පාඩම් ලිපිය 8
ඊර්ෂ්‍යාව පරාජය කරලා සාමය ලුහුබඳින්න
“සමාදානයට දායක වන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.”—රෝම 14:19.
ගීතිකාව 113 අප සතු සමාදානය
මේ ලිපියෙන්a
1. යෝසෙප්ගේ සහෝදරයන් එයාට ඊර්ෂ්‍යා කරපු නිසා එයාලගේ පවුලට මොකද වුණේ?
යාකොබ් එයාගේ පුතාලා හැමෝටම ආදරේ කළා. ඒත් වයස 17ක් වුණ යෝසෙප්ට එයා අනිත් අයට වඩා ආදරේ කළා. ඒ ගැන යෝසෙප්ගේ සහෝදරයන් එයාට ඊර්ෂ්‍යා කළා. ඊර්ෂ්‍යාව නිසා එයාලට යෝසෙප් ගැන තිබුණේ ලොකු වෛරයක්. තමන්ගේ සහෝදරයන්ගේ වෛරයට ලක් වෙන්න තරම් දෙයක් යෝසෙප් කළේ නැහැ. ඒත් එයාලා යෝසෙප්ව වහලෙක් විදිහට විකුණලා එයාලගේ තාත්තාට කිව්වා එයා වැඩියෙන්ම ආදරේ කරන එයාගේ පුතාව නපුරු සතෙක් මරලා දාලා කියලා. ඊර්ෂ්‍යාව නිසා එයාලගේ පවුලේ තිබුණ සාමකාමී වාතාවරණය නැති වුණා. එයාලගේ තාත්තාව එයාලා දුකට පත් කළා.—උත්. 37:3, 4, 27-34.
2. ගලාති 5:19-21 අනුව ඊර්ෂ්‍යා කරන එක හරිම භයානකයි කියන්නේ ඇයි?
2 බයිබලේ කුඩුකේඩුකම, ඊර්ෂ්‍යාවb සඳහන් කරලා තියෙන්නේ “පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන” කෙනෙක් තුළ දකින්න තියෙන ගතිලක්ෂණ හැටියටයි. අනිත් අයට ඊර්ෂ්‍යා කරන කෙනෙක්ට දේවරාජ්‍යයට ඇතුල් වෙන්න බැරි වෙන්න පුළුවන්. (ගලාති 5:19-21 කියවන්න.) හුඟක් වෙලාවට සතුරුකම්, අඬදබර, හදිසි කෝපය වගේ නරක ගතිලක්ෂණ කෙනෙක් තුළ දකින්න ලැබෙන්නේ එයාගේ හදවතේ ඊර්ෂ්‍යාව කියන බීජය මුල් ඇදලා තියෙන නිසයි.
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 යෝසෙප්ගේ සහෝදරයන් වැඩ කරපු විදිහෙන් පැහැදිලියි ඊර්ෂ්‍යාව නිසා කොයි තරම් හානියක් වෙන්න පුළුවන්ද කියලා. අපි කවදාවත් එයාලා වගේ වැඩ කරන එකක් නැහැ. ඒත් අපි හැමෝටම තියෙන්නේ පාපය උරුම වුණ, රැවටිලිකාර හිතක්. (යෙරෙ. 17:9) ඒ නිසා සමහර වෙලාවලදී අපිට අනිත් අය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. බයිබලේ සඳහන් අවාදර්ශ කීපයක් ගැන දැන් අපි බලමු. ඒවා අපිට උදව් වෙයි අපේ හිතෙත් ඊර්ෂ්‍යාව මුල් අදින්න පුළුවන් හේතු හඳුනගන්න. ඊටපස්සේ අපි බලමු ඊර්ෂ්‍යාව පරාජය කරලා සමාදානයට දායක වෙන දේවල් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා.
ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන් හේතු
4. ෆිලිස්තිවරු ඊසාක්ට ඊර්ෂ්‍යා කළේ ඇයි?
