියේය. පිලිස්තියයෝ ඔහුට ඊර්ෂ්‍යා කළෝය.” ඔවුන් කළේ කුමක්ද? ඔවුන් ඊසාක්ගේ පියා වූ ආබ්‍රහම් හෑරූ ළිංවලට පස් පුරවා වසා දැමුවා. ඉන්පසුව එම ප්‍රදේශයෙන් පිට වී යෑමට ඔවුන්ගේ රජ ඊසාක්ට අණ කළා. (උත්පත්ති 26:1-3, 12-16) ඔවුන්ගේ ඊර්ෂ්‍යාව නිසා ඔවුන් කොතරම් දුර දිග ගියාද කියා මින් පැහැදිලි වෙනවා. ඊසාක් ලැබූ දියුණුව ඔවුන්ට බලාගෙන ඉන්න බැරුව ගියා.
ශතවර්ෂ කිහිපයකට පසුව දාවිත්ටත් එවැනි දෙයක් සිදු වුණා. දාවිත් යුද්ධවලදී බොහෝ ජයග්‍රහණයන් ලැබූ නිසා කීර්තියට පත් වුණා. ඊශ්‍රායෙලයේ කාන්තාවන් ඔහුගේ ජයග්‍රහණයන් සැමරුවේ “සාවුල් දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද නැසුවෝය” කියා ගී ගයමිනුයි. සාවුල්ට යම් ප්‍රමාණයක ප්‍රශංසාවක් ලැබුණත්, ඔහුව දාවිත් සමඟ සන්සන්දනය කරනු ලැබූ නිසා තමාට නින්දාවක් වූවායයි ඔහුට හැඟුණා. මේ නිසා ඔහුගේ සිතේ ඊර්ෂ්‍යාවක් ඇති වුණා. එදා පටන් දාවිත් කෙරෙහි ඔහුගේ සිතේ වෛරයක් දළුලන්න පටන්ගත්තා. මේ නිසා ඔහු දාවිත්ව මරා දැමීමට මාන බලමින් සිටියා. මොන තරම් දුෂ්ටකමක්ද! මේ සියල්ලටම හේතුව වූයේ ඊර්ෂ්‍යාවයි.—1 සාමුවෙල් 18:6-11.
අපත් සැසඳීම් කරනවාද? අපි අනිත් අය කරන දේවල් සහ ඔවුන්ට තිබෙන දේවල් දෙස බලන්නේ කොහොමද? අප තුළ ඊර්ෂ්‍යාවක් හෝ තරඟකාරී ස්වභාවයක් ඇති වී ඇත්නම් අප පරෙස්සම් විය යුතුයි! එවැනි හැඟීම් හානිදායකයි. දෙවි එවැනි හැඟීම් පිළිකුල් කරනවා. මේ නිසා අපි අපවම සෝදිසි කර බලමින් එවැනි හැඟීම් නැසිය යුතුයි. නමුත් ඊට කලින් සැසඳීම් කිරීමට හේතු වන තවත් දෙයක් අපි සලකා බලමු.
තමාවම සෝදිසි කිරීම හා සෑහීමට පත්වීම
‘මම බුද්ධිමත්ද? මට හොඳ පෙනුමක් තිබෙනවාද? මගේ සෞඛ්‍ය තත්වය හොඳයිද? අන් අය මට ගරු කරනවාද? මම ප්‍රේමණීය පුද්ගලයෙක්ද? සාමාන්‍යයෙන් අපි කණ්ණාඩියක් ඉස්සරහ හිටගෙන මෙවැනි ප්‍රශ්න අහන්නේ නැහැ. එහෙත් එක්තරා ලේඛකයෙකු කියන්නේ “බොහෝවිට එවන් ප්‍රශ්න අපේ යටි හිතේ ඇති වෙනවා” කියායි. “ඉන්පසුව අප යටි හිතින්ම ඒවාට පිළිතුරුත් දෙනවා.” සමහර අය මෙවැනි ප්‍රශ්න තමන්ගෙන්ම අසාගන්නේ අන් අය සමඟ තරඟ කිරීමේ අදහසින්වත්, ඔවුන් සමඟ තිබෙන යම් ඊර්ෂ්‍යාවක් නිසාවත් නොවෙයි. ඔවුන් කරන්නේ ඔවුන් ගැනම තක්සේරුවක් පමණයි. එය වැරදි දෙයක් නෙවෙයි. එහෙත් යම්කිසි පුද්ගලයෙක් මෙවැනි ප්‍රශ්න තමාගෙන්ම අසාගන්නේ වෙනත් කෙනෙකු සමඟ සන්සන්දනය කිරීමක් හැටියට නම් එය වැරදියි.
