ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 4/1 12-15 පි.
  • ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුෂ්ටයන් අතරේ නිදොස් කෙනෙක්
  • “නැවක් සාදන්න”
  • “දැන් නැවට ඇතුල් වන්න”
  • ‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • “තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නෝවාගේ ඇදහිල්ල මගින් ලෝකය හෙළා දැකිණි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නෝවා විශාල නැවක් හදයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 4/1 12-15 පි.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”

උණු තාරවලින් හමන දුගඳ, පරිසරය සිසාරා පැතිරිලා. අවට නිහැඬියාව බිඳලමින් ඇසෙන්නේ ලී කපන, ලී ඉරන ශබ්දයයි. විඩාබරව සිටින නෝවා තමන් කරමින් සිටින වැඩේ මොහොතකට නතර කර ඉදි කරමින් තිබෙන අතිවිශාල නැව දෙස මදක් බලා සිටියි. එවිට කය වෙහෙසා වැඩ කරන තම පුතුන් තිදෙනාව ඔහුගේ නෙත ගැටෙයි. මේ අතිදැවැන්ත ව්‍යාපෘතියට පුතුන් තිදෙනා පමණක් නොව ඔහුගේ ආදරණීය බිරිඳත් ලේලිලා තිදෙනාත් දශක ගණනාවක් පුරා නොමසුරුව සහාය වී තිබෙනවා. නමුත් කිරීමට ඇති දේ තව බොහෝයි.

ඒ සියල්ල දුටු අවට මිනිසුන් සිතුවේ නෝවාගෙත් ඔහුගේ පවුලේ අයගෙත් සිහි විකල් වෙලා කියායි. නෝවා පවසන ආකාරයට මුළු පොළොවම ජලගැල්මකින් විනාශ වෙයි කියා ඔවුන් කිසිසේත් විශ්වාස කළේ නැහැ. ඒ නිසා තේරුමක් නැති නැවක් ඉදි කරමින් නෝවා තම ජීවිතයත් පවුලේ අයගේ ජීවිතත් නාස්ති කිරීම ඔවුන්ට අදහාගන්නවත් බැරි දෙයක් වෙන්න ඇති. නෝවාත් ඔහුගේ පවුලේ අයත් ඔවුන්ට විහිළුවක් වුණා.

නමුත් නෝවා නමස්කාර කළ දෙවි යෙහෝවාට ඔහු ගැන එලෙස හැඟුණේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළේය” කියායි. (උත්පත්ති 6:9) ඉන් අදහස් වෙන්නේ දෙවියන් පොළොවට ඇවිත් නෝවා සමඟ ගමන් කළා කියාවත් නෝවා ස්වර්ගයට ගිහින් දෙවියන් සමඟ ගමන් කළා කියාවත් නෙවෙයි. ඒ වෙනුවට ඉන් අදහස් වෙන්නේ නෝවා හා දෙවියන් අතරේ මොන තරම් කිට්ටු බැඳීමක් තිබුණාද කියලයි. එය හරියට කිට්ටු මිතුරන් දෙන්නෙක් එකට ගමනක් යනවා වගේ. යෙහෝවා දෙවි කෙරෙහි නෝවාට තිබූ ආදරයෙනුත් ඔහු දෙවිට පෙන්නූ කීකරුකමෙනුත් ඒ බැඳීම මනාව පැහැදිලි වුණා. නෝවා මිය ගිහින් අවුරුදු දහස් ගණනකට පසු බයිබලයේ ඔහු ගැන සඳහන් කළේ ‘ඔහුට තිබූ විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කළා’ කියායි. (හෙබ්‍රෙව් 11:7) ඉන් අදහස් වෙන්නේ කුමක්ද? ඔහුගේ විශ්වාසය ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

දුෂ්ටයන් අතරේ නිදොස් කෙනෙක්

නෝවා හැදී වැඩුණේ දවසින් දවස දුෂ්ටකම් වැඩි වූ ලෝකයකයි. නෝවා මෙන් දෙවියන් සමඟ ගමන් කළ ඒනොක්ගේ එනම් නෝවාගේ සීයාගේ කාලයෙත් දුෂ්ටකම් දසත පැතිර තිබුණා. දුෂ්ට මිනිසුන්ට විරුද්ධව දෙවියන් විනිශ්චයක් ගෙනෙන බව ඒනොක් නොබියව ප්‍රකාශ කළා. නමුත් නෝවාගේ කාලය වන විට දුෂ්ටකම් ඊටත් වඩා වැඩි වී තිබුණා. පොළොව කොතරම් සැහැසිකකම්වලින් පිරී තිබුණද කියනවා නම් දෙවියන් පොළොව දෙස බැලුවම එය නාස්ති වී තිබෙන බව දුටුවා. (උත්පත්ති 5:22; 6:11; යූද් 14, 15) එතරම් නරක දේවල් එදා සිදු වෙන්න හේතුව කුමක්ද?