4 කෙනෙක්ට ධන සම්පත් තියෙද්දී. ඊසාක් ගොඩක් පොහොසත් කෙනෙක් නිසා ෆිලිස්තිවරුන් එයාට ඊර්ෂ්‍යා කළා. (උත්. 26:12-14) කොච්චරද කියනවා නම් ඊසාක්ගේ සත්ව රැළවල්වලට ඕන කරන වතුර ගන්න තිබුණ ළිංවලට එයාලා වැලි දාලා වහලා දැම්මා. (උත්. 26:15, 16, 27) අද ඉන්න සමහරුත් තමන්ට වඩා ධන සම්පත් තියෙන අයට ඊර්ෂ්‍යා කරනවා. එයාලට ඕනෙ අනිත් අයට තියෙන දේවල් තමන්ට ලබාගන්න විතරක් නෙමෙයි අනිත් අයට තියෙන දේවල් එයාලට අහිමි කරන්න.
5. ආගමික නායකයන් යේසුස්ට ඊර්ෂ්‍යා කළේ ඇයි?
5 කෙනෙක්ට අනිත් අයගේ ආදරේ ලැබෙද්දී. මිනිසුන් හුඟදෙනෙක් යේසුස්ට ආදරේ කරපු නිසා යුදෙව් ආගමික නායකයන් ඔහුට ඊර්ෂ්‍යා කළා. (මතෙ. 7:28, 29) යේසුස් නියෝජනය කළේ දෙවියන්ව. ඔහු අනිත් අයට ඉගැන්නුවේ සත්‍යය. ඒත් ආගමික නායකයන් යේසුස් ගැන බොරු පතුරුවලා ඔහුගේ නමට මඩ ගහන්න උත්සාහ කළා. (මාක් 15:10; යොහ. 11:47, 48; 12:12, 13, 19) ඒ වාර්තාවෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? කෙනෙක්ට තියෙන හොඳ ගුණාංග නිසා එයාට සභාවේ අයගේ ආදරේ ලැබෙද්දී අපි එයාට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට එයාට තියෙන ලස්සන ගුණාංග ආදර්ශයට ගන්න අපිත් උත්සාහ කරන්න ඕනේ.—1 කොරි. 11:1; 3 යොහ. 11.
6. අනිත් අය ගැන තිබුණ ඊර්ෂ්‍යාව නිසා දියොත්‍රෙෆස් මොකද කළේ?
6 කෙනෙක්ට සභාවේ වගකීම් ලැබෙද්දී. මුල් සියවසේ හිටපු දියොත්‍රෙෆස් සභාවේ පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන්ට ඊර්ෂ්‍යා කළා. එයාට ඕනෙ වුණේ “සභාවේ සහෝදරයන් අතර මුල් තැන ලබාගන්නයි.” ඒ නිසා එයා නියෝජිත යොහන් සහ අනිත් සහෝදරයන් ගැන හුඟක් නරක දේවල් කියලා එයාලා ගැන සභාවේ අයගේ හිතේ තිබුණ ආදරේ, ගෞරවේ නැති කරන්න හැදුවා. (3 යොහ. 9, 10) අපි දියොත්‍රෙෆස් කරපු දේම කරන එකක් නැහැ. ඒත් අපි කරන්න ආසාවෙන් හිටපු පැවරුමක් වෙන කෙනෙකුට ලැබුණොත් එයා ගැන අපිට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ පැවරුම එයා තරම්ම හොඳට කරන්න නැත්නම් එයාටත් වඩා හොඳට කරන්න අපිට පුළුවන් කියලා හැඟුණොත් අපි ඊර්ෂ්‍යා කරයි.
