ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w05 11/1 8-12 පි.
  • ‘මගේ සිතේ කැමැත්ත’ ඉටු වුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘මගේ සිතේ කැමැත්ත’ ඉටු වුණා
  • 2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පැහැදිලි අවබෝධයක් ලැබීම
  • පූර්ණ-කාලීන සේවිකාවක් ලෙස වැඩ කිරීම
  • අධෛර්ය වීම්වලට මුහුණ දීම
  • මුලින් බලා සිටීම පසුව ඉක්මනින්ම තීරණයක් ගැනීම
  • තාමත් අප්‍රිකාව ගැන හිතමින්
  • ටෝගෝවලට නැවත සතුටින් යෑම
  • ඕසේන් එක්ක අප්‍රිකාවේ
  • යෙහෝවඃ වහන්සේගේ ස්ථිරසාර උපකාරය උදෙසා කෘතඥපූර්වක වෙමි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ බල්ලා දරුවන්ට අනතුරක්ද?
    1997 පිබිදෙව්!
  • ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - බටහිර අප්‍රිකාවේදී
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දැන් අනිත් අයටත් උදව් කරන්න මට පුළුවන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w05 11/1 8-12 පි.

ජීවිත කතාව

‘මගේ සිතේ කැමැත්ත’ ඉටු වුණා

ඩොමීනීක් මොගූ

අප්‍රිකාවේ තිබූ සුන්දර තැන් සහ ඒකේ ඉන්න වන සතුන් ගැන ඇසීමෙන් මම සැමවිටම ලැබුවේ පුදුම සතුටක්. අප්‍රිකාවට යන එක පොඩි කාලේ ඉඳන් මම සිහින මැවූ දෙයක් වුණා. අවසානයේදී ඒ කියන්නේ 1998 දෙසැම්බර් මාසයේදී මට අප්‍රිකාවට යන්න ලැබුණා. ඒත් එක්කම මගේ තවත් සිහිනයක් සැබෑ වුණා. ඒ තමයි විදේශ රටක සේවය කරන පූර්ණ කාලීන දේවසේවිකාවක් වීම. මගේ පෙනීම හුඟක් දුර්වල නිසා මම මේක කරන්නේ කොහොමද කියන එක හුඟදෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. මම අප්‍රිකානු ගම්වල වැලි පාරවල් දිගේ ඇවිදින්නේ මඟ පෙන්වන බැල්ලියක් එක්කයි. නමුත් ඌව පුහුණු කරලා තියෙන්නේ යුරෝපයේ නගරවල ඇති පාරවල ඇවිදින්නයි. ඉතින් මං වගේ කෙනෙකුට අප්‍රිකාවේ සේවය කරන්න පුළුවන් වුණේ කොහොමද කියලත් යෙහෝවා ‘මගේ සිතේ කැමැත්ත’ ඉටු කළේ කොහොමද කියලත් කියන්න මට අවසර දෙන්න. —ගීතාවලිය 37:4.

මම ඉපදුණේ 1966 ජූනි 9වෙනිදා දකුණු ප්‍රංශයේ. අපේ පවුලේ ළමයි හත්දෙනයි. මම තමයි බාලයා. ඒ කියන්නේ මට අයියලා දෙන්නෙකුයි අක්කලා හතරදෙනෙකුයි ඉන්නවා. අපේ දෙමාපියන් හරි ප්‍රේමණීයයි. කොහොමවුණත් මගේ ජීවිතයේ ලොකු අඩුවක් තිබුණා. ඒ තමයි මට පරම්පරාවෙන් උරුම වූ රෝගයක් තිබීම. ඒ රෝගය නිසා අන්තිමේදී සම්පුර්ණයෙන්ම අන්ධ වෙනවා. ඒක මගේ ආච්චිටත්, අම්මාටත් මගේ එක අක්කා කෙනෙකුටත් තියෙනවා.

යෞවනියක් හැටියට මට ජාති භේදයට, කොන් කිරීම්වලට සහ කුහකකම්වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා සමාජය ගැන මට ඇති වුණේ වෛරයක්. මේ කාලයේදීම වගේ තමයි අපිට ඒරෝ පළාතට මාරු වෙලා යන්න වුණේ. එහිදී හරි පුදුම වැඩක් වුණා.