විවිධ හේතු සාධක නිසා අපි එකිනෙකාට වෙනස් හැකියාවන් තිබිය හැකියි. අපට වඩා සාර්ථක වන අයත් අනිවාර්යයෙන්ම සිටිනවා. එමනිසා ඔවුන් ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා වෙනුවට අප කළ යුත්තේ අප කරමින් සිටින දේවල් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟද කියා සලකා බැලීමයි. හරි දෙය මොකක්ද සුදුසු දෙය මොකක්ද කියා අපිට ස්ථිර මඟ පෙන්වීමක් ලබාගත හැකි වන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති තුළින් පමණයි. යෙහෝවා දෙවි බලන්නේ අපි එක් එක් කෙනා කෙබඳු පුද්ගලයන්ද කියායි. ඔහු අපිව කිසිම කෙනෙක් එක්ක සසඳන්නේ නැහැ. ප්‍රේරිත පාවුල් අපිට මෙලෙස අවවාද කරයි. “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.”—ගලාති 6:4.
ඊර්ෂ්‍යාව නැසීම
අප සියලුදෙනාටම අසම්පූර්ණකම උරුම වී තිබෙන නිසා, ඊර්ෂ්‍යාව නැසීමට දැඩි වෑයමක් දරන්න සිදු විය හැකියි. සමහරවිට සෑහෙන කාලයක් පුරා එම සටන කරන්න සිදු වෙයි. “එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න” කියා බයිබලයෙහි සඳහන් වන බව අපි දන්නවා. නමුත් අපි ඒ උපදෙස පිළිපදිනවාද? උපදෙස් පිළිපැදීම සඳහා දැඩි සටනක් කරන්න සිදු වන බව පාවුල් පවා පිළිගත්තා. ඔහු කිව්වේ ඒ සඳහා “[තමාගේ] ශරීරයට දැඩි ලෙස පහර දෙමින්, වහලෙකුව ඇදගෙන යන්නාක් මෙන් එය ඇදගෙන” යෑමට තමාට සිදු වූ බවයි. (රෝම 12:10; 1 කොරින්ති 9:27) අපි එසේ කරන්නේ කොහොමද? තරඟකාරී සිතුවිලි වෙනුවට යහපත් සිතුවිලි ඇති කරගැනීමෙන්. ඒ විතරක් නෙවෙයි, “තමන් ගැන පමණට වඩා ඉහළින් [සිතීමෙන්]” වැළකී සිටීම සඳහා යෙහෝවාගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කරන්නත් පුළුවන්.—රෝම 12:3.
බයිබලය අධ්‍යයනය කිරීම සහ අධ්‍යයනය කරන දේවල් ගැන මෙනෙහි කිරීමත් අවශ්‍යයි. නිදසුනකට අපට දෙවි පොරොන්දු වී ඇති අනාගත පාරාදීසය ගැන තොරතුරු කියවා මෙනෙහි කරන්න පුළුවන්. ඒ කාලයේදී සියලුදෙනාම සිටින්නේ සාමයෙන් හා සමඟියෙන්. හැමෝම හොඳ සෞඛ්‍යයකින් සිටියි. ඒ වගේම ඒ කාලය කෑම බීමවලින් අඩුවක් නැති කාලයක් වෙයි. සියලුදෙනාමට හොඳ නිවාස තියෙයි. තමන් කරන වැඩවලින් සතුටක් ලබාගැනීමටද හැකි වෙයි. (ගීතාවලිය 46:8, 9; 72:7, 8, 16; යෙසායා 65:21-23) මෙවැනි තත්වයන් යටතේ තරඟ කරන්න අවශ්‍ය වේවිද? අනාගත පාරාදීසයේ ජීවිතය පිළිබඳ සෑම තොරතුරක්ම යෙහෝවා දෙවි සපයා නැති බව ඇත්තයි. නමුත් අප ආශා කරන දේවල් කරන්න අවස්ථාවක් ලැබෙයි කියා සිතන්න පුළුවන්. උදාහරණයකට එක් කෙනෙක් තරු ගැන අධ්‍යයනය කරයි. තවත් කෙනෙක් ලස්සන මෝස්තර නිර්මාණය කරයි. ඒ කාලයේදී වෙනත් කෙනෙකු කරන දෙයක් දැක අපි සතුටු වෙනවා මිසක ඒ ගැන ඊර්ෂ්‍යා වෙන්න යන්නේ නැහැ.
