සිත් තැවුලෙන් පසු වූ සොහොයුරියන් ‘ඊශ්‍රායෙල් වංශය ගොඩනඟයි’
හිරු උදාවෙත්ම ඇත්ත හෙළි වෙයි කියා ලෙයා දැනගෙන සිටියා. එවිට තම ළයේ වැතිරී සිටින්නේ රාකෙල් වෙනුවට ලෙයා බව යාකොබ් දැනගනීවි. යාකොබ්ටත් රාකෙල්ටත් පිළියෙල කර තිබූ මංගල යහනට වේල් පටකින් මුහුණ ආවරණය කරගෙන ලෙයා යන්න ඇත්තේ තම පියාගේ බලපෑම නිසා විය හැකියි.
ඒ මොහොතේදී තමාව රවටා ඇති බව යාකොබ්ට දැනගන්න ලැබුණු විට ඔහුට කෙසේ හැඟෙන්න ඇද්ද! කලකිරීමට පත් වූ ඔහු ගොස් ලෙයාගේ පියා වූ ලාබන් සමඟ ඒ ගැන වාද කළා. මේ අවස්ථාවේදී තමන් ක්‍රියා කළ ආකාරය නිසා මොන වගේ දේවල්වලට මුහුණ දීමට සිදු වෙයිද කියා ලෙයා සිතන්න ඇති. ලෙයා හා රාකෙල් සම්බන්ධ මෙම සිද්ධිය බයිබලයේ වාර්තා වී ඇති ඉතා වැදගත් සිද්ධියක්. බහුභාර්ය සේවනයේ ඇති අන්තරාව තේරුම්ගැනීමට එය අපට උපකාරවත් වෙනවා.
ළිඳ අසල අමුත්තෙක්
ඉහත සිද්ධිය සිදුවීමට වසර හතකට පෙර රාකෙල්ට ළිඳක් අසලදී යාකොබ්ව මුණගැසුණා. ඒ අවස්ථාවේදී රාකෙල් දුවගෙන ගොස් දෙවිගේ සේවකයෙක් වන ඥාති සහෝදරයෙකුව හමු වූ බව පියාට පැවසුවා. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙක් වූ යාකොබ්, ලාබන්ගේ සහෝදරියගේ පුතෙක්. ඉන් මාසයකට පමණ පසු ලාබන්ට අවුරුදු හතක් සේවය කරීමට යාකොබ් ඉදිරිපත් වුණේ රාකෙල්ව ලබාගැනීමේ බලාපොරොත්තුවෙනුයි. යාකොබ් හොඳින් වැඩ කළ නිසාත්, ඥාතීන්ව විවාහ කර දීමේ සිරිතක් ඒ කාලේ පැවති නිසාත් එම විවාහය කර දීමට ලාබන් පොරොන්දු වුණා.—උත්පත්ති 29:1-19.
යාකොබ්ට, රාකෙල් කෙරෙහි තිබුණේ අවංක ආදරයක්. “ඇයට ආදරය කළ නිසා” රාකෙල් වෙනුවෙන් බලා සිටීමට සිදු වූ අවුරුදු හත ඔහුට දැනුණේ “ස්වල්ප දවසක්” ලෙසයි. (උත්පත්ති 29:20, නව ලොව පරිවර්තනය, NW) රාකෙල්ට තිබුණු යහපත් ගතිගුණ නිසා යාකොබ් ඇයට බෙහෙවින් ආදරය කළා.
දෙවිට නමස්කාර කරන කෙනෙකුව විවාහ වීමට ලෙයා බලාපොරොත්තු වුණාද? ඒ ගැන බයිබලයේ සඳහන් වී නැහැ. කොහොමවුණත් ලාබන්ගේ අරමුණ නම් පැහැදිලියි. නියමිත කාලය උදා වූ විට ලාබන් විවාහ උත්සවය පැවැත්වීමට සැලසුම් කළා. නමුත් විවාහ උත්සවය පැවති දින රාත්රියේදී සිදු වුණේ කුමක්ද කියා වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “රෑ බෝ වූ විට ලාබන් තම දියණිය වන ලෙයාව යාකොබ් වෙතට ගෙන ආවේය. ඔහු එසේ කළේ යාකොබ් ඇය සමඟ සයනය කරන පිණිසය.”—උත්පත්ති 29:23, NW.