එක ඉරිදා දවසක යෙහෝවාගේ සාක්ෂිකාරියන් දෙදෙනෙක් අපේ ගෙදරට ආවා. මගේ අම්මා ඒගොල්ලන්ව අඳුරන නිසා ගෙට එන්න කිව්වා. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් ඇහැව්වා කවදාහරි දවසක බයිබල් පාඩමක් පටන්ගන්නවා කියලා වුණ පොරොන්දුව අම්මාට මතකද කියලා. අම්මාට ඒක මතක තිබුණා. ඒ නිසා ඇය මෙහෙම ඇහැව්වා. “අපි කවදාටද ඒක පටන්ගන්නේ?” ඔවුන් ඉරිදා උදේට පාඩම කරන්න තීරණය කරගත්තා. මේ ආකාරයෙන් අම්මා “ශුභාරංචියේ සත්‍යය” ඉගෙනගන්න පටන්ගත්තා.—ගලාති 2:14.

පැහැදිලි අවබෝධයක් ලැබීම

අම්මා ඉගෙනගන්න දේවල් අවබෝධ කරගන්නත් මතක තබාගන්නත් ගොඩක් වෙහෙසුණා. ඇය අන්ධ නිසා හැම එකක්ම කටපාඩම් කරන්න වුණා. සාක්ෂිකරුවන් ඇය සමඟ හුඟක් ඉවසිල්ලෙන් කටයුතු කළා. නමුත් මම සාක්ෂිකරුවෝ එන හැම අවස්ථාවකදීම කාමරේ අස්සේ හැංගිලා හිටියා. ඒගොල්ලෝ ගියාම තමයි එළියට ආවේ. කොහොමහරි එක දවසක් පැමිණි සාක්ෂිකාරියන් දෙදෙනාගෙන් එක්කෙනෙක් වූ යූජීන් මාව මුණගැහිලා මාත් එක්ක කතා කළා. එයා මට කිව්වා දෙවිගේ ආණ්ඩුව යටතේ පාලනය පවතින කොට ජාති භේද, කොන් කිරීම් හා කුහකකම් කියන එකක්වත් තියෙන්න යන්නේ නැහැ කියලා. ඇය මෙහෙමත් කිව්වා. “ඒක කරන්න පුළුවන් දෙවිට විතරයි.” ඇය කිවූ දේ ගැන මට තවත් දැනගන්න ඕනෑ වුණා කියලා ඔයාලා හිතනවාද? ඔව්, ඊළඟ දවසේම මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

මම ඉගෙනගත්ත හැම එකක්ම මට හරි අලුත් දේවල් වුණා. දෙවි දුෂ්ට දේවල්වලට තාවකාලිකව ඉඩහරින්නේ හොඳ හේතු ඇතිව කියලා මම දැනගත්තා. (උත්පත්ති 3:15; යොහන් 3:16; රෝම 9:17) ඒ වගේම යෙහෝවා දෙවි අපිට හොඳ බලාපොරොත්තුවක් දී තිබෙන බවත් මම ඉගෙනගත්තා. පාරාදීස පොළොවක සදාකල් ජීවත් විය හැකියි කියන පොරොන්දුව දෙවි අපිට දී තිබෙනවා. (ගීතාවලිය 37:29; 96:11,12; යෙසායා 35:1, 2; 45:18) ඒ වෙනකොට කෙමෙන් කෙමෙන් දුර්වල වී යමින් තිබූ මගේ පෙනීමත් ඒ පාරාදීසයේදී මට නැවත ලැබෙන බව මම දැනගත්තා.—යෙසායා 35:5.

පූර්ණ-කාලීන සේවිකාවක් ලෙස වැඩ කිරීම

මම 1985 දෙසැම්බර් මාසේ 12වෙනිදා මගේ කැපවීම වතුර බව්තීස්මයෙන් පෙන්නුම් කළා. ඒ වෙනකොට මගේ අක්කා මාරී ක්ලෙයාර් බව්තීස්ම වෙලයි හිටියේ. මට පස්සේ මගේ ශොන්-පිය අයියත් මගේ අම්මාත් බව්තීස්ම වුණා.

