ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 7/1 18-22 පි.
  • දෙවිගෙන් සැනසිල්ල ලැබූ එලියා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගෙන් සැනසිල්ල ලැබූ එලියා
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බලාපොරොත්තු නොවුණු දෙයක්
  • අධෛර්යය සහ බිය
  • “දැන් හොඳටම ඇති!”
  • උපකාර කළ අයුරු
  • එලියාව සැනසූ ආකාරය
  • දෙවිගෙන් සහනය ලැබූ මිනිසෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔබ එලියා මෙන් විශ්වාසවන්ත වෙන්න යනවාද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාටත් බයක් තනිකමක් දැනිලා තියෙනවද?
    දූපුතුන්ට කියා දෙන්න
  • යෙහෝවා එලියාව ශක්තිමත් කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 7/1 18-22 පි.

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

දෙවිගෙන් සැනසිල්ල ලැබූ එලියා

අහස අඳුරු වී වහින්න පටන්ගත් විට එලියා වේගයෙන් දුවන්න පටන්ගන්නවා. ඔහු තරුණයෙක් නොවුණත් යෙෂ්‍රෙයෙල් දක්වා බොහෝ දුරක් දුවගෙන යෑමට ඔහුට සිදු වෙනවා. නමුත් ‘යෙහෝවා දෙවි උපකාර කළ’ නිසා ඔහුට වෙහෙසක් දැනුණේ නැහැ. මීට කලින් කවදාවත් නොතිබුණු ශක්තියක් යෙහෝවා දෙවි ඔහුට ලබා දුන්නා. ඒ නිසා අශ්වයන් කිහිපදෙනෙක් ඇදගෙන යන ආහබ් රජුගේ රථයට වඩා වැඩි වේගයකින් එලියා දුවගෙන යනවා.—1 රාජාවලිය 18:46.

ආහබ්ව පසු කරගෙන බොහෝ දුරක් පැමිණ සිටින එලියාට තවත් බොහෝ දුරක් යෑමට තිබෙනවා. එලියා දුවගෙන යන අතරතුර ඔහුගේ මුහුණට විශාල වැහි බිංදු වැටෙන ආකාරය ගැනත් ඔහු දුවගෙන යද්දී එදින සිදු වූ දේවල් මතකයට නඟන ආකාරය ගැනත් මොහොතකට සිතන්න. ඇත්තටම ඊට ටික වෙලාවකට කලින් සැබෑ දෙවි යෙහෝවා බව සියලු මිනිසුන් ඉදිරියේ ඔප්පු වී තිබුණා. එලියා දුවගෙන යද්දී ඔහුට පිටුපසින් තිබෙන කර්මෙල් කන්ද වැහි වලාකුළුවලින් වැසී නොපෙනී යනවා. යෙහෝවා දෙවි බාල් දෙවියාට නමස්කාර කළ අයව ආශ්චර්යවත් ලෙස විනාශ කළේ එම කන්ද අසලයි. එහිදී බාල් නමස්කාරකයන් සිය ගණනක්ව දෙවි විනාශ කර දැමුවා. ඉන්පසු එලියා වසර තුනහමාරක් පුරා පැවති නියඟය අවසන් කර වැසි ලබා දෙන්න කියා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂාව ඇද හැළෙන්න පටන්ගත්තා.a—1 රාජාවලිය 18:18-45.

එලියාට යෙෂ්‍රෙයෙල් නගරයට යන්න කිලෝමීටර් 30ක් දුවගෙන යන්න සිදු වුණා. කලින් සිදු වූ දේවල් නිසා ආහබ් රජු දැන් වෙනස් වෙලා ඇති කියා එලියා සිතන්න ඇති. ආහබ් බාල් නමස්කාරය අත්හැර දමා, ඔහුගේ බිසව වන යෙසබෙල්ව බලයෙන් පහ කර, දෙවිගේ සේවකයන්ට පීඩා කිරීම නතර කරයි කියා එලියා සිතන්න ඇති.