යාකොබ්ව රැවටීමේ කුමන්ත්‍රණයට ලෙයා සහභාගි වුණේ කැමැත්තෙන්මද? නැත්නම් ඇගේ පියාට කීකරු වීමට සිදු වූ නිසාද? ඒ වෙද්දී රාකෙල් සිටියේ කොහේද? සිදුවීමට යන දේ ඇය දැනගෙන සිටියද? එසේනම් ඇයට කෙසේ හැඟෙන්න ඇද්ද? ඇයට ඒ වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වුණේ පියා සැර පරුෂ කෙනෙක් නිසාද? මෙවැනි ප්‍රශ්නවලට බයිබලයේ පිළිතුරු සපයා නැහැ. රාකෙල්ටත් ලෙයාටත් මේ ගැන කොහොම හැඟුණත් යාකොබ්ට නම් ලාබන් සමඟ හොඳටම කේන්ති ගියා. ඒ නිසයි ඔහු ලාබන්ගෙන් මෙසේ ඇසුවේ. “මම ඔබට සේවය කළේ රාකෙල් වෙනුවෙන් නොවෙයිද? එසේනම් ඇයි ඔබ මාව මෙලෙස රැවැට්ටුවේ?” එයට පිළිතුරු දෙමින් ලාබන් මෙසේ පැවසුවා. “අපි සාමාන්‍යයෙන් වැඩිමල් තැනැත්තියව විවාහ කර දුන් පසුවයි බාල තැනැත්තියව විවාහ කර දෙන්නේ. ලෙයාගේ මංගල සතිය සම්පූර්ණ කරන්න. තව අවුරුදු හතක් ඔබ මට සේවය කළොත් මම ඇගේ නැඟණියවත් ඔබට දෙන්නම්.” (උත්පත්ති 29:25-27, NW) මෙලෙස යාකොබ්ව බහුභාර්ය විවාහයකට සම්බන්ධ කරවීමෙන් භාර්යාවන් අතර ඊර්ෂ්‍යාවක් ඇති වුණා.
සතුට ගිලිහී ගිය පවුලක්
යාකොබ්, රාකෙල්ට ගොඩාක් ආදරය කළා. නමුත් ලෙයාට “ආදරය නොලැබුණු බව” යෙහෝවා දෙවි දුටු විට රාකෙල් වඳව සිටියදී ලෙයාට දරු සම්පත් දී ඇයට ආශීර්වාද කළා. නමුත් ලෙයාට අවශ්‍යය වුණේ දරුවන්ට වඩා වැඩි දෙයක්. එනම් යාකොබ්ගේ ආදරයයි. යාකොබ් රාකෙල්ට ආදරය කරන බව ලෙයා දුටු විට ඇයට ලොකු වේදනාවක් දැනුණා. ලෙයා යාකොබ්ගේ ආදරය බලාපොරොත්තු වුණු නිසා ඇගේ පළමු දරුවට “බලන්න පුතෙක්” යන අර්ථය ඇති රූබෙන් යන නම තැබුවා. එම නම දැමීමට ලෙයාට හොඳ හේතුවක් තිබුණා. “යෙහෝවා දෙවි මම විඳින දුක දෙස බැලුවා. දැන්වත් මගේ ස්වාමිපුරුෂයා මට ආදරය කරාවී” කියා ඇය පැවසුවේ ඒ නිසයි. නමුත් ලෙයාට තව දරුවෙක් ලැබුණත් යාකොබ්ගේ ආදරය නම් ඇයට ලැබුණේ නැහැ. ඒ නිසා දෙවෙනි පුතාට “සවන් දුන්නා” යන අර්ථය ඇති සිමියොන් යන නම තැබුවා. එයට හේතුව ඇය මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි මට සවන් දුන්නා. මට ආදරය නොලැබුණු නිසා දෙවි මට තවත් දරුවෙක් දුන්නා.”—උත්පත්ති 29:30-33, NW.