මගේ සභාවේ ස්ථාවර පුරෝගාමීන් හෙවත් පූර්ණ කාලීන දේවසේවකයන් බොහෝදෙනෙක් හිටියා. සේවය සඳහා ඔවුන්ට තිබුණ ප්‍රීතිය හා ඉන් ලබපු උද්‍යෝගය දැකලා මම හුඟක් දිරිගැන්වුණා. මගේ අක්කා මාරී ක්ලෙයාර් ඇසක ආබාධයකින් පෙළුණා වගේම එක කකුලක ආධාරකයක් පැළඳගෙන සිටියා. ඒ වුණත් ඇය පූර්ණ කාලීන සේවයට ඇතුල් වුණා. අද වන තෙක් ඇය මගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට දායක වෙලා තියෙනවා. සභාවේ හිටිය පුරෝගාමිනුත්, පවුලේ හිටිය පුරෝගාමිනුත් නිසා මටත් පූර්ණ කාලීන සේවයේ යෙදෙන්න ඇති වුණේ පුදුම ආශාවක්. ඉතින් 1990 නොවැම්බර් මාසයේදී පුරෝගාමියෙක් හැටියට මම බෙසියෙයි නගරයේ සේවය ආරම්භ කළා.—ගීතාවලිය 94:17-19.

අධෛර්ය වීම්වලට මුහුණ දීම

සේවයේ යද්දී අනිත් පුරෝගාමින් මා ගැන හොඳ සැලකිල්ලකින් හිටියා. ඒ වුණත් මට කළ හැකි දේ සීමිත නිසා විටින් විට මම අධෛර්ය වුණා. මට මීට වඩා කළ හැකි නම් කියන සිතුවිල්ල නිතරම මගේ ඔළුවට ආවා. කොහොමවුණත් ඒ වගේ අධෛර්ය වෙන අවස්ථාවලදී යෙහෝවා මාව ශක්තිමත් කළා. මම වොච් ටවර් ප්‍රකාශන සූචිය (සිංහලෙන් නැත) උපයෝගී කරගෙන පෙනීමේ දුර්වලතා තිබුණ වෙනත් පුරෝගාමීන්ගේ ජීවිත අද්දැකීම් ගැන සොයා බැලුවා. ඒ වගේ අද්දැකීම් හුඟාක් කියවන්න මට පුළුවන් වුණා. මම ඒ ගැන පුදුම වුණා! ඒවායේ තිබුණ ප්‍රායෝගික යෝජනා මට කරන්න පුළුවන් දේ හා බැරි දේ මොනවාද කියන එක අඳුරගන්නට මට උපකාර කළා.

මගේ අවශ්‍යතාවන් සපුරාගැනීමට මම වෙනත් සාක්ෂිකරුවන් එක්ක සාප්පු සංකීර්ණවල පිරිසිදු කිරීමේ වැඩ කරන්න ගියා. එක දවසක් මම දැක්කා මම මේ දැන් පිරිසිදු කරපු තැනක්, මාත් එක්ක වැඩ කරන වෙනත් කෙනෙක් නැවත ගොස් පිරිසිදු කරනවා. සමහර තැන්වල කුණු ඉතිරි වෙලා තියෙන්න ඇති කියන එක නම් නිසැකයි. අපේ පිරිසිදු කිරීමේ කණ්ඩායම භාරව හිටිය පුරෝගාමියෙක් වූ වැලරීව මම මුණගැහෙන්න ගියා. මං නිසා අනිත් අයටත් වැඩ වැඩි වෙනවාද කියන එක මට කෙළින්ම කියන්න කියලා මම වැලරීට කිව්වා. ඒ ගැන මටම තීරණයක් ගන්න ඇය ඉතා කාරුණිකව ඉඩ හැරියා. මට තේරුණා ඒ රස්සාව මට තවදුරටත් කරන්න බැහැ කියලා. ඒ නිසා 1994 මාර්තු මාසේ මම ඒකෙන් අයින් වුණා.