අපේ හදවත පසකට සමානයි. අපි තුළ තියෙන හොඳ ගුණාංග හරියට පැළේක එන මල් වගේ. ඒත් ඊර්ෂ්‍යාව විස සහිත වල් පැළෑටියක් වගේ. ආදරේ, දයාව, කරුණාවන්තකම වගේ ලස්සන ගුණාංග යටපත් කරලා දාන්න ඊර්ෂ්‍යාවට පුළුවන් (7 ඡේදය බලන්න)
7. ඊර්ෂ්‍යාව ඇති කරන සිතුවිලි අපේ හිතේ මුල් ඇද්දොත් මොකක් වෙන්න පුළුවන්ද?
7 ඊර්ෂ්‍යාව හරියට විස සහිත වල් පැළෑටියක් වගේ. ඒක අපේ හිතේ මුල් අදින්න පටන්ගත්තොත් ඒක නැති කරලා දාන එක ලේසි නැහැ. කෙනෙක් තුළ උඩඟු, ආත්මාර්ථකාමී සිතුවිලි තියෙනවා නම් ඊර්ෂ්‍යාව එයාගේ හදවතේ තවත් හොඳට වැඩෙනවා. ඒක ආදරේ, දයාව, කරුණාවන්තකම වගේ ලස්සන ගුණාංග යටපත් කරලා දානවා. ඊර්ෂ්‍යාව අපේ හිතේ මුල් අදින්න පටන් අරන් කියලා අපිට දැනුණ ගමන්ම අපි ඒක අපේ හිතින් සම්පූර්ණයෙන්ම උදුරලා දාන්න ඕනේ. ඊර්ෂ්‍යාව පරාජය කරන්න පුළුවන් කොහොමද?
නිහතමානී වෙන්න. සෑහීමට පත් වෙන්න
දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපිට පුළුවන් ඊර්ෂ්‍යාව හිතින් උදුරලා දාලා නිහතමානී වෙන්න සහ තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න (8 සහ 9 ඡේද බලන්න)
8. ඊර්ෂ්‍යාව පරාජය කරන්න උදව් වෙන ගුණාංග මොනවාද?
8 කෙනෙක් නිහතමානී වෙන්න, තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න ඉගෙනගද්දී එයාට ඊර්ෂ්‍යාව පරාජය කරන්න පුළුවන්. නිහතමානිකම උදව් වෙනවා අපි ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න. අනිත් හැමෝටම වඩා තමන්ට දේවල් ලැබෙන්න ඕනෙ කියලා නිහතමානී කෙනෙක් හිතන්නේ නැහැ. (ගලා. 6:3, 4) තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන කෙනෙක් එයාව අනිත් අය එක්ක සසඳන්නේ නැහැ. (1 තිමෝ. 6:7, 8) කෙනෙක් නිහතමානී නම්, සෑහීමට පත් වෙනවා නම් තව කෙනෙක්ට හොඳ දෙයක් ලැබෙද්දී එයා ඒ ගැන සතුටු වෙනවා.
9. ගලාති 5:16 සහ ෆිලිප්පි 2:3, 4 පෙන්නලා තියෙන විදිහට දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ මොකක් කරන්නද?
9 ඊර්ෂ්‍යා කරනවා වෙනුවට නිහතමානීව වැඩ කරන්නත් තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නත් අපිට දෙවියන්ගේ බලයේ උදව් ඕනේ. (ගලාති 5:16; ෆිලිප්පි 2:3, 4 කියවන්න.) අපේ ඇතුළාන්ත හැඟීම් සහ චේතනා සෝදිසි කරලා බලන්න අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන්ගේ බලයට පුළුවන්. දෙවියන්ගේ උදව් ඇතුව ඊර්ෂ්‍යාව අපේ හිතෙන් අයින් කරලා යහපත් සිතුවිලිවලින් අපේ හිත පුරවගන්න අපිට පුළුවන්. (ගීතා. 26:2; 51:10) දැන් අපි බලමු ඊර්ෂ්‍යාව ඇති කරන සිතුවිලි පරාජය කරන්න පුළුවන් වුණ දෙන්නෙක් ගැන.
