දීප්තිමත් හෙට දිනක් සිහිනයක් නොවේ!
“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.”—මතෙව් 6:9, 10.
යේසුස් කියා දුන් ඉහත සඳහන් යාච්ඤාවේ මිනිස් වර්ගයා සඳහා බලාපොරොත්තුවක් සපයනවා. ඒ කුමක්ද?
එම යාච්ඤාවේ සඳහන් වන ආකාරයට දෙවිගේ කැමැත්ත වන්නේ දේවරාජ්‍යය මාර්ගයෙන් මුළු පොළොවම පාරාදීසයක් කිරීමයි. (එළිදරව් 21:1-5) දේවරාජ්‍යය යනු කුමක්ද? එමගින් පොළොව පාරාදීසයක් බවට පත් වෙන්නේ කෙසේද?
සැබෑ ආණ්ඩුවක්
දේවරාජ්‍යය යනු සැබෑ ආණ්ඩුවක්. එය පාලකයන්, නීති සහ යටත්වැසියන්ගෙන් සමන්විතයි. මේ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් දේ සලකා බලමු.
දේවරාජ්‍යයේ පාලකයන්. (යෙසායා 33:22) යෙහෝවා දෙවි විසින් දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස්ව පත් කර තිබෙනවා. (මතෙව් 28:18) දෙවිගේ මඟ පෙන්වීම යටතේ යේසුස් “පොළොව කෙරෙහි රජකම් කිරීම” සඳහා “සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද වූ මිනිසුන්” සීමිත සංඛ්‍යාවක් තෝරාගෙන තිබෙනවා.—එළිදරව් 5:9, 10.
දේවරාජ්‍යයේ යටත්වැසියන් සඳහා පනවා ඇති නීති. එම නීති හෝ ආඥා අතරින් වැදගත්ම එක කුමක්ද කියා යේසුස් මෙසේ පැහැදිලි කළා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.’ මෙය උතුම්ම සහ පළමුවන ආඥාවය. දෙවැන්නද ඒ හා සමානය. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.’”—මතෙව් 22:37-39.
එමෙන්ම නොකළ යුතු දේවල් සම්බන්ධයෙන්ද එහි යටත්වැසියන්ට යම් නීති පනවා තිබෙනවා. උදාහරණයකට බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මුළා නොවන්න. වේශ්‍යාකම් කරන්නන්ටවත්, රූප වඳින්නන්ටවත්, පරදාර සේවනයේ යෙදෙන්නන්ටවත්, අස්වාභාවික කාම සේවනය සඳහා යොදාගන්නා ලද පිරිමින්ටවත්, සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින්ටවත්, සොරුන්ටවත්, ගිජුකමක් ඇති අයටවත්, බේබද්දන්ටවත්, නිග්‍රහ කරන්නන්ටවත්, අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නන්ටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.”—1 කොරින්ති 6:9, 10.
දේවරාජ්‍යයේ යටත්වැසියන් යේසුස් ඔවුන්ව හැඳින්වූයේ බැටළුවන් ලෙසයි. ඔහු පැවසුවේ ‘බැටළුවන් මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ උන් එක එඬේරෙකු යටතේ සිටින එක රැළක් වන්නෝය’ කියායි. (යොහන් 10:16) දේවරාජ්‍යයේ යටත්වැසියන් වීමට කැමති අය තමන් යේසුස්ව අනුකරණය කරනවා කියා පැවසීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ බව ඔවුන් ක්‍රියාවෙන් පෙන්විය යුතුයි. යේසුස් මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි’ කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”—මතෙව් 7:21.
යේසුස් කළාක් මෙන් දේවරාජ්‍යයේ යටත්වැසියන්ද යෙහෝවා යන දෙවිගේ නාමය භාවිත කරමින් එයට ගෞරව කරනවා. (යොහන් 17:26) එමෙන්ම “රාජ්‍යයේ මේ ශුභාරංචිය” අන් අයට පවසන්න කියා යේසුස් දුන් ආඥාවට කීකරු වන ඔවුන් එකිනෙකාට බෙහෙවින් ප්‍රේම කරනවා.—මතෙව් 24:14; 28:19, 20; යොහන් 13:35.