ස්වර්ගයේ සිටි එක් දේවදූතයෙක් දෙවිගේ පාලනයට විරුද්ධව කැරලිගැසුවා. එසේ ඔහු සාතන් නමැති යක්ෂයා බවට පත් වුණා. ඔහු දෙවියන් ගැන බොරු පවසා මුල් මිනිස් යුවළ වූ ආදම් හා ඒවව පාපයට ඇද දැමුවා. නෝවාගේ කාලය වන විට තවත් දේවදූතයෝ ඔහුගේ බලපෑමට හසු වී දෙවිට විරුද්ධව ක්‍රියා කරමින් සිටියා. ඔවුන් ස්වර්ගයේ තමන්ට තිබූ වගකීම් අත්හැර මිනිස් වෙස් ගෙන පොළොවට ඇවිත් රූමත් ස්ත්‍රීන්ව විවාහ කරගත්තා. ඒ අහංකාර, කැරලිකාර, ආත්මාර්ථකාමී දේවදූතයන්ගේ දුෂ්ට බලපෑම පිළිකාවක් මෙන් මුළු මිනිස් සමාජයම වෙළාගෙන තිබුණා.—උත්පත්ති 3:1-5; 6:1, 2; යූද් 6, 7.

මිනිස් වෙස් ගත් දේවදූතයන් ස්ත්‍රීන්ව විවාහ කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අසාමාන්‍ය සවිශක්තියකින් යුත් දරුවන් බිහි වුණා. යෝධයන් වූ ඔවුන්ව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ නෙෆිලිම්වරු ලෙසයි. එහි අර්ථය “බිමට ඇද වැටෙන සේ අන් අයට පහර දෙන්නෝ” යන්නයි. ඒ කෲර යෝධයන් නිසා සමාජයේ සිදු වූ දුෂ්ටකම් දෙගුණ තෙගුණ වුණා. ‘මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ නිසාත් ඔවුන්ගේ සිත් නිතරම නපුරටම යොමු වී තිබුණු නිසාත්’ වසර 120කින් ඒ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම අතුගා දමන්න යෙහෝවා දෙවියන් තීරණය කළා.—උත්පත්ති 6:3-5.

දුෂ්ට බලපෑම්වලින් දරුවන්ගේ සිත් ආරක්ෂා කරගන්න නෝවාට හා ඔහුගේ බිරිඳට සිදු වුණා

නෝවාට වයස අවුරුදු 500ක් පිරුණු පසු ඔවුන්ගේ පවුලට පුතුන් තිදෙනෙක් එක් වුණා.a ඔවුන්ගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්. ඒ වගේ දුෂ්ට සමාජයක පවුලක් රැකබලා ගැනීම කොච්චර අමාරු දෙයක් වෙන්න ඇද්ද! නමුත් නෝවා ඒ දේ කළා. ඊට ඔහුගේ බිරිඳගෙන් නොමද සහායක් ලැබුණා. තම පුතුන් තිදෙනාව එදා තිබුණු දුෂ්ට සමාජයේ නරක බලපෑම්වලින් ආරක්ෂා කරගන්න නෝවාටත් ඔහුගේ බිරිඳටත් සිදු වුණා. සාමාන්‍යයෙන් කුඩා පිරිමි දරුවන් සවිශක්තිය තිබෙන උස මහත අයට කැමතියි. නෙෆිලිම්වරු එවැනි අය නිසා කුඩා දරුවන් ඔවුන්ව වීරයන් ලෙස සලකන්න ඇති. ඔවුන් කළ සෑම දරුණු දෙයක් ගැනම අසන්න ලැබුණු ආරංචි දරුවන්ගෙන් සඟවන්න නෝවාටයි ඔහුගේ බිරිඳටයි නොහැකි වුණත් දුෂ්ටකම් ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කෙසේද කියා ඔවුන් අනිවාර්යයෙන්ම දරුවන්ට උගන්වන්න ඇති. ඒ වගේම දෙවිගේ අලංකාර පෞද්ගලිකත්වය ගැන කියා දී දරුවන්ගේ මනස් හොඳ දේවලින් පුරවන්නත් ඇති.—උත්පත්ති 6:6.