අප බලාපොරොත්තු වෙන විදිහට දේවල් සිදු වෙන විට අප ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. එවැනි අවස්ථාවලදී අපගේ ප්‍රශ්න ගැටලු සියල්ල අවසන් වී තිබෙනවා කියා අපට සිතෙන්න පුළුවන්. එලියා ‘අප හා සමාන හැඟීම් ඇති මිනිසෙක්’ නිසා සමහරවිට ඔහුද එසේ සිතන්න ඇති. (යාකොබ් 5:17) ඇත්තටම එලියාට තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. පැය කිහිපයකින් සිදු වීමට නියමිත දෙයක් නිසා එලියා බොහෝ සෙයින් බියට හා අධෛර්යයට පත් වෙනවා. ඔහු කොතරම් අධෛර්යයට පත් වෙනවාද කියනවා නම් ජීවිතය නැති වුණා නම් හොඳයි කියා ඔහුට සිතෙනවා. ඊට හේතුව කුමක්ද? යෙහෝවා දෙවි එලියාට ඔහුගේ විශ්වාසය සහ ධෛර්යය නැවත ලබාගන්න උපකාර කළේ කොහොමද? අපි දැන් ඒ ගැන බලමු.

බලාපොරොත්තු නොවුණු දෙයක්

යෙෂ්‍රෙයෙල්හි තිබූ තම මාලිගයට පැමිණි ආහබ් “එලියා කළ සියල්ල ගැනත් ඔහු අනාගතවක්තෘවරුන් සියලුදෙනාවම කඩුවෙන් මරා දැමූ ආකාරය ගැනත්” යෙසබෙල්ට පැවසුවා. (1 රාජාවලිය 19:1) එදින සිදු වූ සෑම දෙයක්ම කළේ යෙහෝවා දෙවි බව අමතක කළ ආහබ් ඒ සියල්ල සිදු කළේ එලියා කියා පැවසුවා. ඉන් පැහැදිලි වෙන්නේ ඔහු යෙහෝවා දෙවිට ගෞරවය කිරීමට ඉගෙනගෙන නොතිබූ බවයි. අනෙක් අතට එලියාගෙන් පළිගැනීමට බලා සිටි යෙසබෙල් ක්‍රියා කළේ කෙසේද?

ඇගේ කේන්තිය තවත් වැඩි වූ අතර ඇය පණිවිඩකරුවෙක් අතේ එලියාට මෙසේ කියා යැව්වා. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම් මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.” (1 රාජාවලිය 19:2) ඇත්තෙන්ම එය මරණ තර්ජනයක්. බාල්ගේ අනාගතවක්තෘවරුන්ව මැරූ නිසා එලියාව මරා දමන බවත් එසේ නොකළොත් තමන් මිය යන බවත් යෙසබෙල් දිවුරුවා. එම පණිවිඩකරු පැමිණ සුව නින්දේ සිටින එලියාව අවදි කර එම පණිවිඩය පවසන ආකාරය සිතින් මවාගන්න. එය ඇසුණු විට එලියා කළේ කුමක්ද?

අධෛර්යය සහ බිය

බාල් නමස්කාරය සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති බව එලියා සිතුවා නම් එය වැරදි සිතුවිල්ලක්. ඊට හේතුව යෙසබෙල් රැජින ඇගේ ක්‍රියාකලාපය වෙනස් කර නොගැනීමයි. ඇය එලියාගේ මිත්‍රයන් බොහෝදෙනෙකුව ඒ වෙද්දී ඝාතනය කර තිබුණා. දැන් ඇයට අවශ්‍යව තිබෙන්නේ එලියාව මරා දැමීමටයි. යෙසබෙල් රැජින තමාව මරා දමන ආකාරය ගැන එලියා කල්පනා කළා නම් ඔහු තවත් භය වෙන බවට කිසිම සැකයක් නැහැ. යෙසබෙල්ගේ පණිවිඩය ඇසුණු එලියා හොඳටම ‘භය වී,’ “තම ජීවිතය බේරාගැනීමට” පලා ගියා.—1 රාජාවලිය 18:4; 19:3.

