ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 3/15 24-28 පි.
  • සූදානමින් සිටින බව පෙන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සූදානමින් සිටින බව පෙන්වන්න
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නෝවා මෙන් ඔබත් සූදානම් බව පෙන්වන්න
  • නෝවා සහ ඔහුගේ පවුලේ අය සූදානම්ව සිටි බව පෙන්නුවා
  • මෝසෙස් අවදිව සිටියා
  • දිගටම අවදිව සිටින්න!
  • ‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නෝවාට දෙවිගේ අනුමැතිය ලැබීමට හේතුව කුමක්ද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 3/15 24-28 පි.

සූදානමින් සිටින බව පෙන්වන්න

“ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි.”—මතෙ. 24:44.

1, 2. (අ) කොටියාගෙන් එල්ල වුණු ප්‍රහාරයට සමාන කළ හැක්කේ බයිබලයේ සඳහන් කුමන සිද්ධීන්වලටද? (ආ) අනාගතයේදී එල්ල වන ප්‍රහාරයට සූදානම් වෙන්න ඔබට පුළුවන් කොහොමද?

දක්ෂ පුහුණුකරුවෙක් වසර ගණනාවක් පුරා කොටීන්ගේ සංදර්ශන පෙන්වමින් ප්‍රේක්ෂකයන්ට රසාස්වාදයක් ලබා දුන්නා. ඔහු මෙසේ පැවසුවා. “සතෙක්ට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා මට හැඟෙද්දී ලෝකේ තියෙන හොඳම තෑග්ග මට ලැබිලා තියෙනවා කියලා හිතෙනවා.” නමුත් 2003 ඔක්තෝබර් 3වෙනිදා ඔහු අද්දැක්ක දෙයක් නිසා එම විශ්වාසය නැති වී ගියා. ඔහු පුහුණු කළ විශාල කොටියෙක් කිසිම හේතුවක් නැතුව ඔහුව හපා කෑවා. එවැනි දෙයක් සිදු වෙයි කියා එම පුහුණුකරු හීනෙකින්වත් සිතුවේ නැහැ.

2 අනාගතයේදී සිදු වන ‘මෘගයෙකුගේ’ ප්‍රහාරයක් ගැන බයිබලයේද සඳහන් වී තිබෙනවා. අප ඒ ගැන දැනුවත් වී සිටිය යුතුයි. (එළිදරව් 17:15-18 කියවන්න.) එම මෘගයා ප්‍රහාර එල්ල කරන්නේ කාටද කියා අපි සොයා බලමු. සාතන්ගේ පාලනය යටතේ තිබෙන ලෝකයේ අනපේක්ෂිත ලෙස බෙදීමක් ඇති වීමට නියමිතයි. තද රතු පාට මෘගයාගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය වන අතර ‘අං දසයෙන්’ දේශපාලනය නියෝජනය වෙනවා. දෙවි ගැන අසත්‍යය උගන්වන සියලුම ආගම් නියෝජනය කරන මහ බැබිලෝනිය හෙවත් වේශ්‍යා ස්ත්‍රියට විරුද්ධව මෘගයා නැඟී සිට ඇයව කුරිරු ලෙස විනාශ කර දමනවා. එය සිදු වන දවස සහ පැය අප හරියටම දන්නේ නැහැ. (මතෙ. 24:36) නමුත් අප නොසිතන වේලාවක එය සිදු වන බවත් එය සිදු වීමට තිබෙන්නේ තව කෙටි කාලයක් බවත් අප දන්නවා. (මතෙ. 24:44; 1 කොරි. 7:29) ඒ නිසා අප දෙවි සමඟ මිත්‍රත්වය ශක්තිමත් කරගත හැකි සෑම දෙයක්ම කරමින් සූදානම්ව සිටීම වැදගත්. එසේ සිටිනවා නම් දුෂ්ටයන්ව විනාශ කිරීමට යේසුස් පැමිණෙන විට ඔහු අපව ගලවාගන්නවා. (ලූක් 21:28) ගැලවීම සඳහා සූදානම්ව සිටීමට දෙවිට විශ්වාසවන්තව සිටි අයගේ ආදර්ශ අපට ප්‍රයෝජනවත් වෙනවා. ඔවුන් සූදානම්ව සිටි නිසා දෙවි තම පොරොන්දු ඉටු කරන ආකාරය තම දෙනෙතින්ම දැක බලාගැනීමේ භාග්‍යය ඔවුන්ට හිමි වුණා.