අප සියලුදෙනාම ආශා කරන්නේ එවැනි ජීවිතයක් භුක්ති විඳින්නයි. එමනිසා ඊර්ෂ්‍යාව සහ තරඟකාරිත්වය අත්හැර දැමීමට අප දැන්ම පුරුදු විය යුතුයි. දැනටමත් අප සිටින්නේ මේ ලෝකයේ ගැටලුවලින් නිදහස් වූ ආත්මික පාරාදීසයකයි. එමනිසා දැන් සිටම මෙම නුසුදුසු හැඟීම් ඉවත් කරගැනීමට දැඩි වෑයමක් දරමු.
එසේනම් අන් අය සමඟ අපව සන්සන්දනය කිරීම කොහොමටවත් සුදුසු නැද්ද?
සැසඳීම් කිරීමේ යහපත් පැත්ත
බොහෝවිට මිනිසුන් අනුන් සමඟ තමන්ව සැසඳීමේදී ඊර්ෂ්‍යාවක් කෝපයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් හැමවිටම එසේ විය යුතු නැහැ. මේ සම්බන්ධව ප්‍රේරිත පාවුල්ගේ උපදෙස් සලකා බලන්න: “ඇදහිල්ල සහ ඉවසිලිවන්තකම මාර්ගයෙන් පොරොන්දු උරුම කරගන්නාවූ අයව අනුකරණය කරන්නන්” වන්න. (හෙබ්‍රෙව් 6:12) පාවුල් කියන්නේ අතීතයේ විසූ යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ට සමාන ගුණාංග වර්ධනය කරගන්න උත්සාහ කිරීම ප්‍රයෝජනදායක විය හැකි බවයි. ඒ සඳහා සැසඳීම් කරන්න සිදු විය හැකියි. එනමුත් ඔවුන්ගේ ආදර්ශ සලකා බැලීමෙන් අපට දියුණු වෙන්න අවශ්‍ය පැති දැකගත හැකි වෙයි.
යොනාතාන්ගේ ආදර්ශය සලකා බලන්න. දාවිත්ට ඊර්ෂ්‍යා කරන්න ඔහුට ඕනෑ තරම් හේතු තිබුණා. සාවුල් රජුගේ වැඩිමල් පුත්‍රයා හැටියට රජකම ලැබෙන්න තිබුණේ යොනාතාන්ටයි. නමුත් යෙහෝවා දෙවි ඔහුට වඩා අවුරුදු 30ක් බාල දාවිත්වයි රජකමට තේරුවේ. මේ ගැන ඊර්ෂ්‍යා වෙනවා වෙනුවට යොනාතාන් දාවිත්ට ඔහුගේ උපරිම සහයෝගය දුන්නා. ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණා. මෙයින් පැහැදිලි වන්නේ යොනාතාන් දේවභක්තික පුද්ගලයෙකු වූ බවයි. (1 සාමුවෙල් 19:1-4) ඔහුගේ පියා වූ සාවුල් දාවිත්ව සැලකුවේ සතුරෙක් හැටියටයි. ඊට හාත්පසින්ම වෙනස්ව යොනාතාන් දෙවි කළ තේරීමට ගරු කළා මිසක එය ප්‍රශ්න කරන්න ගියේ නැහැ.
