ඔබත් වැන්දඹුවක්ද?
“පොළොව මත ජීවත් වන තාක් කල් එකට සිටිමු” කියා විවාහ වන දිනයේදී යුවළක් පොරොන්දු වෙනවා. නමුත් මහලු විය, අසනීප, හදිසි අනතුරු සහ බලාපොරොත්තු නොවූ වෙනත් හේතු නිසා දෙදෙනාගෙන් කෙනෙක් මිය ගියොත් තත්වය කුමක්ද? එවිට ඉතිරි වන සහකරුට අද්දැකීමට සිදු වන්නේ වේදනාව සහ තනිකමයි.—දේශනාකාරයා 9:11; රෝම 5:12.
වයස අවුරුදු 65 හෝ ඊට වැඩි කාන්තාවන්ගෙන් අඩක් පමණ වැන්දඹුවන්ව සිටින බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඇත්තෙන්ම පුරුෂයන්ට වඩා තුන් ගුණයකින් මෙම තත්වයට මුහුණ දෙන්නේ කාන්තාවනුයි. ඒ නිසා බොහෝ අය දකින්නේ විවාහ සහකරුව අහිමි වීම කාන්තාවන්ට පමණක් බලපාන ගැටලුවක් ලෙසයි. නමුත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලොව වටා සිටින මිලියන ගණනක් සහකරුව අහිමි වීමේ වේදනාව අද්දකිනවා. සමහරවිට ඔබත් ඉන් කෙනෙක් විය හැකියි.
එසේනම් ඒ තත්වයට හොඳින් මුහුණ දීම සඳහා ඔබට කුමක් කළ හැකිද? මේ සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් බයිබලයේ තිබෙනවාද? සමහර අය මෙම තත්වයට මුහුණ දී තිබෙන්නේ කෙසේද? මෙම වේදනාව එක් එක් වැන්දඹුවට බලපාන ආකාරය වෙනස් විය හැකියි. නමුත් එවැනි තත්වයක සිටින කෙනෙකුට අදාළ කරගත හැකි ප්‍රතිපත්ති සහ යෝජනා කිහිපයක් දැන් අපි සලකා බලමු.
යථාර්ථයට මුහුණ දීම
සමහර අය සිතන්නේ හැඬීම දුර්වල ලක්ෂණයක් මෙන්ම අහිතකර දෙයක් කියායි. නමුත් මනෝ වෛද්‍යවරියක් වන ජොයිස් බ්‍රදර්ස් පැවසුවේ හැඬීම වේදනාව සමනය කරන ප්‍රතිකාරයක් හා සමාන බවයි. එසේ පැවසූ ඇයත් වැන්දඹුවක්. ඇත්තෙන්ම වේදනාවෙන් සිටින කාලයේදී හැඬීම සාමාන්‍යයයි. එය වේදනාව දරාගැනීමට උපකාරයක්. ඒ නිසා හැඬීමට ලැජ්ජා වෙන්න එපා. ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් ආබ්‍රහම් කදිම ආදර්ශයක්. ඔහුව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ දෙවිගේ මිතුරා ලෙසයි. ඉන් පැහැදිලි වන්නේ ඔහුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබුණ බවයි. නමුත් ඔහුගේ බිරිඳ වූ සාරා මිය ගිය අවස්ථාවේදී ඔහු ඇය ළඟට ගොස් ‘හඬා වැලපුණා.’—උත්පත්ති 23:2.
සමහරවිට වේදනාව නිසා කෙනෙක් අන් අයගෙන් ඈත් වී සිටීමට කැමති විය හැකියි. නමුත් සම්පූර්ණයෙන්ම අන් අයගෙන් වෙන් වී සිටීමට උත්සාහ කරන්න එපා. එහි ඇති අනතුර ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි.” (හිතෝපදේශ 18:1) එමනිසා තනි වී සිටිනවා වෙනුවට ඔබව තේරුම්ගත හැකි ඥාතීන් සහ මිතුරන් සමඟ කාලය ගත කරන්න. එමෙන්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින අවබෝධයෙන් කටයුතු කරන සහෝදරයන්ද ඔබේ තත්වයට මුහුණ දීමට අවශ්‍ය මඟ පෙන්වීම් සහ උපකාර ලබා දීමට සූදානමින් සිටින බව අමතක කරන්න එපා.—යෙසායා 32:1, 2.
ශෝකය ප්‍රකාශ කරමින් එවන ලද ලිපි සහ කාඩ්පත්වලට පිළිතුරු යැවීමෙන්ද සමහර අය යම් සහනයක් ලබා තිබෙනවා. ඔබේ සහකරු ගැන දන්නා සෑම යහපත් දෙයක් ගැනම ලියන්නත් ඔබ දෙදෙනා සතුටු වූ අවස්ථා ගැන සඳහන් කරන්නත් එය කදිම අවස්ථාවක් සලසනවා. සමහරවිට ලිපි, ඡායාරූප සහ වෙනත් දේවල් එකතු කර පොතක් සාදාගැනීමත් ප්‍රයෝජනවත් විය හැකියි.