නෝවා මෙන් ඔබත් සූදානම් බව පෙන්වන්න

3. නෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළේ කුමන තත්වයන් යටතේද?

3 නෝවා ජීවත් වුණේ මේ පොළොවේ ඉතා දූෂිත දේවල් සිදු වූ කාල වකවානුවකයි. ඒත් ඔහු දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමෙන් පෙන්නුම් කළේ ඒවා ඉටු වෙනවා දැකීමට තමන් සූදානම්ව සිටි බවයි. නෝවාට මුහුණ දීමට සිදු වූ අභියෝග ගැන ටිකක් සිතා බලන්න. මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණි කැරලිකාර දේවදූතයන් රූමත් ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. එම අස්වාභාවික ක්‍රියාව නිසා ඔවුන්ට බිහි වූ දරුවන් “බලවත්” යෝධයෝ වුණා. ඔවුන් තම ශක්තිය යොදාගෙන දාමරික ක්‍රියාවල යෙදෙමින් අන් අයට හිරිහැර කළා. (උත්. 6:4) ඔවුන් ගිය ගිය තැන්වල කළ දාමරික ක්‍රියා නිසා ප්‍රචණ්ඩත්වය පැතුරුණා. ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ගේ සිතුවිලි හා හැසිරීම පහත් අඩියටම වැටුණා. එවිට විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි දුෂ්ට සමාජය විනාශ කිරීමට කාලයක් නියම කළා.—උත්පත්ති 6:3, 5, 11, 12 කියවන්න.a

4, 5. නෝවාගේ කාලයේ හා අපගේ කාලයේ තිබෙන සමානකම් මොනවාද?

4 අපගේ කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදු වූ දේවලට සමාන බව යේසුස් පැවසුවා. (මතෙ. 24:37) උදාහරණයකට භූතයන්ගේ උගුල්වලට මිනිසුන් හසු වී සිටින ආකාරය අපට දකින්න පුළුවන්. (එළි. 12:7-9, 12) මෙම භූතයන් නෝවාගේ කාලයේදී මිනිස් වෙස් ගත් අයයි. අද ඔවුන්ට මිනිස් වෙස් ගන්න නොහැකි වුණත් බාල මහලු සියලුදෙනාවම පාලනය කරන්න වෑයම් කරනවා. ලිංගික ආශාවලින් උමතුව සිටින එම භූතයන් මිනිසුන්ව වැරදි දේවලට මෙන්ම පහත් ක්‍රියාවලට පෙලඹවීමෙන් වින්දනයක් ලබනවා. නමුත් තමන්ව පොලඹවන්නේ භූතයන් බව මිනිසුන්ට කිසිම අවබෝධයක් නැහැ.—එෆී. 6:11, 12.

5 බයිබලයේ යක්ෂයාව විස්තර කර තිබෙන්නේ “මිනී මරුවෙක්” සහ “මරණය ගෙන ඒමට බලය ඇති” කෙනෙක් ලෙසයි. (යොහ. 8:44; හෙබ්‍රෙ. 2:14) කෙළින්ම මිනිසුන්ව මරන්න ඔහුට තිබෙන හැකියාව සීමිතයි. නමුත් මිනිසුන්ව වැරදි ක්‍රියාවලට පොලඹවා ඒ තුළින් ඔවුන්ට දුක් විඳ මිය යෑමට සලස්වන්න ඔහුට හැකියි. එමෙන්ම මිනිසුන්ව මුළා කර ඔවුන්ගේ සිත්වල මිනී මැරීමේ අදහසද ඔහු රෝපණය කරනවා. උදාහරණයකට එක්සත් ජනපදයේ ඉපදෙන දරුවන් 142දෙනෙක්ගෙන් එක් කෙනෙක් මිය යන්නේ මිනී මැරුමකට ලක් වීමෙනුයි. යෙහෝවා දෙවි නෝවාගේ කාලයේ තිබූ දරුණු තත්වය දුටුවා නම් අද දින පැතිර පවතින ප්‍රචණ්ඩත්වය ගණනකට නොගෙන සිටීද?