ඉතින් නැවත වතාවක් මම කිසි වැඩකට නැති කෙනෙක් කියන එක මට හැඟුණා. මම ඉතාමත් උවමනාවෙන් යෙහෝවාට යාච්ඤා කළා. මම දැනගත්තා යෙහෝවා මගේ කන්නලව්වලට ඇහුම්කන් දුන්නා කියලා. මේ අවස්ථාවේදීත් බයිබලය හා වෙනත් ක්‍රිස්තියානි ප්‍රකාශන අධ්‍යයනය කිරීම මට ලොකු සහනයක් වුණා. මගේ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වුණත් යෙහෝවාට සේවය කිරීමට මට තිබුණ ආශාව තව තවත් වැඩි වුණා. ඒ ගැන මොනවාද මට කරන්න පුළුවන් වුණේ?

මුලින් බලා සිටීම පසුව ඉක්මනින්ම තීරණයක් ගැනීම

නීම් නගරයේ තිබුණ අන්ධ හා පෙනීමේ දුර්වලතා ඇති අයව පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයෙන් පුහුණුවක් ලබාගැනීමට මම ඉල්ලුම් කළා. මාස තුනකට පුහුණුවක් දීමට අවසානයේදී ඔවුන් එකඟ වුණා. එහි ගත කරපු කාලය මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. එහිදී මගේ ආබාධය ගැන මට හොඳ වැටහීමක් ලැබුණ අතර ඒ අනුව මගේ ජීවිතය සකස් කරගන්න මම ඉගෙනගත්තා. විවිධාකාර අබල දුබලතා තිබුණ අය එක්ක එකට ආශ්‍රය කරන්න ලැබුණ එකෙන් මම ඉගෙනගත්තා මගේ ක්‍රිස්තියානි බලාපොරොත්තුව කොයි තරම් වටින එකක්ද කියන එක. ඒ වගේම සේවය කිරීම සඳහා මට හොඳ ඉලක්කයක් තිබුණා. මේ නිසා මට අන් අයට ප්‍රයෝජනවත් වන දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඊට අමතරව මම ප්‍රංශ බ්‍රේල් ඉගෙනගත්තා.

මම ආපසු ගෙදර ආවාම මට ලැබුණ ඒ පුහුණුව කොයි තරම් මට උදව් වෙලා තියෙනවාද කියන එක මගේ පවුලේ අයට වැටහුණා. නමුත් මම එක දෙයකට නම් ආස වුණේ නැහැ. ඒ තමයි අර සුදු සැරයටිය. ඒ “බස්තම” ගෙනියන කොට මට හැඟුණේ මම අන්ධයෙක් කියලයි. නමුත් ඒකට මම ආස වුණේ නැහැ. ඒ වෙනුවට වෙන මොකක් හරි ආධාරයක්, ඒ කියන්නේ අන්ධ අයට මඟ පෙන්වන බල්ලෙක් හිටියොත් හොඳයි කියලා මට හිතුණා.

මම මඟ පෙන්වන බල්ලෙක් ඉල්ලලා අයදුම් පතක් දැම්මා. නමුත් ඒ සඳහා ගොඩක් කාලයක් බලා ඉන්න වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉල්ලන ඕනෑම කෙනෙකුට ඒ වගේ බල්ලෙක් ලැබෙන්නේ නැති නිසා ඒ ආයතනය මගින් යම් පරීක්ෂණයක් කරන්න ඕනේ කියලත් කිව්වා. එක දවසක් අන්ධ අය සඳහා තිබුණ සංවිධානයක සාමාජිකාවක් වූ එක් ස්ත්‍රියක් කිව්වා අපේ ප්‍රදේශයේ තිබුණ ටෙනිස් ක්‍රීඩා සමාජයෙන් මේ ප්‍රදේශයේ ඉන්න අන්ධ කෙනෙකුට හෝ පෙනීම දුර්වල කෙනෙකුට මඟ පෙන්වන බල්ලෙක් ලබා දෙන්න යනවා කියලා. ඇය කිව්වා ඇයට මාව මතක් වුණා කියලා. ඒක මට ලබා දීලා තියෙන්නේ යෙහෝවා දෙවි කියලා මම හිතපු නිසා ඒ කාරුණික ආරාධනය මම පිළිගත්තා. ඒ වුණත් මට ඒ බල්ලා ලැබෙනකං යම් කාලයක් බලාගෙන ඉන්න වුණා.