තම සහකරුව අහිමි වූ කෙනෙකුට සෑම දෙයක්ම නැති වී තමා අතරමං වී සිටින බවක් දැනෙන්න පුළුවන්. එසේ වුණත් ඔබේ සාමාන්‍ය වැඩකටයුතු සුපුරුදු ලෙස කිරීමෙන් එම තත්වයට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකි වෙයි. උදාහරණයකට ඔබ දෙදෙනා එකට සිටි කාලයේදී නිදාගැනීමට, අවදි වීමට, ආහාර ගැනීමට සහ වෙනත් වැඩකටයුතුවලට කාලය වෙන් කර තිබුණා නම් ඒ දේවල් ඒ ආකාරයෙන්ම කිරීමට උත්සාහ කරන්න. නමුත් සති අන්තවල සහ විවාහ සංවත්සරය වැනි විශේෂ දවස්වලදී ඔබේ සහකරු නැති අඩුව ඔබට තදින්ම දැනෙන්න පුළුවන්. ඒ නිසා ඒ දවස්වලට මුහුණ දෙන්නේ කෙසේද කියා කල් ඇතුව සූදානම් වෙන්න. එමෙන්ම ඔබේ නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පෙර පරිදිම කිරීමත් ඉතා වැදගත්.—1 කොරින්ති 15:58.
මානසිකව පහත වැටී සිටින විට හොඳින් සිතා බලා තීරණ ගැනීම අපහසුයි. එමනිසා බැරෑරුම් තීරණ ගැනීමට හදිසි වෙන්න එපා. උදාහරණයකට නිවස විකිණීම, විවිධ වැඩකටයුතු සඳහා විශාල වශයෙන් මුදල් යෙදවීම, පදිංචිය වෙනස් කිරීම සහ නැවත විවාහ වීම වැනි බැරෑරුම් තීරණ ගැනීමට හදිසි වෙන්න එපා. ඒ සම්බන්ධයෙන් බයිබලයේ මෙවැනි උපදෙසක් දෙනවා. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.” (හිතෝපදේශ 21:5) එමනිසා ඥානවන්තම දෙය වන්නේ එවැනි බැරෑරුම් තීරණ ගැනීමට, ඔබේ මානසිකත්වය නැවත යථා තත්වයකට පත් වන තුරු සිටීමයි.
ඔබට ඔබේ සහකරු අහිමි වූ පසු ඔහු පාවිච්චි කළ දේවල් දැකීම වේදනාවක් විය හැකියි. එය සාමාන්‍යයි. කොහොමවුණත් ඒ දේවල් අස් කිරීමට කල් දැමුවොත් ඒවා දැකීමෙන් ඔබට ඇති වන වේදනාවෙන් ගොඩ එන්නත් ඔබට කල් ගත වෙයි. (ගීතාවලිය 6:6) කෙසේවෙතත් සමහර අය ඒ දේවල් තනියම අස් කරන්න කැමති වෙනවා. තවත් අය ඒ සඳහා යම් කෙනෙකුගේ උපකාරය ලබාගැනීමට සතුටු වෙයි. ඊට හේතුව එසේ කිරීමේදී තමන්ගේ මතකයට නැඟෙන දේවල් බෙදාගන්න ඔවුන් කැමති වීමයි. සමහරවිට ලියකියවිලි හා සම්බන්ධ වැඩ කිරීමේදී මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ සහයෝගය පතන්න සිදු විය හැකියි. ඒ කාර්යයන්වලට මරණ සහතිකය ලබාගැනීම, බැංකු කටයුතු හා සම්බන්ධ දේවල්, දේපළ හිමිකාරිත්වය පිළිබඳ ලියකියවිලි සහ වෙනත් කාර්යයන් අයත් වෙනවා.
අප ජීවත් වන්නේ සදාචාරය පිරිහුණු සමාජයකයි. එමනිසා විවාහ සහකරු නොමැතිව ජීවත් වීමට සිදු වීම පිරිසිදු ජීවිතයක් ගත කිරීමට අභියෝගයක් විය හැකියි. බයිබලයේ මෙවැනි උපදෙසක් දෙනවා. “සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි. දෙවිව හඳුනන්නේ නැති ජාතීන් කරන්නා සේ කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.” (1 තෙසලෝනික 4:4, 5) ඒ අනුව ආලවන්ත හැඟීම් අවුස්සන සහ දුරාචාරය හුවා දක්වන චිත්‍රපට, ඒ හා සම්බන්ධ පොත් පත් සහ ගීතවලට සවන් දීමෙන් වැළකී සිටීම ඥානවන්තයි.