යෞවන වයසේ ඉන්න ඊශ්‍රායෙල් ජාතිකයෙක් මෝසෙස් සහ යොෂුවා ළඟට දුවගෙන ගිහින් කියනවා කඳවුරේ ඉන්න දෙන්නෙක් අනාගතවක්තෘවරුන් විදිහට වැඩ කරනවා කියලා. එයාලව නවත්තන්න කියලා යොෂුවා මෝසෙස්ට කිව්වත් මෝසෙස් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් ඒ දෙන්නාටත් ඔහුගේ බලය දුන්න එක ගැන තමන්ට සතුටුයි කියලා මෝසෙස් කියනවා (10 ඡේදය බලන්න)
10. මෝසෙස්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න ඉඩ තිබුණේ මොකක් නිසාද? (කවරයේ පින්තූරය බලන්න.)
10 ඊශ්‍රායෙල් සෙනඟගේ නායකයා විදිහට දෙවියන් පත් කරලා හිටපු මෝසෙස්ට ලොකු අධිකාරියක් තිබුණා. ඒත් එයා වගකීම් බදාගෙන හිටියේ නැහැ. උදහරණෙකට එක අවස්ථාවකදී යෙහෝවා දෙවියන් මෝසෙස්ට දීලා තිබුණ දෙවියන්ගේ බලයෙන් කොටසක් අරන් සම්මුඛ වීමේ කූඩාරම ළඟට ඇවිත් හිටපු වැඩිමහල්ලන් පිරිසකට දුන්නා. ටික වෙලාවකට පස්සේ මෝසෙස්ට දැනගන්න ලැබුණා එතනට ආවේ නැති වැඩිමහල්ලන් දෙන්නෙක්ටත් දෙවියන්ගේ බලය ලැබිලා එයාලා අනාගතවක්තෘන් විදිහට වැඩ කරන්න පටන් අරන් කියලා. ඒ වැඩිමහල්ලන් දෙන්නාව නවත්තන්නද කියලා යොෂුවා ඇහුවාම මෝසෙස් මොකද කළේ? යෙහෝවා දෙවියන්ගේ අවධානය ඒ වැඩිමහල්ලන් දෙන්නාට ලැබුණ එක ගැන මෝසෙස්ට ඊර්ෂ්‍යාවක් ඇති වුණේ නැහැ. ඒ වෙනුවට එයාලට අනාවැකි කියන්න පුළුවන් වුණ එක ගැන මෝසෙස් සතුටු වුණා. (ගණන්. 11:24-29) අපිට මෝසෙස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
මෝසෙස් වගේ නිහතමානී වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (11 සහ 12 ඡේද බලන්න)c
11. වැඩිමහල්ලන්ට මෝසෙස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
11 ඔයා වැඩිමහල්ලෙක් නම් සභාවේ ඔයා ආසාවෙන් කරකර ඉන්න පැවරුමක් කරන්න වෙන කෙනෙක්ව පුහුණු කරන්න කියලා කවදා හරි ඔයාට කියලා තියෙනවාද? උදාහරණෙකට හැම සතියකම ‘මුරටැඹ’ පාඩම මෙහෙයවන පැවරුම ඔයා ආසාවෙන් කරනවා ඇති. ඒත් ඔයා මෝසෙස් වගේ නිහතමානී නම් ඒ පැවරුම කරන්න වෙන සහෝදරයෙක්ව පුහුණු කරන්න කියලා ඔයාගෙන් ඉල්ලුවොත් ‘දැන් මාව අයින් කරන්නයි යන්නේ’ කියලා ඔයා හිතන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා සතුටින් ඒ සහෝදරයාව ඒකට පුහුණු කරනවා.
12. තමන් නිහතමානියි, තියෙන දෙයින් සෑහීමට පත් වෙනවා කියලා සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් පෙන්නලා තියෙන්නේ කොහොමද?