තාමත් අප්‍රිකාව ගැන හිතමින්

මේ අතරතුර මම මගේ අවධානය වෙනත් දෙයක් කෙරෙහි යොමු කළා. මම කලින් සඳහන් කළා වගේ පොඩි කාලේ ඉඳලා මට තිබුණ ආසාවක් තමයි අප්‍රිකාවට යන එක. මගේ පෙනීම පිරිහෙමින් තිබුණත් ඒ ආසාව තව තවත් වැඩි වුණා. ඒකට විශේෂම හේතුව වුණේ බයිබලය ගැන ඉගෙනීමටත් යෙහෝවාට සේවය කිරීමටත් එහේ හිටිය ගොඩක් දෙනෙක් දක්වන ආශාව ගැන මට දැනගන්න ලැබීම. මම නිකමට වගේ වැලරීට කියලා තිබුණා අප්‍රිකාව බලන්න යන්න මට ආසයි කියලා. ඒත් එයා කැමති වෙයිද කියලා මම කල්පනා කළා. ඔව් එයා කැමති වුණා. ඊට පස්සේ අපි අප්‍රිකාවේ තිබෙන ප්‍රංශ බස කතා කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල කිහිපයකටම කතා කළා.

ටෝගෝ රටෙන් අපිට පිළිතුරක් ලැබුණා. සතුටින් පිරී ගිය මම වැලරීට කිව්වා මටත් ඇහෙන්න ලියුම කියවන්න කියලා. ඒක දිරිගන්වන ලියුමක් වුණා. ඒ නිසා වැලරී කිව්වා “ඉතින් අපි යමුකෝ” කියලා. ටෝගෝහි ශාඛා කාර්යාලයේ සහෝදරයන් එක්ක ඒ ගැන කතා කළාට පස්සේ එහි අගනගරය වන ලොමේවල ඉන්න පුරෝගාමියෙක් වන සාන්ඩ්‍රාට ලිවීමට මට අවස්ථාව ලැබුණා. අපි අප්‍රිකාවට යන්න 1998 දෙසැම්බර් 1වෙනිදා දාගත්තා.

ප්‍රංශයට වඩා මේ ප්‍රදේශය කොයි තරම් වෙනස්ද! ඒත් මොන තරම් සතුටක්ද! ලොමේවලට බැස්ස ගමන්ම අප්‍රිකාවේ හිරු රැස්වල උණුසුම අපට දැනුණා. ගුවන් තොටුපළේදී අපිට සාන්ඩ්‍රාව හමු වුණා. මීට පෙර කවදාවත් අපිට සාන්ඩ්‍රාව හම්බ වෙලා තිබුණේ නැතත් අපිට දැනුණේ හරියට පරණ යාළුවෙක්ව හම්බ වුණා වගෙයි. අපි එන්න ටික දවසකට ඉස්සෙල්ලා සාන්ඩ්‍රාවයි එයාගේ පුරෝගාමී සහකාරිය වන ක්‍රිස්ටීන්වයි ටැබ්ලීග්බෝ කියන පිටිසරට වෙන්න පිහිටි කුඩා නගරයේ විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න පත් කරලා තිබුණා. ඉතින් ඒගොල්ලන් එක්ක ඔවුන්ගේ අලුත් පැවරුමට යන්න අපිටත් ප්‍රස්තාව ලැබුණා. අපි මාස දෙකක් විතර අප්‍රිකාවේ ඉඳලා නැවත ප්‍රංශයට ආවා. නමුත් නැවත එහේ යන්න මට ආසාවක් තිබුණා.

ටෝගෝවලට නැවත සතුටින් යෑම

ප්‍රංශයට ගිය ගමන්ම වගේ නැවත ටෝගෝවලට යන්න මම ලැහැස්ති වුණා. මගේ පවුලේ අය මට උදව් කරපු නිසා මේ පාර මාස හයක් එහේ ඉන්න මම සැලසුම් කළා. ඉතින් 1999 සැප්තැම්බර් මාසයේ මම නැවත ටෝගෝවලට යන ගුවන්යානකට නැග්ගා. මේ පාර මම යන්නේ තනියම. මගේ ආබාධිත තත්වය නිසා මම තනියම යද්දී මගේ පවුලේ අයට හැඟෙන්න ඇති ආකාරය ගැන සිතා බලන්න. කොහොමවුණත් මම මගේ අම්මාටයි තාත්තටයි කිව්වා ලොමේවල ඉන්න මගේ යාළුවෝ දැන් මගේ පවුලේම අය වගේ කියලා. ඒගොල්ලෝ මම එනකං බලාගෙන ඉන්න නිසා කිසිදේකට බය වෙන්න එපා කියලත් මම කිව්වා.