විවාහ සහකරු අහිමි වූ කෙනෙකුට මානසිකව යළි සකස් වීමට කාලය අවශ්‍යයි. මිචිගන් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂණ අංශය කළ සමීක්ෂණයකින් හෙළි වුණේ එවැනි අයට මානසිකව යළි සකස් වීමට අඩුම තරමින් අවුරුදු එකහමාරක්වත් ගත වන බවයි. එවැනි තත්වයක සිටින කෙනෙක් විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා දෙවිට යාච්ඤා කිරීම වැදගත්. දෙවිගේ බලයේ උපකාරය ලැබුණු විට විඳදරාගැනීම පහසු වෙනවා. (ගලාති 5:22, 23) සමහරවිට යළි සුපුරුදු තත්වයට පත් වෙන්න බැහැ කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ වුණත් කාලයත් සමඟ ඔබේ තත්වය හොඳ අතට හැරෙන බව ඔබට තේරුම්ගත හැකි වෙයි.
දුක දරාගත් ආකාරය
වසර 40ක් පුරා එකට ජීවත් වූ තම ස්වාමිපුරුෂයාව අහිමි වීමෙන් ඇනා දැඩි වේදනාවක් අද්දැක්කා. ඇය පවසන්නේ මෙයයි. “වයස අවුරුදු 13දී මට මගේ අම්මාව නැති වුණා. ඊටපස්සේ මගේ තාත්තාත් අයියලා දෙන්නත් නංගිත් නැති වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවකදී මට මගේ මහත්තයා නැති වුණ වෙලාවේ ඇති වුණා වගේ වේදනාවක් ඇති වුණේ නැහැ. ඒ වේදනාව මොන තරම්ද කියලා විස්තර කරන්නත් අමාරුයි.” ඇනා ඒ තත්වයට මුහුණ දුන්නේ කෙසේද? ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මගේ මහත්තයාගේ හොඳ ගතිගුණ අගය කරලා ආව ලියුම් සහ කාඩ් එකතු කරලා මම පොතක් හැදුවා. මම දන්නවා යෙහෝවා දෙවි ඩැරල්ව අමතක කරන්නේ නැහැ කියලා. ඒ නිසා දෙවි ඩැරල්ව නැවත නැඟිටුවනවා කියලා මම දන්නවා.”
අසූඅට හැවිරිදි එස්තර්ද වැන්දඹුවක්. ඇගේ වේදනාව දරාගැනීමට උපකාරවත් වුණේ කුමක්ද කියා ඇය මෙසේ විස්තර කළා. “අවුරුදු 46ක් තිස්සේ එකට ජීවත් වූ සහකරුව නැති වුණාම ඇති වන තනිකමට මුහුණ දෙන්න හරිම අමාරුයි. ඒ වුණත් දෙවිට උද්යෝගයෙන් සේවය කිරීමෙන් ලොකු ශක්තියක් ලැබෙන බව මම අද්දැක්කා. රැස්වීම්වලට සහභාගි වෙන එකවත් බයිබලයේ තියෙන දේවල් අනික් අයට කියලා දෙන එකවත් බයිබලය කියවන එකවත් මම අඩු කළේ නැහැ. මම අනික් අයගෙන් වෙන් වෙලා ඉන්න උත්සාහ කළේත් නැහැ. මම නිතරම මාව තේරුම්ගන්න පුළුවන් යාළුවන්ව ඇසුරු කළා. සමහර වෙලාවට මට සැනසීම ලැබෙන දෙයක් ඒගොල්ලන් නොකිව්වත් ඒ අය මාත් එක්ක ඉන්න එක මට ලොකු සැනසීමක් වුණා.”
විවාහ වී වසර 48කට පසු පිළිකාවක් නිසා රොබට්ට ඔහුගේ බිරිඳ අහිමි වුණා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “හැම දෙයක්ම කතා කරන්න, ගමන් බිමන් යන්න, විනෝද වෙන්න හිටිය කෙනාව අහිමි වෙන එක කොච්චර අමාරුයිද කියලා විස්තර කරන්න බැහැ. ඒ තත්වයට මුහුණ දෙන්න මම ලොකු සටනක් කළා. ඒ වගේම එදිනෙදා වැඩකටයුතුවල ක්‍රියාශීලීව හවුල් වීමත් මේ තත්වයට මුහුණ දෙන්න මට ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම දෙවිට යාච්ඤා කරලා හිතේ තියෙන දේවල් පැවසීමෙනුත් මම සහනයක් ලැබුවා.”