එලියා මෙන් දෙවිට විශ්වාසවන්තව සිටි වෙනත් අයද යම් අවස්ථාවලදී බියට පත් වී තිබෙනවා. උදාහරණයකට, පේතෘස්ට සිදු වූ දෙයක් සලකා බලන්න. වතුර මත ඇවිදගෙන ආ යේසුස් පේතෘස්ටත් එසේ ඇවිදගෙන එන්න කියා පැවසුවා. ටික දුරක් ඇවිදගෙන ගිය ඔහු ඈතින් එන “කුණාටුව දැක භය වූ” නිසා ගිලෙන්න පටන්ගත්තා. (මතෙව් 14:30) පේතෘස්ගේ හා එලියාගේ අද්දැකීම්වලින් අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. අපට දිගටම ධෛර්යයෙන් සිටීමට නම් අපව බියගැන්විය හැකි දේවල් ගැන අනවශ්‍ය ලෙස සිතීමෙන් අප වළකින්න අවශ්‍යයි. එමෙන්ම අප නිතරම අපට බලාපොරොත්තුව හා ශක්තිය ලබා දෙන තැනැත්තා මත රඳා සිටිය යුතුයි.

“දැන් හොඳටම ඇති!”

බියට පත් වූ එලියා තම සේවකයා සමඟ කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි බෙයර්-ෂෙබා වෙතට පලා ගියා. එය යූදා දේශයේ දකුණු මායිම අසල පිහිටි නගරයක්. සේවකයාව එහි නතර කර ඔහු තනිවම කාන්තාරයට ගියා. ඔහු “දවසක් ඇතුළත ගමන් කළ හැකි දුර ප්‍රමාණයක්” ගමන් කළා කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන ටිකකට හිතන්න. අව්ව වැටෙනවාත් සමඟම ඔහු ගමන පටන්ගන්නවා. කලබල වී සිටි නිසා ඔහු තමන්ට අවශ්‍ය කිසිම දෙයක් රැගෙන යන්නේ නැහැ. ඔහු ගමන් කරන්නේ අව් කාෂ්ටකයෙයි. සවස් වී ගෙන එන විට ඔහුට වෙහෙස දැනුණු නිසා අසල තිබෙන ගසක් යට ඔහු හිඳගන්නවා.—1 රාජාවලිය 19:4.

ඉන්පසු එලියා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. තමාව මරා දමන්න කියා ඔහු දෙවිගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම “මමත් මගේ මුතුන්මිත්තන් වගේ අසම්පූර්ණයි” කියාද ඔහු පැවසුවා. ඔහුගේ මුතුන්මිත්තන් ඒ වන විට මිය ගොස් සිටි නිසා කිසි කෙනෙකුට උපකාර කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බව එලියා හොඳින්ම දැන සිටියා. (දේශනාකාරයා 9:10) තමන්ද සිටින්නේ ඒ හා සමාන තත්වයක කියා එලියාට හැඟුණා. “මා ජීවත් වුණා දැන් හොඳටම ඇති” කියා ඔහු දෙවිට පැවසුවේ ඒ නිසයි.

දෙවිට විශ්වාසවන්තව සේවය කළ කෙනෙක් එලෙස අධෛර්යය වීම ගැන අප පුදුම විය යුතුද? නැහැ. දෙවිට විශ්වාසවන්තව සිටි ස්ත්‍රීන් හා පුරුෂයන් බොහෝදෙනෙක් එලෙස අධෛර්යයට පත් වූ අවස්ථා තිබෙනවා. රෙබෙකා, යාකොබ්, මෝසෙස් සහ යෝබ් ඒ අය අතරින් කිහිපදෙනෙක්.—උත්පත්ති 25:22; 37:35; ගණන් කතාව 11:13-15; යෝබ් 14:13.

අද අප ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ නිසා සමහර අවස්ථාවලදී යම් හේතූන් නිසා අපත් අධෛර්යයට පත් විය හැකියි. (2 තිමෝති 3:1) ඔබ කවදා හෝ එවැනි තත්වයකට පත් වුණොත් එලියාව ආදර්ශයට ගෙන ඔබේ සිතේ තිබෙන සියල්ල දෙවිට පවසන්න. යෙහෝවා දෙවි “සියලු සැනසිල්ලේ දෙවි” නිසා ඔබට උපකාර කිරීමට ඔහු ආශාවෙන් බලා සිටිනවා. (2 කොරින්ති 1:3) ඔහු එලියාට උපකාර කළේ කෙසේද කියා දැන් අපි බලමු.