එදා මෙන් අදත් සැහැසියාව හා කැරලිකාරකම පිළිකාවක් මෙන් මිනිස් සමාජය වෙළාගෙන තිබෙනවා. කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති චිත්‍රපට හා වැඩසටහන් ප්‍රචණ්ඩත්වයෙන් පිරිලා. ඒවා නිෂ්පාදනය කර තිබෙන්නේ සැහැසික දේ කරන අයව වීරයන් සේ පෙන්වා දරුවන්ගේ සිත්වල ඔවුන් ගැන ආශාවක් ඇති වන විදිහටයි. ඒ නිසා එදා නෝවා කළාක් මෙන් අද ඉන්න දෙමාපියනුත් තම දරුවන්ගේ සිත් ආරක්ෂා කරන්න පියවර ගත යුතුයි. සැහැසිකකම් පිළිකුල් කරන, සමාදානයට ඇලුම් කරන යෙහෝවා දෙවියන් ගැන ඔවුන්ට කියා දීමෙනුත් ඔහු ළඟදීම දුෂ්ටකම් නිමා කරන බව මතක් කර දීමෙනුත් දෙමාපියන්ට එය කළ හැකියි. (ගීතාවලිය 11:5; 37:10, 11) නෝවා හා ඔහුගේ බිරිඳ එසේ කළ නිසා ඔවුන්ගේ පුතුන් තිදෙනාම දෙවිට කීකරු, යහපත් වැඩිහිටියන් වුණා. ඒ වගේම දෙවිගේ කැමැත්තට මුල් තැන දුන් ස්ත්‍රීන්ව විවාහ කරගන්නත් ඔවුන්ට හැකි වුණා.

“නැවක් සාදන්න”

දුෂ්ට සමාජය තුරන් කිරීමට තමා ගෙන තිබූ තීරණය දෙවියන් නෝවාට දැනුම් දෙමින් මෙසේ පැවසුවා. “ඔබ හොඳ ලීවලින් නැවක් සාදන්න.” (උත්පත්ති 6:14) නෝවාගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු වුණේ එදා සිටයි.

සාදන්න කියා දෙවියන් නෝවාට පැවසූ නැව අපි හිතනවා වගේ නැවක් නෙවෙයි. එහි අවරක්, සුක්කානමක්, දිශාව වෙනස් කිරීමට නෞකාතලයක් තිබුණේ නැහැ. එය පෙට්ටියක හැඩය ගත් නැවක්. එහි සියලු මිමි හා එය සෑදිය යුතු ආකාරය ගැන නිශ්චිත මඟ පෙන්වීම් දෙවියන් නෝවාට දුන්නා. නැවේ පිටතින් හා ඇතුළතින් තාර ගාන්න කියාත් පැවසුවා. ඉන්පසු එවැනි නැවක් සාදන්න කියා පැවසීමට හේතුවත් දෙවියන් මෙසේ පැහැදිලි කළා. “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි. . . . මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය. . . . ඔබද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද නැවට ඇතුල් විය යුතුයි.” සෑම වර්ගයකටම අයත් සතුන්වත් නැවට ඇතුල් කරගන්න කියා දෙවියන් පැවසුවා. ඒ ජලගැල්මෙන් බේරීමට හැකිවෙන්නේ නැවේ සිටින අයට පමණයි.—උත්පත්ති 6:17-20.

නෝවාට කරන්න තිබුණේ අතිදැවැන්ත කාර්යයක්. අඩි 437ක් විතර දිග, අඩි 73ක් විතර පළල, අඩි 44ක් විතර උස නැවක් සෑදීම කොච්චර අමාරු වැඩක්ද! දැනට ලීවලින් සාදා තිබෙන විශාලතම නැවටත් වඩා එය ඉතා විශාලයි. නමුත් මෙය කළ නොහැකි වැඩක් කියා ඒ වැඩේ මඟහරින්න නෝවා හැදුවද? ඔහුට තිබූ අභියෝග ගැන කන්කෙඳිරිගෑවද? දෙවියන් දුන් සැලැස්ම වෙනස් කර තමාට පහසු අයුරින් නැව සාදන්න උත්සාහ කළාද? බයිබලයේ පවසන්නේ “දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර, නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය” කියායි.—උත්පත්ති 6:22.