12 මහලු වයසේ ඉන්න හුඟක් සහෝදරයන් මුහුණ දෙන තවත් අභියෝගයක් බලන්න. අවුරුදු ගාණක් තිස්සේ එයාලා වැඩිමහල් මණ්ඩලවල සම්බන්ධීකාරකයන් හැටියට සේවය කළා. ඒත් එයාලට වයස 80ක් වුණාම එයාලා කැමැත්තෙන්ම ඒ පැවරුම තව සහෝදරයෙක්ට භාර දෙනවා. චාරිකා සේවකයනුත් එයාලට වයස 70ක් වුණාම ඒ පැවරුම තව සහෝදරයෙක්ට භාර දීලා එයාලට ලැබෙන අලුත් පැවරුම සතුටින් භාරගන්නවා. පහුගිය අවුරුදු කීපයේදී ලෝකේ පුරාම ඉන්න හුඟක් බෙතෙල් පවුලේ සාමාජිකයන්ගේ පැවරුම් වෙනස් වෙලා එයාලට පුරෝගාමි සේවය කරන්න පැවරුම් ලැබුණා. ඒ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් කාලයක් තිස්සේ ආසාවෙන් කරපු පැවරුම දැන් වෙන අය කරන එක ගැන හිතේ තරහක් ඇති කරගෙන නැහැ.
13. නියෝජිතයන් 12දෙනාට ඊර්ෂ්‍යා කරන්න පාවුල් පෙලඹෙන්න ඉඩ තිබුණේ ඇයි?
13 නිහතමානීව වැඩ කරන්න වගේම තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න ඉගෙනගත්ත තවත් කෙනෙක් තමයි පාවුල්. ඊර්ෂ්‍යාවට හිතේ මුල් අදින්න එයා ඉඩ දුන්නේ නැහැ. හුඟක් මහන්සි වෙලා දේශනා සේවය කළත් එයා නිහතමානීව මෙහෙම කිව්වා. ‘යේසුස්ගේ නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා මමය. නියෝජිතයෙකු කියා හැඳින්වීමටවත් මා වටින්නේ නැහැ.’ (1 කොරි. 15:9, 10) යේසුස් පොළොවේ සේවය කරපු කාලේ නියෝජිතයන් 12දෙනා යේසුස් එක්ක එකට සේවය කළා. ඒත් පාවුල් ක්‍රිස්තියානියෙක් වුණේ යේසුස්ගේ මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් පස්සේ. කාලෙකට පස්සේ පවුල්ව “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවනු ලැබූ නියෝජිතයෙකු ලෙස” පත් කළත් නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක් වෙන්න එයාට අවස්ථාව ලැබුණේ නැහැ. (රෝම 11:13; ක්‍රියා 1:21-26) නියෝජිතයන් 12දෙනා ගැනත් එයාලට යේසුස් එක්ක කිට්ටුවෙන් ඇසුරු කරන්න ලැබුණ එක ගැනත් ඊර්ෂ්‍යා කරනවා වෙනුවට පාවුල් තමන්ට තිබුණ දෙයින් සෑහීමට පත් වුණා.
14. අපි නිහතමානී නම්, තියෙන දෙයින් සෑහීමට පත් වෙනවා නම් අපි මොකද කරන්නේ?
14 අපි නිහතමානී නම්, අපිට තියෙන දෙයින් සෑහීමට පත් වෙනවා නම් අපිත් යෙහෝවා දෙවියන් අධිකාරියක් දීලා තියෙන අයට ගෞරවයෙන් සලකනවා. (ක්‍රියා 21:20-26) දෙවියන් ක්‍රිස්තියානි සභාවේ මූලිකත්වය අරන් වැඩ කරන්න වැඩිමහල්ලන්ව පත් කරලා තියෙනවා. එයාලා අතින් අඩුපාඩුකම් වුණත් දෙවියන් එයාලව සලකන්නේ “තෑගි වශයෙන්” දුන්න පුරුෂයන් හැටියට. (එෆී. 4:8, 11) අපි එයාලට ගෞරවයෙන් සලකලා එයාලා දෙන මඟ පෙන්වීම්වලට නිහතමානීව කීකරු වෙද්දී අපි යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙනවා. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන් එක්ක සාමයෙන් ඉන්නත් අපිට පුළුවන් වෙනවා.