උපකාර කළ අයුරු

තමන් ප්‍රේම කළ, තමාගේ අනාගතවක්තෘවරයා කාන්තාරයේ ගසක් යට හිඳගෙන තමන්ව මරා දමන්න කියා ඉල්ලා සිටි විට යෙහෝවා දෙවිට කෙසේ හැඟෙන්න ඇද්ද? දෙවිට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට ඔහු ඊළඟට කළ දේ අපට ප්‍රයෝජනවත් වෙනවා. එලියා නිදාගත් පසු යෙහෝවා දෙවි ඔහුට උපකාර කරන්න දේවදූතයෙකුව එව්වා. දේවදූතයා පැමිණ ඔහු මත අත තබා “දැන් නැඟිට කෑම කන්න” කියා එලියාට පැවසුවා. දේවදූතයා ඔහුට රොටියක් සහ වතුර ලබා දුන්නා. ඔහු එය කෑ පසු දේවදූතයාට ස්තුති කරන්නේවත් නැතුව නැවතත් නින්දට ගියා. ඊට හේතුව ඔහු වෙහෙසට පත් වී සිටීම විය හැකිද? හේතුව කුමක් වුණත් දේවදූතයා එලියාව නැවත අවදි කළා. සමහරවිට ඒ හිමිදිරි පාන්දර විය හැකියි. නැවත වතාවක් දේවදූතයා එලියාට මෙසේ පැවසුවා. “නැඟිට කෑම කන්න. නැත්නම් ඔබේ ගමන යන්න ඔබට හුඟක් ආමාරු වෙයි.”—1 රාජාවලිය 19:5-7.

එලියා ඊළඟට යන්නේ කොතැනටද කියා දෙවි එම දේවදූතයාට පවසා තිබුණා. ඒ වගේම එලියාට තමන්ගේම ශක්තියෙන් එම ගමන අවසන් කිරීමට නොහැකි බවත් දෙවි දැන සිටියා. තම සේවකයන්ගේ ඉලක්ක හා සීමාවන් ගැන හොඳින්ම දන්නා යෙහෝවා දෙවිට සේවය කිරීමට ලැබීම මොන තරම් සහනයක්ද! (ගීතාවලිය 103:13, 14) දැන් අපි එලියාගේ සිද්ධිය නැවත සලකා බලමු.

දේවදූතයා එලියාව අවදි කළ පසු එලියා “නැඟිට කෑම කා වතුර බී එයින් ලැබූ ශක්තියෙන් දවස් හතළිහකුත් රෑ හතළිහකුත් සැබෑ දෙවිගේ කන්ද වන හොරෙබ් කන්ද වෙත ගමන්” කළා. (1 රාජාවලිය 19:8) මෝසෙස් සහ යේසුස් මෙන් එලියාද දවස් හතළිහක් නිරාහාරව සිටියා. (නික්මයාම 34:28; ලූක් 4:1, 2) දේවදූතයා දුන් කෑම කෑ පසු එලියාගේ සෑම ප්‍රශ්නයක්ම විසඳුණේ නැති බව ඇත්තයි. නමුත් ඉන් ඔහුට අවශ්‍ය ශක්තිය ලැබුණා. මාස එකහාමාරකට ආසන්න කාලයක් පුරා මහලු එලියා දුෂ්කර කාන්තාරයක් හරහා ඇවිද යන ආකාරය ගැන සිතන්න. ඔහුට එය මොන තරම් වෙහෙසකර කාර්යයක් වෙන්න ඇද්ද!

එලියාට මෙන් අපටත් යෙහෝවා දෙවි අවශ්‍ය උපකාර ලබා දෙනවා. ඒ, ආශ්චර්යවත් ලෙස කෑම ලබා දීමෙන් නොව තමා සමඟ තිබෙන මිත්‍රත්වය රැකගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමෙනුයි. (මතෙව් 4:4) දෙවි ගැන බයිබලයෙන් හා ඒ මත පදනම් ප්‍රකාශනවලින් අධ්‍යයනය කරන විට ඔහු සමඟ තිබෙන අපගේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගැනීමට හැකි වෙනවා. දෙවි ගැන දැනගත් පමණින් අපගේ සෑම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපගේම ශක්තියෙන් දරාගත නොහැකි අවස්ථා දරාගන්න ඒ තුළින් අපට හැකි වෙනවා. ඊට අමතරව ඒ දැනුම නිසා අපට “සදාකාල ජීවනය ලබාගැනීමට” හැකි වෙනවා.—යොහන් 17:3.