නැව සෑදීම සඳහා ගස් කපන්න, කොට අදින්න, ලී ඉරන්න, යතු ගාන්න, ඒවා එකිනෙකට මූට්ටු කරන්න සිදු වුණා. මේ දැවැන්ත නැව සාදා අවසන් කිරීමට වසර 40ක් 50ක් විතර ගත වෙන්න ඇති. තට්ටු තුනකින් සමන්විත මේ නැවේ කාමර තිබුණු අතර නැවට ඇතුල් වීමේ ප්‍රධාන දොරටුව එක් පසෙකින් තිබුණා. නැවේ වහල සාදා තිබෙන්න ඇත්තේ වතුර නොරැඳී දෙපැත්තට ගලා යන ලෙසයි. වහලට මදක් පහතින් කවුළුද සාදා තිබුණා.—උත්පත්ති 6:14-16.

නැවේ වැඩකටයුතු ක්‍රමානුකූලව අවසන් වෙත්ම තම පවුලේ අයගෙන් ලැබුණු නොමද සහාය නෝවා බෙහෙවින් අගය කරන්න ඇති. නමුත් නෝවාට කිරීමට තිබුණේ දැවැන්ත නැවක් සෑදීම පමණක් නෙවෙයි. බයිබලයේ ඔහුව ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ කෙනෙකු’ ලෙසත් හඳුන්වා තිබෙනවා. (2 පේතෘස් 2:5) දුෂ්ට මිනිසුන් අතරට ගිහින් ඒ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා කියා පැවසීමට නෝවාට සිදු වුණා. එය නැව සාදනවාටත් වඩා දුෂ්කර කටයුත්තක්. මන්ද ඒ කාලයේ සිටි මිනිසුන් ඔහු පැවසූ දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ. පසු කාලයකදී යේසුස් පවා නෝවාගේ කාලයේ සිටි මිනිසුන් ගැන පැවසුවේ ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් කාලය ගත කළා මිසක් නෝවා දුන් අනතුරු ඇඟවීම් ගැන “කිසි තැකීමක් කළේ නැහැ” කියායි. (මතෙව් 24:37-39) නෝවා හා ඔහුගේ පවුලේ අය විනාශය ගැන පවසද්දී මිනිසුන් ඔවුන්ට උසුළු විසුළු කරන්න ඇති. තවත් අය ඔවුන්ට තර්ජනය කර ඔවුන්ව නිහඬ කරන්න උත්සාහ කරන්න ඇති.

දෙවිගේ ආශීර්වාදය නෝවාට තිබෙන බවට පැහැදිලි සාක්ෂි තිබුණත් මිනිසුන් ඔහුට සමච්චල් කළා

මිනිස්සු කුමක් කළත් කුමක් පැවසුවත් නෝවා හා ඔහුගේ පවුලේ අය දෙවියන් භාර දුන් වැඩේ නතර කළේ නැහැ. ඔවුන්ට දෙවියන් ගැන තිබූ විශ්වාසය අපිට ආදර්ශයක්. නෝවා මෙන් අපිත් ජීවත් වෙන්නේ විනාශයක් අද්දරයි. (2 තිමෝති 3:1) අපි ජීවත් වෙන කාලයත් නෝවාගේ කාලයට සමාන බව යේසුස් පැවසුවා. ඒ නිසා දේවරාජ්‍යය ගැන අපි මිනිසුන්ට දන්වද්දී අපිට පීඩා කරන්න, නින්දා කරන්න, අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී අපි නෝවාගේ ආදර්ශය සිහියේ තබාගනිමු.

“දැන් නැවට ඇතුල් වන්න”

දශක ගණනාවකට පසු නෝවා නැව සාදා අවසන් කළා. නෝවාට වයස අවුරුදු 600ක් පිරෙන්න ආසන්නව තිබියදී වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දීමට ඔහුට සිදු වුණා. මුලින්ම ඔහුගේ පියා වූ ලාමෙක් මිය ගියා.b ඉන් වසර පහකට පසු නෝවාගේ සීයා වූ මෙතූසලා අවුරුදු 969ක් ජීවත් වී මිය ගියා. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට මිහිමත වැඩිම කාලයක් ජීවත් වූ මිනිසා ඔහුයි. (උත්පත්ති 5:27) මෙතූසලා හා ලාමෙක් යන දෙදෙනාම මුල්ම මිනිසා වූ ආදම් ජීවත් වූ කාලවකවානුවේම ජීවත් වූ අයයි.