‘පොළොව විනාශ කරන අයගේ විනාශය’
අද ලොව පුරා සිදු වන දේවලින් පැහැදිලි වන්නේ ඉතා ළඟදීම යහපත් අනාගතයක් උදා කර දීම සඳහා දේවරාජ්‍යය ක්‍රියාත්මක වන බවයි. එසේ පැවසීමට හේතුව කුමක්ද? මීට වසර 2,000කට පමණ පෙර “දෙවිගේ රාජ්‍යය ළඟ බව” අවබෝධ කරගැනීමට යේසුස් ලකුණක් දුන්නා. (ලූක් 21:31) එයට විවිධ අංගයන් ඇතුළත් වෙනවා. අපි කලින් ලිපියේ සලකා බැලූ ලෙස අද ලොව පුරාම එම ලකුණට අයත් විවිධ අංගයන් ඉටු වෙනවා.
එම ලකුණේ අංගයන් ඉටුවීමෙන් පසු සිදු වන දේ ගැන යේසුස් මෙසේ පැවසුවා. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය.” (මතෙව් 24:21) යෙහෝවා දෙවි එම මහත් පීඩාව ගෙන එන්නේ ‘පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීමටයි.’ (එළිදරව් 11:18) තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු උදෙසා පොළොව විනාශ කරන ‘දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබනවා.’ නමුත් දෙවිට පිළිගත හැකි අයුරින් ඔහුට සේවය කරන අයට මේ ‘පොළොවේ දිගු කල් ජීවත් වීමට’ හැකි වෙනවා.—හිතෝපදේශ 2:21, 22, නව ලොව පරිවර්තනය, NW.
එවැනි විනාශයක් ගෙන ඒම සඳහා යෙහෝවා දෙවිට හොඳ හේතුවක් තිබෙනවා. එය තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලන්න. ඔබ කුලී නිවාස හිමිකරුවෙක් කියා සිතන්න. ඇතැම් නිවෙස්වල සිටින අය නිසි වේලාවට කුලිය ගෙවන අතර නිවසත් හොඳින් බලාගන්නවා. නමුත් තවත් අය නිසි වේලාවට කුලිය නොගෙවන අතර නිවසටත් අලාභහානි කරනවා. කොතරම් අවවාද කළත් ඔවුන් එය ගණනකටවත් ගන්නේ නැහැ. එවැනි අය සම්බන්ධයෙන් ඔබ කරන්නේ කුමක්ද? ඔවුන්ව නිවසෙන් ඉවත් කිරීමට ඔබ ක්‍රියා කරන බවට කිසිම සැකයක් නැහැ.
ඒ හා සමානව පෘථිවිය නිර්මාණය කළ දෙවිට එහි ජීවත් වීමට සුදුසු හා නුසුදුසු අය කවුද කියා තීරණය කිරීමට අයිතියක් තිබෙනවා. (එළිදරව් 4:11) යෙහෝවා දෙවිගේ කැමැත්තට පිටුපා අන් අයගේ අයිතිවාසිකම් උල්ලංගනය කරන අයව පොළොවෙන් ඉවත් කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා.—ගීතාවලිය 37:9-11.
පාරාදීස පොළොවක්
දේවරාජ්‍යයේ රජු වන යේසුස් නුදුරු අනාගතයේදී පොළොව පාලනය කිරීමට නියමිතයි. ඒ කාලයේදී සෑම දෙයක්ම අලුත් මුහුණුවරක් ගන්නා අතර යේසුස් එය විස්තර කළේ ‘නැවත මැවීමක්’ ලෙසයි. (මතෙව් 19:28) එදාට මිනිසුන් අද්දකින තත්වය ගැන බයිබලයේ සඳහන් කර තිබෙන දේ සලකා බලන්න.