බයිබලය ගැන උනන්දුව දක්වන මිනිසුන් ගොඩක් ඉන්න ප්‍රදේශයකට නැවත යන්න ලැබුණ එක මොන තරම් සතුටක්ද! මෙහෙ පාරවල්වල අයිනේ ඉඳන් බයිබලය කියවන අයව දකින එක සාමාන්‍ය දෙයක්. ටැබ්ලීග්බෝවල අය බයිබල් සාකච්ඡාවන් කරන්න ඔබට අඬගසනවා. ඒ වගේම විශේෂ පුරෝගාමී සහෝදරියන් දෙදෙනෙක් එක්ක නවාතැන් ගන්න ලැබීමට හැකිවීමත් කොයි තරම් ආශීර්වාදයක්ද! මට වෙනත් සංස්කෘතියක ජනයාව හමුවීමට අවස්ථාව ලැබුණා. ඒගොල්ලෝ යම් දේවල් දිහා බලන්නේ මම බලනවාට වඩා වෙනස් විදිහකට. ඒ ඔක්කොමට වඩා වඩාත් වැදගත් වෙන්නේ අප්‍රිකාවේ සිටින අපගේ සහෝදර සහෝදරියන් රාජ්‍යය සම්බන්ධ කටයුතු ඔවුන් තමුන්ගේ ජීවිතවල මුල් තැනට දැමීමයි. මම එහෙම කියන්න හේතුව තමයි රාජ්‍ය ශාලාවට කිලෝමීටර් ගානක් ඇවිදින්න තිබුණත් ඔවුන් රැස්වීම් අතපසු කළේ නැහැ. ඒ වගේම ඔවුන් මට දැක්වූ ප්‍රේමයෙන් හා මට පෙන්වූ සත්කාරශීලීකමෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.

එක දවසක් අපි ක්ෂේත්‍ර සේවයෙන් පස්සේ ගෙදර එද්දී ආපසු ප්‍රංශයට යන එක ගැන මගේ සිතේ තිබුණ බය ගැන මම සාන්ඩ්‍රාත් එක්ක කතා කළා. මගේ ඇස් පෙනීම තවත් දුර්වල වෙලා. බෙසියේ නගරයේ තිබුණ ඝෝෂාකාරී සහ මිනිසුන්ගෙන් පිරුණු පාරවල්, මහල් නිවාසවල තියෙන පඩි පේලී වැනි පෙනීම දුර්වල කෙනෙකුට ජීවිතය ඉතා අමාරු කරවන දේවල් ගණනාවක් මගේ මතකයට ආවා. ඊට වෙනස්ව මෙහේ පාරවල් ඒ තරම්ම හොඳ වුණේ නැතත් හරි නිස්කලංකයි. හුඟක් සෙනඟ ගැවසෙන්නෙත් නැහැ. වාහන තදබදයත් ඉතා අඩුයි. මම දැන් ටැබ්ලීග්බෝවලට හුරු වෙලා නිසා ප්‍රංශයට ගිහිල්ලා වැඩ කරගන්නේ කොහොමද?

ඉන් දවස් දෙකකට පස්සේ මගේ අම්මා දුරකථන ඇමතුමකින් මට කතා කරලා කිව්වා අන්ධ අය සඳහා මඟ පෙන්වන බල්ලන්ව පුහුණු කරන ආයතනය මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ලැබ්රඩෝ රිට්රීව කියන ජාතියේ බැල්ලියක් මගේ “ඇස් දෙක” වීමට නියමිත වුණා. ඌගේ නම ඕසේන්. මේ වතාවෙත් මගේ අවශ්‍යතාවන් ඉටු වුණ අතර කලින් මට තිබුණ බිය සැක දුරු වෙලා ගියා. ටැබ්ලීග්බෝවල මාස හයක් සතුටින් සේවය කළාට පස්සේ මම ඕසේන්ව හමුවීමට නැවත ගමරට බලා පිටත් වුණා.