මෙතූසලා මිය ගිය අවුරුද්දේදීම දෙවියන් නෝවාට මෙසේ පැවසුවා. “ඔබේ පවුලේ සියලුදෙනා සමඟ දැන් නැවට ඇතුල් වන්න.” සෑම වර්ගයකටම අයත් සතුන්වත් නැවට ඇතුල් කරගන්න කියා දෙවියන් ඔහුට පැවසුවා. පවිත්‍ර සතුන්ගෙන් සත්දෙනා බැගින්ද අනික් සතුන්ගෙන් දෙදෙනා බැගින්ද ඊට ඇතුළත් වුණා.—උත්පත්ති 7:1-3.

ලොකු කුඩා සතුන් සියදහස් ගණනක් ඇවිදගෙන, පියාඹගෙන, බඩගාගෙන, පැනපැන නැව වෙතට පැමිණි දසුන නෝවාට පුදුම දනවන දසුනක් වෙන්න ඇති. මේ තරම් සතුන් ප්‍රමාණයක් සීමිත ඉඩක් තිබුණු නැවට ඇතුල් කරගන්න නෝවා කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියා සමහරවිට ඔබ සිතයි. නමුත් නෝවාට එසේ වෙහෙසීමට සිදු වුණේ නැහැ. මන්ද බයිබලයේ පවසන්නේ සියලු සතුන් “නැවට ඇතුල් වී නෝවා වෙතට ගියෝය” කියායි.—උත්පත්ති 7:9.

නෝවා පිළිබඳ වාර්තාව විශ්වාස නොකරන සමහර අය එවැනි දෙයක් සිදු විය හැක්කේ කෙසේද කියා ප්‍රශ්න කරනවා. එතරම් සතුන් ප්‍රමාණයක් නැවක සාමයෙන් ඉන්නේ කොහොමද කියා ඔවුන් අසනවා. නමුත් මේ ගැන ටිකක් හිතන්න. මේ මුළු විශ්වයම නිර්මාණය කළ යෙහෝවා දෙවිට තමන් නිර්මාණය කළ සතුන්ව තම අණසක යටතේ තබාගන්න බැරිද? උන්ව හීලෑ කරන්න දෙවිට බැරිද? යෙහෝවා දෙවි රතු මුහුද දෙබෑ කළා නම්, මුළු දවසක් පුරාම ඉර නොබසින්න සැලැස්සුවා නම් නෝවා ගැන වාර්තාවේ සඳහන් සෑම දෙයක්ම එලෙසින්ම ඉටු කරන්න දෙවිට නොහැකියි කියා සිතිය හැකිද?

දෙවිට ඕන නම් තමන් නිර්මාණය කළ සතුන්ව ජලගැල්මෙන් ආරක්ෂා කරගන්න වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න තිබුණා. නමුත් ඒ දේ කරන්න නෝවාව පාවිච්චි කිරීමෙන් අපිට වැදගත් කාරණයක් සිහිගැන්වෙනවා. එනම් සතුන්ව බලාගැනීමේ වගකීම දෙවියන් විශ්වාසයෙන් යුතුව භාර දුන්නේ මිනිසුන්ට බවයි. (උත්පත්ති 1:28) යෙහෝවා දෙවි තමන් නිර්මාණය කළ මිනිසුන් ගැන වගේම සතුන් ගැනත් සැලකිලිමත් යන කාරණය දරුවන්ගේ සිත්වලට කාවැද්දීමට බොහෝ දෙමාපියන් නෝවා හා සම්බන්ධ වාර්තාව යොදාගන්නවා.

ජලගැල්ම පැමිණෙන දවස ගැන දෙවියන් නෝවාට හරියටම පැවසුවේ එය පැමිණීමට සතියකට කලිනුයි. එය නෝවාට හා ඔහුගේ මුළු පවුලටම ඉතා කාර්යබහුල සතියක් වූ බවට සැකයක් නැහැ. සතුන්ව නැවේ ඒ ඒ තැන්වලට දාන්න, උන්ට අවශ්‍ය කෑම බීම නැවේ පිළිවෙළකට අඩුක් කරන්න, පවුලේ අයගේ බඩු බාහිරාදිය නැවට පටවන්න ඔවුන් සෑහෙන්න මහන්සි වෙන්න ඇති. නැව තාවකාලික නිවහනක් ලෙස සකස් කරගන්න නෝවාගේ බිරිඳ හා ලේලියන් තිදෙනා කොතරම් වෙහෙසෙන්න ඇද්ද?