ගීතාවලිය 46:9, [NW]. “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වන්නේය.”
යෙසායා 35:1, [NW]. “නිසරු බිම් හා කාන්තාර සශ්‍රික වෙයි. එහි සුන්දරත්වය සෙව්වන්දි මලක් මෙනි.”
යෙසායා 65:21-23, [NW]. “මා තෝරාගත් අය තම අතින් උපයන දේ මුළුමනින්ම භුක්ති විඳින්නෝය. ඔවුන්ගේ මහන්සිය අපතේ නොයයි. ඔවුන්ගේ දරුවන්ටද කිසි අනතුරක් සිදු නොවෙයි.”
යොහන් 5:28, 29. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. [එවිට ඔවුන්] පිටතට එන්නෝය.”
එළිදරව් 21:4. “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”
විශ්වාස කිරීමට හේතු
ඉහත සඳහන් පොරොන්දු ඔබට විශ්වාස කළ හැකිද? නමුත් බොහෝදෙනෙක් එම පොරොන්දු විශ්වාස නොකරන බව බයිබලයේ සඳහන් වෙනවා. ‘අන්තිම දවස්වලදී, සමච්චල් කරන්නෝ පැමිණෙන්නෝය. ඔවුහු තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙමින්, ‘පොරොන්දු වූ ඔහුගේ පැමිණ සිටීමට කුමක් වීද? මන්ද අපේ මුතුන්මිත්තන් මැරුණායින් පසුවත්, සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට නොවෙනස්ව තවමත් එලෙසම තිබෙන්නේය’යි කියන්නෝය.” (2 පේතෘස් 3:3, 4) එවැනි සමච්චල් කරන්නන්ගේ නිගමනය වැරදියි. බයිබලයෙහි සඳහන් දේවල් විශ්වාස කිරීමට තිබෙන හේතු හතරක් අපි සලකා බලමු.
(1) අතීතයේදී පොළොවෙහි සිදු වූ දුෂ්ට දේවලට විරුද්ධව දෙවි පියවර ගත්තා. නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්ම ඊට කදිම නිදසුනක්.—2 පේතෘස් 3:5-7.
(2) වර්තමානයේ පොළොවේ සිදු වන දේවල් ගැන බයිබලයේ සඳහන් කර තිබෙනවා.
(3) ‘සියලු දේ පටන්ගැන්මේ සිට නොවෙනස්ව එලෙසම පවතිනවා’ කියා පවසන්න බැහැ. වෙන කිසිදාකටත් වඩා මේ කාලයේදී සමාජය පිරිහී තිබෙන අතර පරිසරයත් දූෂණය වී තිබෙනවා.
(4) “රාජ්‍යයේ ශුභාරංචිය” ලොව පුරාම දේශනා කරනු ලබන අතර ඉන් ඇඟවෙන්නේ ළඟ ළඟම ‘අවසානය පැමිණෙන’ බවයි.—මතෙව් 24:14.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබටත් ආරාධනා කරන්නේ දෙවිගේ වචනය වන බයිබලය අධ්‍යයනය කිරීමටයි. එසේ කිරීමෙන් දේවරාජ්‍යය යටතේ සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන තවත් ඉගෙනගැනීමට ඔබට හැකි වෙනවා. (යොහන් 17:3) මින් පෙර කිසිදාක මිනිස් වර්ගයා අත් නොදුටු ආකාරයේ ප්‍රීතිමත් කාලයක් ඉදිරියේදී ලැබෙනවා. එදාට ඔබත් එහි සිටීවිද!
[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සෑම දෙයක්ම වෙනස් නොවී එලෙසම පවතිනවා කියා සිතීම වැරදියි
[8වන පිටුවේ පින්තූරය]
මේ ප්‍රීතිමත් කාලයේ ඔබත් සිටීවිද?