අරුත් බර දිවියක්
විවාහ සහකරුව අහිමි වීම පුද්ගලයෙකුට ජීවිතයේ මුහුණ දීමට සිදු වන ඉතාමත් වේදනාකාරී අද්දැකීමක්. නමුත් සෑම දෙයක්ම එතැනින් අවසානයි කියා සිතන්න එපා. ඒ වෙනුවට ඔබ විවාහ වී සිටි කාලයේදී ඔබේ සහකරු සමඟ ගත කළ කාලය දැන් වෙනත් දේවල් වෙනුවෙන් යෙදවිය හැකියි. සමහරවිට විනෝදාංශ වෙනුවෙන් හෝ ගමන් බිමන් යෑම වෙනුවෙන් ඒ කාලය යෙදවිය හැකියි. එය ඔබේ පාළුව මකාගැනීමට උපකාරවත් විය හැකියි. සමහර අය ඒ කාලය දෙවිට වැඩියෙන් සේවය කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. මෙසේ අන් අයට උපකාර කිරීමට අවස්ථාව ලැබෙන නිසා යේසුස් පැවසූ ලෙස ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලබන්න’ ඔවුන්ට හැකි වෙනවා.—ක්‍රියා 20:35.
ඔබේ සහකරු නොමැතිව ඔබට කිසිදාක සන්තෝෂයෙන් ජීවත් වෙන්න බැහැ කියා සිතන්න එපා. ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවොත් ඔබේ වේදනාව දරාගැනීමට ඔහු අනිවාර්යයෙන්ම උපකාර කරන බව මතක තබාගන්න. යෙහෝවා දෙවි ‘වැන්දඹුවට උපකාර කරන්නේය’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (ගීතාවලිය 146:9) යෙහෝවා දෙවි “මහත් දයාවක් පෙන්වන පියාණන්” බවත් “සියලු සැනසිල්ලේ දෙවි” බවත් බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම ඔහු ‘ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන’ බවත් එහි සඳහන් වෙනවා. (2 කොරින්ති 1:3; ගීතාවලිය 145:16) එවැනි දෙවි කෙනෙක් සිටීම ඇත්තෙන්ම මොන තරම් සහනයක්ද! යෙහෝවා දෙවිගේ උපකාර අද්දකින විට අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් මෙන් මෙසේ පවසන්න ඔබටත් හැකි වෙයි. “උපකාරය පතමින් මම කඳු දෙසට දෙනෙත් යොමු කළෙමි. මට උපකාර ලැබෙන්නේ කාගෙන්ද කියා මම කල්පනා කළෙමි. මට උපකාර ලැබෙන්නේ අහසත් පොළොවත් සෑදූ යෙහෝවා දෙවිගෙන්ය.”—ගීතාවලිය 121:1, 2.
[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ලොව වටා සිටින මිලියන ගණනක් සහකරුව අහිමි වීමේ වේදනාව අද්දකිනවා. සමහරවිට ඔබත් ඉන් කෙනෙක් විය හැකියි.
[21වන පිටුවේ කොටුව]
නැවත විවාහ වීම
මරණයත් සමඟ විවාහ බැඳීම අවසන් වෙන නිසා ජීවත්ව සිටින සහකරුවාට නැවත විවාහ වීමට නිදහස තිබෙන බව බයිබලයේ පෙන්නුම් කරනවා. (1 කොරින්ති 7:39) නමුත් එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික තීරණයක්. කොහොමවුණත් මව හෝ පියා නැවත විවාහ වීමට තීරණය කරනවා නම් දරුවන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඉතා සුදුසුයි. එමෙන්ම දරුවන් ඒ තීරණයට සහයෝගය දැක්වීමද සුදුසුයි. (ෆිලිප්පි 2:4) ආන්ඩ්රෙස්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහුගේ පියා නැවත විවාහ වෙනවාට මුලදී ආන්ඩ්‍රෙස් කැමති වුණේ නැහැ. එයට හේතුව ඔහු තම මවට බෙහෙවින් ප්‍රේම කළ නිසා වෙන කෙනෙක් ඒ තැන ගන්නවාට ඔහු අකමැති වීමයි. නමුත් පසුව ඔහු මෙසේ පැවසුවා. “නැවත විවාහ වුණාට පස්සේ මගේ තාත්තා සතුටින් ඉන්න බවත් තාත්තා ආයෙත් සාමාන්‍ය විදිහට වැඩකටයුතු කරගෙන යනවා කියලත් මම දැක්කා. තාත්තව හොඳින් බලාගන්න පුළුවන් කෙනෙක්ව ලැබුණු එක ගැන මට සතුටුයි. ඒ නිසා තාත්තා ගත්ත තීරණය ගැන මම අද හුඟක් සතුටු වෙනවා.”
[20වන පිටුවේ පින්තූර]
විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න