නෝවා හා ඔහුගේ පවුලේ අය කරන වැඩේට දෙවිගේ ආශීර්වාදය තිබෙන බවට පැහැදිලි සාක්ෂි තිබුණත් දහස් ගණනක් සතුන් නැව වෙතට ඇදී එනවා පෙනෙන්න තිබුණත් අවට සිටි මිනිසුන් ඒ ගැන කිසි තැකීමක් කළේ නැහැ. අද ඉන්න බහුතරයක් මිනිසුන්ද ඒ හා සමානයි. අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ කියා විශ්වාස කිරීමට ඕනෑ තරම් සාක්ෂි තිබියදිත් ඔවුන් ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. එවැනි අය දෙවිගේ අනතුරු ඇඟවීම් පිළිගන්න අයට සමච්චල් කරන බව පේතෘස් අනාවැකියකින් පැවසුවා.—2 පේතෘස් 3:3-6.

නෝවා, ඔහුගේ පවුලේ අය හා සතුන් නැවට ඇතුල් වූ පසු දෙවියන් නැවේ දොර වැසුවා. එවිට නෝවාට සමච්චල් කරමින් සිටි අයගේ කටවල් පියවෙන්න ඇති. ඒ වෙලාවේ ඔවුන්ගේ කටවල් පියවුණේ නැත්නම් නොනැවතී වර්ෂාව ඇද හැළෙන්න පටන්ගත් පසු අනිවාර්යයෙන්ම ඔවුන්ගේ කටවල් වැසෙන්න ඇති. යෙහෝවා දෙවියන් පැවසූ ලෙස පොළොව ජලයෙන් වැසී ගිය අතර දුෂ්ට මිනිස් සමාජයත් තුරන් වී ගියා.—උත්පත්ති 7:16-21.

දුෂ්ට මිනිසුන් ජලගැල්මෙන් විනාශ වීම ගැන දෙවිට සතුටක් දැනුණද? කොහෙත්ම නැහැ. (එසකියෙල් 33:11) තමන්ගේ දිවි ගලවාගන්න දෙවියන් ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව දුන්නා. නෝවාට හා ඔහුගේ පවුලේ අයට දිවි ගලවාගන්න පුළුවන් වුණේ ඔවුන් දෙවිගේ අණපනත්වලට කීකරු වෙමින් දෙවියන්ට විශ්වාසවන්තව සිටි නිසයි. එදා සිටි අනික් මිනිසුන්ද ඒ දේ කළා නම් ඔවුන්ටත් දිවි ගලවාගන්න අවස්ථාව තිබුණා. ඔවුන් එසේ නොකිරීමෙන් දඬුවම් ලබන්න සුදුසු බව ඔප්පු වුණා. නෝවාට තිබූ විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කළා කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. නෝවා මෙන් ඔබත් දෙවිට විශ්වාසවන්තව සිටියොත් ඔබේ ජීවිතය පමණක් නොව ඔබ ආදරය කරන අයගේ ජීවිත ගලවාගැනීමටත් ඔබට හැකි වෙයි. නෝවා මෙන් ඔබත් යෙහෝවා දෙවිව ඔබේ කිට්ටු මිතුරා කරගෙන දෙවියන් සමඟ සදහටම ගමන් කරන්න.

a අද මෙන් නොවෙයි එදා ජීවත් වූ අයගේ ආයු කාලය දීර්ඝයි. ඊට හේතුව ඒ වන විට මුල්ම යුවළ පරිපූර්ණත්වය අහිමි කරගෙන වැඩි කලක් නොගොස් තිබීමයි.

b නෝවා යන නමේ තේරුම “විවේකය හෝ සැනසීම” යන්නයි. ලාමෙක් ඔහුට ඒ නම දැමූ අවස්ථාවේ පැවසුවේ දෙවියන් භූමියට ශාප කළ නිසා දුක් මහන්සි වී වැඩ කරන මිනිසුන්ට නෝවාගෙන් සැනසීමක් ලැබෙයි කියායි. (උත්පත්ති 5:28, 29) ලාමෙක් පැවසූ එම අනාවැකියේ ඉටු වීම දකින්න ඔහු ජීවතුන් අතර සිටියේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න