හොරෙබ් කන්ද අසලට පැමිණීම සඳහා එලියාට කිලෝමීටර් 320ක් පමණ ඇවිදීමට සිදු වුණා. එම කන්ද අසලට පැමිණි එලියා එහි තිබූ ගුහාවකට ඇතුල් වුණා. යෙහෝවා දෙවි දේවදූතයෙකු යොදාගෙන ඇවිළෙමින් තිබුණු පඳුරක් තුළින් මෝසෙස්ට කතා කළෙත් පසුව ඊශ්‍රායෙල්වරුන්ට නීතිය ලබා දුන්නෙත් එම කන්ද අසලදීයි.

එලියාව සැනසූ ආකාරය

හොරෙබ්හිදී දෙවි තම දූතයෙකු මාර්ගයෙන් එලියාගෙන් “ඔබ මෙතැනට ආවේ ඇයි” කියා ඉතා කාරුණිකව ඇසුවා. එවිට එලියා තමන්ගේ සිතේ තිබෙන සියල්ල දෙවිට පවසන්න පෙලඹුණා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට කැප වී සේවය කරනවා. නමුත් ඊශ්‍රායෙල්වරුන් ඔබේ ගිවිසුම කඩ කර, ඔබේ පූජාසන කඩා දැමුවා. ඔවුන් ඔබේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරා දැමුවා. දැන් ඔවුන් මාවත් මරලා දාන්න සොයනවා” කියා ඔහු පැවසුවා. (1 රාජාවලිය 19:9, 10) එලියා අධෛර්යය වීමට අඩුම තරමින් හේතු තුනක් බලපා තිබෙන බව ඔහු පැවසූ දෙයින් හෙළි වෙනවා.

එක් හේතුවක් නම් තමන් කළ සේවයෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ කියා ඔහු සිතීමයි. බොරු නමස්කාරය දේශය පුරා ව්‍යාප්ත වෙමින් තිබූ අතර ඊශ්‍රායෙල්වරු දෙවිට විරුද්ධව කැරලිගසමින් සිටියා. එමෙන්ම ‘මුළු හදවතින්ම, කැප වී’ දෙවිට සේවය කළත් තමන්ට දිගින් දිගටම ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙනවා කියා ඔහු සිතුවා. දෙවන හේතුව නම් එලියාට තනිකමක් දැනීමයි. දෙවිට සේවය කරන්නේ තමන් පමණක් කියා එලියා සිතුවා. “බේරුණේ මම විතරයි” කියා ඔහු පැවසූ දෙයින් එය පැහැදිලියි. තුන්වන හේතුව නම් එලියාට භයක් දැනීමයි. ඔහු සමඟ සිටි බොහෝ අනාගතවක්තෘවරුන්ව ඒ වන විට මරා දමා තිබුණා. තමාවත් ඉක්මනින්ම මරා දමයි කියා ඔහු දැන සිටියා. තමන්ට දැනුණු බිය සඟවාගෙන සිටිනවා වෙනුවට සිතේ තිබුණු සියල්ල ඔහු දෙවිට පැවසුවා. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට ඔහු කදිම ආදර්ශයක්.—ගීතාවලිය 62:8.

දෙවි එලියාව සැනසුවේ කෙසේද? ඔහු සිටි ගුහාවෙන් එළියට එන්න කියා දේවදූතයා එලියාට පැවසුවා. සිදු වීමට යන්නේ කුමක්ද කියා එලියා නොදැන සිටියත් ඔහු ඊට කීකරු වුණා. ඔහු එළියට ආ විගස ඉතා බලවත් සුළඟක් හමන්න පටන්ගත්තා. එම සුළඟට කඳු දෙබෑ වී පර්වත සුනුවිසුනු වී ගිය නිසා කන් බිහිරි කරන හඬක් දසත පැතිරෙන්න ඇති. එලියා තද සුළඟ හමන අතරතුර තමාගේ එක අතකින් ඇස් දෙක වසාගෙන අනික් අතින් සළුව තද කරගෙන සිටින ආකාරය සිතින් මවාගන්න. ඉන්පසු භූමිකම්පාවක් ඇති වූ නිසා එලියාට ගුහාව අසල සිටගෙන සිටීමට මහත් වෙහෙසක් දරන්න සිදු වුණා. ඒත් සමඟම ගින්නක් ඇති වුණා. ඉන් ඇති වූ රස්නයෙන් බේරීමට ඔහු ගුහාව තුළට යන්න ඇති.—1 රාජාවලිය 19:11, 12.