6, 7. නෝවා සහ ඔහුගේ පවුලේ අය විශ්වාසවන්ත මෙන්ම දෙවිට ගරුබිය ඇති අය බව පෙන්නුවේ කෙසේද?

6 ජලගැල්මක් මගින් පොළොවේ සියලු දේ විනාශ කරන බව කලක් ගත වූ පසු නෝවාට දෙවි දැනුම් දුන්නා. (උත්. 6:13, 17) ඒ නිසා පෙට්ටියක හැඩය ඇති නැවක් සාදන්න කියා යෙහෝවා දෙවි නෝවාට උපදෙස් දුන් අතර නෝවා සහ ඔහුගේ පවුලේ අය නැව හදන්න පටන්ගත්තා. දෙවි විනිශ්චය ගෙන එන විට දෙවිට කීකරුව සිටින බවත් සූදානමින් සිටින බවත් පෙන්වන්න ඔවුන්ට උපකාර වුණේ කුමක්ද?

7 දෙවි අණ කළ සියල්ලට කීකරු වීම සඳහා නෝවාව සහ ඔහුගේ පවුලේ අයව පෙලඹුවේ දෙවි කෙරෙහි වූ ඔවුන්ගේ ස්ථිර විශ්වාසය සහ දේවගරුබියයි. (උත්. 6:22; හෙබ්‍රෙ. 11:7) පවුලේ මූලිකයා ලෙස නෝවා, දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගත් අතර අවට ලෝකයේ මිනිසුන් කළ දූෂිත ක්‍රියාවලින් වැළකී සිටියා. (උත්. 6:9) එමෙන්ම ඔහුගේ පවුලේ අයත් ප්‍රචණ්ඩකාරී දේවලින් සහ මිනිසුන්ගේ පහත් ආකල්පවලින් වැළකී සිටිය යුතු බව ඔහු දැනගෙන සිටියා. ඔවුන් තමන්ගේ එදිනෙදා කටයුතුවලම ඇලීගැලී නොසිටීම අත්‍යවශ්‍ය වුණා. මුළු පවුලම ඔවුන්ගේ ජීවිතයේ මුල් තැන දිය යුතු වුණේ දෙවි පවරා තිබූ කාර්යය ඉටු කිරීමටයි.—උත්පත්ති 6:14, 18 කියවන්න.

නෝවා සහ ඔහුගේ පවුලේ අය සූදානම්ව සිටි බව පෙන්නුවා

8. නෝවාගේ පවුලේ සාමාජිකයන් දෙවිට භක්තිවන්තව සිටි බව අප දන්නේ කොහොමද?

8 නෝවාගේ පවුලේ අය අතරින් බයිබලයේ වැඩිපුරම කතා කරන්නේ නෝවා ගැනයි. නමුත් නෝවාගේ භාර්යාවටත් දරුවන්ටත් දරුවන්ගේ භාර්යාවන්ටත් තම ජීවිත ගලවාගැනීමට හැකි වුණේ නෝවාගේ ධර්මිෂ්ඨකම නිසා නොවෙයි. ඔවුන්ට ගැලවීම ලැබුණේ දෙවිටත් දෙවිගේ මඟ පෙන්වීම්වලටත් ඔවුන් ඇලුම් කළ නිසයි. නෝවාගේ දරුවන් දෙවිට විශ්වාසවන්තව සිටි බව එසකියෙල් පොතේ සඳහන් දෙයකින් තහවුරු කරගන්න පුළුවන්. එහි සඳහන් වෙන්නේ එසකියෙල්ගේ කාලයේ නෝවා සිටියා නම් ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහුගේ දරුවන් ගැලවෙන්නේ නැහැ කියායි. ඊට හේතුව යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්නවද නැද්ද කියා පෞද්ගලිකව තීරණයක් ගැනීමට හැකි වයසක ඔවුන් සිටීමයි. ඔවුන් එක් එක් කෙනා දෙවිට ප්‍රේම කරන බවත් ඔහුට විශ්වාසවන්ත බවත් ඔප්පු කර තිබුණා. (එස. 14:19, 20) නෝවාගේ පවුලේ අය නෝවාගෙන් ලැබුණු උපදෙස් නිරතුරුවම පිළිපදිමින් දෙවිට ඉතා විශ්වාසවන්තව නමස්කාර කළා. එමෙන්ම යෙහෝවා දෙවිගෙන් ලැබී තිබුණු පැවරුමට බාධා වෙන්න ඔවුන් කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ.

