දෙවිට ළං වෙන්න
සැලකිලිමත් එඬේරෙක්
‘දෙවි මං ගැන සැලකිල්ලක් දක්වනවාද?’ මේ විදිහට ඔබ කල්පනා කර තිබෙනවා නම් එය ඔබට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවන බව මතක තබාගන්න. අපි කටුක තත්වයන්ටත් ප්‍රශ්නවලටත් මුහුණ දෙන ඇතැම් අවස්ථාවල මුළු විශ්වයම නිර්මාණය කළ තැනැත්තා වන යෙහෝවා දෙවි අප ගැන සලකනවාද කියා කල්පනා කරන්න ඉඩ තිබෙනවා. ඔහු අප එක් එක්කෙනා ගැන සලකනවාද? දෙවි ගැන හොඳින්ම දන්න යේසුස් මිහිතලයේ ජීවත්ව සිටියදී දෙවි දක්වන සැලකිල්ල ගැන කාවද්දන උපමාවක් පැවසුවා.
ඔහු එම උපමාවෙන් පෙන්නුවේ බැටළුවන් ගැන සැලකිල්ල දක්වන එඬේරෙකු ගැනයි. “යම් මිනිසෙකුට බැටළුවන් සියදෙනෙකු සිටිද්දී, උන්ගෙන් එකෙකු නැති වුවහොත් ඔහු අනූනවදෙනාව කඳුවල ඉන්න හැර, නැති වූ බැටළුවා සොයා යන්නේ නැද්ද? ඌව සම්බ වුණොත්, නැති නොවූ අනූනවදෙනා ගැන ප්‍රීති වනවාට වඩා ඔහු ඌ ගැන ප්‍රීති වන්නේයයි මම ඔබට ඒකාන්තයෙන් කියමි. එලෙසම මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වීම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ට ප්‍රසන්න දෙයක් නොවේ.” (මතෙව් 18:12-14) යෙහෝවා දෙවි තමන්ට නමස්කාර කරන එක් එක් පුද්ගලයාට ඉමහත් සැලකිල්ලක් දක්වන ආකාරය පෙන්වීමට යේසුස් එම උපමාවේ අදහස පැහැදිලි කළ විදිහ අපි දැන් බලමු.
එඬේරා තමන්ගේ සෑම බැටළුවෙකුවම බලාගන්නේ වගකීමකින් යුතුවයි. ඔහු හැම බැටළුවෙකුටම නමක් දමා තිබෙනවා. එමනිසා බැටළුවෙක් නැති වුණොත් ඒ කුමන බැටළුවාද කියා ඔහු දන්නවා. (යොහන් 10:3) මෙම සැලකිලිමත් එඬේරා නැති වූ එකාව කෙසේ හෝ සොයාගෙන යළි තම රැළ වෙත ගේනවා. නමුත් ඌව සෙවීමට යෑමේදී ඔහු අනිත් 99දෙනාව අනතුරේ දමන්නේ නැහැ. තම රැළ අනෙකුත් රැළවල් හා එකට ඉන්න සලස්වමින් එඬේරා නිතරම අනිත් එඬේරුන් සමඟ ගැවසෙනවා.a එමනිසා ඔහු නැති වූ එකාව සොයා යද්දී අනිත් එඬේරුන් යටතේ තම රැළ තාවකාලිකව තබා යනවා. අනතුරක් වෙන්න කලින් නැති වූ බැටළුවාව සොයාගන්නා එඬේරාට දැනෙන්නේ ලොකු ප්‍රීතියක්. ඉන්පසු ඔහු භය වී සිටින ඒ සතාව තම කර පිට තබාගෙන යළි රැළට එක් කරමින් එම බැටළුවාට ආරක්ෂාව සලසනවා.—ලූක් 15:5, 6.
එම උපමාවේ අදහස පැහැදිලි කරමින් යේසුස් පැවසුවේ “මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් විනාශ” වෙනවාට දෙවි අකමැති බවයි. ඊට කලිනුත් යේසුස් තම ගෝලයන්ට අවවාද කර තිබුණේ “[ඔහු] කෙරෙහි ඇදහිල්ල තබන මේ කුඩා අයගෙන් එක් කෙනෙකුටවත්” බාධා කරන්න එපා කියායි. (මතෙව් 18:6) එසේනම් යේසුස්ගේ මෙම උපමාවෙන් අපට යෙහෝවා දෙවි ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? මෙම උපමාවේ එඬේරා වන්නේ යෙහෝවා දෙවියි. එඬේරා සෑම බැටළුවෙකු කෙරෙහි සැලකිලිමත් වනවා හා සමානව දෙවිත් ලෝකයාගේ ඇස් ඉදිරියේ එතරම් වැදගත්කමක් නැතැයි සැලකෙන “කුඩා අය” ගැනත් ඉමහත් සැලකිල්ලක් දක්වනවා. ඇත්තෙන්ම තමාට නමස්කාර කරන සෑම කෙනෙකුවම දෙවිට වටිනවා.
උතුම් එඬේරා වන යෙහෝවා දෙවි ඉදිරියේ ඔබ වටිනවා කියා සහතික කරගැනීමට අවශ්‍ය නම් ඔහු ගැන තවත් ඉගෙනගනිමින් ඔහුට වඩාත් ළං වෙන්නේ කෙසේද කියා සොයා බලන්න. එසේ ළංවීමෙන් පේතෘස් මෙන් ඔබ තුළත් නිසැකකමක් ඇති විය හැකියි. සමහරවිට යේසුස් නැති වූ බැටළුවාගේ උපමාව කියද්දී පේතෘස්ද ඊට සවන් දෙන්න ඇති. ඉන් ටික කලකට පසු පේතෘස් මෙසේ ලිව්වා. “[දෙවි] ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.
[පාදසටහන]
a බැටළුවන් එඬේරාගේ හඬ අඳුනන හෙයින් එක රැළක් වෙනත් රැළකින් වෙන් කරගැනීම අපහසු වුණේ නැහැ.—යොහන් 10:4.