ඉහත සිදුවීම් සියල්ලේදී දෙවි ඒ තුළ නොසිටි බව බයිබලයේ පවසනවා. යෙහෝවා දෙවි යම් ස්වාභාවික බලයකට අධිපති දෙවි කෙනෙක් නොවන බව එලියා දැන සිටියා. විශ්වයේ ඇති සියලුම බලයන් ඇති කළ යෙහෝවා දෙවි ඒ සියලුම බලයන්ට වඩා බලවත් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්. ඔහුට වාසය කිරීමට මුළු මහත් විශ්වයම ප්‍රමාණවත් නැහැ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (1 රාජාවලිය 8:27) නමුත් බාල්ට නමස්කාර කළ අය සිතුවේ වර්ෂාවට අධිපති වන්නේ බාල් කියායි. කොහොමවුණත් හොරෙබ් කන්ද අසලදී සිදු වූ දේවල් තම බියෙන් ගොඩ ඒමට එලියාට උපකාරවත් වුණාද? ඔව්. ඊට හේතුව මෙතරම් බලයක් හිමි යෙහෝවා දෙවි තමාගේ පැත්තේ සිටින නිසා ආහබ්ට හා යෙසබෙල්ට බිය වීමට කිසිම හේතුවක් නොමැති බව එලියාට අවබෝධ වීමයි.—ගීතාවලිය 118:6.

ගින්නෙන් පසු “සන්සුන්, මෘදු කටහඬක්”b තමාගෙන් ප්‍රශ්නයක් අසනවා එලියාට ඇසුණා. ඊට ප්‍රතිචාරය දැක්වූ එලියා තමන්ට හැඟෙන ආකාරය නැවත වතාවක් යෙහෝවා දෙවිට පැවසුවා. එය ඔහුට මහත් සහනයක් වූවා විය හැකියි. ඒ වගේම එම “සන්සුන්, මෘදු කටහඬ” ඊළඟට පැවසූ දෙයින් ඔහු තවදුරටත් සැනසීමක් ලබන්න ඇති. දෙවි ඊශ්‍රායෙල් දේශයෙන් බාල් නමස්කාරය නැති කර දමන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු එලියාට පැවසුවා. එසේ පැවසීමෙන් දෙවි ඔහුව වටිනා පුද්ගලයෙක් ලෙස සලකන බව එලියාට දැනෙන්න සැලැස්සුවා. දෙවි අරමුණු කළ දේ සාර්ථකව ඉටු වන නිසා එලියා කළ සේවය නිෂ්ඵල වුණේ නැහැ. දෙවි තම අරමුණ ඉටු කරගැනීමට එලියාවද යොදාගන්නවා. ඒ නිසා ඉදිරියට කළ යුත්තේ කුමක්ද කියා එලියාට පවසා දෙවි ඔහුව පිටත් කර යවනවා.—1 රාජාවලිය 19:12-17.

එලියාට දැනුණු තනිකම නැති කරගැනීමට දෙවි ඔහුට උපකාර කළේ කෙසේද? ඒ සඳහා දෙවි මුලින්ම කළේ එලිෂාව ඊළඟ අනාගතවක්තෘ ලෙස පත් කරන්න කියා එලියාට පැවසීමයි. තරුණ එලිෂා, එලියා සමඟ බොහෝ කාලයක් සේවය කිරීමට නියමිතව තිබුණා. එලියාට දැනුණු තනිකම නැති කරගන්න එය බොහෝ සේ උපකාරවත් වන්න ඇති. එමෙන්ම ‘බාල් ඉදිරියේ දණ නොනැමූ, ඔහුව සිප නොගත් හත්දහස්දෙනෙක් තවමත් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වෙනවා’ කියා දෙවි එලියාට පැවසුවා. එම හද දනවන ආරංචියත් තනිකම නැති කරගැනීමට එලියාට උපකාරවත් වූ බවට සැකයක් නැහැ. (1 රාජාවලිය 19:18) බාල්ට නමස්කාර නොකළ දහස් ගණනක් සිටින බව දැනගත් පසු එලියා බොහෝ සෙයින් සතුටු වන්න ඇති. එලියා දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමින් තමන්ට ආදර්ශයක් තබනවා දකින්න එම පිරිස ආශාවෙන් බලා සිටියා.