ක්‍රිස්තියානි සභාවේ සහෝදරයන් තමන් හැමදෙයක්ම අනිත් අයට වඩා හොඳින් කළ යුතුයි කියා සිතමින් තරඟකාරී හැඟීම් ඇති කරගැනීම අවශ්‍ය නැහැ. තරඟකාරී ස්වභාවයක් කොහෙත්ම සුදුසු නැහැ. මේරූ ක්‍රිස්තියානීන් අතර කිසිම තරඟයක් නැහැ. ඔවුන් ප්‍රේමයෙන් හා සමඟියෙන් එකිනෙකාට සහයෝගය දක්වනවා. ෆ්‍රාන්චෙස්කෝ ආල්බාරෝනි නමැති සමාජ විද්‍යාඥයා පවසන දේ සලකා බලන්න. “ඊර්ෂ්‍යාව නැසීමට සුදුසුම ක්‍රමය ප්‍රේමය පෙන්වීමයි. අප යමෙකුට ප්‍රේම කරනවා නම් අප කැමති වන්නේ ඔහුට යහපතක්ම සිදු වෙනවා දකින්නයි. ඔහු යම් දියුණුවක් ලබන විට අපට සතුටක් ඇති වෙනවා.” සභාවේ කෙනෙකුට යම් විශේෂ වරප්‍රසාදයක් ලැබෙන විට සුදුසු දේ වන්නේ ඒ ගැන සතුටු වීමයි. යොනාතාන් ක්‍රියා කළේ ඒ විදිහටයි. යෙහෝවාගේ සංවිධානයේ යම් වගකීම් දරමින් විශ්වාසවන්තව සේවය කරන අයට අපි සහයෝගය දක්වන විට යොනාතාන් මෙන් අපිටත් ආශීර්වාද ලැබේවි.
අනික් අතට වෙනත් ක්‍රිස්තියානීන්ගේ කදිම ආදර්ශය අගය කරන්න අපට පුළුවන්. අපි සමබර ලෙස ඔවුන්ගේ ක්‍රියා අපගේ ක්‍රියා සමඟ සසඳනවා නම්, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීමට අපට පෙලඹීමක් ඇති විය හැකියි. (හෙබ්‍රෙව් 13:7) එනමුත් අප පරෙස්සම් විය යුතුයි. මන්ද තරඟකාරී ස්වභාවයක් නොදැනුවත්වම හටගන්න පුළුවන් නිසයි. අප අගය කරන කෙනෙකු අපට වඩා ඉතා දියුණුයි කියා අපට පෙනෙන විට ඔහුව සුළු කරන්න හෝ විවේචනය කරන්න පෙලඹෙනවා නම්, ඔහු කෙරෙහි තිබුණු අගය ඊර්ෂ්‍යාවක් බවට පත් වෙන්න පුළුවන්.
අප මතක තබාගත යුතු දෙයක් තමයි මිනිසුන් අසම්පූර්ණ නිසා කිසිම කෙනෙකු පරිපූර්ණ ආදර්ශයක් නොවන බව. බයිබලයේ “ඔබ ප්‍රේමණීය දරුවන් වන බැවින් දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියා පවසන්නේ එනිසයි. මීට අමතරව “ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය” කියාත් එහි සඳහන් වෙනවා. (එෆීස 5:1, 2; 1 පේතෘස් 2:21) ඇත්තටම අනුකරණය කරන්න වටින්නේ යෙහෝවා දෙවිව සහ යේසුස්වයි. ඔවුන්ගේ ප්‍රේමය, කරුණාවන්තකම, අනුකම්පාව සහ යටහත් පහත්කම අනුකරණය කිරීමට අප වෑයම් කළ යුතුයි. ඔවුන්ගේ ගුණාංග, ආශාවන් සහ දේවල් කරන විදිහ අපගේ ගුණාංග, ආශාවන් සහ අප දේවල් කරන විදිහ සමඟ සසඳා බැලීමට අප උත්සාහ කළ යුතුයි. අප එසේ කරනවා නම් අපට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. එයින් අපගේ ජීවිතයට හොඳ අඩිතාලමක් ලැබෙන අතර, මේරූ ක්‍රිස්තියානි ස්ත්‍රීන් සහ පුරුෂයන් වීමටද අපට හැකි වෙනවා. (එෆීස 4:13) යෙහෝවා දෙවිගේ සහ යේසුස්ගේ පරිපූර්ණ ආදර්ශ අනුකරණය කිරීමට අපි උපරිම උත්සාහයක් දරනවා නම්, අපි අනුන් සමඟ අපව නුසුදුසු ලෙස සැසදීමට පෙලඹෙන්නේ නැති බව සහතිකයි.
[28, 29වන පිටුවේ පින්තූරය]
[සාවුල් රජ දාවිත්ට ඊර්ෂ්‍යා කළා
[31වන පිටුවේ පින්තූරය]
දාවිත් වයසින් බාල වුණත් යොනාතාන් ඔහුව සතුරෙකු ලෙස සැලකුවේ නැහැ