දෙවි ලෙයාට සවන් දීමෙන් පැහැදිලි වන්නේ ලෙයා ඇගේ තත්වය ගැන දෙවිට යාච්ඤා කර තිබූ බවයි. පෙනෙන විදිහට ඇය ඇදහිලිවන්ත ස්ත්‍රියක්. නමුත් ඇගේ තුන්වන දරුවා වූ ලෙවී ඉපදුණු පසුවත් ඇගේ වේදනාව නැති වුණේ නැහැ. ලෙවී යන නමේ අර්ථය වුණේ “ඇලුම් වෙයි” හෝ “එකතු වෙයි” යන්නයි. “මගේ ස්වාමිපුරුෂයාට මා පුතුන් තුන්දෙනෙක් බිහි කළ නිසා මේ වතාවේදී නම් ඔහු මට ඇලුම් වෙයි” කියා සිතූ නිසයි ඇය එම නම දැමුවේ. කොහොමවුණත් යාකොබ්ගේ ආදරය නම් ඇයට ලැබුණේ නැහැ. මේ අතරතුර ඇය තවත් දරුවෙකුව බිහි කළා. නමුත් තවදුරටත් යාකොබ් තමාට ආදරය කරයි යන බලාපොරොත්තුව ලෙයාට නොතිබූ බව හතරවෙනි දරුවාට දැමූ නමින් පැහැදිලි වෙනවා. “ප්‍රශංසා කිරීම” යන අරුත ඇති යූදා යන නම ඔහුට තැබුවා. පසුව ලෙයා මෙසේ පැවසුවා. “මේ වතාවේදී මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනවා.”—උත්පත්ති 29:34, 35, NW.
ලෙයා කනස්සල්ලෙන් පසු වූ අතර රාකෙල්ද සිටියේ කලකිරුණු තත්වයකයි. ඒ නිසයි ඇය යාකොබ්ට මෙසේ පැවසුවේ. ‘මට දරුවන් දෙන්න. නැත්නම් මමත් මළ ස්ත්‍රියක් මෙනි.’ (උත්පත්ති 30:1, NW) දෙදෙනාම යාකොබ්ට ආදරය කළ අතර යාකොබ්ට දාව දරුවන් හදන්න බලාපොරොත්තු වුණා. රාකෙල්ට යාකොබ්ගේ ආදරය ලැබුණත් ඇයට දරුවන් ලැබුණේ නැහැ. ලෙයාට දරුවන් ලැබුණත් ඇයට යාකොබ්ගේ ආදරය ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන් එකිනෙකාට ඊර්ෂ්‍යා කළා. දෙදෙනාටම ඕන වුණේ අනිත් කෙනාට තිබුණු දේ ලබාගන්න නිසා ඔවුන් සිටියේ අසතුටින්. එම පවුල තුළ කොතරම් දුක්බර තත්වයක් තියෙන්න ඇද්ද!
රාකෙල්ට දරුවන් ලැබුණාද?
එම කාලයේදී වඳභාවය ඉතාමත් නින්දිත තත්වයක් වුණා. දෙවි ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට පොරොන්දු වී තිබුණා “වංශය” බිහි වන්නේ ඔවුන් තුළින් බව. එමෙන්ම එමගින් සියලු පවුල් ආශීර්වාද ලැබීමට නියමිත බවත් පවසා තිබුණා. (උත්පත්ති 26:4; 28:14, NW) නමුත් රාකෙල්ට දරුවන් ලැබුණේ නැහැ. රාකෙල්ව එම ආශීර්වාදයේ පංගුකාරියක් වීමට සලස්වන්න හැකියාව තිබෙන්නේ දෙවිට පමණක් බව යාකොබ් ඇයට පැහැදිලි කළා. නමුත් රාකෙල් ඉවසිලිවන්තව ක්‍රියා කරනවා වෙනුවට “මම මගේ සේවිකාව වන බිල්හාව ඔබට භාර්යාවක් හැටියට දෙනවා. එවිට ඇගෙන්වත් මට දරුවන් ලැබෙයි” කියා පැවසුවා.—උත්පත්ති 30:2, 3, NW.
රාකෙල් එසේ කළේ ඇයි කියා පැහැදිලිව තේරුම්ගන්න බැහැ. නමුත් මැදපෙරදිග සිරිතකට අනුව වඳව සිටින බිරිඳක් තම මෙහෙකාරියව ස්වාමිපුරුෂයාට ලබා දී දරුවන්ව බිහි කිරීමේ සිරිතක් පුරාණයේ පැවත තිබෙනවා.a (උත්පත්ති 16:1-3) සමහර අවස්ථාවලදී වඳව සිටින බිරිඳ එම දරුවන්ව තමන්ගේම දරුවන් ලෙස සලකනු ලැබුවා.