9. නෝවාව අද දින ආදර්ශයට ගෙන තිබෙන්නේ කවුද?

9 ලෝ පුරා සිටින සාක්ෂිකරුවන්ගේ පවුල් මූලිකයන් නෝවාව අනුකරණය කිරීමට දැඩි වෑයමක් දරනවා දැකීම මොන තරම් දිරිගන්වනසුලු දෙයක්ද! තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ආහාර, ඇඳුම් පැළඳුම්, ඉඳුම්හිටුම් සහ අධ්‍යාපනය පමණක් දීම ප්‍රමාණවත් නොවන බව ඔවුන් වටහාගෙන සිටිනවා. ඒ නිසා දෙවිට ළං වෙන්නත් ඔවුන් පවුලේ සාමාජිකයන්ට උපකාර කරනවා. එසේ කිරීමෙන් ඔවුන් පෙන්වන්නේ යෙහෝවා දෙවිගේ දවසට සූදානමින් සිටින බවයි.

10, 11. (අ) නැව තුළ සිටින විට නෝවා සහ ඔහුගේ පවුලේ අයට හැඟුණේ කෙසේද? (ආ) අප සියලුදෙනා කල්පනා කර බැලිය යුතු ප්‍රශ්නය කුමක්ද?

10 නෝවා, ඔහුගේ භාර්යාව, ඔහුගේ පුතුන් සහ ඔවුන්ගේ භාර්යාවන් නැව සෑදීම සඳහා වසර 50ක පමණ කාලයක් ගත කළා. ඔවුන් නැව සාදා ඊට වතුර කාන්දු නොවන පරිදි තාර ආලේප කළා. ඊටපසු ආහාර ගබඩා කළ අතර සතුන්වද නැවට ඇතුල් කළා. ඔවුන් නැව ඇතුළටත් පිටතටත් බොහෝ වාර ගණනක් යන්න එන්න ඇති. ඉන්පසුව සිදු වූ දේ සිතින් මවාගන්න. ක්‍රිස්තු පූර්ව 2370 දෙවෙනි මාසයේ 17වෙනිදා ඔවුන් නැවට ඇතුල් වෙනවා. යෙහෝවා දෙවි නැවේ දොර වහනවා. පසුව වහින්න පටන්ගන්නවා. පෘථිවිය වටා තිබුණු ජල වියන බිඳී අතිමහත් ජල කඳ පොළොවට කඩා හැළෙනවා. එය සාමාන්‍ය වර්ෂාවක් නොවෙයි. (උත්. 7:11, 16) නැවෙන් පිටත සිටි අය මිය යද්දී නැව තුළ සිටි අයගේ ජීවිත ආරක්ෂා වුණා. ඒ අවස්ථාවේදී නෝවාගේ පවුලේ අයට මොන වගේ හැඟීමක් ඇති වෙන්න ඇද්ද! ඔවුන් දෙවිට දසදහස් වාරයක් ස්තුතිවන්ත වෙන්න ඇති. ‘අපි සැබෑ දෙවි සමඟ ගමන් කරමින් සූදානම්ව හිටිය එක කොච්චර හොඳද’ කියා ඔවුන් සිතන්න ඇති. (උත්. 6:9) දෙවි හර්–මගෙදොන්වලින් ඔබේ ජීවිතය ආරක්ෂා කළ විට ඔබ ඔහුට මොන තරම් ස්තුතිවන්ත වෙයිද කියා සිතා බලන්න.

11 සාතන්ගේ පාලනය යටතේ තිබෙන මේ සමාජයට දෙවි ගෙනෙන විනාශය නතර කිරීමට කිසිම දෙයකට බැහැ. මෙසේ කල්පනා කර බලන්න. ‘දෙවි දී ඇති පොරොන්දු අකුරක් නෑර නියමිත වෙලාවට ඉටු වෙනවා යන නිසැකකම මට තිබෙනවාද?’ එසේනම් ඉතා ඉක්මනින් පැමිණීමට නියමිත “යෙහෝවා දෙවිගේ දවස” මනසේ ප්‍රමුඛව තබාගනිමින් ඊට සූදානම්ව සිටින බව ඔප්පු කර පෙන්වන්න.—2 පේතෘ. 3:12.