මාස ගානක පුහුණුවකින් පස්සේ මගේ භාරය යටතට ඕසේන්ව දුන්නා. මුලින් නම් ඒක ලේසි වැඩක් වුණේ නැහැ. එකිනෙකාව තේරුම්ගන්න අපිට සිද්ධ වුණා. ටික කාලයක් යන කොට මට තේරුණා ඕසේන්ගෙන් කොයි තරම් මට ප්‍රයෝජන තියෙනවාද කියලා. ඇත්තම කියනවා නම් ඕසේන් දැන් මගේ ජීවිතයේ කොටසක් වෙලා. බෙසියෙයි නගරයේ මම බල්ලෙක් එක්ක මිනිසුන්ගේ ගෙවල්වලට යන කොට ඒගොල්ලන්ට කොහොම හැඟෙන්න ඇතියි කියලාද ඔයාලා හිතන්නේ? මිනිසුන් මට ගරු කළා වගේම කරුණාවන්තව සැලකුවා. ඕසේන් අහල පහළ අය අතරේ “වීරයාද” වුණා. සාමාන්‍යයෙන් ආබාධිත පුද්ගලයෙක් එක්ක සංවාදයක් ආරම්භ කරන්න හුඟක් මිනිසුන්ට යම් අපහසුතාවක් දැනෙනවා. ඒත් බල්ලෙක් මාත් එක්ක ඉන්න හේතුව ගැන මම කියන නිසා මගේ ආබාධය ගැන චකිතයක් නැතිව කතා කිරීමට පුළුවන් වුණා. එතකොට ඒ අයත් බය නැතිව මට ඇහුම්කන් දුන්නා. ඇත්තම කියනවා නම් ඕසේන් නිසා මට හොඳ සංවාදයන් ආරම්භ කිරීමට හැකි වුණා.

ඕසේන් එක්ක අප්‍රිකාවේ

මට අප්‍රිකාව අමතක කරන්න බැරි වුණා. ඒ නිසා මම තුන්වන වතාවටත් අප්‍රිකාවට යෑම සඳහා සූදානම් වුණා. මේ වතාවේදී ඕසේන්වත් මම එක්කර ගෙන ගියා. මාත් එක්ක තවත් පුරෝගාමීන් කිහිපදෙනෙක් ඒ කියන්නේ ඇන්ටනී සහ ඕරෝරෝ කියන යුවළත් මගේ මිතුරිය කැරලීන්නුත් එකතු වුණා. අපි 2000 සැප්තැම්බර් 10වෙනිදා ලොමේවලට ගියා.

මුලින්ම හැමෝම වගේ ඕසේන්ට භය වුණා. ටොගෝවල ඉන්න බල්ලෝ සාමාන්‍යයෙන් හරි පොඩි නිසා මෙච්චර ලොකු බල්ලෙක්ව සමහර අය දැකලා තිබුණේ පළමුවතාවටයි. ඌට දාලා තියෙන විශේෂ පටිය දැක්කාම සමහරු හිතුවේ මේ බැල්ලි හරි වසයි, ඒ නිසා ඌව පාලනය කිරීම පහසු වෙන්න ඒක දාලා කියලයි. ඕසේන් මට තර්ජනයක් වන ඕනෑම දෙයකින් මාව බේරගන්න ඉක්මනින්ම ක්‍රියා කළා. ඕසේන් අලුත් පරිසරයට ඉක්මනින්ම හැඩගැසුණා. ඌට කරපටිය දැම්මාම මගේ ළඟම ඉඳගෙන ඌගේ රාජකාරිය අකුරටම කරනවා. ඒක ගැලෙව්වාම සෙල්ලමමයි. සමහර වෙලාවට දඟ වැඩත් කරනවා. ඌගේ වැඩවලින් ඌ විතරක් නෙවෙයි මටත් ලොකු සතුටක් ලැබෙනවා.