‘සමාදානයට දායක වන දේවල් කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු’
15. අපි කරන්න ඕනෙ මොකක්ද?
15 අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්න පටන්ගත්තොත් අපි අතරේ තියෙන සමාදානය නැති වෙලා යයි. ඊර්ෂ්‍යාව ඇති කරන සිතුවිලි අපි සම්පූර්ණයෙන්ම උදුරලා දාන්න ඕනෙ වගේම අනිත් අයගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන දේවල් නොකර ඉන්නත් අපි පරෙස්සම් වෙන්න ඕනේ. අපි එහෙම කළොත් විතරයි “සමාදානයට දායක වන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද කිරීමට දැඩි උත්සාහයක් දරන්න” කියලා යෙහෝවා දෙවියන් දීලා තියෙන ආඥාවට කීකරු වෙන්න පුළුවන් වෙන්නේ. (රෝම 14:19) ඊර්ෂ්‍යාව පරාජය කරන්න අනිත් අයට උදව් කරන්නත් සමාදානයට දායක වෙන විදිහට වැඩ කරන්නත් අපිට පුළුවන් කොහොමද?
16. ඊර්ෂ්‍යාව පරාජය කරන්න අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
16 දේවල් ගැන අපිට හැඟෙන විදිහ, අපි දේවල් කරන විදිහ අනිත් අයට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. මේ සමාජය අපිට උනන්දු කරන්නේ අපි “සතු දේවල් ප්‍රදර්ශනය” කරන්න කියලයි. (1 යොහ. 2:16) ඒත් ඒකෙන් වෙන්නේ අනිත් අය තුළ ඊර්ෂ්‍යාවක් ඇති වෙන එකයි. අනිත් අයගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන විදිහට වැඩ නොකර ඉන්න කෙනෙක් තමන්ට තියෙන දේවල් ගැන, තමන් මිල දී ගන්න හිතාගෙන ඉන්න දේවල් ගැන නිතරම කතා කරන්නේ නැහැ. එයාට සභාවේ යම් පැවරුම් ලැබෙද්දී එයා ඒ ගැන මහ ඉහළින් හිතන්නේ නැහැ. සභාවේ තමන්ට ලැබෙන පැවරුම් ගැන හැම තිස්සෙම අනිත් අය ඉස්සරහා කියවන්න ගියොත් අනිත් අයගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි අනිත් අය ගැන අවංකවම සැලකිලිමත් වෙනවා නම්, එයාලා කරන යහපත් දේවල් අගය කරනවා නම් එයාලට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන්. ඒ වගේම සභාවේ එක්සත්කම, සාමය රැකගන්න දායක වෙන්නත් අපිට පුළුවන්.
17. යෝසෙප්ගේ සහෝදරයන්ට පුළුවන් වුණේ මොකක් කරන්නද? ඒ ඇයි?