මෝසෙස් අවදිව සිටියා

12. මෝසෙස්ගේ අවධානය වෙනතකට යොමු වෙන්න ඉඩ තිබුණේ කුමන දේවල් නිසාද?

12 අපි දැන් මෝසෙස් ගැන සලකා බලමු. කෙනෙකුට ජීවිතයේ ලබන්න පුළුවන් සියලුම සැප සම්පත් ඊජිප්තුවේදී මෝසෙස්ට ලැබෙන්න ඇති. පාරාවෝගේ දියණිය මෝසෙස්ව ඇගේ පුත්‍රයා ලෙස හදා වඩා ගත් නිසා ඔහුට උසස් තත්වයක් තිබෙන්න ඇති. එමෙන්ම හොඳම කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ සුඛෝපභෝගී ජීවිතයක්ද ඔහුට ලැබෙන්න ඇති. සෑම විෂයක් ගැනම විශිෂ්ට අධ්‍යාපනයක්ද ඔහු ලැබුවා. (ක්‍රියා 7:20-22 කියවන්න.) සමහරවිට ඔහුට විශාල උරුමයක් ලැබීමටද ඉඩ තිබුණා.

13. දෙවිගේ පොරොන්දු කෙරෙහිම අවධානය යොමු කිරීමට මෝසෙස්ට උපකාරවත් වෙන්න ඇත්තේ කුමක්ද?

13 ඊජිප්තුවරුන් කළ රූප නමස්කාරයේ නිෂ්ඵලකම මෝසෙස් අවබෝධ කරගත්තේ ඔහුගේ දෙමාපියන් ඒ ගැන ඔහුට පුංචි කාලයේදීම ඉගැන්වූ නිසයි. (නික්. 32:8) ඊජිප්තුවේදී ලැබූ අධ්‍යාපනය නිසාවත් රජමාලිගාවේදී ලැබූ සැප සම්පත් නිසාවත් මෝසෙස් සැබෑ නමස්කාරයෙන් ඉවත් වුණේ නැහැ. ඔහුගේ මුතුන්මිත්තන්ට දෙවි දුන් පොරොන්දු ගැන ඔහු ගැඹුරින් කල්පනා කරන්න ඇති. ඒ නිසා දෙවිගේ කැමැත්ත කිරීමට තමන් සූදානම් බව පෙන්වීමට ඔහුට දැඩි ආශාවක් ඇති වුණා. ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි වන යෙහෝවා, ඔබ වෙතට මාව එව්වේය’ කියා ඔහු ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ දෙයින් එය පැහැදිලියි.—නික්මයාම 3:15-17 කියවන්න.

14. මෝසෙස් විශ්වාසවන්තකම හා නිර්භීතකම පෙන්නුවේ කොහොමද?

14 මෝසෙස් සැබෑ දෙවි ලෙස සැලකුවේ ඊජිප්තුවරුන්ගේ රූපවලින් නියෝජනය කළ බොරු දෙවිවරුන්ව නොව යෙහෝවා දෙවිවයි. මෝසෙස් ජීවත් වුණේ ‘නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයක්’ ඇතුවයි. දෙවි තම සෙනඟව ගලවාගන්නවා යන විශ්වාසය ඔහුට තිබුණත් එය සිදු කරන්නේ කවදාද කියා ඔහු දැන සිටියේ නැහැ. (හෙබ්‍රෙ. 11:24, 25, 27) ඊශ්‍රායෙල් වහලෙකුට හිරිහැර කරද්දී ඔහුව බේරාගැනීමෙන් මෝසෙස් පෙන්නුම් කළේ ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගන්න ඔහුට දැඩි ආශාවක් තිබුණු බවයි. (නික්. 2:11, 12) ඒ කෙසේවෙතත් මෝසෙස්ට ඊජිප්තුවෙන් පිට වී බොහෝ දුර ප්‍රදේශයක ජීවත් වෙන්න සිදු වුණා. ඊට හේතුව තම සෙනඟව ගලවාගන්න දෙවිට එය කාලය නොවීමයි. ඊජිප්තුවේදී භුක්ති වින්ද සුඛෝපභෝගී ජීවිතය වෙනුවට පාළුකරයේ දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදු වීම ඔහුට කටුක අද්දැකීමක් වූ බව නිසැකයි. නමුත් යෙහෝවා දෙවි දුන් සෑම උපදෙසකටම කීකරු වීමෙන් තමන් සූදානමින් සිටින බව මෝසෙස් පෙන්නුවා. ඔහු වසර 40ක් මිදියන් දේශයේ ගත කළ පසු ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගැනීම සඳහා දෙවි ඔහුව යොදාගත්තා. දෙවිගේ මඟ පෙන්වීම පරිදි මෝසෙස් නැවත ඊජිප්තුවට ගියා. දෙවි භාර දුන් කාර්යය ඒ ආකාරයටම ඉටු කිරීමට මෝසෙස්ට කාලය එළඹී තිබුණා. (නික්. 3:2, 7, 8, 10) ‘අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෘදු ගුණැති’ මෝසෙස්ට පාරාවෝ ඉදිරියේ පෙනී සිටීමට විශ්වාසය සහ නිර්භීතකම අවශ්‍ය වුණා. (ගණන්. 12:3) ඔහුට එලෙස ක්‍රියා කිරීමට සිදු වුණේ එක වතාවක් පමණක් නොවෙයි. දෙවි පීඩා ගෙනෙන සෑම වාරයකදීම ඔහුට පාරාවෝ ඉදිරියට යන්න සිදු වුණා. නමුත් ඒ කොපමණ වාරයක්ද කියා ඔහු දැන සිටියේ නැහැ.