බිල්හාට දරුවෙකුව ලැබුණු විට සතුටට පත් වූ රාකෙල් පැවසුවේ මෙයයි. “දෙවි මගේ විනිශ්චයකරු ලෙස ක්‍රියා කළා. ඔහු මගේ හඬට සවන් දෙමින් මට පුත්‍රයෙක් ලබා දුන්නා.” ඇය ඔහුට “විනිශ්චයකරු” යන අරුත ඇති දාන් යන නම තැබුවා. මින් පැහැදිලි වන්නේ රාකෙල් තමන්ට මුහුණ දෙන්න සිදු වූ දේවල් ගැන දෙවිට යාච්ඤා කළ බවයි. බිල්හා දෙවන වතාවටත් ගැබ්ගෙන පුතෙකු බිහි කළ විට “මගේ පොරබැදීම “ යන තේරුම ඇති නෆ්තලී යන නම රාකෙල් ඔහුට තැබුවා. ඉන්පසු ඇය මෙසේ පැවසුවා. “මගේ සහෝදරිය එක්ක මහත් පොරබැදීමක් කර මම ජයගත්තා!” රාකෙල් සහ ලෙයා තම දරුවන්ට දැමූ නම්වල අර්ථයෙන් පැහැදිලි වන්නේ ඒ දෙදෙනා අතර ගට්ටනයක් පැවති බවයි.—උත්පත්ති 30:5-8, NW.
බිල්හාව තම ස්වාමිපුරුෂයා වූ යාකොබ්ට ලබා දීමෙන්, තමන් දෙවිට කළ යාච්ඤාවලට එකඟව ක්‍රියා කළා කියා රාකෙල් සිතන්න ඇති. නමුත් දෙවි රාකෙල්ට දරුවන්ව ලබා දෙන්න සැලසුම් කළේ ඒ ආකාරයට නෙවෙයි. එයින් අපිටත් යම් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එනම් අපිත් දෙවිට යම් යාච්ඤාවක් කළ පසු එයට පිළිතුරු ලැබෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටිය යුතුයි. මන්ද දෙවිට හැකියි අපි නොහිතන විදිහට අපේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන්න.
රාකෙල්ට දෙවෙනි වීමට අකමැති වූ ලෙයා තම සේවිකාව වූ ශිල්පාව යාකොබ්ට ලබා දුන්නා. ඇය බිහි කළ පළමු දරුවාව ගාද් කියා නම් කළ අතර දෙවෙනි දරුවාව ආෂේර් ලෙස නම් කළා.—උත්පත්ති 30:9-13.
ඒ කාලයේදී මැන්ඩ්රේක් පල ගර්භිණීභාවය අත් කරගැනීමට උපකාරවත් වන බවට මතයක් තිබුණා. ලෙයාගේ පුත් රූබෙන් එම පල ගෙනැවිත් ලෙයාට දුන් විට රාකෙල් ඒවා ඉල්ලීමෙන් ලෙයා සහ රාකෙල් අතර ඊර්ෂ්‍යාවක් තිබූ බව පැහැදිලි වෙනවා. රාකෙල් ඒවා ඉල්ලූ විට “ඔබ මගේ ස්වාමිපුරුෂයාව මගෙන් උදුරගත්තා මදිවට දැන් මගේ පුතා ගෙනා මැන්ඩ්රේක් පලත් ගන්න හදනවාද” කියා ලෙයා ඇසුවා. ඇය පැවසූ එම වචනවලින් පැහැදිලි වෙන්නේ යාකොබ් ලෙයා සමඟ ගත කළාට වඩා වැඩි කාලයක් රාකෙල් සමඟ ගත කළ බවයි. ලෙයාට යම් අසාධාරණයක් සිදු වී ඇති බව තේරුම්ගත් රාකෙල් මෙසේ පැවසුවා. “ඔබේ පුතා ගෙනා මැන්ඩ්රේක් පල ඔබ මට දුන්නොත් අද ඔබට යාකොබ් සමඟ රාත්‍රිය ගත කරන්න පුළුවන්.” ඒ නිසා යාකොබ් ගෙදර ආ සැණින්ම ලෙයා “අද ඔබ රාත්‍රිය ගත කළ යුත්තේ මා සමඟයි. මගේ පුතා ගෙනා මැන්ඩ්රේක් පල දී මම ඔබව කුලියට ගත්තා” කියා පැවසුවා.—උත්පත්ති 30:15, 16, NW.
ලෙයාට තවත් පුතුන් දෙදෙනෙක් ලැබුණු අතර ඔවුන්ට ඉසකා සහ සෙබ්යුලන් යන නම් තැබුවා. ඉන්පසු ඇය මෙසේ පැවසුවා. “මම මගේ ස්වාමිපුරුෂයාට පුතුන් හයදෙනෙක් බිහි කර දුන් නිසා ඔහු දැන් මාව පිළිගනියි.”b—උත්පත්ති 30:17-20, NW.