17 ඊර්ෂ්‍යාව පරාජය කරන්න අපිට පුළුවන්. යෝසෙප්ගේ සහෝදරයන් ගැන ආයෙත් හිතන්න. එයාලා යෝසෙප්ට නපුරු විදිහට සලකලා අවුරුදු ගාණකට පස්සේ එයාලට යෝසෙප්ව ඊජිප්තුවේදී ආයෙත් හම්බ වුණා. තමන් කවුද කියලා එයාලට හෙළි කරන්න කලින් යෝසෙප් බැලුවා එයාගේ සහෝදරයන් ඇත්තටම වෙනස් වෙලාද කියලා. එයාලව කෑම වේලකට ආරාධනා කරලා එයාලගේ බාලම සහෝදරයා වුණ බෙන්ජමින්ට යෝසෙප් අනිත් අයට වඩා වැඩි කෑම ප්‍රමාණයක් දුන්නා. (උත්. 43:33, 34) ඒත් එයාගේ සහෝදරයන්ට බෙන්ජමින් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණේ නැහැ. ඒ වෙනුවට එයාලා බෙන්ජමින් ගැනත් එයාලගේ තාත්තා වුණ යාකොබ් ගැනත් ගොඩක් සැලකිලිමත් කියලා යෝසෙප්ට තේරුණා. (උත්. 44:30-34) යෝසෙප්ගේ සහෝදරයන් එයාලගේ හිතේ තිබුණ ඊර්ෂ්‍යාව සම්පූර්ණයෙන්ම උදුරලා දාපු නිසා පවුලේ අය අතරේ ආයෙත් සාමය ඇති කරන්න එයාලට පුළුවන් වුණා. (උත්. 45:4, 15) අපිත් ඊර්ෂ්‍යාව ඇති කරන සිතුවිලි අයින් කරගන්නවා නම් අපේ පවුලේ අය අතරෙත් සභාවේ අය අතරෙත් සාමය ඇති කරන්න දායක වෙන්න අපිට පුළුවන්.
18. යාකොබ් 3:17, 18 අනුව සමාදානයට දායක වෙන විදිහට අපි වැඩ කරද්දී මොකද වෙන්නේ?
18 යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි ඊර්ෂ්‍යාව පරාජය කරලා සමාදානයට දායක වෙන විදිහට වැඩ කරනවා දකින්නයි. ඒ දේවල් දෙකම කරන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. මේ ලිපියේ බලපු විදිහට අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න අපි තුළ නැඹුරුවාවක් තියෙනවා. (යාකො. 4:5) අනික, අපි ජීවත් වෙන්නෙත් අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න අපිව පොලඹවන සමාජයක. ඒත් නිහතමානී වෙන්න, අපිට තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න සහ අනිත් අයව අගය කරන්න අපි ඉගෙනගන්නවා නම් ඊර්ෂ්‍යාවට අපේ හිතේ ඉඩක් නැහැ. ඒ වෙනුවට සමාදානයට දායක වෙන විදිහට අපි වැඩ කරයි. එතකොට හොඳ ගුණාංග තව වැඩියෙන් පෙන්නන්න අපිට පුළුවන්.—යාකොබ් 3:17, 18 කියවන්න.
ගීතිකාව 130 සමාව දෙන්න
a යෙහෝවා දෙවියන්ගේ සංවිධානය සාමකාමී සංවිධානයක්. ඒත් අපිට අනිත් අය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් සංවිධානය තුළ තියෙන සාමය ඒකෙන් නැති වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව ඇති වෙන හේතු අපි මේ ලිපියෙන් බලමු. ඊර්ෂ්‍යාව පරාජය කරලා සාමයට දායක වෙන දේවල් කරන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.
b පැහැදිලි කිරීමක්: බයිබලේ විස්තර කරලා තියෙන විදිහට ඊර්ෂ්‍යා කරන කෙනෙක් අනිත් අයට තියෙන දෙයක් තමන්ට ලබාගන්න උත්සාහ කරනවා වගේම එයාලට තියෙන දේවල් නැති වෙන කල් ආසාවෙන් බලාගෙන ඉන්නවා.
c පින්තූරවල අදහස: වැඩිමහල් මණ්ඩලේ රැස්වීමකදී ‘මුරටැඹ’ පාඩම මෙහෙයවන මහලු වයසේ ඉන්න සහෝදරයාට කියනවා එයාගේ පැවරුමට තරුණ වැඩිමහල්ලෙක්ව පුහුණු කරන්න කියලා. මහලු සහෝදරයා එයාගේ පැවරුමට ගොඩක් ආස වුණත් එයා තරුණ වැඩිමහල්ලාට යම් යෝජනා දීලා, එයාව අවංකව අගය කරලා වැඩිමහල් මණ්ඩලය ගත්ත තීරණයට සම්පූර්ණ සහය දෙනවා.