යෙහෝවා දෙවිගේ අතිමහත් බලය දැකීමෙන් එලියා පුදුමයට පත් වූ බව අපි කලින් සලකා බැලුවා. අප අවට ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙන් ඒවායේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට මොන තරම් බලයක් තිබෙනවාද කියා තේරුම්ගත් විට අපත් ඒ ගැන පුදුමයට පත් වෙනවා. (රෝම 1:20) අද දිනත් දෙවි තම අසීමිත බලය යොදාගෙන තම සේවකයන්ට උපකාර කිරීමට ආශාවෙන් සිටිනවා. (2 ලේකම් 16:9) එමෙන්ම ඔහු බයිබලය මාර්ගයෙන් ඔහුගේ සෙනඟට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. (යෙසායා 30:21) බයිබලය ‘සන්සුන්, මෘදු කටහඬට’ සමාන කළ හැකියි. දෙවි අපට ප්‍රේම කරන බව පෙන්වීමටත්, අපට අවශ්‍ය මඟ පෙන්වීම් දීමටත් අපව නිවැරදි කිරීමටත් දිරිගැන්වීමටත් එය යොදාගන්නවා.

හොරෙබ් කන්ද අසලදී සිදු වූ දෙයින් එලියා සැනසීමක් ලැබූ බවට කිසිම සැකයක් නැහැ. ඔහු බොරු නමස්කාරය ඊශ්‍රායෙල් දේශයෙන් ඉවත් කිරීමට ඉතා නිර්භීතව පියවර ගත්තේ ඒ නිසයි. අපත් දෙවිගේ බලයේ උපකාරයෙන් ලියැවුණු “ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ල” ලබනවා නම් එලියා මෙන් දෙවිට විශ්වාසවන්තව සිටීමට හැකි වෙනවා.—රෝම 15:4.

[පාදසටහන්වල]

a වර්ෂ 2008 ජනවාරි 1 සහ අප්‍රියෙල් 1 මුරටැඹ කලාපවල සඳහන් “ඔහු සැබෑ දෙවිට පක්ෂව සිටියා” සහ “විමසිල්ලෙන් බලා සිටි එලියා” යන ලිපි බලන්න.

b එලියාට ‘සන්සුන්, මෘදු කටහඬින්’ කතා කළේ කවුද කියා අපි ස්ථිරවම දන්නේ නැහැ. සමහරවිට 1 රාජාවලිය 19:9 සහ 15හි සඳහන් ආකාරයට එසේ කතා කළේ යෙහෝවා දෙවි විය හැකියි. නැත්නම් දෙවි ඒ සඳහා තම දූතයෙකුව යොදාගන්නත් ඇති. උදාහරණයකට පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වන්න යොදාගත් දේවදූතයා ගැන දෙවි පැවසුවේ “ඔහු පෙනී සිටින්නේ මාගේ නාමයෙන්” කියායි. (නික්මයාම 23:21) අනික් අතට යේසුස් පොළොවට පැමිණීමට පෙර දෙවි තම සේවකයන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම සඳහා ඔහුව යොදාගත් බව අප අමතක නොකළ යුතුයි. යේසුස්ව “වචනය” නමැති තැනැත්තා ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි.

[19වන පිටුවේ පින්තූරය]

එලියා සතුටින් සිටි අවස්ථාවලදීත් ප්‍රශ්නවලට මුහුණ දුන් අවස්ථාවලදීත් දෙවි ඔහුට ආශීර්වාද කළා

[20වන පිටුවේ පින්තූරය]

අධෛර්යයට පත්ව සිටි අවස්ථාවලදී එලියා තම සිතේ තිබුණු සියල්ල දෙවිට පැවසුවා

[21වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි ඔහුගේ අතිමහත් බලය යොදාගෙන එලියාට අවශ්‍ය සැනසීමත් දිරිගැන්වීමත් දුන්නා

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න