සාන්ඩ්‍රා හා ක්‍රිස්ටීන් අපිට කිව්වා ඒ දෙන්නා එක්ක ටැබ්ලීග්බෝ නගරයේම ඉන්න කියලා. සභාවේ සහෝදර සහෝදරියන්ට ඕසේන්ව හුරු කරන්න ඕන වුණ නිසා අපිව බලන්න එන්න කියලා අපි ඔවුන්ට ආරාධනා කළා. මඟ පෙන්වන බල්ලෙක්ට පුහුණු කරලා තියෙන දේවල්, මට මේ බල්ලාගෙන් ලැබෙන සහය හා කෙනෙක් බල්ලා ළඟ ඉන්නකොට කළ යුතු හා නොකළ යුතු දේවල් ගැනත් අපි ඔවුන්ට විස්තර කළා. මාත් එක්ක ඕසේන්ටත් රාජ්‍ය ශාලාවට යන්න වැඩිමහල්ලන්ගෙන් අවසර ලැබුණා. මේ වගේ දෙයක් ටොගෝවල අසාමාන්‍ය සිදුවීමක් නිසා මේ සම්බන්ධයෙන් විස්තර කරලා සභාවේ නිවේදනයක්ද කළා. ක්ෂේත්‍ර සේවයේදී නම් ඕසේන් මාත් එක්ක ආවේ නැවත බැලීම්වලට හා බයිබල් පාඩම්වලට විතරයි. ඒ අය මගේ තත්වය දන්න නිසා ඕසේන්ගේ පැමිණීම ගැන තේරුම්ගන්න පුළුවන් වුණා.

මේ ප්‍රදේශයේ දේශනා සේවයේ යෑමේ ප්‍රීතිය මම දිගින් දිගටම අද්දැක්කා. කරුණාවන්ත මිනිසුන්ගේ සැලකිල්ල නිසාත් මට ඉක්මනින්ම ඉඳගන්න ආරාධනා කිරීම වැනි ඔවුන්ගේ යහපත් ක්‍රියා නිසාත් මට ඒ අය ගැන ලොකු පැහැදීමක් තියෙනවා. ටොගෝවලට මගේ හතරවෙනි ගමනේදී මගේ අම්මාත් මාත් එක්ක ආවා. ඒ 2001 ඔක්තෝබර් මාසයේදී. සති තුනකට පස්සේ අම්මා නැවත ප්‍රංශයට ගියේ මං හොඳින් ඉන්නවා කියන සහතිකය ඇතිවයි.

මට ටෝගෝවල සේවය කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම යෙහෝවාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට තිබෙන හැම දෙයක්ම යෙහෝවාගේ සේවය වෙනුවෙන් යොදද්දී ‘මගේ සිතේ කැමැත්ත’ දිගටම ඉටු කිරීමට යෙහෝවා ක්‍රියා කරයි කියලා මට ස්ථිරයි.a

[පාදසටහන්වල]

a සහෝදරි මොගූ ප්‍රංශයට ඇවිල්ලා නැවත පස්වෙනි වතාවටත් ටෝගෝවලට ගියා. ඇය එහි 2003 ඔක්තොබර් 6 සිට 2004 පෙබරවාරි 6 දක්වා කාලය ගත කළා. ඇය දැන් මුහුණ දෙන බරපතළ අසනීප තත්වය නිසා ඒ ගමන, මේ පිළිවෙළේ ටෝගෝවලට යන්න ලැබුණ අවසාන වතාව විය හැකියි. කොහොමවුණත් දිගටම යෙහෝවාට සේවය කිරීමේ ඇගේ දැඩි ආශාව තවමත් පවතිනවා.

[10වන පිටුවේ පින්තූර]

අප්‍රිකාවේ තිබූ සුන්දර තැන් සහ ඒකේ ඉන්න වන සතුන් ගැන ඇසීමෙන් මම සැමවිටම ලැබුවේ පුදුම සතුටක්

[10වන පිටුවේ පින්තූරය]

ඕසේන් මාත් එක්ක නැවත බැලීම්වලට ආවා

[11වන පිටුවේ පින්තූරය]

ඕසේන්ව රැස්වීම්වලට රැගෙන එන්න වැඩිමහල්ලන් අවසර දුන්නා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න