මැන්ඩ්රේක් පලවලින් රාකෙල්ට ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. නමුත් යෙහෝවා දෙවි ඇයගේ ‘කන්නලව්වට සවන් දුන්’ නිසා විවාහයෙන් අවුරුදු හයකට පසු ඇය ගැබ්ගෙන පුතෙකුව බිහි කර ඔහුට යෝසෙප් යන නම තැබුවා. එවිට පමණයි “දෙවි මගේ නින්දාව පහ කළා” කියා පැවසීමට රාකෙල්ට හැකි වුණේ.—උත්පත්ති 30:22-24, NW.
මරණය සහ උරුමය
රාකෙල්ගේ දෙවෙනි පුත් බෙන්ජමින්ව උපදවද්දී ඇය මිය ගියා. යාකොබ් වැඩියෙන් ආදරය කළේ රාකෙල්ට සහ ඇගේ පුතුන් දෙදෙනාටයි. අවුරුදු ගණනාවකට පසුව යාකොබ් මරණාසන්නව සිටියදී පවා ඔහු රාකෙල්ව සිහි කළා. (උත්පත්ති 30:1; 35:16-19; 48:7) ලෙයාගේ මරණය ගැන අපි කිසිවක් දන්නේ නැහැ. නමුත් යාකොබ් පැවසුවේ ලෙයාව තැන්පත් කළ තැනම ඔහුවත් තැන්පත් කරන්න කියායි.—උත්පත්ති 49:29-32.
යාකොබ් ගත කළේ දුක්බර ජීවිතයක්. (උත්පත්ති 47:9) එමෙන්ම ලෙයා සහ රාකෙල්ද එවැනිම ජීවිතයක් ගත කළ බවට සැකයක් නැහැ. එක් ස්වාමිපුරුෂයෙකුට එක් භාර්යාවක් පමණක් සිටිය යුතුයි කියා යෙහෝවා දෙවි පැවසීමට හේතුව ඉන් හොඳින් පැහැදිලි වෙනවා. (මතෙව් 19:4-8; 1 තිමෝති 3:2, 12) විවාහයෙන් පිට ලිංගික හැසිරීම හෝ ආලවන්ත හැඟීම් පෑම මගින් පවුලක් තුළ ඊර්ෂ්‍යාව ඇති වෙයි. දෙවි වේශ්‍යාකම සහ දුරාචාරය හෙළාදැකීමටද එය එක් හේතුවක් වෙනවා.—1 කොරින්ති 6:18; හෙබ්‍රෙව් 13:4.
රාකෙල් සහ ලෙයා අපි වැනි දුර්වල පව්කාර අය වුණත් දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා ඔවුන් දෙදෙනාව යොදාගත්තා. ඒ නිසයි රාකෙල් හා ලෙයා ‘ඊශ්‍රායෙල් වංශය ගොඩනැඟුවා’ කියා පවසන්නේ. දෙවි තමන්ගේ අරමුණ ඉටු කිරීමට එදා මෙන් අදත් තම ඇදහිලිවන්ත සේවකයන්ව යොදාගන්නවා.—රූත් 4:11, NW.
[පාදසටහන්වල]
a පුරාණ ඉරාකයේ නියුසි කියන ප්‍රදේශයෙන් සොයාගත් ලියවිලිවල මෙසේ සඳහන් වුණා. “ෂෙන්නිමා කියන තැනැත්තාට කෙලිම්නිනුව විවාහ කර දුන්නා. කෙලිම්නිනුට දරුවන් බිහි කිරීමට නොහැකි වුණොත් ලුලු කියන ප්‍රදේශයෙන් මෙහෙකාරියක්ව ගෙන්වාගෙන ඇයව ෂෙන්නිමාට බිරිඳක් කොට දුන්නා.”
b යාකොබ්ට සිටි දියණියන් අතරින් අපි දන්නේ දීනා ගැන විතරයි.—උත්පත්ති 30:21; 46:7, NW.
[9වන පිටුවේ පින්තූරය]
රාකෙල් සහ ලෙයා උත්සාහ කළේ අනිත් කෙනා සතුව තිබූ දේ ලබාගන්න නිසා ඔවුන් සිටියේ අසතුටින්
[10වන පිටුවේ පින්තූරය]
ඊශ්‍රායෙල් ජාතිය පැවතුණේ යාකොබ්ගේ පුතුන් දොළොස්දෙනාගෙනුයි