15. අධෛර්යය කරවන තත්වයන්ට මුහුණ දුන්නත් දෙවිව ගෞරවයට පත් කිරීමට මෝසෙස්ව පෙලඹවූයේ කුමක්ද?

15 ඊළඟ වසර 40දී අධෛර්යයට පත් වන දේවලට මුහුණ දෙන්න මෝසෙස්ට සිදු වුණා. නමුත් දෙවිව ගෞරවයට පත් කළ හැකි අවස්ථා ගැන සෝදිසියෙන් සිටි ඔහු සෙසු ඊශ්‍රායෙලිතයන්ටද එසේ කිරීමට දිරිගැන්නුවා. (ද්වි. 31:1-8) එසේ කළේ ඔහු තමාගේ නම ගැන හිතනවාට වඩා දෙවිගේ නම ගැනත් පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ගැනත් සැලකිලිමත් වූ නිසයි. (නික්. 32:10-13; ගණන්. 14:11-16) අපත් අධෛර්යය කරවන තත්වයන්ට මුහුණ දුන්නත් දෙවිගේ පාලනයට පක්ෂව සිටිය යුතුයි. එසේ කළ යුත්තේ මිනිසුන්ට වඩා ප්‍රඥාවන්තව හා ධර්මිෂ්ඨව කටයුතු කරන්නේ දෙවි යන නිසැකකම ඇතුවයි. (යෙසා. 55:8-11; යෙරෙ. 10:23) ඔබටත් හැඟෙන්නේ එසේ නොවේද?

දිගටම අවදිව සිටින්න!

16, 17. මාක් 13:35-37 දක්වා සඳහන් දේ කෙරෙහි අවධානය යොමු කිරීම ඔබට වැදගත් වන්නේ ඇයි?

16 “නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා අවදිව, සෝදිසියෙන් සිටින්න.” (මාක් 13:33) එම අනතුරු ඇඟවීම යේසුස් දුන්නේ අවසාන කාලයේ ලකුණ ගැන සඳහන් කරන විටයි. මාක් වාර්තා කරන ආකාරයට අවසාන කාලය ගැන පැවසූ අනාවැකිය යේසුස් අවසන් කළේ මෙහෙමයි. “සෝදිසියෙන් සිටින්න. නිවස අයිති ස්වාමියා එන වේලාව කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. ඔහු එන්නේ සවස් යාමයේදීද මධ්‍යම රාත්‍රියේදීද කුකුළා හඬලන වේලාවේදීද නැත්නම් හිමිදිරි උදෑසනින්මද කියා ඔබ දන්නේ නැහැ. ඔහු හදිසියෙන්ම එන විට ඔබ නිදා සිටිනවා ඔහුට දකින්න ඉඩ තියන්න එපා. ඔබ සෝදිසියෙන් සිටිය යුත්තේ ඒ නිසයි. මා ඔබට කියන දේ සියලුදෙනාටම කියන්න කැමතියි. එනම් සෝදිසියෙන් සිටින්න.”—මාක් 13:35-37.

17 යේසුස් පැවසූ ඒ දේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. අලුයම තුනේ සිට හිරු උදාවන තුරු කාලය අවදිව සිටීමට අමාරුම කාලයයි. සාමාන්‍යයෙන් සතුරන්ව නින්දේදී හසු කරගන්න හැකි වන්නේ එම කාලය තුළ නිසා යුද්ධ සැලසුම් කරන්නන් එම කාලය සතුරාට පහර දීමට හොඳම කාලය කියා සිතනවා. අද දින ලෝකයේ බහුතරයක් සිටින්නේ රාජ්‍යය පණිවිඩයට ප්‍රතිචාරයක් නොදක්වන තත්වයකයි. එය හරියට ඔවුන් නිදා සිටිනවා හා සමානයි. එමනිසා අවදිව සිටීම අපට අභියෝගයක් විය හැකියි. මේ සමාජයේ අවසානය ගැන හා අපගේ ගැලවීම සම්බන්ධයෙන් අප “අවදිව” හා “සෝදිසියෙන්” සිටිය යුතුයි කියා දී තිබෙන අනතුරු ඇඟවීම ගැන අපට සැකයක් තිබෙනවාද?

18. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපට තිබෙන අමිල වරප්‍රසාදය කුමක්ද?

18 මුලින් සඳහන් කළ පුහුණුකරුවාගේ ජීවිතය බේරුණා. නමුත් දෙවි ගැන අසත්‍යය උගන්වන බොරු ආගම් සහ මෙම දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙන බව බයිබලයේ සඳහන් අනාවැකිවල පවසා තිබෙනවා. (එළි. 18:4-8) දෙවිගේ සියලුම සේවකයන් එනම් බාල මහලු සියල්ලන් නෝවා සහ ඔහුගේ පවුලේ අය මෙන් දෙවිගේ දවසට සූදානමින් සිටින බව පෙන්වීමට කළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි. අප අද ජීවත් වන්නේ දෙවිව අගෞරවයට පත් කරමින් ඔහුට සරදම් කරන අදේවවාදීන්, දෙවි ගැන අසත්‍යය උගන්වන අය සහ දෙවි කෙනෙක් සිටිනවාද කියා සැක කරන අය සිටින ලෝකයකයි. අප ඔවුන්ගේ බලපෑමට හසු නොවීමට වගබලා ගත යුතුයි. අප සලකා බැලූ ආදර්ශයන් මතකයේ තබාගනිමින් ‘සියලු දෙවිවරුන්ට වඩා උසස්, ශ්‍රේෂ්ඨ, බලසම්පන්න සහ ගරුබිය ලැබීමට වටින’ යෙහෝවා දෙවිට ගෞරවය ගෙන දෙන අවස්ථා උදා කරගැනීමට සෝදිසියෙන් සිටිමු.—ද්වි. 10:17.

[පාදසටහන]

a උත්පත්ති 6:3හි සඳහන් “අවුරුදු එකසිය විස්ස” ගැන දැනගැනීමට 2010 දෙසැම්බර් 15 මුරටැඹ සඟරාවේ 30වෙනි පිටුව බලන්න.

ඔබට මතකද?

• දෙවිට ළං වීම සඳහා තම පවුලේ අයට උපකාර කිරීමට නෝවා මුල් තැන දිය යුතු වුණේ ඇයි?

• අපේ කාලය නෝවාගේ කාලයට සමාන වන්නේ කෙසේද?

• අධෛර්යය වීම්වලට මුහුණ දුන්නත් මෝසෙස් දෙවිගේ පොරොන්දු කෙරෙහි මුළු අවධානය යොමු කර තබාගත්තේ ඇයි?

• අවදිව සිටීමට ඔබට උපකාරවත් වන්නේ බයිබලයේ සඳහන් කුමන අනාවැකිද?

[25වන පිටුවේ පින්තූරය]

නෝවා සහ ඔහුගේ පවුලේ අය යෙහෝවා දෙවි පැවරූ කාර්යයට මුල් තැන දුන්නා

[26වන පිටුවේ පින්තූරය]

සෝදිසියෙන් සිටීමට දෙවිගේ පොරොන්දු මෝසෙස්ට උපකාරවත් වුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න